Apr 4, 2017

ආච්චිට මාර්ග නීති කියාදිමට සොඳුරු උත්සාහයක්!

හුදෙක් ගිමන් නිවීමේ පරම අදිටනින් ආච්ච්ගේ ගෙදරට පතනය වුවත් , ඒ වෙනුවට ආච්චිගෙන් ලැබෙන්නේ  "එළුවාට කොස් කොළ සෙවීම","කොස් කොළ සොයාගත් පසු එළුවා සෙවීම", ගමේ අහළ පහළ පොඩි උන් ඉදිරියේ "නිසි අනාගතයක් නැතිවීමේ" ආදිනව පෙන්වා දීමට ඈ භාවිතා කරන උදාහරණය බවට පත්වීම යනාදී අනේකවිධ රාජකාරිය.
එදින සිදුවූයේ ආච්චිත් සමඟ කඩේ යෑමටය.අවුරුදු දෙක තුනකට පෙර රුපියල් පන්දහසක් ගෙන කඩේ ගියහොත් ගැනීමට සිදුවන බඩු මුට්ටු තොගය ගෙන ඒමට විඳිය යුතු දහ දුක් කන්දරාව දැන් විඳිය යුතු නැති හෙයින්, සැනසුම් සුසුමක් හෙලමින් එළියට පැමිණි ආච්චි මටද ප්‍රේමණීය බැල්මක් හෙලුවාය.

"ගනින් උක්කුං පුතේ ඉක්කූටරේ"

මම ඉස්කූටරයේ තෙල් බෙහෙත් බලා ගරාජයෙන් පිටතට ගත් කල එහි පිටුපසින් නැගුන ආච්චි ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියා,ඇස් දන් දීමේ සහතිකය පෙට්ටගමේ ඇති බවට සීයාට රිමයින්ඩර් කොට රතන සූත්‍රය සඤ්ජායනය ආරම්භ කළාය.
ඉනික්බිති සරුසාර ක්‍රෝටන් වගාව නසන කොළ කන දළඹුවන්,ගොයම් මැස්සන් මර්දනය කරනු පිනිස ක්‍රෝටන්  වගාව මතින් ධාවනය වූ ඉස්කූටරය, මගේ ලිඛිත අවසරයකින් තොරව සියා විසින් වත්තේ සිටුවන ලදැයි උපකල්පනය කළ හැකි ගස්ලබු ගහක වැදුනු කල්හී, ආච්චිට ඇගේ ෂොපින් ලිස්ට් එකෙන් ගස්ලබු ඉවත් කිරීමට හැකිවිය.ඈ ඒ වනවිටත් කියවා අවසන් කර තිබූ රතන සූත්‍රය රිවයින්ඩ් කළාය.
මා ඉස්කූටරයක නැගී යනු දුටු කල ඉරිසියාවෙන් පැලෙන්නට වූ, ඉස්කූරයට හැපී තුවාල වූ, බෆර් ඇද කරගත් ජනී ජනයෝ දෙස් දෙවොල් දෙමින් පොල් ගැසීමට පටන් ගත්තද, කඩිනම් ව්‍යාපෘතියක් යටතේ හන්දියට පැමිණි මම වමට හැරවීම පිණිස දකුණු අතින් සිග්නලයද ස්ථාපිත කළෙමි.

"මොකක්ද උක්කුං පුතේ උඹ ඒ කරපු වැඩේ? පාරෙ යන කෙල්ලන්ට අත වනන්නෙ?"

"නෑ ආච්චි මං සිග්නල්නෙ දැම්මෙ"

"ඇහ්..උඹ සිග්නල් දාන්න දත් මදින එකක්යැ"

"නෑ ආච්චි ඒක සංඥාවක් .අනිත් අයට දැනගන්න මම වමට හැරෙනවා කියලා"

"වමට හැරිලා හරියනවද උක්කුං පුතේ දැන් වමක් නෑනෙ"

මේකනම් මල කරච්චලයකි!

"නෑ ආච්චි ඒවා මාර්ග නීති.අපි හැම තිස්සෙම පිළි පදින්න ඕනෙ.දැන් බලන්න අපි වමට හරවනවනම් මේ අත දානවා මෙහෙම.දකුණට හරවනවනම් අනිත් අත දානවා මෙහෙම." මම ආච්චිට අභිරූපණ ක්‍රමයෙන් සිග්නල් දෙකම පෙන්වා දුන් කල්හී,කාලෙකින් සර්ක්ස් එකක් බලාගත් පාර අයිනේ උන් කොල්ලන් රෑනක් අත්පුඩි, විසිල් සමඟ ගසන්නට වූහ.
මම ආච්චිට මාර්ග නීති කියා දීමේ උත්සාහය අත් නොහළෙමි.ඉදිරියෙන්ම තිබුනේ "උපරිම වේගය" යන මනඃකල්පිත අගයන් සටහන් කර ඇති පුවරු කිහිපයකි.
"දැන් ආච්චි ඔය 70 ගහල තියෙන බෝඩ් එක පේනවා නේද? ඒකෙ තේරුම ඔය ඇඳලා තියෙන වාහන වලට යන්න පුලුවන් උපරිම වේගය 70 කියන එකයි.බුදු අම්මෝ.."

ඒ හාත් සමඟම කන ළඟින් ඇදී ගිය සද්දන්ත ප්‍රාඩෝවක් මීටර පනහක් ඉදිරියෙන් අභ්‍යාවකාශගත විය.සුළං දිශා දර්ශකය මෙන් තුන් හතර වරක් භ්‍රමණය වූ ඉස්කූටරය ආච්චිහේ ගෙදර ඇති දිශාවට අංශක 30ක් හැරී නතර විය.

"සන්තානම් මෑණියනේ ! ඒ ගියේ හැත්තෑවට යැයි?"

" ඉතින් ආච්චි අර හැත්තෑව බෝඩ් එක බලන්නකො.ඒකෙ තියෙන වාහන මොනවද? වෑනුයි,බයිකුයි,කාරුයි..කෝ ප්‍රාඩෝ?"

"හැබෑ නේන්නම්"

*************************

නියම මාර්ගයට පැමිණි පසු මම මගේ සොඳුරු උත්සාහය ෆස්ට් ගියර් එකට දැමුවෙමි.

"තවත් නීතියක් තියෙනවා ආච්චි අපේ ඉස්සරැහින් තියෙන වාහනයක් වම් පැත්තෙන් ඉස්සර කරන්න බෑ"

මම ඒ වාක්‍යය කියනා තෙක් රැක උන් තුන් සක් රියක රියදුරාණෝ එක්වරම ඇක්ටිවේට් වී "පෑං පෑං කියුම් කියුම්" හඬ නඟමින් මගේ වම් අත පැත්තෙන් ඉස්සර කොට පාර අයිනේ තිබූ මාර ගසක දෙබලක් අතරින් රිංගා ගොස් අප ඉදිරියේ තිබූ ටාටා ලොරියක යට යුනිවර්සල් ජොයින්ට් එකත් ටයරයත් අතර මැනැවින් ස්ථානගත වෙමින් සතුටින් විසිර ගියහ.

"ඉතින් අර ත්‍රීවිල් එකේ පුතා වම් පැත්තෙන් ගියේ?"

"වැරදිනේ ආච්චි ! දකුණු පැත්තෙන්නෙ...අපි හිටියෙ එයාට දකුණු පැත්තෙන්නෙ.හරි නීතිගරුකයි.

"හරි එතකොට එයා අපේ දකුණු පැත්තෙන් ගියොත්?"

"ඉතින් එතකොට පස්නයක් නෑනේ.වමෙන් ඉස්සර කරේ නෑනෙ.දකුණෙන්නෙ අනික අර ලොරිය යටිනුත් ගියාට ඒක වරදක් නෙවේ,මොකෝ යටින් යන්න බෑ කියලා නෑනේ"

"අනේ මන්ද බං මේ නීති නං...ඇහ්..ආං ආං අර බලහන් පුතේ.පොලිස් වාහනයක් නේද වාහන නැවැත්වීම තහනම් බෝඩ් එක ගාවම නවත්තලා තියෙන්නෙ?"

ඉස්කූටරයේ සයිලන්සරයේ දුමත් සමඟම මගේ කේන්තියත් පිටවිය
"එහෙම නැතුව ආච්චි ඒ උත්තමයෝ වාහනේ ගෙදර නවත්තන්නයැ.ඒ මිනිස්සු දහඩිය මුගුරු (බැටන් පොලූ ) හෙලාගෙන දුක් විඳින්නෙ නීතිය ආරක්ෂා කරන්නනෙ."

"එහෙමයි කියලා පොලිසියෙ ඇත්තොත් නීති කඩන එක හොඳ නෑනෙ පුතේ"

"ඇයි ආච්චි, ළමයින්ට එපා කිවුවට ඉස්කෝලෙ ප්‍රින්සිපලුත් රැවුල වවන් ඉස්කෝලෙ එන්නෙ"
ආච්චි ෂට් අප් විය.සැබැවින්ම පොලිස් වාහනය එතැන නවත්තාගෙන සිටියේ කිසියම් උත්සවයකට ආරක්ෂාව සැපයීමටය.එය අවුරුදු උත්සවයක් විය හැකි වුවත් ඒ මතය වෙනස් වූයේ විශාල බැනරයක් දුටු කල්හීය.

~ත්‍රයි සක් ඉන්ද්‍රජාල සංදර්ශනය~

"ආ එන්න මල්ලි එන්න මල්ලි ...ත්‍රීවිල් මැජික් සෝ එකක් එන්න එන්න" සංවිධායක මණ්ඩලයේ කෙනෙකුයැයි සැක කළ හැකි කෙනෙක් ශ්‍රි ලංකන් එයා ලයින් ගුවන් සේවිකාවකට වඩා සුහද විය. ආච්චිටත් මටත් අනුන්ගේ රෙද්දවල් සෙවීමේ වුවමනාව ජානගතවම ඇති වුවත් කතා කළේ තුන් සක් රියක මහතෙක් බැවින් යෑමට කලින් ගානක් කතා කර ගැනීමට වුවමනා විය.

රුපියල් එකසිය පනහකට සෙට්ල් වූ පසු මැජික් සෝ එක බැලීමට අපි ඉදිරියට ගියෙමු. ටිකකින් එය ආරම්භ විය. මීටර් 50ක් පමණ දිගට එක දිගටම දෙපැත්තේම මිනිසුන් රැස්කමින් සිටියේ මැද තීරුවක් ඉඩ තබමිනි.විස්ල් හඬක් සමඟම ඈත කෙළවරේ නවතා තිබූ තුන් සක් රියක් පෙර කී තිරුව දිගේ අප දෙසට ගමන් ආරම්භ කළේය.විශ්මය දනවන, "බුදු කිරි අපුච්චේ" සිට " වාව්, ෆැන්ටෑස්ටික්" දක්වා වචනද කන් බෙර නටන තරමට විස්ල් හඬවලින්ද අවට පරිසරය පිරී ගියේය

"තුන් සක් රිය සම්පූර්ණ දුරම ගමන් කරයි. හරි කෙලින් !!!"

යම් දුරකට පසු රථය දකුණට හැරවින. පෙර කී ඝෝෂාව දෙගුණ තෙගුණ වූයේ එවිටය.

තුන් සක් රියේ මූණේ දකුණු පැත්තේ තැඹිලි පාට බල්බයක් නිවි නිවි පත්තු වේ !!!!!

ඉදිරියට පැමිණි ෆොන් වලින් මූණු වැසී ගියේයැ.සෙල්පි ගැසීමට ගොස් කෙල්ලන් තුන්සක් රියේම හැපීමට ගියේයැ.

දකුණට හැරුනු පසු අර බල්බයද නිවී ගියේය.අත්පොලසන් නාදය තවත් තිව්‍ර වූ අතර මමත් ආච්චිත් සෝ එකෙන් බැහීමට යන විට කලින් ටිකට් කැඩූ මහතා වැඩිපුර රුපියල් සීයක් ඉල්ලූ අතර, එය ගෙවා එළියට විත් නැවත ඉස්කූටරයට නැගුනෙමු

ආච්චිට ඊළඟ දේශනාව ලබාදුන්නේ තනි ඉර හා ඩබල් ඉර කැපීම සම්බන්ධයෙනි.ඩබල් ඉර කපන ආකාරය ප්‍රායෝගිකව පෙන්නීම පිණිස ඉස්කූටරය ඉරි ළඟටම පැදවූ කල්හී ඉදිරියෙන් රැක උන් පොලිස් මැතිඳානෙක් විස්ල් එකක් ගසා පාරට අත දැමූ සේක.
ඩබල් ඉරේ යාන්තම් ගෑවීම පමණක් වූ බැවිනුත් අවුරුද්ද ළඟ නිසාත් යම් ඩිස්කවුන්ට් එකක් ඇති බව සිතමින් මම අත දැමූ පොලිස් උතුමාණන් ඉදිරියේ ඉස්කූටරය නවතා,දත් තිස් දෙකම පෙන්නනු පිණිස හක්කද ඇජස්ට් කළෙමි..

උතුමාණෝ මා වැනි බිළින්දා වර වර යයි ළඟට කැන්දා ලයිසම කොයින්දා කියා විමසා හුරතල් කරන්නට වූහ.

"රාළහාමි ඉස්සරහ වීල් එක නේද පොඩ්ඩක් ගෑවුනේ?"

පොලිස් උතුමාණෝ මනින ටේපයක්ද ගෙන ඉස්කූටරයේ ටයරයද, මැද ඉරේ පළලද මැන ස්වකීය විචක්ෂන,අශීලාචාර බුද්ධියෙන් විමසා මෙසේ පැවසූහ.

"නෑනෙ මල්ලි ! ටයර් එකෙන් බාගයක්ම ගෑවිලා නේ.ලියන්නම වෙනවා"

"අනේ රාළහාමි..අපේ ආච්චිට සෑහෙන්න අමාරු වුනා ටිකකට කලින් මේ හොස්පිටල් අරන් යන ගමන්" එකී වදන් පිළිගැනීමට මැළිකමක් දැක්වීමට හේතුව දත් කැකුළු පාමින් ගහක් ගලක් සේ හිටගෙන උන් ආච්චි දැකීම විය යුතුය.
පොලිස් උතුමාණෝ ලිවීමටම උත්සහ කළහ.

"අනේ රාළහාමි අපි ගොඩක් දුර ඉඳන් එන්නෙ."

"මොනා කරන්නද මල්ලි.ආයේ එන්නම වෙනවා ලයිසන් එක ග......" උතුමාණෝ එකවරම ගල්ගැසී සීරුවෙන් සිටගෙන සැලියුට් ගසන්නට වූ අතර පරිවාර නිළදාරීහූද සියළු වැඩ අතහැර එය අනුගමනය කළහ.

අත්ඩංගුවේ උන් කසිප්පු කාරයෙන් පැන ගියේය.

 එක දිගටම හෝන් සබ්ද පූජා පවත්වමින් මුලින්ම පොලිස් බයික් දෙකක්ද,ඉන්පසු ජීප්පුවක්ද, ඩබල් කැබ් එකක්ද,බෙන්ස් කාර් එකක්ද යනාදී වශයෙන් වාහන සේල් එකක්ම එක දිගට ඇදී ගිය අතර ඔවුන් සිදුකළ ප්‍රමුඛතම කාර්යය වූයේ එක රෝදයකට එක් වර බැගින් ඩබල් ඉර කැපීමයි.ඊළගට පාරේ එහා ලේන් එකේ කෙළවරේ ඉරද කැපීමයි.වාහනවල බොනට්වල මිනිස්සු රෑනක් එල්ලී "බේරගනියෝ" කියා කෑගැහුවේ ඇයි දැයි නොදනිමි. ගරු ඇමතිතුමා දැකීමෙන් ප්‍රීතියෙන් පිනා ගොස් ඇස් වලින් සතුටු කඳුලු ගලන දෑස් වලින් පොලිස් උතුමාණන්ට මේ කිසිවක් නොපෙනෙන්නට ඇත.

"ඇයි රාළහමි මහත්තයො අර වාහන නැවැත්තුවෙ නැත්තෙ?" ඒ කිසිඳු විචර බුද්ධියක් නැති ආච්චිය."

"ඒ උත්තමයෝ මේ පොඩි පාරෙ යන්නෙ කොහොමද නැත්නම්?.බලන්ඩකො පාර අඩි දහයයි. මල්ලිගෙ බයික් එක පළල අඩි තුනයි.මල්ලිට පස්නයක් නෑ. ඒත් ඇමතිතුමා..ඒ වාහනේ අඩි අටයි .සයිඩ් කණ්නාඩි වලට තව අඩියයි.එළියට දාන අත් වලට තව අඩි දෙකයි.ඔක්කොම එකොළහයි.ඒකට සීයට පහළොවක් තිබ්බාම කොහෙද ඉඩ?"

"මොකක්ද ඒ සීයට පහළව?"

"මේ ඇමතිතුමානම් සීයට පහළව තමා ගන්නෙ.අනිත් අය කොහොමද දන්නෙ නෑ"

කුමන බාසාව දැම්මත් දඩය නැවැත්වීමට නොහැකි විය.ඒත් අන්තිමේ පොලිස් උතුමාණෝ මෙසේ පැවසූහ.
"හරි දැන් මල්ලියි මායි දෙන්නම මෙතන රස්තියාදු වෙනවා.වැඩක් නෑ මං කියන්නද...මල්ලි මට පන්සිය පනහ දෙන්න.මං ගිහිල්ලා ගෙවන්නම්"

"මොකක්ද බුදු රාළහමි?"

"ඔව් මල්ලි අපේ රාජකාරිත් එක්ක එහෙම මෙහෙට යන එක හරි අමාරුයි.ඒත් මල්ලි හොඳ කෙනෙක් වගේ පේනවා.මම කොහොමහරි පෝස් ඔපිස් එකට ගිහිල්ලා දඩේ ගෙවලා දාන්නම්"

මට මගේ ලයිසනය ලැබුණු අතර ඉන්පසු අපි සේක් හැන්ඩ් කළෙමු.සේක් හෑන්ඩ් එකෙන් මට නැවත අත පමණක් ලැබුණි.රාළහාමිට මුදල් ලැබුනි
මේ උත්තම වූ සත්ක්‍රියාව දැකීමෙන් බෙහෙවින් ඉම්ප්‍රෙස්ඩ්  බවට පත්වූ ආච්චි පොලිස් උතුමාණන්ට නිරෝගී සුවයත්, කෙළවර අජරාමර නිවනත් පතා කඳුලු සැලුවාය.එතැනින් නොනැවතුනු ඈ දුරින් නෑයෙක් වෙන ලොකු පොලිස් උතුමෙක්ටද මේ උතුම් කාර්යය ගැන දන්වා ලිපියක් යැවුවාය.

දැන් ආච්චි තනියම කඩේ යයි.
මම උසාවි යමි.




Share:

7 comments:

  1. ගැටයො... ආච්චිට ෆුල් ෆේස් හෙල්මොට් එකක්වත් දාගෙන පලයන්...උන්දැගෙ ඔලුව බේරගන්ට...

    ReplyDelete
    Replies
    1. එහෙම දාලාවත් බේරගන්න පුලුවන් වෙයිද මන්දා
      වෙල්කම් ටු අනීවාරතේ !

      Delete
  2. හප්පට සිරි ගජ ගැටයා... මම හිතුවේ උඹලා බ්ලොග් වලලා දාලා පේස්බුක් එකේ සින්න වෙලා.. උදේ පාන්දර ලේ පිරිසිදු කරගත්තා...

    දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. එහෙම කොහෙද
      පොඩ් රෙස්ට් එකක් ගත්තා
      දැන් හරි
      සප් එක ඕන ඇහ්
      තෑන්කූ !

      Delete
    2. සප් එක එකෙන්ම දෙනවා..ලියනවනම්... උඹලා වගේ දක්ෂයෝ ලියන්නැතුව ඉන්න එක ජාතික අපරාධයක්..

      Delete
  3. මරුනේ ආච්චි.... දවසක කෙල්්ලෙක් පදින ස්තුටියක නග්ගලා යවලා බලන්න ආතල් කෝටියක්ම දෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නලින් අයියා !
      එයාට කවුරුත් එකයි
      ජයවේවා !

      Delete