Nov 4, 2012

උඹ නටද්දි පපුවෙ කරකැවෙන ගිනිබෝල

පෙරහැරේ බෙරකාරයන් තාලෙට අල්ලන බෙර පද වලට උඩ පැන පැන උඹ නටන හැටි බලන් ඉන්දැද්දි,ගිනිබෝලකාරයන්ගේ ගිනි බෝල කැරකුනේ පෙරහැරේ නෙවේ මගේ පපුව ඇතුළෙයි කියලා උඹනම් දැනන් ඉන්ඩ නැතුව ඇති...ගිනි බෝල උනත් ලස්සන නිකං තියෙද්දි නෙවේ,කැරකෙද්දි හින්දම ඔන්න ඔහේ ඩිංගක් කැරකුනත් මොකෝ කියලා හිතුණත් උඹ ඒ ගින්නටම තවත් ලාම්පුතෙල් වක් කර කර කරකවන්ඩ හදද්දි තමා මට ඉවසුම් නොදෙන්නෙ..


පෙරහැර බලන්ඩ ආපු නොසන්ඩාල කොල්ලො රෑනක් උඹට නොමනා විහිළු කරද්දි ,එවෙලේ නැගලා උන්නු ගහෙන් බැහැලා ඇවිදිල්ලා කන පොඩි වෙන්න දෙකක් දෙන්ඩ හිතුනත් උඹ උන් දිහාට දාපු එක බැල්මෙන්ම උන් හැත්ත බුරුත්තම අළු වෙලා අඟුරු වෙලා ගියා.අපි ඒ අඟුරු ගන්න ඉන්නේ උදේට දත් මදින්න
මමත් උඹේ නැටුම් බලන්ඩ ළඟටම  නෑවිදින් ගහට වෙලා උන්නෙ අඟුරු වෙන්ඩ තියෙන අකමැතිකමකට නෙවී.(ඒත් උඹේ ඇස් දේකේ කාන්තියට ඒක කොහොමත් වෙන බැව් නම් ඒකාන්තයි,ස්තීරයි.ශ්‍රී එෆ්.එම් ඉරිදා නිධානය වගේ).මට ලජ්ජ හින්දයි 

උඹ කඩේ කැසියර් කූඩුවෙ ඉන්නකොට මං සමහරක් දවස්වලට පත්පාඩගම් පැකැට් එකක්,පැනඩෝල් පෙත්තක් ඉල්ලගන්ඩ එන්නේ අඩුම ගානේ උඹ ඇයි අයියට සනීප නැද්දැයි කියලවත් අහයි කියලා හිතලයි.ඒත් උඹ එහෙම නාහන්නෙ මට තියෙන අනාදරේකට නෙවේය කියල මම දන්නවා.උඹ හිතන්නේ ඒවා අපේ ආච්චිට කියල වෙන්ඩැ.ආච්චිත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල.(ඒක කිවුවෙ උඹේ දැන ගැනීම පිණිස.)
තවත් සමහරක් දවස්වල මම වචනයක්වත් උඹ එක්ක දොඩනවා කියලා හිතාන ගාමිනී ෆොන්සේකා මහත්තය වගේ තමා කඩේට ගොඩ වෙන්නේ..ඒත් අන්තිමට පහු බහින්ඩ වෙන්නේ කෝපි කඩේ සුගතං වෙලා.උඹ ඉස්සරහ ඉන්දැද්දි මගෙ දිව ගොළු වෙනවා නංගියේ ...කවුදෝ එකෙක් මගේ දිව ඇදලා අරගෙන කඩේ වතුර රත් කරන බොයිලේරුවට ගැට ගහල වගේ දැනෙන්නෙ ඒ වෙලාවටයි.එතැනින් පස්සෙ ඉතින් කිය උනත් කියවෙන්නේ රාක්කෙක ,සෝ කේස් එහෙක අඩුක් කරල තියෙන බඩුවක නමක් මිසක්ක "කොහොමද නංගියේ?කෑවයි?" වගේ එකක් නෙවේ.උඹත් ඉතින් කිසිම ගානක් නැතුව ඉල්ලපු ජාතියම දෙනවා.සල්ලිත් අරන් ලෝබ නැතුව ඉතුරු සල්ලිත් දෙනවා.කිවුවාම විස්වාස කරහං නංගියේ දැන් මයෙ කාමරේ තියෙනවා උඹලගේ කඩේට වඩා බඩු මුට්ටු.මාත් පස්සෙ දවසක කඩයක් දාන්ඩ තමා හිතන් ඉන්නේ. කැසියර් කූඩුවෙ තියන්ඩ කවුරුත් තමා නැත්තෙ තාම. 
උඹ ඇයි නංගියේ මයෙත් එක්කලාවත් කතා නොකරන්නේ?අඩුම ගානේ එදා කලබල වෙච්චි වෙලාවක  පුළුන්ද කොහෙද පුරෝපු රෝස පාට  පැකැට් එකකට වැරදිලා ඇගිල්ල දික් වෙලා ඒක සල්ලි දීල ගත්ත වෙලාවෙවත් හිකි හිකි ගගා හිනා වෙවී හිටිය මිසක්ක වචනයක්වත් නොකිවුවෙ ඇයි?කොල්ලො තාම මට අනන් මනන් කියනවා.
කොයික කෝම උනත් කමක් නෑ නංගියේ .මන් දන්නවා උඹ ඔය පේන තරං නපුරු නෑ කියලා.මං ඒ හැටි පෙනුමක් නැති,ඒ හැටි සල්ලි බාගෙත් නැති එකෙක් වග හැබෑව.ඒත් උඹව හැමදාම සන්තෝසෙන් තියන්ඩ පුළුවන් වග මම දන්නවා.හම කළු උනාට උඹේ ඔය කිරි සුදු පාට දත් ටික පෙන්නුව ගමන්ම මුළු ගේම එළිය වැටේවි.ගමට ලයිට් ඉල්ලල අර අවලං මන්තිරිය පස්සෙ යන්න ඕන නෑ එතකොට.
උඹේ ඔය හිකි හිකියත් එක්ක කිචි බිච්චියත් එක්කහු උනාම මුළු ගේම ඒ සද්දෙන් පිරිලා ඉතිරිලා යාවි .එතකොට රෙඩියෝ ඕනෙත් නෑ.දැක්කනෙ උඹ ළඟ ඉන්නවා කියන්නේ වියදම් අඩුයි.සල්ලි බාගේ නැති උනත් මන් අනිත් උන් වාගේ දෑවැද්ද ඉල්ලන්නෙත් නෑ උඹේන්..ඕනමනම් අර දුඹුරු පාට බලු තඩියා ගෙනාවට කමක් නෑ.හැබැයි ඌව ගැටගහල තියමු.

මං මේක ලියන්නේ පෙරහැර බලලා ගහෙන් බැහැලා ආ ගමන්මයි
උඹ ඉන්න හරිය පහු උනාට පස්සෙ පෙරහැරේ බෙරකාරයෝ හරියට පදයක් ගැහුවෙම නෑ.තාලයක් නෑ
නැට්ටුවො අඩි වැරැද්දුව.එකෙක් පැටලිලා වැටුන
අලි ටිකත් හෝන්දු මාන්දු වෙලා
නිළමෙතුමා ගියේ රුවිතෙට...
උඹ යන්න ගියොත් මගේ ජීවිතෙත් එහෙම වෙයි නංගියේ
තාලයක් නෑ..වැරදෙනවා..හෝන්දු මාන්දු ..රුවිතෙ...

ප.ලි
අපේ පැට්ටේරියෙ ඉන්නවා හොඳ මහත්තයෙක් ඔය එකකෙක එව්වා ලියන..පත්තර පොත් හෙම නෙවේ.බ්ලොක් ද මොනාද.ආන්න එයා තමා කිවුවේ උඹ ඔහොම පිනා වගේ කට පියාගෙන ඉඳලා හරියන්නේ නෑය කියලා


photo credit http://www.flickr.com/photos/hhsp/6068837606/





තදියමේ ලියන ලිවිල්ලේදී මිස්ටේක් එකක් වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි
"ආච්චිත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල"

පෙන්නා දුන් ජනිත සහෝදරයාට තුති

නිවැරදි
"අම්මත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල"
සමාව ලැබේවා !


Share:

26 comments:

  1. මචං, බොහොම වෙනස් කතා ශෛලියක්. උඹේ පට්ටම සිරා පැත්තකුත් මං දැකලා තියනවා. හැබැයි මේක වෙනස්ම විදිහක්. එක විදිහක් කිව්වොත් හරි. හිනා වෙන්ඩත් බෑ, අඬන්ඩත් බෑ. උඹේ ඇත්ත චරිතේ එලියට දාලා තියනවා. පට්ට.

    ප.ලි. : බල බලා හිටියොත් පෙරහැර යයි කියලා මං කිව්වා කියපන්. කඩේ නඟා ඔය කොලුවට බහදෙන්ඩ අකමැති වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!!!
      කාගේ ඇත්ත චරිතෙ? නෑ නෑ මගේ නෙවේ..අර කොල්ලගේ ..(ඌට තාම නමක්නම් නෑ )
      හික් එහෙම වෙනවනම් ලොකු දෙයක්..අහිංසක කොල්ල :)

      Delete
  2. මදෑ.... මෙන්න තවත් එක්කෙනෙක්.. හි හි...

    මේවා කියවද්දි ආයිත්, අපිත් ඔය වගේ ඇඹරිච්ච කාලෙට යන්න හිතෙනවා බොලං....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතක් වෙනවා ඇති පරණ කාලේ
      "මෙන්න තවත් එක්කෙනෙක්?"
      ඇයි "තවත්" එක්කෙනෙකුත් ඉන්නවද?

      Delete
  3. මරු ශෛලිය බං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්
      ජයවේවා !

      Delete
  4. උඹ හෙන වැඩ්ඩෙක් බන්..

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කිවුවාම අවුල් බන්
      ඇත්තමයි
      ජයවේවා !

      Delete
  5. "ආච්චිත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල."

    ඇයි බං..... ආච්චිගෙ මුනුපුරා එතකොට උඹ නෙවෙයිද?.... :D

    එල එල ....අර මහත්තයා කිව්වා වගේ කියලා දාන්න තමයි තියෙන්නෙ.....හැමදාමත් ඔහොම ඉඳලා බෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. මොකක් හරි පූරුවේ වාසනාවකට මේ කොමෙන්ට් එක දැක්කේ උදේ පාන්දරම
      ස්තූතියි අයියා !
      ජයවේවා!

      Delete
  6. අයියේ.. අර ගත්ත සෝස පාට පුළුන් පැකට් එකට මක්කැයි කළේ?

    ලියන විදිය නියමයි සහෝ. ජය!

    ReplyDelete
    Replies
    1. මේසෙ පිහදාන්න ගත්තා :)
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  7. එහෙනම් ඉතින් ඒකත් ජයශ්‍රි මංගලම් වෙයි නේද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් ඔව්වනං
      :) :)

      Delete
  8. කියන්න වචන නෑ...සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකියා
      ජයවේවා !

      Delete
  9. ඇත්ත කියපන්..ඔය උබේ ගමේ කෙල්ලෙක්ට ලියපු ලියුමක් නේද ...

    ReplyDelete
    Replies
    1. අනෙ නෑ මචං
      දෙයියම්ප නෑ
      අපේ ගමේ කෙල්ලො නෑ


      ජයවේවා !

      Delete
  10. කියලා වැඩක්නෑ මචන්.සුපිරි ලියමන.අම්මපල්ල ඔය කොල්ලට කියපන්කො මේක ලියුං කරදහියක ලියල ඒ ඇත්තිට දෙන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්ති මොනවා කොරයිද දන්නේ නෑ නේහ්?
      ස්තූතියි මචන් අදහසට
      ජයවේවා !

      Delete
  11. අයියේ,
    උඹ හැමදාම ඇවිත් කඩේ සිල්ලර බඩු ඉල්ලද්දි, මගේ දිහා බලාගෙන වචන තටමද්දි මටත් උඹ එන්නේ මොකටද කියාලා නොතෙරුනා නෙවෙයි මයෙ දෙයියෝ. මමත් උඹ කඩේට එනකම් බලාගෙන හිටියා. වෙන වැඩක හිටියත් උඹගේ සද්දේ ඇහිච්ච ගමන් මම කඩේ ට ආවා. අම්මා මට නොක්කාඩු නොකිව්වාමත් නොවෙයි, මම ඒවා කනකට ගත්තේ නෑ. උඹව නොදැකපු දවස් වල මට මහා පාළුවක් දැනුනා. අපේ ආච්චිත් කියනවා උන්දෑ වල පල්ලට යන්න කලින් මගේ දරු පැටියෙක්ගේ මූණ බලන්න ඕඅනි කියාලා.


    මම හැමදාම හිතාන උන්නේ උඹ අද මගෙන් අහයි, හෙට මගෙන් කැමැත්ත අහයි කියාලා. මාත් උඹත් එක්ක කූඩු වෙන්න බලාගෙන උන්නා. මහලොකු දෑවැදිනම් නෑ මගේ අයියේ, ඒත් මට අර සින්දුවක කියන්නැහේ උඹට බත් ටික උයලා දෙනා පුළුවන්, උඹ වැඩට ගියාට පස්සේ ගෙවල් දොරවල් අතුගාලා උඹැ එනක්ම් බලාගෙන ඉන්න තමයි මාත් හීන මැවුවේ. උඹේ ඔය මවිල් වලින් වැහුණු පපුවට තුරුල වෙලා ඉනවා මම දවස් කීයක් නම් හීනෙන් දැක්කද?

    ඒත් අර දවසේ.... මම මතක් කරන්න කැමතිම නැති දවස

    උඹ එදා ඇවිත් ගෑණු අපේ ලෙඩට අදින තුවා පැකට් එක ඉල්ලුව වෙලාව, .... මට හිනා ගියා තමයි, හැබැයි උඹ දන්නේ නෑ මම කොච්ච්‍ර හිතෙන් ඇඩුවද කියලා. මම හිතුවා උඹ සහේට ගෑනියෙක් ගෙනෙල්ලා කියලා, නැත්නම් උඹ කාට හරි බහ දීල කියලා. නැත්නම් උඹට මොකටෙයි ඒ ජාති. මම ඒදා ඇඩුව තරමක්. අම්මගෙනුත් මම හොද හැටියට බැනුම් ඇහුවා. එහෙම උනත් මම උඹව දකින්න ආසා කලා, ඒකයි මම උඹ එන හැම වෙලේම කඩේට් වෙල උන්නේ.
    ඒ වුනත් මගේ අයියේ, අම්මලා මට කටයුත්තක් බලලා, අල්ලපු ගමේ. මම ඒකට කැමැත්ත දුන්නා. මොකද මම ගෑනියෙක් ඉන්න කොල්ලෙක් ගැන හිත හිත ඉදලා වැඩක් නෑ කියලා තේරුනා. අපේ දීගෙත් ලබන බක් මහට තීන්දු කරලා තියෙන්නේ.
    උඹ පරක්කු වැඩි අයියේ, උඹ ටිකක් ඉස්සර වුනානම් අද මන් උඹේ ඔය පපුවට හේත්තු වෙලා ඉන්නවනේ
    මට සමාවෙයන් අයියේ

    මීට කඩේ හිටිය පොඩි නංගී

    (ඔපීසියේ වැඩ කරන ගමන් කෙටුවේ, උඹේ රචනාවනම් සුපිරියි මචන් )

    ReplyDelete
    Replies
    1. මචන්,
      අත්වැරදීමකින් මෙයට ලැබී තිබුණ රිප්ලයි ටික ඩිලීට් වී තිබේ
      කණගාටුව

      මට උඹව කන්ටැක්ස් කරගන්න විදියක් නෑ
      මෙම පනිවිඩය දැක්කොත් මැසේජ් එකක් දාපන් පුලුවන්නම් :)

      Delete
  12. උබ දිගටම ලියපං බං. කාලෙක වේලිලා යන්න නොදි.

    අළුත් තැන නිදහස් වගේ !

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම මතක් වෙන්නේ නෑ බං ලේසියකට ...කලාතුරකින් තමා මොකක් හරි කුජීත අදහසක්
      අලුත් තැනක් කියා එකක් නැත.තාම පරණ තැනමය :(

      Delete
  13. (y)
    මෙහෙම ලියුමක් යවනවද ඉතින් කාටහරි...??

    ReplyDelete
    Replies
    1. :)
      ඒක ඉතින් අර කොලුවම තමා දන්නේ
      ඌට එච්චර හයියක් තිබ්බොත් හොඳයි
      ස්තූතියි
      ජයවේවා !

      Delete