Dec 15, 2013

'Hi' එක වචනයයි,අකුරු දෙකයි

හර්ට්ස් විස්සත් විසිදාහත් (20Hz-20000Hz) අතර වෙන මනුස්ස කනේ ස්වර පරාසයට ගෝචර වෙන නානාප්‍රකාර ශබ්ද අතරෙ කලාතුරකින් ඇහෙන බොහෝම දුර්ලභ ශබ්දත් තියෙනවා.


ඉන් එකක්,



"ටිටික්කි ටිං"



ෆෝන් එකේ මැසේජ් ටෝන් එක !



එච්චර දුර්ලභ ශබ්දයකුත් එක්ක උස කුළුණු ගණනාවක් පසාරු කරගෙන, නොදන්න නොම්බරයකින් මැසේජ් එකක් එන එක තවත් දුර්ලභයි.



 "දුර්ලභ" කියන වචනෙටත් වඩා බරපතල වචනයක් හොයල දෙන්න ඒ මැසේජ් එකේ තිබ්බෙ මොකක්ද කියලා කියන්න කලින්.





' Hi '

අකුරු දෙකයි.වචනයයි.
තමන්ට සුබ පතන,ආචාර කරන කෙනෙකුට පෙරළා ප්‍රතිචාර නොදැක්වීම මහාම කුහක කමක්.

'hi'

ලොකු වෙනසක් නෑ.අකුරු දෙකයි.වචනයයි.එකම වෙනස අකුරු දෙකම සිම්පල්.
H අකුර කැපිටල් උනානම් Hi කියන වචනෙට වැඩි වටිනාකමක් එක්කරන්න තිබ්බ.ඒත් දැන් ඕව හිතලා වැඩක් නෑ

'how are you?' එයාගෙන්

'im 5n.u?' මගෙන්

i සිම්පල්,5n? ,u? 
අනිත් පැත්තෙ කෙනා ඉංගිරීසි ටීචර් කෙනෙක් වගේනම් "ස්පෙලින්ග්ස් වැරදියි " වගේ එකක් ආපිට ලැබෙයි.ඒත් එහෙම උනේ නෑ
නිගමනය:එයා ඉන්ග්ලිශ් ටීච කෙනෙක් නෙවේ
කොහොමහරි උත්තරේ ආවෙ සිංහලෙන්

'hodai ane.eth tikak kammali'

කියන්න දෙයක් නැතිකමට සාමාන්‍යයෙන් කියන "hmm" සමඟින් මම කුතුහලය හින්දම තව ප්‍රශ්න දෙකකුත් මතු කළා.

'hmm,ehemada? kauda oya? mama danna kenekda?'

උත්තරේ සමඟම ප්‍රශ්නයක්


'me loke katawath hangila inna bane.koheda work karanne?'

'na mama campz eke.'

ඒ වගේ ප්‍රකාශයකට සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර වන,

අලද වාතද?
අවුට් වෙන්න අවුරුදු පහේ ඒවා කීයක් තියෙනවද?

වගේ දේවල්වලට වඩා වෙනස් ප්‍රතිචාරයක් එහා පැත්තෙන් ලැබුනෙ

'wooow.shok ne'

ඔය විදියට එහාට මෙහාට අකුරු හුවමාරු උනා මතකයි.inbox එක පිරිලා උතුරන ගානට.දවල් කෑමත් මිස් වෙන ගානට.
අන්තිමේ අපි එක්තරා සන්ධිස්ථානයකට ආවා..

"oya kohomda mage numbr eka hoyagatte? මම ඇහුවා

'mama hamadama nikan hithata ena number ekakata msg eka gane danawa.ada ahu une oya'

සමස්ත ජනගනයටත් එහා ගිය ජංගම දුරකථන සංඛ්‍යාවකින් නික්මෙන ,මේ මොහොතේත් අපේ ඇගේ හැපි හැපි සංසරණය වන මැසේජ් වලින්, මේ වගේ කෙනෙක්ගෙ මැසේජ් වලටම මගෙ ෆෝන් එකට රිංගගන්න හිතුන හැටි !

'hehe mawa thama ahu une'

තවත් ටික වෙලාවෙකින් අර තිබ්බ කුතුහලය ආයෙත් අලුත් උනා.කොල්ලෙක්ට මේ වගේ වෙලාවක ඇතිවෙන්න පුළුවන් දරුණුම ප්‍රශ්නය
එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

'r u a grl or a boy?'

'man boy nam aye msg karanne nadda?'

බෝයිනම්? 

'mmm balamuko'

'I am a boy ' එහා පැත්තෙන් ආපු උත්තරේ

..............................<no reply>.......................................
.......................<number blocked>.......................................

ඉහත සිද්ධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී 2011 අප්‍රේල් මස සිදුවූ සත්‍ය සිද්ධියකි.

ඒත් මීට කලින් වෙන්න ඇත්තෙ මොකක්ද?

කථා වස්තුව-විකල්ප 1     The Plot-alternative 1


ස්ථානය -නේවාසිකාගාරය
වේලාව-පළමු 'ටිටික්කි ටිං' එකට මොහොතකට පෙර


තරුණයන් කිහිප දෙනක් සංවාදයක යෙදෙමින් සිටිති.එකෙකු අත ජංගම දුරකථනයකි.



තරුණයා 1: "හිටපන්කො..මම දන්නවා හරියන ඩයල් එක"

තරුණයා 2: "කෝල් කරමු බන්"
තරුණයා 3: කටහඬවල් අදුරගනී..ඊට හොදයි මැසේජ්
තරුණයා 1:මොකක්ද ගහන්නෙ?
තරුණයා 2:ගුඩ් මෝනින්ග්.කොහොමද ඔයාට?
තරුණයා 1:ඔවර් යනව බන්
තරුණයා 4:අයි ලවු යූ?
(අනෙක් අය තරුණයා 4 දෙස බලා ඔරවති )
තරුණයා 1:නිකන්ම හායි කියලා දාමු ඒ ඇති
තරුණයා 2:ටික වෙලාවක් ෆෝම් කරල අන්තිමට කියහන් මම කොල්ලෙක් කියලා



                      කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2


මෙන්න නම්බර් එක.ගොඩක් කැමති කෙල්ලන්ට නෙවේ කොල්ලන්ට තමා, මූ




                     කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2

තරුණයෙක් හීනි කොළ කැබැල්ලක් දිග හැර මේසයක් මත තුනී කරමින් සිටී.අංක දහයකින් යුත් අංකය ඔහුගේ සිත කළඹවයි. කුල්මත් කරවයි.එවෙලේම සිහිපත් වූ එකවුන්ට්ස් එකේ අක්කාගේ වදන් පෙළකි
"ඔන්න නම්බර් එක දුන්නෙ මමයි කියලා ඒ කෙල්ලට දැනෙන්න අරින්නෙ නෑ හරිද? ඕන මගුලක් කරගන්නවා මාව පැත්තකින් තියලා"
තර්ජනාත්මක ස්වරයක් ගැබ් වූ වදන් සමඟ, ලැබුණු එකවුන්ට් එකේ අක්කාගේ, හොඳම යෙහෙළියගේ දුරකථනය අංකය !
මේක හොයාගන්න වින්ද දුක!
කොළයේ තැලී තිබුන කොනේ අංකය අපැහැදිලිය.3ද? 8 ද? 3ද? 8ද? ම්ම්ම්ම්ම් 8 වගේ
දැන් ඇත්තේ හීන් සීරුවේ වැඩ ආරම්භ කිරීම .මුලින්ම හායි.නම්බර් එක හොයා ගත්තෙ කොහෙන්ද ඇහුවොත් පචයක් ගහන්න බැරිය

                  කථා වස්තුව-විකල්ප 3     The Plot-alternative 3

හැමතිස්සෙම ඉස්සර වෙන්න ඕනෙ පිරිමි පාර්ශවය.ඇගේ හිත හීනි චකිතයකින් පිරෙන්න ගත්තෙ ඒක වෙන්න ඇති.ඒත් ඉතින් හැම පිරිමියම ඉස්සර වෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?ලියවෙන්න තියෙන කතන්දර,මතු වෙන්න තියෙන හැඟීම් එහෙම්මම නැති වෙලා යන්න ඉඩ අරින එකද?තව දුරටත් කිසිම දෙයක් දරාගෙන ඉන්න බැරි ගතියක් ඈට දැනුනා.ඇසිල්ලකින් අතට ආවෙ ඇගේ ජංගම දුරකතනය.කරන්න යන දේ ඊට පස්සෙ වෙන දේ ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ.සමහර විට එයා දැනගනී ඒ මමයි කියලා.එහෙම නැතත් මොකෝ..මුලින්ම හායි එකක්....ප්‍රතිචාර හොඳනම්..ම්ම්ම්ම්


ප්‍රතිචාර අවුලක් නෑ වගේ.ඒත් ඕනෑවට වඩා ඔෆීෂියල් .පොඩි විහිලුවක්වත් කරල ගත්තනම් ,


'I am a boy '
ඒක ඇත්තට ගත්තද දන්නෙත් නෑ

'he he no no ..a girl..just kidding.u know me well...don't misunderstand me.just wanted to talk'

.................Message Delivery Failed.......................


               කථා වස්තුව-විකල්ප 4     The Plot-alternative 4


ජීවිතය කියන්නෙ මහාම මහා මුස්පේන්තු ,මූසල හිස් අවකාශයක් කියලා හිතෙන්නෙ කලින් ඒ අවකාශය එළිය කරගෙන ලස්සන කරගෙන පුරෝගෙනෙ හිටපු අය /දෙවල් අපිව දාලා යන්න ගියාමයි.කොටින්ම අපි අපේ ජීවීතේ අනිත් අය/දෙවල් මත යැපෙන්න ගියාම අන්තිමේ තමන්ට තමන්වත් නැති තත්වයක් උදා වෙයි.දැන් මේ මට වෙලා තියෙන දේ වගේ.

ඔහුගේ හිතෙන් ඉපදිච්ච සිතිවිලි ඒ හිතම පුච්ච පුච්ච නළියන්න ගත්තෙ වතුර නටන්නා වාගේ.

මේ මුස්පේන්තු ජීවිතේට අයිති දේවල් විදියට දැන් ඉතුරු ඇට සැකිල්ලයි,ඒක වහගත්ත මස් ටිකයි හමයි.අන්තිමෙ ඇවිදින මළ මිනියකට සෑහෙන්න සමානයි.ඇත්තම කතාව මළ මිනියකට මීට වඩා සැප තියනවා.අඩන්න මොකෙක්වත් නැති උනොත් උඩු බුරලන්න බල්ලො හරි ඉන්නවා.මිනී එම්බාම් කාරයත් ආදරේට නොවුනත් සුවද ඉහල එහෙම මිනිය කුණු වෙන්න නොදී තියාගනී.

අපේ හිත් වල තෙරපි තෙරපි පැසව පැසවා තියෙන දෙවල් වෙන කාටවත් දෙන්න බැරි එක ඇත්ත.ඒත් ඒ දෙවල් ගැන කියන්නවත් එකෙක් හිටියනම්.මිනිහගෙන් විසඳුමක් එකක් නොලැබෙන එකත් ඇත්ත.ඒත් කතා කරන්න හරි තිබ්බනම් !
ඒත් කවුරු එක්කද?අනිත් හැම දෙයක්මත් අතෑරල කසාද බැඳගත්ත ගෑණිත් අන්තිමේ පිටුපෑවට පස්සෙ.කවුද ආයෙ ඉතුරු වෙලා ඉන්නෙ
කාලෙකට කලින් ඔලුව පිස්සු වැටෙන්න පටන් ගත්ත කාලෙ කරපු වැඩක් එවෙලෙ සිහි උනා.ඒත් ඒ වැඩෙත් එක්ක බැඳිලා තිබ්බෙ තවත් අමිහිරි මතකයන් ගොන්නක් විතරයි
ඔහු තනියෙන්ම හිනා වුනා.තව මොනවා නැති වෙන්නද.අතට ආපු ජංගම දුරකතනයෙන් එබුනෙ මොකක්දෝ අංකයක්.එහෙම අංකයක් නෑලු.කීප වතාවක් ට්‍රයි කළත් වැඩ කරන අංකයක් නෑ.බැරිම තැන ආයෙත් රැන්ඩම් අංකෙකට මැසේජ් එකක් දැම්මෙ හායි කියලා.ඒක එක අතකට හොඳයි කෝල් කරනවට වඩා.මොනවහරි දෙයක් වෙනවනෙ.පුදුමෙකට වගේ රිප්ලයි එකකුත් !!.මැසේජ් කිහිපයක් එහාට මෙහාට උනා. 

                                    'r u a grl or a boy?'


දැනිච්ච විදියට එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්.එහෙම එකේ මමත් කොල්ලෙක් කිවුවොත්.කේන්ති යයිද?වෙන දෙයක් වෙච්චාවෙ


                                        'I am a boy '

රිප්ලයි එකක් නෑ වගේ.මෙහෙම වෙයි කියලා කලිනුත් හිතුනා.

'a boy who've gone thru a lot.suffrd a lot. jst searchd smbdy 2 tlk wit'

.................Message Delivery Failed.......................


ඒ පාර මැසේජ් යන්නෙත් නෑ.

මම ඇවිදින මළමිනියක්
මළ මිනී ඊට වඩා සැපෙන්..

ෆෝන් එක පැත්තකට විසි උනා
රෙදි වනලා තියෙන ලණුවනම් එච්චර හයිය නැතුව ඇති.ඒත් පොටවල් දෙකක් තුනක් දාල ගත්තාම කිලෝ හැට පහක් දරා ගන්න පුලුවන් වෙයි ඒකට !

පසුවදන

මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම දරුණු අරගලයක යෙදිලයි ඉන්නෙ.ඒ අරගලවල කඩු ගැටෙන සද්ද ,ඊතළ කපාගෙන යන සද්ද,මර ලතෝනි පිටතට නෑහුනාට එතන අරගලයක් නෑ කියන්න බෑ.එහෙමයි කියලා ඒ අරගල මැද්දට පැනල විහින් තුවාල කරගන්නත් අපිට ඕනෙ නෑ සමහර වෙලාවලදි.
ඒක ආත්මාර්ථකාමී දෙයක් කියලා කියන්නත් බෑ..
මනුස්සයා කියන සතා එහෙමයි
ඒත් දෙයියන්ගෙ නාමෙට කෙනෙක් දිහා බලල ඌ කරන දේවල් දිහා බලලා උපකල්පන කරන්න එපා!
මොකද උගෙ ඇත්ත කතාව දන්නෙ මමවත්,උඹවත් නෙවේ


Share: