Oct 28, 2013

ආචිචිට රෙද්ද ගැන කියාදිමට සොඳුරු උත්සාහයක් !




නෝට් : ඇවිත් යන්න කලින් අනීවාරතේ ජන සංගණනයට සහය දෙන්න


සමීප ඥාතියෙකු හෝ යහලුවෙකු බැලීමට ඔහුගේ හෝ ඇයගේ නිවසට යාමේදී, නිකරුණේ අතපය අවලම්බනය කොට වන වනා නොයා මොනවා හෝ රැගෙන යාම ,සල්ලි තියෙන කාලයට අනුගමනය කිරීමට ඉතා හොඳ පුරුද්දකි.වෙනදා මෙන් ආච්ච්ගේ ගෙදරින් යමක් අත පත ගාගෙන එනු වෙනුවට ,ආච්චි විෂයයෙහි යමක් පූජා කිරීමට ඇති වූ චේතනාව කර්මයක් බවට පත් වූ හෙයිනි ,මේ අඟල් අටක් දිග කවරය මා අතට පැමිණියේ. 
තෑග්ගක් රැගෙන යාමේදී හොඳ බරට ගෙන යා යුතු බවට තිබෙන මුඛ පරම්පරාගත මතවාදයට අනුව, මුලදීම මිරිස් ගලකට හිත ගියද ,ටිකකින් වෙන අතක ගිය හිත නතර වූයේ මේ අඟල් අටේ කවරය ළඟය.

තෑග්ගත් අතට ගෙන ආචිචිගේ ගෙදර දොරෙන් ඇතුළු වූ මම අඩියක් ඇතුළට යන විට, මගේ පපුව අඩි දෙකක් ඉදිරියට යයි.ඒ පපුව අභිමානයෙන් පිම්බී තිබුන නිසාය.කවරය අතට ගත් ආච්චිගේ මුවින් පිටවිය යුතු විශ්මයාර්දී ලකුණ (! ) ශබ්දය වෙනුවට ,සවුන්ඩ් කාඩ් එකේ අවුලක් නිසා පිටවූයේ වෙනමම වදන් වැලකි.

"ලයිට් බිලද උක්කුං පුතේ?"

මම ඉවසීමි..
එවදන් උපේක්ෂාවෙන් ඉවසීමි

යමෙකුට තෑග්ගක් පිරිනැමීමේදී හෝ විශ්මයජනක දෙයක් පෙන්වීමේදී, ගල් යුගයේ පටන් අනුගමනය කරන මෝඩ පහේ ට්‍රික් එකක් තිබේ.

"කෝ ඇස් දෙක වහගන්න බලන්න"

අමාරුවෙන් වැසූ ඇස් දෙක නැවත විවර වන මොහොතේම මම කවරය තුළ තිබුනු කාඩ්පත මූණ ඉදිරිපසින් ඇල්ලූවෙමි.


ටඩා

(මේ අවස්ථාවේ නියම හැඟීම ලබාගැනීමට පහත වීඩියෝව ප්ලේ කරන්න-ගැටයා )



"මොකක්ද උක්කුං පුතේ මේ? උඹේ වෙඩිං කාට් එක වෙන්නත් බෑ.අපේ මෝල් ගහේ තාම දළු දාල නෑ.මම අද උදෙත් දැක්ක"
"නෑ ආච්චි නෑ..මේක ගිෆ්ට් වවුචර් එකක්!
 අඟනුන් සුරඟනුන් කරන,කාඩයන් සුපර් ස්ටාර්ස්ල කරන ,ධරණීය සංවර්ධනයට ඔබින පිරිමැසුම් දායක කාන්තා රෙදි පිළි මාළිඟය 'සෙළුහංගන ටෙක්ස්ටයිල්ස්' එකෙන් ඕන රෙද්දක් ගන්න"

"චීත්ත?"

මට ඒ වචනය හරිහැටි ඇසුන මුත් කන්වල දෝශයක් අභිරූපනයෙන් ඉදිරිපත් කොට,

"මොකක්ද ආච්චි?" යි ඇසුවෙමි

"චීත්ත පුතේ චීත්ත"

එකම වචනය තුන් පාරක් ඇසීමෙන් චිත්තාභ්‍යන්තරයේ උපන් ආවේගය හයිවේ එකේ යන්නට වූ තැන,එය සංසිඳුවාලනු වස්  පිඹිමින්,පුපුරමින්,අට පාරක් බෙල් එක ගසා හත් පාරක් දොරට තට්ටු කිරීමෙන් පසු ,අවසන කොට්ටාව හුවමාරුව වෙත පැමිණියෙමි.



යහ සමජ්හේ අච්චා කරනේ කී ලියෙ සමය හේයි !
මේ සොඳුරු උත්සාහය ආරම්භ කිරීමට කාලයයි !
_______________________________________________________

"ආච්චි දන්නවද ආච්චි? මම මේ වවුචර් එක ආච්චිට නොදී ටවුන් එක මැද්දෙ පාරට වෙලා උස්සගෙන හිටියොත් මොකෝ වෙන්නෙ කියලා?

"උඹව ත්‍රීවිල්කාරයෙක් හප්පන් යයි "

මම නැවතත් බෙල් එක ගසා ආවෙමි

"නෑ ආච්චි ,ගාමිණි ෆොන්සේකා පාරට බැස්ස වගේ කෙල්ලො මගෙ පස්සෙන් එයි.මාව හපයි..හූරයි..කොනිත්තයි..."

"අර මොකෝ? "

"රෙද්ද තමා ආච්චි..

"කියපන්කො උක්කුං"

"රෙද්ද ආච්චි රෙද්ද  ....රෙද්ද තමා"

"දැන් උඹට වැඩිහිටියන්ට කතා කරන්නත් තේරෙන්නෙ නෑ නේද?"

"නෑ ආච්චි ..රෙද්ද ..ඇඳුම්"

"ඉතින් මොකෝ?"

"ඔය රෙද්ද හදල තියෙන්නෙ මොනවා වලින්ද ආච්චි" මම විත්තියේ නීතිංඥයා මෙන් හරස් ප්‍රශ්න නැගුවෙමි

"මොනවාවලින්ද ආච්චි" මන්ද්‍ර ස්වරවල සිට උච්ච ස්වරවල නිම් හිම් සෙවුවෙමි.

"නූල් වලින්නෙ උක්කුං"

"එහෙනම් ඔබ කියන්නේ...මේ රෙද්ද...මේ රෙද්ද නූල් ගොතල හදපු එකක් කියලද?"

තීව්‍රතාවයෙන් අධික ශබ්ධ තරංග කන වැටුණු කල්හී කඩිමුඩියේ එතනට දුවගෙන ආ සීයාගෙන්ද මම ඒ ප්‍රශ්නයම ඇසුවෙමි

'සීයා..ඔය සරම හැදිල තියෙන්නෙ නූල් වලින්ද?
 නැහැ සීයා නැහැ..සීයාගේ සරමවත් ,ආච්චිගෙ රෙද්දවත් හැදිලා තියෙන්නෙ නූල්වලින් නෙවේ,මනුෂ්‍යයාගේ අභ්‍යන්තර චින්තනාවලි ඒකරාශී වීමේන්.එකට ගෙතීමෙන්.මක්නිසාද යත් රෙද්ද යනු මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය බාහිරට පෙන්වන කැඩපත"

"අනේද කියන්නෙ පුතේ.දැන් කාලෙ රෙදි ඔහොම්මම තමා.අබ්යන්තරේ බාහිරට පෙන්නන එකම තමා තියෙන්නෙ"ආච්චිගේ ප්‍රතිචාරයත් සමඟ මගේ සොඳුරු උත්සාහය ප්‍රොෆිට් කරන වගක් පෙනුනි.

"වැඩිය ඕනෙ නෑ බලහං අර සාගතසිංහගෙ ලොකු කෙල්ල කරපු වැඩේ..අර කවුද ලංකා කන්ඩායමේ ක්‍රිකට් ගහන කොලුවා දවසක් කිවුවලු අපේ හැමදේකම විනිවිදබාවයක්ද මොකක්ද තියෙන්න ඕනෙ කියලා.මේකි පහුවින්දම අර කඩල පැකට් කරන්න ගෙනාපු පොලිතින් මල්ල ඇඳගෙන පන්ති ගියානෙ"සීයා මාතෘකාව වෙනස් කර ප්‍රතිගාමී බලවේගවල අතකොලුවක් වීමට සූදානම් විය.

"මේක ඒ වගේ දෙයක් නෙවෙයි සීයා.ඇට ලේ මස් නහර වලින් පිරුණු මනුෂ්‍ය ශරීරයට ජීවයේ හුස්ම පොද පිඹින්නේ කුමක්ද ?රෙද්ද තමා ආච්චි...රෙද්ද
ආචිචි හිතන්නේ මම කාලද ඉන්නෙ?" අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි

"හප්පච්චියේ අමතක වෙච්ච හැටි..හිටපන් බෙදල ගන්නම්"

"එපා ආච්චි එපා" මම කේශර සිංහ නාද නැගුවෙමි.බල්ල උඩු බුරන්නට පටන් ගත්තේය.

"මම කෑවා කියා උපකල්පනය කරන්න ආච්චි.මගේ බාහිර වෙනසක් පෙනේද?"

"පැච් එකක් තියෙන රෝදෙකට කොච්චර හුලන් ගැහුවත් වෙනසක් නෑ පුතේ"මෙය සීයාගේ කින්ඩි සම්පන්න වදනක්යයි සැකයක් උත්පාදනය විය හැකි වුවද,සීයා විසින් එය පවසනු ලැබූයේ අනීවාරතේ පරණ බයිසිලකලයකට හුළං ගසමින් හුන් දර්පණාගේ මල්ලීටය.

"නැහැ ආච්චි,නැහැ සියා..මගෙ විතරක් නොවෙයි.බොහෝ දෙනෙකු එසේයි.කෑවා නොකෑවා කියා වෙනසක් නැහැ.ඒත් නිකමට හිතන්න ආච්චි.මම අද මෙතනට ඉරිච්ච කබල් චව් ඇඳුමක් ඇඳගෙන මෙතනට ආවොත් මගේ වෙනසක් පෙනේද?"

"ඔව්නෙ"

"ආන්න ඒක නිසා තමා ආච්චි අපි නොකා නොබී හරි රෙද්ද ආරක්ෂා කරගන්න ඕනෙ.මක්නිසාද යත් පාරවල්වල චීන අකුරු සහිත බෝඩ්වලින් රටේ සංවර්ධනය නිරූපණය වන්නේ යම් සේද ,රෙද්ද මඟින් මනුෂ්‍යයා නිරූපණය වන බැවිනි.මේ ෂර්ට් එකෙන්,කලිසමෙන්,තොප්පියෙන් නිරූපණය වන්නේ එයයි"

"සර්ට් කිවුවාමයි දැක්කෙ.පංකාදු සර්ට් එකක් නේහ්" ආච්චි මගේ කමිසය ස්පර්ශ කළාය

"හ්ම් හ්ම්.කුරහන් පාටමයි..හොඳ පාට" සැමියාගේ යුතුකම ස්වකීය භාර්යාවගේ මත ස්ථීර කිරීම බැවින් සීයාද කට ඇරියේය.

"ආච්චි කෝ ගිනි පෙට්ටිය"

"ඔන්න ඔහෙ බුදු පාන ළඟ ඇති.මොකටද?"

ගිනි පෙට්ටිය සොයාගැනීමට සහ ගිනි කූරක් ගැසීමට ඒ හැටි වෙලාවක් ගත නොවුනු අතර හිතුවාටත් වඩා කලින් කමිසය කළු පාට විය..මම තුවායක් ගෙන ඇඟ වටේ ඔතාගතිමි.

"ඔන්න ඔය වගේ කලිසමක් තමා එදා ඇස්.බී.."සීයා නැවතත් ගිනි ඇවිලීමට  උත්සාහ කළේය.

"නෑ නෑ..පුතේ ඔයිට වෙනස්" ඒ ආච්චීය.සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.

"දැන් ආච්චි මගෙ තෑග්ග ගන්නෙ නැද්ද" මම ගිනි කෙළි සංදර්ශනය අවසානයේ ඇසුවෙමි.

"අනේ අපිට මොකටද පුතේ ඔච්චර ඇඳුම්? සාරියක් උනත් ඕන වෙන්නෙ කලාතුරකින්නෙ"

"ආච්චි හැම තැනටම සාරි අඳින්නද හදන්නෙ?ආච්චිගෙ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ.සීයා හැම තැනටම නැෂනල් එක ගහන්නද ලෑස්තිය?දෙන්නම මම කියනවට යං.."

උත්සාහය සාර්ථක විය.
ජෝඩුව යහ මගට ගැනීමේ උද්දාමයෙන් මම ලොකු වාහනය පැදෙවුවෙමි.සෙළුහංගන ටෙක්ස්ටයිල් වෙත ඒමට ගතවූයේ පැය කාලක් පමණි.එම ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේ ක්‍රිකට් තරඟයකි.ඇමතිතුමෙක් පාරේ පයින් යාම වැනි තරමක් ඇසට නුහුරු දසුනක් බැවින් මම එකෙක්ගෙන් ඒ පිළිබඳ විමසීමි.

"අපේ වයිෆ්ලා ඇඳුම් ගන්න ඇතුළට ගියා මල්ලි.කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අපි ගහනවා මැච් එකක්.මල්ලිත් ජොයින් වෙනවද.ඔවර්ස් පනහ වෙන්න තව බෝල් පහයි"

"ඔවර්ස් පනහක්?" මම මවිත වීමි

"ඔව් එක සයිඩ් එකක් බැට් කලා"

"එක සයිඩ් එකක් බැට් කලා"මම මවිත වීමි

"ඔව් ඔව් නවයට හත ගහන්නෙ..දැන් මැච් පහක් ඉවරයි"

"මැච් පහක් ඉවරයි?" මම මවිත වීමි

"ඔව් ඊට කලින් ටෙස්ට් එකකුත් ගැහුවා"

මම ගියෙමි

වැඩි දුරක් යන්නට ලැබුනේ නැත.කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රෑනක් ආච්චි වට කර ගත්හ.
පෙර කී "රෑන" කෙතරම් විශාලද යත් නැවත ආච්චිව දර්ශනය කරගනු පිණිස මටත් සීයාටත් කොපර කොපර පිපිඤ්ඤා මෙන් වටේ යන්නට සිදු විය.
(කොපර කොපර පිපිඤ්ඤා යනු එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවක එන මනඃකල්පිත ක්‍රීඩාවකි"

රෑන මැද්දෙන් ප්‍රීතියෙන් උද්දාමිත ශබ්ද මාලාවක් නැගෙන්නට විය..
"වාව්..ලුක් ඇට් දිස් ක්'වුස් ඇන්ඩ් ලයින්ස්"
"වට් අ ප්‍රිටි ස්ටයිල්.අයි රියලි ලයික්ද ෂේප් ඔෆ් දිස්"
"වී ෂුඩ් ඩෙෆිනීට්ලි බයි දිස්"
"ෆ්‍රොම් වෙයාර් ඩිඩි යූ ගෙට් දිස් ආන්ටි? විසූකදස්සනා පැෂන්ස් ඕර් සෙළුහංගන?"

කාරණය වැටහිණ.ආච්චිගේ චීත්ත රෙද්ද රසික උන්මාදනයේ ගොදුරක්ව තිබේ.ඈව ඉන් ගලවා ගැනිමට අප්‍රමාණ වෙහෙසක් දරන්නට සිදුවිය.කෙල්ලන්ගේ කඳුලු පිසින්නටත්,දුරකථන අංක ලබාගෙන මේ ඇඳුම ලබාගැනීමට හැකි ස්ථාන සොයා දීමට පොරොන්දු වීමටත්, එකෙක් දෙන්නෙක් ගෙදරටම ඇරලවීමටත් සිදුවිය.
නැවතත් ගමන ආරම්භ විය.
ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ හොඳ මෙන්ම දුර්ලභ ව්‍යාපාපාරික අවස්ථා සොයාගත් විටය.
රෝහල් ළඟ මිනී පෙට්ටි සාප්පු අරින්නේ ඒකය
ඇඳුම් කඩ ළඟ රත්තරන් බඩු උකස් කරන පොට් අරින්නේ ඒකය.
අපට ඊළඟ බාධාව පැමිණියේ ඒ පොට් වල පොරකන ඈයින්ගෙන්ය.

"හැබෑට උක්කුං මොකෝ මේ මිනිස්සු මෙච්චර ඇඳුම්වලට නහින්නෙ" ආච්චිගේ දකුණු අත කම්මුලේය.පටාචාරා වෙසක් නාට්‍යය බලන්නාක් මෙනි.

"කලිනුත් කිවුවෙ ආච්චි.අපිට හොඳට පොළොවෙ පය ගහල මේ සමාජයේ පෙනී හිටින්න ඕනෙනෙ..ඒකට මොනව නැතත් හොඳට අඳින්න ඕනෙ.කොච්චර ඩයල් එකක් උනත් වැඩක් නෑ කබල් රෙදි අඳිනවනම්"

"මිනිහෙක් මනින්න හොඳද බන් එහෙම..මට මතකයි අපි පොඩි කාලෙ මහත්මා ගාන්ධි තුමා එංගලන්තෙ රජ්ජුරුවොයි මහ රැජිණයි බැහැදකින්න ගියා ඒ උත්තමයගෙ අර රෙද්ද ඇඳගෙන"


"ඔව් ඔව් ඒක නේන්නම්..බලන්නකො කරල තියෙන වැඩේ.කුවීනුත් ඊට පස්සෙ නෙට් එකේ කියල තිබ්බ.එයාට ගොඩක් ලැජ්ජ හිතුන කියලා ඒ ෆැෂන් එක ගැන"

"හරි දැන් උක්කුං කියන විදියට මනුස්සයෙක් කෑවත් නැතත් ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයෙක් මොන ජඩ වැඩේ කළත් ඒව වහගන්න ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"අනිත් ඈයින් අතරෙ පිළිගැනීමක් ඕනෙ නම් තැනට ඔබින විදියට ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයන්ගෙ හැම උවමනාවකටම උඩින් තියෙන්නෙ?"

"රෙද්ද තමයි ආච්චි"

මගේ ඉවසීම ඉහවහා ගියේය.

"ආච්චි දැන් ආච්චිට රෙදි එපාද?හණමිටි අදහස් තියෙන මිනිස්සු.එපානම් ගෙදර යන්.මට බඩගිනියි දැන්.මොනවද උයලා තියෙන්නෙ?"

"රෙද්ද තමයි උක්කුං".


නිමි

තව යන්න.
ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !
ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් 


අනීවාරතේ පටන් ගෙන දැන් බොහෝ කලකි.මේ වෙනසකට කාලයයයි සිතේ.ඔබේ අදහස් ඉහළින් අගය කෙරේ.

Share:

21 comments:

  1. //සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.//

    අතරමැද යෙදුම් මා අමන්දානන්දයට පත් කළා..

    ඇත්තට රෙද්ද තමා ඉතුරු - බඩ පොත්තට ගිහින් තියෙන්නේ...!!

    ReplyDelete
    Replies
    1. අමන්දානන්දයට පත් වූවා පමණක් නොව අත්දකින්නටද වෙන වග පෙනේ
      ජයවේවා !

      Delete
  2. Replies
    1. ඔව් ඔව් රෙද්ද තමයි
      ඇයි මොකෝ?
      ජයවේවා !

      Delete
  3. රෙද්ද තමයි ...!!!! තව ටික කාලයක් යද්දී රෙද්දත් නැතිවෙන සයිස් එකක් තියෙන්නේ ගැටයෝ...
    කතාවනම් එලට ලියලා තියෙනවා..., උබේ ෂර්ලොක් හොල්ම්ස් ගේ ඒවාට පස්සේ ආච්චිගේ කතා තමයි මටනම් අල්ලලා යන්නේ ..

    ReplyDelete
    Replies
    1. හික් හික්
      රෙද්ද නැති වෙනවා කියන්නේ අපිත් නෑ තමයි
      උඹ කොහොමත් ආච්චිට ආදරේ වග මම දන්නවා !

      Delete
  4. Supiri ... :)
    -- Amith

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි (ගෙම්බෝ? )
      ජයවේවා !

      Delete
  5. රෙද්ද මරුවටම ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. රෙද්ද ගැන වර්ණනාවට ස්තූතියි කොල්ලා
      ජයවේවා !

      Delete
  6. රෙද්ද තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔක්කොමට මුල
      ජයවේවා !

      Delete
  7. හහහා... සිරා ඕයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්කෝ රජෝ !
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  8. බොලාගෙ ආච්චිනම් මේ කපේදි හැදෙන කෙනෙක් නෙමේ... වෙනදා වගේම එළස් හරිය !

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සොඳුරු උත්සහ දැන් වහ කදුරු වේගන එන්නෙ
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  9. බොලාගේ ආච්චි උන්නා නම්, ආච්චිගේ *** උත්සාහයන් Topics ටික කියෝලා ආයිත් පොලොව පලන් යනවා

    අනිවාරතේ ෂර්ට් පොජ්ජ ගන්ට එනවද මේ පැත්තේ...අද හෙට.. ?
    :-)

    ReplyDelete
    Replies
    1. ලීක් කොරන්ඩ එපා බන් ඒක
      මේ වීකෙන්ඩ් ගේම ෆිනිස් කරමු
      ජයවේවා !

      Delete