Dec 31, 2012

"හෙණ ගහන අලුත් අවුරුද්දක් ! " ,ඔබ සැමට



මායාවරුන්ගේ මායාව නිසා කිසිලෙසකවත් එතැයි නොහිතූ වර්ෂ දෙදහස් දහතුන දැන් ගේ දොරකඩය. දොරට තට්ටුව දැමීමට ,
පෙර සීනුව නාද කිරීමට පෙර 
අපි සූදානම් වෙමු

අලුත් ඇඳුම්
බිත්තියට අලුත් කැලැන්ඩරයක්
අලුත් ඩයරියක්

දෙදාස් දහතුන මුණගැසුණු පසු කීමට දුක් ගැනවිලිද බොහොමයකි.ඒ දෙදහස් දොළහ අපට කළ නොපනත්කම්,කරදර,පාඩු ,පාත් කළ හෙණගෙඩි ගැනය.

එවැනි දෑ දෙදහස් දහතුන අපට නොකරාවියයි අපි විශ්වාස කරමු.
අපිව නොහඬවාවියයි,
   හඬන්න සිටින අපේ ඇස්වලට ඇඟිල්ලෙන් නොඅනීවියැයි විශ්වාස කරමු
බලාපොරොත්තු සුන්ව වියළී ගිය හදවත් බිම්වලට අනෝරා වැසි වස්සවාවියයි 

හිනා වියැකී ගිය මූණු කඩදාසිවල හිනාවන් පින්තාරු කරාවියයි අපි විශ්වාස කරමු


හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

හෙණ ගහන්නේ ඔබට නොවේය.
ඔබගේ ගමන වළකන ප්‍රතිරෝධයන්ටය
ඔබේ සිනාව වළකන කඳුලටය..
කරුණාව වළකන වෛරයටය...
සතුට වළකන වේදනාවන්ටය..


~ගැටයා~











                                                                                                          
Share:

Dec 25, 2012

ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !

ඇංජිමෙන් පිටාර ගලන හෝස් පවර් හාරසීයට අමතරව මගේ උද්දාමය හා ආඩම්බරය සමග තවත් හෝස් පවර් බර ගානකින් ජව ගැන්නූ වාහනය ආච්චිගේ නිවස දෙසට වැටී ඇති පාර දිගේ ධාවනය වූයේ  එඩින්බරෝ ආදිපාදයාගේ රෝල්ස් රොයිස් රථයටත් වඩා තේජසිනි,බලවන්තකමිනි.
මේ උද්දාමයට ආඩම්බරයට හේතු ඇති පදම තිබින. කුඩා කළ ආච්චීගේ දෙපා වඳිද්දී ආපිට ලැබෙන අවවාදය අකුරටම පිළිපැදීමට හැකිවීම ඒ හේතූන් අතර මුල් තැනක් ගනී

"උක්කුං පුතේ ලොකු මිනිහෙක් වෙයන් "

විවෘත ආර්ථිකයේ බලපෑමෙන් ලංකාවේ පහළ වූ ලක්දිව ප්‍රමුඛ කර්මාන්තශාලාවකින් ලැබුණු රැකියාවත් සමග   "රැකියා විරහිත උපාධිධාරී" යන ගරු නම්බු නාමය ලොප් වෙද්දී ජීවිතය යස ඉසුරින් පිරී, ගරාජය මේ වාහනයෙන් පිරී ගියේය.මෙය ඒ තරම් සද්දන්ත යන්තරයකි (ටැට්ටරයක් නොවේ ) .
ලොකු මිනිහෙක්ට මුලින්ම ලොකු වාහනයක් හා ලොකු ගරාජයක් අවශ්‍යය වේ.ඉන්පසු ගරාජයටම අල්ලා ලොකු ගෙයක් තැනිය හැක.වාහනය සෑහෙන්න ලොකු වන්නා සේම එහි ෆුට් බෝඩ් එකේ සිට මහ පොළොවට ඇති දුරත් ලොකු බව, මේ ලියන මොහොතේ මතක් වුවද ආච්චිගේ ගේ ඉදිරිපිටදී එය මතක් නොවූ හෙයින් , වාහනයෙන් බහින ගමන්ම, කුතුහලයෙන්  පෙර මග පැමිණි ආච්චිගේ දෙපා වැඳීමට හැකිවිය.ආච්චි රත්නත්‍රයේ සරණයි කීවාය.

"ආච්චි මං  ලොකු ළමයෙක් උනා " මම සීරුවෙන් සිට ගතිමි

ඈ "කැකිරි ළකුණ" සිනහවක් පෑවාය

"මෙච්චර පරක්කු උනේ පුතේ?"

"නෑ ආච්චි මන් කිවුවේ මම දැන් ලොකු මිනිහෙක්..මේ ලොකු වාහනේ,ලබන මාසෙ ලොකු ගෙයක් පටන්ගන්නවා "

ආච්චි කිසිත් නොකීවාය.
මට ඈව මෙහි නංවාගෙන රවුමක් එක්ක යාමට ආසාවක් පහල විය.සියා වාහනයට නැගීමට කැමැත්තක් නොදැක්වූවත් චාරිකාවට අවශ්‍ය සියලුම සහය ලබා දීමට ගිවිසුම් අත්සන් කළ අතර ,එය ක්‍රියාවට නැංවීම පිණිස ගස්ලබු ගහට හේත්තු කර තිබූ උණ බම්බු ඉනිමග ගෙනැවිත් වාහනයේ ෆුට් බෝඩ් එකට හේත්තු කළේය.ආච්චී පරිස්සමෙන් වාහනයට නැංගාය.මම වැඩ දන්නා බැවින් එක්වරම ඩ්‍රයිවින් සීට් එකට පැන උඩ එල්ලා තිබුණු දේව රූප තොරණේ ගණ දෙවි ප්‍රතිමාවේ ඔළුව හප්පාගෙන නැණැස විවර කර ගතිමි.
වාහනය ඉදිරියට යාමත් සමඟම මම මගේ සොඳුරු උත්සාහය ආරම්භ කළෙමි.

"ආච්චි මේ ලොකේ හැමෝටම පේන්නනම් ලොකු වෙන්න ඕනෙ..ලොකු දේවල් කරන්න ඕනෙ.පොඩි දේවල් ගැන මිනිස්සු කතා කරනවා තියා දැක්කත් අහක බලා ගන්නවා.දැන් බලන්ඩකෝ අද මම  චුට්ටං පුට් බයිසිකැල් කට්ටක ගියානම් නිකම්ම නිකම් උක්කුං ..අද මේ ලොකු වාහනේ නිසා මම...කවුද ආච්චි? මම කවුද ආච්චි?"

"උක්කුං"

"නෑ ආච්චි මම ලොකු මහත්තයෙක්..හැමෝම කතාවෙනවා.හැමෝම ගරු කරනවා.ඒ මොකෝ මම කරන්නෙ ලොකු වැඩ " 

මම කාරයේ බොනැට්ටුව හැරියෙමි (නැත.බොනැට්ටුව නොවේ .හරි වචනය නොදනිමි ) ඒ තුළ වූ "ජම්බෝ පීනට්" පැකට් එකක් ගත්තෙමි

"දැන් මේ මොනවද? "

"රටකජු"

"නෑ ආච්චි ජම්බෝ පීනට්..ලොකු රටකජු"

"ඕව කාලා එහෙම බඩ පුරෝගෙන දවල්ට නොකා එහෙම ඉන්නව නෙවී " ආච්චි තරවටු කළාය.

"මේවා තමා ආච්චි දවල් කෑම්..." 
මටත් හොරා කට ඉස්සර විය.ආච්චි පුදුමකාර බැල්මක් හෙළුවාය.සත්‍යය සඟවා පලක් නැත.

"ලීස් එක ගෙවන්නත් එපෑ ආච්චියේ"

"ආ ලීස්..ඒක මිසක්ක...හරි හරි මම හදල දෙන්නම්කො"

කතාවෙන් කතාවෙන් වාහනය ටවුම මැද්දටම ඇදී විත් තිබුණි.හන්දියේ මිනිස්සු රාශියක් රැස් කමින් හුන්හ.ඔවුන් එකා මත එකා පෙරළෙමින් අත්පුඩි ගසති..සිවුරුහන් බාති...නටති..කෑ කොස්සන් ගසති..
වාහනය නැවැත්තුවේ මගේ කකුළ නොව කුතුහලය විසින්ය.පරිස්සමෙන් වාහනයෙන් බැසීමට ගොස් පාරේ සුදු පාට ඉරි වල කිසියම් ගන්ධයක් ඇත්දැයි පරීක්ෂා කොට ආච්චිව බිමට බස්සවා ගැනීමට ක්‍රමයක් සෙවීමේදී වහළයේ ගැට ගසා තිබූ ඉනිමග දුටිමි..සීයා කෙරෙහි උපන් භක්තියාදරය මසිත තුළ තැන්පත් වෙද්දී ආච්චීද පොළොවේ තැන්පත් වූවාය.
පෙරකී මිනිසුන් රොත්තට ඉදිරියෙන් බිත්තියක එල්ලූ බැනරයකි.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත"
නව ලෝක වාර්තාවක්

ඊට පහළින්ද පින්තාරු කර තිබූ වාක්‍යයක් තිබුණද එය කියවීමට නෙත්හී බැඳුණු සියුම් කඳුලු පටලය ඉඩ දුන්නේ නැත.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත? කෙතරම් ආඩම්බරයක්ද? කෙතරම් භාග්‍යයක්ද? අප ජීවතුන් අතර සිටින කාලයේදීම..මේ නම් අනගිබවනීයමැ...ප්‍රශංසනීයමයැ...

සැබැවින්ම දැවැන්ත ලබු කිරිබතකි.එක පේළියට තැබූ මේස ගණනාවක ඇතිරූ ලබු කිරිබත් තුනී කළේ ස්වේච්ඡා සේවකයන් පිරිසකි.ඔවුන් "අයි ලව් ලබු කිරිබත්" කමිස හැඳගෙන ලහි ලහියේ වැඩ කළහ.කිරිබතේ එහා කොනේ සිටි උදවිය මෙහා සිටින පිරිස ඇමතුවේ වෝකි ටෝකි වලිනි.


කිරිබතේ සුගන්ධයෙන් නසරාණීව සමවත් සුවයෙන් සිටින කල්හී ආච්චිගේ කටහඬ පසෙකින් ඇසිණ.

"පුතේ..මේකද ලෝකෙ ලොකුම ලබු කිරිබත?"

"නැතුව ආච්චි මේ ගහල තියෙන්නෙ"

"ඉතිං පුතේ ලෝකෙ ලබු කිරිබත් හදන්නේ ලංකාවෙ විතරක් වෙන්ඩ ඇතිනෙ"

අවාසනාවට ඒ වදන් ඇසුණේ මට පමණක් නොවේ.අයි ලව් ලබු කිරිබත් සේවකයෝ සහ පරිවාර ජනයා ප්‍රේමණීය බැල්මක් අප දෙසට හෙළුහ.හැකි උපරිම ප්‍රසන්න සිනහවක් දක්වා මම වහාම ආච්චි සමග වාහනයට ගොඩවීමි.

ආච්චිට බැනීම නොසුදුසු වුවද තදින් කතා කොට ඈ යහමගට ගත යුතුය.

"මොකෙන් හරි ලොකු දෙයක් කළාම ඒක රටට නම්බුවක් නෙවේද ආච්චි?ඒවාට අපහාස කරලා අවරගනයේ ප්‍රතිගාමී යැංකි දේශපාලනයේ අතකොළුවක් වෙන්න එපා.මම ඒකට ඉඩ දෙන්නෙ නෑ ලක්මවුනගේ සුජාත පුත්‍රයෙක් වශයෙන්"

ආච්චි මෙල්ල විය.මම වාහනය ඉදිරියට පැදවූවෙමි.තවත් ගාලගෝට්ටියක් දුටු හෙයින් ගාලගෝට්ටියන්ට ඇදී යාමේ මනුෂ්‍ය ස්වාභාවයට හිස නවමින් වාහනය ඒ පැත්තට නැමුවෙමි.


"ලෝකයේ ලොකුම සමාධි බුද්ධ ප්‍රතිමාව"
ඔබේ නොමසුරු ආධාර ලබාදෙන්න 

ආශ්චර්යයකි...බුද්ධාලම්බන ප්‍රීතිය මා සියොළඟ වෙලන්නට විය.නහරවැල් තුළට කාවැදී සිරුර පුරා දුවන්නට විය.

"ආච්චි අපේ බුදු හාමුදුරුවො පිරිණිවන් මංචකයේ සිටින ආකාරය ප්‍රතිමාවකින් නෙලන්නයි හදන්නේ..පොඩියට නෙවේ ලෝකෙන්ම ලොකු විදියට"

"නෑ  පුතේ සමාධි ප්‍රතිමාවක තියෙන්නේ පිරිණිවන් මංචකය නෙවේ"

"මොක හරි කමක් නෑ.මට හරි ආඩම්බරයි ආච්චි.මට හිතෙනවා මගෙ හිත සන්සුන් වේගන එනවා..දැහැන්ගත වේගන එනවා කියලා..ආච්චි මට මාර්ග ඵලයක් ලැබෙන්න වගේ"

"අනේ මන්ද ඉතින්..උක්කුං මයෙනම් සර්දාව හිතට එන්නේ පිළිමෙ තියෙන ලොකුවට නෙවේ..."

මම සඟවාගත් කෝපය පිටින්ම වාහනයෙන් බිමට බැස ආධාර එකතු කරන මඩුව වෙතට ගියෙමි..හිතේ ශ්‍රද්ධාව තිබුණද පර්ස් එකේ සල්ලි නැත.

"ඩූ යූ ටේක් ක්‍රෙඩිට් කාඩ්ස්?" මම ක්‍රෙඩිට් කාඩ්පත මඩුව තුළ හුන් උපාසක මහතාට දිගු කළෙමි..

"යස්...යස්..නොට් වයි" මගේ අතින් කාඩ්පත උදුරාගත් ඒ මහතාණෝ එය පිං කැටය තුළට දමා බුලත් කසට බැඳි දසන් දක්වා එක සිතින් මට සෙත් පැතූහ...........

"පින් සිද්ද වෙච්චාවේ "

~හොඳ දේ වෙනුවට ලොකු දේ හොයන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි~

ප.ලි

ආච්චී වෙනුවෙන් දරන සොඳුරු උත්සාහයන් අවසානයකට ළඟා කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙයට වඩා සමාජය ගැන වැඩි යමක් පරම්පරා දෙකක ජීවීන් දෙදෙනෙක් යොදාගෙන ඉදිරිපත් කිරීමට උත්සහ කළෙමි.ඒ සොඳූරු උත්සාහයේ සාර්ථක අසාර්ථකභාවය දන්නේ ඔබ පමණක් බැවින් ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.ඒ අනුව ඉදිරිය තීරණය වනු ඇති....
~මීට හිතෛශී
 ගැටයා




මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



Share:

Dec 24, 2012

ලෝක විනාශයට පෙර කඩේ වැහුණි

මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන් 
උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල 
උඹයි,මායි,පාට බෝට්ටුවයි, ලොකු හැඳි දෙකයි ,ගෝවා පැළයිකියවන්න

එදා සිකුරාදා උදේ පාන්දරම ආච්චි සිල් රෙද්දකුත් පොරෝගෙන පන්සල් යන්ඩ ලැහැස්ති වෙනවා දැක්කේ නැත්තං මං මේ ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් දැන නොගන්ඩ තිබ්බ නංගියේ.උන්දැ ලෝකෙ විනාසෙ වෙද්දි පංසලේ බුදු හිමි සෙවනේ ඉන්ඩ හිතද්දි මං ඉන්ඩ පැතුවෙ කවුරු එක්කලාදැයි කියන්ඩනම් පුලුවන්,ඒත් උඹ පිළිගන්න එකක් නෑ බාගවිට.හිත ඇතුලෙන් උප්පාදනය වෙන සිතුවිලි මොන හැඩේද,පාටද,සුවඳද කියලා පෙන්නන්ඩ විදියක් තිබ්බනම් ඒත්තු ගන්නන්ඩ තිබ්බ.
ගමේ ගොඩේ ඈයො උන හිංදම වෙන්ඩැ ලෝක විනාසෙ ගැන ආරංචිය එන්ඩ මෙච්චර ප්‍රමාද උනත් ,උඹට ඇත්තම කියන්නම් නංගියේ මට අමුතු කලබලයක්වත්,දුකක්වත් ආවෙ නැත්තෙ නැති වෙන්ඩ දෙයක් නැති හින්ද වෙන්ඩැ.නැති වෙන්ඩ බූදලයක් ,නැති වෙන්ඩ පවුලක් ,නැති වෙන්ඩ ජීවිතයක් නැති හින්ද වෙන්ඩැ.ඒත් නැති වෙන්ඩ අකමැති එකම දේ අන්තිම වතාවට හරි බලාගන්ඩ ඕනැ හින්ද වෙන්ඩැ ආච්චි පන්සලට ගියා විතරයි මාත් ලක ලැහැස්ති උනා.
බාගෙටත් වඩා ඉතුරු වෙලා තිබිච්චි සැන් බෝතලේ සම්පූර්නෙන්ම ඇගට හලා ගත්තෙ ආයෙ ඒකෙන් වැඩක් නැති හින්දා මිසක්ක ගඳ ටිකක් හරි අඩුවෙන්ඩ හිතාන නෙවේ වෙන්ඩැ.එකම සරමක් නොහෝද හතර ආකාරයකට අදින්ඩ පුලුවන් උනත් * ඒ ආකාර ඔක්කොම පාවිච්චි කරල ඉවර හින්ද ආපහු පළවෙනි ක්‍රමේටම සරමත් ඇන්දා.රෙදි වැල ටිකක් උඩහට වෙන්ඩ ගැටගැහුව හින්දා  වෙන්ඩැ එහා ගෙදර බල්ලට අහු නොවී කමිසෙ වැලේම තිබ්බ දෙයියන්ගෙ පිහිටෙන්.
පාර දිගටම එකම ගාලගෝට්ටියක් වගේ .සෙනහ පුරෝලා.අජූතවංශ මහත්තේලෑ ගෙදෙට්ට කොන්ටේනර් තුනක් බාලලු ලොකෙ විනාසෙ වෙලාවෙ ඇතුලට වෙලා ඉන්ඩ.වෙරි මරගාතෙ වගේ වැනි වැනි ඇවිද ඇවිද හිටියෙ කසිප්පු ගහපු උන් නෙවේ,අන්තිම මොහොතෙ හරි පින් රැස් කරන්ඩයි කියලා හෝ ගාල දෙන බලු කපුටු දාන වලින් ඇති වෙන්ඩ ගිලලා දිරෝගන්ඩ බැරුව දගලන දඩාවතේ යන බල්ලො.ඒ අස්සෙ 4.11 ට යෙදී තිබෙන ලෝක විනාස නැකතට පත්තු කරන්ඩෙයි කියලා කොල්ලො කුරුට්ටො රතිඤ්ඤා පවා ගෙනියනව.
මේ හැම එකක් මැද්දෙම මට මැවි මැවි පෙනුනෙ උඹේ මූණ..ඔව් උඹේ මූණ.හැමෝම තම තමන්ගේ ජීවිතවල කරගන්ඩ බැරි වෙච්චි දෙවල් අන්තිම මොහොතෙ හරි කරලා නැකතට වැඩ අතාරින්ඩ ලෑස්ති වෙලා ඉන්න වෙලාවක මටත් කරන්ඩ තියෙන ලොකුම වගේම එකම දේ කරන්ඩ ,හිත් පහල උනා.හිතේ තියෙන දේ කියන්ඩ හිත් පහල උනා.ආපිට ලැබෙන දේ අනුව තීරනය වේවි ලෝක විනාසෙ නැකත 4.11මද ඊට කලින්ද කියලා.
කල්පනා ලෝකෙක ඇලී ගැලී ඇවිද්ද හින්ද වෙන්ඩැ කඩේ ළගට එනකල්ම දැනුනෙ නෑ.කවුද හාදයෙක් කියලා තියෙනවලු මිනිහෙක් මැරෙන්ඩ කලින් ළමයෙක් හදන්ඩ ඕනෙලු,පොතක් ලියන්ඩ ඕනෙලු, ගහක් හිටවන්ඩ ඕනෙලු. පළවෙනි දෙක කෙසේ වෙතත් අර හිටවෙන්ඩ ඕනෙ ගහ "මම" උනානම් කොච්චර එකක්ද කියලා හිතුනේ කැසියර් කූඩුවෙ හිටපු උඹේ චායාව ඇස් දෙකේ ගැටිලා එච්චර වෙලා එක්කහු කරන් හිටපු සක්තිය බඩ සුද්ද වෙන්න බේත් දුන්නාම වගේ යන්න ගත්තට පස්සෙයි.අනේ ඒ ගහ මම වෙලා මුල් ඇදලා අඩියක්වත් ඉස්සරහට යන්ඩ බැරි වෙන්ඩ මෙතනම හිට උනානං,උඹට උදේට උදේට ඇවිල්ලා වතුර ටිකක් වක් කරලා යන්ඩ !!

ඒත්  මුල් අදින්න නොදී ඉස්සරහට යන්න පුරුස සක්තිය ඩිංගක් එක්කහු කරගන්න පුලුවං උනා.ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් නැතුව හායි ගාලා කඩේ ඇරන් ඉන්නවා කියලා හිතුනත් ඒක එහෙම්මම නෙවේ කියලා තේරුණේ කඩේ ඉස්සරහ අලෝල තිබ්බ දැන්වීම් දැක්කාමයි.හැම එහෙකම ගනන් අඩු කරල තිවුන ඡන්ද පොරොන්දුවක් ඉස්ට කරල වගේ,කොටින්ම පාන් 3.50යි.
කඩේ එකෙක්වත් හිටියෙ නෑ වාසනාවට.උඹයි මායි විතරයි..
උඹ කැසියර් කූඩුව ඇතුලේ තිබ්බ බංකු කොටේ උඩ ඉඳගෙන
මං උගුර පෑදුව.ප්‍රතිචාරයක් නෑ.
හරස් ලෑල්ලට පුංචි තට්ටුවක් දැම්ම..ඩිංගක් විතර ඉස්සුනා ඔළුව.
"මොනවද? " උඹ ඇහුවා .කටහඩ බිඳිල වගේ
"මුකුත් ගන්ඩ නෙවී නංගි..."..අමාරුවෙන් වචන ගැටගැහුන
උඹේ ඔළුව ඉස්සුනා සම්පූර්නෙන්ම.ඇස්වල බැල්ම කියවගන්න අමාරුයි.
"ම..ම...මං..මේ "පැටලුනා.වචන නෑ.

අඩපනයි
එකම එක දෙයයි උනේ ගැලවිල්ලට මටත් නොදැනිම..කමිස සාක්කුවට අත ගියා.අතට ආව රුපියල් දහයක්.මං ඒකෙ කොකා අතින් වහගෙන මල ඉස්සරහට හිටින්න කැසියර් කූඩුව ඇතුලට තල්ලු කලා
"පාන් එකාමාරක්"
උඹ කොලේ අතට ගත්තා





"පරක්කු වැඩියි"
කියපු උඹ මල වහගෙන කොකා පෙන්නුව මට.



"පරක්කු වැඩියි"
උඹ මිමිනුව ආයෙත්.කලින්ඩ වඩා අඩු සරේකින්.තෙත පටලෙකින් වැහිච්ච ඇස් දෙක නළියනවා."අනේ යන්න" ඒ ඇස් වල ලියවිල තිබ්බද කොහෙද
"පරක්කු වැඩියි "
එතනින් එහා දරන් ඉන්ඩ බැරි වෙච්චි තැන ඉතුරු උනේ ගැලවිලා යන එක විතරයි.කඩෙන් එළියට ඇවිත් හැතැප්ම ගානක් එහා තිබ්බ බන්ට් එක උඩට එවුනෙ කොහොමද කියලා මම දන්නේ නෑ.කොටින්ම එතනින් එහා මුකුත් හිතුනෙම නෑ.හිතන්න ඕන උනෙත් නෑ.වෙලාව ගොඩක් ගත වෙන්ඩ ඇති එතනම.දැහැන බිදිලා ගියේ වේගෙන් වංගුව ගත්ත ත්‍රීවිල් පද්මෙ අයියගෙ ලබ්බෙගිනි කාරෙක ඇතුලෙන් ඇහිච්චි රේඩියෝ එකේ සද්දෙට..
"දැන් වේලාව පස්වරු හතරයි විනාඩි දෙකයි "
මට මොකක් උනාද කියලා හිතාගන්ඩ බැරිඋනා.බන්ට් එක ගාව ඉඳන් ලවක් දෙවක් නැතුව දුවන්ඩ ගත්තෙ ඊට පස්සෙ වෙන්ඩැ.හති වැටිලා වේගෙන් ගැහෙන පපුව එළියට එන්න දගලද්දිත් ,දණිස් පොල්කටු ගැලවිලා වෙන්වෙන තරමට වේදනා දෙද්දිත් ඒ දිවිල්ල නැවතුනේ නෑ.ජීවිතේ අන්තිම දිවිල්ලත් ජීවිතේ වටිනම දෙයක් වෙනුවෙන්.තප්පරෙන් පංගුවකටවත් හිත නොහැලුනා උනත් කකුල් දෙකට වාරු නැති වෙන්ඩ ගත්තේ කඩේ පේන මානයක තියෙද්දියි.බිම ඇදගෙන වැටුනෙ එතකොටයි.ඒ වැටිල්ලෙ වේදනාවත් නොතකා වෙවුලන ඇගිලි තුඩු තාර පොලොවට තද කරගෙන ආපහු නැගිටින්න හදන ගමන්ම මං කඩේ දිහා බැලුව.

උඹ කඩේ වහනවා.ලෑල්ලෙන් ලෑල්ල අහුරනවා.ඔක්කොම ලෑලි පහයි .අන්තිම ලෑල්ලත් වැහෙද්දින් කඩේ ඇතුලෙන් එලියට වැක්කෙරිල තිබ්බ කුප්පි ලාම්පුවෙ එළිය මැකිල ගියා.කඩේ ඇතුළෙ උඹත් ඒ එළිය එක්ක මැකිල ගියා.ඒත් එක්කම දරාගන්ඩ බැරි වේගෙකින් පොළොව හෙල්ලෙන්ඩ ගත්තා.ඉර වැහීගෙන එනවා කළු වලාකුලුවලින්.තාර පොලොවෙ අත තියගෙන උන්නු හරියෙන් පටන් අරන් පොලව දිගේ හීනියට ඉරි තැල්මක් එන්ඩ ගත්ත.මහා ගස් හිටන් අඹරවලා දාන්ඩ තරමට ආපු හුළි හුලගත් එක්ක මුරුගසන් වරුසාවක්.මේ කල්පාන්තික වරුසාව.අර ඉරිතැල්ම වැඩි උනා ඩිංග ඩිංග...පොළොව දෙබෑ වෙනවා.

යාන්තමින් පොලවට අල්ලලා උඩට නග්ගන පොඩි ගෙවල් මහ හුලි හුලගට එරෙහි වෙන්ඩ බැරුව යටත් වෙලා උඩින් ගහගෙන යනවා කැරකි කැරකි..මං අමාරුවෙන් ඔළුව උස්සලා උඹළෑ කඩේ දිහා බැලුවා.ඔක්කොම දේවල් මැද්දෙ පොඩි සතුටක් ..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..
කුණාටුව ,වැස්ස ,කළුවර එන්ඩ එන්ඩම චන්ඩ වෙන්ඩ ගත්තා.මහ රූස්ස ගස් ,ගෙවල් ,අජූතවංශ මහත්තේලෑ කොන්ටේනර් පෙට්ටි පවා උස්සපු හුලග මාව බිම තිබ්බෙ නෑ.කරකවලා ගත්තපාර ආයේ බිම තියන්ඩනම් අදහසක් නැතුව ඒක දිගටම උඩටම ඇදගෙන ගියා.විකල් වෙලා ගිය ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ.මුකුත්ම හිතුනෙ නෑ..කැරකෙන වේගෙටම ආපහු මහ පොළව දිහා බැලෙන්ඩ ඇති..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..



*උඩ,යට ,කනපිට හැරෙව්වායින් පස්සෙ උඩ යට


~නිමි
-සියළු පුද්ගල නාම, සිද්දි ,විස්තර අසත්‍ය වන අතර මනස්ගාත වේ.



Share: