Apr 13, 2013

වල්මත් අහවල් ඇමතිතුමා අවුරුදු උළෙල


දේශමාමකත්වය ,ජාත්‍යාලය උත්සන්න වී ,තාපාංකයද පනින සේ උණුසුම් වූ  ඇඟේ සිංහල ලේ පයින්ට් දහය ගොජ ගොජ ගා නටන මෙවැනි යුගයක ,අතපය අකුලාගෙන සිටීම නොහොබිනා බැවින් "වල්මත්" [1] ;තරුණ සමාජය වශයෙන් අපිද අවුරුදු උත්සවයක් සංවිධානය කළෙමු.

ආරම්භයේදී  සිංහල ලේ  නැටූ ඇඟේ, මාළු නටන්නට ගත්තේ අයවැය වාර්තාවේ "අය" ශීර්ෂය රූල් දෙකක් වී , "වැය" ශීර්ෂයට තවත් ඇක්සයිස් පොතක් මිළදී ගන්නට වූ තැනය.
වෙනත් පිරිස් මෙහිදී පසුබා යා හැකි නමුත් "වල්මත්" තරුණ සමාජය එසේ නොවේ

වල්මත් අපේ පිහිටට ආවේ අහවල් ඇමතිතුමාය.එතුමානන්ගේ ශ්‍රී හෘදය වස්තුවෙන් පැන නැගී ශ්‍රී මුඛයෙන් පිටවූ පොරොන්දු ප්‍රකාරව අය ශීර්ෂය ඉහළ නැංවින.දැනට මාල ,මුදු උකස් තැබීමෙන් සහ ජනතා මුදල්වලින් රෝල ගැටගසගන්නා ලෙසට උපදෙස් දුන් එතුමාණෝ ,චෙක් පතක් ඉක්මනින් ලබා දෙන බව පැවසූහ.

"වල්මත් අවුරුදු උළෙල" "වල්මත් අහවල් ඇමතිතුමා අවුරුදු උළෙල" යනුවෙන් වෙනස් විය

වැය ශීර්ෂය ඉහළ නැංවිම සඳහා, ඇමතිතුමා ඉස්පොන්සර් වූ බව ප්‍රදේශ වාසීන්ට දන්වනු පිණිස ගැසූ කටවුට් 76 සහ පෝස්ටර් 5425 දරුණු ලෙස බලපෑවේය.පෝස්ටරයේ තිබුනු හිනා මුහුණු රොත්ත දුටු අසල්වාසීහූ එය, අවුරුදු උත්සවයේ "සිනාසීමේ තරඟය" නව මුහුණවරක්යැයි උපකල්පනය කොට අනීවාරතේ (නිකරුණේ ) සංවිධායකයන්ට එස්.එම්.එස් එවන්නට වූහ.මම කාන්තා අකුරු ඇති එස්.එම්.එස් වල ඉලක්කම් සේව් කොටගෙන ඔවුන් අමතා ඇත්ත තතු පහදා දුන්නෙමි

ගම හරහා දිවීමේ තරඟය "මඟ නැගුම හරහා දිවීම " විය.නමුත් මඟ නැගුම පාරවල් එකක් පසු එකක් (Continuous)  නැති නිසා එක මඟ නැගුමක් ඉවර වූ පසු සියලුම තරඟකරුවන් සිසු නැගුම බස්වල  පටවාගෙන ඊළඟ මඟ නැගුම පාර ආරම්භය තෙක් ගෙනයන ලදී.
තරගකරුවන් සියළු දෙනාම එකවර තරඟය අවසන් කිරීම උභතෝකෝටික ප්‍රශ්නයක් වූ අතර ඇමතිතුමා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.එසේම ඔවුන් සියළු දෙනාගේම කකුල් වල මුද්‍රා වී තිබුන මඟ නැගුම පාරවල්වල කොන්ක්‍රීට් දාර, රටේ සමුද්ධියේ සංකේත බවට සපථ කළ එතුමා තරගකරුවෙකුගේ යටිපතුල් ජනතාවට පෙන්නීමට ගොස් ,තරගකරුවාට මහ පොළොවේ තණකොළ පෙන්නුවේය.[2]


අලියාට ඇහැ තැබීමට සමතෙක් නොවීය.බොහෝ දෙනාගේ තර්කය වූයේ දැන් ඇහැ තැබුවත් අලියාගෙන් වැඩක් නැති බවය.
පොල්ගෑමේ තරගය හුදෙක් සාම්ප්‍රදායක රාමුවකට කොටු නොවී සම්මතයන් බිඳ හෙළමින් තරගයක් පමණක් නොව මැජික් සංදර්ශනයක් බවටද පත්විය.සාමාන්‍යයෙන් හිරමණයෙන් ගෑවෙන පොල් පහළ ඇති ප්ලාස්ටික් භාජනයේ එකතු වී තිබිය යුතු වුවත් එය මැජික් බලයෙන් තම තමන්ගේ කුස්සි වලට සම්ප්‍රේෂණය කිරීමට අගුණවතී,විකලාංගනී ඇතුළු මහිලා සමිතියේ සහ කුළගන සමිතියේ සාමාජිකාවෝ සමත් වූහ.

බිත්තර ඇල්ලීමේ තරගයේත් එක් අන්තයක සිට අනෙක් අන්තයට බිත්තරය ළඟා විය යුතු වුවත් ,කටුනායකට පැමිනෙන ගුවන් යානා මත්තලට හරවන්නාක් මෙන් එවාද මගින් හැරී වෙනත් අන්ත කරා ළඟා වන්නට විය.බිත්තරවලට රාජ්‍ය ආරක්ෂාව යෙදුවත් ආරක්ෂා නොවුනේ ,වෙන කිසිවක් නිසා නොව යෙදුවේ රාජ්‍ය ආරක්ෂාව නිසාය.

සිරිත් පරිදි ප්‍රශ්නයකින් තොරව බැලුම් පිපිරවීමේ තරගය පැවැත්වුන නමුත් එය ඉතා ඉක්මනින් අවසන් වූයේ රතිඤ්ඤා වැලක් මෙන් බැලුම් ටික පුපුරා යාම නිසාය.බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන් ,එම තරඟකරුවන්ද හුළං බී ජීවත් වෙන නිසා බැලුමට පිඹීමට ඇති තරම් සංචිතගත (stored ) හුළං තිබිණ.


වෙනත් අවුරුදු උත්සවවල කෙතරම් උද්වේගකර ඉසව්වක් වුවද,සාමාන්‍යයෙන් අසාමාන්‍ය වූ අපේ අවුරුදු උත්සවයේ  "කනා මුට්ටි ගැසීමට" ලැබී තිබුනේ අඩු සැළකිල්ලකි.හවස් වනවිට වළං ටික ගෙවල්වලට පටවා ගැනීම පිණිස ඒවා නොබිඳී නොකැඩී පවත්වාගැනීමට, පහුගිය මහිලා සමිති මහ සභා රැස්වීමේදී යෝජනාවක් සම්මත වූ බව ආරංචි වූ බැවින් එම කුමන්ත්‍රනය පරාජය කිරීමේ අරමුණින් "වල්මත්" අපි උපායක් යෙදුවෙමු.කළේ වළං සියල්ලේම "හලාල්" කියා ලිවීම පමණි.

මුලින් අප සිතුවේ රෙද්ද අස්සෙන් පේනවා ඇත කියාය
නැත
ඊළඟට සිතුනේ බාහිර බලවේගයක ආධාර ලැබෙනවා ඇත කියාය
නැත
මනුෂ්‍ය ප්‍රාණීන්ගේ දෘෂ්ඨි සීමා අතික්‍රමනය කරමින් ,දෑස් වසා ඇති කඩතුරා බිඳහෙළමින් මුට්ටි එක එක කඩා වැටෙන්නට විය.බිම වැටුණු මුට්ටි කෑලි වලට පවා පහර දීමට අහළ පහළ සිටි උදවිය පවා එක්සත්ව එක්සිත්ව රොද බැන්දාහ.



ගමේ කොලු ගැටයන් 15කට එරෙහිව පැවති කඹ ඇඳීමේ අවසන් මහා තරඟයෙන් ජය ලැබුවේ ඇමතිතුමාගේ ගරු පුත්‍ර රත්නය ,එතුමාගේ හොඳම යාළු රත්නය සහ පොල් ගසකි.
කඹය පොල් ගගේ ගැට ගසා තිබුණි
තාල වර්ගයේ ගසක් වන පොල් ගසේ මුදුන් මුලක් නැති වුවද ,එය හා පොළව අතර ඇති බන්ධනය ශක්තිමත් වන අතර 15 දෙනෙකු එකතු වී කඹයකින් ඇදීමෙන් උදුරා දැමිය නොහැක .



මේ හැර අනෙකුත් සාම්ප්‍රදායික ඉසව් සාම්ප්‍රදායික අයුරින් පැවැත්වුනු අතර නව ඉසව් අතරින් "facebook status update" ඉහළ ස්ථානයක් දිනාගන්නා ලදී.
@අවුරුදු උත්සවය
@ලිස්සන ගහ මුදුනේ
@කොට්ට පොර තරගයේ ගුටි කමින්

හවස් යාමයේ ප්‍රතිපල නොලැබුනු තරග අතර "සැඟවුනු අමුත්තා සෙවීම" විය.වඩාත් ලේසිම ඉසව්ව එය විය හැකි වුවද කවුරුන් හෝ ඔහු සොයා නොගැනීම "වල්මත්" අපි වල්මත් කරන සිදුවීමක් විය.වාතයක් යැවීමෙන් හෝ තම නම තබා ගැනීමට සමත් ඇමතිතුමා "සැඟවුනු අමුත්තා" යයි හඳුනාගැනීමට නොහැකි බූරුවෙක් මෙහි සිටිය නොහැක. 
සැඟවුනු අමුත්තා අපිටත් නොකියා සැඟව ගොස්ය.
එය අවුරුදු උත්සව තරඟ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව පැවසූ "වල්මත්" සභාපති තුමා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළේය.එයින් ලැබුණු තොරතුරු අනුව හෙළි වූයේ ගරු ඇමතිතුමාගේ චෙක් එකද අගරු (රිටන්) වී ඇති බවය.
අහළ පහළින් ඉල්ලා රෝල ගසා ගත් මුදල් සිහිවිය
සැඟවුනු අමුත්තන් ගණන වැඩිවිය [3]







[1] මෙහි "වල්මත්" යන්නෙහි තේරුම වල්මත් නොවන අතර,එය "මල්වත්" (මල් වැනි මුහුණු ) යන්නයි.
[2] පතුල පෙන්වීමට යාමේදී තරගකරුවාගේ ශරීරය ඇලවී ඔහුගේ මුහුණ පොළොවේ ගෑවිනි
[3] ඇමතිතුමා සහ වල්මත් තරුණ සමාජය





සුබ අලුත් අවුරුද්දක් වේවා !

Share:

10 comments:

  1. ඔය කොරලා තියෙන්නෙ යස අපූරුවට.. තව වෙන මොනවද !!

    ගැටයට සුබ අලුත් අව්රුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. නැතුං නැතුං
      ආයෙ කියන්න දෙයක් නෑ
      එසේම වේවාඅ සෙන්නෝ
      ජයවේවා

      Delete
  2. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා නලින් අයියා
      ජයවේවා !!

      Delete
  3. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වෙවා සැමියෝ
      ජයවේවා
      (බයි ද වේ පට්ට ආට් එක ඕයි )

      Delete
  4. වෙනස්ම විදියේ අපූරු ලිපියක්
    ඔබට සුභ අලුත් අවුරුද්දක් සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්
      එසේම වේවා උඹටත්
      ජයවේවා

      Delete
  5. කවියෙන්ම දුන්නනං මරු

    ReplyDelete
  6. නියමයි ගැටයා. අපූරුවට ගලපලා තියෙනවා....
    අවුරුදු කුමාරියෙක් එහෙම තේරුවෙ නෑ ????? ;)

    ReplyDelete