Apr 17, 2018

හරිම අවංක ඉන්ටර්විව් එකක්




ඔව් කෘදන්ත,මුලින්ම කියන්නකෝ බලන්න ඇයි ඔයා මේ ආයතනය එක්ක සම්බන්ධ වෙන්න හිතුවේ?

කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ මම දැනට CV පහළොවක් විතර දාලා තියෙනවා ජොබ් වලට.එකකින්වත් කතා කළේ නෑ.මේ ආයතනය එච්චර ප්‍රසිද්ධ නැති ආයතනයක් උනත් ඉතින් ඊළග හොඳ ජොබ් එකක් හම්බවෙනකල් අවුරුද්දක් හිටියත් ඇති මට.

ඉතාම අවංක අදහස් දැක්වීමක් කෘදන්ත.අපිත් වේකන්සි ඇඩ් එක දාද්දි market leader, number one company to work වගේ කෑලි දානවා.ඒ ඔයාලා වගේ අය ගොඩක් කැමති වෙයි කියලා හිතලා.
හොඳයි තව අවුරුදු පහකින් ඔබ,ඔබව දකින්න කැමති කොහොමද?

සර්ලා ඉතින් මාව දකින්න කැමති විදියට තමයි ඉතින් මට මාව පේන්න ඔනෙ.නැත්නම් වෙන ජොබ් එකක් හොයාගන්න එපෑ.

මොකක්ද ඔයාගේ ප්‍රධානතම ශක්තිය, strength එක?


මගේ ලේඛන හැකියාව සර්.ඒකත් එක්ක බොහෝම රසවත් ආකාරයට, ව්‍යාකරණානුකූලව,තේරුම් ගැනීමට අපහසු ඊ-මේල් ප්‍රබන්ධ කරන්න මට පුලුවන්.මම හිතන්නේ ඒක මගේ තියෙන ප්‍රබල හැකියාවක්...ඒ වගේම ඊ මේල් එකේ සැබෑ අරුත, ව්‍යංගාර්ථයෙන් සඟවා තබා පාඨකයාව කුතුහළය තුළින් නවතම මානයක් කරා ගෙන යමින් ප්‍රහසනවාදී, ප්‍රපංචයක් තුළ විමධ්‍යගත කොට  වික්ෂිප්ත කිරීමටත් මට පුලුවන්.



අ...ආ බ...බ බොහොම හොඳයි, ඔයාගේ තියෙන ලොකුම දුර්වලතාවය මොකක්ද?



ම්ම්ම්...මට හැම තිස්සෙම හිතෙනවා මම හෙණ වැඩකාරයෙක් , මම තරම් කෙනෙක් පළාතෙවත් නෑ කියලා.වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ මම විතරයි කියලා.ඒ වගේම මට හිතෙනවා ඒක හැමෝටම කියන්නත් අනිත් කට්ටියට එහෙම නොසිතෙන විදියට වග බලාගන්නත්..



නියමයි, ඇත්තටම ඒ දුර්වලතාවයක් නෙවේ කෘදන්ත..හිතන්න කෘදන්තට පඩයක් ගියා කියලා. ඒක පහුගිය අවුරුදු ගානටම මේ ආයතනයේ ගිය ලොකුම පඩය වෙන්න ඕනෙ.ඒකෙ සද්දෙට වීදුරු හෙල්ලෙන්න ඕනෙ.smoke detectors වැඩ කරන්න ඕනෙ.fire brigade එන්න ඕනෙ..නැත්නම් ඒ පඩෙන් වැඩක් නෑ..ගඳනම් ඉතින් නැතත් කමක් නෑ...හිහි හිහි



තේරුණා සර්



ග්‍රීන්...ග්‍රීන්.. ග්‍රීන්...... ග්‍රීන්...



එක්ස්කියුස්මී කෘදන්ත...හෙලෝ විකලාංගනී,ඔව් .. හරි හරි ..    ජෙනෙටර් ඉන්ටර්විව් එකටද..හා හා ...මොකක්ද නම කිවුවෙ ප්‍රියන්ත මහඋල්පතගම?? ..වටිස් දැට් නේම් ..හෙහෙ...ඩ්‍රාම එකක් වගේ...

හරි.... සොරි කෘදන්ත..ඊළඟටසමූහයක් එක්ක වැඩ කිරීමට ඔබට ඇති හැකියාව කොහොමද? මොකද මේ ආයතනය කියන්නේ එකම පවුලක්,
.......
.......
..........
කියලා අපි කියනවා,
කියන්න ඕනෙ නිසා,
අනිත් අයත් කියන නිසා,
ගොඩ වෙලාවට ඔය trip එකක් ගියාම outbound training එකකට ගියාම.....
නමුත් වැඩ කිරීමේදී ඒක එහෙම්මම් වෙන්න ඕනෙ නෑ.පවුල් වල උනත් කැරළි කෝලහාල තියෙන්නෙ නැද්ද?


ඔව් සර් මට ඒ හැකියාව තියෙනවා.එකෙදි සර්ට පුලුවන් මගේ ප්‍රධාන ශක්තිය සහ දුර්වලතාවය එකට එකතු කරන්න ...විශේෂයෙන්ම  ටීම් එකක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධානම සාධකය වන වැඩ කිරීමේදී අන් අයගේ දක්ශතා ඔප් නැංවීම සඳහාත් ඔවුන්ට අත්දැකීම ලබාදීම සඳහාත්..ඒ  අයට වැඩ පැවරීම ...මා ඒ වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් ක්‍රෙඩිට් ගැනීමටත් මට සහජ හැකියාවක් තියෙනවා.


කෘදන්ත සැලරි කොච්චර වගේ බලාපොරොත්තු වෙනවාද?

සර්ලා කීයක් වගේ දෙන්න හිතාගෙන ඉන්නවද?

CEO නම් කිවුවෙ පුලුවන් තරම් අඩුවට හොද කෙනෙක් ගන්න කියලා. මට මේ කොලිපිකේෂන්ස් තියෙනවා, හාඩ් වර්කින්, ක්‍රියේටිව්, මිනිමල් සුපර්විශන් වගේ එක එක බයිලා ගහයි කියලා කිවුවා.ඒවා හොදට අහගෙන ඉදලා විසිදාහෙන් එහානම් දෙන්න එපා කිවුවා 

පහළොවක් ලියා ගන්න සර්.මහිතේ වෙන කවුරුත් ඒ ගාන ඉල්ලන්න නැතුව ඇති.

ෂහ්..ඔව් ඔව් හරි... ඔයාගේ ළගටම ඉන්නේ විසි පන්දහ,හැබැයි එක්ලක්ෂ .

ප්‍රොබේෂන් කොච්චර වගේද සර්.එතකොට පර්මනන්ට් වෙද්දි ඉන්ක්‍රිමන්ට් එකක් තියේවිද?

මෙහෙමයි පුතා,අපි සාමාන්‍යයෙන් කියන්නේ දක්ශතාවය සහ හැකියාව තියෙනවානම් මේ ආයතනයේ ඕනම පඩියක් ගන්නත් ඕනම තනතුරක් ගන්නත් පුලුවන් කියලා.ඒත් ඔයා මාස හයෙන් ධම්මික පෙරේරාට බිස්නස් කන්සල්ට් කරන ලෙවල් එකට ආවත් පඩිය එච්චර වැඩ් කරන්නේ නෑ කියලා දන්නවනෙ.මොකද මානව සම්පත කියන්නෙ අපිට බොහොම වටින සම්පතක්.එවා සැඟවී තිබෙන තරමට තමා වටිනාකම වැඩි..


හරි සර්


අන්තිමට කියන්න බලන්න, ඇයි අපි ඔයාව මේ ජොබ් එකට ගන්න ඕනෙ?



මෙහෙමයි සර්,මට ජොබ් එකක් නෑනෙ...



එහෙම නෙවෙයි..ඔයාව ගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රතිලාබ මොනවාද?



අහ්: මට ගොඩක් අඩු පඩියට වැඩ කරන්න පුලුවන් වගේම වැඩි කරන්න කියලා ඉල්ලන්නෙත් නෑ.පඩි වැඩි කරන්න නැත්නම් වෙන කොම්පැනියක් හොයා ගන්නවා කියලා කිවුවත් එහෙම යන්නෙ නෑ සර්..

අනික සර් මට එක තැනක ඉඳගෙන පැය විසි හතරම උනත් ඉන්න පුලුවන්....ඒ කියන්නේ මට ඕන meeting එකක ඉන්න පුලුවන්.ඒ වගේම ඉතාම නිර්මාණශීලී අකාරයට හේතුවක් දාලා  මීටින් ඕගනයිස් කිරීමේ හැකියාවත් තියෙනවා.හැබැයි සර් මම ගොඩක් කම්ප්ලේන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ සේවා කාලය ඇතුළත.උදාහරණ වශයෙන් වැඩ වැඩිවීම ,AC එකේ සුළං ප්‍රවාහය අඩුවීම,අධික වර්ෂාපතනය හඳුන්වන්න පුලුවන්.


අපි සේවක හදට සමීප ආයතනයක් වශයෙන් සුහදශීලීව වෙලා අරගෙන ඒ හැම දුක් ගැනවිල්ලකටම ඇහුන්කම් දෙනවා.ඊට මාසෙකට පස්සෙ ඒකටම ඇහුන්කන් දෙනවා සාවධානව.ඊළඟ මාසෙත් එහෙමයි..



එතකොට අපිට ඒ ප්‍රශ්නය අමතක වෙනවා.



හරියට හරි කෘදන්ත...හරියට හරි..සෑම දෙයටම මුල් වන්නේ සිතයි..අපි මේ ආයතනයේදී ඒ සිත දමනය කිරීමට අවශ්‍ය පහසුකම් සළසනවා.



ඔව් සර් දමනය වූ සිතින් ගොඩක් දුර යන්න පුලුවන්...



ගොඩක් අයට නොතේරෙන සත්‍යය ඕකනෙ කෘදන්ත.හරි හෙට ඉඳන් එන්න.ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.
Share:

7 comments:

  1. සුබ පැතුම්! firsts salary party එක අමතක කරන්න එපා, හරිය?

    ReplyDelete
    Replies
    1. මමනෙ ඉන්ටර්විව් කළේ.
      මේහ් ! කොහෙද මිසින් වෙලා හිටියේ

      Delete
    2. ආහ් ඒකත් එහෙම ද?

      මිසින් නැහ්.. අපි ඉතින් ඔහේ හිටියා.. වැඩිය ඔළුව දැම්මේ නෑ මේ පැත්තට.. එච්චරට කියවන්න දේකුත් නැ දැන් බ්ලොග් අවකාසේ...

      Delete
    3. ඇත්තට ඒක තමා
      මටත් නෝට් උනා ඒක
      මොකෝ ඒ?

      Delete
    4. සෝඩා බෝතලේ ගෑස් ඉවර වෙලා...

      Delete
  2. Replies
    1. ස්තුතියි සහෝදරයා

      Delete