Dec 25, 2012

ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !

ඇංජිමෙන් පිටාර ගලන හෝස් පවර් හාරසීයට අමතරව මගේ උද්දාමය හා ආඩම්බරය සමග තවත් හෝස් පවර් බර ගානකින් ජව ගැන්නූ වාහනය ආච්චිගේ නිවස දෙසට වැටී ඇති පාර දිගේ ධාවනය වූයේ  එඩින්බරෝ ආදිපාදයාගේ රෝල්ස් රොයිස් රථයටත් වඩා තේජසිනි,බලවන්තකමිනි.
මේ උද්දාමයට ආඩම්බරයට හේතු ඇති පදම තිබින. කුඩා කළ ආච්චීගේ දෙපා වඳිද්දී ආපිට ලැබෙන අවවාදය අකුරටම පිළිපැදීමට හැකිවීම ඒ හේතූන් අතර මුල් තැනක් ගනී

"උක්කුං පුතේ ලොකු මිනිහෙක් වෙයන් "

විවෘත ආර්ථිකයේ බලපෑමෙන් ලංකාවේ පහළ වූ ලක්දිව ප්‍රමුඛ කර්මාන්තශාලාවකින් ලැබුණු රැකියාවත් සමග   "රැකියා විරහිත උපාධිධාරී" යන ගරු නම්බු නාමය ලොප් වෙද්දී ජීවිතය යස ඉසුරින් පිරී, ගරාජය මේ වාහනයෙන් පිරී ගියේය.මෙය ඒ තරම් සද්දන්ත යන්තරයකි (ටැට්ටරයක් නොවේ ) .
ලොකු මිනිහෙක්ට මුලින්ම ලොකු වාහනයක් හා ලොකු ගරාජයක් අවශ්‍යය වේ.ඉන්පසු ගරාජයටම අල්ලා ලොකු ගෙයක් තැනිය හැක.වාහනය සෑහෙන්න ලොකු වන්නා සේම එහි ෆුට් බෝඩ් එකේ සිට මහ පොළොවට ඇති දුරත් ලොකු බව, මේ ලියන මොහොතේ මතක් වුවද ආච්චිගේ ගේ ඉදිරිපිටදී එය මතක් නොවූ හෙයින් , වාහනයෙන් බහින ගමන්ම, කුතුහලයෙන්  පෙර මග පැමිණි ආච්චිගේ දෙපා වැඳීමට හැකිවිය.ආච්චි රත්නත්‍රයේ සරණයි කීවාය.

"ආච්චි මං  ලොකු ළමයෙක් උනා " මම සීරුවෙන් සිට ගතිමි

ඈ "කැකිරි ළකුණ" සිනහවක් පෑවාය

"මෙච්චර පරක්කු උනේ පුතේ?"

"නෑ ආච්චි මන් කිවුවේ මම දැන් ලොකු මිනිහෙක්..මේ ලොකු වාහනේ,ලබන මාසෙ ලොකු ගෙයක් පටන්ගන්නවා "

ආච්චි කිසිත් නොකීවාය.
මට ඈව මෙහි නංවාගෙන රවුමක් එක්ක යාමට ආසාවක් පහල විය.සියා වාහනයට නැගීමට කැමැත්තක් නොදැක්වූවත් චාරිකාවට අවශ්‍ය සියලුම සහය ලබා දීමට ගිවිසුම් අත්සන් කළ අතර ,එය ක්‍රියාවට නැංවීම පිණිස ගස්ලබු ගහට හේත්තු කර තිබූ උණ බම්බු ඉනිමග ගෙනැවිත් වාහනයේ ෆුට් බෝඩ් එකට හේත්තු කළේය.ආච්චී පරිස්සමෙන් වාහනයට නැංගාය.මම වැඩ දන්නා බැවින් එක්වරම ඩ්‍රයිවින් සීට් එකට පැන උඩ එල්ලා තිබුණු දේව රූප තොරණේ ගණ දෙවි ප්‍රතිමාවේ ඔළුව හප්පාගෙන නැණැස විවර කර ගතිමි.
වාහනය ඉදිරියට යාමත් සමඟම මම මගේ සොඳුරු උත්සාහය ආරම්භ කළෙමි.

"ආච්චි මේ ලොකේ හැමෝටම පේන්නනම් ලොකු වෙන්න ඕනෙ..ලොකු දේවල් කරන්න ඕනෙ.පොඩි දේවල් ගැන මිනිස්සු කතා කරනවා තියා දැක්කත් අහක බලා ගන්නවා.දැන් බලන්ඩකෝ අද මම  චුට්ටං පුට් බයිසිකැල් කට්ටක ගියානම් නිකම්ම නිකම් උක්කුං ..අද මේ ලොකු වාහනේ නිසා මම...කවුද ආච්චි? මම කවුද ආච්චි?"

"උක්කුං"

"නෑ ආච්චි මම ලොකු මහත්තයෙක්..හැමෝම කතාවෙනවා.හැමෝම ගරු කරනවා.ඒ මොකෝ මම කරන්නෙ ලොකු වැඩ " 

මම කාරයේ බොනැට්ටුව හැරියෙමි (නැත.බොනැට්ටුව නොවේ .හරි වචනය නොදනිමි ) ඒ තුළ වූ "ජම්බෝ පීනට්" පැකට් එකක් ගත්තෙමි

"දැන් මේ මොනවද? "

"රටකජු"

"නෑ ආච්චි ජම්බෝ පීනට්..ලොකු රටකජු"

"ඕව කාලා එහෙම බඩ පුරෝගෙන දවල්ට නොකා එහෙම ඉන්නව නෙවී " ආච්චි තරවටු කළාය.

"මේවා තමා ආච්චි දවල් කෑම්..." 
මටත් හොරා කට ඉස්සර විය.ආච්චි පුදුමකාර බැල්මක් හෙළුවාය.සත්‍යය සඟවා පලක් නැත.

"ලීස් එක ගෙවන්නත් එපෑ ආච්චියේ"

"ආ ලීස්..ඒක මිසක්ක...හරි හරි මම හදල දෙන්නම්කො"

කතාවෙන් කතාවෙන් වාහනය ටවුම මැද්දටම ඇදී විත් තිබුණි.හන්දියේ මිනිස්සු රාශියක් රැස් කමින් හුන්හ.ඔවුන් එකා මත එකා පෙරළෙමින් අත්පුඩි ගසති..සිවුරුහන් බාති...නටති..කෑ කොස්සන් ගසති..
වාහනය නැවැත්තුවේ මගේ කකුළ නොව කුතුහලය විසින්ය.පරිස්සමෙන් වාහනයෙන් බැසීමට ගොස් පාරේ සුදු පාට ඉරි වල කිසියම් ගන්ධයක් ඇත්දැයි පරීක්ෂා කොට ආච්චිව බිමට බස්සවා ගැනීමට ක්‍රමයක් සෙවීමේදී වහළයේ ගැට ගසා තිබූ ඉනිමග දුටිමි..සීයා කෙරෙහි උපන් භක්තියාදරය මසිත තුළ තැන්පත් වෙද්දී ආච්චීද පොළොවේ තැන්පත් වූවාය.
පෙරකී මිනිසුන් රොත්තට ඉදිරියෙන් බිත්තියක එල්ලූ බැනරයකි.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත"
නව ලෝක වාර්තාවක්

ඊට පහළින්ද පින්තාරු කර තිබූ වාක්‍යයක් තිබුණද එය කියවීමට නෙත්හී බැඳුණු සියුම් කඳුලු පටලය ඉඩ දුන්නේ නැත.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත? කෙතරම් ආඩම්බරයක්ද? කෙතරම් භාග්‍යයක්ද? අප ජීවතුන් අතර සිටින කාලයේදීම..මේ නම් අනගිබවනීයමැ...ප්‍රශංසනීයමයැ...

සැබැවින්ම දැවැන්ත ලබු කිරිබතකි.එක පේළියට තැබූ මේස ගණනාවක ඇතිරූ ලබු කිරිබත් තුනී කළේ ස්වේච්ඡා සේවකයන් පිරිසකි.ඔවුන් "අයි ලව් ලබු කිරිබත්" කමිස හැඳගෙන ලහි ලහියේ වැඩ කළහ.කිරිබතේ එහා කොනේ සිටි උදවිය මෙහා සිටින පිරිස ඇමතුවේ වෝකි ටෝකි වලිනි.


කිරිබතේ සුගන්ධයෙන් නසරාණීව සමවත් සුවයෙන් සිටින කල්හී ආච්චිගේ කටහඬ පසෙකින් ඇසිණ.

"පුතේ..මේකද ලෝකෙ ලොකුම ලබු කිරිබත?"

"නැතුව ආච්චි මේ ගහල තියෙන්නෙ"

"ඉතිං පුතේ ලෝකෙ ලබු කිරිබත් හදන්නේ ලංකාවෙ විතරක් වෙන්ඩ ඇතිනෙ"

අවාසනාවට ඒ වදන් ඇසුණේ මට පමණක් නොවේ.අයි ලව් ලබු කිරිබත් සේවකයෝ සහ පරිවාර ජනයා ප්‍රේමණීය බැල්මක් අප දෙසට හෙළුහ.හැකි උපරිම ප්‍රසන්න සිනහවක් දක්වා මම වහාම ආච්චි සමග වාහනයට ගොඩවීමි.

ආච්චිට බැනීම නොසුදුසු වුවද තදින් කතා කොට ඈ යහමගට ගත යුතුය.

"මොකෙන් හරි ලොකු දෙයක් කළාම ඒක රටට නම්බුවක් නෙවේද ආච්චි?ඒවාට අපහාස කරලා අවරගනයේ ප්‍රතිගාමී යැංකි දේශපාලනයේ අතකොළුවක් වෙන්න එපා.මම ඒකට ඉඩ දෙන්නෙ නෑ ලක්මවුනගේ සුජාත පුත්‍රයෙක් වශයෙන්"

ආච්චි මෙල්ල විය.මම වාහනය ඉදිරියට පැදවූවෙමි.තවත් ගාලගෝට්ටියක් දුටු හෙයින් ගාලගෝට්ටියන්ට ඇදී යාමේ මනුෂ්‍ය ස්වාභාවයට හිස නවමින් වාහනය ඒ පැත්තට නැමුවෙමි.


"ලෝකයේ ලොකුම සමාධි බුද්ධ ප්‍රතිමාව"
ඔබේ නොමසුරු ආධාර ලබාදෙන්න 

ආශ්චර්යයකි...බුද්ධාලම්බන ප්‍රීතිය මා සියොළඟ වෙලන්නට විය.නහරවැල් තුළට කාවැදී සිරුර පුරා දුවන්නට විය.

"ආච්චි අපේ බුදු හාමුදුරුවො පිරිණිවන් මංචකයේ සිටින ආකාරය ප්‍රතිමාවකින් නෙලන්නයි හදන්නේ..පොඩියට නෙවේ ලෝකෙන්ම ලොකු විදියට"

"නෑ  පුතේ සමාධි ප්‍රතිමාවක තියෙන්නේ පිරිණිවන් මංචකය නෙවේ"

"මොක හරි කමක් නෑ.මට හරි ආඩම්බරයි ආච්චි.මට හිතෙනවා මගෙ හිත සන්සුන් වේගන එනවා..දැහැන්ගත වේගන එනවා කියලා..ආච්චි මට මාර්ග ඵලයක් ලැබෙන්න වගේ"

"අනේ මන්ද ඉතින්..උක්කුං මයෙනම් සර්දාව හිතට එන්නේ පිළිමෙ තියෙන ලොකුවට නෙවේ..."

මම සඟවාගත් කෝපය පිටින්ම වාහනයෙන් බිමට බැස ආධාර එකතු කරන මඩුව වෙතට ගියෙමි..හිතේ ශ්‍රද්ධාව තිබුණද පර්ස් එකේ සල්ලි නැත.

"ඩූ යූ ටේක් ක්‍රෙඩිට් කාඩ්ස්?" මම ක්‍රෙඩිට් කාඩ්පත මඩුව තුළ හුන් උපාසක මහතාට දිගු කළෙමි..

"යස්...යස්..නොට් වයි" මගේ අතින් කාඩ්පත උදුරාගත් ඒ මහතාණෝ එය පිං කැටය තුළට දමා බුලත් කසට බැඳි දසන් දක්වා එක සිතින් මට සෙත් පැතූහ...........

"පින් සිද්ද වෙච්චාවේ "

~හොඳ දේ වෙනුවට ලොකු දේ හොයන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි~

ප.ලි

ආච්චී වෙනුවෙන් දරන සොඳුරු උත්සාහයන් අවසානයකට ළඟා කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙයට වඩා සමාජය ගැන වැඩි යමක් පරම්පරා දෙකක ජීවීන් දෙදෙනෙක් යොදාගෙන ඉදිරිපත් කිරීමට උත්සහ කළෙමි.ඒ සොඳූරු උත්සාහයේ සාර්ථක අසාර්ථකභාවය දන්නේ ඔබ පමණක් බැවින් ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.ඒ අනුව ඉදිරිය තීරණය වනු ඇති....
~මීට හිතෛශී
 ගැටයා




මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



Share:

24 comments:

  1. පට්ට පට්ට බන්.ආච්චී වෙනුවෙන් දරන සොඳුරු උත්සාහයන් නවත්තන්න එපා.දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකියා..
      උත්සහවන්තයා ජයගනී නේද මචන්.
      ආච්චිව දැනුවත් කරන්නනෙ ඉතින්
      ජයවේවා !

      Delete
  2. ඔය සොඳුරු උත්සහයන් ටික මේ සොඳුරු විදිහටම ලියපන් මචන් ජය!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි සොඳුරු අත්දැකීමක් මචෝ
      සොඳුරු ප්‍රතිචාරයට තුති
      ජයවේවා !

      Delete
  3. Replies
    1. ස්තූතියි මචන් ආවාට කමෙන්ට් කළාට
      ආයෙ එන්න
      ජයවේවා !

      Delete
  4. අවිවාදයෙන් සිරාම තමා..

    අනේ බං ඔය දෙබස් මැදින් පොඩි එන්ටර් පාරක් ගහලා ඉඩක් තියපංකෝ. කම්මැලිකම් නොකර..

    ඉස්කෝලෙ වැඩේට නොමසුරු ආධාරයක් දුන් ගැටයාට ස්තුතිය..


    අම්මට හුඩු පොටෝ කැල්ලකුත් දාල තියෙන්නේ.. :))

    ReplyDelete
    Replies
    1. තෑන්කෝ සැමියා
      කලින් කියන්ඩ එපෑයැ බොල..මොකෝ අපේ බූදලයක්යැ ඉඩ ගියත්..ගූගල් දෙයියන්ගෙනෙ.
      අහ් ..අපේ ටැප් එකනෙ බොල.පුලුවන් වෙලාවල සැට් වෙන්නම්..ඉරිදා පන්ති යනව බොල දැන් (පිස්සු නේ? )

      Delete
  5. මට කියවන්න ආස හිතුනෙ නැහැ...තව ටිකක් තේරෙන විදියට ලියන්න උත්සාහ කරන්න...

    ReplyDelete
    Replies
    1. කණගාටුව
      හැමෝටම ගැළපෙන තේරෙන විදියට ලියන එක හරි අමාරු වැඩක් මචන් අමිල.නොතේරෙන්න හේතුවක් කිවුවොත් ඒක හදාගන්න උත්සහ කරන්න පුලුවන් වෙයි.මීට කලිනුත් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබුණා මතකයි.මම හිතන්නේ "ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට" එකට.දිගටම එනවාට තුති
      ජයවේවා !

      Delete
  6. සුපිරි යි ඈ.. ආච්චිට තට ටික කාලෙකින් ආචාර්ය පට්ටමක් දෙන්න පුලුවන් වෙයි නේද..

    (අර සැමා කිව්වා වගේ පොඩි එන්ටර් පාරක් ගැහුවනම් හොදයි නේද)

    ReplyDelete
    Replies
    1. නැතුං නැතුං.ඒ ඇත්තිට එහෙම එකක් දෙන්න වටිනවා බන්
      ඕං ඉල්ලීම ඉෂ්ඨ කළා..දැන් හරි මහිතෙ
      ස්තූතියි බණ්ඩෝ
      ජයවේවා

      Delete
  7. Niyami..
    Digatama liyan yamu..
    Achiwa patalawagena liyana ewwa nawaththanna epamai...

    Pinkamam,monakam unath adakale karnne lokuwat penna misak,siththula athiwana piwithuru shadhdhawakin nam nowe..

    Ehema dayaka wena aya inne sulutharayai.

    Loku wahanayak,loku geyak,saha bahirata penwala lakunu daganna puluwn dewal passe thamai godak aya duwanne..

    Thamange awshaytha anuwa wada karanne kihipa denai..
    Udin ope yatin hape..

    Postuwa ela..
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. තුති දමිත් සහෝ
      :) ඒකනේ මචෝ හොඳ දේ වෙනුවට ලොකු දේ හොයන ශ්‍රී ලාංකිකයන්ට මේක ඩෙඩිකේට් කෙරුවෙ..කියන්න ජාතිනම් පුරෝලා.දැනට ඇති
      නැවත එන්න
      ජයවේවා !

      Delete
  8. මේකේ නියම උපහාසයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක
      ප්‍රතිචාරයට සහ අනීවාරතගාමී උනාට :)
      ජයවේවා !

      Delete
  9. අදමයි ආවේ මේ පැත්තට. නියමයි දැන් දිගටම එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න නලීන්:)
      ප්‍රතිචාරය හා අනීවාරතගාමී වීම අගේ කොට සළකනවා
      ජයවේවා !

      Delete
  10. මොනා කරත් කමක්නෑ ආච්චිගෙ කථාවනම් නවත්තන්න එපා ඕන් හරිද?

    ReplyDelete
    Replies
    1. අහ්
      ආච්චිට ආදරේ තවත් එකෙක්
      හා හා බලමුකො නැද්ද ? :)
      ජයවේවා

      Delete
  11. ආච්චිට කියාදෙන එක නතර කොරන්ට එපා බං... හොල්ම්ස් ගෙ ස්ටෝරියෙන් පස්සේ නැගලම යන්නේ මේක..එල..

    ReplyDelete
    Replies
    1. ආආආන්න එහෙම දේකුත් තියෙනවා තමා
      ඒත් දුකයි බන් ආචිචි ගැන :)
      ස්තූතියි
      ජයවෙවා !

      Delete