Aug 4, 2012

ඇමතිතුමා කිඩ්නැප් කළෙමු !



සත්තයි අපි එය කළෙමු.
හුදෙක් ආත්මාර්ථයට නොනතුව,කිසිකලෙක නොදුටුවන් වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව ස්වකීය අවසන් ප්‍රාණ වායුව වා තලයට ක්ෂණයෙන් මුසු කිරීමට වුව නොපසුබට වූ වීර ධීර පරපුරක ඊළඟ පුරුක වශයෙන්  නොවේය.
අපට මේ දිනවල සල්ලි අඩුපාඩුය.


දෙදෙනෙක් පමණක් එක්වී ,රයිපල් හමුදාව, කාලතුවක්කු රෙජිමේන්තුව, ආදී බල ඇණි පවා පිරිවරාගෙන සිටින බලගතු ඇමතිවරයෙක් වැල මදුලකින් ඇටය ගලවා ගන්නාක් මෙන් පහසුවෙන් "උස්සාගෙන ඒම" අපට පුදුමයක් වුවද ලංකාවේ ඊට වඩා පුදුම වීමට දේවල් තිබෙන බව ඔබ කියනු ඇත.
කිඩ්නැප් කිරීමේ යාන්ත්‍රණය මෙහි කීමෙන් සිදුවන්නේ ආරක්ෂක යාන්ත්‍රණයේ ඇති සිදුරු හෙළිවීමය.එයින් අපේ ශරීරවල සිදුරු හැදීමටද ඉඩ තිබේ.කෙසේ හෝ දැන් අමාරුම හරිය ඉවරය.සල්ලි ඉල්ලීම පමණි ඉතිරිව ඇත්තේ.මුදල් සෙවීමේ පරම චේතනාවෙන් පුද්ගලයෙක්  ඉස්සීමේදී සළකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබේ.අංක එකට මිනිහාට සල්ලි තිබිය යුතුය.දෙවෙනුව මනුස්සයා නැති වීම රටේ දැවෙන ප්‍රශ්නයක් විය යුතුය.ඉක්මනට අපේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබෙන්නේ එවිටය.මේ පිළිබඳව මිතුරාත් සමඟ සාකච්ඡා කිරිමේදී නම් කිහිපයක් යෝජනා විය.අපගේ මේ ව්‍යායාමය හුදෙක් කීයක් හරි හම්බ කර ගැනීම විනා අතේ තියෙන පිච්චියත් වියදම් කිරීම නොවේ.එම නිසා කාන්තාවක් කිඩ්නැප් කිරීම නුසුදුසු බව මම ප්‍රකාශ කළෙමි.එය 3/3 කින් සම්මත විය.සිටියේ අප දෙදෙනෙක් පමණක් නම් 3/3ක් උනේ කොහොමදැයි විචාර බුද්ධියෙන් බලන හාදයන් සිතනු ඇත.තුන්වැනියා අවුරුදු 5ක 'සාර්ථක" පවුල් ජීවිතයක් ගෙවන එහා ගෙදර අංකල්ය.මේ දිනවල ඔවුන් පිඟන් සහ පීරිසි අහසේ පාවීමේදී සුළං හමන දිශාව ඇති කරන බලපෑම ගැන පර්යේශනයක යෙදී සිටිති.


විශ්ව විද්‍යාල සිස්සයන්නම් තේරුමක්ම නැත.උන් නැතිවීම රටට තියා ගෙදරටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත.නළුවන් ඉස්සීමෙන්ද වැඩක් නැත.එය රේටින්ග්ස් නග්ගා ගැනීමට විහින් කරගත් දෙයක් වග අනිත් නළුවන් විසින් ගොසිප් නවයට කියනු ඇත.ගුරුවරු හොයාගැනීම අමාරුය.පිකට් තියෙන්නේ කොහෙද කියා හරියටම සුවර් නැති නිසාය.විවිධ විවිධ හේතු නිසා ලිස්ට් එක කොට වන කල්හී ඇමතිතුමා පමණක් ඉතිරි විය.
කවුරු කෙසේ කීවද ඇමතිතුමෙක් නැති වීම රටට ප්‍රශ්නයකි.ඒ ෆ්‍රෙඩී සිල්වාද මිය ගොස් ඇති නිසාය.
දැවෙන ප්‍රශ්නයකි.ආන්ඩුවේ ඔපිස් එකක් පවා ගිනි තැබිය හැකි අන්දමේ දැවෙන ප්‍රශ්නයකි.සීතල වස්තූන් ගිනි තැබීම අපහසුය.අයිස් නැමැති ද්‍රව්‍යය හීතලය.
තීරණය ගෙන අවසන් වූ මොහොතේ පටන් සැළසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හෙළු දහඩියෙහි ප්‍රතිඵලයක් වශයෙන් මටත් ,මගේ මිතුරාටත් ඇමතිතුමාව කාමරයකට ගෙන යාමට හැකිවිය.



අපි ඇමතිතුමාට ඇමතුවේ ජනේලයක් තුළිනි .ඒ බයටවත් ,පිළිකුළකටවත් නොවේය.කලින් 8 දෙනෙක් නැවතී සිට මේ කාමරයට ඇමතිතුමා පැටවූ පසු එහි වාතයක් යැවීමටවත් ඉඩ ඉතුරු නොවීම නිසාය.
පුදුමයකට මෙන් ඇමතිතුමා කිසිඳු කලබලයක් ඇති නොකළේය.ඔහු කෙතරම් සන්සුන්ව සිටියේද යත් ඉක්මනින්ම අපි මුහුණ වසා තිබුණු රෙදි පඩංගු ගලවා,එතෙක් ගැට ගසා තිබුණු අත් පා පවා ලිහා දැම්මෙමු.සිරස කුමරිය එකට යන ළමිස්සියන් මෙන් මෙසේ දැන දැනම කරදරයේ වැටීමට කැමති අය ලෝකයේ ඉතා අඩුය.
ඔහු බොහෝ කුළුපගව කතා කළේය.
"පුතාලා මාව කිඩ්නැප් කළා නේද?"ඇමතිතුමා මගේ ඔළුව අතගෑවේය.
දෙබසේ ඉතිරි කොටස "පාහර බල්ලො...තොගෙ $%#^&^(^($"     නොවීය
"හොඳ පුතාලා ,අන්න එහෙම තමා ඉන්න ඕනෙ.පුතාලට කීයක් ඕනෙද?"
මෙය කලින් උත්තර සකසා ගෙන නොහිටි ප්‍රශ්නයකි.ම්ම්ම්ම් ණය ටික ගෙවා ගැනීමට රුපියල් පනස්දාහක් ඇතිය.
"අපිට ඕනෙ..ම්ම්ම්ම්ම් ලක්ෂ දහයක්!!"
ඇමතිතුමාගේ මුහුණ ද්‍රවාංකය පැන්නූ ඉටි රූපයක් මෙන් විය.(ඇඹරී ගියේය )
"චි..චී පුතා මම දෙන්නම් කෝටි දෙකා මාරක්"
"දරාස්" ගා ඇසුණේ ළඟ සිටි මිතුරා ක්ලාන්ත වී බිමට වැටෙන හඬය.
"හැබැයි මාව දිගටම තියා ගන්න ඕනෙ පුතාලා..යවන්නෙ එහෙම නෑ ගෙදර"ඇමතිතුමා හුරතල් විය.
"ඒ..ඒ..මොකද සෑර්?"කැඩුණු ස්වරයකින් ඇසුවේ බිම වැටී සිටි මිතුරාය,අවසිහියෙනි.
ඇමතිතුමාගේ ටෝන් එක ශෝකාකූල විය." එළියට ගියාම පුතාලා ,මුන් මට කෑගහන්නේ අස් වෙයල්ලා,අස් වෙයල්ලා කියලනේ.සරමක් ඇඳන් මම කොහොමද පුතා අස්වෙන්නේ?ඊට වඩා හොඳනේ කවුරුහරි මැර කල්ලියක් සොට් එක දුන්නා කියලා නිවුස් එක ගියානම්.මම නිකන්ම පොර වෙනවනෙ."
මට මේ යාන වාහන, මිල මුදල්, වතු පිටි,ඉඩම් කඩම්,හරක බාන"ඇමතිතුමා යුගල පද සෙවුවේය "ඒවා කිසිම දේකින් වැඩක් නෑනේ හිතේ සැනසිල්ල නැත්නම්.නේද පුතා?"
එය ඇසූ මට පුදුම වීමටත් ,මිතුරාට නැවත ක්ලාන්ත වීමටත් වුවමනා වුවද ඊට ඉඩක් නැතිවිය.එක්වරම ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් එක පිට එක වෙඩි හඬවල් හතර වටින්ම ඇසෙන්නට විය.භීරාන්තව ගිය අපට දෙවියන් සිහි වූයේ මෙවිටය.ගිය නුවණ අභියාචනාධිකරණය ලවා වත් හරිගැස්සිය නොහැක.පොලීසිය ඇමතිතුමා ඇති තැන සොයාගෙන විය යුතුය.මෙය අවසානයයි
ඔව් අවසානයයි.
මම බිම වැටී සීටි මිතුරාත් කෙලින් කරගෙන ඔහුත් සමඟම දණ ගසා අති දෙක හිසේ තබා ගත්තෙමි.පොලිසියේ උනත් සිටින්නේ මිනිස්සුය.ඔවුන්ට කරදරයක් වීම නොවටී.නෙතඟින් වැගිරෙන කඳුළු බිඳු ඔහේ කම්මුල් දිගේ පහළට යෑමට සළස්වමින් අපි හිස බිමට හරවාගෙන දැන් ගේට්ටුව තුළින් ඇතුලට එන පොලිසියට මුහුණ දීමට සූදානම් වීමු.වැඩි වේලාවක් යාමට මත්තෙන් අඩි ශබ්දය ඇසෙන්නට විය.කිසිඳු කටහඬක් නැත.ඒ ඔවුන් පුරුදු වී ඇත්තේ "හැන්ඩ්ස් අප්" කීමට වුවත් දැනටමත් අපි "හැන්ඩ්ස් අප් " නිසා කට උත්තර නැතුව විය හැක.
පොලිස් රාළහාමි මගේ පිටට තට්ටුවක් දැමීය.
"මල්ලි ගිනි පෙට්ටියක් තියෙනවද?"
මම වහා හිස හැරවූයෙමි.
"ගි..ගිනි..?"දැන් පොලිසියෙන් බේත් කොටන තුවක්කුද ගේන්නෙ?නැත මේ පොලිස් කාරයෙක් නොවේ.සිවිල් පුරවැසියෙකි.
"බලන්නකො මල්ලි ..අපි මේ රතිඤ්ඤා පත්තු කරනවා හන්දියෙ එක දිගටම.ගිනි පෙට්ටිය ඉවර උනානෙ.."
 "රතිඤ්ඤා? වෙඩි තිබ්බ නෙවේද?"
"වයර්ද මල්ලි.ඇමතිතුමාව කවුදෝ විජාතික බලවේගයක් කිඩ්නැප් කරලලු..හොයාගන්නවත් නෑලු..අපි සන්තෝසෙට රතිඤ්ඤා පත්තු කරනවා"
"නෑ....." මම මවිතය පළ කිරීමට උත්සහ කළෙමි.
"මෙච්චර සීන් එකක් මල්ලි දන්නේ නැද්ද?දැන් අර අනිත් පැත්තෙන් ආව මන්තිරීතුමාට ඒ පට්ටම දෙන්නලු යන්නේ.සැප තමා නේද?යාන වාහනද,සල්ලිද..."
"කවුද යකෝ...පාහර බල්ලෝ...කාළකන්නි හැතිකරේ"ඒ කාමරය තුළ සිටි ඇමතිතුමාය..ඔහු ජනෙල් පොලු වල එල්ලී බෙරිහන් දෙන්නට විය.
"මම නෑ කියල එක එක බල්ලන්ට මයෙ ඇමතිකම දෙන්ඩ? පු* නීතියක්නෙ..ඇරපියව් මේ දොර..මම කන් දෙකේ ඇඟිලි ගහගන්න දෙකක් කියල එන්ඩ"
මෙවර ක්ලාන්ත වූයේ මගේ මිතුරා නොවේය.මමත් නොවේය.




Share: