Oct 28, 2013

ආචිචිට රෙද්ද ගැන කියාදිමට සොඳුරු උත්සාහයක් !




නෝට් : ඇවිත් යන්න කලින් අනීවාරතේ ජන සංගණනයට සහය දෙන්න


සමීප ඥාතියෙකු හෝ යහලුවෙකු බැලීමට ඔහුගේ හෝ ඇයගේ නිවසට යාමේදී, නිකරුණේ අතපය අවලම්බනය කොට වන වනා නොයා මොනවා හෝ රැගෙන යාම ,සල්ලි තියෙන කාලයට අනුගමනය කිරීමට ඉතා හොඳ පුරුද්දකි.වෙනදා මෙන් ආච්ච්ගේ ගෙදරින් යමක් අත පත ගාගෙන එනු වෙනුවට ,ආච්චි විෂයයෙහි යමක් පූජා කිරීමට ඇති වූ චේතනාව කර්මයක් බවට පත් වූ හෙයිනි ,මේ අඟල් අටක් දිග කවරය මා අතට පැමිණියේ. 
තෑග්ගක් රැගෙන යාමේදී හොඳ බරට ගෙන යා යුතු බවට තිබෙන මුඛ පරම්පරාගත මතවාදයට අනුව, මුලදීම මිරිස් ගලකට හිත ගියද ,ටිකකින් වෙන අතක ගිය හිත නතර වූයේ මේ අඟල් අටේ කවරය ළඟය.

තෑග්ගත් අතට ගෙන ආචිචිගේ ගෙදර දොරෙන් ඇතුළු වූ මම අඩියක් ඇතුළට යන විට, මගේ පපුව අඩි දෙකක් ඉදිරියට යයි.ඒ පපුව අභිමානයෙන් පිම්බී තිබුන නිසාය.කවරය අතට ගත් ආච්චිගේ මුවින් පිටවිය යුතු විශ්මයාර්දී ලකුණ (! ) ශබ්දය වෙනුවට ,සවුන්ඩ් කාඩ් එකේ අවුලක් නිසා පිටවූයේ වෙනමම වදන් වැලකි.

"ලයිට් බිලද උක්කුං පුතේ?"

මම ඉවසීමි..
එවදන් උපේක්ෂාවෙන් ඉවසීමි

යමෙකුට තෑග්ගක් පිරිනැමීමේදී හෝ විශ්මයජනක දෙයක් පෙන්වීමේදී, ගල් යුගයේ පටන් අනුගමනය කරන මෝඩ පහේ ට්‍රික් එකක් තිබේ.

"කෝ ඇස් දෙක වහගන්න බලන්න"

අමාරුවෙන් වැසූ ඇස් දෙක නැවත විවර වන මොහොතේම මම කවරය තුළ තිබුනු කාඩ්පත මූණ ඉදිරිපසින් ඇල්ලූවෙමි.


ටඩා

(මේ අවස්ථාවේ නියම හැඟීම ලබාගැනීමට පහත වීඩියෝව ප්ලේ කරන්න-ගැටයා )



"මොකක්ද උක්කුං පුතේ මේ? උඹේ වෙඩිං කාට් එක වෙන්නත් බෑ.අපේ මෝල් ගහේ තාම දළු දාල නෑ.මම අද උදෙත් දැක්ක"
"නෑ ආච්චි නෑ..මේක ගිෆ්ට් වවුචර් එකක්!
 අඟනුන් සුරඟනුන් කරන,කාඩයන් සුපර් ස්ටාර්ස්ල කරන ,ධරණීය සංවර්ධනයට ඔබින පිරිමැසුම් දායක කාන්තා රෙදි පිළි මාළිඟය 'සෙළුහංගන ටෙක්ස්ටයිල්ස්' එකෙන් ඕන රෙද්දක් ගන්න"

"චීත්ත?"

මට ඒ වචනය හරිහැටි ඇසුන මුත් කන්වල දෝශයක් අභිරූපනයෙන් ඉදිරිපත් කොට,

"මොකක්ද ආච්චි?" යි ඇසුවෙමි

"චීත්ත පුතේ චීත්ත"

එකම වචනය තුන් පාරක් ඇසීමෙන් චිත්තාභ්‍යන්තරයේ උපන් ආවේගය හයිවේ එකේ යන්නට වූ තැන,එය සංසිඳුවාලනු වස්  පිඹිමින්,පුපුරමින්,අට පාරක් බෙල් එක ගසා හත් පාරක් දොරට තට්ටු කිරීමෙන් පසු ,අවසන කොට්ටාව හුවමාරුව වෙත පැමිණියෙමි.



යහ සමජ්හේ අච්චා කරනේ කී ලියෙ සමය හේයි !
මේ සොඳුරු උත්සාහය ආරම්භ කිරීමට කාලයයි !
_______________________________________________________

"ආච්චි දන්නවද ආච්චි? මම මේ වවුචර් එක ආච්චිට නොදී ටවුන් එක මැද්දෙ පාරට වෙලා උස්සගෙන හිටියොත් මොකෝ වෙන්නෙ කියලා?

"උඹව ත්‍රීවිල්කාරයෙක් හප්පන් යයි "

මම නැවතත් බෙල් එක ගසා ආවෙමි

"නෑ ආච්චි ,ගාමිණි ෆොන්සේකා පාරට බැස්ස වගේ කෙල්ලො මගෙ පස්සෙන් එයි.මාව හපයි..හූරයි..කොනිත්තයි..."

"අර මොකෝ? "

"රෙද්ද තමා ආච්චි..

"කියපන්කො උක්කුං"

"රෙද්ද ආච්චි රෙද්ද  ....රෙද්ද තමා"

"දැන් උඹට වැඩිහිටියන්ට කතා කරන්නත් තේරෙන්නෙ නෑ නේද?"

"නෑ ආච්චි ..රෙද්ද ..ඇඳුම්"

"ඉතින් මොකෝ?"

"ඔය රෙද්ද හදල තියෙන්නෙ මොනවා වලින්ද ආච්චි" මම විත්තියේ නීතිංඥයා මෙන් හරස් ප්‍රශ්න නැගුවෙමි

"මොනවාවලින්ද ආච්චි" මන්ද්‍ර ස්වරවල සිට උච්ච ස්වරවල නිම් හිම් සෙවුවෙමි.

"නූල් වලින්නෙ උක්කුං"

"එහෙනම් ඔබ කියන්නේ...මේ රෙද්ද...මේ රෙද්ද නූල් ගොතල හදපු එකක් කියලද?"

තීව්‍රතාවයෙන් අධික ශබ්ධ තරංග කන වැටුණු කල්හී කඩිමුඩියේ එතනට දුවගෙන ආ සීයාගෙන්ද මම ඒ ප්‍රශ්නයම ඇසුවෙමි

'සීයා..ඔය සරම හැදිල තියෙන්නෙ නූල් වලින්ද?
 නැහැ සීයා නැහැ..සීයාගේ සරමවත් ,ආච්චිගෙ රෙද්දවත් හැදිලා තියෙන්නෙ නූල්වලින් නෙවේ,මනුෂ්‍යයාගේ අභ්‍යන්තර චින්තනාවලි ඒකරාශී වීමේන්.එකට ගෙතීමෙන්.මක්නිසාද යත් රෙද්ද යනු මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය බාහිරට පෙන්වන කැඩපත"

"අනේද කියන්නෙ පුතේ.දැන් කාලෙ රෙදි ඔහොම්මම තමා.අබ්යන්තරේ බාහිරට පෙන්නන එකම තමා තියෙන්නෙ"ආච්චිගේ ප්‍රතිචාරයත් සමඟ මගේ සොඳුරු උත්සාහය ප්‍රොෆිට් කරන වගක් පෙනුනි.

"වැඩිය ඕනෙ නෑ බලහං අර සාගතසිංහගෙ ලොකු කෙල්ල කරපු වැඩේ..අර කවුද ලංකා කන්ඩායමේ ක්‍රිකට් ගහන කොලුවා දවසක් කිවුවලු අපේ හැමදේකම විනිවිදබාවයක්ද මොකක්ද තියෙන්න ඕනෙ කියලා.මේකි පහුවින්දම අර කඩල පැකට් කරන්න ගෙනාපු පොලිතින් මල්ල ඇඳගෙන පන්ති ගියානෙ"සීයා මාතෘකාව වෙනස් කර ප්‍රතිගාමී බලවේගවල අතකොලුවක් වීමට සූදානම් විය.

"මේක ඒ වගේ දෙයක් නෙවෙයි සීයා.ඇට ලේ මස් නහර වලින් පිරුණු මනුෂ්‍ය ශරීරයට ජීවයේ හුස්ම පොද පිඹින්නේ කුමක්ද ?රෙද්ද තමා ආච්චි...රෙද්ද
ආචිචි හිතන්නේ මම කාලද ඉන්නෙ?" අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි

"හප්පච්චියේ අමතක වෙච්ච හැටි..හිටපන් බෙදල ගන්නම්"

"එපා ආච්චි එපා" මම කේශර සිංහ නාද නැගුවෙමි.බල්ල උඩු බුරන්නට පටන් ගත්තේය.

"මම කෑවා කියා උපකල්පනය කරන්න ආච්චි.මගේ බාහිර වෙනසක් පෙනේද?"

"පැච් එකක් තියෙන රෝදෙකට කොච්චර හුලන් ගැහුවත් වෙනසක් නෑ පුතේ"මෙය සීයාගේ කින්ඩි සම්පන්න වදනක්යයි සැකයක් උත්පාදනය විය හැකි වුවද,සීයා විසින් එය පවසනු ලැබූයේ අනීවාරතේ පරණ බයිසිලකලයකට හුළං ගසමින් හුන් දර්පණාගේ මල්ලීටය.

"නැහැ ආච්චි,නැහැ සියා..මගෙ විතරක් නොවෙයි.බොහෝ දෙනෙකු එසේයි.කෑවා නොකෑවා කියා වෙනසක් නැහැ.ඒත් නිකමට හිතන්න ආච්චි.මම අද මෙතනට ඉරිච්ච කබල් චව් ඇඳුමක් ඇඳගෙන මෙතනට ආවොත් මගේ වෙනසක් පෙනේද?"

"ඔව්නෙ"

"ආන්න ඒක නිසා තමා ආච්චි අපි නොකා නොබී හරි රෙද්ද ආරක්ෂා කරගන්න ඕනෙ.මක්නිසාද යත් පාරවල්වල චීන අකුරු සහිත බෝඩ්වලින් රටේ සංවර්ධනය නිරූපණය වන්නේ යම් සේද ,රෙද්ද මඟින් මනුෂ්‍යයා නිරූපණය වන බැවිනි.මේ ෂර්ට් එකෙන්,කලිසමෙන්,තොප්පියෙන් නිරූපණය වන්නේ එයයි"

"සර්ට් කිවුවාමයි දැක්කෙ.පංකාදු සර්ට් එකක් නේහ්" ආච්චි මගේ කමිසය ස්පර්ශ කළාය

"හ්ම් හ්ම්.කුරහන් පාටමයි..හොඳ පාට" සැමියාගේ යුතුකම ස්වකීය භාර්යාවගේ මත ස්ථීර කිරීම බැවින් සීයාද කට ඇරියේය.

"ආච්චි කෝ ගිනි පෙට්ටිය"

"ඔන්න ඔහෙ බුදු පාන ළඟ ඇති.මොකටද?"

ගිනි පෙට්ටිය සොයාගැනීමට සහ ගිනි කූරක් ගැසීමට ඒ හැටි වෙලාවක් ගත නොවුනු අතර හිතුවාටත් වඩා කලින් කමිසය කළු පාට විය..මම තුවායක් ගෙන ඇඟ වටේ ඔතාගතිමි.

"ඔන්න ඔය වගේ කලිසමක් තමා එදා ඇස්.බී.."සීයා නැවතත් ගිනි ඇවිලීමට  උත්සාහ කළේය.

"නෑ නෑ..පුතේ ඔයිට වෙනස්" ඒ ආච්චීය.සැමියාගේ තනි මතවලට සැමවිටම විරුද්ධ වීම බිරිඳගේ වගකීමය.

"දැන් ආච්චි මගෙ තෑග්ග ගන්නෙ නැද්ද" මම ගිනි කෙළි සංදර්ශනය අවසානයේ ඇසුවෙමි.

"අනේ අපිට මොකටද පුතේ ඔච්චර ඇඳුම්? සාරියක් උනත් ඕන වෙන්නෙ කලාතුරකින්නෙ"

"ආච්චි හැම තැනටම සාරි අඳින්නද හදන්නෙ?ආච්චිගෙ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ.සීයා හැම තැනටම නැෂනල් එක ගහන්නද ලෑස්තිය?දෙන්නම මම කියනවට යං.."

උත්සාහය සාර්ථක විය.
ජෝඩුව යහ මගට ගැනීමේ උද්දාමයෙන් මම ලොකු වාහනය පැදෙවුවෙමි.සෙළුහංගන ටෙක්ස්ටයිල් වෙත ඒමට ගතවූයේ පැය කාලක් පමණි.එම ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේ ක්‍රිකට් තරඟයකි.ඇමතිතුමෙක් පාරේ පයින් යාම වැනි තරමක් ඇසට නුහුරු දසුනක් බැවින් මම එකෙක්ගෙන් ඒ පිළිබඳ විමසීමි.

"අපේ වයිෆ්ලා ඇඳුම් ගන්න ඇතුළට ගියා මල්ලි.කාලෙ නාස්ති කරන්න හොඳ නෑ අපි ගහනවා මැච් එකක්.මල්ලිත් ජොයින් වෙනවද.ඔවර්ස් පනහ වෙන්න තව බෝල් පහයි"

"ඔවර්ස් පනහක්?" මම මවිත වීමි

"ඔව් එක සයිඩ් එකක් බැට් කලා"

"එක සයිඩ් එකක් බැට් කලා"මම මවිත වීමි

"ඔව් ඔව් නවයට හත ගහන්නෙ..දැන් මැච් පහක් ඉවරයි"

"මැච් පහක් ඉවරයි?" මම මවිත වීමි

"ඔව් ඊට කලින් ටෙස්ට් එකකුත් ගැහුවා"

මම ගියෙමි

වැඩි දුරක් යන්නට ලැබුනේ නැත.කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රෑනක් ආච්චි වට කර ගත්හ.
පෙර කී "රෑන" කෙතරම් විශාලද යත් නැවත ආච්චිව දර්ශනය කරගනු පිණිස මටත් සීයාටත් කොපර කොපර පිපිඤ්ඤා මෙන් වටේ යන්නට සිදු විය.
(කොපර කොපර පිපිඤ්ඤා යනු එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවක එන මනඃකල්පිත ක්‍රීඩාවකි"

රෑන මැද්දෙන් ප්‍රීතියෙන් උද්දාමිත ශබ්ද මාලාවක් නැගෙන්නට විය..
"වාව්..ලුක් ඇට් දිස් ක්'වුස් ඇන්ඩ් ලයින්ස්"
"වට් අ ප්‍රිටි ස්ටයිල්.අයි රියලි ලයික්ද ෂේප් ඔෆ් දිස්"
"වී ෂුඩ් ඩෙෆිනීට්ලි බයි දිස්"
"ෆ්‍රොම් වෙයාර් ඩිඩි යූ ගෙට් දිස් ආන්ටි? විසූකදස්සනා පැෂන්ස් ඕර් සෙළුහංගන?"

කාරණය වැටහිණ.ආච්චිගේ චීත්ත රෙද්ද රසික උන්මාදනයේ ගොදුරක්ව තිබේ.ඈව ඉන් ගලවා ගැනිමට අප්‍රමාණ වෙහෙසක් දරන්නට සිදුවිය.කෙල්ලන්ගේ කඳුලු පිසින්නටත්,දුරකථන අංක ලබාගෙන මේ ඇඳුම ලබාගැනීමට හැකි ස්ථාන සොයා දීමට පොරොන්දු වීමටත්, එකෙක් දෙන්නෙක් ගෙදරටම ඇරලවීමටත් සිදුවිය.
නැවතත් ගමන ආරම්භ විය.
ව්‍යාපාරිකයෙක් සාර්ථක වන්නේ හොඳ මෙන්ම දුර්ලභ ව්‍යාපාපාරික අවස්ථා සොයාගත් විටය.
රෝහල් ළඟ මිනී පෙට්ටි සාප්පු අරින්නේ ඒකය
ඇඳුම් කඩ ළඟ රත්තරන් බඩු උකස් කරන පොට් අරින්නේ ඒකය.
අපට ඊළඟ බාධාව පැමිණියේ ඒ පොට් වල පොරකන ඈයින්ගෙන්ය.

"හැබෑට උක්කුං මොකෝ මේ මිනිස්සු මෙච්චර ඇඳුම්වලට නහින්නෙ" ආච්චිගේ දකුණු අත කම්මුලේය.පටාචාරා වෙසක් නාට්‍යය බලන්නාක් මෙනි.

"කලිනුත් කිවුවෙ ආච්චි.අපිට හොඳට පොළොවෙ පය ගහල මේ සමාජයේ පෙනී හිටින්න ඕනෙනෙ..ඒකට මොනව නැතත් හොඳට අඳින්න ඕනෙ.කොච්චර ඩයල් එකක් උනත් වැඩක් නෑ කබල් රෙදි අඳිනවනම්"

"මිනිහෙක් මනින්න හොඳද බන් එහෙම..මට මතකයි අපි පොඩි කාලෙ මහත්මා ගාන්ධි තුමා එංගලන්තෙ රජ්ජුරුවොයි මහ රැජිණයි බැහැදකින්න ගියා ඒ උත්තමයගෙ අර රෙද්ද ඇඳගෙන"


"ඔව් ඔව් ඒක නේන්නම්..බලන්නකො කරල තියෙන වැඩේ.කුවීනුත් ඊට පස්සෙ නෙට් එකේ කියල තිබ්බ.එයාට ගොඩක් ලැජ්ජ හිතුන කියලා ඒ ෆැෂන් එක ගැන"

"හරි දැන් උක්කුං කියන විදියට මනුස්සයෙක් කෑවත් නැතත් ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයෙක් මොන ජඩ වැඩේ කළත් ඒව වහගන්න ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"අනිත් ඈයින් අතරෙ පිළිගැනීමක් ඕනෙ නම් තැනට ඔබින විදියට ඕනෙ?"

"රෙද්ද තමයි ආච්චි"

"මනුස්සයන්ගෙ හැම උවමනාවකටම උඩින් තියෙන්නෙ?"

"රෙද්ද තමයි ආච්චි"

මගේ ඉවසීම ඉහවහා ගියේය.

"ආච්චි දැන් ආච්චිට රෙදි එපාද?හණමිටි අදහස් තියෙන මිනිස්සු.එපානම් ගෙදර යන්.මට බඩගිනියි දැන්.මොනවද උයලා තියෙන්නෙ?"

"රෙද්ද තමයි උක්කුං".


නිමි

තව යන්න.
ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !
ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් 


අනීවාරතේ පටන් ගෙන දැන් බොහෝ කලකි.මේ වෙනසකට කාලයයයි සිතේ.ඔබේ අදහස් ඉහළින් අගය කෙරේ.

Share:

Oct 12, 2013

පරිප්පු හොද්ද





එහෙට මෙහෙට පෙරල පෙරලා බලපු මෙනු එකේ පිටුවල ෂයින් එකනම් බොහොම සැරට තිබුනා.සැරට තියෙන්නෙ ෂයින් එක විතරක් නෙවේ කියලනම් බිල ආවාම තේරෙයි.

"සල්ලිනම් මොනවද දැන්" ක්ලෝමෝ මගෙන් අහනවා

ඇත්ත තමා සල්ලිනම් මොනවද අපිට දැන්

ක්ලේමෝ වැඩ කරන්නෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක.ක්ලෝමෝ කියන්නෙ ඒකයි .ක්ලෙම් (Claim ) කියන වචනෙ කට හුරුවට.හුස්ම ගන්න අමාරු වෙනකල්,පපුවෙ පැත්තක් රිදෙන්න ගන්නකල්,මුත්‍රා අමාරු එනකල් ගොඩක් මිනිස්සුන්ට ක්ලෝමෝ කියන්නෙ "වහ කඳුරු" කැටගරි එකේ චරිතයක්.ඒත් යම්කිසි ඇනගැනීමකදී ක්ලේමෝ කාරයාට දේවත්වයක් අරූඪ වෙනවා.

"ක්ලේමෝ දෙයියො "

ඒත් ක්ලේමෝගෙ හීනෙ උනේනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්

"ඇසිස්ටන් මැනේජර් ක්ලේමෝ " වෙන එක

ආයෙත් මෙනු එක පැත්තට

පීට්සා,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ,පස්ටා ,සබ්මැරීන්,රොකට් ලෝන්චර්...

"ඒත් මොනවාහරි අඩුවක් තියෙනවා බන් " ඒ දුන්නෙ ක්ලෝමෝ කලින් කියපු දේට උත්තරය (සල්ලිනම් මොනවද දැන්)

"හ්ම්ම් එක තමා රයිස් එකක් දාන්න තිබ්බෙ අපිට" ක්ලේමෝ

"එහෙම නෙවේ ,උඹට මතකද උඹ අපේ කැම්පස් එකට ආපු දවසෙ අපි බත් ඉවුවා .බතුයි ,සම්බෝලයි.." මම බත බෙදන්න ගත්තා

"කරෝල තෙල්දාලා,පරිප්පුයි " ක්ලෝමෝ අඩුපාඩුව එකතු කළා.

"අපිට මොකද උනේ බන්? "

මගෙ ඇතුළෙන් පටන් ගත්ත සිතිවිලි බුබුළ ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා ක්ලෝමෝවත් වහ ගත්තා.

'උදේ වැඩට යනවා ,හවස එනවා පුලුවන් උනොත්. නැත්තං එළිවෙනකල් වැඩ.එක එකාට හම්බ කරල දෙන්න.අපේ බෝඩිමේ හතරක් ඉන්නවා.අපි එක එකාව දකින්නෙ කාලෙකට සැරයක්.මැරෙනකල්ම මෙහෙමද? "

"නැගිටපන්" අර සිතිවිලි බුබුලට මොකක්ද කටුවකින් ඇනපු ක්ලෝමෝ, දරාස් ගාලා පුටුවත් පිටිපස්සට තල්ලු කරලා නැගිට්ටා.අහල පහල මිනිස්සුත් බලාගෙන

වේටර් කොලුවත් වලියක් කියලා හිතාගෙනද මන්ද කඩාගෙන ආවා..

"ෆුඩ් සිටියෙ පරිප්පු තියෙනවා නේද? " ක්ලේමෝ අහනවා

"අපි ගාවනම් නෑ සර්" වේටර් කොළුවා සුහදශීලී සේවයකට ඇප කැප උනා

"ඒක හොඳයි..උඹ අරුන් දෙන්නට කෝල් එකක් ගනින්කො..කොහොමහරි සෙට් කරගමු"

"දැන් මොකක්ද කරන්න යන්නෙ" මම "අදි මදි" ඉමෝෂන් එකක් ගත්තෙ කෝල් දෙකක් ගන්න ලෝබකමකට නෙවේ,කුතුහලේට

"අද අපි සෙට් වෙලා පරිප්පු හොද්දක් හදලා පාන් කෑල්ලක් කමු"

මම ක්ලේමෝ දිහා කට බලියගෙන බලන් ඉන්න ඇති.ඇයි යකෝ මට ඕක හිතුනෙ නැත්තෙ !

"සර් පරිප්පු හොදි, නිකන් පාන් නම් නෑ..සර්ලට ගාලික්.."

සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් කාරයෙක් ඔරවනවා ඔබනම් දැකලා නැතුව ඇති.ඒත් මම දැක්කා..
මම එළියට යන ගමන්ම ඩීබග් මල්ලිට කතා කළා.

ඩීබග් රස්සාවට කරන්නෙ සොෆ්ට්වෙයාර් ලියන එක.පරිප්පු හොද්දෙ රතුළුනු ,මිරිස් කරල් ලියද්දිත් මිනිහා දස්කම් දක්වාවි !
ඩීබග්ගෙ කටේ වැඩිපුරම තියෙන්නෙ "ඩීබග්" (Debug) කියන වචනය .අපි මුලින් හිතුවෙ ඒ කෑල්ලකගෙ නමක් කියලා මොකෝ කෑල්ලකටත් හොඳ නම

ඩීබග් ප්‍රියදර්ශනී පීරිස් 

මිනිහට එච්චර සිහියක් පතක් නෑ.වැඩ කරන්නෙත් සුද්දන්ගෙ රටවල කැලැන්ඩර්වලට නිසා "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" වගේ .පොර නොනගෙතේට පන්සල් යන්න කතා කරද්දි අපි ආහාර අනුභවය කරල බුදි.ඇත්තටම අපි දැන් ඉන්නෙ බෝඩින් ෆීස් ගෙවන්න මිනිහගෙන් දැනට ගන්න ගාන ටිකක් අඩු කරන්න.බෝඩිමේ නැති එකෙක්ගෙන් සල්ලි ගන්න එක පව් වැඩක්නෙ!
කෙඳිරි ගෑම් ගනනාවකට පස්සෙ ඩීබග් මල්ලි පොරොන්දු උනා බෝඩිමට කලින් එන්න.කලින් කිව්වෙ එතනින් කලින් ,ඒත් අපිට පරක්කුයි

අනිත් එකා "ට්‍රබල්සූට්".පොර ඉංජිනියර් කෙනෙක්.රණවිරුවො ඉපදුනේ රට රැකගන්න වගේ ට්‍රබල්සූට් ඉපදිලා තියෙන්නෙ "ප්ලාන්ට් එක " රැකගන්න.මහ රෑ දෙගොඩහරියෙත් ප්ලාන්ට් එක බලන්න කම්පැනියට යනවා කියලා බෝඩිමෙන් යද්දි අපි හිතුවෙ මොකක් හරි පොඩි පැළයකට (ප්ලාන්ට් එකකට ) වතුර, පෝර දාලා සාත්තු කරනවා ඇති කියලා.පස්සෙයි දන්නෙ "ප්ලාන්ට්" කියන්නේ ෆැක්ටරි වල තියෙන  ඔය අනන් මනන් හදන දාර මැෂින් වලට කියලා.
මිනිහත් වෙලාවට එයි.
ට්‍රබල්සූට් කියන විදියට ඉංජිනියර්ස්ලා කියන්නෙ වෙලාවට වැඩ කරන මිනිස්සු ,ටිකක් පරක්කු වෙලා..

__________________________________________________________________________

අපිට දැනිච්ච විදියට මෙච්චර කාලෙකට ඩීබග් එයාගේ කම්පූටරෙන් තේරුමක් ඇති වැඩක් කළේ එදා තමා.මිනිහ පරිප්පු රෙසපි එකක් හොයලා ඩව්න්ලෝඩ් කරලා දුන්නා.ක්ලේමෝ අඩුම කුඩුම ඔක්කොම මයික්‍රොසොෆ්ට් එක්සෙල් ෂීට් එකකට අරගෙන හොයාගත්ත බඩුවලට අදාල සෙල් එක කොළ පාටට හයිලයිට් කළා.හොයාගන්න බැරි ඒව රතු පාට.
ට්‍රබල්සූට් තමා පරිප්පු ඩිස්ටිලේෂන් සිස්ටම් එකේ සෙටප් එක හැදුවෙ..ඕන කරන හැළි වළං බෝඩිමේ ඇන්ටිගෙන් රෙන්ට් කරන්න පුලුවන් උනත් ඒවත් සල්ලිවලටම ගත්තා.
ලේසියෙන් කරන්න පුළුවන් කෙළියක්නම් නෙවේ.ඒත් හීන් සීරුවේ වැඩේ කරගෙන ගියා.
කොහොමහරි මේ කට්ට කන්නෙ පරිප්පු හොද්දක් හදාගෙන බඩගින්න නිවාගන්න නෙවේ කියලනම් අපි හැමෝම දැනන් හිටියා.
හුදෙක් "යමක්" කිරීමේ අරමුණ !
ඒකාකාරී ,පරණ ග්‍රැමෆෝන් තැටියක් වගේ එකම තැන දුවන ජීවිතේ පොඩ්ඩකට හරි අපගමනය කරගැනීම.
වචනවලින් එහෙම නොකිවුවට හිතේ තිබ්බෙ එහෙම.මොකද කිසිම හැලහැප්පිල්ලක් නැතුව ජීවිතේ ගැලීම කියන එක ඔලුව තෝන්තු කරන ජාතියේ කාරණාවක්.මොනවා හරි දෙයක් වෙන එක ලොකු සහනයක්.බස් එක හැප්පෙන එක ,පොකට් එකට කවුරුහරි එකෙක් විදින එක.අඩුම ගානෙ අසනීපයක්වත් හැදියන් !
අපි හැමෝම පල්ලෙහා තැනක ඉඳලා ලිෆ්ට් එකකින් නෙවේ, ගොඩක් උසට යන පඩි පෙළක පඩියෙන් පඩිය බඩගාලා උඩට ආපු උදවිය..පොර ටෝක් නෙවේ.උඩට යන්න යන්න අහළ පහළ වැඩිපුර පේනවා.වටපිටාවේ පේන දුර වැඩිවෙනවා.පඩිපෙළ මැද නතර වෙච්චි ,මැදින් වෙන වෙනම තට්ටු වලට ගියපු,ආපහු බැහැල ගියපු,අපිවත් පහුකරන් උඩට ගියපු උන් දැක්කා,දකිනවා.දකීවි

ඒත් උඩට එන්න තිබ්බ උද්‍යෝගය, උඩට ආවාම අපිව දාලා ගියේ ඇයි කියලා අපි දන්නෙ නෑ.

නැවතත් පරිප්පු හොද්දට !
උත්සාහය පල දරන බවක්නම් පෙනුනා.පොල් ගාද්දි ,මිරිකද්දි,ලූනු කපද්දි,මිරිස් කපද්දි අපි හතරදෙනා අපි ආයෙ පරණ කාලෙකට ගියා වගේ ලාවට දැනුනා.
අලුත ගෙනාපු වළංවල
අලුත ගෙනාපු ලිපේ 
අලුත් පරිප්පු හොද්දක්
අතීත කාලෙට අයිති සුවඳකින් කාමරේ පිරෙන්න ගත්තා,

"පොඩ්ඩක් බලපන් මචන් හැන්දට අරන්" ට්‍රබල්සූට් කිව්වා

ක්ලෙමෝ තමා රස පරීක්ෂක

"ම්ම්ම් ලුණු මදි වගේ "

තව ලුණු ටිකක් එකතු උනා.

"නිකන් කහ පාට වැඩි වගේ නේද බන්?"

"දාමුද තව මිරිස් ටිකක්? '

"සැර වැඩි වෙයිද? "

"කමක් නෑ දාමු"

"ගොරක කෑල්ලක් එහෙම?"

"පිස්සුද යකෝ?"

"අබ දානවද? කරාබුනැටි එහෙම?"

"ඕනෙද? අනේ මන්දා එවත් ගෙනාව හැබයි"

"මේ රෙසපි එකේනම් නෑ"

"රෙද්දෙ රෙසපි..අපිත් උයල තියෙනවා යකෝ.දැන් මතක නැති සීන් එකක් තියෙන්නෙ"

"තව ළුනු ටිකක් දාමු..සුවඳයි"

"දැන් පොඩ්ඩක් බලපන් රස "

නැවතත් ක්ලේමෝට

"අනේ මන්ද බන් මොනවහරි අඩුයි වගේ "

"හුටා කරපිංචා "

'රෙසපි එකේ එහෙම එකක් නෑ බන්"

"යකෝ curry leaves කියන්නේ කරපිංචා නේද?"

"මම හිතුවෙ රම්පෙ කියලා"

"කෝ රම්පෙ දැම්මද? "

"කෙළිය කෝ රම්පෙ කොළේ? "

"හරි දැන් බලපන් ක්ලේමෝ"

"තාම නෑ කොලිටිය ඇවිල්ල..අමුතු අජ රහකුත් එනවා "

"තව මොනවද දාන්න ඕනෙ"

"පොල්කිරි ටිකක්?"

"ඔක්කොම දාලා තියෙන්නෙ"

"කොහොමද මේක ඩීබග් කරන්නෙ? "

"ඔහොම හැඳි ගාමු.තෙම්පරාදු කරාම හරියයි"

"තව  ලුණු ටිකකුත් දාමු,මදි වගේ"

"සාමාන්‍ය පරිප්පු හොදි" හතරක් විතර හදන්න යන වෙලාව ගතවුනා.අපිට මතක තිබ්බ පරිප්පු රහට අහලකටවත් වෙන්න ,අලුත් පරිප්පු හොද්දට බැරි වෙලා.කොටින්ම මේක රහක් කියන්නත් බෑ.කට කාරගෙන යන කන්න කලින් බඩ යන ගතියක් තිබුනෙ.

මොනවා එකතු කළත් ,මොනවා අඩු කළත් ඒකෙ වෙනසක් උනේනම් නෑ.ඒත් තව ටිකක් හැඳි ගගා ලිපේ තිබ්බොත්  පරිප්පු ටික දියවෙලා වතුර වෙයි.වළඳ ලිපෙන් බාලා වටකරගෙන අපි හතර දෙනා කල්පනා කරන්න ගත්තා.කාටවත් මුකුත් කියන්න හිතුනෙ නෑ ක්ලේමෝට ඇරෙන්න.

"මට හිතෙනව මචන් යමක්"

"මොකක්ද?" ඩීබග් අහන්නෙ ඕනවට එපාවට

"අපේ ජීවිතෙත් මේ පරිප්පු හොද්ද වගේ නේද බන්?

"ම්ම්ම්?"

"හොඳට සල්ලි වියදම් කරල දාන්න පුළුවන් ඔක්කොමත් දාල රස කරගන්න හදනවා,ඒත් කටේ තියන්න බෑ"



Share:

Sep 1, 2013

අදෘශ්‍ය ලේඛකයා | ghost writer





මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.

හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....

එක පාරකට හැරිල යන්න ගනිද්දිම තඩි වලවල් රෑනක් තරණය කරන්න උනොත් " ඇයි අනිත් පාරෙ නොගියෙ " කියලා හිතෙන්න ගන්නවා.අනිත් පාර මීට අන්ත ඇතියි කියලා ඇත්තටම කියාගෙන හෝ බොරුවට තමන්වම අන්දගෙන ඉස්සරහට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති හින්දම වෙන්න ඕන ජනකාන්ත  මුණගැහෙන ගත්ත තීරණය ආපස්සට ඇදලා ගන්න හිත් නොදුන්නෙ.
මොකද ජනකාන්ත කියන්නේ ඉනිමගක්. බිත්තිවල බඩගාන්න වහළෙට නගින්න තියෙන ඉනිමගක් නෙවේ. "නයා බෝඩ්" එකේ තියෙන ඉනිමගක්.
අහු උනොත් කොටු ගානක් උඩ.

කේන්දරේ,සුබ අකුරු එහෙම බලලා නම් ගම් තියන එක, තදින්ම අවිශ්වාස කරන,ගොන්පාට් කරන එකෙක්ව උනත් හොල්ලලා හොල්ලලා ,"අවිශ්වාසෙ" "අයන්න" පොඩ්ඩක් හූරලා දාන්න පුලුවන් ජාතියෙ නමක් තමයි ජනකාන්තට දාල තිබ්බෙ

"ජනකාන්ත"

ඔය "ජනප්‍රිය" "ප්‍රසිද්ධ" වගේ වචනවලටත් ළඟින් යනවනෙ
මේ මනුස්සයව නාඳුනන කෙනෙක් ලංකාවේ ඉන්න අමාරුයි.කවුරුහරි එකෙක් කිවුවොත් මම ඔය ජනකාන්ත කියන හාදයා අඳුරන්නේ නෑ කියලා,ලැජ්ජාව ජනකාන්තට නෙවේ;ඒක කියපු එකාටයි.ඒ කියපු එකා උදේ ගෙදරින් ගිහින් වැඩ විතරක්ම කරලා ගෙදර ඇවිත්, ආපු ගමන් නිදාගන්න මෙලෝ රස ගුණයක්,පෝෂ්‍ය පදාර්ථයක් නැති යකඩ පීප්පයක් වගේ තිබ්බ තැනම සදාකල් හිටින පොරක් වෙන්න ඕනෙ
ජනකාන්ත  රටේ නම ගිය ගායකයෙක්.එෆ්.එම් චැනල් එකක නටන්න පුලුවන් ජාතියෙ හොඳ සින්දුවක් යනවනම් ඒක අහන මිනිස්සු කෝල් කරලා අහන්නේ නෑ ඒ ගායකයාට විශාරද සෙටිෆිකෙට් එක තියෙනවද කියලා.
සොෆ්ට්වෙයාර් එකට දාල පිච් එක හදලා ගොර ගොර සද්ද අඩු කරල මට්ටම් කරපු සින්දුව අහනවා මිසක් ,සින්දුව මුලින්ම කියනකොට ආපු ඕඩියෝ එකේ කොපියක් පෙන් එකකට දාල ඉල්ලන්නෙත් නෑ,

කොහොම උනත් කොහෙත් දකින්න තියෙන ඉරිසියාකාරකම් ,කුහකකම් "සින්දු ෆීල්ඩ්" එකෙත් ඕනවටත් වඩා දකින්න තියෙන හින්දම කවදාවත් ජනකාන්ත  "හොඳම" ගායකයෙක් වෙලා නෑ.කොටින්ම කොළඹ දිස්ත්‍රික් අන්තර් දහම් පාසල් පද්‍ය ගායනා තරඟාවලියේදීවත්.ඒත් ඔක්කොටම වඩා උතුම් ජනතා සම්මානය..ඒක හැමදාමත් තිබුණා..

                                              "වසරේ ජනප්‍රියම ගායකයා" (කොයි වසරේත්)

"සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කරවන කටහඬකට උප්පත්තියෙන්ම හිමිකම් කියන ජනකාන්ත වීරක්කොඩි, එක්දහස් නවසිය අසූ දෙකේදී කොළඹදී උපත ලැබුවේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා බාලම පුතණුවන් වශයෙනි.ඔහුගේ පියාණන් වූයේ....
bla bla bla"

නෑ ඒ විදිය හරියන්නේ නෑ..වෙන විදියකට  පටන් ගන්න එක හොඳයි.කියවන උන් හිතයි පරණ ගැසට් එකක් කොපි කරල කියලා
මම "සුවහසක් රසික රසිකාවියන්...." කියලා පටන් ගත්ත, උඩ තියෙන ඡේදයම කපලා දැම්මා.

"ඒත් මොන එහෙකටද  ඒක කපලා දැම්මෙ?"

"කපලා දැම්මෙ ඒ ඡේදය ලිවුව හින්දනෙ"

"මොන ලබ්බකටද ලිවුවෙ?"

"ලිවුවෙ, ඒක ලියන්න ඕන හින්දනෙ "

"ලියන්න ඕනෙ කිවුවෙ..තමුන් මොකටද එක එකාගෙ උප්පත්ති කතා ලියන්නෙ?"

"මම නැතුව වෙන කවුද ලියන්නෙ? මමනෙ ජනකාන්තගෙ අදෘශ්‍ය ලේඛකයා නැත්තං Ghost writer"

"මොකා?"

ගෝස්ට්.....ගෝස්....
සමාවෙන්න ඕනෙ මගෙයි වැරැද්ද.මට කලින්ම කියන්න තිබ්බ.
මම ලේඛකයෙක්.. ටිකක් බර වැඩි උනත් වචනෙ වටිනවා.
මොකද ඒක අමාරු රස්සාවක්..මේ ලියවිල්ල ලියන්නම පටන් ගත්ත වෙලේ ඉඳන් කී පාරක්නම් කැපුවද...කපල ආයෙ ලිවුවද?

මවිසින් ලියන ලදුව මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිටකර ඇති ග්‍රන්ථ නාමාවලියක් පිළිබඳ විමසා මගෙන් කුණුහරුප අසා නොගන්නා ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි.මවිසින් හස්තානුසාරයෙන් සකසා නිමකරන ලදුව, කපුරු බෝල හතක් අටක් සහ මී පාසනම් සමඟ කුඩා අල්මාරියක ගබඩා කර ඇති කවි කතා අත් පිටපත් පිළිබඳ විමසීම මැනවි.පිළිතුරු වශයෙන් ලැබෙන ඇමති මණ්ඩලය මෙන් දීර්ඝ විය හැකි ලැයිස්තුවටද සවන් දීම මැනවි.
ඒවා මුද්‍රණද්වාරයෙන් පිට නොවීම මගේ කරුමෙ නොවේය.රටේ කරුමෙය.රුපියලේ අගය අවප්‍රමාණය වීම ,විදේශ සංචිත නන්නත්තාරවීම ,දළ ජාතික නිෂ්පාදිතය සංකෝචනය වීම හරහා ඒක පුද්ගල ආදායම අඩු වීම.ඒකයි කරුමෙ !
මම ආදර කතා ලිවුවෙමි.ජීවිතය ගැන කතා කිරීමට උත්සහ කරන පොත් ලීවෙමි.මිනිස් හිත් ගැන වෙනස්වන ලෝකය ගැන ලීවෙමි.පෙරකී අල්මාරිය ඇතුලට දැම්මෙමි.ඒ පෙරකී ආකාරයට තරමක වල ගොඩැලි සහිත ජීවිත පාරේ ගමන් ගනිද්දීය.අතරමඟ දෙමංසලකදීය,ජනකාන්ත මුණගැසුනේ.ඔහුගේ යෝජනාව ඔහුට සාධාරණය.මට මුලින් අසාධාරණය.දැන් එහෙම නැත.ඒ ඔහුගේ ජීවිත කතාව ලියාදීමේ "භාරදූර" කර්තව්‍යය මා බාරගත් නිසාය.කොටින්ම මම හන්දියෙන් එක පාරක් තෝරාගතිමි.අනිත් පාරේ වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
මා තෝරාගත් මාවත ඊට වෙනස්ය.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !
එක වතාවක් හෝ කතා කරන්න,සමරුවක් ගන්න,කෙල්ලෙක්නම් "අයි ලවු යූ ජනකාන්ත" යයි කෑ ගහල කියන්න එකමත එක දගලන මිනිස් පොදි ජනකාන්ත ගැවසෙන සෑම තැනකම පාහේ අඩුපාඩුවක් නෑ.ඒ මිනිස් පොදි තුළ බලාපොරොත්තු සුන් වූවන් අනන්ත හිටියත් මගේ බලාපොරොත්තු හැමදාමත් සපල උනා.මොකද ජනකාන්ත මුණගගැහෙන්න මට ඇපොයිමන්ට් දාන්න උනේ නෑ.මිනිහයි ඒව දාන්නෙ!

කොහොම උනත් මටත් ටිකක් අදහගන්න බැරි කාරණේ උනේ මේ යකා තමන්ගෙ පම්පෝරිය ලියාගන්න මාවම අල්ලගත්ත එක.මගෙ යාලුවෙක් මිනිහට යවල තිබ්බ මම ලියාපු සින්දුව සමහරවිට හේතුවක් වෙන්න ඇති.ඒක ජනකාන්ත අතට ගිය බවක් මම කලින් නොදැන හිටියත් ,පස්සෙ ඒක දැනගත්තාම හීන් ආතල් එකකුත් ගිය බවනම් කියන්න ඕන.හැබැයි මිනිහ ඒ සින්දුව කිවුවෙ නෑ.වචන බර වැඩිලු.කරුමෙ !

එදත් අර කියාපු ඇපොයින්මන්ට් දවසක්.ජනකාන්තගෙ ගෙදරට ගමන ,පුරුදු විදියටම බස් එකෙන්.මම මනුස්සයගෙ ජීවිත කතාවෙ එහෙන් මෙහෙන් ඇහෙන ,අහගන්න කෑලි බෑලි එකකට එකක් අමුණගන්න දත කකා හිටියෙ.කඩදාසි ගොඩක් ගිනි තියද්දි හුළඟට වේගෙන් එහෙ මෙහෙ ගහගෙන යන පිච්චිච්ච්ච කොළ කෑලි ගොඩක් වගේ එක එක සිද්දි මගෙ ඇස් දෙක ඉස්සරහත් නළියන්න ගත්ත.ඒක එක්තරා විදියක වේදනාවක්.
හිටිහැටියෙම අර කියපු ගිනි ගොඩ ඉස්සරහින් පොඩි කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි රූප දෙකක් මතුවුනා.මනෝ ලෝකෙ නෙවේ.ඇත්තටම බස් එකේ.නාවර පෙරාගෙන හිටපු කොල්ල කතාවක් පටන් ගත්ත.කතාවට රුසියෙක්නම් නෙවේ.දුක හිතෙන විදියට කියන්න පුලුවන් ජාතියෙ දෙයක් කියල තේරුණත් කොල්ල කතා කළේ ඒ විදියට නෙවේ.දෙන්නගෙ අම්මයි තාත්තයි නැලු.ආච්චි ගාව ඉන්නෙ.ඉස්කෝලෙ යන්න සල්ලි නෑ.තව නංගි කෙනෙක් ඉන්නව ඒකිට මන්ද පෝෂණය..පස්සෙ තේරිච්ච විදියට අම්ම නෑ කියන්නෙ ,අම්ම මැරිල කියන එක නෙවේ.එයා රට ගිහිල්ල....
කතාවත් ඉවරවෙනවත් එක්කම කෙල්ල සිංදුවක් පටන් ගත්ත.පරණ හින්දි සිංදුවකට සිංහල වචන දාල හදපු පරණ සිංහල සිංදුවක්.දෙකම පරණයි

"තේරේ කවදා හෝ මවගේ ආලේ....කවුදෝ ඉන්නේ අම්මා වාගේ....."

කොල්ල කරපු කතාවත් එක්ක නැති වෙලා ගිය හැඟීම් ඔක්කොම දෝරෙ ගලන්න ගත්ත අර කෙල්ලගෙ ලයාන්විත කටහඬත් එක්කම.සමහර අය හොරෙන් ඇස් දෙක පිහදාගන්නවත් පේන්න තිබ්බ.
උන් ජෝඩුව බස් එකම වසඟයට ගත්ත කිවුවොත් නිවැරදියි.ඉස්සරහට දික් වෙලා බස් එකේ පිටිපස්සට ආව අත් හතරම සල්ලි කොළවලින් පිරෙන්න ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.මමත් කීයක්ද දුන්න.මං ළඟ හිටිය එකා කීයක්වත් නොදුන්න විතරක් නෙවේ ඔරවලත් බැලුවා අරගොල්ලො දිහා.මිනිහ මටත් කතා කළා

"අපරාදෙ මුන්ට දෙන සල්ලි.ඔකුන්ගෙ තාත්ත ඇති.ඌට කසිප්පු බොන්න තමා මුන්ව එවන්නෙ..හොඳම සල්ලිකාරයෝ අපි නෙවේ මුන් "\

"ඔයා ඒගොල්ලන්ව දන්නවද? "මට කුතුහලයක් ආව

"නෑ,ඒත් කොහෙත් එකයි..හොරු..හොරු..හොරු"

මොකක් හින්දද මන්ද මට එක දිගටම කතාව ගෙනියන්න හිතුනෙ නෑ.කොල්ලයි කෙල්ලයි බස් එකෙන් බැහැල දූවිල්ල පිරුන පොඩි පාරකින් ඇතුළට ගියා.උන් ගියෙ තාත්තගෙ කසිප්පු ෆන්ඩ් එක වැඩිකරන්නද? ආච්චිට කීයක් හරි දෙන්නද?
ඒක හොයාගන්න පුලුවන් පස්සෙන් ගියානම්.මටම දැනගන්න පුළුවන්
මගෙ කකුල් දෙක මාව නැගිට්ටවන්න හදනව වගේ දැනුනා.බස් එක ඇද්දුවා.ඒත් එක්කම හිතට ආවෙ සැනසිල්ලක්ද? දැන් ඉතින් අරුන් පස්සෙ යන්න ඕනෙ නෑ.පාඩුවෙ ගමන යන්න පුලුවන්.බැස්සනම් උන් ගැන ඇත්ත කතාව දැනගන්න තිබුන.
හැම මිනිහම ඔහොම වෙන්න ඇති.උන්ට අනිත් අය,තමන් දකින කියන ආශ්‍රය කරන උන් ගැන දැන ගන්න,උන්ගෙ දුකක් අහන්න ලොකු උණක් ඇති.ඒත් ඕනෙත් නැතුව ඇති.ඇයි ඔයිට වඩා වදවෙන්න කාරණා කීයක්නම් තියෙනවද?ගෙදර මිනිස්සු ගැන,ආර්ථික තත්වය ගැන,විදේශීය අතපෙවීම් ගැන.උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි පිළිබඳව,ක්‍රොටන් පැළවලට හානි කරන කෘමීන් ගැන..
මොළයේ හැකියාවන් අසීමිතයි කියලා ඩොක්ටර්ස්ල කිවුවට මේකෙ තියෙන්න පොඩි මෙමරියක්.අනුන්ගෙ විස්තර ,කතා හොයනවට වඩා හොඳම දේ "උපකල්පනය" කරන එක.අර මං ළඟ ඉඳන් හිටපු එකා වගේ.ඒක ලේසියි.ඉෆෙක්ටිව්..වැරදුනත් මොකෝ.
අනිත් අතට මං ගාව හිටපු එකා එහෙම හිතන්න හොඳ හේතුවකුත් ඇතිනෙ.සමහරවිට මීට කලින් තවත් අර වගේ ජෝඩුවක් හම්බවෙලා ඇති.
නැත්නම් මිනිහ පොඩි උන් ගැන හෙණ වෛරයකින් ඇති.දැක්ක තැන බනින්නෙ.නැතිනම් සුපර්ස්ටාර් ගිහින් පළවෙනි වටෙන්ම කැපෙන්න ඇති,සිංදුවලට වෛර කරන්න.

 මොකද හිතන්නෙ මේ බස් එකේ කොන්දොස්තර ගැන?පෙනුමෙන්නම් මරුමුස්.ගෑණිට ගහනවා ඇති රෑට බීල ගිහින්.යකා වගේ.හිනාවෙනකොටනම් හොඳයි.එච්චර දරුණු ඩයල් එකකුත් නෙවේ වගේ.මූණේ දිග කැපුම් රේඛාවක්..මන්න පාරක්ද?පාරෙ යද්දි කවුරු හරි හප්පලද?
මිනිහගෙන්ම තමා අහන්න ඕනෙ
එතනින් ගියාම අර ඉන්න කෙල්ල.බැලූ බැල්මට බඩුවක් වගේ.ඒත් කවුද දන්නෙ හරියටම...
පාර අයිනෙ බයික් එකකුත් තියාගෙන හිටපු ට්‍රැෆික් රාළහාමි?

මං ආයෙමත් කල්පනා සාගරේක කිමිදන්න උනා.මේ පාරනම් ඊයම් බරු දෙකකුත් කකුල් දෙකේ ගැටගහගෙන.ගොඩ ඒමක් නෑ.
අපි කවදාවත් දැනගන්න,අහගන්න උත්සහ නොකරන මේ මිනිස්සුන්ගෙ කතා මොන වගේ වෙන්න ඇද්ද..සමහරවිට අපි හීනෙකින්වත් නොහිතන ජාතියෙ රස කතා,මාරක කතා,විහිළු කතා වෙන්න පුළුවන් ඒවා.එක දෙයක් තක්කෙටම කියන්න පුළුවන් හැබැයි..හැමෝටම තමන්ගෙම වෙච්ච හොඳ කතාවක් තියෙනවා.මට වගේම ඔබටත්.විශේෂත්වය වෙන්නෙ ඒක අනිත් උන් දන්නෙ නෑ.මොකෝ ඔබ ඒක කියන්නෙ නෑ.කියන්න ඉතින් අහන්න එපැයි.
අන්තිමේ ,මේ ලෝකයම කතා ගොඩක් හිරකරගෙන ,ඒව දිරවගන්නත් බැරුව,වමාරගන්නවත් බැරුව කොටින්ම විරේක කරන්නවත් බැරුව දඟලන මනුෂ්‍ය ප්‍රාණීන්ගේ එකතුවක් !
ඒවා හැමෝම පොත්පත්වල ලියන්නෙ නෑ,ජනකාන්ත වගේ.ඒත් මට ෂුවර් ජනකාන්තයා මට කියන්නෙත් මිනිහගෙ ඇත්තම කතාව නෙවෙයි.ඒක වෙනමම එකක්.නිවාඩු පාඩුවෙ,සූක්ෂමව පෙරල පෙරල තෝරල ගත්ත මිනිහව ලැජ්ජාවට පත් නොකරන ජාතියෙ සිද්දි කිහිපයක් විතරයි.

මට ලොකු වෙහෙසක් දැනුනා.ජීවිත මාවතේ තවත් රවුමක් ගහල නන්නත්තාර වෙලා හති පිටම තවත් දෙමංසලකට ඇවිල්ල වගේ දැනුනා.පුරුදු දෙමංසලක්!


දෙමංසලේ එක් පාරක වැඩි හරියක් ඇත්තේ එක දිගටම එලූ මුද්‍රණය නොකළ අත් පිටපත් විය යුතුය.
අනෙක් පාරේ.වෙන කෙනෙකුගේ වියදමින් මුද්‍රණය වන පොතට අමතරව,අතටත් ලොකු මුදලක් !

මම ආයෙමත් කියන්නම්

මේ ජීවිතය කියන පාරෙ තියෙන කරදරකාරම දේ, වළවල්වත්,දූවිලිවත්,ඒක මැද්දෙ නිදාගෙන ඉන්න බල්ලොවත් නෙවේ.
හදිස්සියෙම අතරමැද හම්බවෙන දෙමංසල්;නැත්නම් තුංමංසල්,සිවුමංසල්.....


Share:

Jun 29, 2013

යතුරත් විසිකළ මරු ජේලර් උඹ.....

ගොතලා ඔතලා තාලෙට එක එක 
නැත්නම් දිගඇර කපලා අමුණා 
ෂැම්පුඃ ග්‍රයින්ඩින් ෆර්මින් සමගින්
සොඳුරිය, මම වෙමි නුඹගේ බාබර්

ඇඹරැල්ලා කොළ ගස්ලබු පදමට
එක්කොට දමලා අලිගැට  ලාවට
තබමින පිපිඤ්ඤ මතුපිට දෙනයන
බියුටිස් මම වෙමි කරමින ෆේෂල

මහරගමින් ගෙන රෙදි පොදි සුදු පැහැ
දේදුනු වර්ණද පොවලා වේලා
සිරුරට සරිලන අයුරට සකසන
මම වෙමි ඔබගේ ටේලර්, හන්දියෙ

යා යුතු තැන සොඳුරිය යා යුතු නැත
ක්‍රම සහ විදි ඇත ඔබ ගෙන යාමට 
හයර්ද නොව මීටරයද ඕනෑ නැත
රියදුරු මම වෙමි පදවන තුන් සක


චමරිද ඇනෙක්ස කුලියට බෝඩින්
නොම දෙමි නුඹ හට නව් අයි ප්‍රොමිසින්(ග්)
බඳිමින් එක්කොට ගඩොලට ගඩොලක්  
සදනෙමි නිවහන මම වී මේසන්

නිවහන හැදු පලියට මට ඒ මදි
අවසන් වන තුරු නොම එයි, මත නිදි
පිරවෙන අයුරට කාමර සාලද
සදනෙමි ලී බඩු කාපෙන්ටර් වී

නිරතුරු බලමින් නාඩිද සීනිද   (බ්ලඩ් ප්‍රේශර්ද,කොලස්ටරෝල්ද,ඊ.සී.ජී ද )
අරගෙන එක්ස්‍රේ කැඩුමට පෙර ඇට
කරනා සමනය වා පිත් සහ සෙම්
දොස්තර මම වෙමි ඇත එම්.බී.බී.ඇස්

කටහඬ හොඳ මදි වූවද නොසැලී
වැල්මී සමඟින් සූකිරි බුදිමින
ගිටාරයද ගෙන ටියුනින් පදමැති 
නුඹ ළඟ මම වෙමි සිංගර් අරුමැති 

බණ්ඩල් තොග පිට ගෙනැවිත් ඒ-ෆෝ
ඇට්ලස් චූටිය ගෙන වැල් අකුරුන්
ලියමින් කවි පද ටයිපින් සිංග්ලිශ්
සදනෙමි බ්ලොගයක් මම රයිටර් වී

කෙනෙකුන් ඔබහට කළහොත් අවමන්
පොලිසියෙ ඔපිසර වී උට නෙළනෙමි
මස් කඩයක් ගෙන බද්දට වසරක්
මස් කොට විකුණමි එහි මුදලාලිද වී

සිනහව මිස කඳුලට නැති වුව ඉඩ
කඳුලක් ආවොත් නොහිතන අයුරට
හැඬුමට උරහිස සමඟින් නිබඳව
ලේන්සුවක් දෙමි රෙදි මුදලාලියද වී 

කොපමණ ජොබ් මා කෙරුවද උඹනම්
එකම ජොබක්වත් නොකරයි හරියට
දමලා හිරගෙයි  මාගේ හදවත
යතුරත් විසිකළ මරු ජේලර් උඹ..... 

සෝ රොමෑන්ටික් ඒහ්?
ෆලෝව් ද සීරීස්

වින්දනීය ගැට පද 
ඇන්ඩ්
කෙල්ලේ උඹ ගැන







Share:

Jun 15, 2013

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි ) දෙවැන්න




දෙනෙත් දෙසවන් දෙනාස්පුටු වලින් උකහාගෙන ආත්මයටම කාවැදී සවිවුනු මතකයන් වලට නැවත නැවතත් උඩු හිත තෙරපන්නට අස්වැසිල්ලක් ලබා දෙනු පිණිස වූස් වලේ සිමෙන්ති පොළොවේ මඳක් හිදගෙන සිටිමු.නැවත අරඹන ගමනේ මඟ ඇදී ඇත්තේ ජවය,ශක්තිය,ජයඝෝෂා හරහාය.
~විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටි~
රගර්,ක්‍රිකට් පිට්ටනි පසු කරමින් අපි අමුතු නුහුරු ස්ථානයකට සමීප වෙමු.සාමාන්‍ය හැඩයේ ධාවන පථයක්.විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වීමට සුදුසුකම් ලෙස හැඩය,දුර ආදිය ඉදිරිපත් කළ නොහැකි වුවද මීළඟට කියන්නට යන කාරණය අනිවාර්යයෙන්ම එම අවශ්‍යතාවය සපුරනු ඇත.ධාවන පථය කලු පැහැතිය.ඒ එමත අතුරා ඇති ගල් අඟුරු නිසාය.ගල් අඟුරු මත දිවීමේදී සාමාන්‍ය ධාවන පථයකදී ඇති කරන ඝර්ෂණයට වඩා වැඩි ඝර්ෂණයක් කකුල් මත ඇති කරවන හෙයින් ධාවනය අපහසු විය හැක.ඒ අපහසුව දුවන විට පමණක් ඇති වුවද සපත්තු නැතුව දිවගියහොත් කාලාන්තරයක් පවතින අපහසුතාවයක් හිමි කරගැනීමේ වාසනාව ලැබෙනු ඇත.



ධාවන පථයේ සිට පස් කන්දියකින් එතෙරව පාරට ගොඩවූ කල්හී ඉතා නුදුරින් පෙනෙන තවත් විශේෂ
ස්ථානයකි,අල්විස් පොකුණ.



පොකුණ අල්විස්ගේ වුවද,පොකුණ පමණක් නොව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම ගොඩනැගිලි අල්විස්ගේය.

ෂර්ලි දි අල්විස් මහතා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියා.

මතක තබා ගත යුතු නමකි.අණ්ඩයන්ගේ මෙන්ම අණ්ඩ කඩාගත්තවුන්ගේද පින් මෙතුමාටය.ඒ ගැන පසුවට.
අල්විස් පොකුණින් ආපසු හැරී අපි තාර පාර දිගේ ගමන් කරමු.මීලඟ නවාතැන් පොළ හමුවන තෙක් කීමට හොඳවායින් දෙක තුනක් ඇත.සිදුවී ඇති ස්ථාන හරිහැටි නිච්චි නැති මුත් මේවා ඇත්තටම සිදුවී තිබේ.
ඉන් එකක් බොහෝ කලකට පෙර පිරිමි නේවාසිකාගාරයකින් ඉදිරිපත් කර ඇති පහන් කූඩුවක් ගැනය.කෙතෙකුත් දැක ඇති උණ බට සැකිල්ල වසා ගත් පාට පාට සව් කොළ පදාස වෙනුවට නව චින්තනයක් අනුව යමින් මේ පිරිස, කාලයක් පාවිච්චි කළ (නොසෝදා ඇති වග අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමු ) සරමක් ඉදිරිපත් කළහ.අපූර්වම දෙය නිර්මාණය නොවේ.ඊට යොදා තිබුණු නමය

"පැටව් අසූහාරදාහේ පහන් කූඩු රාජයා"

(තේරුම් ගත නොහැකි පිරිමි දරුවන් පමණක් වෙනම අමතන්න.නැවත කියමු.පිරිමි දරුවන් පමණක් )

අවුරුදු ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන දන්සැලක් පිළිබඳවද ජනප්‍රවාදයක් පවතී.

"__ වතාවටත් පවත්වනු ලබන මහා අඹ දන්සැල" 

දැන්වීම දකින පිරිස් කොයි කලෙක,කිසිම දිනෙක නොඇසූ,නොගිය අමුතුම තාලේ දන්සැලෙන් අඹ කනු පිණිස ඊතල ගසා ඇති පාර දිගේ එක දිගටම යති.කතාව ඇත්තය.දන්සැල දෙන පිරිසගේ දෙමාපියන් සිහිකළ යුතු නොවේ.
අන්තිම ඊතලය ඇත්තේ අඹ ගහකටය.
අඹ කඩාගැනීමට කවුරුත් සල්ලි ගෙවන්නේ නැත.එම නිසා දන්සැලකි.

තුන්වැන්න අල්විස් පොකුණේ සිට අප මේ යන දිශාවට විරුද්ධ දිශාවට මද දුරක් ඇවිද ගිය විට පෙනෙන ,දුම්රිය පාරක් අසල පිහිටා ඇති විජේවර්ධන කාන්තා නේවාසිකාගාරය ගැනය.වර්තමානයේ කාන්තාවන් අරක්ගෙන සිටියද ,එංගලන්තයේ එළිසබෙත් මහ රැජිණ ජේ.ආර් එවකට ජනාධිපතිතුමා සමඟ විජේවර්ධන ශාලාව ළඟින් දුම්රියෙන් යාමට කලින් කොල්ලන්ගේ රජදහනකි.එළිසෙබත් රැජිණද කාන්තාවක් හෙයින් කාන්තාවන් කෙරෙහි අනුකම්පාවෙන් එම හුවමාරුව කර ඇතැයි සිතන ඔබට වයර්ය.
මඳක් සිතන්න
හොඳ පරම්පරාවකින් පැවතෙන ලොවකට අණ දුන් කාන්තාවක් තුන්වැනි ලෝකයේ රටක චමත්කාරජනක පරිසරයක් විඳිමින් යන අතරතුරදී ඇයට ,ගස් වැල් කඳු හෙල් දිය වැල් මැද ,තට්ටු හතරක ගොඩනැගිල්ලක ජනේල තුළින් කාලවර්ණ පශ්චාත් භාග මාලාවක් දර්ශනය වුවහොත්?ඔව් විජේවර්ධනයේ වීර ධීර පුතුන් එම පුණ්‍ය කර්මයේ ආධාර පත්‍රයට නොමසුරු ආධාර ලබා දුන්හ.ඒ පුණ්‍ය කර්මය සඵල වීමෙන් ජේ.ආර් ගේ අණින් රෙදි මළු පොදි බන්දවා වෙන නේවාසිකාගාරයකට යවනු ලැබූහ.

හොඳවායින් තුන අවසන් වෙද්දි මේ දිස් වන්නේ ශාස්ත්‍ර පීඨයයි.

දිවට දැනෙන පිපාසය,පේරාදෙණිය බැලීමට ඇති පිපාසයට වැඩිනම්  ,මේ අසලම පිහිටා ඇති ,කෘෂිකර්ම පීඨයෙන් පවත්වාගෙන යනු ලබන කිරි අලෙවි සැල ඔබට සහය පිණිස යමක් කරනු ඇත.
ඔබට යමක් අවශ්‍ය නැත්නම් කෙලින්ම ඒ.ටී එක බැලීමට යා හැකිය.ඒ.ටී (AT) යනු ආර්ට් තියටර් (Art Theater ) යන්නෙහි කට හුරු යෙදුමයි.පොත් එළිදැක්වීම්,දේශන ,වාද විවාද ආදිය වෙනුවෙන් කැපකළ ප්‍රෞඩ ගොඩනැගිල්ලකි මෙය.



එය විඳීම උදෙසා ඇතුලටම යා යුතුමය.පෙර දවස මෙතුළ ,දේශනයක් පිණිස පැමිණෙන පුද්ගලයෙකුට එක පිට එක අභියෝග එල්ල කරමින් විවෘත සංවාද ඇති කරන සංස්කෘතියක් තිබුණද දැන්  තත්වය එසේ නොවන වග ,එසේ බැට කෑ දේශකයෙක්ම පවසා තිබේ.
සංවාද කෙසේ වෙතත් දැන් අවශ්‍යනම් කාට හෝ ආධාර පිණිස පැවැත්වෙන චිත්‍රපටියක් රස විඳිය හැක.දෙමළ චිත්‍රපටියක් නම් ,පැය තුනාමාරක රූප පෙළට අමතරව,පැය හයක පමණ විස්ල්  හා හූ හඬවල් මැද.
මෙතැනදිම තවත් පුදුමයක් ගැන කතා කිරීම සුදුසු යයි හැඟේ.අක්කර එක්දහස් අටසියයක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරමක රවුමක් ගසා පැමිණෙන (අපි මේ යන රවුම මෙන්) ඔබට නොඅනුමානයෙන්ම ඇස ගැටිය නොහැකි (සාමාන්‍ය වචනයෙන් "මීටර් නොවන" ) යමක් තිබේ.මේ භූමියේ කිසිම තැනක උඩින් ඇද ඇති විදුලි රැහැන් නැත හෝ ඉතා අඩුය.අණ්ඩයන්ගේ ජීවිත ආළෝකමත් කරන මේ පින් බිමේ ඉර නැති රාත්‍රියේ ආළෝකය පතුරන්නේ භූගත විදුලි රැහැන් පද්ධතියක් මඟිනි.කෙසේ වුවද පුදුමයේ රඟ දැනෙන්නේ අලුත්වැඩියාවක් කිරීමට සිදුවූ විටය.

ඒ.ටී එක එහායින් වැටී ඇති අතුරු පාරකින් අපි ඇතුළට යමු.මේ පාරේ තාරකා දොරටුවක් පිහිටා ඇත.ඇසි පිය හෙළන ක්ෂණයෙන් පේරාදෙණියේ සිට පොළොන්නරුවට යා හැක්කේ එහෙයිනි.පහළින් ඡායාරූපයක් ඇත.එම ස්ථානය පොළොන්නරුව වූයේ කෙසේදැයි අවබෝධ වනු ඇත.මේ ගල් කණු මතක තබාගන්න.
(ඡායාරූපය පරණය.කෙල්ලන් දිගට ඇඳ ඇත්තේ එහෙයිනි.නොමඟ නොයන්න )

පොළොන්නරුව පසු කොට ඉදිරියට ඇදෙන අපි ප්‍රෞඩත්වය යන වචනයේ තේරුම වටහා ගැනීමට සැරසෙමු.ඒ කරා එළඹිය යුත්තේ ලංකාවේ දක්නට ලැබෙන විශාලම එක ලෙසද සැළකෙන සඳකඩ පහණක් හරහාය.
ලෝවාමහාපයේ කණු සිහිකරවන,ඇම්බැක්කේ ලී කැටයම් සිහි කරවන ගෘහ නිර්මාණ ශිල්පීය විස්කම් රිසි සේ බෙදන සිමෙන්ති ,ගල් වැලි වලින් තැනුනු හෙයින් අජීවි විය හැකියයි සිතුනද,අවුරුදු ගණනාවක් පුරාවට හුස්ම ගනිමින් අණ්ඩයන්ටද හුස්ම පොවමින් ජීවමානව නැගීසිටින තුන් මහලින් සැදි  සරසවි පාය,

සනාතන මන්දිරය (senate Building )

(හැට ගණන්වල ගන්නා ලද්දකි.දැන් එක පැත්තකින් තවත් කොටසක් අමුණා ඇත )


    දැන් පෙනුම

මෙම ගොඩනැගිල්ලත් පුදුම අටෙන් එකක් බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතේ.නම සනාතන මන්දිරය වුවද යම් කාලවලදී එය "සනාතන නේවාසිකාගාරය" බවටද පෙරැළී ඇත.විශ්ව විද්‍යාල පරිපාලනයට එරෙහි ශිෂ්‍ය සටන් බොහොමයක් මෙම මන්දිරය උපේක්ෂාවෙන් විඳ දරා සිටී.කණුවල කළු කොඩි ,බැනර් එල්ලාගෙන සිටින්නේද ඒ උපේක්ෂාවෙන්මය.මක් නිසාද යත් විරෝධතා ගොඩනැගිල්ලට එරෙහිව නොවන හෙයිනි.
මේ මන්දිර සංකීර්ණයේම තිබෙන මහල් හතකින් යුත් පුස්තකාලය ඇතුළට යමු.එහි දොරටුව අසල රැකවල් ලා සිටින සිකියුරිටි මහතා අපෙන් යමක් ඉල්ලයි.
"විශ්ව විද්‍යාල හැඳුනුම් පත"
නැත අප අණ්ඩ කඩාගෙන අහවරය.ඇතුල්වීම අණ්ඩයන්ටය.තමන්ගේ ගෙදරට තමන්වත් වැද්ද නොගන්නා තත්වයකට අපි පත්වෙමු.
හීන් සීරුවේ මාරු වීම හැර වෙනත් දෙයක් නොමැති හෙයින් අපි ඊළඟ පුදුමය දකිනු පිණිස යමු.නැවතත් මුලින්ම ගමන් ගත් තාර පාරටම.ඒ පාරෙහි මේ අංශක අනූවක්ම ඇති වංගුව රසවත් අතීතයක් සිහි කර දෙයි.නමින් "කිස් බෙන්ඩ්" ය (Kiss Bend ) සිංහලෙන් හාදු වංගුව යයි කිව හැක.
බොහෝ ජනප්‍රවාද ඇතත් එකක් පවසන්නම් ,මේ නම පිළිබඳව.හරි කතාව නොදන්නා හෙයින් තතු දත්තෝ පහදත්වා !
මුල් කාලයේ කාන්තා නේවාසිකාගාර සියල්ල පිහිටා තිබී ඇත්තේ කිස් බෙන්ඩ් එකෙන් පසුව එළඹේන භූමියෙහිය.හවසට සිය ප්‍රේමවන්තිය නේවාසිකාගාරයටම ඇරලන්නට නොහැකිව ලතැවෙන ප්‍රේමවන්තයා සිය අවසාන කිස් එක දී ,ඇය සනසා පිටත් කොට ඇත්තේ මේ කිස් බෙන්ඩ් එකේදීය.
(නැවතත් කියන්නේ මෙය ජනප්‍රවාදයක් වගය)
තවමත් විජේවර්ධන ශාලාය හැරුණු කොට ඉතිරි කාන්තා නේවාසිකාගාර සියල්ල කිස් බෙන්ඩ් එකෙන් පසු පිහිටා ඇත.සිය ප්‍රියාවිය හැරයන ප්‍රියයාට කිස් බෙන්ඩ් එකේදී වේදනාව හිස් මුදුනින් දැනුනද ,අපට ඒ වෙනුවට හිත් පොපියන,ලේ නලියන ප්‍රහර්ෂයක් දැනෙන්නේ අපගේ ප්‍රියාවිය මුණගැසෙන්නේ කිස්බෙන්ඩ් එකෙන් පසුව වීම නිසාය.
බොහෝ මනුෂ්‍ය ජීවිතවල හුස්ම පොද පවා සිරකරවන සුළු,රෝමෝද්ගමනය (මයිල් කෙලින් වීම ) සිදුකරවන මරණ මංචකයේදී පවා සිහිවන,මුවට හසරැල්ලක් නංවන තාලයේ චිත්තාකර්ෂණීය අත්දැකීම් තිබේ.

ඔබ ඉදිරියේ ප්‍රහර්ෂය නළිය නළියා එළියට පනින්නට දඟලන නෙත් දහස් ගණනකි.
දෙකන් තුළින් ඇතුළුව මොළය නොව හදවත විනිවිද යන අත්ල දහස් ගණනක් එකට ගැටීමෙන් ඇසෙන කන්කළු නාදයකි.
ඔබ හෙළු දහඩිය,කඳුළු, සුසුම් මොහොතකට නතරව ,ඔබගේ හදවත තවත් හදවත් දහස් ගනන් හා යාවී ආත්මගත බන්ධනයක් ඇතිවන්නේ මෙතැනදීය.
මෙතැනදීම පමණි.
මේ පුණ්‍යවන්ත කොන්ක්‍රීට් ලෑල්ල මතදීම පමණි
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය.
කටට හුරු වචනෙන් "වල"

ඇම්පිතියට(ර්) (Amphitheatre) ආකෘතියට අනුව භූමිය නිර්මාණය කළ,එක්දහස් නවසිය පනස් අටේදී සරච්චන්ද්‍ර මැතිදුන්ගේ "මනමේ" රඟදැක්වීමේන් ඇරඹි චමත්කාර ගමන ගැන කතාව ඇසීමට කවුරුත් අහළ පහළක නැති හැන්දෑවක පැමිණ ගල් පඩියක් මත හිඳගෙන සිටීම පමණක් සෑහේ.සිංහබාහු මුල්වරට රඟ දක්වා ඇත්තේත් මෙහිදීය.මුල්ම වේදිකාගත කිරීමේදී ඇද හැළෙන්නට වූ ධාරානිපාත වර්ෂාව මැද වලේ වේදිකාවේ රවුම් රවුම් ඇවිද ගිය සිංහයා දෙතුන් වතාවක්ම බිම ඇද වැටී තිබේ.ඒ පළමු සිංහයාම (මාක් ඇන්තනී ප්‍රනාන්දු ) සිංහබාහුට වසර පනහක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සැමරුමේදී ලෙන් දොර හැර දමා ඇති අයුරු දැක කුපිතව වේදිකාව මත රැඟුවේය.
විශ්වාස කරන්න
ඒ වෙලාවේත් මහ වැස්ස
නලුවා පමණක් නොව ප්‍රේක්ෂකයෝද එක හැල්මේ තෙමුණහ.
නමුත් සිංහයා වැටුනේ නැත

වල ඔහුට වැටෙන්නට දුන්නේ නැත
චමත්කාරය එයයි.
සිංහල වේදිකා නාට්‍යවල "ස්ටෑන්ඩඩ්" එක චෙක් කරන ස්ථානය බවටද වල සැළකූ කාලයක්  තිබිණ.යම් නාට්‍යයක් හූ සද්දයක් නැතිව වලේ පෙන්නිය හැකිනම් එය ලංකාවේ ඕනෑම තැනක පෙන්විය හැකියයි කියැවිණ.

දැන් තත්වය කෙසේ දැයි විමසා බැලිය යුතු වුවත් තවමත් වේදිකා නාට්‍ය ශිල්පීන්ගේ හීනයකි,එක් වරක් හෝ වලේ රඟපෑම.ඒ හා සමාන සිහිනයකි වලේ එක්වරක් හෝ නාට්‍යයක් බැලීම.නෙළුම් පොකුණට එකෙක් ඇතුලු කිරීමට යොදන මුදලට, "වලට" නඩයක්ම රිංගවිය හැක.අඩුම් ටිකට් එක රුපියල් පනහකි.උස පැනීම,තුන් පිම්ම,දුර පැනීම ගැන යම් හෝ පරිචයක් ඇත්නම් දෙවැනි සීනුවට ප්‍රේක්ෂකාගාරය අඳුර වන මොහොතේම ක්‍රියාත්මක වී එකසිය පනහට ,අවශ්‍යනම් ඊට වැඩි කොටසට හෝ පැනීමේ හැකියාව ඇත.ටිකට් එක ගැන කවුරුත් විමසන්නේ නැත.විමසුවොත් ඔබ ගැන ඔබම බලාගන්න.

නාට්‍යය පමණක්ම නොව ඉඳහිට අමුතු තාලයේ දෙවල්ද එළි බහිනු පෙනේ.මේ අප අණ්ඩ කඩාගත් පසු ඉංජිනේරු පීඨ කලා කවයෙන් විඳින්නට සැළස්වූ සංගීත අත්දැකීමක අවස්ථාවකි.

මීළඟට අණ්ඩ තිබුණු යුගයේ එළි දැක්වූ නාට්‍යය තුනකින් එකක ඡායාරූපයක්ද අමුණන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඉරිසියාව නිසාය.

දැන් අපි අපහසුවෙන් වුවද වලෙන් නික්මෙමු.වලත් පුදුම අටේ ලැයිස්තුවල අයිති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නැවතත් පුරුදු තාර පාරට.අණ්ඩ ජීවිතයේ තුන වසර ගතකල ජේමිස් පීරිස් ශාලාවත් රෑ බත් වේල් පිළියෙළ කරගැනීමට තරම් ස්වයංපෝෂිත තත්වයක සිටි හෙයින් ,කෑමට අවශ්‍ය පොල් හාල් ගැනීමට ගිය හිල්ඩා ඔබේසේකර කාන්තා නේවාසිකාගාරයත් පසු කරමු.ඈතින් පෙනෙන්නේ සංඝමිත්තා කාන්තා නේවාසිකාගාරයයි.තනියම යන කෙල්ලන්ට හෝ ජෝඩු වලට විස්ල් ගැසීම ,කිණ්ඩි දැමීම නොකළ යුතු වගට පේරාදෙණියේ නීතියක් තිබේ.නමුත් කොල්ලන්ට විස්ල් ගැසීම ,කිණ්ඩි දැමීම වැළක්වීමට පණත් සම්මත වී නැති හෙයින්,මිත්තා ශාලාව පසු කරමින් ,අසනීපයකට බේත් ගැනීමට හෙල්ත් සෙන්ටර් එකට තනි පංගලමේ යන කොල්ලෙක්ට නොයෙක්  ශබ්ද ඇසීමේ හැකියාව තිබේ.අපේ ගමන් මග ඒ හරහා වැටී නැත.
ටිකක් දුර නමුත් ආකර්ශනීය මාර්ගයකට අපි දැන් හැරෙමු.තෙත් කලාපීය වනාන්තරයක් තුළට ඇතුලට ගමන් කරන වගක් සමහර විට ඔබට සිතෙනු ඇත.මේ ප්‍රදේශයේ නේවාසිකාගාර කීපයක් හැරුනු විට ,විශ්ව විද්‍යාලයේ පන්සල,කෝවිල ,කතෝලික පල්ලිය,ක්‍රිස්තියානි පල්ලිය,මුස්ලිම් පල්ලිය යනාදිය පිහිටා තිබේ.ඒවා රිසි සේ නරඹමින් ඈතින් පෙනෙන හන්තාන කඳුවැටිය දෙසටද විටින් විට නෙත් හෙළමින් මේ දීර්ඝ මාර්ගයේ ගමන් ගනිමු.කෙළවර වඩාත් උසින්ම පිහිටි නේවාසිකාගාරයට එළඹෙමු.පුදුම ලැයිස්තුවට ඇතුලත් නොවුනද මෙහි ඒමට විශේෂ හේතුවක් තිබේ.ඉතා මෑතදී ඉදිකළ මේ විශාල ශාලාව නම් කර ඇත්තේ පේරාදෙණියේ මැවිසුරුවන් මෙන්ම පළමු උපකුලපති තුමාද වූ උත්තම පුරුෂයාගේ නමිනි

                                                       සර් අයිවෝ ජෙනින්ග්ස්

මහන්සිය නිවාදැමීමට තේකක් බී අපි මේ නේවාසිකාගාරේ ඉහළ මහලටම ඇදෙමු.එහි සඳළුතලයකට.
මෙය අපගේ දීර්ඝ එහෙත් වින්දනීය ගමනක අවසානය වනු ඇත.
සදාකල් හදවත් පතුලේ තැන්පත් වන මතකයන් සමුදායකින් අපි ගැබ්බරව සිටිමු.අණ්ඩ කැඩීමෙන් පසු යම් දුරස් බවක් ඇති වග හැඟුනද,අණ්ඩ කඩා දැමීම පිණිස උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති තුමා විසින් ගෙලට දැමූ මාලය ,තොන්ඩුවක් ලෙස දැනුනද, ඒ මතකයන් අපේ සිත්වලින් බැහැර කිරීමට කිස්සේත් නොහැකි වග අපි දනිමු.
ආයුබෝවන් පේරාදෙණිය සරසවිය !
මදක් සිටින්න.....
ඔබ විමසිලිමත් පාඨකයෙකුනම් මේ මොහොතේ යමක් සිහිවනු ඇත.මාතෘකායේ පුදුම අටක් ගැන කියවුනද මෙතෙක් මේ ලියවිල්ලේ ඇත්තේ හතක් ගැන පමණි.පේරාදෙණිය ගැන දන්නා පිරිස් එහි පුදුම අටක් නැති වගට තර්ක කරනු ඇත.කෝ අන්තිම මෙන්ම ලොකුම පුදුමය?
යාළුවා,
තව ටිකක් සඳළුතලෙන් එළියට එබෙමු.
පැත්තකින් හන්තානෙනිත් තව පැත්තකින් මහවැලි ගඟෙනුත් රැකවල් ලාගෙන සිටින 
මේ හුස්ම ගන්නා ජීවමාන ගොඩැනැගිලි
හදා වඩා පෝෂණය කෙරෙන ගස් වැල්
ජීවිතයේ සුන්දරම කාලය ගෙවන අණ්ඩයන්
පේනවා නොවේද?
මෙතරම් පුදුමයන් ,විශ්මයන් සමූහයක් රඳවා සිටින නුඹම නොවේද
ලොකුම පුදුමය?
පේරාදෙණිය සරසවිය !



ප.ලි

1) මේ ලියවිල්ල රචකයා විසින් අසා ඇති දැක ඇති කරුණු කාරණා වලින් ලියා ඇත.සමහර දේවලට ඔබට එකඟ නොවී සිටිමේ හැකියාවද තිබේ.උදාහරණයක් වශයෙන් සමහර පීඨවල පුදුම හතේ ලැයිස්තුව වෙනස් වීම සැළකිය හැක.අඩුලුහුඬුකම් පෙන්වාදීමත් කුමන හෝ ප්‍රතිචාරයක් දැක්වීමත් ඉහලින් අගය කෙරේ
2) බොහෝ ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.හැකි සෑමවිටම මුල් හිමිකරුවාගේ අයිතිය සුරක්ෂිත කර ඇත.

Share:

Jun 9, 2013

පේරාදෙණියේ පුදුම අට ( අණ්ඩ කඩා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි )

මාතෘකාවෙන්, අණ්ඩ කඩා ගැනීම හේතුවෙන් උත්පාදනය වූ ප්‍රීතියක් ගැන කියවුනද එය ඒ ආකාර "ප්‍රීතියක්" නොවේයයි සිතෙන්නේ ,කැඩී ගිය අණ්ඩ ඈඳී තිබුණු මහා පුරුෂ ශරීරය සිහි වන විටදීය.නුහුරු නුපුරුදු "පුරුෂ ශරීර වර්ණනාව"  කිරීමට දරන ප්‍රයත්නයක් නොවේ මෙය.
හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ ) මතකයන්,හැඟීම් සම්පිණ්ඩනය කොට දැක්වීමට උත්සහ කිරීමකි

ඔව්
මෙතෙක් පේරාදෙණියේ අණ්ඩග්‍රැජුවේට් (undergraduate) ව හුන් අපි අණ්ඩ කඩා ගත්තෙමු

එතරම් වැදගත් නැති "අණ්ඩ කඩා ගැනීමේ මෙහෙයුම" (විභාග,කුප්පි,ctrl+c,ctrl+v) ගැන විස්තර පසෙක තිබියදී අපි අණ්ඩ තිබුණු කාලය සිහි කරමින් පෙර ගිය මංමාවත්වල ඇවිද යමු.දැඩි ග්‍රීස්ම කාලයෙහි වුව හමන සීත සුළං සිහි කැඳවමු/විඳිමු.අවුරුදු ගණනක සිට අණ්ඩ තිබුණ උන් මෙන්ම කඩා ගත් උන් දෙසද උපේක්ෂාවෙන් බලා ඉන්නා ගොඩනැගිලි ,ගල් කණු, ගහ කොළ ,පඩි පෙල් සිහි කැඳවමු/නරඹමු.




කොටුව ස්ටේෂන් එකේ වේදිකාවේ එහා කොනේ සිට මෙහා කොන තෙක් ඇවිද "ෆ්‍රේෂ් පිට" එළියට ආවද ,ඇවිදීමෙන් පසුව එවැනි "ෆ්‍රේෂ්" එකක් ලබා ගැත නොහැකි තරමටම "ඒ කොන" සහ "මේ කොන" ඉතා දුරින් පිහිටන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වන ඉංජිනේරු පීඨයේ කොරිඩෝව  තරණයෙන් පසු, නැතිව ගිය "ෆ්‍රෙශ්" එක ලබා ගැනීම උදෙසා අක්බාර් පිරිමි නේවාසිකාගාරයට පියනගමු.
ඒ රුපියල් තුනකට ඕනෑවටත් වඩා වටින (ළඟදී ගනන් වැඩි වන්නට ඇත ) ප්ලේන්ටියක් වෙනුවෙන් හෝ රුපියල් හතකට ලැබෙන ,කැන්ටිමේ ටෙන්ඩරය මාරුවන කාලයට විශ්වකර්මයකින්  චොක්ලට් කුඩු ,වැනිලා පවා වැටෙන ටී එකක් වෙනුවෙනි.
ඔටුවන් නොහොත් ජීවන සහකාරියක් නැති අහිංසක තරුණ ජීවිත සැඳෑ යාමයේ පාරේ යන දැරිවියන් දෙස බලමින් රත් කරන "ඔටු බංකු" පහු කරමින් අපි දෙවන පුදුමය කරා ඇදෙමු.මේ අර එක්දාස් නවසිය හැට ගනන්වල අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපය.
අක්බාර් පාලම



පේරාදෙණියේ අණ්ඩ සහිත ජීවිතවල සුන්දර මෙන්ම විශාල පරිච්ඡේද ගනනාවකට පසුතල නිර්මාණයෙන් සමහර විට තිර රචනයෙන් අධ්‍යක්ෂණයෙන් පවා දායක වෙන 
අක්බාර් පාලම.
ගඟ මැදට ආධාරකයක් නොමැතිව ඉඳි කිරීමෙන් දක්වා ඇති ඉංජිනේරු ශිල්පීමය දස්කම් හොඳින් ආඝ්‍රාහණය කිරීමට නම් පිරිසක් එකතු වී උඩ පැන ,ඒ රිද්මයට පාලමද උඩ පනිනා අයුරු විඳිය යුතුය.අඟල් ගානක විස්ථාපනයක් සිදුවුකළද පාලම තිර ලෙස විරාජමානව මහවැල ගඟ හරහා ලැග ඉන්නේ අවුරුදු ගනනාවකට පෙර සිටි අණ්ඩයන් (අණ්ඩ ඇත්තවුන් කෙටියෙන්) මෙන්ම මතු පරම්පරාවේ අණ්ඩයන්ද ආරක්ෂිතව ගඟෙන් එගොඩ කළ යුතු බැවිනි.
වේග සීමාව පැයට කිලෝමීටර් 15ක් පමණ වන හෙයින් පැයට කිලෝමීටර් 50ක 60ක පමණ වේගයෙන් ඇඳෙන යතුරු පැදි ටයරවල පහස විඳීමට බියක් නොමැති නම් මේ පාලමේ නිදාගැනීමේ සුන්දර අත්දැකීමට ගොදුරු වීමටද හැකියාව ඇත.හොඳම කාලය උදාවන්නේ මැදියමින් පසුය.සුරා මත දරා ගැනීමට නොහැකි වීම පාලමේ නිදාගැනීමට එක් හේතුවක් වුවද ඒ සඳහා හේතු අවශ්‍යම නැත.

පාලම තරණය අවසන් වනවාත් සමඟම දකුණු පස පහළින් මහවැලි ගඟට සමාන්තරව පෙනෙන්නේ එල්.එල් ය.නොහොත් ආදරවන්තයන්ගේ මාවතය.සිංහලයේ නාම පදයක් අගට "ගේ" යෙදීමෙන් අයිතිය හැඟවීමක් සිදු කරන වග හොඳාකාරව දන්නා අපි මෙම මාවත ආදරවන්තයන්ගේ බූදලයක් විය හැකි වගට අනුමානයක් කරමු.ඒ අනුමානය හරියටම හරි යයි කියමින් ජෝඩු ඒ මාවත දිගේ ගමන් කරන්නේ මහවැලි ගඟේ රැල්ල පාගනු පිණිසය.වෙන කිසිවකට නොවේ.නමුත් ඒ අසලම සිටින නොමගට ගිය උස ගහ මේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට එල්.එල් එක දෙසට නැවී ඇත්තේ ඒ ගසේ ඇති වනචරකම නිසා බව ජනප්‍රවාද වල සඳහන් වේ.කෙසේ වුවද එල්.එල් පුදුම අටෙන් එකක් නොවේ.එල්.එල් පුදුම අටේ ලැයිස්තුවට ඇතුල් කරන තුරු විශ්ව විද්‍යයාලීය බහුතර ඔටු ප්‍රජාව කටබලියාගෙන සිටියේ නම්, "ඒ බලා සිටීම" දහ වැනි පුදුමය විය යුතුය.



ලැයිස්තුවේ ඊළඟ පුදුමය මුණ ගැසෙන්නේ අක්බාර් පාලම අවසන් වූ විගසමය.ස්වයං සම්බාධක පනවා ගැනීමෙන් "එච් ගස"(H tree) යයි ව්‍යවහාර කරන විශාල කඩොලාන ශාකයයි ඒ.මුහුඳු මට්ටමේ සිට වඩාත්ම උඩින් පිහිටි විශාලම කඩොලාන ශාකය බව කියැවෙන මෙය හා බැඳී ඇති ජනප්‍රවාදවලට අනුව මේ ගස යට ජෝඩු හතකට එකිනෙකාට නොපෙනී සිටිය හැකි ය.එය සත්‍යයක්දැයි හරියටම නොදන්නේ හතට ගැනීමට නොහැකි නිසා නොව ගස දෙස බැලිය නොහැකි නිසාය.


එච් ගස නරඹා ඉදිරියට ඇදෙන ගමනේදී කෙලින්ම දිස්වන වූස් (WUS) පරිශ්‍රයේ ඇති බාබර් සාප්පු,ටේලර් සාප්පු,සමුපාකාර මැද පුදුමයක් හොයා ගත නොහැකි වුවද එස්.බී ඇමතිතුමා විසින් දෙවෙනි වතාවටත් අභිනවයෙන් විවෘත කළ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,තවත් එක් පුදුමයක් කිරීමේ හැකියාව ඇත්දැයි සොයා බැලිය යුතුය.අවශ්‍යතාවයක් ඇත්නම් වූස් කැන්ටිමෙන් යමක් අනුභව කිරීමේ හැකියාව ඇතත් අපි නොනැවතී ඉදිරියට ඇදෙමු වූස් වල කරා.සමහර දිනවලදී ඔබට ඒ සඳහා බොහෝ පරිස්සම් විය යුත්තේ බිම එලා ඇති තවත් නොවේලී ඇති පෝස්ටර් පයට නොපෑගෙනු පිණිසය.ශිෂ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක මුල මෙතනය.කොනක ඇති කුඩා කාමරයේ දොර විවෘත කොට බැලුවහොත් එහි බිත්ති පුරා ලියා ඇති වාක්‍ය ඛණ්ඩ කියවීමෙන් හීනි ආශ්වාදයක් ලබා ගැනීමටද හැකියාව ඇත.
අඩි හයක් පමණ උස එකෙක්ට කෙලින්මද ඊට කොට එකෙක්ට මදක් ඉස්සීමෙන්ද  තටාකය ,දන්න වචනයෙන් ස්විමිං පූල් එක දර්ශන පථයට හසු කර ගත හැකිය.විශ්ව විද්‍යාල ආරක්ෂකයින් හෝ විනයාරක්ෂකයින් මෙය නොකියවන වගට උපකල්පනය කිරීමෙන් මේ පූල් එකේ මහ රෑට කොල්ලන් ඇඳුම් නැතුව නාන වගට ප්‍රකාශ කළ හැකිය.ඒ ප්‍රකාශය කලේ ආසාවට නොව ඉරිසියාවටය



images
http://www.panoramio.com
https://www.facebook.com/spriyan



Share:

May 17, 2013

හන්තානට පායන හඳ මහවැලියට දමන්න



Caution: හිනා යන එකක් නොවේ .


මං ඉඳන් හිටියෙ එක්දාස් නවසිය හැට ගනන්වල විතර අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපයක් උඩ.තලපෙ කළු පාටට පේන්න මහ රෑ කළුවරත් හේතු වෙන්න ඇති ,ඒත් මේක දවල්ටත් කළු පාටයි.
හොඳම කළු නෙවේ..ඒත් කළු
පරිසර විපරියාස හින්දා වගේම උඩින් තැන්පත් කරන නානාප්‍රකාරයේ පස්සවල් හින්දයි කළු පාට ලැබෙන්න ඇත්තෙ.මේ නානප්‍රකාර පස්සවල් ලිස්ට් එකේ රිලා පස්සවල් විශේෂයි.උන් කොන්ක්‍රීට් තලපෙ උඩ බෙටි ගහනවා.
ඒත් ඒ ලිස්ට් එකේ වැඩිහරියක්ම තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ දුක,සැප,සතුට ,වේදනාව,කෙටියෙන් අටලෝ දහම,බූට්,සයිකෝ,කඳුලු ,කෙළ ,හොටු බෙදාගත්ත කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පස්සවල්.

ඔව් මේ අක්බාර් පාලම
පේරාදෙණිය කැම්පස් එකේ.....



                                                   අක්බාර් පාලම ලයිට් තියෙන වෙලාවක


ඒත් මේ මහ රෑ තනිපංගලමේ කොන්ක්‍රීට් තලප කළු කරන්නේ මොන කෙහෙල්මලකටද කියලා මම දන්නෙ නෑ.මොන මඟුලක් බෙදා ගන්නද කියලා මම දන්නේ නෑ..දැනගත්තත් කියන්න බෑ.
හැබැයි බලන්න අහන්න දේවල්නම් අනන්තයි

පස්ස යටින් ගලනවා ඇහෙන මහවැලි ගඟේ සද්දෙ..
කළු ඡායාවල් විදියට විතරක් පේන හන්තාන කඳුවැටිය..
එහෙන් මෙහෙන් පේන ගස්වැල් එහෙමත්
අනන්තයි කියලා කිව්වට අනන්තත් නැ වග්..
අහ්...
හඳ
හන්තාන ඡායාවට පොඩ්ඩක් එහාට වෙන්න

හන්තානට පායන හඳ

සින්දුවකුත් තියෙන්නෙ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න? අහන්නේ අමරසිරි පීරිස්

හලෝ

අමරසිරි පීරිස් මහත්තයා ඉන්නවද?

ආහ් නැද්ද? මේ පොඩි පණිවිඩයක් දෙනවද? එයාට කියන්න හන්තානට පායන හඳ කියන්න තරම් අවුලක් නෑ කියලා..

මට හිනා ගියා.හිනාව මැද්දෙන්ම ඉඳන් හිටපු බැම්මෙන් බිමට බැහැල පාරෙ ඉඳගත්තා බැම්මටම ඔළුව තියාගෙන.හීනි ගඳක් ආවා.පුස් ගඳකට හුරු..වඳුරු බෙටිද දන්නෙ නෑ.දරාගන්න පුළුවන් වගේ .මං ආපහු හඳ දිහා බැලුවා.මේ පාරනම් බෙල්ල හරවන්න ඕනෙ ටිකක් විතර.එතකොටම වගේ අර අනන්ත ශබ්ද ,රූප ලිස්ට් එකට තව දෙක තුනක් එකතු උනා..

හෝන් සද්දයක්
මිඩ්ල් ලෙවල් කුණුහරප ටිකක්
බයික් එන්ජින් එකක සද්දයක්..

"මොකද යකෝ මේ පාර මැද්දෙ කකුල් දෙකත් දිග ඇරගෙන ..මාත් ළඟට එනකල් දැක්කෙ නෑ.."
 (කුණුහරුප ෆිල්ටරය යොදන ලද දෙබස )

මම ටග් ගාලා කකුල් දෙක ළං කරගත්තා
මිනිහා බයික් එකෙන් බැහැලා ළඟට ඇවිත් කුණුහරප ෆිල්ටරය දාන්න ඕන නැති වාක්‍යයකුත් කිවූවා

"තමුසෙ බීලද?මං ගිහින් දාන්නම්.මොකක්ද හෝල් එක? "

"නෑ නෑ.  මම බොන්නෙ නෑ.තෑන්කූ"

පොරට ඒපාර ටිකක් කුතුහලේ වගේ

"මොකෝ බං එහෙනම් මේ කළුවරේ තනියම?"

"නිකන් ඉතින්..මට මේ අර සින්දුව මතක් උනා"

"හන්තානට පායන හඳ?"

මගේ මූණට විශ්මයාර්දී ලකුණක් එන්න ඇති ( !) 

"උඹ කොහොමද දන්නෙ?"

"නිකන් හිතුණේ.උඹ හෙණ මනෝ පාරක් ගහගෙන වගේ ඉන්න ඇත්තෙ.සොරි ඒක කැඩුව"

මිනිහ ඇත්තටම සොරි උනානම් කරන්න ඕනෙ බයික් එකත් අරන් තොලොංචි වෙලා යන එක උනත් ඒක උනේ නෑ.පොර පාලමේ අනිත් පැත්තෙ බැම්මට පිට දීල ඉඳගත්තා මූණට මූණ දාගෙන.

"හරි මහන්සියි බන්"පොර කියනවා

"ඔච්චර මහන්සි වෙන්න මොකෝ කළේ?"

"කෑල්ල එක්ක පොඩි රවුමක් දැම්ම බන්..පට්ට ආතල්" වාක්‍යය කියවෙන අතරෙ ඇහැකුත් වැහුණෙ මොකටද කියලා මට යාන්තමට වගේ වැටහුණා.

"කොහෙ එක්කෙනෙක්ද?"

"අද ගිය එකී නම් නුවර" ඒක කියපු විදියෙන්ම මට හිතුනෙ අනිත් කෑලි ගැනත් අහන්න ගියොත් ලංකාවේ එකොළහ වසර සිතියම් අධ්‍යයනය මතක් වෙන ගානට නගරවල නම් ඇහෙයි කියලා.

"උඹට නැද්ද කෑල්ලක්?"

"නැහ්"

"ඒ මොකෝ"

"කවුද දන්නෙ"

"දන්නෙ තොගෙ" (කුණුහරුප ෆිල්ටරය )

"හන්තානට පායන හඳත් මළ ඇඬියාවක් නේද බන්? දිගු දෑස තරම්මත් නෑ හැබැයි" බයික්කාරයා මාතෘකාව මාරු කළා.

"ඇයි?"

"ඇයි යකෝ මිනිහා මොකටද හන්තානෙම පායන හඳක් මත්තෙ නැහෙන්න?"

"එහෙම දෙයක් නෙවේ නේද මචන්?එයා ඒ කෙල්ලට යන්න ඉඩ දෙනවනෙ"

"රෙද්ද..පොරට හිනමානෙ බන්,මිනිහට ෂුවර් නෑ කෙල්ල කැම්පස් ගිහින් මොනවා කරගනීද කියලා.නැද්ද?..හැබැයි "අනේ කෙල්ලේ පලයන්" කිවුවත් ඒක දරාගන්න බෑ"

මම මුකුත් කිවුවෙ නැති පාර මිනිහා ආයෙත් මාතෘකාව වෙනස් කළා..

"ඇත්ත කියපන් උඹත් ඔය හන්තානේ හඳක් ගැන නේද කල්පනා කරන්නෙ?"
මම උත්තරයක් දුන්නෙ නෑ...නිශ්ශබ්දවම හිටියා
පොර ඒ පාර නැගිටලා බයික් එක ළඟට ගියා

"හන්තානට විතරද බන් හඳ පායන්නෙ? ඔය හඳම තමා කොළඹ තියෙන්නෙත් ,අම්පාරෙ තියෙන්නෙත් ,යාපනේ තියෙන්නෙත්, අනුරාධපුරේ තියෙන්නෙත්, නිවුයෝර්ක් ,සිඩ්නි, ඩුබායි...ආයෙමත් සිතියම් අධ්‍යනය මතක් කළාට පස්සෙ බයික් එක යන්න ගියා.

ආයෙමත් පුරුදු හුදකලාව..

මිනිහගේ අන්තිම වචන ආයෙත් කන් දෙක ඇතුළෙ දෝංකාර දුන්නා..

ඇත්තට
"හන්තානට විතරද හඳ පායන්නෙ? මා ගැන මතකය ගුලි කර මහවැලියට දානවට වඩා ලෙසි නැද්ද,හන්තානට පායන හඳ මහවැලියට දාන එක?..ඒක මහවැලි ගඟ දිගේ ගිහින් යන්න ඕන තැනට යන්නෙ නැතෑ.සෝමාලියාවේ මුහුඳු කොල්ලකාරයො ළඟට හරි."



සිද්ධි මනඃකල්පිතයි.මනස්ගාතයි







Share: