May 18, 2011

ආයෙමත් හෝම්ස් (දෙක ) :ඔහු සහ මම

(දෙවෙනි කොටස ගැන බලාපොරොත්තුවක් නෑ කිවුවට මොකෝ ප්‍රතිචාරත් හොඳ නිසා මෙන්න දෙක.අදහස් දීපු,දිරි ගන්වපු හැමටම ස්තූතියි.)

"හෝම්ස්" යන නම ආදරයෙන් පිළිගෙන මලක් සේ විකසිත වූ පවිත්‍ර ඒ මල පර නොකොට මුලු පන්තියම සුවඳවත් කළේය.නමුත් එම සුවඳ පන්තියේ කා හටවත් එතරම් ප්‍රිය මනාප එකක් නොවීය.කොටින්ම ඔහු හා ආශ්‍රය කිරීමට සූදානම් කිසිවෙක් තවමත් නැත!.එකම ඉරියවුවකින්, එකම තැනකට වී හාවක් හූවක් නැතිව බලාගත් අතම බලා සිටින මේ ආකාරයේ පුද්ගලයන් කොහෙත්ම "හොමෝ සේපියන් " ගණයට අයත් නොවන වග බයෝ පන්තියක  නොසිටි අපටද හොඳින්ම දැනුනු කාරණාවකි.
අප ජීවත්වන මේ ත්‍රිමාන ලෝකයේ හොඳම විහිලුකාරයා දෛවයයි.එකී දෛවයාගේ ඇස් රතු වන විහිලුවකට වාසනාවට හෝ අවාසනාවට මුහුණ දීමට මටද සිදුවිය."හෝමෝ සේපියන් නොවන මානවයා සමඟ කතාබහක් "
එය ඇත්ත වශයෙන්ම සිදුවූයේ අහම්බෙනි.ඒ දෛවෝපගත දිනයේ මම එක් දිශාවක සරල රේඛීය චලිතයක යෙදෙමින් සිටියෙමි.ඊට හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවේ පවිත්‍ර හෝම්ස් චලනය වී ඇති බව මට පසක් වන විට සිදු නොවිය යුතු දෙයක් සිදුවී අප දෙදෙනාම බිම වැටී සිටියෙමු.මා අත තිබූ පොත් මිටිය සී සී කඩ විසිරී තිබිණ.
අපි දෙදෙනාම බිම දණ ගසා ගත්තෙමු.එක් මොහොතකට දෙදෙනාගෙම ඇස් එකිනෙකට සමපාත විය.මම ඔහුගේ  ඇස්වල කාන්තිය රිසිසේ විඳගත්තෙමි.එකම මොහොතකදී එකම පොත අහුලාගැනීමට උත්සහ කිරීම නිසා එක නිමේශයකට අපගේ ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශ විය.(හින්දි චිත්‍රපටයක ජවනිකාවක් මෙන් පෙනුනද ඇත්ත වශයෙන්ම සිඳුවූයේ මෙවැනි සිද්ධියකි ).
                    "සමාවෙන්න මිත්‍රයා",කතාව ඇරඹුවේ ඔහුය.
ඒ වන විටද අපගේ අත් එකිනෙක ස්පර්ශ වී තිබිණ.ඔහු මගේ අත "පෙරළ පෙරළා "බලන්නට විය.
මම විලිබියෙන් වටපිට බැලුවෙමි!.වාසනාවට පෙනෙන දුරක කවරෙකුවත් නැත.
 "සමාවෙන්න මිත්‍රයා ඔබේ ගමන ප්‍රමාද කළානම්,මම කියන්නේ ඔබේ ක්‍රිකට් පුහුණුවීම ගැන"දෙවන වාක්‍යයත් ඔහුගෙනි.පරණ නවකතාවක දෙබස්!
 "හැහ් ,ක්‍රිකට් ක්‍රි..ක්‍රි ?"මට පෙර මගේ කට ඉස්සර විය.
"ඔව් ක්‍රිකට්..මොකද මිත්‍රයා පුදුමයෙන් වගේ?"
ලෙහෙසියෙන් කට නාරින පුද්ගලයන් කට ඇරිය විට කියවන මනස්ගාත !
"ක්‍රිකට් මේ මම?"
"එක බොහොම සරල දෙයක් මනුස්සයෝ.මෙතනින් ඉඳගෙන කතා කරමු නිවී හැනහිල්ලේ ,ප්‍රමාද නැත්නම් "
මේ වන විටත් අප සිටියේ බිමය.සිතේ තෙරපෙන්නට වූ දැඩි කුහුල නිසාම මම පවිත්‍ර හෝම්ස් සමඟ එක බංකුවක හිඳගත්තෙමි.
"අපේ ඇස් වලට පේන හැම දේකම ,පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි.ඒවා දැන ගන්න හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනෑ.බොහොම සියුම් නිරීක්ෂණ වලින් ඇදහිය නොහැකි නිගමනවලට එළඹිය හැකියි "ඔහු දේශනය ඇරඹුවේය.නමුත් අවසන් නොකළේය.
"හැම වස්තුවකටම ඊට ආවේණික ස්වාභාව,ගතිගුණ තියෙනවා.මිනිසුන්ටත් එහෙමයි."
බංකුවේ ඉඳගැනීමෙන් මා කළ වැරැද්ද ගැන පසුතැවිල්ලෙන්ම ,හිතට නැගුණු අවංක අදහස් මම ඔහුට ඉදිරිපත් කළෙමි.
"බොරු කියන්නෙ මොකටද මටනම් ඕවා තේරෙන්නේ නෑ"
"ඒක ඔබට විතරක් අදාළ දෙයක් නෙවෙයි .අපි උදාහරණයක් ගනිමු.මම කිවුවොත් මිනිහෙක්ගේ අත් දිහා බලලා එයාගේ රැකියාව ගැන කියන්න පුලුවන් කියලා?මුද්ද දිහා බලලා පවුල් ජීවිතය ගැන කියන්න පුලුවන් කියලා?"
ඊට පිළිතුරක් දීම ලෙහෙසිය ."බෑනේ?"
"ඔන්න වරද්දගන්න තැන.ඔබ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන වගත්,අද උදෑසන වැස්සේ කැළණිය ප්‍රදේශය හරහා ආ බවත් නිරීක්ෂණය කිරීමට මට ගතවූවේ මිනිත්තුවක් පමණයි"
මගේ ඇස් දෙකත් ,කටත් එකවර ප්‍රසාරණය විය.කොටින්ම භාෂා විලාශය පවා වෙනස් විය."ඔබ කෙළෙසද එසේ පවසන්නේ මිත්‍රයා?"
"බොහොම සරලයි,නිරීක්ෂණ තුළින් නිගමන වලට.ඔබේ සපත්තුවේ දාරය වටා තැවරී ඇති මඩ දෙස බලන්න මිත්‍රයා.එවැනි රතු දුඹුරු පැහැ,කැට සහිත පස් ඇත්තේ කැළණියේයි"
මට සිද්ධිය පැහැදිලි විය.ඔහුටද පැහැදිලි කරවූවෙමි.
"මේක මගේ සපත්තු දෙක නෙවෙයි! "
එවර  ප්‍රසාරණය වූයේ ඔහුගේ කටය.
"හෙට වෙඩින් එකක්.ඒකට යන්න යාලුවෙක්ගෙන් ඉල්ලගතේ ,අද දවල් "
"ආ..ආ..ඒකත් එහෙමද ?"නවකතා දෙබස් නැත!.
"එතකොට අර ක්‍රිකට් ප්‍රැක්ටිස් කතාව?"මම කල දුටු කල වල ඉස්සෙමි.
"බලන්න ඔබේ වම් අතේ මැණික් කටුව වටා තිබෙන සුදුමැලි වී ඇති දාරය.මෙවැනි සළකුණක් ඇති විය හැක්කේ අත් වැසුම් පැළඳීමෙන් පමණයි. පාසල් ශිෂ්‍යයෙක් අත් වැසුම් පැළදිය හැක්කේ කුමකටද?නිසැකයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී විය යුතුයි "
මම කිසිත් නොකියා දකුණු අතද ඔහුට දිගු කළෙමි.එහි මැණික් කටුවේ එවැනි සළකුණක් නොවීය.
"ඔය දාරයක් ආවේ කාලයක් බ්‍රෙස්ලට් එකක් දාගෙන ඉඳලා.ඒක අද උදේ යාලුවෙක් ඉල්ලගත්තා අර වෙඩින් එකටම යන්න, "
අහම්බෙන් IPL තරඟයක මහේල ජයවර්ධන තැඹිලි පාට ඇඳුමකින් සිටිනු දැක "දැන් ලංකා ටීම් එකේ යුනිෆෝම් වෙනස් කරලාද "කියා ඇසූ මට මොන ක්‍රිකට්ද යන කරුණ පවිත්‍ර හෝම්ස්ගේ නිරීක්ෂණවල අසු නොවීය !!  

Share:

4 comments:

  1. එල කිරි කොල්ලා.........ඔහොම යං......සිරාවටම බන් අඩුම ගානේ දවසකට එකක් වත් දාපන්. වැඩක් නැති එකේ මෙවා කියවන එකෙත් ෆන් එකක් තියෙනවා....

    ReplyDelete
  2. මොනා උනත් මෙලෝ රහක් නෑ. පස්ට........

    ReplyDelete
  3. උපරිමයි... බාහිරින් පුදගලයා මනින්න බැහැ... බස් එකේ කෙල්ලෙක් මූණ බලලා හිනා වුනොත්, කතා කලොත් ඇත්තටම තමන්ට කියලා හිතන්න එපා.. සමහර විට එහා පැත්තෙ ඉන්න කොල්ලගෙ කර‍දරෙන් බේරෙන්න වෙන්න පුලුවන්...
    තනියා ගැටයා වූ කල, සමජය විපරමි කල අපූරැව..

    ReplyDelete