Oct 12, 2013

පරිප්පු හොද්ද





එහෙට මෙහෙට පෙරල පෙරලා බලපු මෙනු එකේ පිටුවල ෂයින් එකනම් බොහොම සැරට තිබුනා.සැරට තියෙන්නෙ ෂයින් එක විතරක් නෙවේ කියලනම් බිල ආවාම තේරෙයි.

"සල්ලිනම් මොනවද දැන්" ක්ලෝමෝ මගෙන් අහනවා

ඇත්ත තමා සල්ලිනම් මොනවද අපිට දැන්

ක්ලේමෝ වැඩ කරන්නෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක.ක්ලෝමෝ කියන්නෙ ඒකයි .ක්ලෙම් (Claim ) කියන වචනෙ කට හුරුවට.හුස්ම ගන්න අමාරු වෙනකල්,පපුවෙ පැත්තක් රිදෙන්න ගන්නකල්,මුත්‍රා අමාරු එනකල් ගොඩක් මිනිස්සුන්ට ක්ලෝමෝ කියන්නෙ "වහ කඳුරු" කැටගරි එකේ චරිතයක්.ඒත් යම්කිසි ඇනගැනීමකදී ක්ලේමෝ කාරයාට දේවත්වයක් අරූඪ වෙනවා.

"ක්ලේමෝ දෙයියො "

ඒත් ක්ලේමෝගෙ හීනෙ උනේනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්

"ඇසිස්ටන් මැනේජර් ක්ලේමෝ " වෙන එක

ආයෙත් මෙනු එක පැත්තට

පීට්සා,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ,පස්ටා ,සබ්මැරීන්,රොකට් ලෝන්චර්...

"ඒත් මොනවාහරි අඩුවක් තියෙනවා බන් " ඒ දුන්නෙ ක්ලෝමෝ කලින් කියපු දේට උත්තරය (සල්ලිනම් මොනවද දැන්)

"හ්ම්ම් එක තමා රයිස් එකක් දාන්න තිබ්බෙ අපිට" ක්ලේමෝ

"එහෙම නෙවේ ,උඹට මතකද උඹ අපේ කැම්පස් එකට ආපු දවසෙ අපි බත් ඉවුවා .බතුයි ,සම්බෝලයි.." මම බත බෙදන්න ගත්තා

"කරෝල තෙල්දාලා,පරිප්පුයි " ක්ලෝමෝ අඩුපාඩුව එකතු කළා.

"අපිට මොකද උනේ බන්? "

මගෙ ඇතුළෙන් පටන් ගත්ත සිතිවිලි බුබුළ ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා ක්ලෝමෝවත් වහ ගත්තා.

'උදේ වැඩට යනවා ,හවස එනවා පුලුවන් උනොත්. නැත්තං එළිවෙනකල් වැඩ.එක එකාට හම්බ කරල දෙන්න.අපේ බෝඩිමේ හතරක් ඉන්නවා.අපි එක එකාව දකින්නෙ කාලෙකට සැරයක්.මැරෙනකල්ම මෙහෙමද? "

"නැගිටපන්" අර සිතිවිලි බුබුලට මොකක්ද කටුවකින් ඇනපු ක්ලෝමෝ, දරාස් ගාලා පුටුවත් පිටිපස්සට තල්ලු කරලා නැගිට්ටා.අහල පහල මිනිස්සුත් බලාගෙන

වේටර් කොලුවත් වලියක් කියලා හිතාගෙනද මන්ද කඩාගෙන ආවා..

"ෆුඩ් සිටියෙ පරිප්පු තියෙනවා නේද? " ක්ලේමෝ අහනවා

"අපි ගාවනම් නෑ සර්" වේටර් කොළුවා සුහදශීලී සේවයකට ඇප කැප උනා

"ඒක හොඳයි..උඹ අරුන් දෙන්නට කෝල් එකක් ගනින්කො..කොහොමහරි සෙට් කරගමු"

"දැන් මොකක්ද කරන්න යන්නෙ" මම "අදි මදි" ඉමෝෂන් එකක් ගත්තෙ කෝල් දෙකක් ගන්න ලෝබකමකට නෙවේ,කුතුහලේට

"අද අපි සෙට් වෙලා පරිප්පු හොද්දක් හදලා පාන් කෑල්ලක් කමු"

මම ක්ලේමෝ දිහා කට බලියගෙන බලන් ඉන්න ඇති.ඇයි යකෝ මට ඕක හිතුනෙ නැත්තෙ !

"සර් පරිප්පු හොදි, නිකන් පාන් නම් නෑ..සර්ලට ගාලික්.."

සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් කාරයෙක් ඔරවනවා ඔබනම් දැකලා නැතුව ඇති.ඒත් මම දැක්කා..
මම එළියට යන ගමන්ම ඩීබග් මල්ලිට කතා කළා.

ඩීබග් රස්සාවට කරන්නෙ සොෆ්ට්වෙයාර් ලියන එක.පරිප්පු හොද්දෙ රතුළුනු ,මිරිස් කරල් ලියද්දිත් මිනිහා දස්කම් දක්වාවි !
ඩීබග්ගෙ කටේ වැඩිපුරම තියෙන්නෙ "ඩීබග්" (Debug) කියන වචනය .අපි මුලින් හිතුවෙ ඒ කෑල්ලකගෙ නමක් කියලා මොකෝ කෑල්ලකටත් හොඳ නම

ඩීබග් ප්‍රියදර්ශනී පීරිස් 

මිනිහට එච්චර සිහියක් පතක් නෑ.වැඩ කරන්නෙත් සුද්දන්ගෙ රටවල කැලැන්ඩර්වලට නිසා "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" වගේ .පොර නොනගෙතේට පන්සල් යන්න කතා කරද්දි අපි ආහාර අනුභවය කරල බුදි.ඇත්තටම අපි දැන් ඉන්නෙ බෝඩින් ෆීස් ගෙවන්න මිනිහගෙන් දැනට ගන්න ගාන ටිකක් අඩු කරන්න.බෝඩිමේ නැති එකෙක්ගෙන් සල්ලි ගන්න එක පව් වැඩක්නෙ!
කෙඳිරි ගෑම් ගනනාවකට පස්සෙ ඩීබග් මල්ලි පොරොන්දු උනා බෝඩිමට කලින් එන්න.කලින් කිව්වෙ එතනින් කලින් ,ඒත් අපිට පරක්කුයි

අනිත් එකා "ට්‍රබල්සූට්".පොර ඉංජිනියර් කෙනෙක්.රණවිරුවො ඉපදුනේ රට රැකගන්න වගේ ට්‍රබල්සූට් ඉපදිලා තියෙන්නෙ "ප්ලාන්ට් එක " රැකගන්න.මහ රෑ දෙගොඩහරියෙත් ප්ලාන්ට් එක බලන්න කම්පැනියට යනවා කියලා බෝඩිමෙන් යද්දි අපි හිතුවෙ මොකක් හරි පොඩි පැළයකට (ප්ලාන්ට් එකකට ) වතුර, පෝර දාලා සාත්තු කරනවා ඇති කියලා.පස්සෙයි දන්නෙ "ප්ලාන්ට්" කියන්නේ ෆැක්ටරි වල තියෙන  ඔය අනන් මනන් හදන දාර මැෂින් වලට කියලා.
මිනිහත් වෙලාවට එයි.
ට්‍රබල්සූට් කියන විදියට ඉංජිනියර්ස්ලා කියන්නෙ වෙලාවට වැඩ කරන මිනිස්සු ,ටිකක් පරක්කු වෙලා..

__________________________________________________________________________

අපිට දැනිච්ච විදියට මෙච්චර කාලෙකට ඩීබග් එයාගේ කම්පූටරෙන් තේරුමක් ඇති වැඩක් කළේ එදා තමා.මිනිහ පරිප්පු රෙසපි එකක් හොයලා ඩව්න්ලෝඩ් කරලා දුන්නා.ක්ලේමෝ අඩුම කුඩුම ඔක්කොම මයික්‍රොසොෆ්ට් එක්සෙල් ෂීට් එකකට අරගෙන හොයාගත්ත බඩුවලට අදාල සෙල් එක කොළ පාටට හයිලයිට් කළා.හොයාගන්න බැරි ඒව රතු පාට.
ට්‍රබල්සූට් තමා පරිප්පු ඩිස්ටිලේෂන් සිස්ටම් එකේ සෙටප් එක හැදුවෙ..ඕන කරන හැළි වළං බෝඩිමේ ඇන්ටිගෙන් රෙන්ට් කරන්න පුලුවන් උනත් ඒවත් සල්ලිවලටම ගත්තා.
ලේසියෙන් කරන්න පුළුවන් කෙළියක්නම් නෙවේ.ඒත් හීන් සීරුවේ වැඩේ කරගෙන ගියා.
කොහොමහරි මේ කට්ට කන්නෙ පරිප්පු හොද්දක් හදාගෙන බඩගින්න නිවාගන්න නෙවේ කියලනම් අපි හැමෝම දැනන් හිටියා.
හුදෙක් "යමක්" කිරීමේ අරමුණ !
ඒකාකාරී ,පරණ ග්‍රැමෆෝන් තැටියක් වගේ එකම තැන දුවන ජීවිතේ පොඩ්ඩකට හරි අපගමනය කරගැනීම.
වචනවලින් එහෙම නොකිවුවට හිතේ තිබ්බෙ එහෙම.මොකද කිසිම හැලහැප්පිල්ලක් නැතුව ජීවිතේ ගැලීම කියන එක ඔලුව තෝන්තු කරන ජාතියේ කාරණාවක්.මොනවා හරි දෙයක් වෙන එක ලොකු සහනයක්.බස් එක හැප්පෙන එක ,පොකට් එකට කවුරුහරි එකෙක් විදින එක.අඩුම ගානෙ අසනීපයක්වත් හැදියන් !
අපි හැමෝම පල්ලෙහා තැනක ඉඳලා ලිෆ්ට් එකකින් නෙවේ, ගොඩක් උසට යන පඩි පෙළක පඩියෙන් පඩිය බඩගාලා උඩට ආපු උදවිය..පොර ටෝක් නෙවේ.උඩට යන්න යන්න අහළ පහළ වැඩිපුර පේනවා.වටපිටාවේ පේන දුර වැඩිවෙනවා.පඩිපෙළ මැද නතර වෙච්චි ,මැදින් වෙන වෙනම තට්ටු වලට ගියපු,ආපහු බැහැල ගියපු,අපිවත් පහුකරන් උඩට ගියපු උන් දැක්කා,දකිනවා.දකීවි

ඒත් උඩට එන්න තිබ්බ උද්‍යෝගය, උඩට ආවාම අපිව දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නෑ.

නැවතත් පරිප්පු හොද්දට !
උත්සාහය පල දරන බවක්නම් පෙනුනා.පොල් ගාද්දි ,මිරිකද්දි,ලූනු කපද්දි,මිරිස් කපද්දි අපි හතරදෙනා අපි ආයෙ පරණ කාලෙකට ගියා වගේ ලාවට දැනුනා.
අලුත ගෙනාපු වළංවල
අලුත ගෙනාපු ලිපේ 
අලුත් පරිප්පු හොද්දක්
අතීත කාලෙට අයිති සුවඳකින් කාමරේ පිරෙන්න ගත්තා,

"පොඩ්ඩක් බලපන් මචන් හැන්දට අරන්" ට්‍රබල්සූට් කිව්වා

ක්ලෙමෝ තමා රස පරීක්ෂක

"ම්ම්ම් ලුණු මදි වගේ "

තව ලුණු ටිකක් එකතු උනා.

"නිකන් කහ පාට වැඩි වගේ නේද බන්?"

"දාමුද තව මිරිස් ටිකක්? '

"සැර වැඩි වෙයිද? "

"කමක් නෑ දාමු"

"ගොරක කෑල්ලක් එහෙම?"

"පිස්සුද යකෝ?"

"අබ දානවද? කරාබුනැටි එහෙම?"

"ඕනෙද? අනේ මන්දා එවත් ගෙනාව හැබයි"

"මේ රෙසපි එකේනම් නෑ"

"රෙද්දෙ රෙසපි..අපිත් උයල තියෙනවා යකෝ.දැන් මතක නැති සීන් එකක් තියෙන්නෙ"

"තව ළුනු ටිකක් දාමු..සුවඳයි"

"දැන් පොඩ්ඩක් බලපන් රස "

නැවතත් ක්ලේමෝට

"අනේ මන්ද බන් මොනවහරි අඩුයි වගේ "

"හුටා කරපිංචා "

'රෙසපි එකේ එහෙම එකක් නෑ බන්"

"යකෝ curry leaves කියන්නේ කරපිංචා නේද?"

"මම හිතුවෙ රම්පෙ කියලා"

"කෝ රම්පෙ දැම්මද? "

"කෙළිය කෝ රම්පෙ කොළේ? "

"හරි දැන් බලපන් ක්ලේමෝ"

"තාම නෑ කොලිටිය ඇවිල්ල..අමුතු අජ රහකුත් එනවා "

"තව මොනවද දාන්න ඕනෙ"

"පොල්කිරි ටිකක්?"

"ඔක්කොම දාලා තියෙන්නෙ"

"කොහොමද මේක ඩීබග් කරන්නෙ? "

"ඔහොම හැඳි ගාමු.තෙම්පරාදු කරාම හරියයි"

"තව  ලුණු ටිකකුත් දාමු,මදි වගේ"

"සාමාන්‍ය පරිප්පු හොදි" හතරක් විතර හදන්න යන වෙලාව ගතවුනා.අපිට මතක තිබ්බ පරිප්පු රහට අහලකටවත් වෙන්න ,අලුත් පරිප්පු හොද්දට බැරි වෙලා.කොටින්ම මේක රහක් කියන්නත් බෑ.කට කාරගෙන යන කන්න කලින් බඩ යන ගතියක් තිබුනෙ.

මොනවා එකතු කළත් ,මොනවා අඩු කළත් ඒකෙ වෙනසක් උනේනම් නෑ.ඒත් තව ටිකක් හැඳි ගගා ලිපේ තිබ්බොත්  පරිප්පු ටික දියවෙලා වතුර වෙයි.වළඳ ලිපෙන් බාලා වටකරගෙන අපි හතර දෙනා කල්පනා කරන්න ගත්තා.කාටවත් මුකුත් කියන්න හිතුනෙ නෑ ක්ලේමෝට ඇරෙන්න.

"මට හිතෙනව මචන් යමක්"

"මොකක්ද?" ඩීබග් අහන්නෙ ඕනවට එපාවට

"අපේ ජීවිතෙත් මේ පරිප්පු හොද්ද වගේ නේද බන්?

"ම්ම්ම්?"

"හොඳට සල්ලි වියදම් කරල දාන්න පුළුවන් ඔක්කොමත් දාල රස කරගන්න හදනවා,ඒත් කටේ තියන්න බෑ"



Share:

39 comments:

  1. patta ඒත් කටේ තියන්න බෑ :-)

    ReplyDelete
    Replies
    1. කන්න කලින් බඩ යනවා !
      නම නොදන්න ඇනෝ ආවට තුති
      ජයවේවා !

      Delete
  2. කුජීතයි. මෙහෙම කතා ලියනවද බොල... :(

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා ඕයි. මේ අපිට මොකද උනේ. මෙලෝ රහක් නැති රවුමක අපී කැරකෙනවා. ඉස්සර හවස් වෙලා වැඩක් නැත්තන් පාර දිගේ ඇවිදගන හරි යනවා. ගහක මල් පිපෙන හැටි දැකලා, වටේ මිනිස්සු කරන කියන දේවල් දැකලා අපි සතුටු උනා. දැන් ඒවට කොහෙන්ඩ වෙලාවක්. අපි වැඩ. උදේ ඉඳන් රෑ වෙනකල්. කාමරේට ගිහිල්ලත් හිතන්නේ කොහොමද මේවා ඉවර කරන්නේ කියලා.
      මේ වැඩේ හරියන්නෑ කොල්ලෝ. මං එනවා උඹේ පරිප්පු හොද්ද එක්ක පාං කෑල්ලක් කන්ඩ.

      Delete
    2. අනේ ඔය කාස්ටක පොලොව අතෑරල වරෙන් අයියෙ
      අපි පුලු පුලුවන් විදියට කන්න දෙන්නම්
      ලුණුයි බතුයි හරි
      ජයවේවා !

      Delete
  3. මොනව උනත් හැබැයි අන්තිමට කියපු කතවනම් ඇත්ත තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ
      තිත්ත ඇත්ත
      ජයවේවා !

      Delete
  4. පරිප්පුවෙ රසේ ගන්න නම් ලිපෙන් බාල දෙහි ඇඹුල් මුහු කල යුතුයි.
    පරිප්පුව රස නැති වුනත් ලිපිය රසයි.
    ඒ මැදා බං.

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තූතියි
      මමනම් කරලම නෑ ඒක
      වෙල්කම් ටු අනීවාරතේ කෙන්ජි
      ජයවේවා !

      Delete
  5. Replies
    1. හැමදාම හිනා තමයි :) )
      ජයවේවා ජය...නෑ නෑ
      හෙලනි

      Delete
  6. හරියට හරි බොසා. අපේ ජීවිතත් ඔය පරිප්පු හොද්ද වගේ තමයි.

    මම තාම ඩිබග් කරගන්න බැරි වුනා උඹලා ඔය හොද්දට දැම්මේ නැත්තේ මොනවද කියලා.

    ReplyDelete
    Replies
    1. දන්න පුලුවන් හැම දේම දැම්ම බොසා
      හොද්ද එහෙම්මම තමා
      අලුත් දෙයක් ට්‍රයි කරන්න කාලෙ හරි
      කාලෙකින් මේ පැත්තෙ නේද?
      ජයවේවා !

      Delete
  7. මෙලෝ රහක් නැහැ..

    මේකට අදාල නැති වුනත් මට මතක් වුනේ සූර පප්පා එකේ කේක් එක හදන විදිහ කියන කවි සැට් එක :)

    ජය වේවා තනි ඇටයෝ !

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න බන්
      මේක ලියද්දිත් මතක් උනානෙ ඒක (අන්තිම හරියෙදි )
      ජයවේවා !

      Delete
  8. උබලට පරිප්පුවක් උයාගන්න බැහැනේ..ශික් , අන්තිම කතාවනම් ඇත්ත ..

    ReplyDelete
    Replies
    1. පොර ටෝක් දෙන්නෙ,ඇයි උඹේ පරිප්පු හොඳද ඔච්චරම?
      ජයවේවා !

      Delete
  9. නියමයි ගැටයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්
      ජයවේවා !

      Delete
  10. වැඩක් නැහැ බං කියලා...දාල් මසාලා....අපේ ජීවිතම නේන්නම්.

    ReplyDelete
    Replies
    1. අපි කාගෙ කාගෙත් ජීවිතේ බන්
      දාල් මසාලා කිවුවෙ?
      ජයවේවා !

      Delete
    2. Dal masala කියන්නේ පරිප්පු හදන එක ක්‍රමයක් Indian විදිහට.

      Delete
    3. ආආඅහ්
      මසාලා කියන එකනම් අහල තියෙනවා
      ඩාල් කියන්නෙ පරිප්පු
      එහෙම හරිද?

      Delete
    4. ඔව් උඹ හරි......දාල් හදන තව ක්‍රම ගොඩාක් තියෙනවා. අන්තිමට ඉතින් පරිප්පුම තමයි.

      Delete
    5. පරිප්පු වලින් එක්ස්පීරියන්ස්ඩ් පොරක් වගේ :ඩී

      Delete
  11. Machan patta .... :)
    -Amith

    Google log wenna Kammaliyoooooo

    ReplyDelete
    Replies
    1. ආආඅහ් හැංගිලා හිටියට
      ගෙම්බා නේද මේ ?
      ස්තූතියි ආහ්
      ජයවේවා

      Delete
  12. මේ බ්ලොග් එක නැතුව තිබ්බා ඊයේ දවසම.

    ReplyDelete
    Replies
    1. ගූගල් කාරයෝ ඉස්සුවනෙ මගෙ සත්තරන් සූටි බෝලෙව ස්පෑම් කරනවා කියලා :ඩී
      අද උදේ තමා ආපහු ගත්තෙ ලංකා වෙලාවෙන් පෙරවරු10.14
      හොයලා බැලුවට ස්තූතියි !
      ජයවේවා !

      Delete
  13. Replies
    1. ඔව් ඔව් හදාගන්න බෑ නේද හරියට
      ජයවේවා

      Delete
  14. අනුන්ගෙ පරිප්පු හොද්දක් රහ බලල නැද්ද? කාගෙත් පරිප්පු හොදි ඔහොම තමයි. කටේ තියන්න බෑ.... රහයි වගේ පිටට පේනවා....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙමද බන්?
      මටනම් කාලයක් තිබ්බ හොඳ පරිප්පු කන්න තිබිච්ච
      දැන් තමා කනපිට පෙරලිලා තියෙනෙ
      ජයවේවා !

      Delete
  15. මේ උඹේ කතාව නම්. උඹ ජොබ් එකත් එක්ක නිදහසත් නැති කරගෙන වගේ.

    මොකද ෆ්‍රී එකේ ඉන්න පුළුවන් ජොබ් එකකට මාරු වෙමුද?

    ReplyDelete
    Replies
    1. උඹ 'ෆ්‍රී ' කියන එකෙන් අදහස් කරන්නෙ 'කාලය' සම්බන්ධ වචනයක් නම්,මේ ලියලා තියෙන්නේ ඒ වගේ දෙයක් නෙවේ.

      Delete
  16. මේක උඹෙ ආච්චි දැක්කනම් කියයි..."ගැටයෝ....හොඳට පරිප්පු හදන්න දන්න තැනකින් පෙලවහක් වත් කරගනින්" කියල
    (ඒකත් එක අතකට හරි බං..... එතකොට මේ කන පරිප්පුව රහ වෙයිනෙ)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ආච්චි නෙට් යන්නේ නැත්තෙ.
      ඒකත් එහෙම තමා බන්
      ඒත් කොයි පරිප්පුවත් කවදහරි එපා වෙනවනෙ බන්
      නැද්ද?

      Delete
  17. හප්පේ. මේ කාගේ කාගේත් පරිප්පු හොද්දනේ. මෙලෝ රහක් නෑ.
    ලිවිල්ල නම් පට්ට් රහයි.

    ReplyDelete
  18. අපි හැමෝම පල්ලෙහා තැනක ඉඳලා ලිෆ්ට් එකකින් නෙවේ, ගොඩක් උසට යන පඩි පෙළක පඩියෙන් පඩිය බඩගාලා උඩට ආපු උදවිය..පොර ටෝක් නෙවේ.උඩට යන්න යන්න අහළ පහළ වැඩිපුර පේනවා.වටපිටාවේ පේන දුර වැඩිවෙනවා.පඩිපෙළ මැද නතර වෙච්චි ,මැදින් වෙන වෙනම තට්ටු වලට ගියපු,ආපහු බැහැල ගියපු,අපිවත් පහුකරන් උඩට ගියපු උන් දැක්කා,දකිනවා.දකීවි

    ඒත් උඩට එන්න තිබ්බ උද්‍යෝගය, උඩට ආවාම අපිව දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නෑ.

    ~~ අනිවාරතේ ~~

    ReplyDelete