Jun 14, 2012

ඔබේ ගමටත් ටැලිපෝං ටවර්

සියල්ලෝම වලවල් හතර වටකරගෙන හතර අතේ කැරකෙමින් සිටිති.මුන්ට වගේ වගක් නැත.අමු ගොඩයන් රැළක් වුවද ,උන්වත්  හැටට හැටේ යන ''සංවර්ධන කෝච්චියේ'' ෆුට් බෝඩ් එකේ හෝ එල්ලා යැවීම අප වැනි පුද්ගලයන් සතු යුතුකමක් සේම වගකීමකි.ඒ සඳහා මෙවැනි ප්‍රොජෙක්ට් වැඩි වැඩියෙන් ගංවල ගොඩ ගැහීමත් අනිවාර්යය.


තවමත් මේ හාරා ඇති වලවල් හතර ගැන කාහටවත් අදහසක් පහළ වී නැත.ටිකකින් එතනට කැට් වෝක් එකකින් පැමිණියේ අවුරුදු හතළිහක පමණ ගැමි ලියකි..ඇගේ අතේ කළයකි
''අපෝයි මල්ලියෙ.මං හිතුවා මෙලාකට වතුරත් උනලා ඇති කියල හාරපු හෑරිල්ලට''
''ඒක තමා අගුණවතියෙ මාත් මේ බැලුවෙ..මේ වලවල් වල ගැඹුරනං වතුර ගන්ඩ මදි වෙයි''තවත් වයසක උන්දෑ කෙනෙක් කතාවට පොහොර සහනාධාරය ලබා දෙන ලදී.
''හ්හ්..හ..මේ නං වතුර ගන්ඩ වෙන්ඩ බෑ''කොළු ගැටයෙක් සිය විචක්ෂණ බුද්ධිය මෙහෙයවමින් වලක් වටේ කරකැවී ගොස්, කකුල් දෙක සමචතුරස්‍රාකාර වලේ සම්මුඛ පාද දෙකක් දිගේ තබා කඳ පහත් කළේය
''හරිනේ..මේ කක්කුස්සි ..කක්කුස්සි හතරක්ම තියෙනවා''

පරිවාර ජනයා ඔහුට බන්ධුල ගුණවර්ධන ඇමතිතුමාට මෙන් සළකන්නට වූහ.
''බොට පිස්සුද?අපි කක්කුස්සි යන්නේ ඇක්සයිස් කරන්ඩද..බලහං මේ වලවල් වල පළල විතරක්''


''කක්කුස්සි '' කතාව කී හාදයා එම සමාජයෙන් නෙරපා හරින ලදී.
''අනේ මන්දා ඉතින් අපි මේකට ඇන කොටන් තේරුමක් නෑ..ආං අර මහත්තය නෙවැ මේකෙ වැඩ රාජකාරි බලන්නේ'' එකෙක් මගේ හිස දෙසට ඇඟිල්ල දික් කළේ කවු බෝයි ෆිල්ම් එකක ගොපල්ලා ( නොහොත් කවු බෝයි.ඒත් මූ හරක් බලන්න දන්නේ නැත ) හතුරෙකුට තුවක්කුව දික් කරන්නාක් මෙනි.අනිත් ඈයින්ගේ ඇස් එම තුවක්කුවේ එල්ලය සමඟ ඒක රේඛීය විය.එවිට මට අවුල් විය.ලැජ්ජා විය.අහසේ දඩයක්කාරයාගේ වල්ගා තරුව හොයන්නට සිත්විය.එහෙම එකක් නැත, මේ දවල්ය..හැකි පමණ වීරිය ගතිමි..මා මේ මිනිසුන්ගේ ගැළවුම්කාරයාය..ඔවුන් නව ලොව හා යා කරන පාලමයි
''ඇක්චුඅලි දිස් ඉස් අ මොබඉල් ෆෝන් ටවර්..ඒ කිවුවෙ ,වෙනෙවර් යූ නීඩ් ටු මේක් අ කෝල් යූ නීඩ් සිග්නල් රයිට්? වට්? සිග්නල්? ඕකේ ..සෝ ටු හැවු සිග්නල් යූ නීඩ් මොබඉල් ෆෝන් ටවර්ස් ..ඒ කිවුවෙ සිග්නල් අරගන්න නෙට්වර්ක් කවරේජ් එක තියාගන්න ටව....''
කතාව හොඳට හිතට අල්ලා ඇති බව පැහැදිලිය.කිහිප දෙනෙක් තමන් වැරැද්දක් කර ඇති බව දැනගෙන ස්වයං විවේචනයක යෙදුනෝය.තවත් පිරිසක් ජපනුන් ලංකාවට බෝම්බ දාන කාලයේ  බිම හෑරූ බංකර් වල හැංගුනු ආකාරය සිහි කරමින් වලවල් හතරට බැස හොරෙන් එබිකම් කරන්නට වූහ.නමුත් කාටවත් ඇසීමට ප්‍රශ්නයක් නැති වූයේ එය හොඳටම පැහැදිලි වී ඇති නිසාය.


එක්වරම මැදි වයසේ පුද්ගලයෙක් ළඟ සිටි කොල්ලන් රෑනකට මිහිරි බසින් නියෝග ලබා දෙන්නට විය
''මොනවද යකෝ තොපි බලන් ඉන්නේ..තොපිට ඇහුනෙ නැද්ද මහත්තයා කියාපු දේ..ඉක්මනට ගිහින් කොහෙන් හරි හොයාගෙන වරෙවු''කොල්ලන් රැළ සරං උස්සාගෙන ගොස් විනාඩි තුනකට පසු නැවත ආවෙත් සරං උසසාගෙනය.උන් මා ළඟට විත් සරං පහතට දමා අතේ ගුලි කරගෙන සිටි යමක් පෙන්වූහ.
''අනේ තරහ වෙන්න එපා මහත්තයා ..අපි නං ඒව පාවිච්චි කරනවා අඩුයි..අකමැත්ත නෙවේ.සල්ලි අඩුපාඩු''අත්ල මත අඟුරු කෑලි කිහිපයක් විය.
''මේ මොනවද මේ?''
''අඟුරු,අඟුරු මහත්තයෝ..දත් මැදගන්න ඕනය කියලා සිග්නල් නේ ඉල්ලුවෙ?අනේ ගමේ කොහෙවත් තිබුන් නෑ.සමාවෙන්න ඕනෙ''
ඇත්ත වශයෙන්ම ඔබ සිතන ආකාරයටනම් මට මේ වෙලාවේ මට කේන්ති යා යුතුය..කොල්ලන්ගේ දත් ටික අඟුරු කෑලිත් සමඟ බඩට යැවිය යුතුය.උන් ටික එක වලකට දමා උඩින් පස්ද,ඊට පසු කොන්ක්‍රීට් තට්ටුවක්ද දැමිය යුතුය.
නැත මම උන්ට අනුකම්පා කළෙමි.
ඒ අනුකම්පාව ගමේ දුරකතන කුළුණ සෑදීම අවසන් වන තුරුම පැවතුණි.දැන් ගමේ මුදලාලිට වී මිළ සොයාගැනීමට කුඹුරේ ඉන්නා ගොවිරාළට කෝල් එකක් දිය හැක.කුඹුරට ඇඹුල ගෙන ඒම සඳහා ගොවිරාළට ගොවි හාමිනේට මිස් කෝල් එකක් දිය හැක.මේ ගමට කළ සේවාව මා මියෙන මොහොතේත් මතක් වනු ඇත.මරන මංචකයේ ඇඳ වටා මේ ටවර් එක හ්‍රමණය වනු ඇත.
ප්‍රොජෙක්ට් එකෙන් පසු මම ගමෙන් පිටවීමි.මාස පහකට පමණ පසු එහි ප්‍රශ්නයක් වාර්තා විය.මම වහාම එය බැලීමට පිටත් වීමි..ඇස් ගෙඩි දෙක නළල දෙසට විසිවිය..එතන තිබුණ කුළුණ නැත!!! වල් වැවී ජරාවාස වී කුළුණේ සංඥාවක් පමණක් ඉතිරි වී තිබේ.කලබලයට පත් වූ මම වහාම දුරකතන ඇමතුමක් ගැනීමට උත්සහ කළෙමි .
No Network Coverage.


මෙසේ විය නොහැක.වාසනාවට එවෙලෙහි එතැනින් කලකට පෙර දැක ඇති වයසක උන්දෑ  ගමන් කළේය.මම කතාවට වැටුණෙමි..
''මේ ටෙලිෆෝන් ටවර් එකට මොකද උනේ?''
''ඇහ් මොක?''කන්වල දෝශයක් නොවේ..තේරුම් ගොස් නැත.
''අර අතේ අරන් යන ටෙලිෆෝන් වලින් කතා කරන්න ලේසි වෙන්න හදපු මේ කුළුණ?''
''හතිලවුවේ මහත්තයෝ මේක ඒ ජාතියෙ එකක්ද..කවුදෑ දන්නේ?'' උන්දෑ දත් විලිස්සන්නට විය
''ආ යූ සීරියස්?ටෙලිෆෝන් වලට කියල දන්නේ නෑ?''
''දැනගත්තත් වැඩක්යැ මහත්තයෝ?මොකෝ ගමේ එකෙක්ටවත් ටැලිපෝං තීන එකක්යැ''
''ඈ ෆෝන්ස් නෑ? කාටවත් ?''
''මොනහ්...ඔන්න දවසක්දා අපේ පජාතසේකරයගේ ලොකු එකානම් ගෙනාව එකක්..නිකං විනෝදෙට''
''ඉතින් දෙයියනේ..ෆෝන්ස් නැතුව මොකටද ටවර්ස්?''
''ඒක ඉතින්  මහත්තේලනෙ දන්නේ.අපි යැ?අපි මුලින් හිතුවෙ ගමට වතුර දෙන්ඩ යනවයි කියලා''


''එතකොට මේකෙ කිසිම තේරුමක් නෑ?''
වයසක් උන්දෑ මිස්චීවස් හිනාවක් දැම්මේය.
''හිකිස්..නැත්තෙමත් නෑ..මහත්තයා අහන්ඩකො.ඕක හැදුවායින් පස්සේ අපේ ඉස්කෝලෙ පොඩි උන් රොත්ත පිටින් ඉස්කෝලෙන් එක්කන් ආවා සරඹ කරන්න..හරි අපුරුයි නෙවැ මේ යකඩ කඳන් වල එල්ලිලා සරඹ කොරද්දි..එතැනින් පස්සෙ අවුරුදු කාලෙ ආවාය කියමුකො..හැමදාම පුවක් කොටේ ලිස්සන ගහ හදන එකේ මෙදා පාර වෙනසකටය කියලා අපි මේ කුළුණේම ගිරීස් ගෑවා,උඩින්ම කොඩිය ගහලා..හප්පේ වෙච්චි දෙයක් එකෙක් බිමට වැටිලා හොම්බ සමතලා කොරගත්තා..එතනින් පස්සෙනම් වැඩිය නැටුවෙ නෑ..ඔය ගමේ ගෑනු රෙදි ටික වේලගන්ඩ කොල්ලො සරුංගලේ උඩ යවලා නූල ගැටගහල තියන්ඩ වගේ දේවල් තමා''


ටවර් එකේ එළියට පෙනෙන සුළු කොටස මා වටා භ්‍රමණය වන්නා සේ දැනුනි.
''ඒත් මහත්තයෝ පොඩි පහේ හරි වැදගත් ප්‍රයෝජනේකුත් ගන්ඩ එපෑ..ඕං දැං අපි ඈයෝ ටිකක් එක්කාහු වෙලා මෙතන බුලත් වැලක් වැවුවා..ඔය උඩට ගෙහුන් තීන්නෙ ඒක තමා .ආධාරෙට කොටු බොටු ඕනයැ.මේ තියෙන්නෙ පතරංග කුළුණක් !!!''


(අද කෝච්චියේ එනවිට කඩුගන්නාවේ ටැලිපෝං ටවර් එකක් දුටු කල්හී මතුවූ අදහසකි.ටැලිපෝං විතරක් නොවේය.ලංකාවේ කොයි ප්‍රොජෙක්ට් එකත් එකය )







Share:

12 comments:

  1. ගමේ මිනිස්සු ටික හරි අපූරුවට කණුව පාවිච්චි කරලා තියෙනවා :)

    ReplyDelete
  2. @ Hasitha එහෙම ප්‍රයෝජනයක් හරි ගත්ත එක ලොකු දෙයක්නෙ..තුති මේ පැත්තෙ ආවට

    ReplyDelete
  3. දැන් නම් කෝමත් වැඩක් නැහැනේ බං.


    වෑර්ලස් නේ.. !

    ReplyDelete
  4. අයියා මේ මොනවා කියනවා ද මන්දා ..!! අපේ ගෙදරට ත් මොබිටෙල්, ඩයලොග්, එටිසලාට් , එයාර්ටෙල් අහවල් එකවත් සිග්නල් නෑ..!! :((

    ReplyDelete
  5. ගමට පුදුම සෙතක් නොවැ ටවර් ඒකෙන් වෙලා තියෙන්නේ ...

    ReplyDelete
  6. ම්ම්ම් එලනේ ,., හික් හික්

    ReplyDelete
  7. බොලා මාස දෙහෙකට විතර පස්සෙ නැගිටලා තියෙන්නෙ..! මේක හීනෙන් පෙනුන එකක් වෙන්ටෑ..

    මොනවා උනත් ඒක බහු කාර්යය කුළුනක් වෙලා නොවැ.

    ReplyDelete
  8. අනේ අපිට එපා ටැලිපෝන්... :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මල්ටි පර්පස් මෝබයිල් ටවර්.

    ReplyDelete
  10. අපොයි ඔව් ලංකාවෙ ඔක්කොම ප්‍රොජෙට් බඩගොස්තර වාදී නේව

    ReplyDelete
  11. වැඩි පුර පාලම වලට වෙන්නේ ඒ වගේ. මුල් ගල විතරයි.

    ReplyDelete
  12. සමාවෙන්ඩ ඕනෙ උත්තර පමා උනාට

    ReplyDelete