Apr 14, 2012

ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !

මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයක්-ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්


''උක්කුං පුතේ...හානේ එන්ඩ එන්ඩ ගෙට..''
මම කටපුරා හිනාවීමට උත්සහ කළෙමි.හිතන තරම් ලේසි නැතත් අඩු ගානේ උත්සහ කළ යුතුය.
''ඉතිං ඉතිං ..මතක් උනා නේද අපිවත්..''
'එන්න නෙවේ ආච්චි හිටියෙ..කට්ටියටම fb විශ් කරා''
''ඇස් බී?"ආච්චිගේ ඇස් මෙච්චර ලොකුයැයි මම කලින් දැනගෙන හිටියේ නැත
 ''උඹ මොන එහෙකටද ඌත් එක්ක බජනෙට ගියෙ? වයිරක්කාරයො නේද?''
''නෑ..නෑ ආච්චි පේස්බුක්.ෆොටෝ එකක් එහෙම දාලා ටැග් කරන්න යද්දි ආච්චි හිටියේ නෑ.ඒ නිසා එන්නම උනා..මොකෝ ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කලාද?''
''අනෙහ්..මටනම් ඕවයෙ ගානක් නෑ ළමයෝ''
''හ්ම්..හ්ම්..ඒ උනාට ආච්..''
''දැක්කනම් අරන් තියන්නවත් තිබ්බ.අර කුස්සියෙ රාක්කෙත් එකක් ඇති මහිතෙ,ඒක නෙවේ කමු මොනවහරි .බඩගිනිත් ඇතිනෙ? ''
ආ..කමු කමු..යාළුවෝ නම් වෝල් එකේ නම් කෑම පිඟන් පිටින් ශෙයා (ර් ) කරල තිබුනා..ඒත් තාම බඩගිනියි...
''හ: ඇත්ත ඇත්ත යාළුවො නම් කොහෙත් එකයි අපිටත් උදේ ඉඳන්ම  කෑම  පිඟන් අරන් එනවා ගනුදෙනු කරන්ඩ.ඒක නෙවේ උඹ කෑම පිඟන් වලට මක්ක කළා කියලද කිවුවෙ?
"ශෙයා (ර්)..ශෙයා (ර්)..''
''ආහ් ඒක මිසක් ...විසි කරනව එහෙම නෙවී කෑම ''
කෑම මේසය ළඟට ගිය ආච්චි ,ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්, සුද්දෙක්ට අටමස්ථානය පෙන්වන්නාක් මෙන් එක එකක් කෑම ගැන විශේෂ හැඳින්වීම බැගින් සිදු කළාය.උපන්තේකට දැක ඇති ඒවා නොවුනත් මා තුළ ආච්චි කෙරෙහි ඇති අචල විශ්වාසය ක්ෂය නොවී පවතින බැවින් ,කෑම එකින් එක ක්ෂ‍ය වන්නට විය.ඒ අතර කතාබහක්ද ඇති විය
''මෙදාපාර නොනගතෙත් මහ දවල්නෙ ,ගිය පාර වගේ නෙවී'' ඒ ආච්චිය
''හ...මටත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා වැඩ අතාරින්න ඕනේ කියලා.අන්තිම මොහොතෙ තමා ලොග් අවුට් උනේ ''

''අවුට්? හනේ හනේ උඹේ කිරිකට් පිස්සුවනම්...හෙහ් හේ..''
''ඒ අවුට් නෙවේ ආච්චි ලොග් අවුට්..හැබැයි නොනගතේ ඉවර වෙනකල් හිටියේ නෑ ලොග් ඉන් වෙන්න..බලන්නකො ආච්චි....තුප්..තුප්..තුහ්...'' මම කේක් කෑල්ලත් සමඟ කටට ආ තෙල් කඩදාසිය එළියට දමමින්ම කතා කළෙමි
''නව අවුරුදු උදාවත් නොනගතේ මැද්දට දාලනෙ මේ පාර..ඉතින් විශ් කරන්න ආපහු ලොග් ඉන් උනා''

''අප්පච්චියේ උක්කුං පුතා!!!'' ඒ නම් අනිවාර්යයෙන්ම මාමාය..මම බෙල්ල හරවා බැලුවෙමි.නැත ඒ සීයාය.
''ඉතින් ඉතින් කොහොමද අවුරුදු?'' සීයා අලුත ගත් සරමෙන් අත පිසදාගෙන කැවුං ගෙඩියක් අතට ගනිමින් ඇසුවේය.
''හොඳයි හොඳයි සීයේ..ෆොටෝස් 24ක ටැග් වෙලා තිබුණා.ලයික් ඔක්කොම 247යි''
''අවුරුදු උත්සහේකට ඒම ගියා?''
''නෑ නෑ අවුරුදු උත්සවේ ගෙදරට ආවා''මම හයියෙන් සිනාසුනෙමි..සිනාසෙන විට මගේ ඇස් පියවෙන නිසා ආච්චිගේ හා සීයාගේ මුහුණවල මතුවුනු පුදුමය තැවරුනු බැල්ම දුටුවේ ටික වෙලාවකට පසුය.
''මොකක්?''සාමාන්‍යයෙන් දෙදෙනෙක් එකවර එකම වචනයක් පිටකරන්නේ නාට්‍යය හෝ චිත්‍රපටිවල  පුහුණුවීම් මාලාවකින් පසුවය.මේ දෙන්නා එසේ නැත.
''නෑ නෑ මම කිවුවේ මම ඔන්ලයින් කනා මුට්ටි ගැහුවා''
''ඇහ්..ඒ කොහෙද?'' නැවතත් දෙදෙනා,එකවර
''පේස්බුක් එකේ ඇප් එකක්..... කාමරේ ගැහුවෙ ''
හිනාවෙන විට ආච්චිගේත් සීයාගෙත් ඇස් පියවෙන්නේ නැති නිසා,ඔවුන්ට මගෙන් මතුවූ අජ-මොංගල් බැල්ම හොඳින්ම දර්ශනය වන්නට ඇත.
''අනේ මන්දා..දැන් වත් ඔය පාඩම් වැඩ ඩිංගක් නතර කළොත් නරකද? යමන් පන්සල්, තෙල් ගාන නැකතත් ළඟයි.''
''හා..හා සීයේ යමු''
ලද මඳ වෙලාවෙන් ප්‍රයෝජන ගනිමින් මම ජංගම දුරකතනයේ පේස්බුක් පිටුවට ගියෙමි.උඩින්ම නොටිපිකේසන් එකට රතු පාටින් 10 ඉලක්කමක් වැටී තිබුණි.උඩින්ම තිබුණු එකට නෙත් යොමු විය.

හදවත ප්‍රීතියෙන් පිනා ගියේය
''සියේ නිකං පන්සල් යන්න පැට්‍රල් පුච්චගන්න ඕනෙ නෑ...එන්නකො මෙතෙන්ට''


ගැටයා
අනීවාරතගාමී ඔබ ඇතුළු සියලූම හෝමෝ සේපියන්ස්ලාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Share: