Oct 28, 2013

ආචිචිට රෙද්ද ගැන කියාදිමට සොඳුරු උත්සාහයක් !




නෝට් : ඇවිත් යන්න කලින් අනීවාරතේ ජන සංගණනයට සහය දෙන්න


සමීප ඥාතියෙකු හෝ යහලුවෙකු බැලීමට ඔහුගේ හෝ ඇයගේ නිවසට යාමේදී, නිකරුණේ අතපය අවලම්බනය කොට වන වනා නොයා මොනවා හෝ රැගෙන යාම ,සල්ලි තියෙන කාලයට අනුගමනය කිරීමට ඉතා හොඳ පුරුද්දකි.වෙනදා මෙන් ආච්ච්ගේ ගෙදරින් යමක් අත පත ගාගෙන එනු වෙනුවට ,ආච්චි විෂයයෙහි යමක් පූජා කිරීමට ඇති වූ චේතනාව කර්මයක් බවට පත් වූ හෙයිනි ,මේ අඟල් අටක් දිග කවරය මා අතට පැමිණියේ. 
තෑග්ගක් රැගෙන යාමේදී හොඳ බරට ගෙන යා යුතු බවට තිබෙන මුඛ පරම්පරාගත මතවාදයට අනුව, මුලදීම මිරිස් ගලකට හිත ගියද ,ටිකකින් වෙන අතක ගිය හිත නතර වූයේ මේ අඟල් අටේ කවරය ළඟය.

තෑග්ගත් අතට ගෙන ආචිචිගේ ගෙදර දොරෙන් ඇතුළු වූ මම අඩියක් ඇතුළට යන විට, මගේ පපුව අඩි දෙකක් ඉදිරියට යයි.ඒ පපුව අභිමානයෙන් පිම්බී තිබුන නිසාය.කවරය අතට ගත් ආච්චිගේ මුවින් පිටවිය යුතු විශ්මයාර්දී ලකුණ (! ) ශබ්දය වෙනුවට ,සවුන්ඩ් කාඩ් එකේ අවුලක් නිසා පිටවූයේ වෙනමම වදන් වැලකි.

"ලයිට් බිලද උක්කුං පුතේ?"

මම ඉවසීමි..
එවදන් උපේක්ෂාවෙන් ඉවසීමි

යමෙකුට තෑග්ගක් පිරිනැමීමේදී හෝ විශ්මයජනක දෙයක් පෙන්වීමේදී, ගල් යුගයේ පටන් අනුගමනය කරන මෝඩ පහේ ට්‍රික් එකක් තිබේ.

"කෝ ඇස් දෙක වහගන්න බලන්න"

අමාරුවෙන් වැසූ ඇස් දෙක නැවත විවර වන මොහොතේම මම කවරය තුළ තිබුනු කාඩ්පත මූණ ඉදිරිපසින් ඇල්ලූවෙමි.


ටඩා

(මේ අවස්ථාවේ නියම හැඟීම ලබාගැනීමට පහත වීඩියෝව ප්ලේ කරන්න-ගැටයා )



"මොකක්ද උක්කුං පුතේ මේ? උඹේ වෙඩිං කාට් එක වෙන්නත් බෑ.අපේ මෝල් ගහේ තාම දළු දාල නෑ.මම අද උදෙත් දැක්ක"
"නෑ ආච්චි නෑ..මේක ගිෆ්ට් වවුචර් එකක්!
 අඟනුන් සුරඟනුන් කරන,කාඩයන් සුපර් ස්ටාර්ස්ල කරන ,ධරණීය සංවර්ධනයට ඔබින පිරිමැසුම් දායක කාන්තා රෙදි පිළි මාළිඟය 'සෙළුහංගන ටෙක්ස්ටයිල්ස්' එකෙන් ඕන රෙද්දක් ගන්න"

"චීත්ත?"

මට ඒ වචනය හරිහැටි ඇසුන මුත් කන්වල දෝශයක් අභිරූපනයෙන් ඉදිරිපත් කොට,

"මොකක්ද ආච්චි?" යි ඇසුවෙමි

"චීත්ත පුතේ චීත්ත"

එකම වචනය තුන් පාරක් ඇසීමෙන් චිත්තාභ්‍යන්තරයේ උපන් ආවේගය හයිවේ එකේ යන්නට වූ තැන,එය සංසිඳුවාලනු වස්  පිඹිමින්,පුපුරමින්,අට පාරක් බෙල් එක ගසා හත් පාරක් දොරට තට්ටු කිරීමෙන් පසු ,අවසන කොට්ටාව හුවමාරුව වෙත පැමිණියෙමි.



යහ සමජ්හේ අච්චා කරනේ කී ලියෙ සමය හේයි !
මේ සොඳුරු උත්සාහය ආරම්භ කිරීමට කාලයයි !
_______________________________________________________

"ආච්චි දන්නවද ආච්චි? මම මේ වවුචර් එක ආච්චිට නොදී ටවුන් එක මැද්දෙ පාරට වෙලා උස්සගෙන හිටියොත් මොකෝ වෙන්නෙ කියලා?

"උඹව ත්‍රීවිල්කාරයෙක් හප්පන් යයි "

මම නැවතත් බෙල් එක ගසා ආවෙමි

"නෑ ආච්චි ,ගාමිණි ෆොන්සේකා පාරට බැස්ස වගේ කෙල්ලො මගෙ පස්සෙන් එයි.මාව හපයි..හූරයි..කොනිත්තයි..."

"අර මොකෝ? "

"රෙද්ද තමා ආච්චි..

"කියපන්කො උක්කුං"

"රෙද්ද ආච්චි රෙද්ද  ....රෙද්ද තමා"

"දැන් උඹට වැඩිහිටියන්ට කතා කරන්නත් තේරෙන්නෙ නෑ නේද?"

"නෑ ආච්චි ..රෙද්ද ..ඇඳුම්"

"ඉතින් මොකෝ?"

"ඔය රෙද්ද හදල තියෙන්නෙ මොනවා වලින්ද ආච්චි" මම විත්තියේ නීතිංඥයා මෙන් හරස් ප්‍රශ්න නැගුවෙමි

"මොනවාවලින්ද ආච්චි" මන්ද්‍ර ස්වරවල සිට උච්ච ස්වරවල නිම් හිම් සෙවුවෙමි.

"නූල් වලින්නෙ උක්කුං"

"එහෙනම් ඔබ කියන්නේ...මේ රෙද්ද...මේ රෙද්ද නූල් ගොතල හදපු එකක් කියලද?"

තීව්‍රතාවයෙන් අධික ශබ්ධ තරංග කන වැටුණු කල්හී කඩිමුඩියේ එතනට දුවගෙන ආ සීයාගෙන්ද මම ඒ ප්‍රශ්නයම ඇසුවෙමි

'සීයා..ඔය සරම හැදිල තියෙන්නෙ නූල් වලින්ද?
 නැහැ සීයා නැහැ..සීයාගේ සරමවත් ,ආච්චිගෙ රෙද්දවත් හැදිලා තියෙන්නෙ නූල්වලින් නෙවේ,මනුෂ්‍යයාගේ අභ්‍යන්තර චින්තනාවලි ඒකරාශී වීමේන්.එකට ගෙතීමෙන්.මක්නිසාද යත් රෙද්ද යනු මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය බාහිරට පෙන්වන කැඩපත"

"අනේද කියන්නෙ පුතේ.දැන් කාලෙ රෙදි ඔහොම්මම තමා.අබ්යන්තරේ බාහිරට පෙන්නන එකම තමා තියෙන්නෙ"ආච්චිගේ ප්‍රතිචාරයත් සමඟ මගේ සොඳුරු උත්සාහය ප්‍රොෆිට් කරන වගක් පෙනුනි.

"වැඩිය ඕනෙ නෑ බලහං අර සාගතසිංහගෙ ලොකු කෙල්ල කරපු වැඩේ..අර කවුද ලංකා කන්ඩායමේ ක්‍රිකට් ගහන කොලුවා දවසක් කිවුවලු අපේ හැමදේකම විනිවිදබාවයක්ද මොකක්ද තියෙන්න ඕනෙ කියලා.මේකි පහුවින්දම අර කඩල පැකට් කරන්න ගෙනාපු පොලිතින් මල්ල ඇඳගෙන පන්ති ගියානෙ"සීයා මාතෘකාව වෙනස් කර ප්‍රතිගාමී බලවේගවල අතකොලුවක් වීමට සූදානම් විය.

"මේක ඒ වගේ දෙයක් නෙවෙයි සීයා.ඇට ලේ මස් නහර වලින් පිරුණු මනුෂ්‍ය ශරීරයට ජීවයේ හුස්ම පොද පිඹින්නේ කුමක්ද ?රෙද්ද තමා ආච්චි...රෙද්ද
ආචිචි හිතන්නේ මම කාලද ඉන්නෙ?" අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි

"හප්පච්චියේ අමතක වෙච්ච හැටි..හිටපන් බෙදල ගන්නම්"

"එපා ආච්චි එපා" මම කේශර සිංහ නාද නැගුවෙමි.බල්ල උඩු බුරන්නට පටන් ගත්තේය.

"මම කෑවා කියා උපකල්පනය කරන්න ආච්චි.මගේ බාහිර වෙනසක් පෙනේද?"

"පැච් එකක් තියෙන රෝදෙකට කොච්චර හුලන් ගැහුවත් වෙනසක් නෑ පුතේ"මෙය සීයාගේ කින්ඩි සම්පන්න වදනක්යයි සැකයක් උත්පාදනය විය හැකි වුවද,සීයා විසින් එය පවසනු ලැබූයේ අනීවාරතේ පරණ බයිසිලකලයකට හුළං ගසමින් හුන් දර්පණාගේ මල්ලීටය.

"නැහැ ආච්චි,නැහැ සියා..මගෙ විතරක් නොවෙයි.බොහෝ දෙනෙකු එසේයි.කෑවා නොකෑවා කියා වෙනසක් නැහැ.ඒත් නිකමට හිතන්න ආච්චි.මම අද මෙතනට ඉරිච්ච කබල් චව් ඇඳුමක් ඇඳගෙන මෙතනට ආවොත් මගේ වෙනසක් පෙනේද?"

"ඔව්නෙ"

"ආන්න ඒක නිසා තමා ආච්චි අපි නොකා නොබී හරි රෙද්ද ආරක්ෂා කරගන්න ඕනෙ.මක්නිසාද යත් පාරවල්වල චීන අකුරු සහිත බෝඩ්වලින් රටේ සංවර්ධනය නිරූපණය වන්නේ යම් සේද ,රෙද්ද මඟින් මනුෂ්‍යයා නිරූපණය වන බැවිනි.මේ ෂර්ට් එකෙන්,කලිසමෙන්,තොප්පියෙන් නිරූපණය වන්නේ එයයි"

"සර්ට් කිවුවාමයි දැක්කෙ.පංකාදු සර්ට් එකක් නේහ්" ආච්චි මගේ කමිසය ස්පර්ශ කළාය

"හ්ම් හ්ම්.කුරහන් පාටමයි..හොඳ පාට" සැමියාගේ යුතුකම ස්වකීය භාර්යාවගේ මත ස්ථීර කිරීම බැවින් සීයාද කට ඇරියේය.

"ආච්චි කෝ ගිනි පෙට්ටිය"

"ඔන්න ඔහෙ බුදු පාන ළඟ ඇති.මොකටද?"

ගිනි පෙට්ටිය සොයාගැනීමට සහ ගිනි කූරක් ගැසීමට ඒ හැටි වෙලාවක් ගත නොවුනු අතර හිතුවාටත් වඩා කලින් කමිසය කළු පාට විය..මම තුවායක් ගෙන ඇඟ වටේ ඔතාගතිමි.

"ඔන්න ඔය වගේ කලිසමක් තමා එදා ඇස්.බී.."සීයා නැවතත් ගිනි ඇවිලීමට  උත්සාහ කළේය.

"නෑ නෑ..පුතේ ඔයිට වෙනස්" ඒ ආච්චීය.සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.

"දැන් ආච්චි මගෙ තෑග්ග ගන්නෙ නැද්ද" මම ගිනි කෙළි සංදර්ශනය අවසානයේ ඇසුවෙමි.

"අනේ අපිට මොකටද පුතේ ඔච්චර ඇඳුම්? සාරියක් උනත් ඕන වෙන්නෙ කලාතුරකින්නෙ"

"ආච්චි හැම තැනටම සාරි අඳින්නද හදන්නෙ?ආච්චිගෙ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ.සීයා හැම තැනටම නැෂනල් එක ගහන්නද ලෑස්තිය?දෙන්නම මම කියනවට යං.."

උත්සාහය සාර්ථක විය.
ජෝඩුව යහ මගට ගැනීමේ උද්දාමයෙන් මම ලොකු වාහනය පැදෙවුවෙමි.සෙළුහංගන ටෙක්ස්ටයිල් වෙත ඒමට ගතවූයේ පැය කාලක් පමණි.එම ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේ ක්‍රිකට් තරඟයකි.ඇමතිතුමෙක් පාරේ පයින් යාම වැනි තරමක් ඇසට නුහුරු දසුනක් බැවින් මම එකෙක්ගෙන් ඒ පිළිබඳ විමසීමි.

"අපේ වයිෆ්ලා ඇඳුම් ගන්න ඇතුළට ගියා මල්ලි.කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අපි ගහනවා මැච් එකක්.මල්ලිත් ජොයින් වෙනවද.ඔවර්ස් පනහ වෙන්න තව බෝල් පහයි"

"ඔවර්ස් පනහක්?" මම මවිත වීමි

"ඔව් එක සයිඩ් එකක් බැට් කලා"

"එක සයිඩ් එකක් බැට් කලා"මම මවිත වීමි

"ඔව් ඔව් නවයට හත ගහන්නෙ..දැන් මැච් පහක් ඉවරයි"

"මැච් පහක් ඉවරයි?" මම මවිත වීමි

"ඔව් ඊට කලින් ටෙස්ට් එකකුත් ගැහුවා"

මම ගියෙමි

වැඩි දුරක් යන්නට ලැබුනේ නැත.කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රෑනක් ආච්චි වට කර ගත්හ.
පෙර කී "රෑන" කෙතරම් විශාලද යත් නැවත ආච්චිව දර්ශනය කරගනු පිණිස මටත් සීයාටත් කොපර කොපර පිපිඤ්ඤා මෙන් වටේ යන්නට සිදු විය.
(කොපර කොපර පිපිඤ්ඤා යනු එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවක එන මනඃකල්පිත ක්‍රීඩාවකි"

රෑන මැද්දෙන් ප්‍රීතියෙන් උද්දාමිත ශබ්ද මාලාවක් නැගෙන්නට විය..
"වාව්..ලුක් ඇට් දිස් ක්'වුස් ඇන්ඩ් ලයින්ස්"
"වට් අ ප්‍රිටි ස්ටයිල්.අයි රියලි ලයික්ද ෂේප් ඔෆ් දිස්"
"වී ෂුඩ් ඩෙෆිනීට්ලි බයි දිස්"
"ෆ්‍රොම් වෙයාර් ඩිඩි යූ ගෙට් දිස් ආන්ටි? විසූකදස්සනා පැෂන්ස් ඕර් සෙළුහංගන?"

කාරණය වැටහිණ.ආච්චිගේ චීත්ත රෙද්ද රසික උන්මාදනයේ ගොදුරක්ව තිබේ.ඈව ඉන් ගලවා ගැනිමට අප්‍රමාණ වෙහෙසක් දරන්නට සිදුවිය.කෙල්ලන්ගේ කඳුලු පිසින්නටත්,දුරකථන අංක ලබාගෙන මේ ඇඳුම ලබාගැනීමට හැකි ස්ථාන සොයා දීමට පොරොන්දු වීමටත්, එකෙක් දෙන්නෙක් ගෙදරටම ඇරලවීමටත් සිදුවිය.
නැවතත් ගමන ආරම්භ විය.
ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ හොඳ මෙන්ම දුර්ලභ ව්‍යාපාපාරික අවස්ථා සොයාගත් විටය.
රෝහල් ළඟ මිනී පෙට්ටි සාප්පු අරින්නේ ඒකය
ඇඳුම් කඩ ළඟ රත්තරන් බඩු උකස් කරන පොට් අරින්නේ ඒකය.
අපට ඊළඟ බාධාව පැමිණියේ ඒ පොට් වල පොරකන ඈයින්ගෙන්ය.

"හැබෑට උක්කුං මොකෝ මේ මිනිස්සු මෙච්චර ඇඳුම්වලට නහින්නෙ" ආච්චිගේ දකුණු අත කම්මුලේය.පටාචාරා වෙසක් නාට්‍යය බලන්නාක් මෙනි.

"කලිනුත් කිවුවෙ ආච්චි.අපිට හොඳට පොළොවෙ පය ගහල මේ සමාජයේ පෙනී හිටින්න ඕනෙනෙ..ඒකට මොනව නැතත් හොඳට අඳින්න ඕනෙ.කොච්චර ඩයල් එකක් උනත් වැඩක් නෑ කබල් රෙදි අඳිනවනම්"

"මිනිහෙක් මනින්න හොඳද බන් එහෙම..මට මතකයි අපි පොඩි කාලෙ මහත්මා ගාන්ධි තුමා එංගලන්තෙ රජ්ජුරුවොයි මහ රැජිණයි බැහැදකින්න ගියා ඒ උත්තමයගෙ අර රෙද්ද ඇඳගෙන"


"ඔව් ඔව් ඒක නේන්නම්..බලන්නකො කරල තියෙන වැඩේ.කුවීනුත් ඊට පස්සෙ නෙට් එකේ කියල තිබ්බ.එයාට ගොඩක් ලැජ්ජ හිතුන කියලා ඒ ෆැෂන් එක ගැන"

"හරි දැන් උක්කුං කියන විදියට මනුස්සයෙක් කෑවත් නැතත් ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයෙක් මොන ජඩ වැඩේ කළත් ඒව වහගන්න ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"අනිත් ඈයින් අතරෙ පිළිගැනීමක් ඕනෙ නම් තැනට ඔබින විදියට ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයන්ගෙ හැම උවමනාවකටම උඩින් තියෙන්නෙ?"

"රෙද්ද තමයි ආච්චි"

මගේ ඉවසීම ඉහවහා ගියේය.

"ආච්චි දැන් ආච්චිට රෙදි එපාද?හණමිටි අදහස් තියෙන මිනිස්සු.එපානම් ගෙදර යන්.මට බඩගිනියි දැන්.මොනවද උයලා තියෙන්නෙ?"

"රෙද්ද තමයි උක්කුං".


නිමි

තව යන්න.
ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !
ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් 


අනීවාරතේ පටන් ගෙන දැන් බොහෝ කලකි.මේ වෙනසකට කාලයයයි සිතේ.ඔබේ අදහස් ඉහළින් අගය කෙරේ.

Share:

Oct 12, 2013

පරිප්පු හොද්ද





එහෙට මෙහෙට පෙරල පෙරලා බලපු මෙනු එකේ පිටුවල ෂයින් එකනම් බොහොම සැරට තිබුනා.සැරට තියෙන්නෙ ෂයින් එක විතරක් නෙවේ කියලනම් බිල ආවාම තේරෙයි.

"සල්ලිනම් මොනවද දැන්" ක්ලෝමෝ මගෙන් අහනවා

ඇත්ත තමා සල්ලිනම් මොනවද අපිට දැන්

ක්ලේමෝ වැඩ කරන්නෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක.ක්ලෝමෝ කියන්නෙ ඒකයි .ක්ලෙම් (Claim ) කියන වචනෙ කට හුරුවට.හුස්ම ගන්න අමාරු වෙනකල්,පපුවෙ පැත්තක් රිදෙන්න ගන්නකල්,මුත්‍රා අමාරු එනකල් ගොඩක් මිනිස්සුන්ට ක්ලෝමෝ කියන්නෙ "වහ කඳුරු" කැටගරි එකේ චරිතයක්.ඒත් යම්කිසි ඇනගැනීමකදී ක්ලේමෝ කාරයාට දේවත්වයක් අරූඪ වෙනවා.

"ක්ලේමෝ දෙයියො "

ඒත් ක්ලේමෝගෙ හීනෙ උනේනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්

"ඇසිස්ටන් මැනේජර් ක්ලේමෝ " වෙන එක

ආයෙත් මෙනු එක පැත්තට

පීට්සා,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ,පස්ටා ,සබ්මැරීන්,රොකට් ලෝන්චර්...

"ඒත් මොනවාහරි අඩුවක් තියෙනවා බන් " ඒ දුන්නෙ ක්ලෝමෝ කලින් කියපු දේට උත්තරය (සල්ලිනම් මොනවද දැන්)

"හ්ම්ම් එක තමා රයිස් එකක් දාන්න තිබ්බෙ අපිට" ක්ලේමෝ

"එහෙම නෙවේ ,උඹට මතකද උඹ අපේ කැම්පස් එකට ආපු දවසෙ අපි බත් ඉවුවා .බතුයි ,සම්බෝලයි.." මම බත බෙදන්න ගත්තා

"කරෝල තෙල්දාලා,පරිප්පුයි " ක්ලෝමෝ අඩුපාඩුව එකතු කළා.

"අපිට මොකද උනේ බන්? "

මගෙ ඇතුළෙන් පටන් ගත්ත සිතිවිලි බුබුළ ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා ක්ලෝමෝවත් වහ ගත්තා.

'උදේ වැඩට යනවා ,හවස එනවා පුලුවන් උනොත්. නැත්තං එළිවෙනකල් වැඩ.එක එකාට හම්බ කරල දෙන්න.අපේ බෝඩිමේ හතරක් ඉන්නවා.අපි එක එකාව දකින්නෙ කාලෙකට සැරයක්.මැරෙනකල්ම මෙහෙමද? "

"නැගිටපන්" අර සිතිවිලි බුබුලට මොකක්ද කටුවකින් ඇනපු ක්ලෝමෝ, දරාස් ගාලා පුටුවත් පිටිපස්සට තල්ලු කරලා නැගිට්ටා.අහල පහල මිනිස්සුත් බලාගෙන

වේටර් කොලුවත් වලියක් කියලා හිතාගෙනද මන්ද කඩාගෙන ආවා..

"ෆුඩ් සිටියෙ පරිප්පු තියෙනවා නේද? " ක්ලේමෝ අහනවා

"අපි ගාවනම් නෑ සර්" වේටර් කොළුවා සුහදශීලී සේවයකට ඇප කැප උනා

"ඒක හොඳයි..උඹ අරුන් දෙන්නට කෝල් එකක් ගනින්කො..කොහොමහරි සෙට් කරගමු"

"දැන් මොකක්ද කරන්න යන්නෙ" මම "අදි මදි" ඉමෝෂන් එකක් ගත්තෙ කෝල් දෙකක් ගන්න ලෝබකමකට නෙවේ,කුතුහලේට

"අද අපි සෙට් වෙලා පරිප්පු හොද්දක් හදලා පාන් කෑල්ලක් කමු"

මම ක්ලේමෝ දිහා කට බලියගෙන බලන් ඉන්න ඇති.ඇයි යකෝ මට ඕක හිතුනෙ නැත්තෙ !

"සර් පරිප්පු හොදි, නිකන් පාන් නම් නෑ..සර්ලට ගාලික්.."

සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් කාරයෙක් ඔරවනවා ඔබනම් දැකලා නැතුව ඇති.ඒත් මම දැක්කා..
මම එළියට යන ගමන්ම ඩීබග් මල්ලිට කතා කළා.

ඩීබග් රස්සාවට කරන්නෙ සොෆ්ට්වෙයාර් ලියන එක.පරිප්පු හොද්දෙ රතුළුනු ,මිරිස් කරල් ලියද්දිත් මිනිහා දස්කම් දක්වාවි !
ඩීබග්ගෙ කටේ වැඩිපුරම තියෙන්නෙ "ඩීබග්" (Debug) කියන වචනය .අපි මුලින් හිතුවෙ ඒ කෑල්ලකගෙ නමක් කියලා මොකෝ කෑල්ලකටත් හොඳ නම

ඩීබග් ප්‍රියදර්ශනී පීරිස් 

මිනිහට එච්චර සිහියක් පතක් නෑ.වැඩ කරන්නෙත් සුද්දන්ගෙ රටවල කැලැන්ඩර්වලට නිසා "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" වගේ .පොර නොනගෙතේට පන්සල් යන්න කතා කරද්දි අපි ආහාර අනුභවය කරල බුදි.ඇත්තටම අපි දැන් ඉන්නෙ බෝඩින් ෆීස් ගෙවන්න මිනිහගෙන් දැනට ගන්න ගාන ටිකක් අඩු කරන්න.බෝඩිමේ නැති එකෙක්ගෙන් සල්ලි ගන්න එක පව් වැඩක්නෙ!
කෙඳිරි ගෑම් ගනනාවකට පස්සෙ ඩීබග් මල්ලි පොරොන්දු උනා බෝඩිමට කලින් එන්න.කලින් කිව්වෙ එතනින් කලින් ,ඒත් අපිට පරක්කුයි

අනිත් එකා "ට්‍රබල්සූට්".පොර ඉංජිනියර් කෙනෙක්.රණවිරුවො ඉපදුනේ රට රැකගන්න වගේ ට්‍රබල්සූට් ඉපදිලා තියෙන්නෙ "ප්ලාන්ට් එක " රැකගන්න.මහ රෑ දෙගොඩහරියෙත් ප්ලාන්ට් එක බලන්න කම්පැනියට යනවා කියලා බෝඩිමෙන් යද්දි අපි හිතුවෙ මොකක් හරි පොඩි පැළයකට (ප්ලාන්ට් එකකට ) වතුර, පෝර දාලා සාත්තු කරනවා ඇති කියලා.පස්සෙයි දන්නෙ "ප්ලාන්ට්" කියන්නේ ෆැක්ටරි වල තියෙන  ඔය අනන් මනන් හදන දාර මැෂින් වලට කියලා.
මිනිහත් වෙලාවට එයි.
ට්‍රබල්සූට් කියන විදියට ඉංජිනියර්ස්ලා කියන්නෙ වෙලාවට වැඩ කරන මිනිස්සු ,ටිකක් පරක්කු වෙලා..

__________________________________________________________________________

අපිට දැනිච්ච විදියට මෙච්චර කාලෙකට ඩීබග් එයාගේ කම්පූටරෙන් තේරුමක් ඇති වැඩක් කළේ එදා තමා.මිනිහ පරිප්පු රෙසපි එකක් හොයලා ඩව්න්ලෝඩ් කරලා දුන්නා.ක්ලේමෝ අඩුම කුඩුම ඔක්කොම මයික්‍රොසොෆ්ට් එක්සෙල් ෂීට් එකකට අරගෙන හොයාගත්ත බඩුවලට අදාල සෙල් එක කොළ පාටට හයිලයිට් කළා.හොයාගන්න බැරි ඒව රතු පාට.
ට්‍රබල්සූට් තමා පරිප්පු ඩිස්ටිලේෂන් සිස්ටම් එකේ සෙටප් එක හැදුවෙ..ඕන කරන හැළි වළං බෝඩිමේ ඇන්ටිගෙන් රෙන්ට් කරන්න පුලුවන් උනත් ඒවත් සල්ලිවලටම ගත්තා.
ලේසියෙන් කරන්න පුළුවන් කෙළියක්නම් නෙවේ.ඒත් හීන් සීරුවේ වැඩේ කරගෙන ගියා.
කොහොමහරි මේ කට්ට කන්නෙ පරිප්පු හොද්දක් හදාගෙන බඩගින්න නිවාගන්න නෙවේ කියලනම් අපි හැමෝම දැනන් හිටියා.
හුදෙක් "යමක්" කිරීමේ අරමුණ !
ඒකාකාරී ,පරණ ග්‍රැමෆෝන් තැටියක් වගේ එකම තැන දුවන ජීවිතේ පොඩ්ඩකට හරි අපගමනය කරගැනීම.
වචනවලින් එහෙම නොකිවුවට හිතේ තිබ්බෙ එහෙම.මොකද කිසිම හැලහැප්පිල්ලක් නැතුව ජීවිතේ ගැලීම කියන එක ඔලුව තෝන්තු කරන ජාතියේ කාරණාවක්.මොනවා හරි දෙයක් වෙන එක ලොකු සහනයක්.බස් එක හැප්පෙන එක ,පොකට් එකට කවුරුහරි එකෙක් විදින එක.අඩුම ගානෙ අසනීපයක්වත් හැදියන් !
අපි හැමෝම පල්ලෙහා තැනක ඉඳලා ලිෆ්ට් එකකින් නෙවේ, ගොඩක් උසට යන පඩි පෙළක පඩියෙන් පඩිය බඩගාලා උඩට ආපු උදවිය..පොර ටෝක් නෙවේ.උඩට යන්න යන්න අහළ පහළ වැඩිපුර පේනවා.වටපිටාවේ පේන දුර වැඩිවෙනවා.පඩිපෙළ මැද නතර වෙච්චි ,මැදින් වෙන වෙනම තට්ටු වලට ගියපු,ආපහු බැහැල ගියපු,අපිවත් පහුකරන් උඩට ගියපු උන් දැක්කා,දකිනවා.දකීවි

ඒත් උඩට එන්න තිබ්බ උද්‍යෝගය, උඩට ආවාම අපිව දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නෑ.

නැවතත් පරිප්පු හොද්දට !
උත්සාහය පල දරන බවක්නම් පෙනුනා.පොල් ගාද්දි ,මිරිකද්දි,ලූනු කපද්දි,මිරිස් කපද්දි අපි හතරදෙනා අපි ආයෙ පරණ කාලෙකට ගියා වගේ ලාවට දැනුනා.
අලුත ගෙනාපු වළංවල
අලුත ගෙනාපු ලිපේ 
අලුත් පරිප්පු හොද්දක්
අතීත කාලෙට අයිති සුවඳකින් කාමරේ පිරෙන්න ගත්තා,

"පොඩ්ඩක් බලපන් මචන් හැන්දට අරන්" ට්‍රබල්සූට් කිව්වා

ක්ලෙමෝ තමා රස පරීක්ෂක

"ම්ම්ම් ලුණු මදි වගේ "

තව ලුණු ටිකක් එකතු උනා.

"නිකන් කහ පාට වැඩි වගේ නේද බන්?"

"දාමුද තව මිරිස් ටිකක්? '

"සැර වැඩි වෙයිද? "

"කමක් නෑ දාමු"

"ගොරක කෑල්ලක් එහෙම?"

"පිස්සුද යකෝ?"

"අබ දානවද? කරාබුනැටි එහෙම?"

"ඕනෙද? අනේ මන්දා එවත් ගෙනාව හැබයි"

"මේ රෙසපි එකේනම් නෑ"

"රෙද්දෙ රෙසපි..අපිත් උයල තියෙනවා යකෝ.දැන් මතක නැති සීන් එකක් තියෙන්නෙ"

"තව ළුනු ටිකක් දාමු..සුවඳයි"

"දැන් පොඩ්ඩක් බලපන් රස "

නැවතත් ක්ලේමෝට

"අනේ මන්ද බන් මොනවහරි අඩුයි වගේ "

"හුටා කරපිංචා "

'රෙසපි එකේ එහෙම එකක් නෑ බන්"

"යකෝ curry leaves කියන්නේ කරපිංචා නේද?"

"මම හිතුවෙ රම්පෙ කියලා"

"කෝ රම්පෙ දැම්මද? "

"කෙළිය කෝ රම්පෙ කොළේ? "

"හරි දැන් බලපන් ක්ලේමෝ"

"තාම නෑ කොලිටිය ඇවිල්ල..අමුතු අජ රහකුත් එනවා "

"තව මොනවද දාන්න ඕනෙ"

"පොල්කිරි ටිකක්?"

"ඔක්කොම දාලා තියෙන්නෙ"

"කොහොමද මේක ඩීබග් කරන්නෙ? "

"ඔහොම හැඳි ගාමු.තෙම්පරාදු කරාම හරියයි"

"තව  ලුණු ටිකකුත් දාමු,මදි වගේ"

"සාමාන්‍ය පරිප්පු හොදි" හතරක් විතර හදන්න යන වෙලාව ගතවුනා.අපිට මතක තිබ්බ පරිප්පු රහට අහලකටවත් වෙන්න ,අලුත් පරිප්පු හොද්දට බැරි වෙලා.කොටින්ම මේක රහක් කියන්නත් බෑ.කට කාරගෙන යන කන්න කලින් බඩ යන ගතියක් තිබුනෙ.

මොනවා එකතු කළත් ,මොනවා අඩු කළත් ඒකෙ වෙනසක් උනේනම් නෑ.ඒත් තව ටිකක් හැඳි ගගා ලිපේ තිබ්බොත්  පරිප්පු ටික දියවෙලා වතුර වෙයි.වළඳ ලිපෙන් බාලා වටකරගෙන අපි හතර දෙනා කල්පනා කරන්න ගත්තා.කාටවත් මුකුත් කියන්න හිතුනෙ නෑ ක්ලේමෝට ඇරෙන්න.

"මට හිතෙනව මචන් යමක්"

"මොකක්ද?" ඩීබග් අහන්නෙ ඕනවට එපාවට

"අපේ ජීවිතෙත් මේ පරිප්පු හොද්ද වගේ නේද බන්?

"ම්ම්ම්?"

"හොඳට සල්ලි වියදම් කරල දාන්න පුළුවන් ඔක්කොමත් දාල රස කරගන්න හදනවා,ඒත් කටේ තියන්න බෑ"



Share: