Aug 25, 2019

රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !



ඒ හිඟන්නෙකි ! 
නමුත්,
මැක්කන්, කිනිතුල්ලන් අනවසර ඉදිකිරීම් කරන වල් බල්ලන් රොත්තක් මැද ජර්මන් සැපට් බල්ලෙක් කැපී පෙනෙන්නේ යම් සේද, අනෙකුත් විවිධාංගීකරණය වූ හිඟන පරිවාර ජනයා අතර ඒ හිඟන්නා බෝල්ඩ් ඇන්ඩ් ඉටලික් වී පෙනෙන්නට විය.මා උපතින්ම උරුම කරගත් විචක්ෂණ බුද්ධිය තුළින් ඔහු දෙස නැවත නැවතත් බැලුවෙමි.

උඩින් ඇඳ තිබුණු කඩමාල්ල ඇතුළින් රාත්රි කළුවරේත් පෙනෙන හැඩිදැඩි පපුව,
ඇත් දළ පාට අත ගොබ.
ජොගින් ට්‍රැක් එකකට දැමූ ගලි බවුසරයක් මෙන් මුලු පේමන්ට් එකම හරස් කරගත් සද්දන්ත ශරීරය !
පුහ්!
මම ළංවීමි, තව තවත් ළංවීමි.මතක් වෙන්නේ නැත.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තවමත් පිළිගන්නා කුඩාම වටිනාකම ඇති කාසියක් හෝ හිඟන මහතාගේ ටින් බෙලෙක්කයට දැමීමට සූදානම් වුවත්, සමාජයේ වැදගත් රැකියාවක් කරන මගේත් එතුමාගේත් ශරීර දෙක හිත යටින් සන්සන්දනය වීමෙන් ඇතිවූ චිත්ත පීඩාව හා ස්වයං විවේචනය හේතුකොටගෙන නැවතත් යන්නට හැරුනෙමි.

"එකෙක්වත් කීයක්වත් දෙන්නේ නෑ.තොට හෙණ ගහනව යකෝව්.

ඊළඟට පරණ කවුබෝයි ෆිල්ම් එකක ශබ්ද සමඟ  "ඉයෝව්..ඉයෝව්" එකක් ආවේ කොහෙන්දැයි මම අදටත් දන්නේ නැත.

"හුටා ! මතක් උනා"

මම වහා හැරී බැලුවෙමි. තුන් පාරක් හිඟන මහතාගේ මුහුණ සූම් ඉන් සූම් අවුට් විය.

"හුටා රන්ජන් අයියා ! මේ මොකෝ මේ ? "

මේ මොකෝ මේ බංකොළොත් වෙන්න අලුත් පිල්ම් එකක්වත් ආවෙ නෑනෙ

"ගැ...බැ...ස් ජො..පි..ල්...ම්" රන්ජන් අයියා මා කී දේ නොතේරුනාක් මෙන් ගොත ගසන්නට විය. නිහතමානීකම !

"මං හිතන්නේ මල්ලි මේ කියන්නෙ අපේ මල්ලි ගැන වෙන්නැති"

"මල්ලි?"

"ඔව් එයා සුපර් ඉස්ටාර් කෙනෙක්. අපි නිවුන්නු. පොඩි කාලෙ අපි දෙන්නා එකපාර ඉපදුනේ. ඒත් ඒත් .."ඔහුගේ නෙතඟින් කඳුළු බිඳු වෑස්සෙන්නට විය.
"ඒත් හොස්පිටල් එකේ හිටිය මල්ලි...... ඩොක්ටර් කෙනෙක් , උගෙ සීයයි අපේ සීයයි 71 ජේ. වී .පී කලබල කාලෙ හොඳම යාලුවො..හැබැයි මගේ කරුමෙට ඒ දෙන්නා එකම කෙල්ලෙක්ට ආදරය කළා..ඒ කෙල්ල...ඉහි ඉහි...."ඔහු හඬන්නට විය..මේ දැවැන්තයා හඬන අයුරු මා කෙසේනම් උහුලම්ද?

"කතාවේ ෆයිනල් එපිසෝඩ් එක දෙන්න අයියේ?"

"ඒ පාහර ඩොක්ටරයා..මාව හොස්පිටල් එකෙන් අරන් ගිහින් විකිණුව මල්ලී..ඒ අතරේ අපේ තාත්තා නාග කන්‍යාවියකගේ මැණික හොරකම් කරලා කන්‍යාභාවය නැති කළා කියලා මහාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්.."

"එතකොට අයියා?"

"අයියා ..ඩොක්ටර් හිතුව ,මම කවදහරි ඇවිල්ලා ඩොක්ටර්ගෙන් පලි ගනීවි කියලා...එයාගේ අරමුණ උනේ අපේ අයියා හෙළ සිනමාවේ බබළන තරුවක් කරලා"කතාව  ඇඳී ඇඳී යයි .සිංහල චිත්‍රපටිවල හා මෙගා නාට්ටිවල ලොකුම වැරැද්ද ඕකය.අවසානය ගැන නොහිතා කතාවක් ආරම්භ කිරීම හා අධි රංගනය (over acting).

"අවුලක් නෑ අයියා මම දන්නවා ඔයා රන්ජන් කියලා..

"නෑ මල්ලි මම රන්ජන් නෙවේ.. ඔන්න බලන්න..   හූ ඉස් ද රන්ජන් රාමනායක ඔෆ් ශ්‍රී.."

 "මට කියන්න සීන් එක.මං ගාව රුපියල් පනහයි තියෙන්නේ ඒක හරි දෙන්නං"

රන්ජන් අයියාගේ මුහුණේ ලජ්ජාශීලී සිනහවක් මතුවිය.සරෙන්ඩර් විය.

"සල්ලි ප්‍රශ්නයක් නෙවේ මල්ලි...මම ලෑස්ති වෙන්නේ අලුත් ෆිල්ම් එකක් ගහන්න..ස්ටෝරි එකක් නෑනෙ"ඔහු දුක්මුසු මුහුණක් මවා පෑවේය.

"ඉතින් හිඟාකන්නේ?"

"ඒ වගේද යකෝ පේන්නේ....සො... සො..සොරි මල්ලි මම කතා හොයනවා..මහජනතාවගේ කලාකරුවෙක් වශයෙන් මම ඔවුන්ගේ දහඩියේ සැරිසරනවා....ඔවුන්ගේ සුසුම්වල ..අඳෝනාවල...මන්දිරවල..සඳලුතලවල වැසිකිළිවල සැරිසරනවා"

"මට තේරෙනවා අයියා..ඉතින් තාම නැද්ද මුකුත්?"

"නෑනෙ"රන්ජන් අයියා නැවතත ඕවර් ඇක්ටින් එකක් පෑවේය.

"හරි මං කියන්නද..අපි ගහමු පාලිමන්ට් ජෝක්ස් තුන?"

"මල්ලී !" රන්ජන් අයියා බැරෑරුම් මුහුණක් සොයාගත්තේය.

"මම කලාකරුවෙක් විදියට උත්සහ කරන්නේ හැම තිස්සෙම අලුත් ,මිනිස්සුන්ට වැඩිය නුහුරු නුපුරුදු දෙයක් ඉදිරිපත් කරන්නයි"

මල්ලි...ඔයා මට කොහොමහරි උදවු කරන්න ඕනෙ අද එළි වෙන්න කලින් කතාවක් හොයාගන්න.මල්ලි ටිකක් වැඩකාරයෙක් වග මට මගේ පළපුරුදු ප්‍රොපෙසනල් ඇස් වලට පේනවා"රන්ජන් අයියා හැඟුම්බර විය.

"හරි හරි..දැන් මට කියන්න මේ පාරත් ඉන්දියාවෙන් නළු නිළියො ගේනවද?"මම රෝග විනිශ්චය ආරම්භ කළෙමි.

"දුෂ්ඨයගේ චරිතෙටද?"කලින් ලෑස්ති කරගෙන සිටියාක් මෙන් වේගවත් පිළිතුරක් ලැබුණි.

"නෑ ..නෑ..කෙල්ලට" 

"මම ඉන්දියාවට බාල්දු වෙන පොරක් නෙවේනෙ.තප්පරයක් නෑරම ලාංකීයයි,මගේ පිල්ම්ස්"

ලාංකීය සිනමාවේ කිරුළු නොපලන් රජුගේ ඉල්ලීම මා කෙසේනම් ඉවතලන්නද?මම පුරෝහිතයෙක් මෙන් ඔහු අසලින්ම ඉඳගැනීමට සූදානම් වුනෙමි.

පසු ප්‍රදේශය බිම ගැටෙනවාත් සමඟම "ටාං..." යන හඬින් කොහෙන්දෝ පැමිණි කාසියකුත් ඉදිරිපස තිබූ බෙලෙක්කය හා ගැටුනි.මම කෝපය පෙරදැරි ස්තූති පූර්වක බැල්මක් කාසිය දැමූ පුද්ගලයාට එල්ල කළෙමි.

"මල්ලිට පුදුම ලැබීමක්නෙ තියෙන්නේ.මම පැය ගානක් හිටිය මෙතන සත පහක් හම්බ උනේ නෑනෙ".

"හරි අයියා අපි ඉක්මනටම වැඩේට බහිමු.මට යන්නත් ඕනෙ.මෙහෙම කරමු මේ දවස්වල ත්‍රෙන්ඩ් එක තමා ඉතිහාස කතා උස්සන එක.අමුතුවෙන් හද හද ඉන්න දෙයක් නෑනෙ"

"ඕකම තමා මල්ලියේ මටත් හිතුනෙ....හැබැයි ඕක විනෝදජනක වෙන්න ඕනෙ.සුපිරි ෆන් දෙන ,සුපිරි කොමිටල් කැරක්ටර් දෙකක් බස්සලා ..."

"ටෙනිසන්-බන්දු ජෝඩුව එපා කියලද අයිය කියන්නෙ එතකොට?"

රන්ජන් අයියා කල්පනා කළේය.."ඒව පස්සෙ බලමුකො ,ඒ වගේම පිල්ම් එකෙන් සමාජ යතාර්ථයක් උද්දීපනය වෙන්න ඕනෑමයි.."රන්ජන් අයියා මල්ලෙන් එලියට ගත් මලලසේකර ශබ්ද කෝෂය පෙරලමින් කතා කළේය..

"මොකද මගේ පිල්මස් ,මනුෂ්‍යයාගේ ජීවන රටාවන්හී ප්‍රතිමූර්තියක් මෙන්ම ,හුදෙක් නෛතිකානුභවනීය හෙජමුනියක සිර ගතවූ ප්‍රපංචනාරූඩ සිද්දි දාමයක සබඳතාවයක් උත්දීපනය විය යුතුයි.සමාජයේ විවිධ පැතිකඩයන්හී ප්‍රක්ෂේපනයක් ලෙස සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය තුළින් ප්‍රක්ශේපනය කිරීමට මම කැමතියි ...අසා සිටි ඔබ සැමට ස්තූතියි.."

මම කල්පනා කළෙමි.."ම්..ම්.. ෆන් වෙන්නත් ඕනෙ...වර්තමාන සමාජය පිළිබිඹු වෙන්නත් ඕනෙ..ඔක්කෝටම වඩා ඉතිහාස කතාආආ....ආහ හරි ආවා එකක්"

"කියන්න කියන්න මල්ලි මොකක්ද?"රන්ජන් අයියා සයිවර් කඩයක් ලඟින් යන බල්ලෙක් මෙන් කෙළ හලන්නට විය.

මහදැනමුත්තයි ගෝලයො රොත්තයි?"

"දැන් ඔය කියන මහදැන**තා..."

"නෑ නෑ මහදැනමුත්තා....මු ..මු.."

"හරි හරි"නැවතත් ලජ්ජාශීලි සිනාවක් "දැන් ඔය මහදැනමුත්තා මොන වගේ පොරක්ද?"

"වයසයි..රැවුල තියෙනවා...ටිකක් හීනි....එච්චර ලුකක් නැති"

"අපෝ ..බෑ ..බෑ"රන්ජන් අයියා පණත කියවන්නටත් පෙර ඊට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළේය.

"මල්ලිට මං ඒ වගේ එකෙක් විදියටද පේන්නෙ?"

"නෑ ..නෑ අයියා..ඇයි"

"එහෙනම් මට කියන්නේ මේන් කැරක්ටර් එක වෙන එකෙක්ට දෙන්න කියලද?.මට කරන්න පුලුවන් චරිතයක් කියහං මල්ලි"

"මද්දුම බණ්ඩාර ? "

"ඇහ්" 

"ඔව් අර අයියන්ඩිය බිය නොවන්න කියලා කඩුවට බෙල්ල තියන්න මල්ලි පනින්නෙ.පොරක් වෙන්නෙ " 

"බෑ මල්ලි බෑ. හරිනම් අයියම තමා පලයන් කියලා කියන්න ඕනෙ" 

"එහෙනම් අර කෝට්ටෙ වෙච්ච සිද්දිය? "

"සිරිකොතේ?"

"නෑ අර විජයබාහු රජ්ජුරුවන්ගෙ කාලේ "

"ආ" රන්ජන් අයියා කල්පනා කාරී බවක් දැක්වීය.

"රජ්ජුරුවන්ට ටිකක් රට ඇදන් යන්න අප්සට් වගේ වෙනවා.. යන්න කාලෙ හරි වගේ..එතෙන්ට යන්න බර ගානක් ට්‍රයි කරනවා.අන්තිමට වෙන්නෙ රජාත් මැරිලා රට කෑලි කැලි වලට ගිහිල්ලා රජ්ජුරුවොත් බරගානක් එන එක."

"ආ මරු මරු"

"ඔය අස්සෙ පෘතුග්‍රීසි කාරයොත් හීන් සීරුවෙ සොට් එක දෙනවා."

"ඔව් මල්ලි ඕකනෙ දැන් වෙන්නෙ"

"ඔය සිද්දියට පස්සෙ නමකුත් වැටුණා විජයබා කොල්ලය කියලා"

"ආආහ් එළනෙ. පිල්ම් එකටත් ඒ නමම දාමු විජයබා කොල්ලය...ඒක්..."

රන්ජන් අයියාට කතාව අවසන් කරගැනීමට නොහැකි වූයේ අප දෙදෙනාටම පිටුපසින් ඇසුණු කුමක්දෝ බිමට වැටෙන ශබ්දයක් නිසාය"

අපි වහ වහා ස්ටෑන්ඩ් අප් වී අහළ පහළ බැලුවෙමු.
නුදුරින් බිත්තියකට මුවාවී අපට ඇහුන්කම් දීගෙන උන් තවත් හිඟන්නෙක් දිස්විය.
රන්ජන් අයියාගේ ඇඟ නැවතත් තුන් පාරක් සූම් ඉන් සූම් අවුට් වී ඉන් පසු අතැඟිලි කැඩෙන "කට කට" ශබ්දයක් ඇසුණි.
මෙසේ සටනට සූදානම් වන විට විනාඩි පහක් පමණ ගතවී තිබුණු අතර අනෙකා පලා යන්නට සූදානමිනි.නමුත් ඔහුගේ මුහුණ දැකීමත් සමඟ රන්ජන් අයියාගේ මුහුණේ මතු වූවේ විශ්මයාර්දී ළකුණකි ( !) 

"සුනිල් අයියා ! "

"ඇහ් ? "

"සුනිල් සුනිල් ...සුනිල් ආරියරත්න ..මිනිහට අපි කියපුවා ඇහුණද දන්නේ නෑ..සිට් !"

රන්ජන් අයියා " ඩිඩික් ඩිඩ්ඩි ඩික්...ඩිඩිඩ් ඩිඩ්ඩි ඩික් " ලෙසින් ධාවනය ඇරඹුවේය..

"සුනිලා...අඩෝව් සුනිලා ! "



Share:

4 comments:

  1. ගැටය මල්ලි කාලෙකට පස්සෙ….රන්ජන් අයිය පොදු අපේක්ෂකය කරමුද

    ReplyDelete
    Replies
    1. ඕ යෑස් අයියා
      කොමඩි බලන්න වියදම් කරන්න ඕන්නෑ අපිට

      Delete
    2. ඕව නම් මොනවද අයියෙ. අපි දැන් කියලත් මොකෝ කොමඩි බලන්නෙ වියදම් කරල නෙවෙයිනෙ. හැම සිකුරාදම වගේ මොකක් හරි එකක් දෙනවනෙ, අපේ කලින් පොදු අපේක්ෂකයා.

      Delete
  2. අනේ මන්ද අප්ප මේව කොහෙන් ඔලුවට එනවද කියල. මරු.

    ReplyDelete