පවිත්‍ර හෝම්ස් මා දෙස බලා කී පළමු "සාස්තරයට" පරීක්ෂාකාරී ලෙස මුහුණ දී "ජාමේ " බේරාගත්තද ,එය මේ සිද්ධිවල අවසානය නොවීය.ඔහු දිගින් දිගටම මගේ අත පය ,මුහුණ,කට, තෙරපමින්,පිරිමඳිමින්,හූරමින් අනීවාරතේ කාලය ගතකරන්නට විය.එක පැයක් තුළදී මම දියවැඩියා රෝගියෙක් ,යුධ සිරකරුවෙක් ,පත්තරකාරයෙක් වීමි.ඔහු මගේ බෙල්ලේ උපන් ලපයක් දෙස බලා මගේ උපන් ස්ථානය කීවේය.රදනක දතක් දෙස බලා අක්කාගේ වයස කීවේය.(මට අක්කා කෙනෙක් නැත ) .මේ සියලු "විගඩම් " අවසානයේ මම ඇත්තම උන්මන්තකයෙක් වීමි.නමුත් එවිටත් ඔහු කීවේ මගේ මොළයේ පළල අනුව මා මහා බුද්ධිමතෙක් විය යුතු බවයි.
කෙසේ වුවද මේ "ඇඟ බලා සාස්තර කීමේ ක්‍රමය " ගැන මගේ හිතේ පහළ වූවේ ලොකු කුතුහලයකි.මම මේ ගැන පවිත්‍රගෙන් විමසූ කල ඔහු දිග හෑල්ලක් මා ඉදිරියේ දිගහැරියේය.ඒ හෑල්ලේ හැමතැනකම පාහේ "හෝම්ස්' යන වචනය තිබූ බැවින් මම හෝම්ස් ගැන විමසුවෙමි .එහි ප්‍රතිඵලය වූයේ තවත් දිග හෑල්ලකි !. මම මගේ ලෝකයක තනිවී ඔහු දෙසම බලා සිටියෙමි.තව තවත් හෑලි මා පසුකරමින් මටත් නොකියාම පිටව ගියේය .ගඟට ඉනි කැපීම නිශ්ඵල ක්‍රියාවක් බව ඔහුට තවමත් වැටහී නැත්තා සේය.
ටිකකින් පවිත්‍ර පුටුවේ ඇළ වී, දිග හැරි දෙපා තවත් පුටුවක් මත තබා ගත්තේය.ඉන්පසුව සාක්කුවෙන් එළියට ගත්තේ වෙන කිසිවක් නොව පරණ "දුම් පයිප්පයකි"!. "එන පොට " එතරම් ශරීර සුවදායක නොවන බව මට යන්තමින් වැටහුණි.
ඔහු හිස් පයිප්පය උරන්නට විය !
"ලන්ඩන් වල බ්‍රැඩ්ලෝ සාප්පුවේ වගේ හොඳ දුම්කොළ මෙහෙ නෑ.ඉතින් මෙහෙම හොඳයි " පවිත්‍ර "මනෝමයෙන් "කටින් දුම් පිටකළේය .
"හැහ්...ලන්ඩන් ? බ්‍රැඩ්ලෝ ?" මම ඒ "මනෝ "දුම් පාර වැළැක්වීමට නාසය වසාගනිමින් ඇසුවෙමි .
"ඔබ බ්‍රැඩ්ලෝ සාප්පුව ගැන දැන ගන්න කිසිම මාර්ගයක් නෑ මගෙ මිත්‍රයා.ඒක ෂර්ලොක් හෝම්ස්ගේ සිත්ගත් දුම්කොළ විකුණපු තැනක්."
මට අද සිහිනෙන් පවා "හෝම්ස්"යන නම ඇසෙනු ඇත.ඒ තරමටම පවිත්‍ර මගේ මොළය සෝදා තිබේ .නමුත් මට මෙය හරිහැටි වටහාගැනීමට වුවමනා විය."මම මේ නිකන් අහන්නේ මොකද ඔච්චරම කියවන්නේ හෝම්ස් ගැන?"
පවිත්‍ර දැහැනකට සමවැදිනි.ඔහුගේ අඩක් වැසුණු ඇස් පිහාටු තුළින් පෙනුණු ඇස් දීප්තිමත්ව බබලන්නට විය.
"ෂර්ලොක් හෝම්ස් කියන්නේ මගේ මේ පුංචි ලෝකයේ වීරයෙක්. මම කන්නෙත් ,බොන්නෙත් ,ඇවිදින්නෙත් ,හිතන්නෙත් ඔහුත් සමඟ.ඔහු හිතන ,පතන ඕනෑම දේකට මම එකඟයි.ඔහු හරිම තර්කානුකූලයි,අවංකයි. ඔහු,ඔහුගේ,ඔහුට....ඔහු,ඔහුගේ,ඔහුට ....ඔහු,ඔහුගේ,ඔහුට” මට නැවතත් අර පරණ හින්දි චිත්‍රපටියේ ප්‍රේම ජවනිකාවක් සිහිපත් විය.
“මට සමහර වෙලාවල හිතෙනවා මම ෂර්ලොක් හෝම්ස් කියලා !!”
"ඔය හෝම්ස් කියන හාදයා ඇත්තටම ඉඳලා නෑලු නේද?" ඒ මමය.
"ඔහු මගේ ලෝකයේ ජීවමානයි." ඒ ඔහුය.
ඉන්පසුව මගේ දෙකන් තුළින් දීර්ඝ පොත් ලැයිස්තුවක් හමා ගියේය.
වික්‍රමය...අභිරහස....රහස.....අනාවරනය....සොයාගැනීම...
"මම මගෙ මිත්‍රයාට මේවායින් කිහිපයක් ගෙනත් දෙන්නම්."
මම නොදැනුවත්කමින් හිස සැළුවෙමි.
සංවාදය අවසන් විය.
පවිත්‍ර ඔහුගේ ගෙදර ගියේය
මම මගේ ගෙදර ගියෙමි.
පවිත්‍ර පසුදින පාසල් ආවේ නැත.
මම පසුදින පාසල් ගියෙමි.
පවිත්‍ර තවමත් හෝම්ස්ය
මම තව දුරටත් "මම" නොවීමි.
අලුත් නාමකරණයකි
මම දැන් "දොස්තර වොට්සන්ය".!!!
එලකිරි කොල්ලා...
ReplyDeleteටිකක් දාමුද අකුරු වල සයිස් එහෙම ලොකු කරලා..!!!
දොස්තර වොට්සන්ට මේ ටිකේ ගං වතුර එහෙම දාලාලු නේද.?
:-)
@priyanka - කොල්ලා වොටිසන්ට කරදර කරන්න එපා. අකුරැ ලොකු කරගන්න crtl button press කරගෙන, mouse එකේ scroll wheel එක කරකවපං. එතකොට page එකම ලොකු වෙනවා..
ReplyDelete