Oct 28, 2017

පිස්සෙක් ලවා කේන්දරේ බලවාගත්තෙමි !



"බොහොම බලගතුයි.දක්ශ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්"

"ඔව් ඔව් සහතික ඇත්ත.ඔය කිවුවෙ බලාගෙන හිටියා වගේ...වෙන මොනවද ඉතින් පේන්නෙ? "

කාලෙකට පස්සෙ හරි හමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝශයෙන් ඇඟත් අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා.

"දැන් මහත්තයෝ මේකනෙ.මහත්තයාගේ සෙනසුරු මහ දසාව ගෙවී ගෙවී, හතේ ඉන්න කුජය ටික ටික බැල්ම දානවා.එතකොට ශනි දෝශ කාරිය සැර බාල වෙලා ගිහින් බරහස්පති තමා ඉස්සරහට ඉන්නෙ

දැන් ඔය ටෙක්නිකල් ඩීටේල්ස් අපිට මොකෝ? ඔය කියන ග්‍රහයො එහාට මෙහාට අවලමේ ගිහින් අපිට වෙන දේනෙ දැනගන්න ඕනෙ.

"හා හා හරි හරි ඉතින් එහෙම උනාම මොකෝ වෙන්නෙ?.සෙනසුරානම් අනිවාරෙන්ම අතක් පයක් කඩනවලු නෙහ්?"

"අ අ..හම් හම්...ඇක්සිඩැන්ට් එකක් හරි .,අසනීපයක් හරි ආවොත් තමා"

ඒකත් හරි ඉතින් අතක් පයක් කැඩෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න එපායැ..ඉතින් දැන් ඕක මේ යකාම කියන්න ඕනෙද

"ඒක නේන්නන්..දැන් ඕක වළකන්න මොකෝ? මැණික් මුද්දක් දාන්න වෙයිද? බෝධි පූජා?"

"ඔව්වොව්..ඒවා නරක නෑ.හැබැයි ඉතින් හොඳම දේ වැඩිය අනතුරුදායක වැඩවල නොයෙදෙන එක තමා"

මම ඒක තරයේ සිහියට ගත්තා.පස්සෙ කතා කරලා මුද්දක් හරි, සුරයක් හරි ඉල්ල ගන්නවා වැඩි හොදට.දැන් ඔය ක්‍රිකට් ගහන උන් උනත් බෝල් ගාඩ් දාන්නෙ,මොකෝ වැදුනට පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නෑනෙ.

ඊළගට මට මතක් උනේ මේ උතුම් මාතෘ භූමියේ අභිවෘද්ධිය සහ ඉදිරි ගමන වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ වන රටින් පිටවී වෙන රටකට යන එක ගැන.

"ඉස්සර එක්කෙනෙක් කිවුවා විදේශ රැකියා යෝග තියෙනවා කියලා"

"ආආආ හිටින්ට...ඔව් ඔව්..හැබැයි ඉතින් ටිකක් මහන්සි වෙලා..රට රැකියා පුරප්පාඩු හොයලා ඉල්ලුන් කරන්න වෙයි"

වැඩේ හරි වගේ !

"මන් මොනවද කරන්න ඕනෙ ඉතින්..නැද්ද විදේශ ටුවර් වලට අධිපති දෙයියෙක්?"

"එහෙමටම දෙයක්නම් ඕනෙ නෑ...ම්ම්ම්ම්ම්..   හැබැයි රජෝ මං මේ ඊළඟට කියන දේවල් ටිකනම් හරියටම තියෙන්ඩ ඕනෙ"

"මොනවද? මොනවද?"

"පාස්පෝට් එකයි වීසයි"

(මුගෙ ආච්චිට ! ඒක මූ කියන්න ඕනෙද )

විදේශ ගමන් ටිකක් පරක්කු වෙන නිසා මේ ඉන්න කාලෙ පණ ගැටගහගන්න එක ගැනත් කල්පනා කරන්න ඕන.

"එතකොට ධන ලාබ? මේ දවස්වල අමාරුවෙන් තමා ජීවත් වෙන්නෙ"

"ම්ම්ම්ම්ම්...රවිනම් හත්වැන්නෙ ස්ථානගත වෙන එක..."

"ඔව් ඔව් හොඳයිද?"

"හොඳයිනම් තමයි....ඒකට හැබැයි වෙනදට වඩා මහන්සි වෙලා වෙන රැකියාවක් හරි කරලා හම්බු කරන්න වෙනවා"

"හා...රවී ඉන්න හින්ද හරියයි නෙහ්"

"ඔව් ඔව් රවී එක්ක ඉඳලා හරි ගිය අයත් ඉන්නවා...හැබැයි පරිස්සමෙන්..වෙන මොනවද දැනගන්න ඕනෙ?"

"විවාහය එහෙම"


"සිකුරා හත්වැන්නේ ස්ථානගත වීමනම් හොද ලකුණක්..ඒකේ හොද ප්‍රතිපල ගන්නනම් ඔය පත්තරේක මංගල දැන්නීමක් කාරිය දාලා.දන්න කියන කපු මහත්තයෙක්ට කියලා බලන්න"

"මට ඉතින් මේ ආව එකේ ආරක්ෂවටනම් මොනාහරි ඕනෙමයි.අපේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා මට හොදටම දැනිලා තියෙනවා"

"ඒ කොහොමෙයි"

"ඔන්න දවසක් දා මහ දවල් අපේ දොර දඩාස් ගාලා වැහුනා.ඊට පස්..."

"හා හා මම දන්නවා"

"අනේ ඔබතුමා දන්නවද.පෙරේතයෝ අල්ලන්න හොද කට්ටඩියෙක් දන්නවද.කුප්පියක දාලා"

"නෑ නෑ ඒවා ඉස්සරහට බලමු.දැන් ගොඩින් බේරගමු...........දුවේ දුවේ....."

කොහෙන්ද ඉදන් කඩා පාත්තුන දුවෙක් හක්ගෙඩියක් දීලා යන්න ගියා.

"ෂහ්...නියමයිනේ.හක්ගෙඩියක්.මේකෙ කොයි පැත්තටද කැරකිලා තියෙන්නෙ?"

"ඒකෙනම් මන් දන්නෙ නෑ.ඔය අපේ දුව කොහෙද ට්‍රිප් එකක් යද්දි දැකලා උස්සන් ඇවිත්.මන් මේක මහත්තයට දෙන්නම්"

"හානේ නිකන්?ඔබතුමාටනම් බුදු බව අත්වෙන්න ඕනෙ.දැන් මේකට මම පුද පූජා කරන්නෙ කොහොමද?"

"එහෙම ලොකු දෙයක් නෑ.ගෙදර ගිහින් හොද බරට හිටින්ඩ වැලි පුරවන්ඩ මේකට"

"හා හා ඊට පස්සෙ දුම අල්ලලා"

"නෑ නෑ..ඊට පස්සෙ දොර ඇරපු වෙලාවට අඩේට තියන්න"

"ඒ මොකෝ.?"

"නෑ ඉතින් අර දොර එකපාර වැහෙන්නෙ හුළගට වෙන්ඩැ.ඕක තියන්න හරි යයි"

"ඔබ තුමා මාව විහිළුවකට ගත්තද?මට මේ තියෙන දහසක් ප්‍රශ්න වලට දුක වලට උත්තර හොයාගන්න මන් ආවේ"

"දුකනම් ඉතින් හැමෝටම උරුමනේ මහත්තයෝ.මං ඒකටත් පිළියමක් කරන්නං"

"කියන්නකො බලන්න"

මහත්තයා මේ දුන්න රුපියල් සීයත් අරන් යන්න.යනින් ගමන් පාන් රාත්තලකුයි .ඒ පෝ කොළ තුනක් හතරක් විතරයි ගන්න"

"හා හා හරි හරි"

"ගෙදර ඇවිත් අර එක කොළේක ඔය මහත්තයාට තියෙන සියළුම ප්‍රශ්න ලියන්න"

"හරි හරි ඊට පස්සෙ ඒක රෝල් කරනවා.මං දන්නවා මේ වීඩියෝ එකේ තිබ්බෙ ඕක...මේ මෙන්න මේක 

"ඉන්නකෝ මහත්තයා...ඊට පස්සෙ අනිත් කොළේ අරන් අර ප්‍රශ්න එක එකක් එන්න හේතු වෙන වෙනම ලියන්න"

"ඊට පස්සේ ඒකත් රෝල් කරනවා"

"නෑ..ගන්න අනිත් කොළෙත් අරන්  ඒකෙ ලියන්න අර ප්‍ර‍ශ්නවලට හේතු වළක්වලා  ප්‍රශ්නයත් වළක්වන්න මහත්තයාට කරන්න පුලුවන් දේවල්"

 "ඊට පස්සෙ කොළ තුනම රෝල් කරලා පාන් ගෙඩියේ හිලකුත් හදලා"

"නෑ නෑ එහෙම නෙවේ..ඊළඟට තියෙන්නෙ නොපසුබට උත්සාහයෙන් අර තුන්වන කොළේ ලියපු ඒවා ක්‍රියාත්මක කරවන එක"

"එතකොට අර පාන් ගෙඩිය මොකටද?"

"ආආ ඒක..මහත්තයාගේ ප්‍රශ්න ගොඩත් එක්ක ඔය ඔක්කොම ලියලා ඉවර වෙද්දි රෑ බෝ වෙයිනෙ..මොනාහරි හොද්දක් හදාගෙන අර පාන් ගෙඩිය කන්න..බඩගිනිනෙ"

"ඈ යකෝ කපුවෝ...මං තොගෙ ළඟට ආවෙ බඩගිනි උනාම පාන් කන හැටි  දැනගන්නද? රට යන්න වීස ඕනෙය...පරිස්සන් උනොත් අනතුරු වෙන්නෙ නැතිය..ඒවත් තෝම කියන්න ඕනෙද? මනුස්සයෙක් ප්‍රශ්නයක් තියාගෙන මේ වගේ තැනකට එන්නෙ මොකක් හරි සහනයක් හොයාගෙන..ග්‍රහ අපල වලින් මිදෙන්න...පෙරේත කුම්බාන්ඩ දෝස වලින් මිදෙන්න..තෝ දන්න රෙද්ද..දීපිය මගෙ රුපියල් සීය..මං යනවා"

මම ගස්සගෙන නැගිටන් කාමරේ දොර ළඟටම ගියා..ආපහු හැරෙන්න උනේ අර පිස්සගේ අන්තිම වතාවටත් කතා කරන්න ගත්ත නිසා

"මහත්තයෝ !...එළියෙ ඉන්න හතුරන්ට අපිට කිසිම හානියක් කරන්ඩ බෑ, ඇතුළෙ හතුරෝ නැත්නම් !"



(අන්තිම වාක්‍යය ගත්තේ අප්‍රිකානු කියුමකින්..)

Share:

9 comments:

  1. බොහොම ස්තූතියි ලිපියටයි අර වීඩියෝ ලින්ක් එකටයි. මං ඕක හොය හොය හිටියෙ ගෙදර අයට පෙන්නන්න. අම්මපා
    මේ වගේ කාලකණ්නි මිනිස්සුයි උන්ව පුම්බන මාධ්‍යයි දෙගොල්ලටම තලන්ට ඕනෙ මඩුවල්ගෙන්. මේව විකාර බව පෙනි පෙනී මේව පස්සෙ දුවන උන්ට ගහන්ට ඕනෙ මඩුවල්ගෙ දෙපොට දාල. මං හරි නේද?

    ReplyDelete
    Replies
    1. මඩු වල්ගෙ දෙපොට දාලා.එකත් මරු
      ඔව් ඔබ හරි

      Delete
  2. ඊයේ තාප්පයක් පිටින් ඇගට පෙරලිලා චප්ප නොව් බේරුනේ පුදුම විදිහට තව ටිකෙන් රොටි හැන්දකින් තමයි ගලවල ගන්න වෙන්නේ .
    ඒ ටිකට අක්ක කේන්දරෙත් බලල රහු මහ දසාව කිවුවලු අවුරුද 2 ක් යනකම්ම.

    ReplyDelete
    Replies
    1. ඔව් රාහු වල පවර්ස් වලට තාප්පවල අත්තිවාරම් ලූස් වෙන සීන් එකක් තියෙනවා

      Delete
  3. තැන කියාංකෝ මටත් වෙලාව බලවා ගන්ඩ !

    ReplyDelete
  4. වරෙන් අපේ ගෙදර
    මම බලන්නේ

    ReplyDelete
  5. "මහත්තයෝ !...එළියෙ ඉන්න හතුරන්ට අපිට කිසිම හානියක් කරන්ඩ බෑ, ඇතුළෙ හතුරෝ නැත්නම් !"

    අන්න කතාව

    ReplyDelete
  6. දැන් නම් රවිය ලබපුවාම තනතුරු අහිමි වෙන කොමිසම් ගානෙ රස්තියදු වෙන සීන් එකක් තමා තියෙන්නේ... හැබැයි ඉතින් ධන ලාභ තමා..... හා නැද්ද

    ReplyDelete