Dec 15, 2013

'Hi' එක වචනයයි,අකුරු දෙකයි

හර්ට්ස් විස්සත් විසිදාහත් (20Hz-20000Hz) අතර වෙන මනුස්ස කනේ ස්වර පරාසයට ගෝචර වෙන නානාප්‍රකාර ශබ්ද අතරෙ කලාතුරකින් ඇහෙන බොහෝම දුර්ලභ ශබ්දත් තියෙනවා.


ඉන් එකක්,



"ටිටික්කි ටිං"



ෆෝන් එකේ මැසේජ් ටෝන් එක !



එච්චර දුර්ලභ ශබ්දයකුත් එක්ක උස කුළුණු ගණනාවක් පසාරු කරගෙන, නොදන්න නොම්බරයකින් මැසේජ් එකක් එන එක තවත් දුර්ලභයි.



 "දුර්ලභ" කියන වචනෙටත් වඩා බරපතල වචනයක් හොයල දෙන්න ඒ මැසේජ් එකේ තිබ්බෙ මොකක්ද කියලා කියන්න කලින්.





' Hi '

අකුරු දෙකයි.වචනයයි.
තමන්ට සුබ පතන,ආචාර කරන කෙනෙකුට පෙරළා ප්‍රතිචාර නොදැක්වීම මහාම කුහක කමක්.

'hi'

ලොකු වෙනසක් නෑ.අකුරු දෙකයි.වචනයයි.එකම වෙනස අකුරු දෙකම සිම්පල්.
H අකුර කැපිටල් උනානම් Hi කියන වචනෙට වැඩි වටිනාකමක් එක්කරන්න තිබ්බ.ඒත් දැන් ඕව හිතලා වැඩක් නෑ

'how are you?' එයාගෙන්

'im 5n.u?' මගෙන්

i සිම්පල්,5n? ,u? 
අනිත් පැත්තෙ කෙනා ඉංගිරීසි ටීචර් කෙනෙක් වගේනම් "ස්පෙලින්ග්ස් වැරදියි " වගේ එකක් ආපිට ලැබෙයි.ඒත් එහෙම උනේ නෑ
නිගමනය:එයා ඉන්ග්ලිශ් ටීච කෙනෙක් නෙවේ
කොහොමහරි උත්තරේ ආවෙ සිංහලෙන්

'hodai ane.eth tikak kammali'

කියන්න දෙයක් නැතිකමට සාමාන්‍යයෙන් කියන "hmm" සමඟින් මම කුතුහලය හින්දම තව ප්‍රශ්න දෙකකුත් මතු කළා.

'hmm,ehemada? kauda oya? mama danna kenekda?'

උත්තරේ සමඟම ප්‍රශ්නයක්


'me loke katawath hangila inna bane.koheda work karanne?'

'na mama campz eke.'

ඒ වගේ ප්‍රකාශයකට සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර වන,

අලද වාතද?
අවුට් වෙන්න අවුරුදු පහේ ඒවා කීයක් තියෙනවද?

වගේ දේවල්වලට වඩා වෙනස් ප්‍රතිචාරයක් එහා පැත්තෙන් ලැබුනෙ

'wooow.shok ne'

ඔය විදියට එහාට මෙහාට අකුරු හුවමාරු උනා මතකයි.inbox එක පිරිලා උතුරන ගානට.දවල් කෑමත් මිස් වෙන ගානට.
අන්තිමේ අපි එක්තරා සන්ධිස්ථානයකට ආවා..

"oya kohomda mage numbr eka hoyagatte? මම ඇහුවා

'mama hamadama nikan hithata ena number ekakata msg eka gane danawa.ada ahu une oya'

සමස්ත ජනගනයටත් එහා ගිය ජංගම දුරකථන සංඛ්‍යාවකින් නික්මෙන ,මේ මොහොතේත් අපේ ඇගේ හැපි හැපි සංසරණය වන මැසේජ් වලින්, මේ වගේ කෙනෙක්ගෙ මැසේජ් වලටම මගෙ ෆෝන් එකට රිංගගන්න හිතුන හැටි !

'hehe mawa thama ahu une'

තවත් ටික වෙලාවෙකින් අර තිබ්බ කුතුහලය ආයෙත් අලුත් උනා.කොල්ලෙක්ට මේ වගේ වෙලාවක ඇතිවෙන්න පුළුවන් දරුණුම ප්‍රශ්නය
එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

'r u a grl or a boy?'

'man boy nam aye msg karanne nadda?'

බෝයිනම්? 

'mmm balamuko'

'I am a boy ' එහා පැත්තෙන් ආපු උත්තරේ

..............................<no reply>.......................................
.......................<number blocked>.......................................

ඉහත සිද්ධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී 2011 අප්‍රේල් මස සිදුවූ සත්‍ය සිද්ධියකි.

ඒත් මීට කලින් වෙන්න ඇත්තෙ මොකක්ද?

කථා වස්තුව-විකල්ප 1     The Plot-alternative 1


ස්ථානය -නේවාසිකාගාරය
වේලාව-පළමු 'ටිටික්කි ටිං' එකට මොහොතකට පෙර


තරුණයන් කිහිප දෙනක් සංවාදයක යෙදෙමින් සිටිති.එකෙකු අත ජංගම දුරකථනයකි.



තරුණයා 1: "හිටපන්කො..මම දන්නවා හරියන ඩයල් එක"

තරුණයා 2: "කෝල් කරමු බන්"
තරුණයා 3: කටහඬවල් අදුරගනී..ඊට හොදයි මැසේජ්
තරුණයා 1:මොකක්ද ගහන්නෙ?
තරුණයා 2:ගුඩ් මෝනින්ග්.කොහොමද ඔයාට?
තරුණයා 1:ඔවර් යනව බන්
තරුණයා 4:අයි ලවු යූ?
(අනෙක් අය තරුණයා 4 දෙස බලා ඔරවති )
තරුණයා 1:නිකන්ම හායි කියලා දාමු ඒ ඇති
තරුණයා 2:ටික වෙලාවක් ෆෝම් කරල අන්තිමට කියහන් මම කොල්ලෙක් කියලා



                      කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2


මෙන්න නම්බර් එක.ගොඩක් කැමති කෙල්ලන්ට නෙවේ කොල්ලන්ට තමා, මූ




                     කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2

තරුණයෙක් හීනි කොළ කැබැල්ලක් දිග හැර මේසයක් මත තුනී කරමින් සිටී.අංක දහයකින් යුත් අංකය ඔහුගේ සිත කළඹවයි. කුල්මත් කරවයි.එවෙලේම සිහිපත් වූ එකවුන්ට්ස් එකේ අක්කාගේ වදන් පෙළකි
"ඔන්න නම්බර් එක දුන්නෙ මමයි කියලා ඒ කෙල්ලට දැනෙන්න අරින්නෙ නෑ හරිද? ඕන මගුලක් කරගන්නවා මාව පැත්තකින් තියලා"
තර්ජනාත්මක ස්වරයක් ගැබ් වූ වදන් සමඟ, ලැබුණු එකවුන්ට් එකේ අක්කාගේ, හොඳම යෙහෙළියගේ දුරකථනය අංකය !
මේක හොයාගන්න වින්ද දුක!
කොළයේ තැලී තිබුන කොනේ අංකය අපැහැදිලිය.3ද? 8 ද? 3ද? 8ද? ම්ම්ම්ම්ම් 8 වගේ
දැන් ඇත්තේ හීන් සීරුවේ වැඩ ආරම්භ කිරීම .මුලින්ම හායි.නම්බර් එක හොයා ගත්තෙ කොහෙන්ද ඇහුවොත් පචයක් ගහන්න බැරිය

                  කථා වස්තුව-විකල්ප 3     The Plot-alternative 3

හැමතිස්සෙම ඉස්සර වෙන්න ඕනෙ පිරිමි පාර්ශවය.ඇගේ හිත හීනි චකිතයකින් පිරෙන්න ගත්තෙ ඒක වෙන්න ඇති.ඒත් ඉතින් හැම පිරිමියම ඉස්සර වෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?ලියවෙන්න තියෙන කතන්දර,මතු වෙන්න තියෙන හැඟීම් එහෙම්මම නැති වෙලා යන්න ඉඩ අරින එකද?තව දුරටත් කිසිම දෙයක් දරාගෙන ඉන්න බැරි ගතියක් ඈට දැනුනා.ඇසිල්ලකින් අතට ආවෙ ඇගේ ජංගම දුරකතනය.කරන්න යන දේ ඊට පස්සෙ වෙන දේ ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ.සමහර විට එයා දැනගනී ඒ මමයි කියලා.එහෙම නැතත් මොකෝ..මුලින්ම හායි එකක්....ප්‍රතිචාර හොඳනම්..ම්ම්ම්ම්


ප්‍රතිචාර අවුලක් නෑ වගේ.ඒත් ඕනෑවට වඩා ඔෆීෂියල් .පොඩි විහිලුවක්වත් කරල ගත්තනම් ,


'I am a boy '
ඒක ඇත්තට ගත්තද දන්නෙත් නෑ

'he he no no ..a girl..just kidding.u know me well...don't misunderstand me.just wanted to talk'

.................Message Delivery Failed.......................


               කථා වස්තුව-විකල්ප 4     The Plot-alternative 4


ජීවිතය කියන්නෙ මහාම මහා මුස්පේන්තු ,මූසල හිස් අවකාශයක් කියලා හිතෙන්නෙ කලින් ඒ අවකාශය එළිය කරගෙන ලස්සන කරගෙන පුරෝගෙනෙ හිටපු අය /දෙවල් අපිව දාලා යන්න ගියාමයි.කොටින්ම අපි අපේ ජීවීතේ අනිත් අය/දෙවල් මත යැපෙන්න ගියාම අන්තිමේ තමන්ට තමන්වත් නැති තත්වයක් උදා වෙයි.දැන් මේ මට වෙලා තියෙන දේ වගේ.

ඔහුගේ හිතෙන් ඉපදිච්ච සිතිවිලි ඒ හිතම පුච්ච පුච්ච නළියන්න ගත්තෙ වතුර නටන්නා වාගේ.

මේ මුස්පේන්තු ජීවිතේට අයිති දේවල් විදියට දැන් ඉතුරු ඇට සැකිල්ලයි,ඒක වහගත්ත මස් ටිකයි හමයි.අන්තිමෙ ඇවිදින මළ මිනියකට සෑහෙන්න සමානයි.ඇත්තම කතාව මළ මිනියකට මීට වඩා සැප තියනවා.අඩන්න මොකෙක්වත් නැති උනොත් උඩු බුරලන්න බල්ලො හරි ඉන්නවා.මිනී එම්බාම් කාරයත් ආදරේට නොවුනත් සුවද ඉහල එහෙම මිනිය කුණු වෙන්න නොදී තියාගනී.

අපේ හිත් වල තෙරපි තෙරපි පැසව පැසවා තියෙන දෙවල් වෙන කාටවත් දෙන්න බැරි එක ඇත්ත.ඒත් ඒ දෙවල් ගැන කියන්නවත් එකෙක් හිටියනම්.මිනිහගෙන් විසඳුමක් එකක් නොලැබෙන එකත් ඇත්ත.ඒත් කතා කරන්න හරි තිබ්බනම් !
ඒත් කවුරු එක්කද?අනිත් හැම දෙයක්මත් අතෑරල කසාද බැඳගත්ත ගෑණිත් අන්තිමේ පිටුපෑවට පස්සෙ.කවුද ආයෙ ඉතුරු වෙලා ඉන්නෙ
කාලෙකට කලින් ඔලුව පිස්සු වැටෙන්න පටන් ගත්ත කාලෙ කරපු වැඩක් එවෙලෙ සිහි උනා.ඒත් ඒ වැඩෙත් එක්ක බැඳිලා තිබ්බෙ තවත් අමිහිරි මතකයන් ගොන්නක් විතරයි
ඔහු තනියෙන්ම හිනා වුනා.තව මොනවා නැති වෙන්නද.අතට ආපු ජංගම දුරකතනයෙන් එබුනෙ මොකක්දෝ අංකයක්.එහෙම අංකයක් නෑලු.කීප වතාවක් ට්‍රයි කළත් වැඩ කරන අංකයක් නෑ.බැරිම තැන ආයෙත් රැන්ඩම් අංකෙකට මැසේජ් එකක් දැම්මෙ හායි කියලා.ඒක එක අතකට හොඳයි කෝල් කරනවට වඩා.මොනවහරි දෙයක් වෙනවනෙ.පුදුමෙකට වගේ රිප්ලයි එකකුත් !!.මැසේජ් කිහිපයක් එහාට මෙහාට උනා. 

                                    'r u a grl or a boy?'


දැනිච්ච විදියට එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්.එහෙම එකේ මමත් කොල්ලෙක් කිවුවොත්.කේන්ති යයිද?වෙන දෙයක් වෙච්චාවෙ


                                        'I am a boy '

රිප්ලයි එකක් නෑ වගේ.මෙහෙම වෙයි කියලා කලිනුත් හිතුනා.

'a boy who've gone thru a lot.suffrd a lot. jst searchd smbdy 2 tlk wit'

.................Message Delivery Failed.......................


ඒ පාර මැසේජ් යන්නෙත් නෑ.

මම ඇවිදින මළමිනියක්
මළ මිනී ඊට වඩා සැපෙන්..

ෆෝන් එක පැත්තකට විසි උනා
රෙදි වනලා තියෙන ලණුවනම් එච්චර හයිය නැතුව ඇති.ඒත් පොටවල් දෙකක් තුනක් දාල ගත්තාම කිලෝ හැට පහක් දරා ගන්න පුලුවන් වෙයි ඒකට !

පසුවදන

මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම දරුණු අරගලයක යෙදිලයි ඉන්නෙ.ඒ අරගලවල කඩු ගැටෙන සද්ද ,ඊතළ කපාගෙන යන සද්ද,මර ලතෝනි පිටතට නෑහුනාට එතන අරගලයක් නෑ කියන්න බෑ.එහෙමයි කියලා ඒ අරගල මැද්දට පැනල විහින් තුවාල කරගන්නත් අපිට ඕනෙ නෑ සමහර වෙලාවලදි.
ඒක ආත්මාර්ථකාමී දෙයක් කියලා කියන්නත් බෑ..
මනුස්සයා කියන සතා එහෙමයි
ඒත් දෙයියන්ගෙ නාමෙට කෙනෙක් දිහා බලල ඌ කරන දේවල් දිහා බලලා උපකල්පන කරන්න එපා!
මොකද උගෙ ඇත්ත කතාව දන්නෙ මමවත්,උඹවත් නෙවේ


Share:

Nov 30, 2013

සබඳතාවයන් ඩිජිටල් නොවේ | Relationships are not Digital

ඉරිදා දවසක් !
නන්නත්තාරේ ඇවිදින කකුල්වලට වැඩි සිහියක් පතක් නැතත්, උන් ඉඳලා හිටලා හරි හොඳ තැන් වලට මාව එක්කන් යනවා..
එදා ලුම්බිණි තියටර් එකට.
රූපවාහිනිය වගේ අඩු වියදම් රසවින්දන මාර්ගෙකට ඇබ්බැහි වෙලා ඉන්න මනුස්සයන් ප්‍රමාණය ගැන දළ ඇස්තමේන්තුවක් වේදිකා නාට්‍යය ශාලාවට ඇතුල් වෙද්දි නොමිලේම ලැබුන.බොහෝ කාලෙකට පෙරදි සෝබන පෙන්නගෙන, ආඩම්බරේට පිම්බිලා හිටපු සීට් වලින් විස්සකට තිහකට වගේ තමා එදා බර වැටිලා තිබුනෙ.බර වැටිච්චි සීට් ඔහේ ඉන්නවා.
අනිත් උනුත් එහෙමයි.
ඔහේ ඉන්නවා.බරක් වැටුනත් එකයි එකයි,නැතත් එකයි වගේ .

මම තෝරගත්ත එකාත් මුලින් "චිරි..චිරි" ගාලා මොනවද කිවුවා.පස්සෙ සයිලන්ස්.
ටිකකින් "ග්‍රීරීරීරීරීං" ගාලා වැදුනෙ තුන්වෙනි බෙල් එක වෙන්න ඕනෙ.තිරේ හිමීට හිමීට කැඩි කැඩි ඇරෙන්න ගත්තෙ ඒකයි.බලාගෙන ගියාම උටත් එපා වෙලා වගේ.තිරේ ඇරෙන එක ඈතට පෙනුනෙ නිදාගෙන ඉන්න යෝදයෙක් ලොකු ඈනුමක් අරිනවා වගේ.මන්ද, මට පෙනිච්ච විදිය.වෙනසක් තියෙනවනම් කියන්න.
අර යෝදයගෙ කට ඇතුළේ පොඩි බංකු කෑල්ලක් හිටියා.ඒක උඩ එකෙක් සහ එකියක්.ඩබල අතර අඩි දෙහෙක විතර ගැප් එකක් තිබ්බ.ඒක "ෆ්‍රෙන්ඩ්ශිප් ගැප්" වෙන්න ඕනෙ.කොල්ල නැගිටලා ඉස්සරහට ආවා.කර්ටන් සීමාවෙනුත් ඉස්සරහට ස්ටේජ් එකේ දෙපැත්ත බැලන්ස් වෙන්න.සාමාන්‍යයෙන් ඔතෙන්ට එන්නෙ ප්‍රේක්ෂකයාගේ හදවතට මොනවාහරි කියන්න ඕනෙ උනාම.පුදනකොටම කාපි යකා වගේ තුන්වෙනි බෙල් එක ගැහුවා විතරයි මූ මොකාටද එන්න හදන්නෙ!

"ආදරය...
ආදරය කියන දේ ඇත්තනම් අපි ඒක ලුහුබඳින්න ඕනෙ නෑ ,ඒක කවදහරි අපිව හොයාගෙන එනවා "

1)බොළඳයි
2) සාම්ප්‍රදායිකයි
3) "ඒක" කියන වචනය දෙපාරක් තිබ්බ.හරි නෑ
4) පටන් ගන්නකොටම ගැළපෙන්නෙ නෑ

ඉවරවෙලා හම්බ වුනොත් කියන්න ඕනෙ.
මූ අපි කවුරු කියලා හිතාගෙනද දන්නෙ නෑ.
කිලෝවොට් බර ගානක ලයිට් එළියක නාන ගමන් දෙන ටෝක්ස්, පොර වගේ.
ම්ම්ම් එක අතකට පොරක් තමා.
අර එළිය මැද්දෙ පොරක් වගේ තමා පේන්නෙ.

අහ්
5) නළුවා වයස වැඩියි

ඒත් ඒ පොයින්ට් එක වැඩි වෙලාවක්නම් තිබුණෙ නෑ.මොකද කතාවේ විදියටත් මිනිහා වයසයි.මිනිහා විතරක් නෙවේ ගෑනිත්.
නෑ කෙල්ල.
විනාඩි පහළොවක් විතර යද්දි ජෝඩුවගේ පෞද්ගලික ජීවිතවල කොන් අහු වෙන්න ගත්තා.
මීදුමත් එහෙමනෙ.ටිකක් ඈත ඉඳන් බලද්දි සුදු පාට කළු ගල් කුට්ටියක් වගේ ("සුදු පාට කළු ගල්" යෙදුමනම් හරි නෑ.යන්තමට තේරුම් ගන්න. ඒ ඇති )
ඒත් ළං වෙද්දි චුට්ටක් හරි දුරට පේන්න ගන්නවා.
පොඩ්ඩක් එහෙට මෙහෙට හරි බරි ගැහිලා ආයෙමත් සීට් එකෙන් ,"චිරි චිරි " ගාල හොඳවායින් දෙකක් අහගත්තු මම මීදුම් දුමාරෙ මැද්දට එබුනා.
කතාවේ දෙබසින් දෙබසට ඉදිරිපත් කරන්න පුලුවන් උනත් ඒක නොකරන්නේ,නාට්‍යය හදපු එකා මගේ තරහ කාරයෙක් නොවෙන හින්දයි.ඒත් පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්න හිතිලද කොහෙද කට කහනව.
මේ ටිකක් පරණ ජෝඩුවක්.මෙතන "ජෝඩුව" කියන වචනෙන් අදහස් උනේ නෝමල් දෙන්නෙක් කියන එක මිසක් "යුවළ" එහෙමත් නැත්තන් "කපල් එක" නෙවේ.ඉස්සරහත් එහෙමයි.දැනුත් එහෙමද මන්දා.බංකුවෙනම් අඩි දෙකේ ෆ්‍රේන්ඩ්ශිප් ගැප් එක තාම තියෙනවා.ඒත් තේරිච්ච විදියටනම් මේ පොර සහ පොරී අතර මොකක්ද හුටපටයක් නොතිබිලාම නෑ.තිබිලත් නෑ වගේ.
ඒත් ජීවිතේ ලැබෙන්න තියෙන්න ගොඩක් දේවල් නොලැබෙන්න,ප්‍රශ්න ගොඩක් නොවිසදෙන්න බලපාන ප්‍රධාන සාධක වන "ආත්ම අහිමානය","සෙකන්ඩ් නොවීමේ අහිප්‍රාය" ,"අනම්‍යශීලීත්වය" මෙතැනදිත් මුන් දෙන්නගෙ ඔලුවටත් උඩ ඉඳන් බලපාල තිබිච්ච නිසාද කොහෙද,කිසිම දෙයක් සිද්ද වෙලා නැත්තෙ.
අර සින්දුවකුත් තියෙන්නෙ "එක වරක් ඔබට මා එපානම් සිය දහස් වාරයක් එපා මට..ඔබ එපා"
දෙන්න දෙපැත්තට ඕක කිය කිය ඉඳලා.
ඒ ඇරුනාම තවත්.."ඉට්ස් ඔවර්" ,"වී ආර් ඩන්" "ඩෝන්ට් කම් බැක් අගේන්" එට්සෙට්‍රා
ඒ මුල් පැය බාගයෙදි අහුලගත්ත ,අවශෝෂණය කරගත්ත දේවල් ටික.ඒ අතරතුරේ ස්ටේජ් එකට ඇරුනාම අහළ පහළටත් නෙත් ඇදිච්ච එක නාට්‍යයේ අඩුපාඩුවක් කියලා චෝදනා අරන්න බෑ.මගෙ අඩුපාඩුවක්.අහළ පහළ ගැන සමරියක් දුන්නොත් දොර ගාව ටිකට් කඩපු එකා තුන් හතර පාරක් ඇතුළට ආවා ආපහු ගියා.ඒ අතරතුරේ තවත් කෙල්ලෙක්ද කොහෙද කලුවරේම ඇවිත් ඉස්සරහ සෝබන සීට් එකකට බර දුන්නා.

ඩ්‍රාමා සමරි එකේ හොඳම ටික අමතක වෙලා වගේ.

"දැන් ලොකු පුතෙක් එහෙම ඇති නේද?

"නෑ මම බැන්දෙ නෑ.කොහෙද වයිෆ් වර්ක් කරන්නේ?"

"නෑ මට වයිෆ් කෙනෙක් නෑ"

ජෝඩුව කවදාවත් වෙන කාවවත් කසාද බැඳලා තිබුනෙ නෑ !!

ටිකක් බොළඳ ටයිප් කියලා හිතෙන එකනම් නවත්තන්න බෑ.සමහර විට අතාත්විකයි කියල හිතෙන නිසා වෙන්න ඕන.ඒත් එහෙම දෙවල් වෙන්නෙත් නෑ කියලා කියන්න අමාරු වෙන්නෙ මේ ලෝකෙ මම ඇරුනාම තවත් බිලියන හතකට එහා ඉන්න නිසයි.
බැන්දෙ නැත්තෙ ඇයි කියන එකට හරි උත්තරයක් ආවෙ නෑ,දෙන්නගෙම කටවල් වලින් එළියට.ඒත් දෙන්නම කාලාන්තරයක් වේදනාවකින් හිටපු වගක් තමා පෙනුනෙ.ඒ වෙලාවෙත් ඇස්වල ලියවිලා තිබුන.

මුලින්ම කියවුනේ කසාද බැඳලා නැති වගක් විතරයි.කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක හාද වෙලා හිටපු වගක් ටිකක් පහුවෙලා කියවුනා.ඒත් වැඩි කාලෙකට නෙවේ.පොරගෙ කටින්ම කියවිච්ච විදියට මඩේ හිටෝපු ඉන්නකටයි ඒ සම්බන්ධතාවය සමාන උනේ.ඉර හඳ මතක් කරලා දිවුරලා,පන්සල් ගිහින් බෝධි පූජා තියලා ,බාරයකුත් උනත් අන්තිමේ අර කියපු ඉන්න කඩාගෙන වැටිලා තියෙන්නෙ මඩ ගොඩටමයි.ඒ පැත්තකින් හීනියට ආපු තල්ලුවකින්.තල්ලුව ආවෙ කොහෙන්ද කියලවත් මිනිහට අදහසක් නෑ.හරි සංකීර්ණයි,මොකද උන් දෙන්න අතර කිසි ප්‍රශ්නයක් ඇති වෙලත් නෑ.හරි සංකීර්ණයි

එච්චර සංකීර්ණ මිනිස්සුන්ගෙ හැඟීම් අත පත ගාන්න යනවා කියන එකත් කරන්ට් එක අල්ලනවා වගේ වැඩක් එක අතකට.අපිට කරන්ට් එක වදිනවාට අමතරව ,ට්‍රිප් ස්විච් එකත් යනවා.ඒකයි එවත් එක්ක සෙල්ලම් හොඳ නැත්තෙ
මිනිස්සුන්ගේ හැඟීම් ඉදිරිපත් කරන්න වගු,ප්‍රස්තාර තියෙන රිපෝට් ගන්න බෑ.නිකමට හිතන්න,මේ සම්මත ලෝකයේ "ගෑණු පිරිමි අතර ඇති වෙනවා කියන ආදරය කියන දේ ගැන"

"මගේ සිතේ අහවලී ගැන 2007-2013 දක්වා කාලය තුළ ඇති වූ ආදරයේ වෙනස් වීම පහත ප්‍රස්තාරයෙන් නිරූපණය වේ "

"පහත වගුවේ පළමු තීරුවෙන් අහවලී 1 ට කැමති වීමට හේතු සහ දෙවන තීරුවෙන් අහවලී 2 ට කැමති වීමට හේතු දක්වා ඇති අතර,ඒ දත්ත සමාලෝචනයෙන් පසු නිගමනය වශයෙන් මා අහවලී 3ට කැමති වග දක්වා ඇත. "

හැඟීම්,සබඳතා කියන ජාති එහෙම නෙවේ.තව දුරටත් තර්ක කරන්න ඕනෙනම් මට කියන්න ,දැන අඳුරගෙන මාසෙන් කසාද බැඳලා මැරෙනකල් හොඳට ඉන්න කපල් එක්කම අවුරුදු දහයක් දොළහක් ආදරේ කරල බැඳලා ටිකකින් ඩිවෝස් වෙන කපල් ඉන්නෙ ඇයි කියලා.
අර පොර සහ පොරී කාලෙකට කලින් වෙන් වෙලා ගියාට ඒක ඇත්තම "වෙන් වීමක්" නෙවේ කියලා පේන්න තිබෙන නිසා උන් දෙන්න මේ පාර එකතු වෙයි කියලා හිතනවාද?නැත්නම් කිසිම දෙයක් වෙනස් නොවෙයි කියලා හිතනවාද? නාට්‍යයේ මොනවා උනත් ඇත්ත ජිවිතෙත් එහෙම්මම වෙයි කියලා හිතනවාද? නාට්‍යයේ මොකද උනේ කියලා මගෙන් අහන්න එපා.මම පැයකට විතර පස්සෙ සෝබන සීට් එකෙන් මිදිලා එළියට ආවා.

ඒ වෙලාවේ  දැකපු, අර ඉස්සරහ කළුවරේ ඇවිත් ඉඳගත්තු කෙල්ලගෙ මූණ ගැන සහ උත්පාදනය වෙච්ච හැඟීම් ගැන අහලා කරන්ට් එක වද්දගන්න එපා...

*********************
අන්තිමේදි මාතෘකාවට

ඩිජිටල්
සන්තතික නොවන (වෙන්වූ) දත්ත සහ සිද්ධීන් සහිත පද්ධතීන් විස්තර කරයි.මෙම පද්ධතිවල පවතින්නේ අගයන් දෙකක් පමණි.
1 හෝ 0
on හෝ off
ඇති හෝ නැති

උදාහරණෙකට ගෙදර ලයිට් දාන නෝමල් ස්විච් එකක් ගන්න.එක්කෝ එක off නැත්තන් on .එක්කො එළිය තියෙනවා.නැත්තම් එළිය නෑ.ඒ දෙක මැද්දෙ අවස්ථාවක් නෑ

ඔව් මිනිස් සබඳතා ඩිජිටල් නෙවේ. (කැමති සබඳතාවයක් තෝරගන්න ) 
නැති වෙනකොට නැත්තටම නැති වෙලා යන්නත්
තියෙන කොට උපරිමේටම තියෙන්නත්
ඒවා තියෙන්නෙ ඔය දෙකම මැද හරියක වගේ
හරිම
නොපැහැදිලි
බොඳ වෙච්ච
සීමාවක....

සිද්ධි මනඃකල්පිතයි.මනස්ගාතයි
ඕනෑම කෙනෙකුගේ ඕනෑම කමෙන්ට් එකක් සඳහා බ්ලොග් එක විවෘතය.ඕනෑම කෙනෙක්





Share:

Nov 7, 2013

දූෂණ නසන විරුවා

විඳිමින විටමින ඩී හිරු රශ්මිය
ඇවිදින කල කකියයි පා යුග්මය
හෝනය දී බ්‍රේකය ගැසු කාරය
රියදුරු තෙම කී "මම දෙමි ලිෆ්ටය"



හිඳගෙන මත ඉදිරිය සුව සීටය
සිරකොට සකසනු ලැබුවෙමි බෙල්ටය
තුති පුද වේ දෑතට පදවන රිය
කී කල හේ තෙම කී "මයි ප්ලෙෂරය'


නුඹ ගුණ මා මෙහි අගයමි පුතණුව
බෙල්ටය දමමින, නීතිද ගරුකව
බෝ දෙන වසනා මේ කල ලක්දිව
නිතින නීතියට ගෙන දෙති පරිභව

ඒ පිළිගත් කල සළමින මා හිස
රියදුරු තෙම කියවයි ලෙස "බස බස"
නීතිය කඩනා උන් හට දී   කස
දෙකකුල් පලලා තබනෙමි ලුණු ඉස

බලනුව පුතණුව පෙර තුන් සක් රිය
කපමින මාවත මැද ඉරි යුග්මය
සිත්සේ හරවා යන සැටි හැඩලය
තුන් සක් රියමැයි මාවත කරුමය

නුඹ බස ඇත්තකි මැතිඳුණි රියදුරු
තුන් සක රඟදෙනු දුටුකල නිරතුරු
සිහිවෙත වැස්සට සැරිසරනා මෙරු
මේ ලෙස ගි..........

පුතණුව මෙරු මෙන් නොව මේ පල් හොරු
මැඳැඟිලි එසැවේ මාගේ අත සුරු

පුත,
ලොව තුළැ කිතු ගොස රැව් පිළිරැව්
කරමින, රැක දියුණෙහි සිරිදෙව්
හුන් රටකට,යන කල පිළිකෙව්
සිහි කරමින වැළපෙන අපි පව් !

දුටුවෙද පුතණුව ,උළෙලට චෝගම්
සැමතෙහි සැමවිට සරුවට වියදම්
එනමුදු චිත්තය පෙළනා සොවනම්
දැකුමයි නිරිඳුන් රඟනා කෝලම්

ගජ ගොඩනැගිලි මාවත් බෝ එක්සප්‍රස 
නැඟුනද සොඳින ලක් දිවයින කොනෙහි දස
කොමිෂන ලෙසින නිරිඳුන් ගත් ධනය රැස
නොදනිමු පුතුනි අපි ගත් ණය ගෙවනු මිස

ගසක සරුව වැඩෙනා පිළලයක් මෙන
සිහසුන පටන් පහළට සරු ලෙස ගලන
දූෂන දාම, නැසුමට පෙර අප දෙරණ
පුතුණි එදිරි වී ගෙනයමු ජන සටන

රියදුරු මැතිඳ තුළ නැගෙනා ආවේගය
හිසේ පටන් දෙපය දෙසට විසිරේය
දකුණත පැඩලයද මඳ මඳ පෑගේය
ආවේගයද වේගෙද වැඩිවේ රථය

මාවත ඉදිරියෙහි හුන් මැතිඳාන පොලිස්
විසිලය පිඹිනු ලැබු කල්හී හඬින උස්
නැවතින රථය යහතින හඬ නගා "ක්‍රාස්"

පොලිස් තෙමේ විමසී "කෝ ඔබ ලයිසන්?"

පින්වත් මැතිඳ මාගේ ලයිසනයද
ඉන්සුව රන්සයද මා ලඟ නොමැත අද
කමා වෙලා......

රියදුරු මැතිද මට නැගෙනා පැනයකී
යකෝ ලයිසන් නැතුවද මාව මෙච්චර වෙලා දාගෙන ආවෙ?


බැල්මක් හෙලූ මා වෙත නොම රුස්සනා
රියදුරු තෙමේ රථයෙන් බැස නික්මෙනා
කසු කසු හඬින ගනුදෙනුවද සිදු කෙරෙනා
"දූෂණ නසන විරුවා" දූෂණය වෙනා




අනීවාරතේ ජන සංගණනයට එකතු වෙන්න.ඔබේ සහයෝගය ඉතා ඉහළින් අගය කෙරේ.





ඕන රෙද්දක ඕන රෙද්දක් ලියාගන්න.යන්න www.owntshirt.com

Share:

Oct 28, 2013

ආචිචිට රෙද්ද ගැන කියාදිමට සොඳුරු උත්සාහයක් !




නෝට් : ඇවිත් යන්න කලින් අනීවාරතේ ජන සංගණනයට සහය දෙන්න


සමීප ඥාතියෙකු හෝ යහලුවෙකු බැලීමට ඔහුගේ හෝ ඇයගේ නිවසට යාමේදී, නිකරුණේ අතපය අවලම්බනය කොට වන වනා නොයා මොනවා හෝ රැගෙන යාම ,සල්ලි තියෙන කාලයට අනුගමනය කිරීමට ඉතා හොඳ පුරුද්දකි.වෙනදා මෙන් ආච්ච්ගේ ගෙදරින් යමක් අත පත ගාගෙන එනු වෙනුවට ,ආච්චි විෂයයෙහි යමක් පූජා කිරීමට ඇති වූ චේතනාව කර්මයක් බවට පත් වූ හෙයිනි ,මේ අඟල් අටක් දිග කවරය මා අතට පැමිණියේ. 
තෑග්ගක් රැගෙන යාමේදී හොඳ බරට ගෙන යා යුතු බවට තිබෙන මුඛ පරම්පරාගත මතවාදයට අනුව, මුලදීම මිරිස් ගලකට හිත ගියද ,ටිකකින් වෙන අතක ගිය හිත නතර වූයේ මේ අඟල් අටේ කවරය ළඟය.

තෑග්ගත් අතට ගෙන ආචිචිගේ ගෙදර දොරෙන් ඇතුළු වූ මම අඩියක් ඇතුළට යන විට, මගේ පපුව අඩි දෙකක් ඉදිරියට යයි.ඒ පපුව අභිමානයෙන් පිම්බී තිබුන නිසාය.කවරය අතට ගත් ආච්චිගේ මුවින් පිටවිය යුතු විශ්මයාර්දී ලකුණ (! ) ශබ්දය වෙනුවට ,සවුන්ඩ් කාඩ් එකේ අවුලක් නිසා පිටවූයේ වෙනමම වදන් වැලකි.

"ලයිට් බිලද උක්කුං පුතේ?"

මම ඉවසීමි..
එවදන් උපේක්ෂාවෙන් ඉවසීමි

යමෙකුට තෑග්ගක් පිරිනැමීමේදී හෝ විශ්මයජනක දෙයක් පෙන්වීමේදී, ගල් යුගයේ පටන් අනුගමනය කරන මෝඩ පහේ ට්‍රික් එකක් තිබේ.

"කෝ ඇස් දෙක වහගන්න බලන්න"

අමාරුවෙන් වැසූ ඇස් දෙක නැවත විවර වන මොහොතේම මම කවරය තුළ තිබුනු කාඩ්පත මූණ ඉදිරිපසින් ඇල්ලූවෙමි.


ටඩා

(මේ අවස්ථාවේ නියම හැඟීම ලබාගැනීමට පහත වීඩියෝව ප්ලේ කරන්න-ගැටයා )



"මොකක්ද උක්කුං පුතේ මේ? උඹේ වෙඩිං කාට් එක වෙන්නත් බෑ.අපේ මෝල් ගහේ තාම දළු දාල නෑ.මම අද උදෙත් දැක්ක"
"නෑ ආච්චි නෑ..මේක ගිෆ්ට් වවුචර් එකක්!
 අඟනුන් සුරඟනුන් කරන,කාඩයන් සුපර් ස්ටාර්ස්ල කරන ,ධරණීය සංවර්ධනයට ඔබින පිරිමැසුම් දායක කාන්තා රෙදි පිළි මාළිඟය 'සෙළුහංගන ටෙක්ස්ටයිල්ස්' එකෙන් ඕන රෙද්දක් ගන්න"

"චීත්ත?"

මට ඒ වචනය හරිහැටි ඇසුන මුත් කන්වල දෝශයක් අභිරූපනයෙන් ඉදිරිපත් කොට,

"මොකක්ද ආච්චි?" යි ඇසුවෙමි

"චීත්ත පුතේ චීත්ත"

එකම වචනය තුන් පාරක් ඇසීමෙන් චිත්තාභ්‍යන්තරයේ උපන් ආවේගය හයිවේ එකේ යන්නට වූ තැන,එය සංසිඳුවාලනු වස්  පිඹිමින්,පුපුරමින්,අට පාරක් බෙල් එක ගසා හත් පාරක් දොරට තට්ටු කිරීමෙන් පසු ,අවසන කොට්ටාව හුවමාරුව වෙත පැමිණියෙමි.



යහ සමජ්හේ අච්චා කරනේ කී ලියෙ සමය හේයි !
මේ සොඳුරු උත්සාහය ආරම්භ කිරීමට කාලයයි !
_______________________________________________________

"ආච්චි දන්නවද ආච්චි? මම මේ වවුචර් එක ආච්චිට නොදී ටවුන් එක මැද්දෙ පාරට වෙලා උස්සගෙන හිටියොත් මොකෝ වෙන්නෙ කියලා?

"උඹව ත්‍රීවිල්කාරයෙක් හප්පන් යයි "

මම නැවතත් බෙල් එක ගසා ආවෙමි

"නෑ ආච්චි ,ගාමිණි ෆොන්සේකා පාරට බැස්ස වගේ කෙල්ලො මගෙ පස්සෙන් එයි.මාව හපයි..හූරයි..කොනිත්තයි..."

"අර මොකෝ? "

"රෙද්ද තමා ආච්චි..

"කියපන්කො උක්කුං"

"රෙද්ද ආච්චි රෙද්ද  ....රෙද්ද තමා"

"දැන් උඹට වැඩිහිටියන්ට කතා කරන්නත් තේරෙන්නෙ නෑ නේද?"

"නෑ ආච්චි ..රෙද්ද ..ඇඳුම්"

"ඉතින් මොකෝ?"

"ඔය රෙද්ද හදල තියෙන්නෙ මොනවා වලින්ද ආච්චි" මම විත්තියේ නීතිංඥයා මෙන් හරස් ප්‍රශ්න නැගුවෙමි

"මොනවාවලින්ද ආච්චි" මන්ද්‍ර ස්වරවල සිට උච්ච ස්වරවල නිම් හිම් සෙවුවෙමි.

"නූල් වලින්නෙ උක්කුං"

"එහෙනම් ඔබ කියන්නේ...මේ රෙද්ද...මේ රෙද්ද නූල් ගොතල හදපු එකක් කියලද?"

තීව්‍රතාවයෙන් අධික ශබ්ධ තරංග කන වැටුණු කල්හී කඩිමුඩියේ එතනට දුවගෙන ආ සීයාගෙන්ද මම ඒ ප්‍රශ්නයම ඇසුවෙමි

'සීයා..ඔය සරම හැදිල තියෙන්නෙ නූල් වලින්ද?
 නැහැ සීයා නැහැ..සීයාගේ සරමවත් ,ආච්චිගෙ රෙද්දවත් හැදිලා තියෙන්නෙ නූල්වලින් නෙවේ,මනුෂ්‍යයාගේ අභ්‍යන්තර චින්තනාවලි ඒකරාශී වීමේන්.එකට ගෙතීමෙන්.මක්නිසාද යත් රෙද්ද යනු මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය බාහිරට පෙන්වන කැඩපත"

"අනේද කියන්නෙ පුතේ.දැන් කාලෙ රෙදි ඔහොම්මම තමා.අබ්යන්තරේ බාහිරට පෙන්නන එකම තමා තියෙන්නෙ"ආච්චිගේ ප්‍රතිචාරයත් සමඟ මගේ සොඳුරු උත්සාහය ප්‍රොෆිට් කරන වගක් පෙනුනි.

"වැඩිය ඕනෙ නෑ බලහං අර සාගතසිංහගෙ ලොකු කෙල්ල කරපු වැඩේ..අර කවුද ලංකා කන්ඩායමේ ක්‍රිකට් ගහන කොලුවා දවසක් කිවුවලු අපේ හැමදේකම විනිවිදබාවයක්ද මොකක්ද තියෙන්න ඕනෙ කියලා.මේකි පහුවින්දම අර කඩල පැකට් කරන්න ගෙනාපු පොලිතින් මල්ල ඇඳගෙන පන්ති ගියානෙ"සීයා මාතෘකාව වෙනස් කර ප්‍රතිගාමී බලවේගවල අතකොලුවක් වීමට සූදානම් විය.

"මේක ඒ වගේ දෙයක් නෙවෙයි සීයා.ඇට ලේ මස් නහර වලින් පිරුණු මනුෂ්‍ය ශරීරයට ජීවයේ හුස්ම පොද පිඹින්නේ කුමක්ද ?රෙද්ද තමා ආච්චි...රෙද්ද
ආචිචි හිතන්නේ මම කාලද ඉන්නෙ?" අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි

"හප්පච්චියේ අමතක වෙච්ච හැටි..හිටපන් බෙදල ගන්නම්"

"එපා ආච්චි එපා" මම කේශර සිංහ නාද නැගුවෙමි.බල්ල උඩු බුරන්නට පටන් ගත්තේය.

"මම කෑවා කියා උපකල්පනය කරන්න ආච්චි.මගේ බාහිර වෙනසක් පෙනේද?"

"පැච් එකක් තියෙන රෝදෙකට කොච්චර හුලන් ගැහුවත් වෙනසක් නෑ පුතේ"මෙය සීයාගේ කින්ඩි සම්පන්න වදනක්යයි සැකයක් උත්පාදනය විය හැකි වුවද,සීයා විසින් එය පවසනු ලැබූයේ අනීවාරතේ පරණ බයිසිලකලයකට හුළං ගසමින් හුන් දර්පණාගේ මල්ලීටය.

"නැහැ ආච්චි,නැහැ සියා..මගෙ විතරක් නොවෙයි.බොහෝ දෙනෙකු එසේයි.කෑවා නොකෑවා කියා වෙනසක් නැහැ.ඒත් නිකමට හිතන්න ආච්චි.මම අද මෙතනට ඉරිච්ච කබල් චව් ඇඳුමක් ඇඳගෙන මෙතනට ආවොත් මගේ වෙනසක් පෙනේද?"

"ඔව්නෙ"

"ආන්න ඒක නිසා තමා ආච්චි අපි නොකා නොබී හරි රෙද්ද ආරක්ෂා කරගන්න ඕනෙ.මක්නිසාද යත් පාරවල්වල චීන අකුරු සහිත බෝඩ්වලින් රටේ සංවර්ධනය නිරූපණය වන්නේ යම් සේද ,රෙද්ද මඟින් මනුෂ්‍යයා නිරූපණය වන බැවිනි.මේ ෂර්ට් එකෙන්,කලිසමෙන්,තොප්පියෙන් නිරූපණය වන්නේ එයයි"

"සර්ට් කිවුවාමයි දැක්කෙ.පංකාදු සර්ට් එකක් නේහ්" ආච්චි මගේ කමිසය ස්පර්ශ කළාය

"හ්ම් හ්ම්.කුරහන් පාටමයි..හොඳ පාට" සැමියාගේ යුතුකම ස්වකීය භාර්යාවගේ මත ස්ථීර කිරීම බැවින් සීයාද කට ඇරියේය.

"ආච්චි කෝ ගිනි පෙට්ටිය"

"ඔන්න ඔහෙ බුදු පාන ළඟ ඇති.මොකටද?"

ගිනි පෙට්ටිය සොයාගැනීමට සහ ගිනි කූරක් ගැසීමට ඒ හැටි වෙලාවක් ගත නොවුනු අතර හිතුවාටත් වඩා කලින් කමිසය කළු පාට විය..මම තුවායක් ගෙන ඇඟ වටේ ඔතාගතිමි.

"ඔන්න ඔය වගේ කලිසමක් තමා එදා ඇස්.බී.."සීයා නැවතත් ගිනි ඇවිලීමට  උත්සාහ කළේය.

"නෑ නෑ..පුතේ ඔයිට වෙනස්" ඒ ආච්චීය.සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.

"දැන් ආච්චි මගෙ තෑග්ග ගන්නෙ නැද්ද" මම ගිනි කෙළි සංදර්ශනය අවසානයේ ඇසුවෙමි.

"අනේ අපිට මොකටද පුතේ ඔච්චර ඇඳුම්? සාරියක් උනත් ඕන වෙන්නෙ කලාතුරකින්නෙ"

"ආච්චි හැම තැනටම සාරි අඳින්නද හදන්නෙ?ආච්චිගෙ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ.සීයා හැම තැනටම නැෂනල් එක ගහන්නද ලෑස්තිය?දෙන්නම මම කියනවට යං.."

උත්සාහය සාර්ථක විය.
ජෝඩුව යහ මගට ගැනීමේ උද්දාමයෙන් මම ලොකු වාහනය පැදෙවුවෙමි.සෙළුහංගන ටෙක්ස්ටයිල් වෙත ඒමට ගතවූයේ පැය කාලක් පමණි.එම ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේ ක්‍රිකට් තරඟයකි.ඇමතිතුමෙක් පාරේ පයින් යාම වැනි තරමක් ඇසට නුහුරු දසුනක් බැවින් මම එකෙක්ගෙන් ඒ පිළිබඳ විමසීමි.

"අපේ වයිෆ්ලා ඇඳුම් ගන්න ඇතුළට ගියා මල්ලි.කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අපි ගහනවා මැච් එකක්.මල්ලිත් ජොයින් වෙනවද.ඔවර්ස් පනහ වෙන්න තව බෝල් පහයි"

"ඔවර්ස් පනහක්?" මම මවිත වීමි

"ඔව් එක සයිඩ් එකක් බැට් කලා"

"එක සයිඩ් එකක් බැට් කලා"මම මවිත වීමි

"ඔව් ඔව් නවයට හත ගහන්නෙ..දැන් මැච් පහක් ඉවරයි"

"මැච් පහක් ඉවරයි?" මම මවිත වීමි

"ඔව් ඊට කලින් ටෙස්ට් එකකුත් ගැහුවා"

මම ගියෙමි

වැඩි දුරක් යන්නට ලැබුනේ නැත.කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රෑනක් ආච්චි වට කර ගත්හ.
පෙර කී "රෑන" කෙතරම් විශාලද යත් නැවත ආච්චිව දර්ශනය කරගනු පිණිස මටත් සීයාටත් කොපර කොපර පිපිඤ්ඤා මෙන් වටේ යන්නට සිදු විය.
(කොපර කොපර පිපිඤ්ඤා යනු එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවක එන මනඃකල්පිත ක්‍රීඩාවකි"

රෑන මැද්දෙන් ප්‍රීතියෙන් උද්දාමිත ශබ්ද මාලාවක් නැගෙන්නට විය..
"වාව්..ලුක් ඇට් දිස් ක්'වුස් ඇන්ඩ් ලයින්ස්"
"වට් අ ප්‍රිටි ස්ටයිල්.අයි රියලි ලයික්ද ෂේප් ඔෆ් දිස්"
"වී ෂුඩ් ඩෙෆිනීට්ලි බයි දිස්"
"ෆ්‍රොම් වෙයාර් ඩිඩි යූ ගෙට් දිස් ආන්ටි? විසූකදස්සනා පැෂන්ස් ඕර් සෙළුහංගන?"

කාරණය වැටහිණ.ආච්චිගේ චීත්ත රෙද්ද රසික උන්මාදනයේ ගොදුරක්ව තිබේ.ඈව ඉන් ගලවා ගැනිමට අප්‍රමාණ වෙහෙසක් දරන්නට සිදුවිය.කෙල්ලන්ගේ කඳුලු පිසින්නටත්,දුරකථන අංක ලබාගෙන මේ ඇඳුම ලබාගැනීමට හැකි ස්ථාන සොයා දීමට පොරොන්දු වීමටත්, එකෙක් දෙන්නෙක් ගෙදරටම ඇරලවීමටත් සිදුවිය.
නැවතත් ගමන ආරම්භ විය.
ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ හොඳ මෙන්ම දුර්ලභ ව්‍යාපාපාරික අවස්ථා සොයාගත් විටය.
රෝහල් ළඟ මිනී පෙට්ටි සාප්පු අරින්නේ ඒකය
ඇඳුම් කඩ ළඟ රත්තරන් බඩු උකස් කරන පොට් අරින්නේ ඒකය.
අපට ඊළඟ බාධාව පැමිණියේ ඒ පොට් වල පොරකන ඈයින්ගෙන්ය.

"හැබෑට උක්කුං මොකෝ මේ මිනිස්සු මෙච්චර ඇඳුම්වලට නහින්නෙ" ආච්චිගේ දකුණු අත කම්මුලේය.පටාචාරා වෙසක් නාට්‍යය බලන්නාක් මෙනි.

"කලිනුත් කිවුවෙ ආච්චි.අපිට හොඳට පොළොවෙ පය ගහල මේ සමාජයේ පෙනී හිටින්න ඕනෙනෙ..ඒකට මොනව නැතත් හොඳට අඳින්න ඕනෙ.කොච්චර ඩයල් එකක් උනත් වැඩක් නෑ කබල් රෙදි අඳිනවනම්"

"මිනිහෙක් මනින්න හොඳද බන් එහෙම..මට මතකයි අපි පොඩි කාලෙ මහත්මා ගාන්ධි තුමා එංගලන්තෙ රජ්ජුරුවොයි මහ රැජිණයි බැහැදකින්න ගියා ඒ උත්තමයගෙ අර රෙද්ද ඇඳගෙන"


"ඔව් ඔව් ඒක නේන්නම්..බලන්නකො කරල තියෙන වැඩේ.කුවීනුත් ඊට පස්සෙ නෙට් එකේ කියල තිබ්බ.එයාට ගොඩක් ලැජ්ජ හිතුන කියලා ඒ ෆැෂන් එක ගැන"

"හරි දැන් උක්කුං කියන විදියට මනුස්සයෙක් කෑවත් නැතත් ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයෙක් මොන ජඩ වැඩේ කළත් ඒව වහගන්න ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"අනිත් ඈයින් අතරෙ පිළිගැනීමක් ඕනෙ නම් තැනට ඔබින විදියට ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයන්ගෙ හැම උවමනාවකටම උඩින් තියෙන්නෙ?"

"රෙද්ද තමයි ආච්චි"

මගේ ඉවසීම ඉහවහා ගියේය.

"ආච්චි දැන් ආච්චිට රෙදි එපාද?හණමිටි අදහස් තියෙන මිනිස්සු.එපානම් ගෙදර යන්.මට බඩගිනියි දැන්.මොනවද උයලා තියෙන්නෙ?"

"රෙද්ද තමයි උක්කුං".


නිමි

තව යන්න.
ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !
ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් 


අනීවාරතේ පටන් ගෙන දැන් බොහෝ කලකි.මේ වෙනසකට කාලයයයි සිතේ.ඔබේ අදහස් ඉහළින් අගය කෙරේ.

Share:

Oct 12, 2013

පරිප්පු හොද්ද





එහෙට මෙහෙට පෙරල පෙරලා බලපු මෙනු එකේ පිටුවල ෂයින් එකනම් බොහොම සැරට තිබුනා.සැරට තියෙන්නෙ ෂයින් එක විතරක් නෙවේ කියලනම් බිල ආවාම තේරෙයි.

"සල්ලිනම් මොනවද දැන්" ක්ලෝමෝ මගෙන් අහනවා

ඇත්ත තමා සල්ලිනම් මොනවද අපිට දැන්

ක්ලේමෝ වැඩ කරන්නෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක.ක්ලෝමෝ කියන්නෙ ඒකයි .ක්ලෙම් (Claim ) කියන වචනෙ කට හුරුවට.හුස්ම ගන්න අමාරු වෙනකල්,පපුවෙ පැත්තක් රිදෙන්න ගන්නකල්,මුත්‍රා අමාරු එනකල් ගොඩක් මිනිස්සුන්ට ක්ලෝමෝ කියන්නෙ "වහ කඳුරු" කැටගරි එකේ චරිතයක්.ඒත් යම්කිසි ඇනගැනීමකදී ක්ලේමෝ කාරයාට දේවත්වයක් අරූඪ වෙනවා.

"ක්ලේමෝ දෙයියො "

ඒත් ක්ලේමෝගෙ හීනෙ උනේනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්

"ඇසිස්ටන් මැනේජර් ක්ලේමෝ " වෙන එක

ආයෙත් මෙනු එක පැත්තට

පීට්සා,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ,පස්ටා ,සබ්මැරීන්,රොකට් ලෝන්චර්...

"ඒත් මොනවාහරි අඩුවක් තියෙනවා බන් " ඒ දුන්නෙ ක්ලෝමෝ කලින් කියපු දේට උත්තරය (සල්ලිනම් මොනවද දැන්)

"හ්ම්ම් එක තමා රයිස් එකක් දාන්න තිබ්බෙ අපිට" ක්ලේමෝ

"එහෙම නෙවේ ,උඹට මතකද උඹ අපේ කැම්පස් එකට ආපු දවසෙ අපි බත් ඉවුවා .බතුයි ,සම්බෝලයි.." මම බත බෙදන්න ගත්තා

"කරෝල තෙල්දාලා,පරිප්පුයි " ක්ලෝමෝ අඩුපාඩුව එකතු කළා.

"අපිට මොකද උනේ බන්? "

මගෙ ඇතුළෙන් පටන් ගත්ත සිතිවිලි බුබුළ ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා ක්ලෝමෝවත් වහ ගත්තා.

'උදේ වැඩට යනවා ,හවස එනවා පුලුවන් උනොත්. නැත්තං එළිවෙනකල් වැඩ.එක එකාට හම්බ කරල දෙන්න.අපේ බෝඩිමේ හතරක් ඉන්නවා.අපි එක එකාව දකින්නෙ කාලෙකට සැරයක්.මැරෙනකල්ම මෙහෙමද? "

"නැගිටපන්" අර සිතිවිලි බුබුලට මොකක්ද කටුවකින් ඇනපු ක්ලෝමෝ, දරාස් ගාලා පුටුවත් පිටිපස්සට තල්ලු කරලා නැගිට්ටා.අහල පහල මිනිස්සුත් බලාගෙන

වේටර් කොලුවත් වලියක් කියලා හිතාගෙනද මන්ද කඩාගෙන ආවා..

"ෆුඩ් සිටියෙ පරිප්පු තියෙනවා නේද? " ක්ලේමෝ අහනවා

"අපි ගාවනම් නෑ සර්" වේටර් කොළුවා සුහදශීලී සේවයකට ඇප කැප උනා

"ඒක හොඳයි..උඹ අරුන් දෙන්නට කෝල් එකක් ගනින්කො..කොහොමහරි සෙට් කරගමු"

"දැන් මොකක්ද කරන්න යන්නෙ" මම "අදි මදි" ඉමෝෂන් එකක් ගත්තෙ කෝල් දෙකක් ගන්න ලෝබකමකට නෙවේ,කුතුහලේට

"අද අපි සෙට් වෙලා පරිප්පු හොද්දක් හදලා පාන් කෑල්ලක් කමු"

මම ක්ලේමෝ දිහා කට බලියගෙන බලන් ඉන්න ඇති.ඇයි යකෝ මට ඕක හිතුනෙ නැත්තෙ !

"සර් පරිප්පු හොදි, නිකන් පාන් නම් නෑ..සර්ලට ගාලික්.."

සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් කාරයෙක් ඔරවනවා ඔබනම් දැකලා නැතුව ඇති.ඒත් මම දැක්කා..
මම එළියට යන ගමන්ම ඩීබග් මල්ලිට කතා කළා.

ඩීබග් රස්සාවට කරන්නෙ සොෆ්ට්වෙයාර් ලියන එක.පරිප්පු හොද්දෙ රතුළුනු ,මිරිස් කරල් ලියද්දිත් මිනිහා දස්කම් දක්වාවි !
ඩීබග්ගෙ කටේ වැඩිපුරම තියෙන්නෙ "ඩීබග්" (Debug) කියන වචනය .අපි මුලින් හිතුවෙ ඒ කෑල්ලකගෙ නමක් කියලා මොකෝ කෑල්ලකටත් හොඳ නම

ඩීබග් ප්‍රියදර්ශනී පීරිස් 

මිනිහට එච්චර සිහියක් පතක් නෑ.වැඩ කරන්නෙත් සුද්දන්ගෙ රටවල කැලැන්ඩර්වලට නිසා "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" වගේ .පොර නොනගෙතේට පන්සල් යන්න කතා කරද්දි අපි ආහාර අනුභවය කරල බුදි.ඇත්තටම අපි දැන් ඉන්නෙ බෝඩින් ෆීස් ගෙවන්න මිනිහගෙන් දැනට ගන්න ගාන ටිකක් අඩු කරන්න.බෝඩිමේ නැති එකෙක්ගෙන් සල්ලි ගන්න එක පව් වැඩක්නෙ!
කෙඳිරි ගෑම් ගනනාවකට පස්සෙ ඩීබග් මල්ලි පොරොන්දු උනා බෝඩිමට කලින් එන්න.කලින් කිව්වෙ එතනින් කලින් ,ඒත් අපිට පරක්කුයි

අනිත් එකා "ට්‍රබල්සූට්".පොර ඉංජිනියර් කෙනෙක්.රණවිරුවො ඉපදුනේ රට රැකගන්න වගේ ට්‍රබල්සූට් ඉපදිලා තියෙන්නෙ "ප්ලාන්ට් එක " රැකගන්න.මහ රෑ දෙගොඩහරියෙත් ප්ලාන්ට් එක බලන්න කම්පැනියට යනවා කියලා බෝඩිමෙන් යද්දි අපි හිතුවෙ මොකක් හරි පොඩි පැළයකට (ප්ලාන්ට් එකකට ) වතුර, පෝර දාලා සාත්තු කරනවා ඇති කියලා.පස්සෙයි දන්නෙ "ප්ලාන්ට්" කියන්නේ ෆැක්ටරි වල තියෙන  ඔය අනන් මනන් හදන දාර මැෂින් වලට කියලා.
මිනිහත් වෙලාවට එයි.
ට්‍රබල්සූට් කියන විදියට ඉංජිනියර්ස්ලා කියන්නෙ වෙලාවට වැඩ කරන මිනිස්සු ,ටිකක් පරක්කු වෙලා..

__________________________________________________________________________

අපිට දැනිච්ච විදියට මෙච්චර කාලෙකට ඩීබග් එයාගේ කම්පූටරෙන් තේරුමක් ඇති වැඩක් කළේ එදා තමා.මිනිහ පරිප්පු රෙසපි එකක් හොයලා ඩව්න්ලෝඩ් කරලා දුන්නා.ක්ලේමෝ අඩුම කුඩුම ඔක්කොම මයික්‍රොසොෆ්ට් එක්සෙල් ෂීට් එකකට අරගෙන හොයාගත්ත බඩුවලට අදාල සෙල් එක කොළ පාටට හයිලයිට් කළා.හොයාගන්න බැරි ඒව රතු පාට.
ට්‍රබල්සූට් තමා පරිප්පු ඩිස්ටිලේෂන් සිස්ටම් එකේ සෙටප් එක හැදුවෙ..ඕන කරන හැළි වළං බෝඩිමේ ඇන්ටිගෙන් රෙන්ට් කරන්න පුලුවන් උනත් ඒවත් සල්ලිවලටම ගත්තා.
ලේසියෙන් කරන්න පුළුවන් කෙළියක්නම් නෙවේ.ඒත් හීන් සීරුවේ වැඩේ කරගෙන ගියා.
කොහොමහරි මේ කට්ට කන්නෙ පරිප්පු හොද්දක් හදාගෙන බඩගින්න නිවාගන්න නෙවේ කියලනම් අපි හැමෝම දැනන් හිටියා.
හුදෙක් "යමක්" කිරීමේ අරමුණ !
ඒකාකාරී ,පරණ ග්‍රැමෆෝන් තැටියක් වගේ එකම තැන දුවන ජීවිතේ පොඩ්ඩකට හරි අපගමනය කරගැනීම.
වචනවලින් එහෙම නොකිවුවට හිතේ තිබ්බෙ එහෙම.මොකද කිසිම හැලහැප්පිල්ලක් නැතුව ජීවිතේ ගැලීම කියන එක ඔලුව තෝන්තු කරන ජාතියේ කාරණාවක්.මොනවා හරි දෙයක් වෙන එක ලොකු සහනයක්.බස් එක හැප්පෙන එක ,පොකට් එකට කවුරුහරි එකෙක් විදින එක.අඩුම ගානෙ අසනීපයක්වත් හැදියන් !
අපි හැමෝම පල්ලෙහා තැනක ඉඳලා ලිෆ්ට් එකකින් නෙවේ, ගොඩක් උසට යන පඩි පෙළක පඩියෙන් පඩිය බඩගාලා උඩට ආපු උදවිය..පොර ටෝක් නෙවේ.උඩට යන්න යන්න අහළ පහළ වැඩිපුර පේනවා.වටපිටාවේ පේන දුර වැඩිවෙනවා.පඩිපෙළ මැද නතර වෙච්චි ,මැදින් වෙන වෙනම තට්ටු වලට ගියපු,ආපහු බැහැල ගියපු,අපිවත් පහුකරන් උඩට ගියපු උන් දැක්කා,දකිනවා.දකීවි

ඒත් උඩට එන්න තිබ්බ උද්‍යෝගය, උඩට ආවාම අපිව දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නෑ.

නැවතත් පරිප්පු හොද්දට !
උත්සාහය පල දරන බවක්නම් පෙනුනා.පොල් ගාද්දි ,මිරිකද්දි,ලූනු කපද්දි,මිරිස් කපද්දි අපි හතරදෙනා අපි ආයෙ පරණ කාලෙකට ගියා වගේ ලාවට දැනුනා.
අලුත ගෙනාපු වළංවල
අලුත ගෙනාපු ලිපේ 
අලුත් පරිප්පු හොද්දක්
අතීත කාලෙට අයිති සුවඳකින් කාමරේ පිරෙන්න ගත්තා,

"පොඩ්ඩක් බලපන් මචන් හැන්දට අරන්" ට්‍රබල්සූට් කිව්වා

ක්ලෙමෝ තමා රස පරීක්ෂක

"ම්ම්ම් ලුණු මදි වගේ "

තව ලුණු ටිකක් එකතු උනා.

"නිකන් කහ පාට වැඩි වගේ නේද බන්?"

"දාමුද තව මිරිස් ටිකක්? '

"සැර වැඩි වෙයිද? "

"කමක් නෑ දාමු"

"ගොරක කෑල්ලක් එහෙම?"

"පිස්සුද යකෝ?"

"අබ දානවද? කරාබුනැටි එහෙම?"

"ඕනෙද? අනේ මන්දා එවත් ගෙනාව හැබයි"

"මේ රෙසපි එකේනම් නෑ"

"රෙද්දෙ රෙසපි..අපිත් උයල තියෙනවා යකෝ.දැන් මතක නැති සීන් එකක් තියෙන්නෙ"

"තව ළුනු ටිකක් දාමු..සුවඳයි"

"දැන් පොඩ්ඩක් බලපන් රස "

නැවතත් ක්ලේමෝට

"අනේ මන්ද බන් මොනවහරි අඩුයි වගේ "

"හුටා කරපිංචා "

'රෙසපි එකේ එහෙම එකක් නෑ බන්"

"යකෝ curry leaves කියන්නේ කරපිංචා නේද?"

"මම හිතුවෙ රම්පෙ කියලා"

"කෝ රම්පෙ දැම්මද? "

"කෙළිය කෝ රම්පෙ කොළේ? "

"හරි දැන් බලපන් ක්ලේමෝ"

"තාම නෑ කොලිටිය ඇවිල්ල..අමුතු අජ රහකුත් එනවා "

"තව මොනවද දාන්න ඕනෙ"

"පොල්කිරි ටිකක්?"

"ඔක්කොම දාලා තියෙන්නෙ"

"කොහොමද මේක ඩීබග් කරන්නෙ? "

"ඔහොම හැඳි ගාමු.තෙම්පරාදු කරාම හරියයි"

"තව  ලුණු ටිකකුත් දාමු,මදි වගේ"

"සාමාන්‍ය පරිප්පු හොදි" හතරක් විතර හදන්න යන වෙලාව ගතවුනා.අපිට මතක තිබ්බ පරිප්පු රහට අහලකටවත් වෙන්න ,අලුත් පරිප්පු හොද්දට බැරි වෙලා.කොටින්ම මේක රහක් කියන්නත් බෑ.කට කාරගෙන යන කන්න කලින් බඩ යන ගතියක් තිබුනෙ.

මොනවා එකතු කළත් ,මොනවා අඩු කළත් ඒකෙ වෙනසක් උනේනම් නෑ.ඒත් තව ටිකක් හැඳි ගගා ලිපේ තිබ්බොත්  පරිප්පු ටික දියවෙලා වතුර වෙයි.වළඳ ලිපෙන් බාලා වටකරගෙන අපි හතර දෙනා කල්පනා කරන්න ගත්තා.කාටවත් මුකුත් කියන්න හිතුනෙ නෑ ක්ලේමෝට ඇරෙන්න.

"මට හිතෙනව මචන් යමක්"

"මොකක්ද?" ඩීබග් අහන්නෙ ඕනවට එපාවට

"අපේ ජීවිතෙත් මේ පරිප්පු හොද්ද වගේ නේද බන්?

"ම්ම්ම්?"

"හොඳට සල්ලි වියදම් කරල දාන්න පුළුවන් ඔක්කොමත් දාල රස කරගන්න හදනවා,ඒත් කටේ තියන්න බෑ"



Share:

Sep 1, 2013

අදෘශ්‍ය ලේඛකයා | ghost writer





මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.

හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....

එක පාරකට හැරිල යන්න ගනිද්දිම තඩි වලවල් රෑනක් තරණය කරන්න උනොත් " ඇයි අනිත් පාරෙ නොගියෙ " කියලා හිතෙන්න ගන්නවා.අනිත් පාර මීට අන්ත ඇතියි කියලා ඇත්තටම කියාගෙන හෝ බොරුවට තමන්වම අන්දගෙන ඉස්සරහට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හින්දම වෙන්න ඕන ජනකාන්ත  මුණගැහෙන ගත්ත තීරණය ආපස්සට ඇදලා ගන්න හිත් නොදුන්නෙ.
මොකද ජනකාන්ත කියන්නේ ඉනිමගක්. බිත්තිවල බඩගාන්න වහළෙට නගින්න තියෙන ඉනිමගක් නෙවේ. "නයා බෝඩ්" එකේ තියෙන ඉනිමගක්.
අහු උනොත් කොටු ගානක් උඩ.

කේන්දරේ,සුබ අකුරු එහෙම බලලා නම් ගම් තියන එක, තදින්ම අවිශ්වාස කරන,ගොන්පාට් කරන එකෙක්ව උනත් හොල්ලලා හොල්ලලා ,"අවිශ්වාසෙ" "අයන්න" පොඩ්ඩක් හූරලා දාන්න පුලුවන් ජාතියෙ නමක් තමයි ජනකාන්තට දාල තිබ්බෙ

"ජනකාන්ත"

ඔය "ජනප්‍රිය" "ප්‍රසිද්ධ" වගේ වචනවලටත් ළඟින් යනවනෙ
මේ මනුස්සයව නාඳුනන කෙනෙක් ලංකාවේ ඉන්න අමාරුයි.කවුරුහරි එකෙක් කිවුවොත් මම ඔය ජනකාන්ත කියන හාදයා අඳුරන්නේ නෑ කියලා,ලැජ්ජාව ජනකාන්තට නෙවේ;ඒක කියපු එකාටයි.ඒ කියපු එකා උදේ ගෙදරින් ගිහින් වැඩ විතරක්ම කරලා ගෙදර ඇවිත්, ආපු ගමන් නිදාගන්න මෙලෝ රස ගුණයක්,පෝෂ්‍ය පදාර්ථයක් නැති යකඩ පීප්පයක් වගේ තිබ්බ තැනම සදාකල් හිටින පොරක් වෙන්න ඕනෙ
ජනකාන්ත  රටේ නම ගිය ගායකයෙක්.එෆ්.එම් චැනල් එකක නටන්න පුලුවන් ජාතියෙ හොඳ සින්දුවක් යනවනම් ඒක අහන මිනිස්සු කෝල් කරලා අහන්නේ නෑ ඒ ගායකයාට විශාරද සෙටිෆිකෙට් එක තියෙනවද කියලා.
සොෆ්ට්වෙයාර් එකට දාල පිච් එක හදලා ගොර ගොර සද්ද අඩු කරල මට්ටම් කරපු සින්දුව අහනවා මිසක් ,සින්දුව මුලින්ම කියනකොට ආපු ඕඩියෝ එකේ කොපියක් පෙන් එකකට දාල ඉල්ලන්නෙත් නෑ,

කොහොම උනත් කොහෙත් දකින්න තියෙන ඉරිසියාකාරකම් ,කුහකකම් "සින්දු ෆීල්ඩ්" එකෙත් ඕනවටත් වඩා දකින්න තියෙන හින්දම කවදාවත් ජනකාන්ත  "හොඳම" ගායකයෙක් වෙලා නෑ.කොටින්ම කොළඹ දිස්ත්‍රික් අන්තර් දහම් පාසල් පද්‍ය ගායනා තරඟාවලියේදීවත්.ඒත් ඔක්කොටම වඩා උතුම් ජනතා සම්මානය..ඒක හැමදාමත් තිබුණා..

                                              "වසරේ ජනප්‍රියම ගායකයා" (කොයි වසරේත්)

"සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කරවන කටහඬකට උප්පත්තියෙන්ම හිමිකම් කියන ජනකාන්ත වීරක්කොඩි, එක්දහස් නවසිය අසූ දෙකේදී කොළඹදී උපත ලැබුවේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා බාලම පුතණුවන් වශයෙනි.ඔහුගේ පියාණන් වූයේ....
bla bla bla"

නෑ ඒ විදිය හරියන්නේ නෑ..වෙන විදියකට  පටන් ගන්න එක හොඳයි.කියවන උන් හිතයි පරණ ගැසට් එකක් කොපි කරල කියලා
මම "සුවහසක් රසික රසිකාවියන්...." කියලා පටන් ගත්ත, උඩ තියෙන ඡේදයම කපලා දැම්මා.

"ඒත් මොන එහෙකටද  ඒක කපලා දැම්මෙ?"

"කපලා දැම්මෙ ඒ ඡේදය ලිවුව හින්දනෙ"

"මොන ලබ්බකටද ලිවුවෙ?"

"ලිවුවෙ, ඒක ලියන්න ඕන හින්දනෙ "

"ලියන්න ඕනෙ කිවුවෙ..තමුන් මොකටද එක එකාගෙ උප්පත්ති කතා ලියන්නෙ?"

"මම නැතුව වෙන කවුද ලියන්නෙ? මමනෙ ජනකාන්තගෙ අදෘශ්‍ය ලේඛකයා නැත්තං Ghost writer"

"මොකා?"

ගෝස්ට්.....ගෝස්....
සමාවෙන්න ඕනෙ මගෙයි වැරැද්ද.මට කලින්ම කියන්න තිබ්බ.
මම ලේඛකයෙක්.. ටිකක් බර වැඩි උනත් වචනෙ වටිනවා.
මොකද ඒක අමාරු රස්සාවක්..මේ ලියවිල්ල ලියන්නම පටන් ගත්ත වෙලේ ඉඳන් කී පාරක්නම් කැපුවද...කපල ආයෙ ලිවුවද?

මවිසින් ලියන ලදුව මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිටකර ඇති ග්‍රන්ථ නාමාවලියක් පිළිබඳ විමසා මගෙන් කුණුහරුප අසා නොගන්නා ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි.මවිසින් හස්තානුසාරයෙන් සකසා නිමකරන ලදුව, කපුරු බෝල හතක් අටක් සහ මී පාසනම් සමඟ කුඩා අල්මාරියක ගබඩා කර ඇති කවි කතා අත් පිටපත් පිළිබඳ විමසීම මැනවි.පිළිතුරු වශයෙන් ලැබෙන ඇමති මණ්ඩලය මෙන් දීර්ඝ විය හැකි ලැයිස්තුවටද සවන් දීම මැනවි.
ඒවා මුද්‍රණද්වාරයෙන් පිට නොවීම මගේ කරුමෙ නොවේය.රටේ කරුමෙය.රුපියලේ අගය අවප්‍රමාණය වීම ,විදේශ සංචිත නන්නත්තාරවීම ,දළ ජාතික නිෂ්පාදිතය සංකෝචනය වීම හරහා ඒක පුද්ගල ආදායම අඩු වීම.ඒකයි කරුමෙ !
මම ආදර කතා ලිවුවෙමි.ජීවිතය ගැන කතා කිරීමට උත්සහ කරන පොත් ලීවෙමි.මිනිස් හිත් ගැන වෙනස්වන ලෝකය ගැන ලීවෙමි.පෙරකී අල්මාරිය ඇතුලට දැම්මෙමි.ඒ පෙරකී ආකාරයට තරමක වල ගොඩැලි සහිත ජීවිත පාරේ ගමන් ගනිද්දීය.අතරමඟ දෙමංසලකදීය,ජනකාන්ත මුණගැසුනේ.ඔහුගේ යෝජනාව ඔහුට සාධාරණය.මට මුලින් අසාධාරණය.දැන් එහෙම නැත.ඒ ඔහුගේ ජීවිත කතාව ලියාදීමේ "භාරදූර" කර්තව්‍යය මා බාරගත් නිසාය.කොටින්ම මම හන්දියෙන් එක පාරක් තෝරාගතිමි.අනිත් පාරේ වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
මා තෝරාගත් මාවත ඊට වෙනස්ය.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !
එක වතාවක් හෝ කතා කරන්න,සමරුවක් ගන්න,කෙල්ලෙක්නම් "අයි ලවු යූ ජනකාන්ත" යයි කෑ ගහල කියන්න එකමත එක දගලන මිනිස් පොදි ජනකාන්ත ගැවසෙන සෑම තැනකම පාහේ අඩුපාඩුවක් නෑ.ඒ මිනිස් පොදි තුළ බලාපොරොත්තු සුන් වූවන් අනන්ත හිටියත් මගේ බලාපොරොත්තු හැමදාමත් සපල උනා.මොකද ජනකාන්ත මුණගගැහෙන්න මට ඇපොයිමන්ට් දාන්න උනේ නෑ.මිනිහයි ඒව දාන්නෙ!

කොහොම උනත් මටත් ටිකක් අදහගන්න බැරි කාරණේ උනේ මේ යකා තමන්ගෙ පම්පෝරිය ලියාගන්න මාවම අල්ලගත්ත එක.මගෙ යාලුවෙක් මිනිහට යවල තිබ්බ මම ලියාපු සින්දුව සමහරවිට හේතුවක් වෙන්න ඇති.ඒක ජනකාන්ත අතට ගිය බවක් මම කලින් නොදැන හිටියත් ,පස්සෙ ඒක දැනගත්තාම හීන් ආතල් එකකුත් ගිය බවනම් කියන්න ඕන.හැබැයි මිනිහ ඒ සින්දුව කිවුවෙ නෑ.වචන බර වැඩිලු.කරුමෙ !

එදත් අර කියාපු ඇපොයින්මන්ට් දවසක්.ජනකාන්තගෙ ගෙදරට ගමන ,පුරුදු විදියටම බස් එකෙන්.මම මනුස්සයගෙ ජීවිත කතාවෙ එහෙන් මෙහෙන් ඇහෙන ,අහගන්න කෑලි බෑලි එකකට එකක් අමුණගන්න දත කකා හිටියෙ.කඩදාසි ගොඩක් ගිනි තියද්දි හුළඟට වේගෙන් එහෙ මෙහෙ ගහගෙන යන පිච්චිච්ච්ච කොළ කෑලි ගොඩක් වගේ එක එක සිද්දි මගෙ ඇස් දෙක ඉස්සරහත් නළියන්න ගත්ත.ඒක එක්තරා විදියක වේදනාවක්.
හිටිහැටියෙම අර කියපු ගිනි ගොඩ ඉස්සරහින් පොඩි කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි රූප දෙකක් මතුවුනා.මනෝ ලෝකෙ නෙවේ.ඇත්තටම බස් එකේ.නාවර පෙරාගෙන හිටපු කොල්ල කතාවක් පටන් ගත්ත.කතාවට රුසියෙක්නම් නෙවේ.දුක හිතෙන විදියට කියන්න පුලුවන් ජාතියෙ දෙයක් කියල තේරුණත් කොල්ල කතා කළේ ඒ විදියට නෙවේ.දෙන්නගෙ අම්මයි තාත්තයි නැලු.ආච්චි ගාව ඉන්නෙ.ඉස්කෝලෙ යන්න සල්ලි නෑ.තව නංගි කෙනෙක් ඉන්නව ඒකිට මන්ද පෝෂණය..පස්සෙ තේරිච්ච විදියට අම්ම නෑ කියන්නෙ ,අම්ම මැරිල කියන එක නෙවේ.එයා රට ගිහිල්ල....
කතාවත් ඉවරවෙනවත් එක්කම කෙල්ල සිංදුවක් පටන් ගත්ත.පරණ හින්දි සිංදුවකට සිංහල වචන දාල හදපු පරණ සිංහල සිංදුවක්.දෙකම පරණයි

"තේරේ කවදා හෝ මවගේ ආලේ....කවුදෝ ඉන්නේ අම්මා වාගේ....."

කොල්ල කරපු කතාවත් එක්ක නැති වෙලා ගිය හැඟීම් ඔක්කොම දෝරෙ ගලන්න ගත්ත අර කෙල්ලගෙ ලයාන්විත කටහඬත් එක්කම.සමහර අය හොරෙන් ඇස් දෙක පිහදාගන්නවත් පේන්න තිබ්බ.
උන් ජෝඩුව බස් එකම වසඟයට ගත්ත කිවුවොත් නිවැරදියි.ඉස්සරහට දික් වෙලා බස් එකේ පිටිපස්සට ආව අත් හතරම සල්ලි කොළවලින් පිරෙන්න ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.මමත් කීයක්ද දුන්න.මං ළඟ හිටිය එකා කීයක්වත් නොදුන්න විතරක් නෙවේ ඔරවලත් බැලුවා අරගොල්ලො දිහා.මිනිහ මටත් කතා කළා

"අපරාදෙ මුන්ට දෙන සල්ලි.ඔකුන්ගෙ තාත්ත ඇති.ඌට කසිප්පු බොන්න තමා මුන්ව එවන්නෙ..හොඳම සල්ලිකාරයෝ අපි නෙවේ මුන් "\

"ඔයා ඒගොල්ලන්ව දන්නවද? "මට කුතුහලයක් ආව

"නෑ,ඒත් කොහෙත් එකයි..හොරු..හොරු..හොරු"

මොකක් හින්දද මන්ද මට එක දිගටම කතාව ගෙනියන්න හිතුනෙ නෑ.කොල්ලයි කෙල්ලයි බස් එකෙන් බැහැල දූවිල්ල පිරුන පොඩි පාරකින් ඇතුළට ගියා.උන් ගියෙ තාත්තගෙ කසිප්පු ෆන්ඩ් එක වැඩිකරන්නද? ආච්චිට කීයක් හරි දෙන්නද?
ඒක හොයාගන්න පුලුවන් පස්සෙන් ගියානම්.මටම දැනගන්න පුළුවන්
මගෙ කකුල් දෙක මාව නැගිට්ටවන්න හදනව වගේ දැනුනා.බස් එක ඇද්දුවා.ඒත් එක්කම හිතට ආවෙ සැනසිල්ලක්ද? දැන් ඉතින් අරුන් පස්සෙ යන්න ඕනෙ නෑ.පාඩුවෙ ගමන යන්න පුලුවන්.බැස්සනම් උන් ගැන ඇත්ත කතාව දැනගන්න තිබුන.
හැම මිනිහම ඔහොම වෙන්න ඇති.උන්ට අනිත් අය,තමන් දකින කියන ආශ්‍රය කරන උන් ගැන දැන ගන්න,උන්ගෙ දුකක් අහන්න ලොකු උණක් ඇති.ඒත් ඕනෙත් නැතුව ඇති.ඇයි ඔයිට වඩා වදවෙන්න කාරණා කීයක්නම් තියෙනවද?ගෙදර මිනිස්සු ගැන,ආර්ථික තත්වය ගැන,විදේශීය අතපෙවීම් ගැන.උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි පිළිබඳව,ක්‍රොටන් පැළවලට හානි කරන කෘමීන් ගැන..
මොළයේ හැකියාවන් අසීමිතයි කියලා ඩොක්ටර්ස්ල කිවුවට මේකෙ තියෙන්න පොඩි මෙමරියක්.අනුන්ගෙ විස්තර ,කතා හොයනවට වඩා හොඳම දේ "උපකල්පනය" කරන එක.අර මං ළඟ ඉඳන් හිටපු එකා වගේ.ඒක ලේසියි.ඉෆෙක්ටිව්..වැරදුනත් මොකෝ.
අනිත් අතට මං ගාව හිටපු එකා එහෙම හිතන්න හොඳ හේතුවකුත් ඇතිනෙ.සමහරවිට මීට කලින් තවත් අර වගේ ජෝඩුවක් හම්බවෙලා ඇති.
නැත්නම් මිනිහ පොඩි උන් ගැන හෙණ වෛරයකින් ඇති.දැක්ක තැන බනින්නෙ.නැතිනම් සුපර්ස්ටාර් ගිහින් පළවෙනි වටෙන්ම කැපෙන්න ඇති,සිංදුවලට වෛර කරන්න.

 මොකද හිතන්නෙ මේ බස් එකේ කොන්දොස්තර ගැන?පෙනුමෙන්නම් මරුමුස්.ගෑණිට ගහනවා ඇති රෑට බීල ගිහින්.යකා වගේ.හිනාවෙනකොටනම් හොඳයි.එච්චර දරුණු ඩයල් එකකුත් නෙවේ වගේ.මූණේ දිග කැපුම් රේඛාවක්..මන්න පාරක්ද?පාරෙ යද්දි කවුරු හරි හප්පලද?
මිනිහගෙන්ම තමා අහන්න ඕනෙ
එතනින් ගියාම අර ඉන්න කෙල්ල.බැලූ බැල්මට බඩුවක් වගේ.ඒත් කවුද දන්නෙ හරියටම...
පාර අයිනෙ බයික් එකකුත් තියාගෙන හිටපු ට්‍රැෆික් රාළහාමි?

මං ආයෙමත් කල්පනා සාගරේක කිමිදන්න උනා.මේ පාරනම් ඊයම් බරු දෙකකුත් කකුල් දෙකේ ගැටගහගෙන.ගොඩ ඒමක් නෑ.
අපි කවදාවත් දැනගන්න,අහගන්න උත්සහ නොකරන මේ මිනිස්සුන්ගෙ කතා මොන වගේ වෙන්න ඇද්ද..සමහරවිට අපි හීනෙකින්වත් නොහිතන ජාතියෙ රස කතා,මාරක කතා,විහිළු කතා වෙන්න පුළුවන් ඒවා.එක දෙයක් තක්කෙටම කියන්න පුළුවන් හැබැයි..හැමෝටම තමන්ගෙම වෙච්ච හොඳ කතාවක් තියෙනවා.මට වගේම ඔබටත්.විශේෂත්වය වෙන්නෙ ඒක අනිත් උන් දන්නෙ නෑ.මොකෝ ඔබ ඒක කියන්නෙ නෑ.කියන්න ඉතින් අහන්න එපැයි.
අන්තිමේ ,මේ ලෝකයම කතා ගොඩක් හිරකරගෙන ,ඒව දිරවගන්නත් බැරුව,වමාරගන්නවත් බැරුව කොටින්ම විරේක කරන්නවත් බැරුව දඟලන මනුෂ්‍ය ප්‍රාණීන්ගේ එකතුවක් !
ඒවා හැමෝම පොත්පත්වල ලියන්නෙ නෑ,ජනකාන්ත වගේ.ඒත් මට ෂුවර් ජනකාන්තයා මට කියන්නෙත් මිනිහගෙ ඇත්තම කතාව නෙවෙයි.ඒක වෙනමම එකක්.නිවාඩු පාඩුවෙ,සූක්ෂමව පෙරල පෙරල තෝරල ගත්ත මිනිහව ලැජ්ජාවට පත් නොකරන ජාතියෙ සිද්දි කිහිපයක් විතරයි.

මට ලොකු වෙහෙසක් දැනුනා.ජීවිත මාවතේ තවත් රවුමක් ගහල නන්නත්තාර වෙලා හති පිටම තවත් දෙමංසලකට ඇවිල්ල වගේ දැනුනා.පුරුදු දෙමංසලක්!


දෙමංසලේ එක් පාරක වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
අනෙක් පාරේ.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !

මම ආයෙමත් කියන්නම්

මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.
හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....


Share: