Mar 22, 2014

How Is My Driving ? | හව් ඉස් මයි ඩ්‍රයිවින්(ග්) ?

මින් පෙර ලියූ පරිප්පු හොද්ද කතාවට සම්බන්ධයි.එතනට ගිහින් එන එකත් හොඳයි


"අඃ .ඔව් මචන් බුදු පිළිමෙ ගාවින්..ඔව් දකුණට..ඔව්..කොච්චර දුරද..හැතැක්ම?..SI යුනිට්ස් වලින් කියපන් බන්.මට හැතැක්ම තේරුමක් නෑ...."
ට්‍රබල්සූට් එක අතකින් ෆෝන් එකක් කනේ තියාගෙන,අනිත් අතින් වාහනේ රේඩියෝ එකේ සද්දෙ අඩු කරන ගමන් ,තවත් අතකින් ෂටර් එක පාත් කරන්න දරුණු උත්සාහයක නියැලිලා ඉන්නවා.ඔව් තව අතක් තිබුනෙ නෑ .ඒක තමයි මිනිහට කේන්ති යන්න ඇත්තෙ.

"කියන එකක් තේරෙන්න කියහන්කො බන්.කළුවර වැටෙන්න කලින් පාර හොයාගන්න"

"මචෝ ..මචෝ උන්ගෙ ගෙවල් තියන තැන හරියටම අහගනින්.යකෝ ගූග්ල් මැප් ,ජීපීස් තියෙන්නෙ වැල බලන්නද? " ඩීබග් කාරයත් සිතූ පැතූ සම්පත් ලබාදෙන ගූග්ල් දෙවියන්ව වැඩමවන්න කලින් තේවාව පටන් ගත්තා.
"මචන් උඹල දැකලා තියෙනවද ඩ්‍රයිවර්ලා ඉන්නවා.ඔය කිසිම මැප් එකක්වත් නැතුව ,කාගෙන්වත් අහන්නෙ නැතුව පාරවල් හොයාගෙන යන?.උන්ට හන්දියක් දැක්කාම හිතෙනවා.මම යන්න ඕන මේ පාරෙ..මේ පාරෙ ගියාම මෙතනට වැටෙයි..එහෙම" 

සමහර අය ඉන්නවා ,මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනාම ඒකට උත්තර හොයන එක පැත්තක තියෙද්දි,පෙරකී ප්‍රශ්නය අමතක වෙනකල්ම කොටින්ම එකී ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවෙනකල්ම ,නන් දොඩවන.
අර අමුතු ඩ්‍රයිවර්ලගෙ කතාව කිවුවේ ක්ලේමෝ.පොර තමා අපේ වාහනේ එලවන්නෙත්

අපි හතරදෙනත් එක්ක මේ වාහනේකුත් අරන් දඟලන්නේ එක්තරා විදියක ට්‍රිප් එකක් යන්න.ටුවරිස් බෝඩ් එකෙන් අනුමත වෙච්චි ,ලෝක පූජිත,ලෝක උරුමයක් වෙච්ච තැනකට නෙවේ..දන්න කියන යාලුවෙක්ගේ ගෙදර, පොඩි ආරාධනාවක් ලැබුනා.
වනගත චාරිකාවක භීතියත්,වෙල් යායකින් හමන සීත සුළඟක මුදු පහසත්,සිලි සිලි හඬින් රැළි නංවන වැවක ඔරු සංචාරයක චමත්කාරයත් ,පොල් මලක් කැපීමෙන් රූරා වැටෙන.... බ්ලා බ්ලා බ්ලා එට්සෙට්‍රා විඳගන්න එන්න කියලා.ක්ලෝමෝ,ඩීබග්,ට්‍රබල්සූට් ,මම අපි හතරදෙනා එක් අරමුණක් වෙනුවෙන් ඒකරාශී උනා.ඒකම මදැයි 

අපේ යාලුවගේ ගෙවල් තිබුනේ ගොඩක් දුරක.අයිසොලේටඩ් එහෙමත් නැත්නම් ,අනේ මන්ද සිංහල වචනයක්නම් මතක් වෙන් නෑ..කොහොමහරි එහෙම තැනක.
මේ ඔක්කෝටම මුල ඒකයි.පාර හොයාගන්න බැරි වීම,කළුවර වැටීම,වෙහෙස,විවිධාකාර මතවාද හැමදෙනාම පෙලන්න ගත්තා. 

"ඒ කියන්නේ මචන්,ඒගොල්ලෝ හිතන විදියට හැම තිස්සේම පාරවල් එයාල එක්ක කතා කරනවා." මේ වචනත් ක්ලෙමෝගේ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මිනිහා දිගටම කියවනවා.
"එක්තරා තැනක ඉඳන් තවත් තැනකට යන්න ඕනෙනම් උන්ට යන්න මාර්ගයක් එකවරම පේන්න ගන්නවා.කාගෙන්වත් අහන්නවත්,ගූගල් මැප් හොයන්නවත් ඕන නෑ"

"මොනවද යකෝ මේ කියවන්නේ? දැන් උඹ මොකක්ද කරන්න කියන්නේ? පාර අහගන්න එකෙක් ඇත්තෙත් නෑ.පාරෙ බෝඩ් ඇත්තෙත් නෑ"ඒ ට්‍රබල්සූට්.
රේඩියෝ එක සද්දෙ අඩුකරගෙන,ෂටර් එකත් පාත් කරගෙන හිටියත්,කේන්තිය එහෙම්මමයි.

 "වට් යූ හැව් ටු ඩූ ඊස්.බිලීව් ඉන් යුවර් සෙල්ෆ්.අපි යමු.රිස්ක් එකක් ගමු.ටිකක් යද්දි හැමදෙයක්ම ක්ලියර් වෙලා උත්තරයක් ලැබෙයි" ක්ලේමෝ

"ඔව් පෙට්‍රල් ටැංකියත් ක්ලියර් වෙයි.උඹේ පඬි වදන්.මචන් මැප් එක මොකෝ.?"

"ලෝඩ් වෙන්නෙ නැති සීන් එකක් වගේ.සිග්නල් මදි" ඩීබග් එයාගේ දුරකතනය සොළව සොළවා අල්ලට තට්ටු කරන්න ගත්තා.එහෙම කළාම සිග්නල් වැඩි වෙන්නේ වග අපිට තේරුනාට ,අපි ඒ ගැන පොරට එක්ස්ප්ලේන් කරල දෙන්න ගියේ නෑ.

"දැන් අරූ මොකද කියන්නේ "මමත් වචනයක් දැම්මා
"අපි ඉන්න තැන කියන්න විදියක් නෑනෙ බන් හරියට.ඉතින් කොහොමද මිනිහ අපිට පාර කියන්නෙ"ඒ ට්‍රබල්සූට්

ලා කළුවරක් ගොඩබිම වහගෙන විසිරෙන්න ගත්තා.පේන තෙක් මානෙක මිනිස් පුළුටක් නෑ.හිටියද දන්නේ නෑ, අපිට පේන්නෙ නෑ.ට්‍රිප් එක කෙසේ වෙතත් කොහෙට හරි වෙලා දපන්න තිබුනනම් එකක් කියලා හීනියට හිතෙන්න ගත්තා.එක දිගටම වාහනේකට වෙලා ඉන්න එකත් ලේසි දෙයක් නෙවේනෙ.මෙච්චර වෙලාත් මාරුවෙන් මාරුවට අපි හතර දෙනා තමයි එළෙව්වෙ.
"ඔහොම යමු බන්..මොනවහරි හඳුනාගත හැකි මාර්ග සළකුනක් ලැබෙයි" මම මොරාල් අප් කරන්න හිතාගෙනද කොහෙද කිවුවෙ.ඩව්න් වෙලා තිබ්බ වයිෆර් දෙකනම් අප් උනා.හීනි පොදයක් වැටෙන්න ගත්ත නිසා.

එකපාරටම පරණ පන්සලක්ද කොහෙද ඉස්සරැහින් පේන්න ගත්තා.පාර අයිනෙ තිබ්බ දුර්වර්ණ නාම පුවරුව කියවගන්න වාහනය නවත්තන්න ඕන වුනේ නෑ.ආපහු හරවන්නයි වුනේ.ඒ රජමහා විහාරය ගැන අපේ ගමේ යාලුවට කිවුවට පස්සෙයි.අපි එච්චර වෙලා යමින් හිටියේ වැරදි පාරක.කොච්චර වැරදිද කියනවානම් අපේ ගමේ යාලුවටවත් පාර කියාගන්න තේරුමක් නෑ.පන්සලේ කවුරුවත් ඇත්තෙත් නෑ.ජරාවාස වෙච්චි තැනක්

"ඈ හු#* කෝ අර තොගෙ බිලීව් යුවර් සෙල්ෆ් එක?බලපන් ඉතින් නිකන් අපරාදෙ කිලෝමීටර් ගානක් " ට්‍රබල්සූට් ජාතිය අමතන්න පටන් ගත්තා.

ඒක සෑහෙන්න වෙලාවක් බල පැවැත්වුනා.කන් දෙක දෙබෑ වෙන තරමේ සද්දයක් ඇහෙනකල්ම.ඒක ඇහුනේ වෙන කොහෙන්වත් නෙවේ අපේ වාහනෙන්මයි.ක්ලේමෝ ගහපු බ්‍රේක් පාරෙ සද්දෙ.ටයර් හතර පිච්චෙන ගඳ පවා අපේ නාස් පුටු අස්සෙන් ඇතුළට රිංගුවා.

"දැන් උඹලා මට මොකක්ද කරන්න කියන්නේ.අරූට පාර කියන්න විදියක් නෑ.පාර අහන්න එකෙක් නෑ.මුගෙ මල ඉලව් මැප් එක වැඩ නෑ.සිග්නල් නෑ ,බැටරි බහින්න යනවා.තොපි මොනවද මට කරන්න කියන්නේ" විපක්ෂ නායකගේ ජාතිය ඇමතීමටත් සවන් දෙන්න වුනා මටයි ,ඩීබග්ටයි.
ට්‍රබල්සුට ලොකු ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ.වාහනය ටිකක් අයිනට කරලා නැවැත්තුව ක්ලේමෝ දොර ඇරලා සීට් එක දිග ඇරගෙන ඇළවුනා.ඒක අනිත් අයටත් ආදර්ශයක් වුනාද කොහෙද .පිටිපස්සෙ සිට් දෙකේ උන්නු මටයි ,ඩීබග්ටයි ඇල කරන්න සීට් එකක් තිබ්බෙ නෑ.ඒත් අපි දෙන්නත් දොරවල් දෙකම ඇරගත්තා.ලොකු වාහනයක් ඇවිත් අපේ දොරවල් දෙකත් අරගෙන යාමේ අවදානමක් ඇති වුනේ නෑ පාරේ වාහන නැති නිසා.
සිග්නල් කණුවක් වත් නැති ,එහෙයින් ගූගල් මැප් වනාහී මායාවක් වෙච්ච ,මිනිස් පුළුටක් නැති පැත්තක කොල්ලො හතරදෙනෙකුයි ,වාහනයකුයි !

අපි කිසිම වචනයක් නැතුව,හාවක් හූවක් නැතුව එහෙම්මම ඇල වෙලා හිටියා.දොරවල් හතරම ඇරලා දාල තිබුන නිසා එක පැත්තකින් වාහනය තුළට ඇතුල් වෙච්ච වාත ප්‍රවාහය අපේ ශරීර කෙඩෙත්තුවත් අරගෙන අනිත් පැත්තකින් පිට වෙලා ගියා.
හුදකලාව මිනිස්සුන්ට හුඟක් දේවල් කියලා දෙනවලු.ගොඩක් දේවල් අවබෝධ වුනත් ඒක වචන වලට හරවන්න පුලුවන් සමර්ථයෙක්ට හිටියෙ එක්කෙනයි.ඔව් ක්ලෝමෝ! පඬි වදන් සමඟින් දැන් වේදිකාවේ !
"පාරක් හොයගන්න එක හතරදෙනෙක්ට ගොඩක් සරල දෙයක් කියලා නේද මචන් හිතාගෙන හිටියෙ"
"හ්ම්ම් " X 3
"හතරදෙනාට තිබ්බේ වෙන වෙනම උපක්‍රම.උඹලට තේරුනාද දන්නේ නෑ"
"හ්ම්ම්.උඹ වැඩි උදව් හොයන්නෙ නැතුව තමන්වම විශ්වාස කරගෙන,අන්තිමේ යන්න ඕන තැන හම්බවෙයි කියලා හිතාගෙන" ට්‍රබල්සූට් කතා කරනවා.

"ඩීබග් යන්න ඕන තැනට යන්න හොඬ ප්ලෑනක් ගහලා,කොටින්ම යන විදියත් හරියටම හොයාගන්න හැදුවා" ආයෙත් ට්‍රබල්සූට්

"එතකොට උඹ..යන්න ඕන තැනට යන්න මාර්ග සළකුණු හොය හොය ,මිනිස්සුන්ගෙන් අහගෙන යන්න හැදුවෙ" 
"එතකොට මම ?" මගේ කුතුහලයත් ඉලිප්පිලා ආවේ ,සාස්තරයක් අහන්න අත දික් කලා වාගේ
"උඹ වෙන දෙයක් වෙද්දෙන්.පෙරලෙන පැත්ත හොඳයි"කියපු කෙනා මතක නෑ.ඒත් කියපු දේ හොඳට මතක හිටියා
"ඩ්‍රයිවින් විතරක් නෙවේ බන් කොයි දේත් ඔහොමයි බැලුවාම.එකෙක් ඕන දේ ළඟට එනකල් බලන් ඉන්නවා.තව එකෙක් ඒක හොයාගෙන යන්න දත කනවා.හොයාගෙන යන්නෙත් එක එක විදිවලට.හොයාගෙන ගියාම අහනවා 'උඹ කොහොමද බන් හොයාගෙන ආවේ කියලා' ,වෙන එකෙක් ඒ විදියට කරන්න ගිහින් ඇනගන්නවා.අන්තිමේ බැලුවාම ප්ලෑන් ගැහැවුවත් එකයි ,නොගැහැවුවත් එකයි.වෙලාවකට හිතෙනව බන් අපි මේ දුවන්නෙත් මෙලෝ තේරුමක් නැති හු#*ක් හොයාගෙන කියලා.

"හ්ම්ම් හැම එකාම නන්නත්තාරේ දුවනවා.ඌ දන්නෙත් නෑ කොහෙද කියලා" ඩීබග්

මටත් වචනයක් දාන්න හිතුනා

"පාඩුවෙ වෙන්න තියෙන දේ වෙයන් කියලා ඉන්න එකත් හොඳ නැද්ද බන්..නිකන් හිතපන් උඹ ගස් ගොඩක් තියෙන වත්තක ඇවිදිනකොට පොල් ගෙඩියක් වැටෙන සද්දයක් ඇහෙනවා කියලා.උඹලා මොකද කරන්නේ එක තැන සීරුවෙන් ඉන්නවද,කඩාගෙන බිඳගෙන දුවනවද,පාඩුවෙ යන්න ගිය ගමන යනවද?ගස් කොලන් බන් වටේම ....පොල් ගෙඩිය ළඟට එනකල් පේන්නෙ නෑ.උඹල අර කියපු තුනෙන් මොක කළත් පොල් ගෙඩිය ඔලුවට පාත් වෙන්න පුළුවන්.මම නම් පාඩුවෙ ගමන යනවා"
හැමෝටම හීනි හිනාවක් ගියා.හිත හෑල්ලු කරන හිනාවක් .තව බොහෝ වේලාවක් අපි එහෙම්මම ඉන්න ඇති.අන්තිමේ නින්දත් ගිහින්.පහුවෙනිදා පොළොවට පතිත වෙච්ච සූර්යාලෝකයත් එක්ක අපි ඇහැරුනේ ආරෝපණ හිස් වෙච්ච බැටරිවලින් සහ හොඳින් ආරෝපණය වෙච්චි හදවත් එක්ක

ඔව් අලුත් දවසක් !
අද ඕනම දෙයක් වෙන්න පුලුවන්
සමහර විට අලුත් සිග්නල් කණුවක් හයි කරයි මේ පැත්තේ
උදේ පාන්දර කොහෙහරි යන එකෙක් මුලිච්චි වෙයි
එක්කො පොලිසියට අහු වෙයි
හිරේ යයි
කොල්ලකාරයෝ ටිකකට අහුවෙයි ...
ඕන එකක් 

ඔය ඔක්කෝමත් මැද්දෙ අපි අපේ විදියට ජීවිත වාහනේ, නොදන්න පාරවල්වල ඩ්‍රයිව් කරයි දන්න හෝ නොදන්න තැන් හොයාගෙන.මඟදි හම්බුවෙන හැමෝම යන්නේ එකම ගමනක්.එකම ගමනක් කියන එකෙන් "එකම තැනකට" යනවා කියන එක ගම්‍ය වෙන්නේ නෑ.
එකෙක්වත් යන්නේ හොහෙද කියලා දන්නෙ නෑ ! ඒකයි එකම ගමනක් කිවුවේ.
ඒ නිසා එක එකාගේ ගමන දිහා බලලා කෝචෝක් දාන්න එපා.මොකද උඹ යන්නෙත් එහෙටම තමයි..
ඔක්කෝම අමුතු ඩ්‍රයිවර්ලා

So 
How Is My Driving?





Dec 30, 2013

"අනීවාරතේ" ඉලෙක්ට්‍රෝනික පුස්තකය බාගත කරගන්න







කවි කතා ලියන, චිත්‍ර අඳින, රඟපාන උන් එක්තරා ආකාරයක පින්වත්තු.
ඇයි කියලා කියන්නනම්, සැරව ගෙඩියක් මතක් කරගන්න (ඔව් ! ටිකක් අප්‍රසන්නයි තමා)
ඒකත් තියාගෙන විඳෝ විඳෝ පුපුර පුපුරා පැසව පැසවා කාලයක් ඉඳලා ,එක මොහොතකදි ඒක පුපුරලා  ගියාම !
දැනෙන්නෙ මොනාකාරයේ සැනසිල්ලක්ද කියලා මතක් කරගන්න.

පෙරකී ඈයොත් පින්වත්තු කිවුවෙ ඒකයි.
උන් යම් පමණකට හරි හිතේ තියෙන දේවල් එළියට දාගන්නවා
විඳෝ විඳෝ පුපුර පුපුරා පැසව පැසවා ඉන්නෙ නැතුව

මේ තරම් තැටමීමක් අනීවාරතේ ගැන කියන්නයි.
එක වාක්‍යයකට ඒක ගොනු කළොත්
වසර දෙකහමාරක පමණ කාලයකදී "අනීවාරතේ" බ්ලොග් අඩවියේ ගැටයා නමින් පළ කළ ලිපි වලින් කොටසක්"
කියලා කියන්න පුළුවන් වේවි..
ඒත් ඒකෙ අතීතය ඊටත් ගොඩක් ඈතට ,එක්දහස් නවසිය අනූ අටට (ඉස්කෝලෙ හය වසර ) වගේ දිව යනවා කියලයි මට හිතෙන්නෙ.
ඒ අර සැරව ගෙඩිය ඩිංග ඩිංග පුපුරන්න පටන් ගත්ත කාලෙ.
කිසිම දවසක කිසිම පත්තරයක ,පොතක පළකරගන්න බැරි වෙච්ච හින්දම මතකයන් විදියට පමණක් ඉතිරි වෙලා තියෙන ලියවිලි ගොඩකුත් තියෙද්දි ,බ්ලොග් අඩවියේ පළවෙච්ච ලිපි තිහකට ආසන්න ප්‍රමාණයක් තමා මේ විදියට එළි දකින්නෙ.
මේ වෙලාවෙ මතකෙට එන මූණු රාශියක් මැද්දෙ,කළු සුදු,දිගටි වගේ කිසිම පරාමිතියක් යොදලා නිශ්චය කරගන්න බැරි මූණු සංඛ්‍යාව වැඩියි.ඒ මොකද කියනවානම් පරණ hp 510 ලැප් එකේ ටයිප් කරලා publish බටන් එක එබුවාට පස්සෙ ඒක කොයි ලෝකෙ කා ගාවට යනවද කියලා මම නොදන්න නිසයි.පහළින් තියෙන ලයික් බටන් එක ඔබපු,කමෙන්ට් එකක් දාපු අය ගැන උනත් එහෙම්මමයි.මූණු උපකල්පනය කිරීමක් විතරයි කරන්න පුළුවන්.ඒ හැමෝටම ස්තූතියි.
සෙන්නා,සෑම් විශේෂයෙන්ම උඹලට.

පෙරකී පරාමිතින් දන්න මූණු අතරෙ
මුල්ම ගුරුහරුකම් දුන්නු ගුරුගෙදර වික්‍රමනායක සර්..
කතා කියවා හිනා වීමෙන් අවුරුදු හතරකදී බර කිලෝ විස්සකින් වැඩිකරගත් ඉලෙක් එකේ ජනක සර්..
"මචන් බ්ලොග් කියලා ජාතියක් තියෙනවා.මෙහෙමයි..මෙහෙමයි..මෙහෙමයි" කියපු පේරාදෙණියෙ තුන වසරෙ රූම් මේට් ජංගුවා..
අනෙකුත් රූම් මේට්ස්ලා සහ බැචාලා,බැචීලා,සින්නන් ,සින්නියන්,ජුන්නන්,ජුන්නියන්.
හැමෝටම ස්තූතියි

ඒත් එක්කම අනවරතව ගලන කාලයේ, යම් මොහොතකදී  මුණ ගැසී හෝ නොගැසී ,කතා කර හෝ නොකර ,ළඟ සිට හෝ දුර සිට
"කතන්දර ගෙන ආ" අයටත් පින්
උඹල තමා පොරවල්!

අන්තිමට ,
ලිපි කාලෙන් කාලෙට ලියවෙච්ච එවා නිසාත් ,සමහර ලිපි ඒවා ලියන කාලයේ රටේ ලොකේ සිද්ද වෙච්ච දෙවල් අනුව ලියවෙච්ච දේවල් නිසාත් තේරුම් ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.ඒ අපහසුතාවයන් හීන කරන්න සමහර තැන්වල වැඩි විස්තර ඇතුළත් කරලා ඇති.

මොන හු**** යකෝ මේ? ඉඳන් සුපිරි දක්වා ඇති ඕනෑම ප්‍රතිචාරයක් බාර ගැනීමට කැමති අතර ඒවා ඉතා අගේ කොට සළකනවා

කොපිරයිට්ස් නැත.උපුටා ගැනීමකදී ලින්ක් එකක් දැමීමට කාරුණික වෙන්න.



Option1----PDF කොපිය මෙතනින් බාගන්න (4.4mb)
Option2---FlipBook කොපිය මෙතනින් බාගන්න (Flash player අවශ්‍යයයි) (37.5mb)
Option3--CD එකක් ඉල්ලුම් කරන්න.අමතන්න saho.lk@gmail.com







FlipBook 





නෝට්:

 මේක සෙන්නාට,
උඹ මේක ඩවුන්ලෝඩ් කරගන්න එපා.
වැරදිලාහරි කරානම් ඩිලීට් කරපන්
saho.lk@gmail.com එකට missed email (missed call වගේ) එකක් දාපන්

මටම මේක උඹට දෙන්න ඕනෙ

Dec 15, 2013

'Hi' එක වචනයයි,අකුරු දෙකයි

හර්ට්ස් විස්සත් විසිදාහත් (20Hz-20000Hz) අතර වෙන මනුස්ස කනේ ස්වර පරාසයට ගෝචර වෙන නානාප්‍රකාර ශබ්ද අතරෙ කලාතුරකින් ඇහෙන බොහෝම දුර්ලභ ශබ්දත් තියෙනවා.

ඉන් එකක්,

"ටිටික්කි ටිං"

ෆෝන් එකේ මැසේජ් ටෝන් එක !

එච්චර දුර්ලභ ශබ්දයකුත් එක්ක උස කුළුණු ගණනාවක් පසාරු කරගෙන, නොදන්න නොම්බරයකින් මැසේජ් එකක් එන එක තවත් දුර්ලභයි.

 "දුර්ලභ" කියන වචනෙටත් වඩා බරපතල වචනයක් හොයල දෙන්න ඒ මැසේජ් එකේ තිබ්බෙ මොකක්ද කියලා කියන්න කලින්.



' Hi '

අකුරු දෙකයි.වචනයයි.
තමන්ට සුබ පතන,ආචාර කරන කෙනෙකුට පෙරළා ප්‍රතිචාර නොදැක්වීම මහාම කුහක කමක්.


'hi'

ලොකු වෙනසක් නෑ.අකුරු දෙකයි.වචනයයි.එකම වෙනස අකුරු දෙකම සිම්පල්.
H අකුර කැපිටල් උනානම් Hi කියන වචනෙට වැඩි වටිනාකමක් එක්කරන්න තිබ්බ.ඒත් දැන් ඕව හිතලා වැඩක් නෑ


'how are you?' එයාගෙන්

'im 5n.u?' මගෙන්

i සිම්පල්,5n? ,u? 
අනිත් පැත්තෙ කෙනා ඉංගිරීසි ටීචර් කෙනෙක් වගේනම් "ස්පෙලින්ග්ස් වැරදියි " වගේ එකක් ආපිට ලැබෙයි.ඒත් එහෙම උනේ නෑ
නිගමනය:එයා ඉන්ග්ලිශ් ටීච කෙනෙක් නෙවේ
කොහොමහරි උත්තරේ ආවෙ සිංහලෙන්


'hodai ane.eth tikak kammali'

කියන්න දෙයක් නැතිකමට සාමාන්‍යයෙන් කියන "hmm" සමඟින් මම කුතුහලය හින්දම තව ප්‍රශ්න දෙකකුත් මතු කළා.

'hmm,ehemada? kauda oya? mama danna kenekda?'

උත්තරේ සමඟම ප්‍රශ්නයක්


'me loke katawath hangila inna bane.koheda work karanne?'

'na mama campz eke.'

ඒ වගේ ප්‍රකාශයකට සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර වන,

අලද වාතද?
අවුට් වෙන්න අවුරුදු පහේ ඒවා කීයක් තියෙනවද?

වගේ දේවල්වලට වඩා වෙනස් ප්‍රතිචාරයක් එහා පැත්තෙන් ලැබුනෙ

'wooow.shok ne'

ඔය විදියට එහාට මෙහාට අකුරු හුවමාරු උනා මතකයි.inbox එක පිරිලා උතුරන ගානට.දවල් කෑමත් මිස් වෙන ගානට.
අන්තිමේ අපි එක්තරා සන්ධිස්ථානයකට ආවා..


"oya kohomda mage numbr eka hoyagatte? මම ඇහුවා

'mama hamadama nikan hithata ena number ekakata msg eka gane danawa.ada ahu une oya'

සමස්ත ජනගනයටත් එහා ගිය ජංගම දුරකථන සංඛ්‍යාවකින් නික්මෙන ,මේ මොහොතේත් අපේ ඇගේ හැපි හැපි සංසරණය වන මැසේජ් වලින්, මේ වගේ කෙනෙක්ගෙ මැසේජ් වලටම මගෙ ෆෝන් එකට රිංගගන්න හිතුන හැටි !

'hehe mawa thama ahu une'

තවත් ටික වෙලාවෙකින් අර තිබ්බ කුතුහලය ආයෙත් අලුත් උනා.කොල්ලෙක්ට මේ වගේ වෙලාවක ඇතිවෙන්න පුළුවන් දරුණුම ප්‍රශ්නය
එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද?


'r u a grl or a boy?'

'man boy nam aye msg karanne nadda?'

බෝයිනම්? 

'mmm balamuko'

'I am a boy ' එහා පැත්තෙන් ආපු උත්තරේ

..............................<no reply>.......................................
.......................<number blocked>.......................................

ඉහත සිද්ධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී 2011 අප්‍රේල් මස සිදුවූ සත්‍ය සිද්ධියකි.

ඒත් මීට කලින් වෙන්න ඇත්තෙ මොකක්ද?

කථා වස්තුව-විකල්ප 1     The Plot-alternative 1


ස්ථානය -නේවාසිකාගාරය
වේලාව-පළමු 'ටිටික්කි ටිං' එකට මොහොතකට පෙර

තරුණයන් කිහිප දෙනක් සංවාදයක යෙදෙමින් සිටිති.එකෙකු අත ජංගම දුරකථනයකි.

තරුණයා 1: "හිටපන්කො..මම දන්නවා හරියන ඩයල් එක"
තරුණයා 2: "කෝල් කරමු බන්"
තරුණයා 3: කටහඬවල් අදුරගනී..ඊට හොදයි මැසේජ්
තරුණයා 1:මොකක්ද ගහන්නෙ?
තරුණයා 2:ගුඩ් මෝනින්ග්.කොහොමද ඔයාට?
තරුණයා 1:ඔවර් යනව බන්
තරුණයා 4:අයි ලවු යූ?
(අනෙක් අය තරුණයා 4 දෙස බලා ඔරවති )
තරුණයා 1:නිකන්ම හායි කියලා දාමු ඒ ඇති
තරුණයා 2:ටික වෙලාවක් ෆෝම් කරල අන්තිමට කියහන් මම කොල්ලෙක් කියලා


                      කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2

මෙන්න නම්බර් එක.ගොඩක් කැමති කෙල්ලන්ට නෙවේ කොල්ලන්ට තමා, මූ



                     කථා වස්තුව-විකල්ප 2     The Plot-alternative 2

තරුණයෙක් හීනි කොළ කැබැල්ලක් දිග හැර මේසයක් මත තුනී කරමින් සිටී.අංක දහයකින් යුත් අංකය ඔහුගේ සිත කළඹවයි. කුල්මත් කරවයි.එවෙලේම සිහිපත් වූ එකවුන්ට්ස් එකේ අක්කාගේ වදන් පෙළකි
"ඔන්න නම්බර් එක දුන්නෙ මමයි කියලා ඒ කෙල්ලට දැනෙන්න අරින්නෙ නෑ හරිද? ඕන මගුලක් කරගන්නවා මාව පැත්තකින් තියලා"
තර්ජනාත්මක ස්වරයක් ගැබ් වූ වදන් සමඟ, ලැබුණු එකවුන්ට් එකේ අක්කාගේ, හොඳම යෙහෙළියගේ දුරකථනය අංකය !
මේක හොයාගන්න වින්ද දුක!
කොළයේ තැලී තිබුන කොනේ අංකය අපැහැදිලිය.3ද? 8 ද? 3ද? 8ද? ම්ම්ම්ම්ම් 8 වගේ
දැන් ඇත්තේ හීන් සීරුවේ වැඩ ආරම්භ කිරීම .මුලින්ම හායි.නම්බර් එක හොයා ගත්තෙ කොහෙන්ද ඇහුවොත් පචයක් ගහන්න බැරිය

                  කථා වස්තුව-විකල්ප 3     The Plot-alternative 3

හැමතිස්සෙම ඉස්සර වෙන්න ඕනෙ පිරිමි පාර්ශවය.ඇගේ හිත හීනි චකිතයකින් පිරෙන්න ගත්තෙ ඒක වෙන්න ඇති.ඒත් ඉතින් හැම පිරිමියම ඉස්සර වෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?ලියවෙන්න තියෙන කතන්දර,මතු වෙන්න තියෙන හැඟීම් එහෙම්මම නැති වෙලා යන්න ඉඩ අරින එකද?තව දුරටත් කිසිම දෙයක් දරාගෙන ඉන්න බැරි ගතියක් ඈට දැනුනා.ඇසිල්ලකින් අතට ආවෙ ඇගේ ජංගම දුරකතනය.කරන්න යන දේ ඊට පස්සෙ වෙන දේ ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ.සමහර විට එයා දැනගනී ඒ මමයි කියලා.එහෙම නැතත් මොකෝ..මුලින්ම හායි එකක්....ප්‍රතිචාර හොඳනම්..ම්ම්ම්ම්

ප්‍රතිචාර අවුලක් නෑ වගේ.ඒත් ඕනෑවට වඩා ඔෆීෂියල් .පොඩි විහිලුවක්වත් කරල ගත්තනම් ,

'I am a boy '
ඒක ඇත්තට ගත්තද දන්නෙත් නෑ

'he he no no ..a girl..just kidding.u know me well...don't misunderstand me.just wanted to talk'

.................Message Delivery Failed.......................


               කථා වස්තුව-විකල්ප 4     The Plot-alternative 4


ජීවිතය කියන්නෙ මහාම මහා මුස්පේන්තු ,මූසල හිස් අවකාශයක් කියලා හිතෙන්නෙ කලින් ඒ අවකාශය එළිය කරගෙන ලස්සන කරගෙන පුරෝගෙනෙ හිටපු අය /දෙවල් අපිව දාලා යන්න ගියාමයි.කොටින්ම අපි අපේ ජීවීතේ අනිත් අය/දෙවල් මත යැපෙන්න ගියාම අන්තිමේ තමන්ට තමන්වත් නැති තත්වයක් උදා වෙයි.දැන් මේ මට වෙලා තියෙන දේ වගේ.

ඔහුගේ හිතෙන් ඉපදිච්ච සිතිවිලි ඒ හිතම පුච්ච පුච්ච නළියන්න ගත්තෙ වතුර නටන්නා වාගේ.
මේ මුස්පේන්තු ජීවිතේට අයිති දේවල් විදියට දැන් ඉතුරු ඇට සැකිල්ලයි,ඒක වහගත්ත මස් ටිකයි හමයි.අන්තිමෙ ඇවිදින මළ මිනියකට සෑහෙන්න සමානයි.ඇත්තම කතාව මළ මිනියකට මීට වඩා සැප තියනවා.අඩන්න මොකෙක්වත් නැති උනොත් උඩු බුරලන්න බල්ලො හරි ඉන්නවා.මිනී එම්බාම් කාරයත් ආදරේට නොවුනත් සුවද ඉහල එහෙම මිනිය කුණු වෙන්න නොදී තියාගනී.
අපේ හිත් වල තෙරපි තෙරපි පැසව පැසවා තියෙන දෙවල් වෙන කාටවත් දෙන්න බැරි එක ඇත්ත.ඒත් ඒ දෙවල් ගැන කියන්නවත් එකෙක් හිටියනම්.මිනිහගෙන් විසඳුමක් එකක් නොලැබෙන එකත් ඇත්ත.ඒත් කතා කරන්න හරි තිබ්බනම් !
ඒත් කවුරු එක්කද?අනිත් හැම දෙයක්මත් අතෑරල කසාද බැඳගත්ත ගෑණිත් අන්තිමේ පිටුපෑවට පස්සෙ.කවුද ආයෙ ඉතුරු වෙලා ඉන්නෙ
කාලෙකට කලින් ඔලුව පිස්සු වැටෙන්න පටන් ගත්ත කාලෙ කරපු වැඩක් එවෙලෙ සිහි උනා.ඒත් ඒ වැඩෙත් එක්ක බැඳිලා තිබ්බෙ තවත් අමිහිරි මතකයන් ගොන්නක් විතරයි
ඔහු තනියෙන්ම හිනා වුනා.තව මොනවා නැති වෙන්නද.අතට ආපු ජංගම දුරකතනයෙන් එබුනෙ මොකක්දෝ අංකයක්.එහෙම අංකයක් නෑලු.කීප වතාවක් ට්‍රයි කළත් වැඩ කරන අංකයක් නෑ.බැරිම තැන ආයෙත් රැන්ඩම් අංකෙකට මැසේජ් එකක් දැම්මෙ හායි කියලා.ඒක එක අතකට හොඳයි කෝල් කරනවට වඩා.මොනවහරි දෙයක් වෙනවනෙ.පුදුමෙකට වගේ රිප්ලයි එකකුත් !!.මැසේජ් කිහිපයක් එහාට මෙහාට උනා. 

                                    'r u a grl or a boy?'


දැනිච්ච විදියට එහා පැත්තෙ ඉන්නෙ කොල්ලෙක්.එහෙම එකේ මමත් කොල්ලෙක් කිවුවොත්.කේන්ති යයිද?වෙන දෙයක් වෙච්චාවෙ


                                        'I am a boy '

රිප්ලයි එකක් නෑ වගේ.මෙහෙම වෙයි කියලා කලිනුත් හිතුනා.

'a boy who've gone thru a lot.suffrd a lot. jst searchd smbdy 2 tlk wit'

..................Message Delivery Failed.........................


ඒ පාර මැසේජ් යන්නෙත් නෑ.

මම ඇවිදින මළමිනියක්
මළ මිනී ඊට වඩා සැපෙන්..
ෆෝන් එක පැත්තකට විසි උනා
රෙදි වනලා තියෙන ලණුවනම් එච්චර හයිය නැතුව ඇති.ඒත් පොටවල් දෙකක් තුනක් දාල ගත්තාම කිලෝ හැට පහක් දරා ගන්න පුලුවන් වෙයි ඒකට !

පසුවදන

මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම දරුණු අරගලයක යෙදිලයි ඉන්නෙ.ඒ අරගලවල කඩු ගැටෙන සද්ද ,ඊතළ කපාගෙන යන සද්ද,මර ලතෝනි පිටතට නෑහුනාට එතන අරගලයක් නෑ කියන්න බෑ.එහෙමයි කියලා ඒ අරගල මැද්දට පැනල විහින් තුවාල කරගන්නත් අපිට ඕනෙ නෑ සමහර වෙලාවලදි.
ඒක ආත්මාර්ථකාමී දෙයක් කියලා කියන්නත් බෑ..
මනුස්සයා කියන සතා එහෙමයි
ඒත් දෙයියන්ගෙ නාමෙට කෙනෙක් දිහා බලල ඌ කරන දේවල් දිහා බලලා උපකල්පන කරන්න එපා!
මොකද උගෙ ඇත්ත කතාව දන්නෙ මමවත්,උඹවත් නෙවේ


Nov 30, 2013

සබඳතාවයන් ඩිජිටල් නොවේ | Relationships are not Digital

ඉරිදා දවසක් !
නන්නත්තාරේ ඇවිදින කකුල්වලට වැඩි සිහියක් පතක් නැතත්, උන් ඉඳලා හිටලා හරි හොඳ තැන් වලට මාව එක්කන් යනවා..
එදා ලුම්බිණි තියටර් එකට.
රූපවාහිනිය වගේ අඩු වියදම් රසවින්දන මාර්ගෙකට ඇබ්බැහි වෙලා ඉන්න මනුස්සයන් ප්‍රමාණය ගැන දළ ඇස්තමේන්තුවක් වේදිකා නාට්‍යය ශාලාවට ඇතුල් වෙද්දි නොමිලේම ලැබුන.බොහෝ කාලෙකට පෙරදි සෝබන පෙන්නගෙන, ආඩම්බරේට පිම්බිලා හිටපු සීට් වලින් විස්සකට තිහකට වගේ තමා එදා බර වැටිලා තිබුනෙ.බර වැටිච්චි සීට් ඔහේ ඉන්නවා.
අනිත් උනුත් එහෙමයි.
ඔහේ ඉන්නවා.බරක් වැටුනත් එකයි එකයි,නැතත් එකයි වගේ .

මම තෝරගත්ත එකාත් මුලින් "චිරි..චිරි" ගාලා මොනවද කිවුවා.පස්සෙ සයිලන්ස්.
ටිකකින් "ග්‍රීරීරීරීරීං" ගාලා වැදුනෙ තුන්වෙනි බෙල් එක වෙන්න ඕනෙ.තිරේ හිමීට හිමීට කැඩි කැඩි ඇරෙන්න ගත්තෙ ඒකයි.බලාගෙන ගියාම උටත් එපා වෙලා වගේ.තිරේ ඇරෙන එක ඈතට පෙනුනෙ නිදාගෙන ඉන්න යෝදයෙක් ලොකු ඈනුමක් අරිනවා වගේ.මන්ද, මට පෙනිච්ච විදිය.වෙනසක් තියෙනවනම් කියන්න.
අර යෝදයගෙ කට ඇතුළේ පොඩි බංකු කෑල්ලක් හිටියා.ඒක උඩ එකෙක් සහ එකියක්.ඩබල අතර අඩි දෙහෙක විතර ගැප් එකක් තිබ්බ.ඒක "ෆ්‍රෙන්ඩ්ශිප් ගැප්" වෙන්න ඕනෙ.කොල්ල නැගිටලා ඉස්සරහට ආවා.කර්ටන් සීමාවෙනුත් ඉස්සරහට ස්ටේජ් එකේ දෙපැත්ත බැලන්ස් වෙන්න.සාමාන්‍යයෙන් ඔතෙන්ට එන්නෙ ප්‍රේක්ෂකයාගේ හදවතට මොනවාහරි කියන්න ඕනෙ උනාම.පුදනකොටම කාපි යකා වගේ තුන්වෙනි බෙල් එක ගැහුවා විතරයි මූ මොකාටද එන්න හදන්නෙ!

"ආදරය...
ආදරය කියන දේ ඇත්තනම් අපි ඒක ලුහුබඳින්න ඕනෙ නෑ ,ඒක කවදහරි අපිව හොයාගෙන එනවා "

1)බොළඳයි
2) සාම්ප්‍රදායිකයි
3) "ඒක" කියන වචනය දෙපාරක් තිබ්බ.හරි නෑ
4) පටන් ගන්නකොටම ගැළපෙන්නෙ නෑ

ඉවරවෙලා හම්බ වුනොත් කියන්න ඕනෙ.
මූ අපි කවුරු කියලා හිතාගෙනද දන්නෙ නෑ.
කිලෝවොට් බර ගානක ලයිට් එළියක නාන ගමන් දෙන ටෝක්ස්, පොර වගේ.
ම්ම්ම් එක අතකට පොරක් තමා.
අර එළිය මැද්දෙ පොරක් වගේ තමා පේන්නෙ.

අහ්
5) නළුවා වයස වැඩියි

ඒත් ඒ පොයින්ට් එක වැඩි වෙලාවක්නම් තිබුණෙ නෑ.මොකද කතාවේ විදියටත් මිනිහා වයසයි.මිනිහා විතරක් නෙවේ ගෑනිත්.
නෑ කෙල්ල.
විනාඩි පහළොවක් විතර යද්දි ජෝඩුවගේ පෞද්ගලික ජීවිතවල කොන් අහු වෙන්න ගත්තා.
මීදුමත් එහෙමනෙ.ටිකක් ඈත ඉඳන් බලද්දි සුදු පාට කළු ගල් කුට්ටියක් වගේ ("සුදු පාට කළු ගල්" යෙදුමනම් හරි නෑ.යන්තමට තේරුම් ගන්න. ඒ ඇති )
ඒත් ළං වෙද්දි චුට්ටක් හරි දුරට පේන්න ගන්නවා.
පොඩ්ඩක් එහෙට මෙහෙට හරි බරි ගැහිලා ආයෙමත් සීට් එකෙන් ,"චිරි චිරි " ගාල හොඳවායින් දෙකක් අහගත්තු මම මීදුම් දුමාරෙ මැද්දට එබුනා.
කතාවේ දෙබසින් දෙබසට ඉදිරිපත් කරන්න පුලුවන් උනත් ඒක නොකරන්නේ,නාට්‍යය හදපු එකා මගේ තරහ කාරයෙක් නොවෙන හින්දයි.ඒත් පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්න හිතිලද කොහෙද කට කහනව.
මේ ටිකක් පරණ ජෝඩුවක්.මෙතන "ජෝඩුව" කියන වචනෙන් අදහස් උනේ නෝමල් දෙන්නෙක් කියන එක මිසක් "යුවළ" එහෙමත් නැත්තන් "කපල් එක" නෙවේ.ඉස්සරහත් එහෙමයි.දැනුත් එහෙමද මන්දා.බංකුවෙනම් අඩි දෙකේ ෆ්‍රේන්ඩ්ශිප් ගැප් එක තාම තියෙනවා.ඒත් තේරිච්ච විදියටනම් මේ පොර සහ පොරී අතර මොකක්ද හුටපටයක් නොතිබිලාම නෑ.තිබිලත් නෑ වගේ.
ඒත් ජීවිතේ ලැබෙන්න තියෙන්න ගොඩක් දේවල් නොලැබෙන්න,ප්‍රශ්න ගොඩක් නොවිසදෙන්න බලපාන ප්‍රධාන සාධක වන "ආත්ම අහිමානය","සෙකන්ඩ් නොවීමේ අහිප්‍රාය" ,"අනම්‍යශීලීත්වය" මෙතැනදිත් මුන් දෙන්නගෙ ඔලුවටත් උඩ ඉඳන් බලපාල තිබිච්ච නිසාද කොහෙද,කිසිම දෙයක් සිද්ද වෙලා නැත්තෙ.
අර සින්දුවකුත් තියෙන්නෙ "එක වරක් ඔබට මා එපානම් සිය දහස් වාරයක් එපා මට..ඔබ එපා"
දෙන්න දෙපැත්තට ඕක කිය කිය ඉඳලා.
ඒ ඇරුනාම තවත්.."ඉට්ස් ඔවර්" ,"වී ආර් ඩන්" "ඩෝන්ට් කම් බැක් අගේන්" එට්සෙට්‍රා
ඒ මුල් පැය බාගයෙදි අහුලගත්ත ,අවශෝෂණය කරගත්ත දේවල් ටික.ඒ අතරතුරේ ස්ටේජ් එකට ඇරුනාම අහළ පහළටත් නෙත් ඇදිච්ච එක නාට්‍යයේ අඩුපාඩුවක් කියලා චෝදනා අරන්න බෑ.මගෙ අඩුපාඩුවක්.අහළ පහළ ගැන සමරියක් දුන්නොත් දොර ගාව ටිකට් කඩපු එකා තුන් හතර පාරක් ඇතුළට ආවා ආපහු ගියා.ඒ අතරතුරේ තවත් කෙල්ලෙක්ද කොහෙද කලුවරේම ඇවිත් ඉස්සරහ සෝබන සීට් එකකට බර දුන්නා.

ඩ්‍රාමා සමරි එකේ හොඳම ටික අමතක වෙලා වගේ.

"දැන් ලොකු පුතෙක් එහෙම ඇති නේද?

"නෑ මම බැන්දෙ නෑ.කොහෙද වයිෆ් වර්ක් කරන්නේ?"

"නෑ මට වයිෆ් කෙනෙක් නෑ"

ජෝඩුව කවදාවත් වෙන කාවවත් කසාද බැඳලා තිබුනෙ නෑ !!

ටිකක් බොළඳ ටයිප් කියලා හිතෙන එකනම් නවත්තන්න බෑ.සමහර විට අතාත්විකයි කියල හිතෙන නිසා වෙන්න ඕන.ඒත් එහෙම දෙවල් වෙන්නෙත් නෑ කියලා කියන්න අමාරු වෙන්නෙ මේ ලෝකෙ මම ඇරුනාම තවත් බිලියන හතකට එහා ඉන්න නිසයි.
බැන්දෙ නැත්තෙ ඇයි කියන එකට හරි උත්තරයක් ආවෙ නෑ,දෙන්නගෙම කටවල් වලින් එළියට.ඒත් දෙන්නම කාලාන්තරයක් වේදනාවකින් හිටපු වගක් තමා පෙනුනෙ.ඒ වෙලාවෙත් ඇස්වල ලියවිලා තිබුන.

මුලින්ම කියවුනේ කසාද බැඳලා නැති වගක් විතරයි.කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක හාද වෙලා හිටපු වගක් ටිකක් පහුවෙලා කියවුනා.ඒත් වැඩි කාලෙකට නෙවේ.පොරගෙ කටින්ම කියවිච්ච විදියට මඩේ හිටෝපු ඉන්නකටයි ඒ සම්බන්ධතාවය සමාන උනේ.ඉර හඳ මතක් කරලා දිවුරලා,පන්සල් ගිහින් බෝධි පූජා තියලා ,බාරයකුත් උනත් අන්තිමේ අර කියපු ඉන්න කඩාගෙන වැටිලා තියෙන්නෙ මඩ ගොඩටමයි.ඒ පැත්තකින් හීනියට ආපු තල්ලුවකින්.තල්ලුව ආවෙ කොහෙන්ද කියලවත් මිනිහට අදහසක් නෑ.හරි සංකීර්ණයි,මොකද උන් දෙන්න අතර කිසි ප්‍රශ්නයක් ඇති වෙලත් නෑ.හරි සංකීර්ණයි

එච්චර සංකීර්ණ මිනිස්සුන්ගෙ හැඟීම් අත පත ගාන්න යනවා කියන එකත් කරන්ට් එක අල්ලනවා වගේ වැඩක් එක අතකට.අපිට කරන්ට් එක වදිනවාට අමතරව ,ට්‍රිප් ස්විච් එකත් යනවා.ඒකයි එවත් එක්ක සෙල්ලම් හොඳ නැත්තෙ
මිනිස්සුන්ගේ හැඟීම් ඉදිරිපත් කරන්න වගු,ප්‍රස්තාර තියෙන රිපෝට් ගන්න බෑ.නිකමට හිතන්න,මේ සම්මත ලෝකයේ "ගෑණු පිරිමි අතර ඇති වෙනවා කියන ආදරය කියන දේ ගැන"

"මගේ සිතේ අහවලී ගැන 2007-2013 දක්වා කාලය තුළ ඇති වූ ආදරයේ වෙනස් වීම පහත ප්‍රස්තාරයෙන් නිරූපණය වේ "

"පහත වගුවේ පළමු තීරුවෙන් අහවලී 1 ට කැමති වීමට හේතු සහ දෙවන තීරුවෙන් අහවලී 2 ට කැමති වීමට හේතු දක්වා ඇති අතර,ඒ දත්ත සමාලෝචනයෙන් පසු නිගමනය වශයෙන් මා අහවලී 3ට කැමති වග දක්වා ඇත. "

හැඟීම්,සබඳතා කියන ජාති එහෙම නෙවේ.තව දුරටත් තර්ක කරන්න ඕනෙනම් මට කියන්න ,දැන අඳුරගෙන මාසෙන් කසාද බැඳලා මැරෙනකල් හොඳට ඉන්න කපල් එක්කම අවුරුදු දහයක් දොළහක් ආදරේ කරල බැඳලා ටිකකින් ඩිවෝස් වෙන කපල් ඉන්නෙ ඇයි කියලා.
අර පොර සහ පොරී කාලෙකට කලින් වෙන් වෙලා ගියාට ඒක ඇත්තම "වෙන් වීමක්" නෙවේ කියලා පේන්න තිබෙන නිසා උන් දෙන්න මේ පාර එකතු වෙයි කියලා හිතනවාද?නැත්නම් කිසිම දෙයක් වෙනස් නොවෙයි කියලා හිතනවාද? නාට්‍යයේ මොනවා උනත් ඇත්ත ජිවිතෙත් එහෙම්මම වෙයි කියලා හිතනවාද? නාට්‍යයේ මොකද උනේ කියලා මගෙන් අහන්න එපා.මම පැයකට විතර පස්සෙ සෝබන සීට් එකෙන් මිදිලා එළියට ආවා.

ඒ වෙලාවේ  දැකපු, අර ඉස්සරහ කළුවරේ ඇවිත් ඉඳගත්තු කෙල්ලගෙ මූණ ගැන සහ උත්පාදනය වෙච්ච හැඟීම් ගැන අහලා කරන්ට් එක වද්දගන්න එපා...

*********************
අන්තිමේදි මාතෘකාවට

ඩිජිටල්
සන්තතික නොවන (වෙන්වූ) දත්ත සහ සිද්ධීන් සහිත පද්ධතීන් විස්තර කරයි.මෙම පද්ධතිවල පවතින්නේ අගයන් දෙකක් පමණි.
1 හෝ 0
on හෝ off
ඇති හෝ නැති

උදාහරණෙකට ගෙදර ලයිට් දාන නෝමල් ස්විච් එකක් ගන්න.එක්කෝ එක off නැත්තන් on .එක්කො එළිය තියෙනවා.නැත්තම් එළිය නෑ.ඒ දෙක මැද්දෙ අවස්ථාවක් නෑ

ඔව් මිනිස් සබඳතා ඩිජිටල් නෙවේ. (කැමති සබඳතාවයක් තෝරගන්න ) 
නැති වෙනකොට නැත්තටම නැති වෙලා යන්නත්
තියෙන කොට උපරිමේටම තියෙන්නත්
ඒවා තියෙන්නෙ ඔය දෙකම මැද හරියක වගේ
හරිම
නොපැහැදිලි
බොඳ වෙච්ච
සීමාවක....

සිද්ධි මනඃකල්පිතයි.මනස්ගාතයි
ඕනෑම කෙනෙකුගේ ඕනෑම කමෙන්ට් එකක් සඳහා බ්ලොග් එක විවෘතය.ඕනෑම කෙනෙක්





Nov 7, 2013

දූෂණ නසන විරුවා

විඳිමින විටමින ඩී හිරු රශ්මිය
ඇවිදින කල කකියයි පා යුග්මය
හෝනය දී බ්‍රේකය ගැසු කාරය
රියදුරු තෙම කී "මම දෙමි ලිෆ්ටය"



හිඳගෙන මත ඉදිරිය සුව සීටය
සිරකොට සකසනු ලැබුවෙමි බෙල්ටය
තුති පුද වේ දෑතට පදවන රිය
කී කල හේ තෙම කී "මයි ප්ලෙෂරය'


නුඹ ගුණ මා මෙහි අගයමි පුතණුව
බෙල්ටය දමමින, නීතිද ගරුකව
බෝ දෙන වසනා මේ කල ලක්දිව
නිතින නීතියට ගෙන දෙති පරිභව

ඒ පිළිගත් කල සළමින මා හිස
රියදුරු තෙම කියවයි ලෙස "බස බස"
නීතිය කඩනා උන් හට දී   කස
දෙකකුල් පලලා තබනෙමි ලුණු ඉස

බලනුව පුතණුව පෙර තුන් සක් රිය
කපමින මාවත මැද ඉරි යුග්මය
සිත්සේ හරවා යන සැටි හැඩලය
තුන් සක් රියමැයි මාවත කරුමය

නුඹ බස ඇත්තකි මැතිඳුණි රියදුරු
තුන් සක රඟදෙනු දුටුකල නිරතුරු
සිහිවෙත වැස්සට සැරිසරනා මෙරු
මේ ලෙස ගි..........

පුතණුව මෙරු මෙන් නොව මේ පල් හොරු
මැඳැඟිලි එසැවේ මාගේ අත සුරු

පුත,
ලොව තුළැ කිතු ගොස රැව් පිළිරැව්
කරමින, රැක දියුණෙහි සිරිදෙව්
හුන් රටකට,යන කල පිළිකෙව්
සිහි කරමින වැළපෙන අපි පව් !

දුටුවෙද පුතණුව ,උළෙලට චෝගම්
සැමතෙහි සැමවිට සරුවට වියදම්
එනමුදු චිත්තය පෙළනා සොවනම්
දැකුමයි නිරිඳුන් රඟනා කෝලම්

ගජ ගොඩනැගිලි මාවත් බෝ එක්සප්‍රස 
නැඟුනද සොඳින ලක් දිවයින කොනෙහි දස
කොමිෂන ලෙසින නිරිඳුන් ගත් ධනය රැස
නොදනිමු පුතුනි අපි ගත් ණය ගෙවනු මිස

ගසක සරුව වැඩෙනා පිළලයක් මෙන
සිහසුන පටන් පහළට සරු ලෙස ගලන
දූෂන දාම, නැසුමට පෙර අප දෙරණ
පුතුණි එදිරි වී ගෙනයමු ජන සටන

රියදුරු මැතිඳ තුළ නැගෙනා ආවේගය
හිසේ පටන් දෙපය දෙසට විසිරේය
දකුණත පැඩලයද මඳ මඳ පෑගේය
ආවේගයද වේගෙද වැඩිවේ රථය

මාවත ඉදිරියෙහි හුන් මැතිඳාන පොලිස්
විසිලය පිඹිනු ලැබු කල්හී හඬින උස්
නැවතින රථය යහතින හඬ නගා "ක්‍රාස්"

පොලිස් තෙමේ විමසී "කෝ ඔබ ලයිසන්?"

පින්වත් මැතිඳ මාගේ ලයිසනයද
ඉන්සුව රන්සයද මා ලඟ නොමැත අද
කමා වෙලා......

රියදුරු මැතිද මට නැගෙනා පැනයකී
යකෝ ලයිසන් නැතුවද මාව මෙච්චර වෙලා දාගෙන ආවෙ?


බැල්මක් හෙලූ මා වෙත නොම රුස්සනා
රියදුරු තෙමේ රථයෙන් බැස නික්මෙනා
කසු කසු හඬින ගනුදෙනුවද සිදු කෙරෙනා
"දූෂණ නසන විරුවා" දූෂණය වෙනා




අනීවාරතේ ජන සංගණනයට එකතු වෙන්න.ඔබේ සහයෝගය ඉතා ඉහළින් අගය කෙරේ.





ඕන රෙද්දක ඕන රෙද්දක් ලියාගන්න.යන්න www.owntshirt.com

Oct 28, 2013

ආචිචිට රෙද්ද ගැන කියාදිමට සොඳුරු උත්සාහයක් !




නෝට් : ඇවිත් යන්න කලින් අනීවාරතේ ජන සංගණනයට සහය දෙන්න


සමීප ඥාතියෙකු හෝ යහලුවෙකු බැලීමට ඔහුගේ හෝ ඇයගේ නිවසට යාමේදී, නිකරුණේ අතපය අවලම්බනය කොට වන වනා නොයා මොනවා හෝ රැගෙන යාම ,සල්ලි තියෙන කාලයට අනුගමනය කිරීමට ඉතා හොඳ පුරුද්දකි.වෙනදා මෙන් ආච්ච්ගේ ගෙදරින් යමක් අත පත ගාගෙන එනු වෙනුවට ,ආච්චි විෂයයෙහි යමක් පූජා කිරීමට ඇති වූ චේතනාව කර්මයක් බවට පත් වූ හෙයිනි ,මේ අඟල් අටක් දිග කවරය මා අතට පැමිණියේ. 
තෑග්ගක් රැගෙන යාමේදී හොඳ බරට ගෙන යා යුතු බවට තිබෙන මුඛ පරම්පරාගත මතවාදයට අනුව, මුලදීම මිරිස් ගලකට හිත ගියද ,ටිකකින් වෙන අතක ගිය හිත නතර වූයේ මේ අඟල් අටේ කවරය ළඟය.

තෑග්ගත් අතට ගෙන ආචිචිගේ ගෙදර දොරෙන් ඇතුළු වූ මම අඩියක් ඇතුළට යන විට, මගේ පපුව අඩි දෙකක් ඉදිරියට යයි.ඒ පපුව අභිමානයෙන් පිම්බී තිබුන නිසාය.කවරය අතට ගත් ආච්චිගේ මුවින් පිටවිය යුතු විශ්මයාර්දී ලකුණ (! ) ශබ්දය වෙනුවට ,සවුන්ඩ් කාඩ් එකේ අවුලක් නිසා පිටවූයේ වෙනමම වදන් වැලකි.

"ලයිට් බිලද උක්කුං පුතේ?"

මම ඉවසීමි..
එවදන් උපේක්ෂාවෙන් ඉවසීමි

යමෙකුට තෑග්ගක් පිරිනැමීමේදී හෝ විශ්මයජනක දෙයක් පෙන්වීමේදී, ගල් යුගයේ පටන් අනුගමනය කරන මෝඩ පහේ ට්‍රික් එකක් තිබේ.

"කෝ ඇස් දෙක වහගන්න බලන්න"

අමාරුවෙන් වැසූ ඇස් දෙක නැවත විවර වන මොහොතේම මම කවරය තුළ තිබුනු කාඩ්පත මූණ ඉදිරිපසින් ඇල්ලූවෙමි.


ටඩා

(මේ අවස්ථාවේ නියම හැඟීම ලබාගැනීමට පහත වීඩියෝව ප්ලේ කරන්න-ගැටයා )



"මොකක්ද උක්කුං පුතේ මේ? උඹේ වෙඩිං කාට් එක වෙන්නත් බෑ.අපේ මෝල් ගහේ තාම දළු දාල නෑ.මම අද උදෙත් දැක්ක"
"නෑ ආච්චි නෑ..මේක ගිෆ්ට් වවුචර් එකක්!
 අඟනුන් සුරඟනුන් කරන,කාඩයන් සුපර් ස්ටාර්ස්ල කරන ,ධරණීය සංවර්ධනයට ඔබින පිරිමැසුම් දායක කාන්තා රෙදි පිළි මාළිඟය 'සෙළුහංගන ටෙක්ස්ටයිල්ස්' එකෙන් ඕන රෙද්දක් ගන්න"

"චීත්ත?"

මට ඒ වචනය හරිහැටි ඇසුන මුත් කන්වල දෝශයක් අභිරූපනයෙන් ඉදිරිපත් කොට,

"මොකක්ද ආච්චි?" යි ඇසුවෙමි

"චීත්ත පුතේ චීත්ත"

එකම වචනය තුන් පාරක් ඇසීමෙන් චිත්තාභ්‍යන්තරයේ උපන් ආවේගය හයිවේ එකේ යන්නට වූ තැන,එය සංසිඳුවාලනු වස්  පිඹිමින්,පුපුරමින්,අට පාරක් බෙල් එක ගසා හත් පාරක් දොරට තට්ටු කිරීමෙන් පසු ,අවසන කොට්ටාව හුවමාරුව වෙත පැමිණියෙමි.



යහ සමජ්හේ අච්චා කරනේ කී ලියෙ සමය හේයි !
මේ සොඳුරු උත්සාහය ආරම්භ කිරීමට කාලයයි !
_______________________________________________________

"ආච්චි දන්නවද ආච්චි? මම මේ වවුචර් එක ආච්චිට නොදී ටවුන් එක මැද්දෙ පාරට වෙලා උස්සගෙන හිටියොත් මොකෝ වෙන්නෙ කියලා?

"උඹව ත්‍රීවිල්කාරයෙක් හප්පන් යයි "

මම නැවතත් බෙල් එක ගසා ආවෙමි

"නෑ ආච්චි ,ගාමිණි ෆොන්සේකා පාරට බැස්ස වගේ කෙල්ලො මගෙ පස්සෙන් එයි.මාව හපයි..හූරයි..කොනිත්තයි..."

"අර මොකෝ? "

"රෙද්ද තමා ආච්චි..

"කියපන්කො උක්කුං"

"රෙද්ද ආච්චි රෙද්ද  ....රෙද්ද තමා"

"දැන් උඹට වැඩිහිටියන්ට කතා කරන්නත් තේරෙන්නෙ නෑ නේද?"

"නෑ ආච්චි ..රෙද්ද ..ඇඳුම්"

"ඉතින් මොකෝ?"

"ඔය රෙද්ද හදල තියෙන්නෙ මොනවා වලින්ද ආච්චි" මම විත්තියේ නීතිංඥයා මෙන් හරස් ප්‍රශ්න නැගුවෙමි

"මොනවාවලින්ද ආච්චි" මන්ද්‍ර ස්වරවල සිට උච්ච ස්වරවල නිම් හිම් සෙවුවෙමි.

"නූල් වලින්නෙ උක්කුං"

"එහෙනම් ඔබ කියන්නේ...මේ රෙද්ද...මේ රෙද්ද නූල් ගොතල හදපු එකක් කියලද?"

තීව්‍රතාවයෙන් අධික ශබ්ධ තරංග කන වැටුණු කල්හී කඩිමුඩියේ එතනට දුවගෙන ආ සීයාගෙන්ද මම ඒ ප්‍රශ්නයම ඇසුවෙමි

'සීයා..ඔය සරම හැදිල තියෙන්නෙ නූල් වලින්ද?
 නැහැ සීයා නැහැ..සීයාගේ සරමවත් ,ආච්චිගෙ රෙද්දවත් හැදිලා තියෙන්නෙ නූල්වලින් නෙවේ,මනුෂ්‍යයාගේ අභ්‍යන්තර චින්තනාවලි ඒකරාශී වීමේන්.එකට ගෙතීමෙන්.මක්නිසාද යත් රෙද්ද යනු මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය බාහිරට පෙන්වන කැඩපත"

"අනේද කියන්නෙ පුතේ.දැන් කාලෙ රෙදි ඔහොම්මම තමා.අබ්යන්තරේ බාහිරට පෙන්නන එකම තමා තියෙන්නෙ"ආච්චිගේ ප්‍රතිචාරයත් සමඟ මගේ සොඳුරු උත්සාහය ප්‍රොෆිට් කරන වගක් පෙනුනි.

"වැඩිය ඕනෙ නෑ බලහං අර සාගතසිංහගෙ ලොකු කෙල්ල කරපු වැඩේ..අර කවුද ලංකා කන්ඩායමේ ක්‍රිකට් ගහන කොලුවා දවසක් කිවුවලු අපේ හැමදේකම විනිවිදබාවයක්ද මොකක්ද තියෙන්න ඕනෙ කියලා.මේකි පහුවින්දම අර කඩල පැකට් කරන්න ගෙනාපු පොලිතින් මල්ල ඇඳගෙන පන්ති ගියානෙ"සීයා මාතෘකාව වෙනස් කර ප්‍රතිගාමී බලවේගවල අතකොලුවක් වීමට සූදානම් විය.

"මේක ඒ වගේ දෙයක් නෙවෙයි සීයා.ඇට ලේ මස් නහර වලින් පිරුණු මනුෂ්‍ය ශරීරයට ජීවයේ හුස්ම පොද පිඹින්නේ කුමක්ද ?රෙද්ද තමා ආච්චි...රෙද්ද
ආචිචි හිතන්නේ මම කාලද ඉන්නෙ?" අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි

"හප්පච්චියේ අමතක වෙච්ච හැටි..හිටපන් බෙදල ගන්නම්"

"එපා ආච්චි එපා" මම කේශර සිංහ නාද නැගුවෙමි.බල්ල උඩු බුරන්නට පටන් ගත්තේය.

"මම කෑවා කියා උපකල්පනය කරන්න ආච්චි.මගේ බාහිර වෙනසක් පෙනේද?"

"පැච් එකක් තියෙන රෝදෙකට කොච්චර හුලන් ගැහුවත් වෙනසක් නෑ පුතේ"මෙය සීයාගේ කින්ඩි සම්පන්න වදනක්යයි සැකයක් උත්පාදනය විය හැකි වුවද,සීයා විසින් එය පවසනු ලැබූයේ අනීවාරතේ පරණ බයිසිලකලයකට හුළං ගසමින් හුන් දර්පණාගේ මල්ලීටය.

"නැහැ ආච්චි,නැහැ සියා..මගෙ විතරක් නොවෙයි.බොහෝ දෙනෙකු එසේයි.කෑවා නොකෑවා කියා වෙනසක් නැහැ.ඒත් නිකමට හිතන්න ආච්චි.මම අද මෙතනට ඉරිච්ච කබල් චව් ඇඳුමක් ඇඳගෙන මෙතනට ආවොත් මගේ වෙනසක් පෙනේද?"

"ඔව්නෙ"

"ආන්න ඒක නිසා තමා ආච්චි අපි නොකා නොබී හරි රෙද්ද ආරක්ෂා කරගන්න ඕනෙ.මක්නිසාද යත් පාරවල්වල චීන අකුරු සහිත බෝඩ්වලින් රටේ සංවර්ධනය නිරූපණය වන්නේ යම් සේද ,රෙද්ද මඟින් මනුෂ්‍යයා නිරූපණය වන බැවිනි.මේ ෂර්ට් එකෙන්,කලිසමෙන්,තොප්පියෙන් නිරූපණය වන්නේ එයයි"

"සර්ට් කිවුවාමයි දැක්කෙ.පංකාදු සර්ට් එකක් නේහ්" ආච්චි මගේ කමිසය ස්පර්ශ කළාය

"හ්ම් හ්ම්.කුරහන් පාටමයි..හොඳ පාට" සැමියාගේ යුතුකම ස්වකීය භාර්යාවගේ මත ස්ථීර කිරීම බැවින් සීයාද කට ඇරියේය.

"ආච්චි කෝ ගිනි පෙට්ටිය"

"ඔන්න ඔහෙ බුදු පාන ළඟ ඇති.මොකටද?"

ගිනි පෙට්ටිය සොයාගැනීමට සහ ගිනි කූරක් ගැසීමට ඒ හැටි වෙලාවක් ගත නොවුනු අතර හිතුවාටත් වඩා කලින් කමිසය කළු පාට විය..මම තුවායක් ගෙන ඇඟ වටේ ඔතාගතිමි.

"ඔන්න ඔය වගේ කලිසමක් තමා එදා ඇස්.බී.."සීයා නැවතත් ගිනි ඇවිලීමට  උත්සාහ කළේය.

"නෑ නෑ..පුතේ ඔයිට වෙනස්" ඒ ආච්චීය.සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.

"දැන් ආච්චි මගෙ තෑග්ග ගන්නෙ නැද්ද" මම ගිනි කෙළි සංදර්ශනය අවසානයේ ඇසුවෙමි.

"අනේ අපිට මොකටද පුතේ ඔච්චර ඇඳුම්? සාරියක් උනත් ඕන වෙන්නෙ කලාතුරකින්නෙ"

"ආච්චි හැම තැනටම සාරි අඳින්නද හදන්නෙ?ආච්චිගෙ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ.සීයා හැම තැනටම නැෂනල් එක ගහන්නද ලෑස්තිය?දෙන්නම මම කියනවට යං.."

උත්සාහය සාර්ථක විය.
ජෝඩුව යහ මගට ගැනීමේ උද්දාමයෙන් මම ලොකු වාහනය පැදෙවුවෙමි.සෙළුහංගන ටෙක්ස්ටයිල් වෙත ඒමට ගතවූයේ පැය කාලක් පමණි.එම ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේ ක්‍රිකට් තරඟයකි.ඇමතිතුමෙක් පාරේ පයින් යාම වැනි තරමක් ඇසට නුහුරු දසුනක් බැවින් මම එකෙක්ගෙන් ඒ පිළිබඳ විමසීමි.

"අපේ වයිෆ්ලා ඇඳුම් ගන්න ඇතුළට ගියා මල්ලි.කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අපි ගහනවා මැච් එකක්.මල්ලිත් ජොයින් වෙනවද.ඔවර්ස් පනහ වෙන්න තව බෝල් පහයි"

"ඔවර්ස් පනහක්?" මම මවිත වීමි

"ඔව් එක සයිඩ් එකක් බැට් කලා"

"එක සයිඩ් එකක් බැට් කලා"මම මවිත වීමි

"ඔව් ඔව් නවයට හත ගහන්නෙ..දැන් මැච් පහක් ඉවරයි"

"මැච් පහක් ඉවරයි?" මම මවිත වීමි

"ඔව් ඊට කලින් ටෙස්ට් එකකුත් ගැහුවා"

මම ගියෙමි

වැඩි දුරක් යන්නට ලැබුනේ නැත.කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රෑනක් ආච්චි වට කර ගත්හ.
පෙර කී "රෑන" කෙතරම් විශාලද යත් නැවත ආච්චිව දර්ශනය කරගනු පිණිස මටත් සීයාටත් කොපර කොපර පිපිඤ්ඤා මෙන් වටේ යන්නට සිදු විය.
(කොපර කොපර පිපිඤ්ඤා යනු එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවක එන මනඃකල්පිත ක්‍රීඩාවකි"

රෑන මැද්දෙන් ප්‍රීතියෙන් උද්දාමිත ශබ්ද මාලාවක් නැගෙන්නට විය..
"වාව්..ලුක් ඇට් දිස් ක්'වුස් ඇන්ඩ් ලයින්ස්"
"වට් අ ප්‍රිටි ස්ටයිල්.අයි රියලි ලයික්ද ෂේප් ඔෆ් දිස්"
"වී ෂුඩ් ඩෙෆිනීට්ලි බයි දිස්"
"ෆ්‍රොම් වෙයාර් ඩිඩි යූ ගෙට් දිස් ආන්ටි? විසූකදස්සනා පැෂන්ස් ඕර් සෙළුහංගන?"

කාරණය වැටහිණ.ආච්චිගේ චීත්ත රෙද්ද රසික උන්මාදනයේ ගොදුරක්ව තිබේ.ඈව ඉන් ගලවා ගැනිමට අප්‍රමාණ වෙහෙසක් දරන්නට සිදුවිය.කෙල්ලන්ගේ කඳුලු පිසින්නටත්,දුරකථන අංක ලබාගෙන මේ ඇඳුම ලබාගැනීමට හැකි ස්ථාන සොයා දීමට පොරොන්දු වීමටත්, එකෙක් දෙන්නෙක් ගෙදරටම ඇරලවීමටත් සිදුවිය.
නැවතත් ගමන ආරම්භ විය.
ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ හොඳ මෙන්ම දුර්ලභ ව්‍යාපාපාරික අවස්ථා සොයාගත් විටය.
රෝහල් ළඟ මිනී පෙට්ටි සාප්පු අරින්නේ ඒකය
ඇඳුම් කඩ ළඟ රත්තරන් බඩු උකස් කරන පොට් අරින්නේ ඒකය.
අපට ඊළඟ බාධාව පැමිණියේ ඒ පොට් වල පොරකන ඈයින්ගෙන්ය.

"හැබෑට උක්කුං මොකෝ මේ මිනිස්සු මෙච්චර ඇඳුම්වලට නහින්නෙ" ආච්චිගේ දකුණු අත කම්මුලේය.පටාචාරා වෙසක් නාට්‍යය බලන්නාක් මෙනි.

"කලිනුත් කිවුවෙ ආච්චි.අපිට හොඳට පොළොවෙ පය ගහල මේ සමාජයේ පෙනී හිටින්න ඕනෙනෙ..ඒකට මොනව නැතත් හොඳට අඳින්න ඕනෙ.කොච්චර ඩයල් එකක් උනත් වැඩක් නෑ කබල් රෙදි අඳිනවනම්"

"මිනිහෙක් මනින්න හොඳද බන් එහෙම..මට මතකයි අපි පොඩි කාලෙ මහත්මා ගාන්ධි තුමා එංගලන්තෙ රජ්ජුරුවොයි මහ රැජිණයි බැහැදකින්න ගියා ඒ උත්තමයගෙ අර රෙද්ද ඇඳගෙන"


"ඔව් ඔව් ඒක නේන්නම්..බලන්නකො කරල තියෙන වැඩේ.කුවීනුත් ඊට පස්සෙ නෙට් එකේ කියල තිබ්බ.එයාට ගොඩක් ලැජ්ජ හිතුන කියලා ඒ ෆැෂන් එක ගැන"

"හරි දැන් උක්කුං කියන විදියට මනුස්සයෙක් කෑවත් නැතත් ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයෙක් මොන ජඩ වැඩේ කළත් ඒව වහගන්න ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"අනිත් ඈයින් අතරෙ පිළිගැනීමක් ඕනෙ නම් තැනට ඔබින විදියට ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයන්ගෙ හැම උවමනාවකටම උඩින් තියෙන්නෙ?"

"රෙද්ද තමයි ආච්චි"

මගේ ඉවසීම ඉහවහා ගියේය.

"ආච්චි දැන් ආච්චිට රෙදි එපාද?හණමිටි අදහස් තියෙන මිනිස්සු.එපානම් ගෙදර යන්.මට බඩගිනියි දැන්.මොනවද උයලා තියෙන්නෙ?"

"රෙද්ද තමයි උක්කුං".


නිමි

තව යන්න.
ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !
ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් 


අනීවාරතේ පටන් ගෙන දැන් බොහෝ කලකි.මේ වෙනසකට කාලයයයි සිතේ.ඔබේ අදහස් ඉහළින් අගය කෙරේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Laundry Detergent Coupons