Oct 5, 2017

රූපවාහිණී බලා ආනන්දයෙන් ප්‍රඥාවට ගියෙමි !



ටීවී බලන සත්පුරුෂයන් සතු , ජීවිත සත්‍යයන් ඇති සැටියෙන් පහදාගැනුමට අවැසි පරිචයන්ද,ඔවුනගේ පරිණත දැනුමද අහිමුව, විශාල හීනමානයකින් මා පෙළෙන්නට වූයේ අපේ ගෙදර ටීවී එකක් නැති හෙයිනි.සමාජ සත්වයෙකු වශයෙන් මිනිසාට සිය ජීවන ගමනේදි විඳින්නට සිදුවන සියළු දුක්ගැහැට මැඩලමින් ඉදිරියටම යෑමට අවැසි පරිසාදනය ගොඩනැංවීමෙහිලා රූපවාහිණිය මඟින් සිදුවන මෙහෙය මට මොනවට පැහැදිලි වී තිබුණි.

හදේ නැගෙන්නා වූ චිත්තවේගය, චිත්ත පීඩාව දරාගත නොහැකි තැන, මා සමඟ එක ගෙයි කමින් හුන් බයිකයද උකස් තබා ලබා ගත් මුදල්ද ගෙන මම රූපවාහිනියක් මිළදී ගැනීම පිණිස සෝ රූම් එකක් වෙත ගියෙමි.ජීවිතේ කරන කියන සෑම දෙයක්ම ඉහළම මට්ටමින් සහ උසස්ම ප්‍රමිතියෙන්ම සිදුකරන බැවින් (සභාවේ තදින් කැස්ස ) මිළ අඩු කුඩා බාල එකක් මිළදී ගැනුමට සිත් නොදිනි.ඉස්සර ටීවී එකක් ගැනීමේදී අත්පිට මුදල්,උප්පැන්න සහතික, වෛද්‍යය වාර්තා ඉදිරිපත් කරමින් බාල්දු වූ පාරිබෝගිකයා දැන් සේල්ස් මෑන් පදිරි කරන හැටි දැක උපන් පහන් සංවේගයකින් යුතුව මම ඉදිරියට සක්මන් කළෙමි.
කෙළවරේම ටීවී එකේ සයිස් එක අගල් වලින් දක්වා තිබුනු අතර එය මිලිමීටර් වලට කන්වර්ට් කිරීමේදී ලැබුනු උත්තරය බැදුම්කර වංචාවේ ප්‍රමාණයද පැන්නූ හෙයින් මම ඉගැන්නූ ගුරුවරුන්ට නිගා නොදී  මුදල් කැසියර් එකට හැලුවෙමි.ඉන්පසුව ආයතන කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටීමට සිදු වූයේ එම ආයතනයෙන් අවුරුදු ගණනාවකට පසු අත්පිට මුදලට භාණ්ඩ මිළදී ගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඊළඟ ප්‍රශ්නය ඇතිවූයේ සද්දන්ත ටීවී රාජයා ගෙදර ගෙන යාමේදීය.ටීවී එකේ පරිමාවත් මගේ පරිමාවත් ගණනය කර බැලූ තුන් රෝද රථ රියදුරෙකු,මගේ හයර් යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේ විනයගරුක රියදුරෙක් ලෙස මෙවැනි විශාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේන් මගියාත් තමාත් අනතුරට පත්කරගැනීමට සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක්ද තමන්ට නොමැති බව පවසමිනි.ඉන්පසු ඩීමෝ බට්ටෙක් තුළ වැඩම වූ ටීවීය,ගෙදර දොරෙන් ඇතුළට ගැනීමට මා දැරූ ප්‍රයත්නය දෙවෙනි වූයේ හයිවේ එන්ට්‍රන්ස් එකේ අඩි විස්සේ කන්ටේනරයක් යූ ටර්න් එකක් ගැසීමට පමණි.
සූර්ය රාජයාණෝ අපරදිග අහසේ පෙන්ෂන් යද්දී  මගෙතුළ ශට් අප් වූ ටීවී රාජයාණෝ  (ඉංග්‍රීසියෙහි ශට් ඩවුන් යනු  මැසිමක් ඕෆ් කිරීම වන අත‍ර ඔන් කිරීම ශට් අප් වේ) සිය මහේශාක්‍ය ලීලා දක්වමින් විහිදුවාලූ රශ්මි කදම්බයන් කෙසේ වීද යත්, එරැස් දැක නොමග ගිය එහා ගෙදර ඇන්ටි බෙරිහන් දෙමින් ඇගේ ළමයින් ඇදෙන් නැගිට්ටවා, ඇදුම් අන්දවා පාසල් යැවීමට සූදානම් වූවාය.උන්ගේ මොඩන් නම් ටික එක දිගට උච්චාරණය කරමින් සිටි ඇන්ටියාගේ සද්ද වැහුනේ හක්ක පැනීම නිසා විය යුතුය.

ටීවී රජානෝ ශට් අප් වී පැය බාගයක් යාමටත් පෙර මට, මගේ ආයෝජනය ගැන පැහැදී පහන් සිතුවිලි පහල වන්නට විය.මුලින්ම එතුමා ඉදිරිපත් කළේ ඉතාමත් හාස්‍යජනක චිත්‍රපටියකි.එපමනක් නොව ත්‍රාසය,භීතිය,කුතුහලය,කිචිය සහ ප්‍රීති කසාන තොග පිටින් තිබුණු, එක්තරා කල්පිත රටක් ගැන කියවුනු එය ඉතා ඉක්මනින් අවසන් විය.අවසානයේ නම් පෙළ දැමූ අතර ඊට කළින් "විදෙස් පුවත්" කියා කිසිසේත්ම අදාළ නැති කෑල්ලක් පෙන්නීමට යෑමෙන් චිත්‍රපටියේ සම්පූර්ණ  හරයම විනාශ විය
ඊළගට මේ යන්නේ ටෙලි නාට්‍යයක් විය යුතුය.

තමන් මළගෙදරක සිටී යයි වැරදි අදහසක සිටි කාන්තාවක් ඊළගට ඇඩීම පටන් ගත් අතර එය අවසන් කළේ වෙන චැනල් එකක වෙන ගෑණියෙක් පැය දෙකකට පසුය.යම් ප්‍රශ්නයක් ගෙදර ඇති වූ විට පවුලේ උදවියද, නෑදෑයෝද ,ග්‍රාම සේවකද කොටින්ම මේකප් ආටිස් ද පැමිණ සාලය මැද රවුමක් සෑදී එය විසදන අතර, අන්තිමේ හොයා බැලූ විට ප්‍රශ්නය පරිප්පු හොද්දට ලුණු මදිවීම, ඉදලේ ඉරට්ටක් කැඩීම,වත්තේ ඇවිදින විට බලු බෙට්ටක් පෑගීම වැනි දෙයක් විය.අප විසින් සුළු කොට තකන එවැනි ප්‍රශ්නයක් පවා,ඇමෙරිකාව නෝත් කොරියාවේ මිසයිල්ස් ලොකේසන් හොයන්නාක් මෙන් හෙණ ගේමක් දී විමසන අයුරු දුටු මට ප්‍රඥාවෙන් කොටසක් පහළ විය.

සාරාංශයක් ලෙස කතාවල කපල් එකක් සිටින අතර උන්ට වින කයින දුශ්ඨයෝද සිටිති.එකී දුශ්ඨයන් උදේ නැගිටගත් වේලාවේ සිට කද්දීත් බොද්දීත් ලැට් එකට යද්දීත් කල්පනා කරන්නේ ගේමක් දෙන හැටි ගැනය.ඒවායේ ප්‍රතිඵල ලෙස ළමයි කිඩ්නැප් වේ.කෑම වලට වස වැටේ.මානව හිමිකම් කවුන්සලයේ පෙත්සම් ගොනුවේ.මේ සියල්ල මැඩලමින් කපල් එක ජයගන්නා බවක් පෙනුනත් එහෙම නැත.එය දැකගත හැකිවනු ඇත්තේ අන්තිම එපිසෝඩ් එක බලන  අපේ මුණුබුරාටය.කෙසේ වුවත් කපල් එකේ නොපසුබට උත්සාහයන් දුටු මගේ ප්‍රඥාවෙන් තවත් කොටසක් පහළ විය.

ටීවී උතුමානෝ වදාරණ කතාවල ගලා යාම අපූරුය.පෙරකී කිඩ්නැප් වූ ළමයා නැවත ගෙදර ගෙන ඒමේදී අම්මා හැපින්නක් බවට පත්වේ.එතනින් යන නයි නටවන මිනිහෙක් හැපින්න අල්ලා ගෙන යන අතර ,මිනිහා ළග සිටින වදුරා ඊට ඔරොප්පු වී පැනයයි.චාල්ස් ඩාවින් පරිණාම වාදය සොයාගන්නේ එම වදුරා පරීක්ෂා කිරීමෙනි.දවසක ඔප්පු වූයේ ඩාවින් යනු අර හැපින්නගේ අක්කාගේ කලින් කසාදේ මිනිහා බවය.ඒ අක්කා එවකට බලවත්ව උන් ව්‍යාපාරිකයෙක් බංකොලොත් කර අනාත කර දැමීය. පොර දැන් මහ පාරේ අයාලේ යන අතර ඉදහිට නයිද නටවයි.අර හැපින්න අල්ලා ගත්තේත් ඌමය.

මෙසේ ගලා යන කතාවන් දැකීමෙන් අනීවාරතේ ලියන මට දැවැන්ත හීනමානයක් සමග ප්‍රඥාවද මතුවිය.එම කතන්දර ඉන්දියාවේ සූට් කර මෙහෙදී ඩබ් කොට අපිට සූට් කරන බව මම පසුව සොයාගතිමි.

එදා රෑ එළියෙන් ඇසුනු අඩි සද්දයක් පසුපස ගොස් මම ගැසූ පොලු පාරෙන් ඔලුව පලාගත් පුද්ගලයා ,ම්නිස්සු උන්ගේම ටෙලි බලන්නේදැයි සොයා බලා තෑගි දීමට එක්තරා ටීවී චැනල් එකකින් එවන එකෙක් බව මම දැනගත්තේ නිවුස් වලිනි.

පහුවදා උදේම මිරිස් නැතුව මිරිස් හොද්දක් හදාගන්නා හැටි ඉගෙන ගත් මා ඉන්පසු එක්තරා පෙත්තක් නොගැසුවහොත් අනිත් අයද මා මෙන්ම විරූපී වන බව දැනගත්තෙමි.මගේ මොළයේ නියුරෝන හිග කම සහ දත් වල හිමෝග්ලොබින් නැති වීම,දාඩිය ගද හැමීම කාලයක්ම මට තිබෙන ප්‍රශ්නයක් බව ටීවී ඇඩ් එකක් පහදා දෙන තෙක් මම දැනන් උන්නේ නැත. මස්තබාල්දු නොවීමට අර කිරි බීමට අවශ්‍ය බවද, තේකක් බී එහි මණ්ඩි ටික තැපැල් කර යැවීමෙන් ලංකාවටම එක කාර් එකක් ලැබෙන බවද මම දැන ගතිමි.කොටින්ම මොළයේ ප්‍රඥා විපර්‍යාසයක් ඇති විය.

ඒ ප්‍රඥාව නිසා ඔළුවත් බර වුනු නිසා මම දැන් ඇවිදින්නේත් ඇලේටය.

මම දැන් ඉන්දියන් ක්‍රමයට කමි.අදිමි.නාමි ලැට් යමි.මමත් දැන් ශ්‍රී ලාංකික නොවීමෙන් අනිත් ශ්‍රී ලාංකිකයන්ටම සමානය.ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මගේය.ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්දියන් වන අතර හින්දුස්ථාන් සින්දාබාත් වේ. එසේම ECTA ගිවිසුමටද මම විරුද්ධ නැති අතර ඒවාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ගෙදරට පැමිණෙන අයගේ පාත්තරවලට කිඹුලා බනිස් දමමි..

මක්නිසාද යත් මා දැන් ඉන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ගොස් නිසාය !

Share:

4 comments:

  1. මට දැනුනේ ආනන්දයෙන් රෝයල් එකට ගියා වගේ මෙව්වා එකක් :)

    ReplyDelete
  2. හිනා වෙවී බැලුවා. හිනැස්සුවට පිං. ඇයි අහවල් රටෙන් එන තරු කුමරා බැලුවා නම්
    දැනට ලබලා තියෙන ප්‍රඥාව දෙගොඩතලා යයි. අත් දැකීමෙන් කියමි....D:

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete