Mar 22, 2014

How Is My Driving ? | හව් ඉස් මයි ඩ්‍රයිවින්(ග්) ?

මින් පෙර ලියූ පරිප්පු හොද්ද කතාවට සම්බන්ධයි.එතනට ගිහින් එන එකත් හොඳයි



"අඃ .ඔව් මචන් බුදු පිළිමෙ ගාවින්..ඔව් දකුණට..ඔව්..කොච්චර දුරද..හැතැක්ම?..SI යුනිට්ස් වලින් කියපන් බන්.මට හැතැක්ම තේරුමක් නෑ...."

ට්‍රබල්සූට් එක අතකින් ෆෝන් එකක් කනේ තියාගෙන,අනිත් අතින් වාහනේ රේඩියෝ එකේ සද්දෙ අඩු කරන ගමන් ,තවත් අතකින් ෂටර් එක පාත් කරන්න දරුණු උත්සාහයක නියැලිලා ඉන්නවා.ඔව් තව අතක් තිබුනෙ නෑ .ඒක තමයි මිනිහට කේන්ති යන්න ඇත්තෙ.


"කියන එකක් තේරෙන්න කියහන්කො බන්.කළුවර වැටෙන්න කලින් පාර හොයාගන්න"



"මචෝ ..මචෝ උන්ගෙ ගෙවල් තියන තැන හරියටම අහගනින්.යකෝ ගූග්ල් මැප් ,ජීපීස් තියෙන්නෙ වැල බලන්නද? " ඩීබග් කාරයත් සිතූ පැතූ සම්පත් ලබාදෙන ගූග්ල් දෙවියන්ව වැඩමවන්න කලින් තේවාව පටන් ගත්තා.

"මචන් උඹල දැකලා තියෙනවද ඩ්‍රයිවර්ලා ඉන්නවා.ඔය කිසිම මැප් එකක්වත් නැතුව ,කාගෙන්වත් අහන්නෙ නැතුව පාරවල් හොයාගෙන යන?.උන්ට හන්දියක් දැක්කාම හිතෙනවා.මම යන්න ඕන මේ පාරෙ..මේ පාරෙ ගියාම මෙතනට වැටෙයි..එහෙම" 


සමහර අය ඉන්නවා ,මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනාම ඒකට උත්තර හොයන එක පැත්තක තියෙද්දි,පෙරකී ප්‍රශ්නය අමතක වෙනකල්ම කොටින්ම එකී ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවෙනකල්ම ,නන් දොඩවන.

අර අමුතු ඩ්‍රයිවර්ලගෙ කතාව කිවුවේ ක්ලේමෝ.පොර තමා අපේ වාහනේ එලවන්නෙත්


අපි හතරදෙනත් එක්ක මේ වාහනේකුත් අරන් දඟලන්නේ එක්තරා විදියක ට්‍රිප් එකක් යන්න.ටුවරිස් බෝඩ් එකෙන් අනුමත වෙච්චි ,ලෝක පූජිත,ලෝක උරුමයක් වෙච්ච තැනකට නෙවේ..දන්න කියන යාලුවෙක්ගේ ගෙදර, පොඩි ආරාධනාවක් ලැබුනා.

වනගත චාරිකාවක භීතියත්,වෙල් යායකින් හමන සීත සුළඟක මුදු පහසත්,සිලි සිලි හඬින් රැළි නංවන වැවක ඔරු සංචාරයක චමත්කාරයත් ,පොල් මලක් කැපීමෙන් රූරා වැටෙන.... බ්ලා බ්ලා බ්ලා එට්සෙට්‍රා විඳගන්න එන්න කියලා.ක්ලෝමෝ,ඩීබග්,ට්‍රබල්සූට් ,මම අපි හතරදෙනා එක් අරමුණක් වෙනුවෙන් ඒකරාශී උනා.ඒකම මදැයි 


අපේ යාලුවගේ ගෙවල් තිබුනේ ගොඩක් දුරක.අයිසොලේටඩ් එහෙමත් නැත්නම් ,අනේ මන්ද සිංහල වචනයක්නම් මතක් වෙන් නෑ..කොහොමහරි එහෙම තැනක.

මේ ඔක්කෝටම මුල ඒකයි.පාර හොයාගන්න බැරි වීම,කළුවර වැටීම,වෙහෙස,විවිධාකාර මතවාද හැමදෙනාම පෙලන්න ගත්තා. 


"ඒ කියන්නේ මචන්,ඒගොල්ලෝ හිතන විදියට හැම තිස්සේම පාරවල් එයාල එක්ක කතා කරනවා." මේ වචනත් ක්ලෙමෝගේ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මිනිහා දිගටම කියවනවා.

"එක්තරා තැනක ඉඳන් තවත් තැනකට යන්න ඕනෙනම් උන්ට යන්න මාර්ගයක් එකවරම පේන්න ගන්නවා.කාගෙන්වත් අහන්නවත්,ගූගල් මැප් හොයන්නවත් ඕන නෑ"


"මොනවද යකෝ මේ කියවන්නේ? දැන් උඹ මොකක්ද කරන්න කියන්නේ? පාර අහගන්න එකෙක් ඇත්තෙත් නෑ.පාරෙ බෝඩ් ඇත්තෙත් නෑ"ඒ ට්‍රබල්සූට්.

රේඩියෝ එක සද්දෙ අඩුකරගෙන,ෂටර් එකත් පාත් කරගෙන හිටියත්,කේන්තිය එහෙම්මමයි.


 "වට් යූ හැව් ටු ඩූ ඊස්.බිලීව් ඉන් යුවර් සෙල්ෆ්.අපි යමු.රිස්ක් එකක් ගමු.ටිකක් යද්දි හැමදෙයක්ම ක්ලියර් වෙලා උත්තරයක් ලැබෙයි" ක්ලේමෝ



"ඔව් පෙට්‍රල් ටැංකියත් ක්ලියර් වෙයි.උඹේ පඬි වදන්.මචන් මැප් එක මොකෝ.?"



"ලෝඩ් වෙන්නෙ නැති සීන් එකක් වගේ.සිග්නල් මදි" ඩීබග් එයාගේ දුරකතනය සොළව සොළවා අල්ලට තට්ටු කරන්න ගත්තා.එහෙම කළාම සිග්නල් වැඩි වෙන්නේ වග අපිට තේරුනාට ,අපි ඒ ගැන පොරට එක්ස්ප්ලේන් කරල දෙන්න ගියේ නෑ.



"දැන් අරූ මොකද කියන්නේ "මමත් වචනයක් දැම්මා

"අපි ඉන්න තැන කියන්න විදියක් නෑනෙ බන් හරියට.ඉතින් කොහොමද මිනිහ අපිට පාර කියන්නෙ"ඒ ට්‍රබල්සූට්


ලා කළුවරක් ගොඩබිම වහගෙන විසිරෙන්න ගත්තා.පේන තෙක් මානෙක මිනිස් පුළුටක් නෑ.හිටියද දන්නේ නෑ, අපිට පේන්නෙ නෑ.ට්‍රිප් එක කෙසේ වෙතත් කොහෙට හරි වෙලා දපන්න තිබුනනම් එකක් කියලා හීනියට හිතෙන්න ගත්තා.එක දිගටම වාහනේකට වෙලා ඉන්න එකත් ලේසි දෙයක් නෙවේනෙ.මෙච්චර වෙලාත් මාරුවෙන් මාරුවට අපි හතර දෙනා තමයි එළෙව්වෙ.

"ඔහොම යමු බන්..මොනවහරි හඳුනාගත හැකි මාර්ග සළකුනක් ලැබෙයි" මම මොරාල් අප් කරන්න හිතාගෙනද කොහෙද කිවුවෙ.ඩව්න් වෙලා තිබ්බ වයිෆර් දෙකනම් අප් උනා.හීනි පොදයක් වැටෙන්න ගත්ත නිසා.

එකපාරටම පරණ පන්සලක්ද කොහෙද ඉස්සරැහින් පේන්න ගත්තා.පාර අයිනෙ තිබ්බ දුර්වර්ණ නාම පුවරුව කියවගන්න වාහනය නවත්තන්න ඕන වුනේ නෑ.ආපහු හරවන්නයි වුනේ.ඒ රජමහා විහාරය ගැන අපේ ගමේ යාලුවට කිවුවට පස්සෙයි.අපි එච්චර වෙලා යමින් හිටියේ වැරදි පාරක.කොච්චර වැරදිද කියනවානම් අපේ ගමේ යාලුවටවත් පාර කියාගන්න තේරුමක් නෑ.පන්සලේ කවුරුවත් ඇත්තෙත් නෑ.ජරාවාස වෙච්චි තැනක්

"ඈ හු#* කෝ අර තොගෙ බිලීව් යුවර් සෙල්ෆ් එක?බලපන් ඉතින් නිකන් අපරාදෙ කිලෝමීටර් ගානක් " ට්‍රබල්සූට් ජාතිය අමතන්න පටන් ගත්තා.

ඒක සෑහෙන්න වෙලාවක් බල පැවැත්වුනා.කන් දෙක දෙබෑ වෙන තරමේ සද්දයක් ඇහෙනකල්ම.ඒක ඇහුනේ වෙන කොහෙන්වත් නෙවේ අපේ වාහනෙන්මයි.ක්ලේමෝ ගහපු බ්‍රේක් පාරෙ සද්දෙ.ටයර් හතර පිච්චෙන ගඳ පවා අපේ නාස් පුටු අස්සෙන් ඇතුළට රිංගුවා.

"දැන් උඹලා මට මොකක්ද කරන්න කියන්නේ.අරූට පාර කියන්න විදියක් නෑ.පාර අහන්න එකෙක් නෑ.මුගෙ මල ඉලව් මැප් එක වැඩ නෑ.සිග්නල් නෑ ,බැටරි බහින්න යනවා.තොපි මොනවද මට කරන්න කියන්නේ" විපක්ෂ නායකගේ ජාතිය ඇමතීමටත් සවන් දෙන්න වුනා මටයි ,ඩීබග්ටයි.
ට්‍රබල්සුට ලොකු ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ.වාහනය ටිකක් අයිනට කරලා නැවැත්තුව ක්ලේමෝ දොර ඇරලා සීට් එක දිග ඇරගෙන ඇළවුනා.ඒක අනිත් අයටත් ආදර්ශයක් වුනාද කොහෙද .පිටිපස්සෙ සිට් දෙකේ උන්නු මටයි ,ඩීබග්ටයි ඇල කරන්න සීට් එකක් තිබ්බෙ නෑ.ඒත් අපි දෙන්නත් දොරවල් දෙකම ඇරගත්තා.ලොකු වාහනයක් ඇවිත් අපේ දොරවල් දෙකත් අරගෙන යාමේ අවදානමක් ඇති වුනේ නෑ පාරේ වාහන නැති නිසා.
සිග්නල් කණුවක් වත් නැති ,එහෙයින් ගූගල් මැප් වනාහී මායාවක් වෙච්ච ,මිනිස් පුළුටක් නැති පැත්තක කොල්ලො හතරදෙනෙකුයි ,වාහනයකුයි !

අපි කිසිම වචනයක් නැතුව,හාවක් හූවක් නැතුව එහෙම්මම ඇල වෙලා හිටියා.දොරවල් හතරම ඇරලා දාල තිබුන නිසා එක පැත්තකින් වාහනය තුළට ඇතුල් වෙච්ච වාත ප්‍රවාහය අපේ ශරීර කෙඩෙත්තුවත් අරගෙන අනිත් පැත්තකින් පිට වෙලා ගියා.
හුදකලාව මිනිස්සුන්ට හුඟක් දේවල් කියලා දෙනවලු.ගොඩක් දේවල් අවබෝධ වුනත් ඒක වචන වලට හරවන්න පුලුවන් සමර්ථයෙක්ට හිටියෙ එක්කෙනයි.ඔව් ක්ලෝමෝ! පඬි වදන් සමඟින් දැන් වේදිකාවේ !
"පාරක් හොයගන්න එක හතරදෙනෙක්ට ගොඩක් සරල දෙයක් කියලා නේද මචන් හිතාගෙන හිටියෙ"
"හ්ම්ම් " X 3
"හතරදෙනාට තිබ්බේ වෙන වෙනම උපක්‍රම.උඹලට තේරුනාද දන්නේ නෑ"
"හ්ම්ම්.උඹ වැඩි උදව් හොයන්නෙ නැතුව තමන්වම විශ්වාස කරගෙන,අන්තිමේ යන්න ඕන තැන හම්බවෙයි කියලා හිතාගෙන" ට්‍රබල්සූට් කතා කරනවා.

"ඩීබග් යන්න ඕන තැනට යන්න හොඬ ප්ලෑනක් ගහලා,කොටින්ම යන විදියත් හරියටම හොයාගන්න හැදුවා" ආයෙත් ට්‍රබල්සූට්

"එතකොට උඹ..යන්න ඕන තැනට යන්න මාර්ග සළකුණු හොය හොය ,මිනිස්සුන්ගෙන් අහගෙන යන්න හැදුවෙ" 
"එතකොට මම ?" මගේ කුතුහලයත් ඉලිප්පිලා ආවේ ,සාස්තරයක් අහන්න අත දික් කලා වාගේ
"උඹ වෙන දෙයක් වෙද්දෙන්.පෙරලෙන පැත්ත හොඳයි"කියපු කෙනා මතක නෑ.ඒත් කියපු දේ හොඳට මතක හිටියා
"ඩ්‍රයිවින් විතරක් නෙවේ බන් කොයි දේත් ඔහොමයි බැලුවාම.එකෙක් ඕන දේ ළඟට එනකල් බලන් ඉන්නවා.තව එකෙක් ඒක හොයාගෙන යන්න දත කනවා.හොයාගෙන යන්නෙත් එක එක විදිවලට.හොයාගෙන ගියාම අහනවා 'උඹ කොහොමද බන් හොයාගෙන ආවේ කියලා' ,වෙන එකෙක් ඒ විදියට කරන්න ගිහින් ඇනගන්නවා.අන්තිමේ බැලුවාම ප්ලෑන් ගැහැවුවත් එකයි ,නොගැහැවුවත් එකයි.වෙලාවකට හිතෙනව බන් අපි මේ දුවන්නෙත් මෙලෝ තේරුමක් නැති හු#*ක් හොයාගෙන කියලා.

"හ්ම්ම් හැම එකාම නන්නත්තාරේ දුවනවා.ඌ දන්නෙත් නෑ කොහෙද කියලා" ඩීබග්

මටත් වචනයක් දාන්න හිතුනා

"පාඩුවෙ වෙන්න තියෙන දේ වෙයන් කියලා ඉන්න එකත් හොඳ නැද්ද බන්..නිකන් හිතපන් උඹ ගස් ගොඩක් තියෙන වත්තක ඇවිදිනකොට පොල් ගෙඩියක් වැටෙන සද්දයක් ඇහෙනවා කියලා.උඹලා මොකද කරන්නේ එක තැන සීරුවෙන් ඉන්නවද,කඩාගෙන බිඳගෙන දුවනවද,පාඩුවෙ යන්න ගිය ගමන යනවද?ගස් කොලන් බන් වටේම ....පොල් ගෙඩිය ළඟට එනකල් පේන්නෙ නෑ.උඹල අර කියපු තුනෙන් මොක කළත් පොල් ගෙඩිය ඔලුවට පාත් වෙන්න පුළුවන්.මම නම් පාඩුවෙ ගමන යනවා"
හැමෝටම හීනි හිනාවක් ගියා.හිත හෑල්ලු කරන හිනාවක් .තව බොහෝ වේලාවක් අපි එහෙම්මම ඉන්න ඇති.අන්තිමේ නින්දත් ගිහින්.පහුවෙනිදා පොළොවට පතිත වෙච්ච සූර්යාලෝකයත් එක්ක අපි ඇහැරුනේ ආරෝපණ හිස් වෙච්ච බැටරිවලින් සහ හොඳින් ආරෝපණය වෙච්චි හදවත් එක්ක

ඔව් අලුත් දවසක් !
අද ඕනම දෙයක් වෙන්න පුලුවන්
සමහර විට අලුත් සිග්නල් කණුවක් හයි කරයි මේ පැත්තේ
උදේ පාන්දර කොහෙහරි යන එකෙක් මුලිච්චි වෙයි
එක්කො පොලිසියට අහු වෙයි
හිරේ යයි
කොල්ලකාරයෝ ටිකකට අහුවෙයි ...
ඕන එකක් 

ඔය ඔක්කෝමත් මැද්දෙ අපි අපේ විදියට ජීවිත වාහනේ, නොදන්න පාරවල්වල ඩ්‍රයිව් කරයි දන්න හෝ නොදන්න තැන් හොයාගෙන.මඟදි හම්බුවෙන හැමෝම යන්නේ එකම ගමනක්.එකම ගමනක් කියන එකෙන් "එකම තැනකට" යනවා කියන එක ගම්‍ය වෙන්නේ නෑ.
එකෙක්වත් යන්නේ හොහෙද කියලා දන්නෙ නෑ ! ඒකයි එකම ගමනක් කිවුවේ.
ඒ නිසා එක එකාගේ ගමන දිහා බලලා කෝචෝක් දාන්න එපා.මොකද උඹ යන්නෙත් එහෙටම තමයි..
ඔක්කෝම අමුතු ඩ්‍රයිවර්ලා

So 
How Is My Driving?





Share: