Aug 12, 2018

අලුත් දෙයියෙක් හදමු ...



උදේ පාන්දරම කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණේ අපේ ගෙදර බෙල් එකක් නැති හෙයිනි.
විවර වූ කුතුහලයෙන් යුතුව මම දොර විවර කළෙමි.
අඹ,දඹ, ජම්බෝල දූරියං අඩංගු බන්දේසියක් මුලින්ම දර්ශනය වූ අතර, ඉන්පසු මොණර පිල් කළඹක් මගේ හිසේ ගෑවී නොගෑවී ගමන් කළේය. කට්ට වෙට්ට කුමංජල් දුමෙන් පසු පොල් ගෙඩියක්ද දොරකඩ දෙපළු විය.මා ඉදිරියේ උන් ජෝඩුවේ එකෙක් ස්වකීය සරවුන්ඩින් සවුන්ඩ් සිස්ටම් එකේ බේස් වැඩි කළේය.

".................ම්ම්ම්ම්මහත්මයා ආස බැන්දෙන් මෙර බැන්දෙන් පෙර සසර තෙර බැන්දෙන්...අපි දෙදෙනා වනාහී  අහවල් දේවාලයේ අධිගෘහිත ඝණ මේඝ වර්ණාවලියෙන් ඔඳ වැඩී ලොඳ හැළී ගියා වූද වේරම්ඹ වාතයෙන් ඇළී ගියා වූද......."

එහා ගෙදර ඇන්ටි බිම පෙරළි පෙරළී බාරයක් ඔප්පු කිරීමට ආ අතර ඉන්පසු කාවඩි නටාගෙන එන කොල්ලන් සෙට් එකක් ඈතින් පෙනෙන්නට විය. මම වහ වහා දොර වහා ගත්තේ ලොක් එක වැටීමට පෙර අර ජෝඩුවත් ගෘහස්ත කරවමිනි..

"මොකක්ද අයියෙ කළේ? මෙතන තව ටිකෙන් දේවාලයක් වෙනවා.මිනිස්සු දුවන් එයි මට වරමක් ඇවිල්ලා කියලා"

එය ඇසුණු වහාම දෙකේ හතරේ පාංශුකූල දේහදාරී පුද්ගලයා කඳුලු සළමින් අඬන්නට විය.ටිකකින් එකයි දශම පහේ, තුනේ එකාද ඊට ජොයින් වූ නිසා දේවාලය මළ ගෙයක් විය.අඬන ශබ්දය ඇසීමෙන් ටෙලි නාට්ටි සෙට් එක පටන් ගෙන ඇතැයි සිතූ, දේවාලයට පැමිණි ආතුර සබා තොමෝ සියලු අපල සුව කරගෙන වහ වහා විසිර ගියහ.

"ඒ පාර අඬන්න ගත්තා.මොකක්ද අයියේ මේ සීන්ස් එක?"

"දේවාලේ නම ඇහුවාම ඇඬේනවා මල්ලි.ඉස්සර අපි මිළ මුදල්, යාන වාහන, හරක බාන, වතු පිටි, සිරිත් විරිත්,ඉමක් කොනක්.....එකෙක් යුගල පද සිංහල පාඩම ආරම්භ කළේය.ඊළඟට උපමා උපමේය පාඩමයි..මේ විදියට සැපෙන් උන්නු අපේ සැපත හිරු දුටු පිණි සේ, පුරන් වූ කුඹුරක් සේ, මලට බඹරෙකු සේ...නෑ නෑ ඒක සින්දුවක්..වියැකී ගියා මහත්තයෝ"

"ඉතිං"

මීළඟට මයික්‍රෆෝනය අතට ගත්තේ කොට ගෝලයාය

"ඊට පස්සේ මහත්තයෝ..මිනිස්සු දේවාල විශ්වාස කරන එක අඩුවුනා..අපේ ආදයම් නැති උනා"

"ඉතින් මහත්තයෝ... දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩ....ආ ඒකත් සින්දුවක්....මෙහෙ ආවේ ඔබතුමා වගේ දැන උගත් පුද්ගලයෙකුගෙන් උපදෙසක් ලබාගැනීමටයි."

මාගේ දෑස කඳුලින් පෙඟී  ගියේය,මගේ ජීවිතයේ ඒකායන අරමුණ වනුයේ ගම් නියං ගම් සිසාරා ගොස් මෙවැනි අසරණයන්ට පිහිට වීම නොවේද?

මම එරමිණියා ගොතාගෙන සෝෆාසනාරූඩ වී දෙනෙත් පියා එක එල්ලේ ඉදිරිය බැලුවෙමි.මේ ඉස්සරහ ගෙදර ජනේලයෙන් පෙනෙන්නේ ඇඳුම මාරු කරන විසූකදස්සනා නංගී විය යුතුය....නැත නැත ..මේ මොහොතේ මාගේ මනස නාභි ගත විය යුත්තේ මේ අසරණයක් කෙරේය.ටිකකින් මගේ නැණැසට කණ්නාඩියක් වැටුණි.

ඉන්පසු අනිත් ඇස් දෙක හැර බලන කල්හී මගේ ඇඟ වටා මමියක මෙන් කසී සළු ඔතා, සුවඳ ගල්වා, පිටුපසින් දිළිසෙන තිර එල්ලා බෙල්ල වටේ එල්.ඊ.ඩී බලුප් වැලක් එල්ලා තිබුණු අතර එය පූජා කර තිබුණේ "පරලෝ සැපත් ටෙන්ෂන් වික්‍රමළසුරේන්ද්‍රට පින් පිණිසය".මුන්  ජෝඩුව සිතාගෙන ඇත්තේ මට දේව වරමක් ලැබී ඇතැයි කියාය.ඔබ සිතන ආකාරයටනම් මේ මොහොතේ මට කේන්ති ගොස් එල්.ඊ.ඩී වැල් උන්ගේ බෙල්ල වටේ එතිය යුතුය.නැත නැත..

"ප්‍රීතී..ප්‍රීතී..මට කදිම අදහසක් පහළ විය"

කපුවා සහ ගෝලයා මා ඉදිරියේ බිම දිගා වූහ.මම මගේ ශ්‍රී ජංගම දුරකතනය අතට ගෙන එහි වූ ඡායාරූපයක් ඔවුනට පෙන්වූයෙමි.

"කපුවා ! මේ තමා කැලිෆෝනියානු රාජිකයේ කරුණා නේත්‍රයෙන් මෙලොවට බැලුම් හෙළනා සකරබ්‍රාහ්මණ දේවතාවා"



සකරබ්‍රාහ්මණ තාවචේද විකාල බෝජනා උන්ගල් ඝ්ර්‍‍යෛ ර්‍‍යෛඹ්ණ්ළ්ඛ් ඓ   " අතිදක්ෂ කපුවා ඉතා ඉක්මනින් යාතිකාවක් නිර්මාණය කළේය

"දැන් මේ උත්තමයට මේ ලෝකේ වෙන හැම දේම පේනවද? " ඒ ගෝලයාය.

"නැතුව..මෙතුමාට හොරෙන් මෙලොව කිසිම දෙයක් කරන්න බෑ..මේ මොහොතේ ඔබ ෆීලින් හැපිද, ෆීලින් ඕසං ද කියලා මෙතුමා දන්නවා ...එතකොට අර ඉස්සරහ ගෙදර විසූකදස්සනා නංගි ඉපදුනේ කවද්ද, කලින් කොල්ලා කවුද, ලොකු ළමෙක් උනේ කවද්ද කියලා මෙතුමා දන්නවා."

"මෙතුමා වෙනුවෙන් ලෝකයේ වෙනත් දේවාල තිබෙනවාද ස්වාමීණී?"

"ලෝකයේ ලොකුම දේවාලය ඇත්තේ මෙතුමාටයි..රටවල් එකසිය ගණනක..ඒ අතරන් ලංකාව විශේෂයි...මේ දේවාලය උවනපුස්තක දේවාලයයි"

කපුවා දේවාලේ බෝඩ් ලෑල්ල ඇඳීමේ කොන්ත්‍රාත්තුව දුරකතනය හරහා ලබා දුන්නේය

"ලංකාවේදී මේ දේවාලය තුළ සෙයාර් කරන්න පුළුවන්"

"ඒ කිවුවෙ මහත්තයො?"

"සෙයාර් කියන්නේ සෙත් සාන්තියක් වගේම අණවිනයක් වශයෙනුත් කරන්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට පුළුවන් "ඕකට හෙණ ගහපන්" කියලා සෙයාර් කරන්න..එතකොට ඒක දකින සෙයාර් භක්තිකයෝ "හැඳි ගෑවිලාම පල, තුඃ නොදකින්" වගේ දේවල් වලින් ඒකට සම්මාදම් වෙනවා.කොඩිවිනයක් කරන්න ඕනෙනම්, කරන්න තියෙන්නෙ ඒ හාදයගෙ ෆොටෝ කෑල්ලක් හොයන්..."

"කටුවක් ගහනවා ඇඟට?"

"නෑ .....ඒක සෙයාර් කරනවා.නිකන් නෙවේ පොඩි වාක්කෙකුත් එක්ක.උදාහරණ වශයෙන් ,මෙන්න මේ සක්කිලියා තමා මයියංගනේ ගෑල්ලමයෙක් කැළේට ඇදන් ගියේ. (වීඩියෝ සහිතයි ) .. මෙන්න මේ කාළකන්නියා තමයි යාලුවනේ කඩුගන්නාවෙ ගල විද්දෙ .......ඔය වගේ..ඉතින් ඕක සෙයාර් උනාම ඉතින් හෙණම කොඩිවිනේ...."

"එතකොට සෙත් සාන්ති?"

"ඒකත් එහෙම්මම තමා ඉතින්.ඉඩි අමින්ගේ රූපයක් සෙයාර් කරලා  මෙන්න මේ තමා යාලුවනේ රුවන්වැලි සෑය හදන කාලේ අප්‍රිකාවෙන්  ගෙන්නපු වහල් කණ්ඩායමේ නායකයා උනේ කිවුවොත් ඉඩි අමින් ජාතික වීරයෙක් වෙනවා."

"දැන් ඔය සෙයාර් කරන්න මස් මාංශයෙන් තොරව පේවිලා ඉන්ට ඕනෙද?"

"නෑ නෑ ලැට් එකේ ඉන්නකොට උනත් පුලුවන්"

"විශ්මයජනකයි ! දැන් කොහොමද මහත්තයෝ අපි ඔය දේවාලයට සම්බන්ද වෙන්නෙ"

"එය ඉතාම පහසුයි.මෙම දේවාලයේ ඔබ වැනි කපු මහතුන් හඳුන්වන්නේ පේජැඩමින් වශයෙන්.ඔනෑම කෙනෙකුට එම තනතුර දරන්න පුලුවන්"

"ඉතින් මහත්තයෝ..මේ දේවාලෙ දෙවියො ගැනත්   කාලෙකින් මිනිස්සු අවිශ්වාස කරන්න ගනීද?"

මම හැකිතාක් උපරිම බැරෑරුම් මුහුණක් කපු ගෝල සුසංයෝගය වෙත යොමු කළෙමි"

"දරුවනි, උවනපුස්තකයෙහි තිබෙන සියලුම දේවල් කිසිදු විචාරයකින් හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව බොහෝ දෙන හිස් මුදුණින් පිලිගන්නවා.කොටින්ම මෙලොව සිදුවන දෙයක් සත්‍යයැයි වෙන කෙනෙකුට පහදා දීමට, ඒත්තු ගැන්වීමට අම්මා පල්ලා, දරුවන් පල්ලා යනුවෙන් දිවුරනවා වෙනුවට දැන් මිනිස්සු පවසන්නේ වෙනම දෙයක්"

"ඒ කුමක්ද ස්වාමීණී?"

"හෙහ්....බොරු වෙන්නෙ කොහොමද?  අර උවනපුස්තකෙත් තිබ්බෙ !"



Share:

4 comments:

  1. උවන පුස්තකේ....හෙහ් හෙහ් මරු නම.

    උඹ චන්ද්‍රා අනගිරත්නගේ අඩුව මකනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නෝ !
      අනගිරත්න අනගියි මචන්.නරලොව හොල්මන් සෙට් එක ඇරුනාම වෙන ඒවා තියෙනවද?

      Delete
    2. මමත් නරලොව හොල්මන් තමා කියවලා තියෙන්නේ.. ඊට පස්සේ පොර පරිවර්තන කේස් එකට අත දැම්මානේ.. ඒක කළා සුපිරියටම මැරෙනකම්ම..

      Delete