හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....
එක පාරකට හැරිල යන්න ගනිද්දිම තඩි වලවල් රෑනක් තරණය කරන්න උනොත් " ඇයි අනිත් පාරෙ නොගියෙ " කියලා හිතෙන්න ගන්නවා.අනිත් පාර මීට අන්ත ඇතියි කියලා ඇත්තටම කියාගෙන හෝ බොරුවට තමන්වම අන්දගෙන ඉස්සරහට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හින්දම වෙන්න ඕන ජනකාන්ත මුණගැහෙන ගත්ත තීරණය ආපස්සට ඇදලා ගන්න හිත් නොදුන්නෙ.
මොකද ජනකාන්ත කියන්නේ ඉනිමගක්. බිත්තිවල බඩගාන්න වහළෙට නගින්න තියෙන ඉනිමගක් නෙවේ. "නයා බෝඩ්" එකේ තියෙන ඉනිමගක්.
අහු උනොත් කොටු ගානක් උඩ.
කේන්දරේ,සුබ අකුරු එහෙම බලලා නම් ගම් තියන එක, තදින්ම අවිශ්වාස කරන,ගොන්පාට් කරන එකෙක්ව උනත් හොල්ලලා හොල්ලලා ,"අවිශ්වාසෙ" "අයන්න" පොඩ්ඩක් හූරලා දාන්න පුලුවන් ජාතියෙ නමක් තමයි ජනකාන්තට දාල තිබ්බෙ
"ජනකාන්ත"
ඔය "ජනප්‍රිය" "ප්‍රසිද්ධ" වගේ වචනවලටත් ළඟින් යනවනෙ
මේ මනුස්සයව නාඳුනන කෙනෙක් ලංකාවේ ඉන්න අමාරුයි.කවුරුහරි එකෙක් කිවුවොත් මම ඔය ජනකාන්ත කියන හාදයා අඳුරන්නේ නෑ කියලා,ලැජ්ජාව ජනකාන්තට නෙවේ;ඒක කියපු එකාටයි.ඒ කියපු එකා උදේ ගෙදරින් ගිහින් වැඩ විතරක්ම කරලා ගෙදර ඇවිත්, ආපු ගමන් නිදාගන්න මෙලෝ රස ගුණයක්,පෝෂ්‍ය පදාර්ථයක් නැති යකඩ පීප්පයක් වගේ තිබ්බ තැනම සදාකල් හිටින පොරක් වෙන්න ඕනෙ
ජනකාන්ත රටේ නම ගිය ගායකයෙක්.එෆ්.එම් චැනල් එකක නටන්න පුලුවන් ජාතියෙ හොඳ සින්දුවක් යනවනම් ඒක අහන මිනිස්සු කෝල් කරලා අහන්නේ නෑ ඒ ගායකයාට විශාරද සෙටිෆිකෙට් එක තියෙනවද කියලා.
සොෆ්ට්වෙයාර් එකට දාල පිච් එක හදලා ගොර ගොර සද්ද අඩු කරල මට්ටම් කරපු සින්දුව අහනවා මිසක් ,සින්දුව මුලින්ම කියනකොට ආපු ඕඩියෝ එකේ කොපියක් පෙන් එකකට දාල ඉල්ලන්නෙත් නෑ,
කොහොම උනත් කොහෙත් දකින්න තියෙන ඉරිසියාකාරකම් ,කුහකකම් "සින්දු ෆීල්ඩ්" එකෙත් ඕනවටත් වඩා දකින්න තියෙන හින්දම කවදාවත් ජනකාන්ත "හොඳම" ගායකයෙක් වෙලා නෑ.කොටින්ම කොළඹ දිස්ත්‍රික් අන්තර් දහම් පාසල් පද්‍ය ගායනා තරඟාවලියේදීවත්.ඒත් ඔක්කොටම වඩා උතුම් ජනතා සම්මානය..ඒක හැමදාමත් තිබුණා..
"වසරේ ජනප්‍රියම ගායකයා" (කොයි වසරේත්)
"සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කරවන කටහඬකට උප්පත්තියෙන්ම හිමිකම් කියන ජනකාන්ත වීරක්කොඩි, එක්දහස් නවසිය අසූ දෙකේදී කොළඹදී උපත ලැබුවේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක
bla bla bla"
නෑ ඒ විදිය හරියන්නේ නෑ..වෙන විදියකට පටන් ගන්න එක හොඳයි.කියවන උන් හිතයි පරණ ගැසට් එකක් කොපි කරල කියලා
මම "සුවහසක් රසික රසිකාවියන්...." කියලා පටන් ගත්ත, උඩ තියෙන ඡේදයම කපලා දැම්මා.
"ඒත් මොන එහෙකටද ඒක කපලා දැම්මෙ?"
"කපලා දැම්මෙ ඒ ඡේදය ලිවුව හින්දනෙ"
"මොන ලබ්බකටද ලිවුවෙ?"
"ලිවුවෙ, ඒක ලියන්න ඕන හින්දනෙ "
"ලියන්න ඕනෙ කිවුවෙ..තමුන් මොකටද එක එකාගෙ උප්පත්ති කතා ලියන්නෙ?"
"මම නැතුව වෙන කවුද ලියන්නෙ? මමනෙ ජනකාන්තගෙ අදෘශ්‍ය ලේඛකයා නැත්තං Ghost writer"
"මොකා?"
ගෝස්ට්.....ගෝස්....
සමාවෙන්න ඕනෙ මගෙයි වැරැද්ද.මට කලින්ම කියන්න තිබ්බ.
මම ලේඛකයෙක්.. ටිකක් බර වැඩි උනත් වචනෙ වටිනවා.
මොකද ඒක අමාරු රස්සාවක්..මේ ලියවිල්ල ලියන්නම පටන් ගත්ත වෙලේ ඉඳන් කී පාරක්නම් කැපුවද...කපල ආයෙ ලිවුවද?
මවිසින් ලියන ලදුව මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිටකර ඇති ග්‍රන්ථ නාමාවලියක් පිළිබඳ විමසා මගෙන් කුණුහරුප අසා නොගන්නා ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි.මවිසින් හස්තානුසාරයෙන් සකසා නිමකරන ලදුව, කපුරු බෝල හතක් අටක් සහ මී පාසනම් සමඟ කුඩා අල්මාරියක ගබඩා කර ඇති කවි කතා අත් පිටපත් පිළිබඳ විමසීම මැනවි.පිළිතුරු වශයෙන් ලැබෙන ඇමති මණ්ඩලය මෙන් දීර්ඝ විය හැකි ලැයිස්තුවටද සවන් දීම මැනවි.
ඒවා මුද්‍රණද්වාරයෙන් පිට නොවීම මගේ කරුමෙ නොවේය.රටේ කරුමෙය.රුපියලේ අගය අවප්‍රමාණය වීම ,විදේශ සංචිත නන්නත්තාරවීම ,දළ ජාතික නිෂ්පාදිතය සංකෝචනය වීම හරහා ඒක පුද්ගල ආදායම අඩු වීම.ඒකයි කරුමෙ !
මම ආදර කතා ලිවුවෙමි.ජීවිතය ගැන කතා කිරීමට උත්සහ කරන පොත් ලීවෙමි.මිනිස් හිත් ගැන වෙනස්වන ලෝකය ගැන ලීවෙමි.පෙරකී අල්මාරිය ඇතුලට දැම්මෙමි.ඒ පෙරකී ආකාරයට තරමක වල ගොඩැලි සහිත ජීවිත පාරේ ගමන් ගනිද්දීය.අතරමඟ දෙමංසලකදීය,ජනකාන්ත මුණගැසුනේ.ඔහුගේ යෝජනාව ඔහුට සාධාරණය.මට මුලින් අසාධාරණය.දැන් එහෙම නැත.ඒ ඔහුගේ ජීවිත කතාව ලියාදීමේ "භාරදූර" කර්තව්‍යය මා බාරගත් නිසාය.කොටින්ම මම හන්දියෙන් එක පාරක් තෝරාගතිමි.අනිත් පාරේ වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
මා තෝරාගත් මාවත ඊට වෙනස්ය.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !
එක වතාවක් හෝ කතා කරන්න,සමරුවක් ගන්න,කෙල්ලෙක්නම් "අයි ලවු යූ ජනකාන්ත" යයි කෑ ගහල කියන්න එකමත එක දගලන මිනිස් පොදි ජනකාන්ත ගැවසෙන සෑම තැනකම පාහේ අඩුපාඩුවක් නෑ.ඒ මිනිස් පොදි තුළ බලාපොරොත්තු සුන් වූවන් අනන්ත හිටියත් මගේ බලාපොරොත්තු හැමදාමත් සපල උනා.මොකද ජනකාන්ත මුණගගැහෙන්න මට ඇපොයිමන්ට් දාන්න උනේ නෑ.මිනිහයි ඒව දාන්නෙ!
කොහොම උනත් මටත් ටිකක් අදහගන්න බැරි කාරණේ උනේ මේ යකා තමන්ගෙ පම්පෝරිය ලියාගන්න මාවම අල්ලගත්ත එක.මගෙ යාලුවෙක් මිනිහට යවල තිබ්බ මම ලියාපු සින්දුව සමහරවිට හේතුවක් වෙන්න ඇති.ඒක ජනකාන්ත අතට ගිය බවක් මම කලින් නොදැන හිටියත් ,පස්සෙ ඒක දැනගත්තාම හීන් ආතල් එකකුත් ගිය බවනම් කියන්න ඕන.හැබැයි මිනිහ ඒ සින්දුව කිවුවෙ නෑ.වචන බර වැඩිලු.කරුමෙ !
එදත් අර කියාපු ඇපොයින්මන්ට් දවසක්.ජනකාන්තගෙ ගෙදරට ගමන ,පුරුදු විදියටම බස් එකෙන්.මම මනුස්සයගෙ ජීවිත කතාවෙ එහෙන් මෙහෙන් ඇහෙන ,අහගන්න කෑලි බෑලි එකකට එකක් අමුණගන්න දත කකා හිටියෙ.කඩදාසි ගොඩක් ගිනි තියද්දි හුළඟට වේගෙන් එහෙ මෙහෙ ගහගෙන යන පිච්චිච්ච්ච කොළ කෑලි ගොඩක් වගේ එක එක සිද්දි මගෙ ඇස් දෙක ඉස්සරහත් නළියන්න ගත්ත.ඒක එක්තරා විදියක වේදනාවක්.
හිටිහැටියෙම අර කියපු ගිනි ගොඩ ඉස්සරහින් පොඩි කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි රූප දෙකක් මතුවුනා.මනෝ ලෝකෙ නෙවේ.ඇත්තටම බස් එකේ.නාවර පෙරාගෙන හිටපු කොල්ල කතාවක් පටන් ගත්ත.කතාවට රුසියෙක්නම් නෙවේ.දුක හිතෙන විදියට කියන්න පුලුවන් ජාතියෙ දෙයක් කියල තේරුණත් කොල්ල කතා කළේ ඒ විදියට නෙවේ.දෙන්නගෙ අම්මයි තාත්තයි නැලු.ආච්චි ගාව ඉන්නෙ.ඉස්කෝලෙ යන්න සල්ලි නෑ.තව නංගි කෙනෙක් ඉන්නව ඒකිට මන්ද පෝෂණය..පස්සෙ තේරිච්ච විදියට අම්ම නෑ කියන්නෙ ,අම්ම මැරිල කියන එක නෙවේ.එයා රට ගිහිල්ල....
කතාවත් ඉවරවෙනවත් එක්කම කෙල්ල සිංදුවක් පටන් ගත්ත.පරණ හින්දි සිංදුවකට සිංහල වචන දාල හදපු පරණ සිංහල සිංදුවක්.දෙකම පරණයි
"තේරේ කවදා හෝ මවගේ ආලේ....කවුදෝ ඉන්නේ අම්මා වාගේ....."
කොල්ල කරපු කතාවත් එක්ක නැති වෙලා ගිය හැඟීම් ඔක්කොම දෝරෙ ගලන්න ගත්ත අර කෙල්ලගෙ ලයාන්විත කටහඬත් එක්කම.සමහර අය හොරෙන් ඇස් දෙක පිහදාගන්නවත් පේන්න තිබ්බ.
උන් ජෝඩුව බස් එකම වසඟයට ගත්ත කිවුවොත් නිවැරදියි.ඉස්සරහට දික් වෙලා බස් එකේ පිටිපස්සට ආව අත් හතරම සල්ලි කොළවලින් පිරෙන්න ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.මමත් කීයක්ද දුන්න.මං ළඟ හිටිය එකා කීයක්වත් නොදුන්න විතරක් නෙවේ ඔරවලත් බැලුවා අරගොල්ලො දිහා.මිනිහ මටත් කතා කළා
"අපරාදෙ මුන්ට දෙන සල්ලි.ඔකුන්ගෙ තාත්ත ඇති.ඌට කසිප්පු බොන්න තමා මුන්ව එවන්නෙ..හොඳම සල්ලිකාරයෝ අපි නෙවේ මුන් "\
"ඔයා ඒගොල්ලන්ව දන්නවද? "මට කුතුහලයක් ආව
"නෑ,ඒත් කොහෙත් එකයි..හොරු..හොරු..හොරු"
මොකක් හින්දද මන්ද මට එක දිගටම කතාව ගෙනියන්න හිතුනෙ නෑ.කොල්ලයි කෙල්ලයි බස් එකෙන් බැහැල දූවිල්ල පිරුන පොඩි පාරකින් ඇතුළට ගියා.උන් ගියෙ තාත්තගෙ කසිප්පු ෆන්ඩ් එක වැඩිකරන්නද? ආච්චිට කීයක් හරි දෙන්නද?
ඒක හොයාගන්න පුලුවන් පස්සෙන් ගියානම්.මටම දැනගන්න පුළුවන්
මගෙ කකුල් දෙක මාව නැගිට්ටවන්න හදනව වගේ දැනුනා.බස් එක ඇද්දුවා.ඒත් එක්කම හිතට ආවෙ සැනසිල්ලක්ද? දැන් ඉතින් අරුන් පස්සෙ යන්න ඕනෙ නෑ.පාඩුවෙ ගමන යන්න පුලුවන්.බැස්සනම් උන් ගැන ඇත්ත කතාව දැනගන්න තිබුන.
හැම මිනිහම ඔහොම වෙන්න ඇති.උන්ට අනිත් අය,තමන් දකින කියන ආශ්‍රය කරන උන් ගැන දැන ගන්න,උන්ගෙ දුකක් අහන්න ලොකු උණක් ඇති.ඒත් ඕනෙත් නැතුව ඇති.ඇයි ඔයිට වඩා වදවෙන්න කාරණා කීයක්නම් තියෙනවද?ගෙදර මිනිස්සු ගැන,ආර්ථික තත්වය ගැන,විදේශීය අතපෙවීම් ගැන.උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි පිළිබඳව,ක්‍රොටන් පැළවලට හානි කරන කෘමීන් ගැන..
මොළයේ හැකියාවන් අසීමිතයි කියලා ඩොක්ටර්ස්ල කිවුවට මේකෙ තියෙන්න පොඩි මෙමරියක්.අනුන්ගෙ විස්තර ,කතා හොයනවට වඩා හොඳම දේ "උපකල්පනය" කරන එක.අර මං ළඟ ඉඳන් හිටපු එකා වගේ.ඒක ලේසියි.ඉෆෙක්ටිව්..වැරදුනත් මොකෝ.
අනිත් අතට මං ගාව හිටපු එකා එහෙම හිතන්න හොඳ හේතුවකුත් ඇතිනෙ.සමහරවිට මීට කලින් තවත් අර වගේ ජෝඩුවක් හම්බවෙලා ඇති.
නැත්නම් මිනිහ පොඩි උන් ගැන හෙණ වෛරයකින් ඇති.දැක්ක තැන බනින්නෙ.නැතිනම් සුපර්ස්ටාර් ගිහින් පළවෙනි වටෙන්ම කැපෙන්න ඇති,සිංදුවලට වෛර කරන්න.
මොකද හිතන්නෙ මේ බස් එකේ කොන්දොස්තර ගැන?පෙනුමෙන්නම් මරුමුස්.ගෑණිට ගහනවා ඇති රෑට බීල ගිහින්.යකා වගේ.හිනාවෙනකොටනම් හොඳයි.එච්චර දරුණු ඩයල් එකකුත් නෙවේ වගේ.මූණේ දිග කැපුම් රේඛාවක්..මන්න පාරක්ද?පාරෙ යද්දි කවුරු හරි හප්පලද?
මිනිහගෙන්ම තමා අහන්න ඕනෙ
එතනින් ගියාම අර ඉන්න කෙල්ල.බැලූ බැල්මට බඩුවක් වගේ.ඒත් කවුද දන්නෙ හරියටම...
පාර අයිනෙ බයික් එකකුත් තියාගෙන හිටපු ට්‍රැෆික් රාළහාමි?
මං ආයෙමත් කල්පනා සාගරේක කිමිදන්න උනා.මේ පාරනම් ඊයම් බරු දෙකකුත් කකුල් දෙකේ ගැටගහගෙන.ගොඩ ඒමක් නෑ.
අපි කවදාවත් දැනගන්න,අහගන්න උත්සහ නොකරන මේ මිනිස්සුන්ගෙ කතා මොන වගේ වෙන්න ඇද්ද..සමහරවිට අපි හීනෙකින්වත් නොහිතන ජාතියෙ රස කතා,මාරක කතා,විහිළු කතා වෙන්න පුළුවන් ඒවා.එක දෙයක් තක්කෙටම කියන්න පුළුවන් හැබැයි..හැමෝටම තමන්ගෙම වෙච්ච හොඳ කතාවක් තියෙනවා.මට වගේම ඔබටත්.විශේෂත්වය වෙන්නෙ ඒක අනිත් උන් දන්නෙ නෑ.මොකෝ ඔබ ඒක කියන්නෙ නෑ.කියන්න ඉතින් අහන්න එපැයි.
අන්තිමේ ,මේ ලෝකයම කතා ගොඩක් හිරකරගෙන ,ඒව දිරවගන්නත් බැරුව,වමාරගන්නවත් බැරුව කොටින්ම විරේක කරන්නවත් බැරුව දඟලන මනුෂ්‍ය ප්‍රාණීන්ගේ එකතුවක් !
ඒවා හැමෝම පොත්පත්වල ලියන්නෙ නෑ,ජනකාන්ත වගේ.ඒත් මට ෂුවර් ජනකාන්තයා මට කියන්නෙත් මිනිහගෙ ඇත්තම කතාව නෙවෙයි.ඒක වෙනමම එකක්.නිවාඩු පාඩුවෙ,සූක්ෂමව පෙරල පෙරල තෝරල ගත්ත මිනිහව ලැජ්ජාවට පත් නොකරන ජාතියෙ සිද්දි කිහිපයක් විතරයි.
මට ලොකු වෙහෙසක් දැනුනා.ජීවිත මාවතේ තවත් රවුමක් ගහල නන්නත්තාර වෙලා හති පිටම තවත් දෙමංසලකට ඇවිල්ල වගේ දැනුනා.පුරුදු දෙමංසලක්!
දෙමංසලේ එක් පාරක වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
අනෙක් පාරේ.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !
මම ආයෙමත් කියන්නම්
මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.
හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....
අනෙක් පාරේ.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !
මම ආයෙමත් කියන්නම්
මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.
හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....
ජනකාන්තය වගේ ඇත්ත කතා හංගන එවුන් කොච්චර ඉන්නවද බොල?
ReplyDeleteඋබගෙ පෝස්ට් එක අදාල නැති දෙයක් කියන්න යන්නෙ. උබ මංසල ගැන කියද්දි කියද්දි මට මතක් වුනේම මම හරිම ආදරේ කරපු සිංදුවක්. කපුගේ ගොයියාගේ..
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී !!
යාහ්..ජනකාන්තලා කොහෙත්
Deleteසිංදුව ගැන කියන්වනම්
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී ..
ආපහු එහෙම්මම
යන්නට යාවී :)
(ඇත්තම කියනවනම් අහල නෑ බන් ඒක )
හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....
ReplyDeleteඅන්තිමේ ,මේ ලෝකයම කතා ගොඩක් හිරකරගෙන ,ඒව දිරවගන්නත් බැරුව,වමාරගන්නවත් බැරුව කොටින්ම විරේක කරන්නවත් දඟලන මනුෂ්‍ය ප්‍රාණීන්ගේ එකතුවක්
:) :) :)
hmm hmm
Delete:) ) )
ජයවේවා !
ජනකාන්තලා බොහෝය.උඹ ලියලා තියෙනවාත් රහය.
ReplyDeleteඑසේය එසේය
Deleteඋඹටත් ස්තූතිය :)