xmlns:fb='http://www.facebook.com/2008/fbml'> අනීවාරතේ

Apr 14, 2012

ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !

මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයක්-ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්


''උක්කුං පුතේ...හානේ එන්ඩ එන්ඩ ගෙට..''
මම කටපුරා හිනාවීමට උත්සහ කළෙමි.හිතන තරම් ලේසි නැතත් අඩු ගානේ උත්සහ කළ යුතුය.
''ඉතිං ඉතිං ..මතක් උනා නේද අපිවත්..''
'එන්න නෙවේ ආච්චි හිටියෙ..කට්ටියටම fb විශ් කරා''
''ඇස් බී?"ආච්චිගේ ඇස් මෙච්චර ලොකුයැයි මම කලින් දැනගෙන හිටියේ නැත
 ''උඹ මොන එහෙකටද ඌත් එක්ක බජනෙට ගියෙ? වයිරක්කාරයො නේද?''
''නෑ..නෑ ආච්චි පේස්බුක්.ෆොටෝ එකක් එහෙම දාලා ටැග් කරන්න යද්දි ආච්චි හිටියේ නෑ.ඒ නිසා එන්නම උනා..මොකෝ ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කලාද?''
''අනෙහ්..මටනම් ඕවයෙ ගානක් නෑ ළමයෝ''
''හ්ම්..හ්ම්..ඒ උනාට ආච්..''
''දැක්කනම් අරන් තියන්නවත් තිබ්බ.අර කුස්සියෙ රාක්කෙත් එකක් ඇති මහිතෙ,ඒක නෙවේ කමු මොනවහරි .බඩගිනිත් ඇතිනෙ? ''
ආ..කමු කමු..යාළුවෝ නම් වෝල් එකේ නම් කෑම පිඟන් පිටින් ශෙයා (ර් ) කරල තිබුනා..ඒත් තාම බඩගිනියි...
''හ: ඇත්ත ඇත්ත යාළුවො නම් කොහෙත් එකයි අපිටත් උදේ ඉඳන්ම  කෑම  පිඟන් අරන් එනවා ගනුදෙනු කරන්ඩ.ඒක නෙවේ උඹ කෑම පිඟන් වලට මක්ක කළා කියලද කිවුවෙ?
"ශෙයා (ර්)..ශෙයා (ර්)..''
''ආහ් ඒක මිසක් ...විසි කරනව එහෙම නෙවී කෑම ''
කෑම මේසය ළඟට ගිය ආච්චි ,ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්, සුද්දෙක්ට අටමස්ථානය පෙන්වන්නාක් මෙන් එක එකක් කෑම ගැන විශේෂ හැඳින්වීම බැගින් සිදු කළාය.උපන්තේකට දැක ඇති ඒවා නොවුනත් මා තුළ ආච්චි කෙරෙහි ඇති අචල විශ්වාසය ක්ෂය නොවී පවතින බැවින් ,කෑම එකින් එක ක්ෂ‍ය වන්නට විය.ඒ අතර කතාබහක්ද ඇති විය
''මෙදාපාර නොනගතෙත් මහ දවල්නෙ ,ගිය පාර වගේ නෙවී'' ඒ ආච්චිය
''හ...මටත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා වැඩ අතාරින්න ඕනේ කියලා.අන්තිම මොහොතෙ තමා ලොග් අවුට් උනේ ''

''අවුට්? හනේ හනේ උඹේ කිරිකට් පිස්සුවනම්...හෙහ් හේ..''
''ඒ අවුට් නෙවේ ආච්චි ලොග් අවුට්..හැබැයි නොනගතේ ඉවර වෙනකල් හිටියේ නෑ ලොග් ඉන් වෙන්න..බලන්නකො ආච්චි....තුප්..තුප්..තුහ්...'' මම කේක් කෑල්ලත් සමඟ කටට ආ තෙල් කඩදාසිය එළියට දමමින්ම කතා කළෙමි
''නව අවුරුදු උදාවත් නොනගතේ මැද්දට දාලනෙ මේ පාර..ඉතින් විශ් කරන්න ආපහු ලොග් ඉන් උනා''

''අප්පච්චියේ උක්කුං පුතා!!!'' ඒ නම් අනිවාර්යයෙන්ම මාමාය..මම බෙල්ල හරවා බැලුවෙමි.නැත ඒ සීයාය.
''ඉතින් ඉතින් කොහොමද අවුරුදු?'' සීයා අලුත ගත් සරමෙන් අත පිසදාගෙන කැවුං ගෙඩියක් අතට ගනිමින් ඇසුවේය.
''හොඳයි හොඳයි සීයේ..ෆොටෝස් 24ක ටැග් වෙලා තිබුණා.ලයික් ඔක්කොම 247යි''
''අවුරුදු උත්සහේකට ඒම ගියා?''
''නෑ නෑ අවුරුදු උත්සවේ ගෙදරට ආවා''මම හයියෙන් සිනාසුනෙමි..සිනාසෙන විට මගේ ඇස් පියවෙන නිසා ආච්චිගේ හා සීයාගේ මුහුණවල මතුවුනු පුදුමය තැවරුනු බැල්ම දුටුවේ ටික වෙලාවකට පසුය.
''මොකක්?''සාමාන්‍යයෙන් දෙදෙනෙක් එකවර එකම වචනයක් පිටකරන්නේ නාට්‍යය හෝ චිත්‍රපටිවල  පුහුණුවීම් මාලාවකින් පසුවය.මේ දෙන්නා එසේ නැත.
''නෑ නෑ මම කිවුවේ මම ඔන්ලයින් කනා මුට්ටි ගැහුවා''
''ඇහ්..ඒ කොහෙද?'' නැවතත් දෙදෙනා,එකවර
''පේස්බුක් එකේ ඇප් එකක්..... කාමරේ ගැහුවෙ ''
හිනාවෙන විට ආච්චිගේත් සීයාගෙත් ඇස් පියවෙන්නේ නැති නිසා,ඔවුන්ට මගෙන් මතුවූ අජ-මොංගල් බැල්ම හොඳින්ම දර්ශනය වන්නට ඇත.
''අනේ මන්දා..දැන් වත් ඔය පාඩම් වැඩ ඩිංගක් නතර කළොත් නරකද? යමන් පන්සල්, තෙල් ගාන නැකතත් ළඟයි.''
''හා..හා සීයේ යමු''
ලද මඳ වෙලාවෙන් ප්‍රයෝජන ගනිමින් මම ජංගම දුරකතනයේ පේස්බුක් පිටුවට ගියෙමි.උඩින්ම නොටිපිකේසන් එකට රතු පාටින් 10 ඉලක්කමක් වැටී තිබුණි.උඩින්ම තිබුණු එකට නෙත් යොමු විය.

හදවත ප්‍රීතියෙන් පිනා ගියේය
''සියේ නිකං පන්සල් යන්න පැට්‍රල් පුච්චගන්න ඕනෙ නෑ...එන්නකො මෙතෙන්ට''


ගැටයා
අනීවාරතගාමී ඔබ ඇතුළු සියලූම හෝමෝ සේපියන්ස්ලාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!

Mar 24, 2012

රන්ජන් අයියා සමඟ රාත්‍රියක් 2 !!


රන්ජන් අයියා සමඟ රාත්‍රියක් 1 !!

"හරි මං කියන්නද..අපි ගහමු පාලිමන්ට් ජෝක්ස් තුන?"
"මල්ලී !" රන්ජන් අයියා බැරෑරුම් මුහුණක් සොයාගත්තේය
"මම කලාකරුවෙක් විදියට උත්සහ කරන්නේ හැම තිස්සෙම අලුත් ,මිනිස්සුන්ට වැඩිය නුහුරු නුපුරුදු දෙයක් ඉදිරිපත් කරන්නයි"
මට සිද්ධිය අවබෝධ විය."ඔව් ඔව් ඒක ඇත්ත.ඕකනේ මහින්දාගමනය ෆිල්ම් එකත් වැඩිය නැගල ගියේ නැත්තෙ,මතක් වෙද්දිත් එපා වෙන සිද්දියක්නෙ තියෙන්නෙ"
"ඒ මොකද මල්ලී.ඒකෙ මහින්ද හාමුදුරුවෝ ලංකාවට වැඩපු එක ගැනනෙ තියෙන්නෙ"
"අහ්..හාමුදුරුවො ගැනද තියෙන්නෙ? මං හිතුවෙ මේ...ම්..."

මල්ලි...ඔයා මට කොහොමහරි උදවු කරන්න ඕනෙ අද එළි වෙන්න කලින් කතාවක් හොයාගන්න.මල්ලි ටිකක් වැඩකාරයෙක් වග මට මගේ පළපුරුදු ප්‍රොපෙසනල් ඇස් වලට පේනවා"රන්ජන් අයියා හැඟුම්බර විය.
"හරි හරි..දැන් මට කියන්න මේ පාරත් ඉන්දියාවෙන් නළු නිළියො ගේනවද?"මම රෝග විනිශ්චය ආරම්භ කළෙමි
"දුෂ්ඨයගේ චරිතෙටද?"කලින් ලෑස්ති කරගෙන සිටියාක් මෙන් වේගවත් පිළිතුරක් ලැබුණි.
"නෑ ..නෑ..කෙල්ලට" 
"මේ දවස්වල යන සීන් වල හැටියට දුෂ්ඨයට තමා ඉන්දියාවෙන් එකෙක් ගැලපෙන්නේ..කොහොමටත් මම ඉන්දියාවට බාල්දු වෙන පොරක් නෙවේනෙ.තප්පරයක් නෑරම ලාංකීයයි,මගේ පිල්ම්ස්"
"ඔව් ඔව් ඒක හොඳයි"මම වෙරි මරගාතේ හයි ස්පීඩ් පැමිණි මදුරුවෙක්ට කෘතගුණ සළකමින් කීවෙමි.
ලාංකීය සිනමාවේ කිරුළු නොපලන් රජුගේ ඉල්ලීම මා කෙසේනම් ඉවතලන්නද?මම පුරෝහිතයෙක් මෙන් ඔහු අසලින්ම ඉඳගැනීමට සූදානම් වුනෙමි.
පසු ප්‍රදේශය බිම ගැටෙනවාත් සමඟම "ටාං..." යන හඬින් කොහෙන්දෝ පැමිණි කාසියකුත් ඉදිරිපස තිබූ බෙලෙක්කය හා ගැටුනි.මම කෝපය පෙරදැරි ස්තූති පූර්වක බැල්මක් කාසිය දැමූ පුද්ගලයාට එල්ල කළෙමි.
"මල්ලිට පුදුම ලැබීමක්නෙ තියෙන්නේ.මම පැය ගානක් හිටිය මෙතන සත පහක් හම්බ උනේ නෑනෙ"
"හරි අයියා අපි ඉක්මනටම වැඩේට බහිමු.මට යන්නත් ඕනෙ.මෙහෙම කරමු මේ දවස්වල ත්‍රෙන්ඩ් එක තමා ඉතිහාස කතා උස්සන එක.අමුතුවෙන් හද හද ඉන්න දෙයක් නෑනෙ"
"ඕකම තමා මල්ලියේ මටත් හිතුනෙ....හැබැයි ඕක විනෝදජනක වෙන්න ඕනෙ.සුපිරි ෆන් දෙන ,සුපිරි කොමිටල් කැරක්ටර් දෙකක් බස්සලා ..."
"ටෙනිසන්-බන්දු ජෝඩුව එපා කියලද අයිය කියන්නෙ එතකොට?"
රන්ජන් අයියා කල්පනා කළේය.."ඒව පස්සෙ බලමුකො ,ඒ වගේම පිල්ම් එකෙන් සමාජ යතාර්ථයක් උද්දීපනය වෙන්න ඕනෑමයි.."රන්ජන් අයියා මල්ලෙන් එලියට ගත් මලලසේකර ශබ්ද කෝෂය පෙරලමින් කතා කළේය.."මොකද මගේ පිල්මස් ,මනුෂ්‍යයාගේ ජීවන රටාවන්හී ප්‍රතිමූර්තියක් මෙන්ම ,සමාජයේ විවිධ පැතිකඩයන්හී ප්‍රක්ෂේපනයක් ලෙස සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය තුළින් ප්‍රක්ශේපනය කිරීමට මම කැමතියි"
මම කල්පනා කළෙමි.."ම්..ම්.. ෆන් වෙන්නත් ඕනෙ...වර්තමාන සමාජය පිළිබිඹු වෙන්නත් ඕනෙ..ඔක්කෝටම වඩා ඉතිහාස කතාආආ....ආහ හරි ආවා එකක්"
"කියන්න කියන්න මල්ලි මොකක්ද?"රන්ජන් අයියා සයිවර් කඩයක් ලඟින් යන බල්ලෙක් මෙන් කෙළ හලන්නට විය.
මහදැනමුත්තයි ගෝලයො රොත්තයි?"
"දැන් ඔය කියන මහදැන**තා..."
"නෑ නෑ මහදැනමුත්තා....මු ..මු.."
"හරි හරි"නැවතත් ලජ්ජාශීලි සිනාවක් "දැන් ඔය මහදැනමුත්තා මොන වගේ පොරක්ද?"
"වයසයි..රැවුල තියෙනවා...ටිකක් හීනි....එච්චර ලුකක් නැති"
"අපෝ ..බෑ ..බෑ"රන්ජන් අයියා පණත කියවන්නටත් පෙර ඊට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළේය.
"මල්ලිට මං ඒ වගේ එකෙක් විදියටද පේන්නෙ?"
"නෑ ..නෑ අයියා..ඇයි"
"එහෙනම් මට කියන්නේ මේන් කැරක්ටර් එක වෙන එකෙක්ට දෙන්න කියලද?.මට කරන්න පුලුවන් චරිතයක් කියහං මල්ලි"
"ම්..ම්.. එහෙනම් කැකිල්ලේ රජ්ජුරුවෝ?"
"මිනිහ ටිකක් මෝඩ පහේලු නේද ..බෑ..බෑ.."
"කුස පබා?"
"ම්...ඒක කොහෙද වර්තමාන තත්වය පෙන්නුම් කරන්නේ?"
"මෙහෙමනේ එක රටක ඉන්නවා කැත රජෙක්..මිනිහට රට පාලනය කරන එක ටිකක් අවුල් වගේ ..රටේ මිනිස්සු කෑ ගහනවා..කැරළි ගහනවා..ඕවා ෂේප් වෙන්නත් එක්ක රජතුමා හදනවා රත්තරනින් බොහෝම ලස්සන ගෑනු ළමයෙක්ගෙ රූපයක්..ඒක ගමක් ගමක් ගානෙ යවනවා මේ වගේ කෙල්ලෙක් ඉන්නවනම් හොයල දීපියවු කියලා..මිනිස්සුත් ඉතින් ගොනාට ඇඳලා අර ප්‍රශ්න ඔක්කොම පැත්තක තියල රත්තරන් පිළිමේ දිහා බලන් ඉන්නවා...එතනට වෙනකල් කතාව පෙන්නමු ..ඉතුරු ටික ඕනෙ නෑ"
රන්ජන් අයියාගේ ඇස් දිළිසේ " ඔක්කොම හරි මල්ලි මට සීන් එක තේරෙනවා..හැබෑට ඒ කාලෙ රත්තරන් පිළිමෙ වගේ දැන්  මොකක්ද?
"ඇයි අයියේ ක්‍රිකට් මැච්"
"ෂහ් ..සුපර් මල්ලි...රජාට වෙන එකෙක් දාමු ..මං කුමාරයෙක්ට ඇට් කරන්නම්...මම කොහොම ස්තූති කර..."කතාව අවසන් කිරීමට ඉඩක් නොලැබිනි.කුමක්දෝ බිම වැටෙන හඬක් ඇසුණි..අපි වහ වහා නැගිට්ටෙමු. ඉතා නුදුරින් බිත්තියකට හේත්තු වී අපගේ කතාවට සවන් දෙමින් සිටි තවත් හිඟන්නෙක් දිස්විය.ඔහු බියපත්ව එක්වරම එතැනින් පලා යන්නට විය.රන්ජන් අයියාගේ මුහුණේ මතුවූයේ අති මහත් විශ්මයකි...
"සු..සුනිල්?"
"ම්..කවුද අයියා?"
"සුනිල් ආරියරත්න....මල කෙළියයිනෙ මල්ලි මිනිහට අපි කතා කරපුව ඇහෙන්න ඇති.."
රන්ජන් අයියා සරමත් උස්සාගෙන වේගයෙන් ඉදිරියට දිව ගියේය.
"අඩෝ..සුනිලා....අඩෝඅව්"



Mar 10, 2012

රන්ජන් අයියා සමඟ රාත්‍රියක් 1 !!


මට තිබුණු තරම් තදියමක් කකුල් දෙකට තිබුණේ නැත.රෑ තනි පංගලමේ,සල්ලාලයන්ගෙන් අලංකෘත වූ රටක, පාළු පාරක ඇවිදගෙන යන අහිංසක කොල්ලෙක්ට දැනෙන හැඟීම මොන වගේදැයි තේරුම් කර දීමට මහින්ද අබේසුන්දර ඕනෑ නැත.නිහඬව නිසසලව අභීතව අරමුණ කරා ඇදෙමින් තුබුණ මගේ ගමන නැවතුණේ එක්වරම පිටුපසින් ඇසුණු කටහඬකිනි.

"මහත්තයා කීයක් හරි"
මෙවැනි වචන පේළියක් පිටකළ හැකි කටක් ඇත්තේ හිගන්නෙක්ටය,නැත්නම් පිටරටක ටුවර් එකක් ගොස් එහි ලොක්කෙක් සමග සාකච්ඡා කරන ඇමතිතුමෙක්ටය.මම ආපසු නොහැරී "පරිසර අධ්‍යයනය" සිදු කළෙමි...නැත ආරක්ෂක අංශයේ දස බිම්බර මාර සෙනඟ පේන්න නැත..හිඟන්නෙක්ම තමා.අවුරුදු දෙකකට කලින් කැළණිය වන්දනා මාන කර උපතේ සිට සියළු පවු නැති කරගත්තද ,ඉන් පසු පිනක් කරගෙත්තේ නැති නිසා මගේ හිතේ හිගන්නා ගැන මානව දයාවක් පහළ විය.තව කීයක් හරි හොයාගෙන ආපහු කැළණි පන්සල් යන්න සිතුනේ සාක්කුවෙන් රුපියල් පනහේ කොළයක් පමණක් අසුවීම විටය.කාසි නැත.

"එපා එපා සල්ලි එපා...අපෝ එපා"  නිර්භීත ,අදීන දේශප්‍රේමී කටහඬින් මම සළිත වීමි.දැන් බියක් සැකක් නැතිව ආපසු හැරිය හැක.

"පුදුම හිඟන්නෙක්"
නමුත් ඔහු දුටු විට "හිඟන්නා" යයි ආමන්ත්‍රණය කිරීමට හිත් දුන්නේම නැත.මැක්කන් හා කිනිතුල්ලන්ගේ ජංගම ජනාවාස කරගත් කනාටු වල් බල්ලන් බුරුත්තක් මැද ,පොස් ගෙවල්වල  දරුකමට ඇතිකරන "ජර්මන් සෙපර්ඩ්" බල්ලෙක් තැබූ විට ඌ කැපී පෙනෙන්නේ යම් සේද  ,මොහුත් සමස්ත හිඟන ජනයා අතර "බෝල්ඩ් ඇන්ඩ් ඉටැලික් " වී පෙනෙන්නට විය.

"මල්ලි සල්ලි එපා මල්ලි ..ටිකක් කතා කරන්ඩයි ඕනේ"
කටහඬත් හොඳටම හුරුය.පුරුදුය.මූණේ කළු පාටට මොනවාදෝ ගෑවී තිබේ.
නමුත් මස් වලින් පිරුණු උරහිස් !..
උඩින් ඇඳ තුබුණ කඩමාල්ලේ "පැචස්" අතරින් පෙනෙන හැඩි දැඩි පපුව !පුහ්!!!
ඇත් දල පාට අත් ගොබ...!
මම ළංවීමි...බැලීමි...තවත් ළංවීමි...තවත්..තවත්.....
."හැහ් රංජන් අයියා....මො..මොකෝ ..මේ..?"  


පේමන්ට් එකේ මුල්ලක කඩමාලු හැඳගෙන ටින් බෙලෙක්කයක් සොළව සොළවා හිඟන්නෙක් ලෙස පජාතානුකරණයේ (පජාත ලෙස අනුකරණය කිරීම ) යෙදෙමින් සිටියේ වෙනත් කිසිවෙකු නොව හෙළයේ සිනමා රජුය...යෞවනයේ සිහින කුමරාය...සුවහසක් රසික රසිකාවියන් පිචර් හෝල් ළඟ පෝලිම්වල ලැග ලැග ජීවිත කැපකරන්නේ මේ රුව දැකගැනීමටය..
"සිරාවට රන්ජන් අයියා මොකෝ මේ?බංකොලොත් වෙන්න අලුත් චිත්තරපටියක්වත් ආවෙ නෑනෙ"
රන්ජන් අයියාගේ නළලේ රැලි මාලාවක් නිෂ්පාදනය විය.
"චිත්‍රපටි?..මල්ලි මේ කියන්නේ අපේ අයියා ගැන වෙන්ඩැති "
"අයියා?"
"ඔව් අපේ අයියා රන්ජන්...එයා නළුවෙක්, අපි නිවුන්නු.. පොඩි කාලෙ අපි දෙන්නා එකපාර ඉපදුනේ. ඒත් ඒත් .."ඔහුගේ නෙතඟින් කඳුළු බිඳු වෑස්සෙන්නට විය.
"ඒත් හොස්පිටල් එකේ හිටිය මල්ලි...... ඩොක්ටර් කෙනෙක් , උගෙ සීයයි අපේ සීයයි 71 ජේ. වී .පී කලබල කාලෙ හොඳම යාලුවො..හැබැයි මගේ කරුමෙට ඒ දෙන්නා එකම කෙල්ලෙක්ට ආදරය කළා..ඒ කෙල්ල...ඉහි ඉහි...."ඔහු හඬන්නට විය..මේ දැවැන්තයා හඬන අයුරු මා කෙසේනම් උහුලම්ද?
"කතාවේ ෆයිනල් එපිසෝඩ් එක දෙන්න අයියේ?"
"ඒ පාහර ඩොක්ටරයා..මාව හොස්පිටල් එකෙන් අරන් ගිහින් විකිණුව මල්ලී.."
"එතකොට අයියා?"
"අයියා ..ඩොක්ටර් හිතුව ,මම කවදහරි ඇවිල්ලා ඩොක්ටර්ගෙන් පලි ගනීවි කියලා...එයාගේ අරමුණ උනේ අපේ අයියා හෙළ සිනමාවේ බබළන තරුවක් කරලා"කතාව  ඇඳී ඇඳී යයි .සිංහල චිත්‍රපටිවල හා මෙගා නාට්ටිවල ලොකුම වැරැද්ද ඕකය.අවසානය ගැන නොහිතා කතාවක් ආරම්භ කිරීම හා අධි රංගනය (over acting) .
"අවුලක් නෑ අයියා මම දන්නවා ඔයා රන්ජන් කියලා.. මට කියන්න සීන් එක.මං ගාව රුපියල් පනහයි තියෙන්නේ ඒක හරි දෙන්නං"
රන්ජන් අයියාගේ මුහුණේ ලජ්ජාශීලී සිනහවක් මතුවිය
"සල්ලි ප්‍රශ්නයක් නෙවේ මල්ලි...මම ලෑස්ති වෙන්නේ අලුත් ෆිල්ම් එකක් ගහන්න..ස්ටෝරි එකක් නෑනෙ"ඔහු දුක්මුසු මුහුණක් මවා පෑවේය.
"ඉතින් හිඟාකන්නේ?"
"ඒ වගේද යකෝ පේන්නේ....සො... සො..සොරි මල්ලි මම කතා හොයනවා..මහජනතාවගේ කලාකරුවෙක් වශයෙන් මම ඔවුන්ගේ දහඩියේ සැරිසරනවා....ඔවුන්ගේ සුසුම්වල ..අඳෝනාවල...මන්දිරවල..සඳලුතලවල වැසිකිළිවල සැරිසරනවා"
"මට තේරෙනවා අයියා..ඉතින් තාම නැද්ද මුකුත්?"
"නෑනෙ"රන්ජන් අයියා නැවතත ඕවර් ඇක්ටින් එකක් පෑවේය.

සෙස්ස පස්සට...>>>>
සෙස්ස හරි..මෙතැනින් එන්න

Feb 16, 2012

~~බණ්ඩා ගෝල්ඩ් හවුස්~~පවිත්‍ර හෝම්ස් open source ලිපිගොනු 1


රීෆ්‍රෙශ්මන්ට්

ඇගේ රුපියල් දෙසිය විසිපහේ රතු පාට ක්යුටෙක්ස් බෝතලයකින් සැරසුණු නියපොතු නොඉවසිල්ලෙන් එකිනෙක ගැටෙන්නට විය.නාදළු දෙතොල්වල වෙවුලීම තවම නැවතී නැත.පොපියන දෙනෙත් බියපත් මුවැත්තියකගේ සිහිගන්වයි.මම මුවැත්තියගේ දෙනෙත් දෙස වැද්දෙක් මෙන් බලා සිටියෙමි.
"ඔබ හොඳටම බියපත් වෙලා විකල්පනා මෙනෙවිය"එම වදන්  පවිත්‍රගේ නොවේය,මගේය .මාවොට්සන්” බව දැනගැනීමට මෝහනය වුවමනා නැත.සංසාරේ හැටි එහෙමය.සහෘදයෝ  සැම කල්හිම සැම බවයකම එකටම වෙසෙත්.
"නැතුව ඉතින්.මට නාන්න නෑ ...මේකප් එකක් දාන්න නෑ....නිදියන්න නෑ..කොයි වෙලෙත් මේ මිනිහගේ කරදරේ.."
"හරි අපි ගැටළුව විසදීමට උත්සහ කරමු.දැන් මේ හාදයා ,ජැක්සන් ඔබගේ එච්චර වටිනාකමක් නැති නිවස ඉතාමත් වැඩි මුදලකට මිළට ගැනීමට ඔබට යෝජනාවක් කරනවා"ඒ  පවිත්‍ර හෝම්ස්ය
"ඔව් ඔව්..මම කොහොමද ගේ දාල යන්නේ. ගෙදර තමා අපේ පප්පායි ,පප්පගෙ පප්පයි හිටියේ.එයා එල්ලිලා මැරුණෙත් ගෙදර.මම කොහොමද එහෙවු ගෙයක් දාල යන්නේ?"
"නමුත් ඔබට දිගටම කරදර එල්ල වෙනවා?"
සුසුමක් හෙළුවාය.
"ඔබට මේ සිද්ධිය ගැන කිසියම් ආකාරයක හෝ අදහසක් තියෙනවද මෙනෙවිය?"
"තියෙනවනම් ඔයා ළඟට එනවද අනේහ්?මමත් ෂර්ලොක් හෝම්ස් පොත් සැට් එකම කියවල තියෙන නිසා දන්නවා එයා වැඩ කාරය කියලා.ඇත්තටම ඔයාටත් පිස්සුනෙ මේ වගේ රටක ඉපදෙන්න"

"ජනතා සේවයට දේශයක් දීපයක් නෑ මෙනෙවිය මම ඔබට කළ හැකි උදවුවක් කරන්නම්"
විකල්පනා,වැඩි සිහිකල්පනාවක් නැතිව "බායි" කීවාය. පිටවී ගියාය.

"වොට්සන්..මාත් සමඟ එන්න ,වෙන වැඩ රාජකාරියක් නැතිනම් ඔබට"
මෙවැනි වදන් කී වතාවක්නම් කියවා ඇත්ද..ඒත් දෙයි හාමුදුරුවනේ දැන් ඇත්තටම නේද මේ ඇහෙන්නේ?
"නෑ නෑ වෙන කිසිම වැඩක් නෑ..මොන පිස්සුද..යං යං යං "
කඳු නිම්න මිටියාවත් මැදින් ගිය ගමන කෙළවර වූයේ හාඩ්වෙයාර් එකක් ළඟදීය."මොහොතක් රැඳී සිටින්න වොට්සන්"පවිත්‍ර එහි මුදලාලි සමඟ මාධ්යය සාකච්ඡාවක් සඳහා පිටත් විය.අනුන්ගේ කතා වලට ඇහුංකන් දීමේ කැත පුරුදු මා ළඟ නැති නිසා ඇසුනේ දෙබස් කිහිපයකි.
"ඔව් ඔව් එයා තමයි.ඊයේ තමයි ආවේ....  “.....”හරි ඔච්චර තමා...”
පවිත්‍ර නැවත මා සතු විය.අපි දිගටම ඇවිද ගියෙමු.මෙවර ගමනාන්තය විකල්.......හැහ් විකල්පනා?
"අපි මොකටද මෙහාට ආවේ?"
පිළීතුරක් නැත.පවිත්‍ර කිසිදු අවසරයකින් තොරවම ගෙතුළට රිංගුවේය.නියම හෝම්ස්ලා වැනි පුද්ගලයෝ එසේය.ඔවුන් කරන කියන දෑ,බලන දෑ පෘතග්ජන අපට තේරෙන්නේම නැත.තේරුම් කරදීමේ තේරුමක්ද නැත.මේ ලෝකේ ගොඩක් දේවල් ලස්සන වන්නේ ඒවා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය ........ම්....ම්ම් ...ඔහ්..නෝ..... විකල්පනා මෙනෙවිය!!අපි කෙසේ හෝ ඇගේ ඉතිරි අර්ධයත් නිරාවරණය වීමට පෙර අල්මාරිය පිටුපස සැඟවුනෙමු.
"ඉක්මනට යමු මෙතනින්..අහු උනොත් කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සහ කාන්තා  ප්‍රතිචක්රීකරණ පණත යටතේ නඩු දායි"
"ඉවසන්න  මිත්‍රයා..දැනුයි තිරය විවර උනේ ..නාටකය තව ටිකකින්"
"හ්ම් හ්ම් තිරේ බාගෙට ඇරිල තමා තිබුණෙ"
හුස්ම පවා සිරවී තිබුණු විනාඩි කිහිපයක් ගතවිය.නිහඬතාව බිඳුනේ සාලය දෙසින් ඇසුණු හඬකිනි
"මම කී සැරයක් කියන්නද ඕයි තමුසෙට...."
"මට හිතාගන්න බැරි එක දෙයයි නෝනා..මේ කඩාගෙන වැටෙන්නත් ලඟ අංජබජල් ගේකට මෙච්චර ලොකු ගානක් ගෙවන්න හදද්දිත් අකමැති මොකෝ කියලා"
"මේ අපේ පප්පගෙ පප්ප ඉඳන් ජීවත් වෙලා මැරිල ගිය ගෙදර."මගේ අත හදිසියේම අල්මාරියේ පැත්තක වැදිණි.අල්මාරිය දෙදරන්නට වූ අතර මත තුබුණු මැටි භාණ්ඩයක දෝලන චලිතයක් ඇතිවිය.
"ඒක තමා නෝනා මේ ගෙදර පප්පගේ හොල්මනුත් ඇති එහෙන..."වෙරි පිට මෙන් වැනුන මැටි භාණ්ඩය බිමට වැටී කෑලි වලට විච්ඡේදනය විය.
"ඔය මං කිවුවේ නෝනා හොල්මන්.... හොල්මන් "
ඉන්පසු සිදු වූයේ කුමක්ද?හින්දි චිත්රපටියක කොල්ලා මෙන් ඉදිරියට පැමිණි හෝම්ස් නොසැලෙන කටහඩ අවදි කළේය
"ඔව් හොල්මන් තමයි ජැක්සන් මහත්මයා..අපට සිදුවෙනවා ඔබව අත්ඩංගුවට ගැනීමට....නෑ නෑ ...119 වලට ඇමතුමක් ලබා දීමට "
"හක් ..හක් .. මොකෝ දන්නේ නෑ"ජැක්සන් කැත හිනාවකින් මුහුණ පුබුදුවා ගත්තේය.
".ම්ම්...කාන්තා හිංසනය"
"අනවසරයෙන් ඇතුල්....."මම පෝර දැමීමට උත්සහ කළද ඒ පෝර දැමිල්ලෙන් ගහ මැරෙන නිසා පවිත් මා වළක්වාලීය
"සාක්ෂි?"ජැක්සන්ටද "පොයින්ට්ස්" නොතිබ්බේම නැත.සාක්කි හෙවිල්ලත් ලේසි නැත.මිනිහ පේස්බුක්වත් හිටියනම් ක්රම තිබේ.
මම මනෝ ලෝකයේ සැරිසරන අතර  පවිත්‍ර ක්රියාත්මක වී තිබේ.ඔහු අත තිබුණේ කොළ කැබැල්ලකි.ළං වී බැලූ විට බිලක් බව පෙනේ.
"ජැක්සන් මහත්මයා මේක හොඳින් දන්නවා ඇති?මේ ඔබ මිළදී ගත් භාණ්ඩ බවට සාක්කි ඕනවටත් වඩා තියෙනවා"
ජැක්සන් සලිත වූ බව පෙනේ.
"මම කියවන්නම් ඔබ මිළදී ගත් ඒවා.සවල් 4යි.කූඩ 5යි.යකඩ ඉනි 6යි.උදලු 7යි..බීඩි රුපියල් 15කයි.ඉතින් විකල්පනා මෙනෙවියනි ඔබට මේවා දැක්කාම මොකද හිතෙන්නේ?"
"ළිඳක් හාරන්න වෙන්න ඇති "
" ඔව් ළිඳක් ..වතුර ..වතුර.."ජැක්සන් කලබල විය.
පවිත්‍ර බැරෑරුම් මුහුණක් මවමින් ජනේලය අසලට ගියේය.ජනේලයෙන් එපිට මාවත් දෙස බැලීය.මුහුණේ මතුවුයේ සියුම් මදහසකි.
"මේක බොහොම බැරෑරුම් අභියෝගයක් ජැක්සන්"
'මො..මොකක්?"
"සියල්ල පැහැදිලියි.. කොළඹ අපරාධකරුවෝ පුදුමාකාර විදියට අනුකාරකයි වොට්සන්.ඔවුන් අපරාධ කිරීමට පෙළඹෙන්නේ ඉතාමත් බොළඳ බාල සැලසුම් වලට අනුවයි.ජැක්සන් මහතා සාමන් කා.කා. කෙනෙක් .එහම පුද්ගලයෙක් හදිසියේම ඉතා විශාල මුදලක් වියදම් කරමින් මිළදී ගන්නේ මොනවාද?පස් හාරන සහ ඉවත් කරන උපකරණ.මේ අතරේදී ඔහු විමසිලිමත් වෙනවා ඉතාමත් වැඩි මුදලකට හෝ මේ ගේ මිළදී ගන්නත් ..අවසානයේ මේ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ කුමක්ද?"

"හානේ..........අපෙ වත්තේ බාන් බඩී වගේ එකක් දාන්න "විකල්පනා මෙනෙවිය කල්පනාකාරී පිළිතුරක් ලබා දුන්නාය.
"නැහැ මෙනෙවිය ...උමගක්...මට සීයට සීයක් විශ්වාසයි උමගක්..." සියල්ලෝම තක්බීර් වී බලා සිටියෝය.
"නමුත් කොහාටද"මම නියම "වොට්සන් බ්රැන්ඩ් " ඩයලොග් එකක් දැමුවෙමි.
"කොහාටද ජැක්සන් මහත්මයා?"
ජැක්සන් හූනෙක් මෙන් සුදුමැලි වී සිටියේය.හූනෙක් මෙන්ම "චක් ..චක් "ගෑවේය
"බලන්න මේ සිතියම දිහා"පවිත්‍ර විකල්පනාගේ පරිගණකයෙන් ගූගල් මැප් එකක් ලෝඩ් කිරීමට උත්සහ කළේය.ලංකාවේනෙට්වර්ක් සුපිරිනිසා වැඩි වෙලාවක් ගත නොවීය.

බලන්න මේ නිවසට ඉතාමත් ආසන්නයේ තිබෙන "බණ්ඩා ගෝල්ඩ් හවුස්" සාප්පුව.ඔබ ඉතාමත් දක්ෂයි ජැක්සන් සාප්පුව මුදල් ඉල්ලමක්."
මම ජැක්සන්ගේ බියපත් මුහුණ දැකීමට බලාපොරොත්තු වීමි.නැත.ඔහු කොක් හඬලා සිනාසෙන්නට විය.අපරාධ හෙළිවීම හමුවේ සිහි විකල් වූ මිනිසුන් ගැන මම අසා ඇත්තෙමි.මොහුත්?
"තමුසෙටනම් වයර් ඕයි...මම මෙතන ඉඳන් උමගක හාරන්න හදපු එක ඇත්ත.මොකද මේක කරදර නැති ,නගරයේ මැදම තියෙන තැනක්.ඒත් ඕයි මෙච්චරක් වියදම් කරලා මම දෙකයි පනහට උමං හාරයි කියල හිතුවද?බන්ඩා ගෝල්ඩ් හවුස් හෙන ලොස් එකක් ඕයි"
"එහෙනම්"පවිත් හෝම්ස්
"කොහෙටද"විකල්පනා
"හාරන්නේ?"මම
ජැක්සන් ගූගල් මැප් එකට එබුනේය.
"තමුසෙලගේ ඇස් පොට්ට වෙලාද?ඇයි අයිසෙ මේ තියෙන්නේ ධන ආකරයක්....පැට්රල් ෂෙඩ් එකක් !!!!!"





Jan 21, 2012

මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්

තනියම එද්දි අතු පාරක රෑක මං
රථයක් හිටල ඇන්ජිම, දමනවා දුං
අඩියක් විතර බොනැට් එකට වෙලා ළං
කෙරුවේ මොකාදැයි බැලුවා මෙය  ඩ්‍රයිවිං

ඩ්රැයිවර් හොඳයි එකම අවුල  ඩ්‍රේස් එකය    (සුදු සාරියක් )
දෙවෙනි අවුල දැක්කේ  ටිකකට පසුය       (ළමයෙක් )
ළමයා දෙන්ට හැදුවොත් දෙන උත්තරය (ඔයා ළමයා අල්ලගන්න,මම රෙද්ද හදන්නම් )
මතක් කරන් කෙලින් කළා පුරුෂ කය

අනේ හලෝ ගත් කාරය    අලුතින්ම
අප්සැට් වෙලා නැවතී මං එක තැනම

ඇහ් බබා දෙන්නෙ නැද්ද? 
බිය නොම සොඳුර ඇන්ජිම හතරක් පහර  (4 ස්ට්‍රොක්)
සදනෙමි, දෙන්න බොනැට්ටුවේ ලොක් යතුර

සෝ සුවීට් අය්යෝ.. මොකක්ද පහර හතරෙ කතාව?ගෑනු අපි දන්නේ ඉතින් එක පහරක් ගැන විතරනෙ..(සරාගී සිනාවක් පාමින් )

මුල්ම පහර වෙන්නේ "Intake"
ඊටපස්සේ ඇත්තේ    "Compression"
"Power" ඉවර වුනු පසු     “Exhaust”
අක්ක දැනන් උන්නේ පළවෙනි එකය

ලාස්ට් එකත් මට අමතක වෙලා  වගේ
අපොයි කියන කතා, නැතුව විලිසංගේ

අයියෝ නෑ එහෙම තමයි ඇන්ජිමක්
වැඩ කරන්නෙ ඇත්තේ පියවර හතරක්

මෙහෙමනේ සීන් එක ඇන්ජින් එකේ පිස්ටන් උඩ පහළ යන්න පවර් එක ගන්නේ සිලින්ඩර් සෙට් එක ඇතුළෙ ඩීසල් මික්ස්චර් එකක් පත්තු කරල.

අනේ සුවීට්...කවියෙන්ම කියන්නකෝඕඕඕඕ..

වාතය සමඟ ඩීසල්  යන මිස්චරය     
සිලින්ඩරය ඇතුලට දැන් ගෙන ඒය
ඔහොම වෙද්දි පිස්ටන් එක යට යාය
"ඉන්ටෙක්' කියා කීවේ මං   මේකටය

හානේඑ.. . ..













යට ගිය ඒව ආපහු උඩ  යුතුය         (ලජ්ජාශීලී සිනා )
පිස්ටන් උඩට එයි, ඩීසල්  තෙරපේය
ගානට තදවෙලා වෙලාව ළංවේය
පත්තු කරනු නැත්තං පසුතැවේය



හිකි හිකි ..හ්ම් හ්ම් හ්ම්..









පත්තු කරල ඩීසල් ,ලොකු අකුණකින් (sparking)
ආයෙත් යවයි පහළට ,උඩ පිස්ටන්
පුදුම සැරයි අක්කේ බොරු නෙවේ බන්
රෝද හතර කැරකෙයි මේ දෙන බලයෙන්

ම් ම් ම් ගොඩක් සැරයි වගේ තමා..












වෙන දේ උනා දැන් ඩීසල් පත්තු වෙලා
ඒවෑ  ප්‍රතිපලත් ඇත ඇතුළේ එකතු වෙලා
පිස්ටන් ආයෙමත් ගොහිල්ල ඉහළ බලා
ඉතුරු උන ටිකත් එළියට තල්ලු කළා

ආආආආ මොනවද ?












කාබන්ඩයොක්සයිඩ් එහෙමනෙ..ඒවා අන්තිම පහරෙදි එළියට යවනවා....ඊට පස්සේ යනවා සයිලන්සරය ඇතුලෙන්..දිගටම එළියට.

පිස්ටන් වලට සැට් වී ඇති දඟරකඳ
කැරකෙයි නිතර පිස්ටන් වල පහස විඳ
ෆ්ලයි වීලයද , ගියර් වීල් ගොඩක් මැද
යන මේ ගමන අවසන කැරකේ රෝද




























මල්ලිනම් පුදුම වැඩකාරයෙක් ..කතාවෙන් කතාවෙන් ඇන්ජිමත් හැදුව නේද?
සුළු දෙයක්නෙ...ස්ටාට් කරල බලන්නකෝ එක පාරක්
අහ්...මේ බබාත් එක්ක බෑ පොඩ්ඩක් තියාගන්නවද තරහ නැතුව?
සුළු දෙයක්නෙ...
ඇස් වහක් කටවහක් නැත ඇන්ජිම ස්ටාර්ට් විය..ක්ලච් ගියර් බොක්ස් පමණක් නොව ඇක්සලරේටරේද වැඩය.බ්‍රේක් වැඩ කරනවාද දන්නේ නැත,ඒක බලාගන්නට මෝහිනී අක්කා බ්‍රේක් ගැහුවේ නැත.මා ළඟ තනි වූ පොඩි එකා දත් කැකුළු පා කින්ඩි සිනාවක් දමා ඔයිල් පාරක් ලීක් කරන ලදී.



"අනීවාරතේ" විධායක සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව හුදෙක් අනීවාරතේ අන් අයට මඩ නොගසා සියළු සත්වයන්ගේ හිත සුව සහ පහන් සංවේගය උදෙසා අරඹන ලද්දා වූ "අනීවාරතාවිජානන" ලිපි සරණියේ පළමුවැන්න මෙසේ මහත් වූ අභිමානයෙන් ඔබ හමුවේ දිග හරින ලදී.අනීවාරතාභිවෘද්ධිය (අනීවාරතේ අභිවෘද්ධිය ) උදෙසා ඔබගේ ප්‍රතිචාර තබනු.