Jul 2, 2011

ආයෙමත් හෝම්ස් (පහ ) මම ,ඔහු සහ මිසිස් හඩ්සන් ..

"ඉක්මන් කරන්න ....ආමර් වීදියේ අංක 220ට ඉක්මනින්.මිනිත්තු දහයෙන් ගියොත් වැඩිපුර රුපියල් පනහක් ලැබේවි "
ඔව් !මේ වතාවේ ඔබ නිවැරදියි.
කරවටක් දියේ ගිලී සිටි මට පිදුරු ගසක් වූ ,පවිත්‍රගේ නිවසට පැමිණීමට ලැබුණු " ජුගුප්සාජනක " ආරාධනය පිළිගන්නා මොහොතේ මගේ හිතේ ඇතිවී තිබුණේ මර්වින් සිල්වා මැතිතුමාට ඇමති පදවිය පිරිනමන මොහොතේ ජනාධිපතිතුමාගේ හිතේ ඇති වූ සිතුවිලිවලටම සමාන සිතුවිලිය.(ගිහිල්ලත් බෑ,නොගිහිල්ලත් බෑ ).
නැවතත් මුලට ,
"පිස්සුද මල්ලී,මේ ට්‍රැෆික් අස්සේ යන්න පුලුවන් පාරක් පෙන්නන්ඩ ,මම දෙන්නම් රුපියල් පනහක් " තුන් රෝද රථ රියදුරා උපරිම හොඳ වචනයෙන් අප ආමන්ත්‍රණය කළේය.පවිත්‍රගේ මුහුණ බැලීමට කැමති නොවූ මම පාර දෙස බැලීමි.
"ලන්ඩන් නගරයේ රියදුරන් මෙන් කොළඹ රියදුරන් මිත්‍රශීලී නැති වග මට අමතක වුණු හැටි "පවිත්‍ර පරාජය බාර නොගත්තේය.
රියදුරා නිශ්ශබ්ද වූයේ පරාජය බාර ගත් නිසා නොව ,ඔහුට "නව මංමාවත් "නිර්මාණය කිරීමේ කාර්යයේ යෙදීමට  ඇති හෙයිනි . කාර්ය බහුලත්වය මැද වුවද ඔහු "ජංගම සංගීත සංදර්ශනය " ආරම්භ කළේය .තුන් රෝද රථයක සාමාන්‍යයෙන් ඇසෙන්නට නොලැබෙන ආකාරයේ වුවත්  අවස්ථාවට ඉතාමත් ගැළපෙන ගීතයක් ඇසෙන්නට විය .
"දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ ....." .මට රියදුරා ගැන මහත් පැහැදීමක් ඇතිවිය .
"ට්‍රැෆික් එක නේද අය්යා?"
"ඇයි මට පේන්නේ නෑ කියල හිතුවද ?කතා කරලා වැඩක් නෑ මල්ලේ.මේ දවස් වල ලයිෆ් එක දුවන්නේ පැට්‍රෝල් බීලා"
"පෙට්‍රල්?"
"හැහ්...නැතුව මල්ලේ... නැත්තං ඒවා ඇන්ජිමට දාන්න කියලද කියන්නේ?"
කාරණාව වැටහුණු නිසා මම මුනිවත රැක්කෙමි . පවිත්‍ර හෝම්ස් එය බිඳීමට උත්සහා කළේය .
"මොකක්ද මිත්‍රයා ඔය අතේ තිබෙන ලිපි ගොනුව ?"
"ආහ් ,මේකද?නෑ මුකුත් නෑ..නිකං"
"අර කාන්තාවට පිරිනමන්න අරගෙන ආපු දෙයක්ද ?"හිත කීරි ගැසෙන මඳහසක් !
මම හිතේ නැඟුනු ආවේගය තනුක කොට පිළිතුරු දුනිමි.
"මේ මගේ ප්‍රොජෙක්ට් එක.ඒකෙ වැඩකට කෙනෙක් හම්බවෙන්න තමා කොළඹ ආවේ "
"කුමක් ගැනද?"
"මෝහනය !"
"මෝහෙන් මුලා වෙලා.මානෙන් උදම් වෙලා ..." නැවතත් බුද්ධිමත් ශබ්ද විකාශන යන්ත්‍රය!!.
"මෝහනය...අඳුරුයි,ගුප්තයි ..විශ්වාස කටයුතු නෑ.සියුම් නිරීක්ෂණ වලින් එළඹිය හැකි නිගමන මෙපමණ තිබියදී ඇයි නොපෙනෙන මෝහනයක් මත මිනිස්සු යැපෙන්නේ? හොඳ නිරීක්ෂකයෙකුගේ දෙනෙතට ඕනෑම කෙනෙකුගේ ජීවිත හරියට කැඩපත් වගෙයි "
"අනේ මන්දා ".
"මට කියන්න මිත්‍රයා ,ඔය මෝහනයෙන් සිදුවෙලා තිබෙන එක ප්‍රයෝජනවත් දෙයක්"
"මම දන්නේ කොහොමද?"
"ඔබ දන්නේ නැහැ?"
"නෑ"
උසස් පෙළ ව්‍යාපෘතියක් හඳුනා ගැනීමේ ප්‍රධාන ලක්ෂණය එම  ව්‍යාපෘතිය ගැන කිසිවක් නොදැන සිටීම බව ,නොදැන සිටින අසරණ හෝම්ස් !!
"රාආආයිට් බොස් ආව පොට් එකට" මෙලෙස කියමින් "අයියා " අපෙන් වැඩිපුර රුපියල් හැටක්ද ඉල්ලා ගත්තේ වේගයෙන් ආ නිසා නොව හෙමින් ඒමට සිදුවූ නිසාය ."මනුශ්‍යත්වය" හඳුනන පවිත්‍ර කිසිත් නොකියා ඉල්ලීම ඉටු කළේය.
"මෙතන තමා මම ජීවත් වෙන්නේ " පවිත්‍ර ඇඟිල්ල දිගු කොට පෙන්නූ තැන දුටු විට "ජීවත් වෙන්නේ " යන වචන ගැන මට ඇතිවූවේ සැකයකි.මක් නිසාද යත් එය මනුශ්‍ය වාසයට නොගැළපෙන බව සෞඛ්‍යය ඇමතිතුමාට පවා තේරුම් යන ආකාරයේ තැනකි.මම ඒ ගැන වැඩිපුර නොකියන්නේ ඔබ වෙහෙසට පත් නොකිරීමට සිතා නොව ,මා වෙහෙසට පත් වී ඇති හෙයිනි.
සුළු මොහොතකින් පාරේ අඩ නිරුවතින් සෙල්ලම් කරමින් හුන් කොල්ලන් රැලක් මැදින්,දූවිලි වරුසාවක් පීරාගෙන, වේගවත් ගමනින් නිවසක් යයි කී ගොඩනැගිල්ල තුළින් පිටතට පැමිණියේ පොලි....
"ආහ් මොකක්ද කිවුවේ පොලිස් කාරයෝ?ශෙහ් ! " වේගයෙන් කී පවිත්‍ර තාප්පයකට මුවා වූයේය. මටද ඔහු අනුගමනය කිරීමට සිදු විය.
"ටිකක් ඉමු මෙතනට වෙලා "
පොලිස් නිලදරුවන් දෙදෙනා අප පසුකරමින් පිටව ගියෝය. පැද්දි පැද්දී ඇවිදින "බඩ තඩි " පොලිස් කාරයා මට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ලෙස්ට්‍රෙඩ් සිහි ගැන්වීමට සමත් විය.ඒකෙත් හැටි !! " ඒත් මේ හෝම්ස් මොකද ලෙස්ට්‍රෙඩ් දැක්කාම හැංගෙන්නේ?"
අසන්නටත් පෙරම උත්තරය ලබා දුන්නේ පවිත්‍ර නොව අප මැද්දට කඩා වැදුනු ගැහැණියකි .
"අනේ අපොයි .අපි මෙච්චර මෙහෙ තියාගෙන කසිප්පුත් විකිණුවා .ත් ත් තව අරවා සප්ලයිත් කරා ඒත් මෙහෙම දෙයක්  උපන්තේකට වෙලා නෑ දෙයියනේ.....අන්තිමේ මේ ගෙදෙට්ට පොලිසියත් ඇවිත්.මම මේ ළමයට හොඳින් කියන්නේ දැංවත් ඔය නොසන්ඩාල වැඩ නවත්තනවා . නැත්තං අකුලගෙන යන එකයි ඇත්තෙ
"මම වැරදි දෙයක් කරේ නෑනෙ.මම ඒ මළ මිනිය අරන් ආවේ මරණයෙන් පසු මානව ශරීරයේ රුධිර සංසරනයේ වෙනස් වීම් ගැන හොයන්න.මම ඒක ආපහු ගෙනාපු තැනටම ගෙනිච්චා "
"සංසර්ගෙ තමා..අනේ මගෙ කට.අනේ අම්මප .මේකගේ දෙමාපියොත් කැමති උනානේ මේකව තනි පංගලමේ මේ වගේ තැනක තියන්න "
" මෙතන කිසිම වැරදි දෙයක් සිද්ද වෙලා නෑ මිසිස් හඩ්සන් !!"
"ඇහ් ..කවුද යකෝ මිසිස් හඩ්ස් ස්..    ඒ මොකාද..?" ඈ යුද්ධ ප්‍රකාශ කළාය .
"මම මේ ළමයට කී සැරයක් කියල තියෙනවද ඔය නාඩගන් නම් වලින් මට කතා කරන්ඩ එපාය කියලා
ඉන්පසු ඈ මා දෙසට සෞම්‍ය බැල්මක් හෙළුවාය.
"අලි මදිවට හරක් ..මේ මොකාද ඒ පාර?"
"ආ මේ මිත්‍රයෙක් .නම දොස්තර වොට්සන් !!!"
"ඇහ් ...වොට්සන් ..මොකක්ද යක්.."මම අර ගැහැණියට වඩා ශිෂ්ඨ සම්පන්න හෙයින් කට වසාගත්තෙමි .
Share: