Oct 28, 2017

පිස්සෙක් ලවා කේන්දරේ බලවාගත්තෙමි !



"බොහොම බලගතුයි.දක්ශ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්"

"ඔව් ඔව් සහතික ඇත්ත.ඔය කිවුවෙ බලාගෙන හිටියා වගේ...වෙන මොනවද ඉතින් පේන්නෙ? "

කාලෙකට පස්සෙ හරි හමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝශයෙන් ඇඟත් අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා.

"දැන් මහත්තයෝ මේකනෙ.මහත්තයාගේ සෙනසුරු මහ දසාව ගෙවී ගෙවී, හතේ ඉන්න කුජය ටික ටික බැල්ම දානවා.එතකොට ශනි දෝශ කාරිය සැර බාල වෙලා ගිහින් බරහස්පති තමා ඉස්සරහට ඉන්නෙ

දැන් ඔය ටෙක්නිකල් ඩීටේල්ස් අපිට මොකෝ? ඔය කියන ග්‍රහයො එහාට මෙහාට අවලමේ ගිහින් අපිට වෙන දේනෙ දැනගන්න ඕනෙ.

"හා හා හරි හරි ඉතින් එහෙම උනාම මොකෝ වෙන්නෙ?.සෙනසුරානම් අනිවාරෙන්ම අතක් පයක් කඩනවලු නෙහ්?"

"අ අ..හම් හම්...ඇක්සිඩැන්ට් එකක් හරි .,අසනීපයක් හරි ආවොත් තමා"

ඒකත් හරි ඉතින් අතක් පයක් කැඩෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න එපායැ..ඉතින් දැන් ඕක මේ යකාම කියන්න ඕනෙද

"ඒක නේන්නන්..දැන් ඕක වළකන්න මොකෝ? මැණික් මුද්දක් දාන්න වෙයිද? බෝධි පූජා?"

"ඔව්වොව්..ඒවා නරක නෑ.හැබැයි ඉතින් හොඳම දේ වැඩිය අනතුරුදායක වැඩවල නොයෙදෙන එක තමා"

මම ඒක තරයේ සිහියට ගත්තා.පස්සෙ කතා කරලා මුද්දක් හරි, සුරයක් හරි ඉල්ල ගන්නවා වැඩි හොදට.දැන් ඔය ක්‍රිකට් ගහන උන් උනත් බෝල් ගාඩ් දාන්නෙ,මොකෝ වැදුනට පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නෑනෙ.

ඊළගට මට මතක් උනේ මේ උතුම් මාතෘ භූමියේ අභිවෘද්ධිය සහ ඉදිරි ගමන වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ වන රටින් පිටවී වෙන රටකට යන එක ගැන.

"ඉස්සර එක්කෙනෙක් කිවුවා විදේශ රැකියා යෝග තියෙනවා කියලා"

"ආආආ හිටින්ට...ඔව් ඔව්..හැබැයි ඉතින් ටිකක් මහන්සි වෙලා..රට රැකියා පුරප්පාඩු හොයලා ඉල්ලුන් කරන්න වෙයි"

වැඩේ හරි වගේ !

"මන් මොනවද කරන්න ඕනෙ ඉතින්..නැද්ද විදේශ ටුවර් වලට අධිපති දෙයියෙක්?"

"එහෙමටම දෙයක්නම් ඕනෙ නෑ...ම්ම්ම්ම්ම්..   හැබැයි රජෝ මං මේ ඊළඟට කියන දේවල් ටිකනම් හරියටම තියෙන්ඩ ඕනෙ"

"මොනවද? මොනවද?"

"පාස්පෝට් එකයි වීසයි"

(මුගෙ ආච්චිට ! ඒක මූ කියන්න ඕනෙද )

විදේශ ගමන් ටිකක් පරක්කු වෙන නිසා මේ ඉන්න කාලෙ පණ ගැටගහගන්න එක ගැනත් කල්පනා කරන්න ඕන.

"එතකොට ධන ලාබ? මේ දවස්වල අමාරුවෙන් තමා ජීවත් වෙන්නෙ"

"ම්ම්ම්ම්ම්...රවිනම් හත්වැන්නෙ ස්ථානගත වෙන එක..."

"ඔව් ඔව් හොඳයිද?"

"හොඳයිනම් තමයි....ඒකට හැබැයි වෙනදට වඩා මහන්සි වෙලා වෙන රැකියාවක් හරි කරලා හම්බු කරන්න වෙනවා"

"හා...රවී ඉන්න හින්ද හරියයි නෙහ්"

"ඔව් ඔව් රවී එක්ක ඉඳලා හරි ගිය අයත් ඉන්නවා...හැබැයි පරිස්සමෙන්..වෙන මොනවද දැනගන්න ඕනෙ?"

"විවාහය එහෙම"


"සිකුරා හත්වැන්නේ ස්ථානගත වීමනම් හොද ලකුණක්..ඒකේ හොද ප්‍රතිපල ගන්නනම් ඔය පත්තරේක මංගල දැන්නීමක් කාරිය දාලා.දන්න කියන කපු මහත්තයෙක්ට කියලා බලන්න"

"මට ඉතින් මේ ආව එකේ ආරක්ෂවටනම් මොනාහරි ඕනෙමයි.අපේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා මට හොදටම දැනිලා තියෙනවා"

"ඒ කොහොමෙයි"

"ඔන්න දවසක් දා මහ දවල් අපේ දොර දඩාස් ගාලා වැහුනා.ඊට පස්..."

"හා හා මම දන්නවා"

"අනේ ඔබතුමා දන්නවද.පෙරේතයෝ අල්ලන්න හොද කට්ටඩියෙක් දන්නවද.කුප්පියක දාලා"

"නෑ නෑ ඒවා ඉස්සරහට බලමු.දැන් ගොඩින් බේරගමු...........දුවේ දුවේ....."

කොහෙන්ද ඉදන් කඩා පාත්තුන දුවෙක් හක්ගෙඩියක් දීලා යන්න ගියා.

"ෂහ්...නියමයිනේ.හක්ගෙඩියක්.මේකෙ කොයි පැත්තටද කැරකිලා තියෙන්නෙ?"

"ඒකෙනම් මන් දන්නෙ නෑ.ඔය අපේ දුව කොහෙද ට්‍රිප් එකක් යද්දි දැකලා උස්සන් ඇවිත්.මන් මේක මහත්තයට දෙන්නම්"

"හානේ නිකන්?ඔබතුමාටනම් බුදු බව අත්වෙන්න ඕනෙ.දැන් මේකට මම පුද පූජා කරන්නෙ කොහොමද?"

"එහෙම ලොකු දෙයක් නෑ.ගෙදර ගිහින් හොද බරට හිටින්ඩ වැලි පුරවන්ඩ මේකට"

"හා හා ඊට පස්සෙ දුම අල්ලලා"

"නෑ නෑ..ඊට පස්සෙ දොර ඇරපු වෙලාවට අඩේට තියන්න"

"ඒ මොකෝ.?"

"නෑ ඉතින් අර දොර එකපාර වැහෙන්නෙ හුළගට වෙන්ඩැ.ඕක තියන්න හරි යයි"

"ඔබ තුමා මාව විහිළුවකට ගත්තද?මට මේ තියෙන දහසක් ප්‍රශ්න වලට දුක වලට උත්තර හොයාගන්න මන් ආවේ"

"දුකනම් ඉතින් හැමෝටම උරුමනේ මහත්තයෝ.මං ඒකටත් පිළියමක් කරන්නං"

"කියන්නකො බලන්න"

මහත්තයා මේ දුන්න රුපියල් සීයත් අරන් යන්න.යනින් ගමන් පාන් රාත්තලකුයි .ඒ පෝ කොළ තුනක් හතරක් විතරයි ගන්න"

"හා හා හරි හරි"

"ගෙදර ඇවිත් අර එක කොළේක ඔය මහත්තයාට තියෙන සියළුම ප්‍රශ්න ලියන්න"

"හරි හරි ඊට පස්සෙ ඒක රෝල් කරනවා.මං දන්නවා මේ වීඩියෝ එකේ තිබ්බෙ ඕක...මේ මෙන්න මේක 

"ඉන්නකෝ මහත්තයා...ඊට පස්සෙ අනිත් කොළේ අරන් අර ප්‍රශ්න එක එකක් එන්න හේතු වෙන වෙනම ලියන්න"

"ඊට පස්සේ ඒකත් රෝල් කරනවා"

"නෑ..ගන්න අනිත් කොළෙත් අරන්  ඒකෙ ලියන්න අර ප්‍ර‍ශ්නවලට හේතු වළක්වලා  ප්‍රශ්නයත් වළක්වන්න මහත්තයාට කරන්න පුලුවන් දේවල්"

 "ඊට පස්සෙ කොළ තුනම රෝල් කරලා පාන් ගෙඩියේ හිලකුත් හදලා"

"නෑ නෑ එහෙම නෙවේ..ඊළඟට තියෙන්නෙ නොපසුබට උත්සාහයෙන් අර තුන්වන කොළේ ලියපු ඒවා ක්‍රියාත්මක කරවන එක"

"එතකොට අර පාන් ගෙඩිය මොකටද?"

"ආආ ඒක..මහත්තයාගේ ප්‍රශ්න ගොඩත් එක්ක ඔය ඔක්කොම ලියලා ඉවර වෙද්දි රෑ බෝ වෙයිනෙ..මොනාහරි හොද්දක් හදාගෙන අර පාන් ගෙඩිය කන්න..බඩගිනිනෙ"

"ඈ යකෝ කපුවෝ...මං තොගෙ ළඟට ආවෙ බඩගිනි උනාම පාන් කන හැටි  දැනගන්නද? රට යන්න වීස ඕනෙය...පරිස්සන් උනොත් අනතුරු වෙන්නෙ නැතිය..ඒවත් තෝම කියන්න ඕනෙද? මනුස්සයෙක් ප්‍රශ්නයක් තියාගෙන මේ වගේ තැනකට එන්නෙ මොකක් හරි සහනයක් හොයාගෙන..ග්‍රහ අපල වලින් මිදෙන්න...පෙරේත කුම්බාන්ඩ දෝස වලින් මිදෙන්න..තෝ දන්න රෙද්ද..දීපිය මගෙ රුපියල් සීය..මං යනවා"

මම ගස්සගෙන නැගිටන් කාමරේ දොර ළඟටම ගියා..ආපහු හැරෙන්න උනේ අර පිස්සගේ අන්තිම වතාවටත් කතා කරන්න ගත්ත නිසා

"මහත්තයෝ !...එළියෙ ඉන්න හතුරන්ට අපිට කිසිම හානියක් කරන්ඩ බෑ, ඇතුළෙ හතුරෝ නැත්නම් !"



(අන්තිම වාක්‍යය ගත්තේ අප්‍රිකානු කියුමකින්..)

Share:

Oct 5, 2017

රූපවාහිණී බලා ආනන්දයෙන් ප්‍රඥාවට ගියෙමි !



ටීවී බලන සත්පුරුෂයන් සතු , ජීවිත සත්‍යයන් ඇති සැටියෙන් පහදාගැනුමට අවැසි පරිචයන්ද,ඔවුනගේ පරිණත දැනුමද අහිමුව, විශාල හීනමානයකින් මා පෙළෙන්නට වූයේ අපේ ගෙදර ටීවී එකක් නැති හෙයිනි.සමාජ සත්වයෙකු වශයෙන් මිනිසාට සිය ජීවන ගමනේදි විඳින්නට සිදුවන සියළු දුක්ගැහැට මැඩලමින් ඉදිරියටම යෑමට අවැසි පරිසාදනය ගොඩනැංවීමෙහිලා රූපවාහිණිය මඟින් සිදුවන මෙහෙය මට මොනවට පැහැදිලි වී තිබුණි.

හදේ නැගෙන්නා වූ චිත්තවේගය, චිත්ත පීඩාව දරාගත නොහැකි තැන, මා සමඟ එක ගෙයි කමින් හුන් බයිකයද උකස් තබා ලබා ගත් මුදල්ද ගෙන මම රූපවාහිනියක් මිළදී ගැනීම පිණිස සෝ රූම් එකක් වෙත ගියෙමි.ජීවිතේ කරන කියන සෑම දෙයක්ම ඉහළම මට්ටමින් සහ උසස්ම ප්‍රමිතියෙන්ම සිදුකරන බැවින් (සභාවේ තදින් කැස්ස ) මිළ අඩු කුඩා බාල එකක් මිළදී ගැනුමට සිත් නොදිනි.ඉස්සර ටීවී එකක් ගැනීමේදී අත්පිට මුදල්,උප්පැන්න සහතික, වෛද්‍යය වාර්තා ඉදිරිපත් කරමින් බාල්දු වූ පාරිබෝගිකයා දැන් සේල්ස් මෑන් පදිරි කරන හැටි දැක උපන් පහන් සංවේගයකින් යුතුව මම ඉදිරියට සක්මන් කළෙමි.
කෙළවරේම ටීවී එකේ සයිස් එක අගල් වලින් දක්වා තිබුනු අතර එය මිලිමීටර් වලට කන්වර්ට් කිරීමේදී ලැබුනු උත්තරය බැදුම්කර වංචාවේ ප්‍රමාණයද පැන්නූ හෙයින් මම ඉගැන්නූ ගුරුවරුන්ට නිගා නොදී  මුදල් කැසියර් එකට හැලුවෙමි.ඉන්පසුව ආයතන කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටීමට සිදු වූයේ එම ආයතනයෙන් අවුරුදු ගණනාවකට පසු අත්පිට මුදලට භාණ්ඩ මිළදී ගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඊළඟ ප්‍රශ්නය ඇතිවූයේ සද්දන්ත ටීවී රාජයා ගෙදර ගෙන යාමේදීය.ටීවී එකේ පරිමාවත් මගේ පරිමාවත් ගණනය කර බැලූ තුන් රෝද රථ රියදුරෙකු,මගේ හයර් යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේ විනයගරුක රියදුරෙක් ලෙස මෙවැනි විශාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේන් මගියාත් තමාත් අනතුරට පත්කරගැනීමට සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක්ද තමන්ට නොමැති බව පවසමිනි.ඉන්පසු ඩීමෝ බට්ටෙක් තුළ වැඩම වූ ටීවීය,ගෙදර දොරෙන් ඇතුළට ගැනීමට මා දැරූ ප්‍රයත්නය දෙවෙනි වූයේ හයිවේ එන්ට්‍රන්ස් එකේ අඩි විස්සේ කන්ටේනරයක් යූ ටර්න් එකක් ගැසීමට පමණි.
සූර්ය රාජයාණෝ අපරදිග අහසේ පෙන්ෂන් යද්දී  මගෙතුළ ශට් අප් වූ ටීවී රාජයාණෝ  (ඉංග්‍රීසියෙහි ශට් ඩවුන් යනු  මැසිමක් ඕෆ් කිරීම වන අත‍ර ඔන් කිරීම ශට් අප් වේ) සිය මහේශාක්‍ය ලීලා දක්වමින් විහිදුවාලූ රශ්මි කදම්බයන් කෙසේ වීද යත්, එරැස් දැක නොමග ගිය එහා ගෙදර ඇන්ටි බෙරිහන් දෙමින් ඇගේ ළමයින් ඇදෙන් නැගිට්ටවා, ඇදුම් අන්දවා පාසල් යැවීමට සූදානම් වූවාය.උන්ගේ මොඩන් නම් ටික එක දිගට උච්චාරණය කරමින් සිටි ඇන්ටියාගේ සද්ද වැහුනේ හක්ක පැනීම නිසා විය යුතුය.

ටීවී රජානෝ ශට් අප් වී පැය බාගයක් යාමටත් පෙර මට, මගේ ආයෝජනය ගැන පැහැදී පහන් සිතුවිලි පහල වන්නට විය.මුලින්ම එතුමා ඉදිරිපත් කළේ ඉතාමත් හාස්‍යජනක චිත්‍රපටියකි.එපමනක් නොව ත්‍රාසය,භීතිය,කුතුහලය,කිචිය සහ ප්‍රීති කසාන තොග පිටින් තිබුණු, එක්තරා කල්පිත රටක් ගැන කියවුනු එය ඉතා ඉක්මනින් අවසන් විය.අවසානයේ නම් පෙළ දැමූ අතර ඊට කළින් "විදෙස් පුවත්" කියා කිසිසේත්ම අදාළ නැති කෑල්ලක් පෙන්නීමට යෑමෙන් චිත්‍රපටියේ සම්පූර්ණ  හරයම විනාශ විය
ඊළගට මේ යන්නේ ටෙලි නාට්‍යයක් විය යුතුය.

තමන් මළගෙදරක සිටී යයි වැරදි අදහසක සිටි කාන්තාවක් ඊළගට ඇඩීම පටන් ගත් අතර එය අවසන් කළේ වෙන චැනල් එකක වෙන ගෑණියෙක් පැය දෙකකට පසුය.යම් ප්‍රශ්නයක් ගෙදර ඇති වූ විට පවුලේ උදවියද, නෑදෑයෝද ,ග්‍රාම සේවකද කොටින්ම මේකප් ආටිස් ද පැමිණ සාලය මැද රවුමක් සෑදී එය විසදන අතර, අන්තිමේ හොයා බැලූ විට ප්‍රශ්නය පරිප්පු හොද්දට ලුණු මදිවීම, ඉදලේ ඉරට්ටක් කැඩීම,වත්තේ ඇවිදින විට බලු බෙට්ටක් පෑගීම වැනි දෙයක් විය.අප විසින් සුළු කොට තකන එවැනි ප්‍රශ්නයක් පවා,ඇමෙරිකාව නෝත් කොරියාවේ මිසයිල්ස් ලොකේසන් හොයන්නාක් මෙන් හෙණ ගේමක් දී විමසන අයුරු දුටු මට ප්‍රඥාවෙන් කොටසක් පහළ විය.

සාරාංශයක් ලෙස කතාවල කපල් එකක් සිටින අතර උන්ට වින කයින දුශ්ඨයෝද සිටිති.එකී දුශ්ඨයන් උදේ නැගිටගත් වේලාවේ සිට කද්දීත් බොද්දීත් ලැට් එකට යද්දීත් කල්පනා කරන්නේ ගේමක් දෙන හැටි ගැනය.ඒවායේ ප්‍රතිඵල ලෙස ළමයි කිඩ්නැප් වේ.කෑම වලට වස වැටේ.මානව හිමිකම් කවුන්සලයේ පෙත්සම් ගොනුවේ.මේ සියල්ල මැඩලමින් කපල් එක ජයගන්නා බවක් පෙනුනත් එහෙම නැත.එය දැකගත හැකිවනු ඇත්තේ අන්තිම එපිසෝඩ් එක බලන  අපේ මුණුබුරාටය.කෙසේ වුවත් කපල් එකේ නොපසුබට උත්සාහයන් දුටු මගේ ප්‍රඥාවෙන් තවත් කොටසක් පහළ විය.

ටීවී උතුමානෝ වදාරණ කතාවල ගලා යාම අපූරුය.පෙරකී කිඩ්නැප් වූ ළමයා නැවත ගෙදර ගෙන ඒමේදී අම්මා හැපින්නක් බවට පත්වේ.එතනින් යන නයි නටවන මිනිහෙක් හැපින්න අල්ලා ගෙන යන අතර ,මිනිහා ළග සිටින වදුරා ඊට ඔරොප්පු වී පැනයයි.චාල්ස් ඩාවින් පරිණාම වාදය සොයාගන්නේ එම වදුරා පරීක්ෂා කිරීමෙනි.දවසක ඔප්පු වූයේ ඩාවින් යනු අර හැපින්නගේ අක්කාගේ කලින් කසාදේ මිනිහා බවය.ඒ අක්කා එවකට බලවත්ව උන් ව්‍යාපාරිකයෙක් බංකොලොත් කර අනාත කර දැමීය. පොර දැන් මහ පාරේ අයාලේ යන අතර ඉදහිට නයිද නටවයි.අර හැපින්න අල්ලා ගත්තේත් ඌමය.

මෙසේ ගලා යන කතාවන් දැකීමෙන් අනීවාරතේ ලියන මට දැවැන්ත හීනමානයක් සමග ප්‍රඥාවද මතුවිය.එම කතන්දර ඉන්දියාවේ සූට් කර මෙහෙදී ඩබ් කොට අපිට සූට් කරන බව මම පසුව සොයාගතිමි.

එදා රෑ එළියෙන් ඇසුනු අඩි සද්දයක් පසුපස ගොස් මම ගැසූ පොලු පාරෙන් ඔලුව පලාගත් පුද්ගලයා ,ම්නිස්සු උන්ගේම ටෙලි බලන්නේදැයි සොයා බලා තෑගි දීමට එක්තරා ටීවී චැනල් එකකින් එවන එකෙක් බව මම දැනගත්තේ නිවුස් වලිනි.

පහුවදා උදේම මිරිස් නැතුව මිරිස් හොද්දක් හදාගන්නා හැටි ඉගෙන ගත් මා ඉන්පසු එක්තරා පෙත්තක් නොගැසුවහොත් අනිත් අයද මා මෙන්ම විරූපී වන බව දැනගත්තෙමි.මගේ මොළයේ නියුරෝන හිග කම සහ දත් වල හිමෝග්ලොබින් නැති වීම,දාඩිය ගද හැමීම කාලයක්ම මට තිබෙන ප්‍රශ්නයක් බව ටීවී ඇඩ් එකක් පහදා දෙන තෙක් මම දැනන් උන්නේ නැත. මස්තබාල්දු නොවීමට අර කිරි බීමට අවශ්‍ය බවද, තේකක් බී එහි මණ්ඩි ටික තැපැල් කර යැවීමෙන් ලංකාවටම එක කාර් එකක් ලැබෙන බවද මම දැන ගතිමි.කොටින්ම මොළයේ ප්‍රඥා විපර්‍යාසයක් ඇති විය.

ඒ ප්‍රඥාව නිසා ඔළුවත් බර වුනු නිසා මම දැන් ඇවිදින්නේත් ඇලේටය.

මම දැන් ඉන්දියන් ක්‍රමයට කමි.අදිමි.නාමි ලැට් යමි.මමත් දැන් ශ්‍රී ලාංකික නොවීමෙන් අනිත් ශ්‍රී ලාංකිකයන්ටම සමානය.ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මගේය.ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්දියන් වන අතර හින්දුස්ථාන් සින්දාබාත් වේ. එසේම ECTA ගිවිසුමටද මම විරුද්ධ නැති අතර ඒවාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ගෙදරට පැමිණෙන අයගේ පාත්තරවලට කිඹුලා බනිස් දමමි..

මක්නිසාද යත් මා දැන් ඉන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ගොස් නිසාය !

Share:

Sep 5, 2017

බ්ලූ වේල් (Blue Whale) කෙළියෙහි යෙදුනෙමි..



ඒ බල්ලෙක් චූ කිරීමටවත් එළියට නොබසින තරමේ භයානක රාත්‍රියකි !

සියුම් ඉඳිකටු තුඩු ලක්ෂ ගනනක් සම පසාරු කර යන තරමේ සීතලකින් පරිසරය වෙලමින් හමායන සුළංරැල් වලින් සපිරුණු, හදවතේ ලේ පොම්ප වන ශබ්දය පවා ඇසෙන තරමට නිශ්ශබ්ද, ලෝකාවසාන භයංකරත්වය දනවන රාත්‍රියකි.

මම එතෙක් අසමින් හුන්, අලුතින් ආ සිංහල සිංදුවක් පෙස්බුක් එකේ පෝස්ට් කර නිදන්නට සැරසුනේ කළ හැකි අන් කිසිවක් නොවූ හෙයිනි.
එහෙත් ඊට බාධා කරමින් ආ වට්සප් ඇමතුමකි.වට්සප් කෙසේ වුවත් දුරකතන ඇමතුමක් හෝ ලැබීම ලොකු දෙයක් නිසා මම දෙවරක් නොසිතාම "හලෝ" කීවෙමි.

"Do You Want To Play The Game?"

"ඇහ් ? බබ් බ..මොන?" මම ඉංග්‍රීසි නොදන්නා වගක් හැඟෙවුවෙමි.

"ඔබට සෙල්ලම් කිරීමට අවශ්‍යද? " එහා පැත්තේ එකා දමනය වී සිංහල මීඩියම් ගියේය.

"සෙ සෙල්ලම්? හා"
මේ මහ රෑ කවුද යකෝ සෙල්ලම් කරන්න අහන්නේ

"ඔබ ෆේස්බුක් එකේ නිල් තල්මසෙක්ගේ රූපයක් පළකර තිබුනා.ඒයින් අප දැනගත්තා ඔබට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව.එසේම ඔබ ඉතා අධික මානසික පීඩාවකින් සිටින බවත් අපට වැටහුණා"

"ඇහ්..ආ ආ ඒ අපි මිරිස්සෙ ගියා නිල් තල්මස්සු බලන්න.ඒ උන්ගෙ ෆොටෝ එකක්..... කොහොමද මානසික පීඩා කියන්නේ?

"ඔබ පහුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල පළකර තිබුන දේවල් වලින්"

"ආආආ ඒ මේ ලංකාවේ අලුතෙන් එන සිංදුවල ලිරික්ස්"

"එසේ නම් පෙනී යන්නේ ඔබට මේ ක්‍රීඩාව කිරීමට අවශ්‍ය නැති බ...."

"නෑ නෑ ඕනෙ.කීයක් දෙනවද? "

"කීයක්වත් නැහැ. මෙය ඉතා රහසිගතයි.. නම බ්ලූ..."

"හා හා හා අයියෝ හා බ්ලූ !"

"නැහැ මේක බ්ලූ වේල්.මේකෙදි ආපසු හැරීමක් නෑ.අපි ඔබට ක්‍රියාකාරකම් 50ක් දෙනවා. ඒවා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අපට ඡායාරූපයක් එවිය යුතුයි.මෙහි පනස් වැනි ක්‍රියාකාරමේදී තමයි ඔබ දිවි නසා ගන්නේ "

(අනීවාරතේ පාඨක ඔබ දැන් හෙණ කොන්පියුස්නම් කරුණාකර මෙම වීඩීයෝව නරඹා පැමිණෙන්න )

ක්‍රියාකාරකම් යනු පසෙහි සංඝටක සෙවීම, නිල් ලිට්මස් පරීක්ෂාව, ද්‍රවවල ඝනත්ව සෙවීම වැනි ඒවා බව ප්‍රඥාවෙන් සහ විඥානයෙන් අවබෝධ කරගත් මම "හා" කීමටත් පෙර කනෙක්සන් එක ඩිස්කනෙක්ට් විය.

මගේ මතය හරියටම හරි බව වැටහුනේ පළවැනි ටාස්ක් එක මැසේජ් එකකින් ආ පසුය.

"ක්‍රියාකාරකම 1: කොළයක නිල් තල්මහෙකුගේ රූපයක් අඳින්න"

සිම්පල් වැඩේ කර ෆොටෝව යවා කැපිටල් අකුරුවලින් OK කීවෙමි.

"අපිට අවශ්‍ය නිල් තල්මසෙක්. කබරගොයෙක් නොවේ"නිල් තල්මස් රූපයේ තාත්විකත්වයෙන් මත් වූ ලොක්කා ලියා එවුවේය.

මම තවත් එකක් යැවුවෙමි.එය ඇපෲ විය.

"ක්‍රියාකාරකම 2: මහ රාත්‍රියේ හොරර් / භයානක චිත්‍රපටියක් නැරඹීම."

"OK"

"කුමක්ද නැරඹුවේ?"

"ධර්ම යුද්ධය"

"එය හොරර්/භයානක එකක් නොවේ"

"භයානකයිනේ, යුද්ධය කෑල්ලක් තියෙන්නේ. අනික හොර....හොර කොපියක් බැලුවේ"

ලොක්කා නොට් සැටිස්ෆයිඩ් විය.
අන්තිමේ පොර විසින් නම් කරන ලද ලෝකයේ ප්‍රධානතම භයානක චිත්‍රපටි 4ක් බලන්නට සිදු විය.ඒවා බැලීමෙන් හිනාව නවත්තා ගත නොහැකිව "OK"  වල ඉස්පෙලින්ස් පවා වැරදුණි.

ඊළඟ දවසේ භයානක ක්‍රියාකාරකමක් එවා තිබුණි.

"ක්‍රියාකාරකම 3: අප විසින් ඔබට ලබා දෙන නිල් තල්මසෙක් සහිත යකඩ අච්චුව ගිනියම් වන තෙක් රත් කර ඇඟෙහි පච්චයක් සේ ගසා ගැනීම"

අච්චුව ඔවුන් විසින් ලබා දෙන බැවින් මම එය ලැබෙන්නේ කෙසේද, කියා කල්පනා කරමින් දවස් තුනක් ගත කළෙමි.

"පෙනෙන හැටියට ඔබ ඒ අභියෝගය බාර නොගන්නා සේයි"

"ඉතින් අර කොකිස් අච්චුව හම්බුනේ නෑනෙ"

"එය ඔබට මීට දින දෙකකට කලින් එවන ලදී"

" ඒ කොහොමද?"

"ශ්‍රී ලංකා තැපැල්"

"හෙහ්"

"ඇයි?"

"දැන් කොහෙ හරි පෝස් ඔපිස් එකක එකෙක් ඔය කොකිස් අච්චුව ඇඟේ ගහගෙන ඇති"

"හරි එය අවශ්‍ය නැහැ එහෙනම්. ක්‍රියාකාරකම 4: උස ගොඩනැගිල්ලක ඉහළටම නැගීම"

ලංකාවේ උස ගොඩනැගිලි බොහොමයක් තිබුනද ඉහළට නැගීමට ඉන් එකකින්වත් ඉඩක් නොලැබුනි.ඉච්ඡා භංගත්වයට පත්වී ඉබාගාතේ සැරිසරන විට මට ටවුන් හෝල් දෙසින් ජන රැළියක් පෙනුනි.වටේ පිටේ සියල්ලෝම කලබල වී ඇති හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මම ලඟම තිබෙන ගොඩනැගිල්ලට නැග්ගෙමි.
පහළ උන් පිරිසේ දැවැන්ත ප්‍රීතී ඝෝෂා සහ උසි ගැන්වීම් මධ්‍යයේ අමාරුවෙන් උඩට නැග්ගද පහළට බැස ගැනීම එතරම් අපහසු නොවූයේ උදව්වට පොලිස් දෙන්නෙක්ද හිටි නිසාය.
සෞඛ්‍යය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුල් වී දේපල හානි කිරීමට පහුවදා නඩු පැවරුනත් සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීම පිණිස මා කලේ උසාවියේදී කට ඇරීම පමණි.


"ක්‍රියාකාරකම 5:පාලමකට ගොස් එහි මායිමේ හිට ගැනීම"
එම ක්‍රියාකාරකමත් මගේ නිකැළැල් නාමයට කිරිඇල්ලයක් (නාම පදයකි ) එකතු කළ අතර ගඟට කුනු දැමීමට උත්සහා කළැයි ඩෙංගු මර්ධන සතියේදී දඩයක් වැදුනි.

"ක්‍රියාකාරකම 6: මානසික වදයක්,පීඩාවක් හා කළකිරීමක් ඇතිවන තැනක පැය හතරක් ගත කිරීම"

මෙම අභියෝගයේ පළමු ව්‍යායාමය අසාර්ථක වූයේය.මම ඒ බව ලොක්කාට දැන්නුවෙමි.

"කුමක්ද සිදුවූයේ?"

"එතනට යන්න දෙන්නෙ නෑ ලොකු බෝඩ් එකක් තියෙනවා"

"කුමක්ද?"

"පාර්ලිමේන්තු වාහන පමණයි ! කියලා"

"එය නිදහසට කාරණාවක් නොවේ.තව එවැනි තැනක් හොයාගන්න"

එවැනි තැන් අනන්තවත් තිබේ.මට වුවමනා වූයේ හොඳම තැනට යාමටය.ලිස්ට් එක දිග වැඩි බැවින් මම මැසේජ් නොකර දුරකථන ඇමතුමක්ම ගත්තෙමි"

"මෙහෙමයි.ඕනෙනෙම් මට ඉන්දියා ශ්‍රී ලංකා මැච් එකට ගිහින් මැච් එක බලලා එක පාරකුයි.සමහර පෙරේතක්ෂයෝ දැකලා එක පාරකුයි මානසික වදයක් ගන්න පුලුවන්.ඊළඟට දවසේ ඕනෑම වෙලාවක රජයේ කාර්‍ය්ලයකට යෑම,හවස ටීවී එකේ මෙගා නාට්ටි සෙට් එක බැලීම.පන්සලකට ගොස් සියළුම දේ අතැරල දාපු බුදු හාමුදුරුවන්ගෙන් ලෝකෙ නැති දේවල් ඉල්ලනවා බැලීම.බියුටි කචල් සෙන්ටර් එකක ගෑල්ලමයිගේ පෙර, පසු ෆොටෝ බැලීම, ආණ්ඩුවෙ ඉන්න උන්ට කාලකන්නි කියලා බැන බැන උන්ටම ඡන්ද දාන උන් දෙස බැලීම. හක් ගෙඩියට ගිය කල අධ්‍යයනය කිරීම... කීයක්නම් තියෙනවද ලොක්කා?මොකක්ද කරන්න ඕනෙ?"

නොදැනීම ලොක්කා දුරකථනය විසන්ධි කර ඇත.මම තව තවත් ටාස්ක් ලැබී දිවි නහ ගන්නා අවස්ථාව තෙක් බලා සිටියත් දවස් ගානක් පොරගෙන් ප්‍රතිචාරයක් නැති විය.බැරිම තැන මම කතා කළෙමි.ආන්සර් කළ එකාගේ කටහඬ වෙනස්ය.මම මගේ ලොක්කා ගැන විමසුවෙමි.

"ම්ම් එයාද? එයා අපේ ඉන්ටර්න් කෙනෙක්.එයා ඔයාට මැසේජ් එකක් තියලා තිබුනා"

"ඒමොකක්ද?"

"ලංකාවේ අයට දිවි නහගන්න ඕනෙනම් ටාස්ක් පනහක් කරන්න ඕනෙ නෑ කියලා"

"දැන් කෝ එයා?"

"එයා දිවි නහගත්තා"

_____________________________________________-

මෙය කියවීමෙන් ස්වයං වින්දනයක් ලැබුවේ නම්, අතින් පයින් නොයන නිසා පෝස්ට් එක ලයික් කර සෙයාර් කරන මෙන් ඉල්ලා සිටිමි..

Share:

Aug 27, 2017

ලංකාවට පිටසක්වල ජීවීන් ආ පසු !


සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම, බෝඩිම්වාසී අප තිදෙනාම ප්‍රකම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය. කැම්පස් එකේ සාමකාමී උද්ගෝෂනයකදී මෙන් තිදෙනාටම කිසිඳු හානියක් සිදු නොවූවත්, 2024 දි බෑන් වීමට තිබූ ඇස්බැස්ටෝස් වහළය 2017දීම බෑන් වීම හේතුකොටගෙන අපද මේ බෝඩිමෙන් බෑන් වීමේ සාදාරණ අවදානමක් මතුවිය.

"මොකක්ද බන් උනේ?" ඇක්මන්

ඇසෙන ඇසෙන හැම ප්‍රශ්නයකටම උත්තර දීමට අනිත් අය බැඳී නොමැති බැවින්, මමත් ජුවානිසුත්, ඇක්මන්ගේ වදන් නොතකා ගෙතුළ පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු. ඒ උල්කාපාත වැස්සක් නොව පොදයක් පමණක් බව මම නිගමනය කළේ කුඩා කුඩා පාෂාණ කැබලි දැකීමත් සමඟය.එහෙත් ඇඳ යට තිබී හමුවූ ටෙනිස් බෝලයක් තරමේ නීල පීත වර්ණයෙන් බබළන ගෝලාකාර වස්තුව දෙස නෙත් සිත් සහ කට ඇදී ගියේ අපේ ළමා මානසිකත්වය නිසා නොව, මාස දෙක තුනක හිඟ බෝඩින් පීස් මෙන්ම නියතයෙන්ම කරපිට වැටෙන වහළයේ අලාබයද කවර් කිරීමට බෝඩිමේ ඇන්ටියාට මේ බෝලය බැස්සිය හැකි බව මතක් වූ හෙයිනි.
එම බෝල බැස්සීමේ යෝජනාව දෙවන වර කියවීමේදී සභාවට බාධා ඇතිවූයේ සෙංකෝලය නැති වීමෙන් නොව, ඉහළ ආකාශයෙන් ඇසුනු ABS නැති පරණ වාහනයක් බ්‍රේක් ගසන්නාක් වැනි  ශබ්දයක් නිසාය.උල්කාපාත වැස්සත් සමඟම වෙන ඕනෑම දේකට මුහුණ දීමට අවශ්‍ය "ගොන් මොරාල්" හෝමනය ග්‍රන්ථි වලින් එළියට පනිද්දී අපි වහළයේ දෙසට උඩ පැන්නෙමු.

ඒ පාර පිටසක්වල යානාවකි.නමුත් පීරිසියක ෂේප් එක නැත.
දැන් මේකනම් එපා වෙලා ! මොකෝ බන් එලාම් එක වදින්නෙ නැත්තෙ තාම? 

ඉහළින් ඉරාජ්ගේ ස්ටුඩියෝ එකේ මෙන් නානාප්රකාර ශබ්ද ඇසෙන්නට විය.මට සිතුණේ ඒලියන්ස්ලා අප සමඟ කොමියුනිකේට් කිරීමට හදන බවකි.එක් එක් නුහුරු නුපුරුදු භාෂාවලින් ඇසුනු කටහඬවලින් පසුව,

 "සින්හාලා...දාපන් දාපන් ඕක හරියයි"

යනුවෙන් එක් කටහඬක් අතර වෙන එකෙක් ඇඩ්වල පෙන්නන ආකාරයට ලංකාවේ කම්පැනි වල තිබෙන භාෂාවෙන් අප ඇමතූහ.

"ආයුබෝවන් !!"

මෙය මනුස්ස වරිගයා සමඟ වෙනත් ලෝකයක් සමඟ සංහිඳියාවක් (සමාවන්න ) සම්බන්ධයක් ඇතිකරගත් මුල්ම අවස්ථාව විය යුතුය. නමුත් කවුරුත් මෙය විශ්වාස නොකරන බව විශ්වාසයෙන් කිව හැක්කේ , කියන්නේ මංජුලවත්, ආසිරිවත් නොවී “අපි “ වීමය.
දැන් ඒලියන් වදනට ප්‍රති උත්තරයක් දිය යුතුය."ආයුබෝවන්" ම කීමෙන් අපේ ඉමේජ් එක බසී.අපි ගොඩේයැයි ඒලියන්ලා වුවත් සිතනවාට අකමැත්තෙන් "වෙල් කම් ටූ ද ශ්‍රී ලන්කන්" කීමට මා සූදානම් වූ විටම වැඩිපුර ටී.වී බලන කටේ යහ පාලනයක් නැති ඇක්මන් හොට දැම්මේය.

"එලියන් අයියේ වතුර ටැංකිය උඩ ඇති"

අපේ ඉමේජ් එක හොඳටම බැස්ස අතර දැන් ලෝඩ් වෙන්නේත් නැත.

"නැත මිත්‍රවරුනි, අපි මීට බොහෝ දුරක සිට වේරම්භ වාතයෙන් කැළඹී ගියා වූ ජනාවාසයක සිට දුරු කතර ගෙවා පැමිණෙන්නෙමු.හදිසි ආක්‍රමණයක් හේතු කොටගෙන අප මාතෘ භූමිය බොහෝ සෙයින් විනාශ වූ හෙයින් ජනාවාසයට සුදුසු වෙනත් ග්‍රහලොවක් සොයා පැමිණියෙමු.ඔබ අත තිබෙන්නා වූ ගෝලාකාර වස්තුව අප ගමනේ මාර්ගෝපදේශාකයානෝය.එය අපට ජීවයට සුදුසු සශ්‍රීක මනරම් පෙදෙසක් කරා සැරිසරන්නේයැ" ඒලියන් අයියා සද්ධර්මාලංකාරය ඇසුරෙන් වදන් ගැළපුවේය.ඉන්පසු ට්‍රැක් මාරු විය " මෙපුර සෝබාව දේ සිරි විසිතුරු බලනු මිතුර !මට ආසයි නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න..."

"ඇයි අයියේ මේ බෝලෙ ආවෙ මෙහෙට.සාමාන්‍යයෙන් ඒලියන්ලා එන්නේ ඇමෙරිකාවටනෙ"

"අප ඒලියන්ලා නොවෙමු.ඒලියන්ලා නම් නුඹලාය”

"එහෙමයි කියලා ඔයාලත් මෙහෙ එන්න එපා අයියේ.අපිත් ඉන්නෙ හෙන අමාරුවෙන්.චීන්නුයි ,ඉන්දියන්කාරයොයි දැන් ඒලියන්ලා.අපිට ඉතින් එල්ලියන්ලා තමයි"

"අපටත් කළහැකි අනෙකක් නොමැත මිතුර.අප ඔබ දිවයිනෙහි පාලකයා සමඟ සාකච්ඡා පවත්වමු.එයින් ප්‍රතිපලයක් නොමැති වුවහොත් ආක්‍රමණයකට හෝ අප සූදනම්ය"

"එහෙම මේ එහෙන් මෙහෙන් පාත් වන්නා වු අයවලුන්ට සාකච්ඡා නොදේ. ඔබල මේ බෝඩිමේ වහළෙ බිඳ දමන නිමේශයේ...මේ මේ" ඇක්මන්  ඒලියන්ලාට යෑමට තැනක් සෙවුවේය.කොහ්වත් ඉඩ නැත හැමතැනම පිකට්යැ, උපවාසයැ

"මෙයාල කොහෙටද බන් අයිති? ආආ හ් විදේශ අමාත්‍යාංශෙ ..අන්න එහෙ යන්නකො.ගිහින් පිකට් එකක් කරන්නකෝ සාකච්ඡාවක් ගන්න"

ඔබලා උගත් බුද්ධිමත් ප්‍රයෝගික පිරිසක් බවට අපට පසක් වූවා.අපට වුවමනායි ඔබ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට.අපි එන්නෙමු.නමුත් සැබෑ ස්වරූපයෙන් නොවේ"
විනාඩි දෙක තුනක ඇවෑමෙන් ඉහළ සිට පහළට, කැඩුනු වහළය තුළින් පහත් වූ රිදී පාට කූරක එල්ලී ඒලියන් අයියලා තුන් දෙනා ඉතා ඉක්මනින් මෙහි වර්ගයා බෝකරනු ඇති බව අපට පසක් වූයේ, ඔවුන් ඇඳ සිටියේ ලංකාවේ ජාතික ඇඳුම නිසාත් ජාතික ඇඳුමට සරමක් අයිති නිසාත් අපි උඩ බලගෙන හිටි නිසාත්ය.
කිව්වා සේම ඒලියන් සෙට් එකේ පෙනුම මනුශ්‍ය වරිගයාට බොහෝ සමාන විය.ඔවුන් අත් දෙක එක්කොට ආයුබෝවන් කී අතර අපි තත්වය තබා ගැනීම පිණිස සේක් හෑන් කිරීමට උත්සහ කළෙමු.

"හොඳයි කවුද ඔබලාගේ නායකයා?"

මම ෆෝනයේ ගූගල් ඉමේජ් සර්චයක් කොට ජනාධිපතිතුමාගේ රූපයක් ගෙන ඒලියන් ලීඩර්ට පෙන්නුවෙමි.එකෙ ෆොටෝවක් බැලීමට පමණක් ෆෝනය දුන්විට එහෙට මෙහට පෙරළා අනිත් ෆෝටෝත් බැලීම ඒලියන්ලා අතරත් ඇති කැත පුරුද්දකි.ටිකෙන් ටික ඒලියන් මූණුවල මසල්ස් වෙනස් වී කැළඹිලි ස්වාභාවයක් ගත්තේය.ඔවුනොවුන් කුටු කුටු ගාමින් තම තමන්ගේ කැළඹීම විකාශය කළහ.

"අපි මෙතෙක් නොදැන සිටියෙමු. ඔබලාගේ නායකයාත් අපට සමානය"

අපි මතයට ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සභාවෙන් පිටවී යාමට සැරසුනෙමු.
නැවතත් ඒලියන් අයියෙක් කට ඇරියේය.

"ඔහුටත් වෙස් මාරු කිරීමේ හැකියාව තිබෙනවාවිවිධාකර වේෂයන් විශ්මයජනකයි ! උත්කෘෂ්ඨයි !"

"හැබැයි මුහුණු එකමයි"

ශ්‍රී ලාංකිකයන්ගේ පොටෝසොප් හැකියාව ඒලියන්ලාවත් විශ්මිත කරවන සුළුය !!

"හැබැයි අපිට ලැබුණු තොරතුරු අනුව මේ රටෙහි මිනිස්සු ඉතාමත් ප්‍රීතියෙන් ඉන්නෙ"අපේ ආශ්‍රයත් සමඟම ඒලියන්ලාගේ බාසාවත් ටික ටික වෙනස් වේ.

මම "නිවු සින්හල සෝන්ග්ස්" කියා ඔබ-නළයෙහි (you Tube) ඔබා හෑන් පී එක ඒලියන් කනේ ගැසුවෙමි.ගායකයා සමඟ ඒලියන් අයියාත් ඇඬීම පටන් ගත් අතර ඔහු ඊළඟට කුපිත වූයේ පහළට බැසගත් කූරෙන් තොණ්ඩුවක් හදාගැනීමට බැරි වූ තැනය.

ඒලියන් ගැන් එකේ පරම අරමුණ වූයේ අප සමූල ඝාතනය කිරීම නොව හුදෙක් ස්වකීය පාලනාධිකාරය මෙහි පැතිරවීම විය. සඳහා ලාංකිකයන් ඉතා සුදුසු වරිගයක් බවත් බෝලයට අනුව ලන්කන්ස්ලා ඉතා බුද්ධිමත් ජාතියක් බවත් ඒලියන් එකෙක් පැවසූ කල මම ලංකාවේ ඇමති මණ්ඩලයේ ඡායාරූපයක් පමණක් පෙන්වුවෙමි.ලීඩර් ඒලියන් අයියා මගෙන් නොදැන කළ වරදට සමාව ඉල්ලුවේය.

ශ්‍රී ලංකාව වනාහී ස්වයංපෝෂිත රටක් විය යුතු බව ඒලියනයෙක් පැවසුවේය.ඔවුන් අළෝක වර්ෂ ගනනාවක් ඈත සිට ලංකාව දෙස බලද්දී, කාලවකාශයේ වක්‍රතාවය හේතුකොට ගෙන දකින්නට ඇත්තේ මෙහි පරාක්‍රමබාහු යුගය බවත්, දැන් ලංකාවේ ඇත්තේ ස්වයංපෝෂණය නොව ස්වයං වින්දනය පමණක් බවත් වදාරා මම ඔවුන්ව මෝහාන්දකාරයෙන් මුදවා ගතිමි.

නැවතත් නොදැන කළ වරදට ඒලියනයා කොන්ද නවා බැගෑපත්ව සමාව අයැද සිටියේය.මෙසේ උන් දිගටම වැරදි මත ප්‍රකාශ කරන කල්හී අපි ඒවා නිවැරදි කළෙමු.උන්ද එක එක ක්‍රම වලට දිගින් දිගටම සමාව ඉල්ලූ අතර, මට මතක විදියට අන්තිමට සමාව ඉල්ලුවේ කන් දෙක අල්ලා පස් වරක් උඩ පැන පැනය.

___________

පැයක් පමණ ගිය තැන නැවතත් "දඩස්" හඬක් ඇසුනේ වහළේ ඉතුරු ටිකත් පාත් වීමෙන් නොව කවුදෝ දොරට ගැසීමෙනි.

"ළමායි !! මොකද මේ කලබල සද්ද? දොර අරින්ඩ"

"මළා..ඇලියන්"

"කිම? " ඒලියන්ය

"ඒලියන් නෙවේ යකෝ ඇලියන් අපේ බෝඩිමාධිපතිණිය.ඉක්මනට  හැංගෙන්න අයියා ඇඳ යට...පොලිසියෙන් පැන්නා වගේ තමා"

මා අතින් ඇරුනු දොරින් ඇතුළට ඇන්ටියානෝ මානව කෞතුකාගාරයේ වානරයාගේ සිට හෝමෝ සෙක්සු ඉරෙක්ටස් දක්වා පිළිම නරඹන්නා  සේ අප තිදෙනා නැරඹූහ.ඉන්පසු ලයිටුත් නැතිව කාමරය ආළෝක වී ඇති බව වැටහී යාමෙන් ඉහළ බැලූ විට නීලාකාශය දැක හෝමෝ සේපියන් ඇලියන්ස් බවට පත්වූ එතුමිය කෝපාවිශ්ඨව බැන වදින්නට වූහ.මහලොකුවට ඒලියන් වුවත් ට්‍රික්ස්  නොදත් කමින්, කකුල් එළියට දමාගෙන ඇඳ යට හැංගී උන් ඒලියන් සෙට් එකට සිදුවූයේත් බැනුම් වැස්සටම තෙමීමටය.

"මොක්කුද යකෝ මේ? තමුසෙලගෙ යාලුවොද? බලහල්ලකො පාලිමැන්ට් එකේ වගේ නැසනලුත් ගහගෙන. තොපි පිකටින් කරලා කරලා ගාය හදාගෙන මෙහෙ බඩු මුට්ටුත් කඩලා දානවා තොපි ඔක්කොටම එකට තියලා ගහන්නෙ පැට්ටෝලියම් එකේ වගේ .කැඩුවා වගේ තොපිම මේ වහළෙ හදන්න ඕනෙ.”අයියලාගේ සිරුරු තුළින් ඒලියන් දාඩිය පෙරෙන්නට විය.ඇලියන් ඇන්ටියානෝ පිටව ගියහ.

ආයිබෝවන් කියාගෙන ඒලියන්ලා "හිහින් එන්නම්" නොකියා කූරේ එල්ලී අභ්‍යාවකාශගත වූහ.

පැය දෙකකට පමණ පසු ඒලියන් ශීට් වලින් වැසී, වහළය නැවත දිස්වීම ඇරඹින.ලීඩර් පැන්සල කනේ ගසාගෙන සිටිමින් මෙස්ර්මන්ට් ගත් අතර අනිත් උන් ඇණ ගසති.අපි උන්ගෙන් ආක්‍රමණ ව්‍යායාමය ගැන විමසීමු.ඔවුන්ගේ රජයේ රැකියාවක් ලබාදෙන වගට ලිඛිත පොරොන්දුවක් ලැබුනොත් ආක්රමනයට සහය පළකරන බවට පොරොන්දු වීමු.

"මෙහෙට එන එක ටූ රිස්කි කියලා අපේ සුප්රීම් ලීඩර් කිවුවා මල්ලි.මේක අපි දඟලලා දඟලලා ඉන්වේඩ් කරත් මෙහෙ වසන්න බැරි වෙයි කියලා එයා කිවුවේ.ඉස්සෙල්ලා අපි හිතන් හිටියේ මෙහෙ ලීඩීස්ලා මැරි කරලා වර්ගයා බෝ කරන්න.මම කිවුවා ඒක අපේ තියෙන වරිගයත් නැති වෙන වැඩක් කියලාඒලියනයාගේ ලැන්වේජ් එක ටෝටලි ලන්කන් වී ඇත.

"එතකොට දැන් මොකෝ කරන්නේ?"

"අපි වෙන බෝලයක් පොඩ්ඩක් අප්ඩේට් කරලා ආයේත් යැවුවා. පාර වැටුනා මෙහෙට චුට්ටක් උඩින් තියෙන රටකට.ඒක සුපිරිලු."

අපි අමාරුවෙන් සිනාව ගිල්ලෙමු.එය වෙන තැනකින් පිටවිය.

"ඔව් ඔව් එහෙ මරු. හොඳයි අයියේ උන්ගෙ ක්‍රිකට් ටීම් එක මේ දවස්වල මෙහෙ ඉන්නෙ.උනුත් ආපහු ගියාම වැඩේ පටන් ගන්න."

අයියලා වැඩ කුළියත් නොගෙනම පිටව ගියහ.අපි ඒලියන් අයියලාගෙන් හොරෙන් ඉස්සූ අර බෝලය ආසිරිට වික්කෙමු.දැන් මිනිහා දෙවියන් යාළු කර ගැනීමට බෝල විකුණයි.


Share: