Jun 15, 2013

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි ) දෙවැන්න




දෙනෙත් දෙසවන් දෙනාස්පුටු වලින් උකහාගෙන ආත්මයටම කාවැදී සවිවුනු මතකයන් වලට නැවත නැවතත් උඩු හිත තෙරපන්නට අස්වැසිල්ලක් ලබා දෙනු පිණිස වූස් වලේ සිමෙන්ති පොළොවේ මඳක් හිදගෙන සිටිමු.නැවත අරඹන ගමනේ මඟ ඇදී ඇත්තේ ජවය,ශක්තිය,ජයඝෝෂා හරහාය.
~විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටි~
රගර්,ක්‍රිකට් පිට්ටනි පසු කරමින් අපි අමුතු නුහුරු ස්ථානයකට සමීප වෙමු.සාමාන්‍ය හැඩයේ ධාවන පථයක්.විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වීමට සුදුසුකම් ලෙස හැඩය,දුර ආදිය ඉදිරිපත් කළ නොහැකි වුවද මීළඟට කියන්නට යන කාරණය අනිවාර්යයෙන්ම එම අවශ්‍යතාවය සපුරනු ඇත.ධාවන පථය කලු පැහැතිය.ඒ එමත අතුරා ඇති ගල් අඟුරු නිසාය.ගල් අඟුරු මත දිවීමේදී සාමාන්‍ය ධාවන පථයකදී ඇති කරන ඝර්ෂණයට වඩා වැඩි ඝර්ෂණයක් කකුල් මත ඇති කරවන හෙයින් ධාවනය අපහසු විය හැක.ඒ අපහසුව දුවන විට පමණක් ඇති වුවද සපත්තු නැතුව දිවගියහොත් කාලාන්තරයක් පවතින අපහසුතාවයක් හිමි කරගැනීමේ වාසනාව ලැබෙනු ඇත.



ධාවන පථයේ සිට පස් කන්දියකින් එතෙරව පාරට ගොඩවූ කල්හී ඉතා නුදුරින් පෙනෙන තවත් විශේෂ
ස්ථානයකි,අල්විස් පොකුණ.



පොකුණ අල්විස්ගේ වුවද,පොකුණ පමණක් නොව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම ගොඩනැගිලි අල්විස්ගේය.

ෂර්ලි දි අල්විස් මහතා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියා.

මතක තබා ගත යුතු නමකි.අණ්ඩයන්ගේ මෙන්ම අණ්ඩ කඩාගත්තවුන්ගේද පින් මෙතුමාටය.ඒ ගැන පසුවට.
අල්විස් පොකුණින් ආපසු හැරී අපි තාර පාර දිගේ ගමන් කරමු.මීලඟ නවාතැන් පොළ හමුවන තෙක් කීමට හොඳවායින් දෙක තුනක් ඇත.සිදුවී ඇති ස්ථාන හරිහැටි නිච්චි නැති මුත් මේවා ඇත්තටම සිදුවී තිබේ.
ඉන් එකක් බොහෝ කලකට පෙර පිරිමි නේවාසිකාගාරයකින් ඉදිරිපත් කර ඇති පහන් කූඩුවක් ගැනය.කෙතෙකුත් දැක ඇති උණ බට සැකිල්ල වසා ගත් පාට පාට සව් කොළ පදාස වෙනුවට නව චින්තනයක් අනුව යමින් මේ පිරිස, කාලයක් පාවිච්චි කළ (නොසෝදා ඇති වග අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමු ) සරමක් ඉදිරිපත් කළහ.අපූර්වම දෙය නිර්මාණය නොවේ.ඊට යොදා තිබුණු නමය

"පැටව් අසූහාරදාහේ පහන් කූඩු රාජයා"

(තේරුම් ගත නොහැකි පිරිමි දරුවන් පමණක් වෙනම අමතන්න.නැවත කියමු.පිරිමි දරුවන් පමණක් )

අවුරුදු ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන දන්සැලක් පිළිබඳවද ජනප්‍රවාදයක් පවතී.

"__ වතාවටත් පවත්වනු ලබන මහා අඹ දන්සැල" 

දැන්වීම දකින පිරිස් කොයි කලෙක,කිසිම දිනෙක නොඇසූ,නොගිය අමුතුම තාලේ දන්සැලෙන් අඹ කනු පිණිස ඊතල ගසා ඇති පාර දිගේ එක දිගටම යති.කතාව ඇත්තය.දන්සැල දෙන පිරිසගේ දෙමාපියන් සිහිකළ යුතු නොවේ.
අන්තිම ඊතලය ඇත්තේ අඹ ගහකටය.
අඹ කඩාගැනීමට කවුරුත් සල්ලි ගෙවන්නේ නැත.එම නිසා දන්සැලකි.

තුන්වැන්න අල්විස් පොකුණේ සිට අප මේ යන දිශාවට විරුද්ධ දිශාවට මද දුරක් ඇවිද ගිය විට පෙනෙන ,දුම්රිය පාරක් අසල පිහිටා ඇති විජේවර්ධන කාන්තා නේවාසිකාගාරය ගැනය.වර්තමානයේ කාන්තාවන් අරක්ගෙන සිටියද ,එංගලන්තයේ එළිසබෙත් මහ රැජිණ ජේ.ආර් එවකට ජනාධිපතිතුමා සමඟ විජේවර්ධන ශාලාව ළඟින් දුම්රියෙන් යාමට කලින් කොල්ලන්ගේ රජදහනකි.එළිසෙබත් රැජිණද කාන්තාවක් හෙයින් කාන්තාවන් කෙරෙහි අනුකම්පාවෙන් එම හුවමාරුව කර ඇතැයි සිතන ඔබට වයර්ය.
මඳක් සිතන්න
හොඳ පරම්පරාවකින් පැවතෙන ලොවකට අණ දුන් කාන්තාවක් තුන්වැනි ලෝකයේ රටක චමත්කාරජනක පරිසරයක් විඳිමින් යන අතරතුරදී ඇයට ,ගස් වැල් කඳු හෙල් දිය වැල් මැද ,තට්ටු හතරක ගොඩනැගිල්ලක ජනේල තුළින් කාලවර්ණ පශ්චාත් භාග මාලාවක් දර්ශනය වුවහොත්?ඔව් විජේවර්ධනයේ වීර ධීර පුතුන් එම පුණ්‍ය කර්මයේ ආධාර පත්‍රයට නොමසුරු ආධාර ලබා දුන්හ.ඒ පුණ්‍ය කර්මය සඵල වීමෙන් ජේ.ආර් ගේ අණින් රෙදි මළු පොදි බන්දවා වෙන නේවාසිකාගාරයකට යවනු ලැබූහ.

හොඳවායින් තුන අවසන් වෙද්දි මේ දිස් වන්නේ ශාස්ත්‍ර පීඨයයි.

දිවට දැනෙන පිපාසය,පේරාදෙණිය බැලීමට ඇති පිපාසයට වැඩිනම්  ,මේ අසලම පිහිටා ඇති ,කෘෂිකර්ම පීඨයෙන් පවත්වාගෙන යනු ලබන කිරි අලෙවි සැල ඔබට සහය පිණිස යමක් කරනු ඇත.
ඔබට යමක් අවශ්‍ය නැත්නම් කෙලින්ම ඒ.ටී එක බැලීමට යා හැකිය.ඒ.ටී (AT) යනු ආර්ට් තියටර් (Art Theater ) යන්නෙහි කට හුරු යෙදුමයි.පොත් එළිදැක්වීම්,දේශන ,වාද විවාද ආදිය වෙනුවෙන් කැපකළ ප්‍රෞඩ ගොඩනැගිල්ලකි මෙය.



එය විඳීම උදෙසා ඇතුලටම යා යුතුමය.පෙර දවස මෙතුළ ,දේශනයක් පිණිස පැමිණෙන පුද්ගලයෙකුට එක පිට එක අභියෝග එල්ල කරමින් විවෘත සංවාද ඇති කරන සංස්කෘතියක් තිබුණද දැන්  තත්වය එසේ නොවන වග ,එසේ බැට කෑ දේශකයෙක්ම පවසා තිබේ.
සංවාද කෙසේ වෙතත් දැන් අවශ්‍යනම් කාට හෝ ආධාර පිණිස පැවැත්වෙන චිත්‍රපටියක් රස විඳිය හැක.දෙමළ චිත්‍රපටියක් නම් ,පැය තුනාමාරක රූප පෙළට අමතරව,පැය හයක පමණ විස්ල්  හා හූ හඬවල් මැද.
මෙතැනදිම තවත් පුදුමයක් ගැන කතා කිරීම සුදුසු යයි හැඟේ.අක්කර එක්දහස් අටසියයක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරමක රවුමක් ගසා පැමිණෙන (අපි මේ යන රවුම මෙන්) ඔබට නොඅනුමානයෙන්ම ඇස ගැටිය නොහැකි (සාමාන්‍ය වචනයෙන් "මීටර් නොවන" ) යමක් තිබේ.මේ භූමියේ කිසිම තැනක උඩින් ඇද ඇති විදුලි රැහැන් නැත හෝ ඉතා අඩුය.අණ්ඩයන්ගේ ජීවිත ආළෝකමත් කරන මේ පින් බිමේ ඉර නැති රාත්‍රියේ ආළෝකය පතුරන්නේ භූගත විදුලි රැහැන් පද්ධතියක් මඟිනි.කෙසේ වුවද පුදුමයේ රඟ දැනෙන්නේ අලුත්වැඩියාවක් කිරීමට සිදුවූ විටය.

ඒ.ටී එක එහායින් වැටී ඇති අතුරු පාරකින් අපි ඇතුළට යමු.මේ පාරේ තාරකා දොරටුවක් පිහිටා ඇත.ඇසි පිය හෙළන ක්ෂණයෙන් පේරාදෙණියේ සිට පොළොන්නරුවට යා හැක්කේ එහෙයිනි.පහළින් ඡායාරූපයක් ඇත.එම ස්ථානය පොළොන්නරුව වූයේ කෙසේදැයි අවබෝධ වනු ඇත.මේ ගල් කණු මතක තබාගන්න.
(ඡායාරූපය පරණය.කෙල්ලන් දිගට ඇඳ ඇත්තේ එහෙයිනි.නොමඟ නොයන්න )

පොළොන්නරුව පසු කොට ඉදිරියට ඇදෙන අපි ප්‍රෞඩත්වය යන වචනයේ තේරුම වටහා ගැනීමට සැරසෙමු.ඒ කරා එළඹිය යුත්තේ ලංකාවේ දක්නට ලැබෙන විශාලම එක ලෙසද සැළකෙන සඳකඩ පහණක් හරහාය.
ලෝවාමහාපයේ කණු සිහිකරවන,ඇම්බැක්කේ ලී කැටයම් සිහි කරවන ගෘහ නිර්මාණ ශිල්පීය විස්කම් රිසි සේ බෙදන සිමෙන්ති ,ගල් වැලි වලින් තැනුනු හෙයින් අජීවි විය හැකියයි සිතුනද,අවුරුදු ගණනාවක් පුරාවට හුස්ම ගනිමින් අණ්ඩයන්ටද හුස්ම පොවමින් ජීවමානව නැගීසිටින තුන් මහලින් සැදි  සරසවි පාය,

සනාතන මන්දිරය (senate Building )

(හැට ගණන්වල ගන්නා ලද්දකි.දැන් එක පැත්තකින් තවත් කොටසක් අමුණා ඇත )


    දැන් පෙනුම

මෙම ගොඩනැගිල්ලත් පුදුම අටෙන් එකක් බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතේ.නම සනාතන මන්දිරය වුවද යම් කාලවලදී එය "සනාතන නේවාසිකාගාරය" බවටද පෙරැළී ඇත.විශ්ව විද්‍යාල පරිපාලනයට එරෙහි ශිෂ්‍ය සටන් බොහොමයක් මෙම මන්දිරය උපේක්ෂාවෙන් විඳ දරා සිටී.කණුවල කළු කොඩි ,බැනර් එල්ලාගෙන සිටින්නේද ඒ උපේක්ෂාවෙන්මය.මක් නිසාද යත් විරෝධතා ගොඩනැගිල්ලට එරෙහිව නොවන හෙයිනි.
මේ මන්දිර සංකීර්ණයේම තිබෙන මහල් හතකින් යුත් පුස්තකාලය ඇතුළට යමු.එහි දොරටුව අසල රැකවල් ලා සිටින සිකියුරිටි මහතා අපෙන් යමක් ඉල්ලයි.
"විශ්ව විද්‍යාල හැඳුනුම් පත"
නැත අප අණ්ඩ කඩාගෙන අහවරය.ඇතුල්වීම අණ්ඩයන්ටය.තමන්ගේ ගෙදරට තමන්වත් වැද්ද නොගන්නා තත්වයකට අපි පත්වෙමු.
හීන් සීරුවේ මාරු වීම හැර වෙනත් දෙයක් නොමැති හෙයින් අපි ඊළඟ පුදුමය දකිනු පිණිස යමු.නැවතත් මුලින්ම ගමන් ගත් තාර පාරටම.ඒ පාරෙහි මේ අංශක අනූවක්ම ඇති වංගුව රසවත් අතීතයක් සිහි කර දෙයි.නමින් "කිස් බෙන්ඩ්" ය (Kiss Bend ) සිංහලෙන් හාදු වංගුව යයි කිව හැක.
බොහෝ ජනප්‍රවාද ඇතත් එකක් පවසන්නම් ,මේ නම පිළිබඳව.හරි කතාව නොදන්නා හෙයින් තතු දත්තෝ පහදත්වා !
මුල් කාලයේ කාන්තා නේවාසිකාගාර සියල්ල පිහිටා තිබී ඇත්තේ කිස් බෙන්ඩ් එකෙන් පසුව එළඹේන භූමියෙහිය.හවසට සිය ප්‍රේමවන්තිය නේවාසිකාගාරයටම ඇරලන්නට නොහැකිව ලතැවෙන ප්‍රේමවන්තයා සිය අවසාන කිස් එක දී ,ඇය සනසා පිටත් කොට ඇත්තේ මේ කිස් බෙන්ඩ් එකේදීය.
(නැවතත් කියන්නේ මෙය ජනප්‍රවාදයක් වගය)
තවමත් විජේවර්ධන ශාලාය හැරුණු කොට ඉතිරි කාන්තා නේවාසිකාගාර සියල්ල කිස් බෙන්ඩ් එකෙන් පසු පිහිටා ඇත.සිය ප්‍රියාවිය හැරයන ප්‍රියයාට කිස් බෙන්ඩ් එකේදී වේදනාව හිස් මුදුනින් දැනුනද ,අපට ඒ වෙනුවට හිත් පොපියන,ලේ නලියන ප්‍රහර්ෂයක් දැනෙන්නේ අපගේ ප්‍රියාවිය මුණගැසෙන්නේ කිස්බෙන්ඩ් එකෙන් පසුව වීම නිසාය.
බොහෝ මනුෂ්‍ය ජීවිතවල හුස්ම පොද පවා සිරකරවන සුළු,රෝමෝද්ගමනය (මයිල් කෙලින් වීම ) සිදුකරවන මරණ මංචකයේදී පවා සිහිවන,මුවට හසරැල්ලක් නංවන තාලයේ චිත්තාකර්ෂණීය අත්දැකීම් තිබේ.

ඔබ ඉදිරියේ ප්‍රහර්ෂය නළිය නළියා එළියට පනින්නට දඟලන නෙත් දහස් ගණනකි.
දෙකන් තුළින් ඇතුළුව මොළය නොව හදවත විනිවිද යන අත්ල දහස් ගණනක් එකට ගැටීමෙන් ඇසෙන කන්කළු නාදයකි.
ඔබ හෙළු දහඩිය,කඳුළු, සුසුම් මොහොතකට නතරව ,ඔබගේ හදවත තවත් හදවත් දහස් ගනන් හා යාවී ආත්මගත බන්ධනයක් ඇතිවන්නේ මෙතැනදීය.
මෙතැනදීම පමණි.
මේ පුණ්‍යවන්ත කොන්ක්‍රීට් ලෑල්ල මතදීම පමණි
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය.
කටට හුරු වචනෙන් "වල"

ඇම්පිතියට(ර්) (Amphitheatre) ආකෘතියට අනුව භූමිය නිර්මාණය කළ,එක්දහස් නවසිය පනස් අටේදී සරච්චන්ද්‍ර මැතිදුන්ගේ "මනමේ" රඟදැක්වීමේන් ඇරඹි චමත්කාර ගමන ගැන කතාව ඇසීමට කවුරුත් අහළ පහළක නැති හැන්දෑවක පැමිණ ගල් පඩියක් මත හිඳගෙන සිටීම පමණක් සෑහේ.සිංහබාහු මුල්වරට රඟ දක්වා ඇත්තේත් මෙහිදීය.මුල්ම වේදිකාගත කිරීමේදී ඇද හැළෙන්නට වූ ධාරානිපාත වර්ෂාව මැද වලේ වේදිකාවේ රවුම් රවුම් ඇවිද ගිය සිංහයා දෙතුන් වතාවක්ම බිම ඇද වැටී තිබේ.ඒ පළමු සිංහයාම (මාක් ඇන්තනී ප්‍රනාන්දු ) සිංහබාහුට වසර පනහක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සැමරුමේදී ලෙන් දොර හැර දමා ඇති අයුරු දැක කුපිතව වේදිකාව මත රැඟුවේය.
විශ්වාස කරන්න
ඒ වෙලාවේත් මහ වැස්ස
නලුවා පමණක් නොව ප්‍රේක්ෂකයෝද එක හැල්මේ තෙමුණහ.
නමුත් සිංහයා වැටුනේ නැත

වල ඔහුට වැටෙන්නට දුන්නේ නැත
චමත්කාරය එයයි.
සිංහල වේදිකා නාට්‍යවල "ස්ටෑන්ඩඩ්" එක චෙක් කරන ස්ථානය බවටද වල සැළකූ කාලයක්  තිබිණ.යම් නාට්‍යයක් හූ සද්දයක් නැතිව වලේ පෙන්නිය හැකිනම් එය ලංකාවේ ඕනෑම තැනක පෙන්විය හැකියයි කියැවිණ.

දැන් තත්වය කෙසේ දැයි විමසා බැලිය යුතු වුවත් තවමත් වේදිකා නාට්‍ය ශිල්පීන්ගේ හීනයකි,එක් වරක් හෝ වලේ රඟපෑම.ඒ හා සමාන සිහිනයකි වලේ එක්වරක් හෝ නාට්‍යයක් බැලීම.නෙළුම් පොකුණට එකෙක් ඇතුලු කිරීමට යොදන මුදලට, "වලට" නඩයක්ම රිංගවිය හැක.අඩුම් ටිකට් එක රුපියල් පනහකි.උස පැනීම,තුන් පිම්ම,දුර පැනීම ගැන යම් හෝ පරිචයක් ඇත්නම් දෙවැනි සීනුවට ප්‍රේක්ෂකාගාරය අඳුර වන මොහොතේම ක්‍රියාත්මක වී එකසිය පනහට ,අවශ්‍යනම් ඊට වැඩි කොටසට හෝ පැනීමේ හැකියාව ඇත.ටිකට් එක ගැන කවුරුත් විමසන්නේ නැත.විමසුවොත් ඔබ ගැන ඔබම බලාගන්න.

නාට්‍යය පමණක්ම නොව ඉඳහිට අමුතු තාලයේ දෙවල්ද එළි බහිනු පෙනේ.මේ අප අණ්ඩ කඩාගත් පසු ඉංජිනේරු පීඨ කලා කවයෙන් විඳින්නට සැළස්වූ සංගීත අත්දැකීමක අවස්ථාවකි.

මීළඟට අණ්ඩ තිබුණු යුගයේ එළි දැක්වූ නාට්‍යය තුනකින් එකක ඡායාරූපයක්ද අමුණන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඉරිසියාව නිසාය.

දැන් අපි අපහසුවෙන් වුවද වලෙන් නික්මෙමු.වලත් පුදුම අටේ ලැයිස්තුවල අයිති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නැවතත් පුරුදු තාර පාරට.අණ්ඩ ජීවිතයේ තුන වසර ගතකල ජේමිස් පීරිස් ශාලාවත් රෑ බත් වේල් පිළියෙළ කරගැනීමට තරම් ස්වයංපෝෂිත තත්වයක සිටි හෙයින් ,කෑමට අවශ්‍ය පොල් හාල් ගැනීමට ගිය හිල්ඩා ඔබේසේකර කාන්තා නේවාසිකාගාරයත් පසු කරමු.ඈතින් පෙනෙන්නේ සංඝමිත්තා කාන්තා නේවාසිකාගාරයයි.තනියම යන කෙල්ලන්ට හෝ ජෝඩු වලට විස්ල් ගැසීම ,කිණ්ඩි දැමීම නොකළ යුතු වගට පේරාදෙණියේ නීතියක් තිබේ.නමුත් කොල්ලන්ට විස්ල් ගැසීම ,කිණ්ඩි දැමීම වැළක්වීමට පණත් සම්මත වී නැති හෙයින්,මිත්තා ශාලාව පසු කරමින් ,අසනීපයකට බේත් ගැනීමට හෙල්ත් සෙන්ටර් එකට තනි පංගලමේ යන කොල්ලෙක්ට නොයෙක්  ශබ්ද ඇසීමේ හැකියාව තිබේ.අපේ ගමන් මග ඒ හරහා වැටී නැත.
ටිකක් දුර නමුත් ආකර්ශනීය මාර්ගයකට අපි දැන් හැරෙමු.තෙත් කලාපීය වනාන්තරයක් තුළට ඇතුලට ගමන් කරන වගක් සමහර විට ඔබට සිතෙනු ඇත.මේ ප්‍රදේශයේ නේවාසිකාගාර කීපයක් හැරුනු විට ,විශ්ව විද්‍යාලයේ පන්සල,කෝවිල ,කතෝලික පල්ලිය,ක්‍රිස්තියානි පල්ලිය,මුස්ලිම් පල්ලිය යනාදිය පිහිටා තිබේ.ඒවා රිසි සේ නරඹමින් ඈතින් පෙනෙන හන්තාන කඳුවැටිය දෙසටද විටින් විට නෙත් හෙළමින් මේ දීර්ඝ මාර්ගයේ ගමන් ගනිමු.කෙළවර වඩාත් උසින්ම පිහිටි නේවාසිකාගාරයට එළඹෙමු.පුදුම ලැයිස්තුවට ඇතුලත් නොවුනද මෙහි ඒමට විශේෂ හේතුවක් තිබේ.ඉතා මෑතදී ඉදිකළ මේ විශාල ශාලාව නම් කර ඇත්තේ පේරාදෙණියේ මැවිසුරුවන් මෙන්ම පළමු උපකුලපති තුමාද වූ උත්තම පුරුෂයාගේ නමිනි

                                                       සර් අයිවෝ ජෙනින්ග්ස්

මහන්සිය නිවාදැමීමට තේකක් බී අපි මේ නේවාසිකාගාරේ ඉහළ මහලටම ඇදෙමු.එහි සඳළුතලයකට.
මෙය අපගේ දීර්ඝ එහෙත් වින්දනීය ගමනක අවසානය වනු ඇත.
සදාකල් හදවත් පතුලේ තැන්පත් වන මතකයන් සමුදායකින් අපි ගැබ්බරව සිටිමු.අණ්ඩ කැඩීමෙන් පසු යම් දුරස් බවක් ඇති වග හැඟුනද,අණ්ඩ කඩා දැමීම පිණිස උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති තුමා විසින් ගෙලට දැමූ මාලය ,තොන්ඩුවක් ලෙස දැනුනද, ඒ මතකයන් අපේ සිත්වලින් බැහැර කිරීමට කිස්සේත් නොහැකි වග අපි දනිමු.
ආයුබෝවන් පේරාදෙණිය සරසවිය !
මදක් සිටින්න.....
ඔබ විමසිලිමත් පාඨකයෙකුනම් මේ මොහොතේ යමක් සිහිවනු ඇත.මාතෘකායේ පුදුම අටක් ගැන කියවුනද මෙතෙක් මේ ලියවිල්ලේ ඇත්තේ හතක් ගැන පමණි.පේරාදෙණිය ගැන දන්නා පිරිස් එහි පුදුම අටක් නැති වගට තර්ක කරනු ඇත.කෝ අන්තිම මෙන්ම ලොකුම පුදුමය?
යාළුවා,
තව ටිකක් සඳළුතලෙන් එළියට එබෙමු.
පැත්තකින් හන්තානෙනිත් තව පැත්තකින් මහවැලි ගඟෙනුත් රැකවල් ලාගෙන සිටින 
මේ හුස්ම ගන්නා ජීවමාන ගොඩැනැගිලි
හදා වඩා පෝෂණය කෙරෙන ගස් වැල්
ජීවිතයේ සුන්දරම කාලය ගෙවන අණ්ඩයන්
පේනවා නොවේද?
මෙතරම් පුදුමයන් ,විශ්මයන් සමූහයක් රඳවා සිටින නුඹම නොවේද
ලොකුම පුදුමය?
පේරාදෙණිය සරසවිය !



ප.ලි

1) මේ ලියවිල්ල රචකයා විසින් අසා ඇති දැක ඇති කරුණු කාරණා වලින් ලියා ඇත.සමහර දේවලට ඔබට එකඟ නොවී සිටිමේ හැකියාවද තිබේ.උදාහරණයක් වශයෙන් සමහර පීඨවල පුදුම හතේ ලැයිස්තුව වෙනස් වීම සැළකිය හැක.අඩුලුහුඬුකම් පෙන්වාදීමත් කුමන හෝ ප්‍රතිචාරයක් දැක්වීමත් ඉහලින් අගය කෙරේ
2) බොහෝ ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.හැකි සෑමවිටම මුල් හිමිකරුවාගේ අයිතිය සුරක්ෂිත කර ඇත.

Share:

20 comments:

  1. අගේ ඇති සටහනක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා
      ජයවේවා !

      Delete
  2. Replies
    1. මේ ළමයට හිනා
      අපි මේ ඇඬිලා ඉන්නවා
      ඒත් කමක් නෑ ජයවේවා !

      Delete
  3. නියම පොස්ට් එක ඈ... නිකන් මම පේරා කැම්පස් ගියා වගේ අප්පා ...
    මරු පේරගැටේ .

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඈ
      දවසක යමන් බන් ඇත්තටම
      පේරයි ගැටයි දෙකම එළ නොවැ ඉතින්
      ජයවේවා !

      Delete
    2. යන්න ආසයි ..දැන් පරක්කු වැඩි බං ...

      Delete
    3. සදහටම ඉන්න නෙවේ බන්
      ට්‍රිප් එකක් වගේ එකක්

      Delete
  4. @ ගැටයා
    අන්ඩකැඩීම අවසන් වී ඇති නිසා කඩිනමින්ම පස්තාච්චි කුපාඩි සමයක් එළැඹේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. ඕනෑ කරන පස් තාච්චි පීඨයේ නැතිමුත් තාච්චි මෙහෙන් ගෙනිහින් හෝ පස් පුරවාගත යුතුය..
      ස්තූතියි කකා :)

      Delete
  5. ඉතාම ලස්සන පරිසරයක්......
    මම කවදත් ආදරේ කල ඒ පරිසරයට.... ගහකොළට..... මම නම් ඔය කියන තැන් ඔක්කොටම වගේ ගිහින් තියෙනවා.....
    මතක් කරලා දුන්නට ස්තුති....

    ReplyDelete
    Replies
    1. කතාවේ විදියටනම් අණ්ඩක් තිබිලා ඒක කඩාගත්තු කෙනෙක් වගේ..
      ඔව් මතක් කරලා දුන්නට ස්තූතියි කියලා කිවුවට අමතක වෙලානම් නැතුව ඇති නේද?
      ජයවේවා !

      Delete
    2. හි හි හි...
      මම හිතන්නේ නැහැ ඒ කතාව ඇත්තක් කියල ..

      Delete
  6. මේ ආත්මයේ යාගන්න බැරි වුනාට, ලබන ආත්මේ මම අනිවා පේරා එනවා එනවා එනවාමයි..

    උඹේ වචන වලට මට පිස්සු හැදිලා ඉන්නේ මචන්.

    ReplyDelete
    Replies
    1. එතකොට මම ආත්ම ගානක් පලිසන් දෙන පින් කමක්ද කරලා තියෙන්නේ..
      ඔව් බන් යමන් අපි දෙන්නම
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  7. මරේ මරු.සුපිරි.අපිත් නිකන් ගියා වගේ.

    ReplyDelete
  8. niyamay malli kalekin campus eka wate raumak giya wage,

    ReplyDelete
  9. හිල්ඩා එකේ බටු ගහ මැරිලද ?

    ReplyDelete
    Replies
    1. දුක් නොවන්න. එක ගසක් මැරෙන විට තව ගස් උපදී.

      Delete
  10. මාත් අනිවාරෙන් ම යනවමයි.

    ReplyDelete