Oct 31, 2012

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!


"හලෝ ආච්චි"
"උක්කුං පුතේ,අනිද්දාට මුකුත් වැඩක් නෑ නේද? අපේ දර්පණා කෙල්ලගේ මගුල් ගේ "
"එක පාරකුත් කොටහළු උනා නේද දෙදාස් පහේ?බලන්නකො ආච්චි සිද්ද වෙන දේවල් නේහ්?මම මේ ළඟදි සයිට් එහෙක දැක්කා එන්ග්ලෑන්ඩ් වලද කොහ්..."
"නෑ පුතේ දර්පණා කෙල්ල බඳිනවා"
මට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට වුවමනා විය
"දිගු දෑස් දුටුවාම " වීඩියෝවේ "පවන්" මෙන් බිම දන ගසාගෙන අත් දෙකත් ඉදිරියට යොමුකර කට ඇද කොට "දර්පණාආආආආආ" යනුවෙන් කෑ ගසා, දෑසින් ගලන කඳුලු ගංගාවෙන් කාමරය යට කර දමා එහිම ගිලී ජීවිතාරක්ෂක භටයන් පැමිණෙන තෙක් මේස කකුළක එල්ලී සිටීමට සිත්විය.
නැත,එවිට දුරකතනය බිම වැටේ.සෙකන්ඩ් හෑන්ඩ් වුවත්, ගත්තේ ගිය සුමානේය.
ඉක්මන් තීරණ ගැනීම මූල්‍යමය අර්බුදයකට සහ ප්‍රාග්ධන අගයෙහි අවපාතයකට හේතු වේ.මම එක දිගටම කොණ්ඩය රැවුල වවා ,මූණ නොසෝදා සිටීමට තීරණය කළෙමි.එය ලාබය.
මම මේස ලාච්චුව ඇර ඒ තුළ ලොවට හොරා සුරැකිව ගබඩා කොට තිබූ දර්පණාගේ කපු ලේන්සුව ගෙන ඒ මතින් නික්මෙන්නා වූ ,ලොවක් සනහන,නළවන ,කිසිදින, කිසිවිට නොවියැකෙන උත්තරීතර ප්‍රේමයේ ආනන්දනීය සුසුම් ආඝ්‍රාහනය කිරීමට සූදානම් වුවත් ,හොටු ගඳ ඉස්සර වූ හෙයින් හැබෑ ප්‍රේමයට සුවඳක් නැතැයි සිතා සැනසුනෙමි.
නමුදු ඈ අන්සතු වී හමාරය.ඇගේ මුහුණ,ඒ මත තැවරුණු සිනහව ....ඇගේ ලේන්සුව, ඒ මත තැවරුණු හොටු දැන් මගේ නොවේ.සැබෑ ප්‍රේමවන්තයා යනු පරිත්‍යාගශීලියෙකි. මඟුල් ගෙදරට දිවි හිමියෙන් උපකාර කොට, වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රීවරයෙක් දෙස තුටු කඳුළු හෙළමින් බලා සිටින ඡන්ද දායකයෙක් මෙන්, කොහෙවත් යන හාල්පාරුවෙක්ගේ අතේ එල්ලී යන දර්පණා  දෙස බලා සිටීමට මට සිත්විය.වහා ආච්චිගේ ගෙදරට යා යුතුය.කොහොමටත් තවමත් රස්සාවක් නැති හෙයින් සැබෑ ප්‍රේමවන්තයා කෙසේ වෙතත් බයක් සැකක් නැතුව වේල් හත අටක් කෑ හැකිය.
නවීන පහසුකම්වලින් හෙබි සියළු අංගෝපාංග සහිත පොෂ් වෙඩින් එකකට කෙරෙන්නා වූ සූදානමක් දැක එහි අසිරියෙන් මත්වීමට සූදානමින් ගිය මට වෙරි වූයේ "ජය මංගලානී" යනුවෙන් කොටා තිබුණු ගොක් කොළ තොරණ දුටු විටය.ලංකාවේ මගුල් ගෙවල් සියල්ල හොටෙල් වලම ගත යුතු වගට ආණ්ඩුවෙන් චක්‍රලේඛයක් ගෙනාවත්, එය ඉරා දමා කොළ පොට්ටනියක් සාදා එයින්ම ගෙදර තිබෙන බඩු මුට්ටු පිසදා ,වෙඩින් එක ගෙදරම ගන්නා ජාතියේ උත්තම ගනයේ කාන්තාවක් වුවද, ගේ ඉදිරිපිටම ගොක් කොළ තොරණක් ගැසීමට අනුබල දී ඒ සඳහා පිරිස් සංවිධානයෙන් ආච්චි කළ ඇත්තේ මහත් වූ පාපකර්මයකි.

ටකරං මඩු,ක්‍රේප් කොළ,බැලුං බෝල,බුලත් හෙප්පු,ලී පෝරුව (ඒකෙත් ගොක් කොළ ) ...හැමැතැනම ඇත්තේ පරිහානියේ ලක්ෂණය.මම මහත් චිත්ත සංවේගයට පත්වීමි.මේ මට විරහ ගීත කියවෙන ,නොමල් සිංහල මෙගා නාට්‍යයක එපිසෝඩ් එකක් මෙන් වේදනාකාරී වෙඩින් එකක් බව සැබැවි.නමුදු සාම්ප්‍රදායික රාමුවක සිර වූ ,ගතානුගතිකත්වයේ හණ මිටි කියුබ් ගානට ටිපර් වල පටවා ගෙනයන මෙවැනි මගුලක් මාලක බේබිටවත් අත් දකින්න නොලැබේවායි යන්න මගේ පැතුම විය

නැත.මා තවමත් ප්‍රමාද නැත...වෙඩින් එක අනිද්දාය.ආච්චිව සහ ඇගේ මිණිබිරියව ලෝක අපවාදයෙන් මුදවා ගැනීමේ පරම යුතුකම මගේ හදවතේ නැගි ගිනි දල්ලක් මෙන් නැගී දුම් දමන්නට විය.මම ආච්චි මුණ ගැසීමි.මගේ රූපය ඇගේ ඇස ගැටුණු විට ඇගේ සිතේ ඇතිවන්නට ගිය පුදුමය  නිවා දමමින් මම වහා කතා කළෙමි.
"මොකක්ද ආච්චි මේ රට්ටු හිනස්සන වැඩ කරන්නේ?මේක නිකන් රුක්මණී දේවිගෙ වෙඩින් එක වගේනෙ"
"ඇයි මක් වෙලාද උක්කුං? "
"හරි ආච්චි මට කියන්න කෑම බීම කොහොමද?"
"හහ් මේ අහළ පහළ ඕන තරං ගෑණු උදවිය ඉන්නෙ බං"
"දර්පණාගේ ඇඳුම්"
"හන්දියෙ අජදේව ටේලර්ගෙ ගැනිනෙ හැට්ටෙ මැහුවෙ"
"සිංදු?"
"ආආං ඒකටනම් ඔන්න ඔය කොල්ලො කට්ටියකගේ සංගීතයක් ගෙනත් සෙල්ලම් කරනව කිවුවා..ටිකක් සද්ද නැතුව ඉදින්..මේ පැත්තෙන් හීනියට ඇහෙයි උන් පුරුදු වෙන සද්දෙ"
වෙහෙරහේන හුටන්ටන්ට (ඩ්‍රම්ස්) උඩ මළුවට යන්නම්...කියුයෑං ..කියුයෑං  ( කී බෝඩ් )....පේන පේන...ඩිෂ්ටි ඩිටං
මට ඔක්කාරයක් සමග වමනයක් ගියේය..ආච්චි මගේ පිටට තට්ටු කළාය.
"ආච්චි මෙහෙමනම් හරියන්නේ නෑ..වෙඩින් එකක් කිවුවාම මීට වඩා කික් එකක් තියෙන්න ඕනෙ..ආදරය උතුරා ගලා යන්න ඕනෙ..,ඒවා වීදුරුවල පුරවල වෙල්කම් ඩ්‍රින්ක් දෙන්න ඕනෙ...ඩී.ජේ ම්යුසික් ...ප්‍රණීත ආහාරපාන .කොටින්ම එක පාරක් බැන්ද කෙනෙක්ට ආයෙ ආයෙ බඳින්න හිතෙන්න ඕනෙ"


මතු සම්බන්ධයි !

සෙස්ස  දර්පණා විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය
Share:

Sep 15, 2012

මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )





කෙස් ගස් පැහෙන විට අතරින් පතර
හර අඩු වෙලා පව් ගිණුමේ වැඩියි බැර
සුවඳ කුරු මල් සමඟින් පහන් තිර
අරගෙන ගියෙමි අස්සෙන් තොරණේ මකර

සැදැහැති මුදලාලි උන් කඩයේ පෙට්ටි
අඹ දඹ කෙසෙල් අන්නාසිත් ලොකු කුට්ටි
අහුරා එකට සකසා පළතුරු වට්ටි
දුටුවෙමි බුදුන් වැඳුමට විකුණනා හැටි

එක කකුළකට කළු පැහැ ඩොට් ඩොට් බාටා
අනිත් කකුළෙ ඇත කැන්වස් නිල් පාටා
මව් ගුණ හොරුගෙ සිහිකර හෙමිහිට ගාටා
ආවේ ළඟට එළවළු විකුණන ඇන්ටා

උඩින් ඇවිත් බ්‍රේක් ගැසූ වාහනයේ
දොරක් ඇරී කොල්ලන් රොත්තකි දැමුයේ
සල්ලි සිඟන හැටි උන් ටික නැරඹූයේ
ලේකම්තුමයි ගරු, යාචක සංගමයේ

පෙනුනත් දුරට ගසකැයි මින් පෙර නුදුටූ
බෝ ගස හැඳින ගත් විට ඇති විය සතුටූ
දූවිලි වැදෙන හින්දා බෝ කොළ  දැවටූ
රෙදි ගොඩ දුටිමි රූපද ඇති නයි ,කපුටු

"ඒ" (A) නම් හිමිගෙ ඉල්ලීමක් ඉටු කරදී
"බී "(B)නම් ඇමති දුන් අවසර පරිදි
"සී"(C) නම් මැතිදු ප්‍රතිපාදන ලබා දී
"ඩී"(D) නම් තුමා විත් මුල්ගල යට කර දී
"ඊ"(E)_______________________
"එෆ්"(F)________________________
:
:
:
"වයි "(Y)  නම් තුමා කළ සැළසුම්  පරිදි
"එඒ" (AA) රජුන් සඟරුවනට  බැතින් පිදී   (ඉසෙඩ් Z  නැත )
පඩි තුන හතර බැස්සා පින් ලබා දිදී

ඉන්පසු ගියේ දාගැබ ඇති පෙදෙස කරා
මල් රොන් උරයි එහි මුල්ලක සිටි බඹරා
කෙල්ලෝ ගොඩක් මලසුන ළඟ මුකුළු කරා
කොල්ලෝ ඉඳිති පැත්තක මානන් කැමරා

සොඳ පුත් රුවන මැතිඳුගෙ කළ කිරිමේල (criminal)
කරඬුව හිසින් ගෙනයයි මවමින් සීල
කැපුවත් ඇඟිලි කලකදි අංගුලිමාල
" මහණ උනා" කිව්වා පොලිසියෙ රාළ

බුදුගේ සමිඳු ළඟ සරාගි රැගුම් නගා
සිටියේ තුනකි ඒ තන්හා රතී රගා
මාර දියණි ලෙස හිටියත් දෙමින් නිගා
මේ මදුසිකයි,චම්පා සමඟින් ගංගා

සෙමින් ඇවිත් ආවාසේ නැවැත්තුව
මූණත් පෙනෙන සේ ඔපවත් පැජරෝව
තුළින් බැස්ස බොඩි ගාඩ්ල වට කෙරුව
ලොකු හිමි දුටිමි සැල් පෝනය කන ගාව


බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක එක )








Share:

Sep 2, 2012

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!


මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



"අනේ ආච්චියේ....ඔක්කොම හරි ආච්චියේ ..අනේ යන්න දෙන්න ආච්චියේ"දර්පණා ප්‍රතිබිම්බා කොළ කැබැල්ලක් ආච්චිට පෙන්වමින් විරූපාකාර නැටුමක් පෑවාය.
දර්පණාගේ අතින් උදුරා ගත් කොළය ඉදිරියෙන් අල්ලාගෙන ඇසේ නාභි දුර සීරුමාරු කිරීමට උත්සහ කර එය අසාර්ථක වී අපේක්ෂා භංගත්වයට පත්වූ ආච්චි,
''හනේද කියන්නෙ ඇහැකට වැදිල තියෙන හෙනේක හැටි..මේ උක්කුං පුතේ මේං මේකෙ ලියලා තියෙන්නේ මොකක්ද කියලා මටත් ඇහෙන්ඩ කියෝපංකො''යි කියමින් මට වැඩේ බාර දුන්නාය

"කුමක් හෝ හේතුවකට ආච්චි බැලීමට යාම" යන ක්‍රියාවේ  ප්‍රතික්‍රියාව "ආච්චි මා ලවා කුමක් හෝ වැඩක් කරවාගැනීමය."
පොල් ගස් යෑම,ලැට් වලවල් කැපීම,බිත්තිවල හුණු ගෑම වැනි ක්‍රියාවන්ගෙන් ප්‍රතිපත්තිමය තීරණයක් නිසාවෙන් වැළකී සිටින නිසාත් (බැරි නිසා නොවේය ) මෙවැනි සුළු වැඩක් හෝ කරදීම යුතුකමක් වන නිසාත්,ආච්චි අතේ තිබුණු කොළ කැබැල්ල මා අතට ගත්තේ  කුලපතිතුමා[1] අතින් උපාධි සහතිකය[2] ගත්තාටත් වඩා ආඩම්බරයෙනි.  
"තුම්සේ ප්යාර් කර්තා සාලේ කුත්තේ ..ඕ ඩී සී විනෝද බද්ද වෙනත් අය කිරීම් හා බදු ඇතුළුව නිකුත් කළ දර්ශනයට පමණක් වළංගුය.රුපියල් දෙසීය පණහයි...1088 අවිචාර සිනමා,මලපැන්න .......අබලන් ප්‍රින්ටර්ස්...." 
මම මුල සිට අගටම අඛණ්ඩව කොළය කියවා ආච්චිගේ මුහුණ දෙස බැලුවෙමි.ඒ මුහුණේ කළකිරීමක් සහ මඳ කෝපයක් පින්තාරු වී තිබිණි.මට ඊට හේතුව වහා පැහැදිලි විය.අවුරුදු 25ක් ගෙවිලත් මට ඉංග්‍රීසි අකුරක් කියවා ගත නොහැකියැයි ඈ සිතමින් සිටී


."ඩිස් ටික්කෙට් ඊස් වලිඩ් ඔන්ලි ෆොර් ද සෝ ඔෆ් ......"ආච්චි මගේ චතුර ඉංග්‍රීසි කථනය වසා දැමුවේ අප අයි.ටී.එන් නිවුස් වහනවාටත් වඩා වේගයෙනි
"බොල මේ බයිස්කෝප් ටිකැට් එකක් නේද ?ඇයි උඹ ඉගෙනගෙන ඉවරද බයිස්කෝප් බලන්ඩ?"
''ඉගෙනගන්නවා කියන්නේ මොකක්ද ආච්චි"දර්පණාගේ මුහුණේ විශ්මයාර්දී ලකුණක් (!) මතුවිය. 
"මොකක් හරි ඔය දහ ජරාව බලන්ඩ යන්නනම් මම දෙන්නෙ නෑ නෑමයි" 
"මම විරුද්ධයි ස්වාමී..නෑ ආච්චි..."මම එකහෙළාම කියා සිටියෙමි.
"හින්දි චිත්‍රපටිය වනාහී හුදෙක් රසිකයා පිනවන මාධ්‍යයක් නොව එය ප්‍රේක්ෂක රසංඥතාවයන්හී  හිනිපෙත්තෙහි වැජඹෙන්නා වූද,ආනන්දයෙන් ප්‍රර්ක්..."සාමාන්‍යයෙන් තිබිය යුතු ස්ථානයෙන් වෙනත් ස්ථානයකට සංක්‍රමනය වූ හක්ක යථා තත්වයට පත් කිරීමට දර්පණා මෙනෙවිය අත දිග හැර ගැසූ කම්මුල් පාරට ඈ වෙනුවෙන් කතා කිරීම නිසා හිතේ ඇතිවූ ප්‍රීතියද කළවම් වී තිබිණි.


ගින්නෙන් නැගිටින පීනික්ස් පක්සියෙක් මෙන් මම නැවත මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ආරම්භ කළේ පුපුරු ගහන කම්මුලද විහින්ම පිරිමැද ගනිමිනි."ආච්චි,හින්දි චිත්‍රපටි කියන්නේ හෙළ සභ්‍යත්වය ,සංස්කෘතියෙන් අපගමනය වන්නා වූ ප්‍රපංචයක් නොව සමාජ සත්වයෙක් වශයෙන් මනුශ්‍ය‍යාට ස්වකීය පාරිශුද්ධීය පැවැත්ම රැකගනු වස් භාවිත කළ හැකි සාරධර්ම වගාවට එරෙහි වන්නා වූ කෘමීන් එක තැන වනසා ලිය හැක්කා වූ...."
"හැක් හැක් ඒවා කොහෙද මාත් එක්ක.. අපේ වගාව වනසන කෘමීන්ට මෙදා පොටේ  ගහන්නේ  "හුටාස් නයින් පොයින්ට් සෙවන්" ත්‍රිකෝණයකාර නාන ඇඳුමක් පැළඳගෙන ,උදැල්ලත් කරේ තබාගෙන එතැනට පැමිණි සීයා අනුග්‍රාහක බවතාගේ කාරිය ඉෂ්ඨ කොට පිටව ගියේය.
"ඉතින් පුතේ ඔය ඔක්කොම ඔවෑන් කරන්නෙ කොහොමද?"
"අන්න ඒකනෙ ආච්චි කියන්නේ..විස්වකර්ම...විස්වකර්ම...නෝමල් හින්දි පිල්ම් එකක ඉන්නවා... හීනියට පොද ගහන වැස්සේ හීතල හුළඟෙන් පෙඟි පෙඟි, ලස්සන ලස්සන නිල් පාට ,රතු පාට සෝස පාට මල් ගහක් යට ......."දර්පණාගේ මුහුණේ මේකප් එක පසාරු කරගෙන ප්‍රේමය ගලන්නට විය.
"මල් ගහක් යට එකට තුරුළු වෙලා "......ෂාආආආ
"එක පොදියට නළියන හැකැරැල්ලො දෙන්නෙක් වගේ....."...චටාස්....ඒ කම්මුල් පාර ආච්චිගෙනි.
"හරි...ඔහොම කපල් එකක් ඉන්නවා..ඒ ඇරුණාම දුස්ටයොත් ඉන්නවා.ඒගොල්ලො කරන්නෙ නරක වැඩ.හොරෙන් කුරුම්බ කඩනවා,සල්ලිවලට බූරුව ගහනවා ඒ වගේ..."
දර්පණා මයික්‍රෆෝනය අතට ගත්තාය."අර ගෑනු ළමයයි පිරිමි ළමයයි ප්‍රේමයෙන් වෙළි වෙළි ඉන්නවා.දුස්ට එක්කෙනා ඒගොල්ලො සන්තෝසෙන් ඉන්නව දකින්න කැමති නෑ.කොච්චරවාත් වලි දානවා..ඩිසුම් ඩිසුම් ..ගාලා වෙඩි තියනවා..දඩස් බඩස් ගාලා ගෙවල් කුඩු කරනවා..චටස් පටස් ගාලා ගුටි බැට දීගන්නවා" දර්පණා ඇගේ කතාවට යතාර්ථය මුසු කරනු පිණිස "චටාස්" හඬින් තුන්වෙනි කම්මුල් පාරත් මට පරිත්‍යාග කළාය.
"ඉතින් පුතේ අර ජෝඩුවට සැනසිල්ලක් නැතුව ඇතිනෙ?"
"ඒක නේන්නං..ජෝඩුවට විතරක්යැ ආච්චි හැමෝටම එකයි.කුඩු විකුණනවා,ගෑණු අනාත කරනවා..ලොක්කොත් හොඳට සපෝට්...හැමතැනම බීසනය""මේ ඔක්කොම සුන්නදූලි කරලා දාන්න කොල්ලා තමයි ඉස්සරහට එන්නේ"
 "ඕන්න එකෙක් නැති වෙන්න සුන් කරල දැම්මා'' එවිටම සීයා ගෙට ඇතුල් වූයේය.
"ඊට පස්සෙ දුස්ටයා කොල්ලා ඉවර කරන්න තමා ට්‍රයි එක...කෙල්ලව උස්සනවා.බ්ලැක්මේල් කරනවා...රී සයිකල් කරනවා..හැම තිස්සෙම කොල්ල නවත්තන්න හදන්නෙ"
"කිරි අප්පුච්චියේ පුතේ ඉතින් ඉතින්?"සීයාට කතාවේ අගක් මුලක් නොතේරුනත් ප්‍රශ්නයක් ඇසීමට සිත් වී ඇත."ඔය අපේ සාගතසිංහගේ කෙල්ල ගැන නේද කියන්නේ?"
"කොච්චර බයානක දේවල් තිබ්බත් අතරමඟ හොඳට ජෝකුත් තියෙනවා..ඒ ජෝක් තියෙන හින්දා තමා බලන ඈයින්ට දුස්ටයගෙ දුස්ටකං අමතක වෙලා යන්නේ" දර්පණා කතාව නැවැත්තුවේ නැත.
ඉන්පසු මම ඩියුටිය බාර ගතිමි.
"දුස්ටයගෙ දුස්ටකං දරා ගන්න බැරි තැන කොල්ලා ගේමට බැස්සනේ..ඊට පස්සෙ ආයෙත් වලි.කොල්ලා ගුටි කන විදියට හිතෙන්නෙ ඌ ඉතුරු වෙන එකක් නෑ කියලා.ඒත් ආයෙ නැගිටල දුස්ටයට නෙළනවා..නෙළලා නෙළලා පැත්තකින් අඩුක් කරල එහෙම කිඩ්නැප් කරපු කෙල්ලවත් ගලවගෙන ඒකි ළඟට හීන් සීරුවෙ ළං වෙනවා.කෙල්ලගෙ ඇස් බාගෙට පියවෙනවා..කොල්ලගෙ කකුල් දෙක වෙවුලන්න ගන්නවා.."මම දර්පණාට ළං වුනෙමි.
"ඒ පාර මොකද උඹල දෙන්නා"
"ආආආන්න එතකොට"මම ජය ඝෝෂාවක් නැගුවෙමි.
"බිම වැටිල හිටපු දුස්ටයා නැගිටිනවා..ඉස්සරහට පනිද්දිම දුස්ටයා  කුඩු වෙන්ඩ වෙඩි තියනවා"
"කොල්ලා?" ඒ ආච්චිය.
"කෙල්ල?" සීයා
"නෑ ..නෑ මුලින් මේ ප්‍රේම සම්බන්ධෙට විරුද්ද වෙච්ච කෙල්ලගේ අයියා.."දර්පණා
"කොහෙනද බොල අයියෙක් ගැවුනේ ඒ පාර?"
"අන්න ඒක තමා ආච්චි හින්දි පිල්ම් වල තියෙන විසේසත්වෙ..ඊළඟට මොකක් වෙන්වද දන්නේ නෑ.කුතුහලය"
ආච්චි කතා කළාය."අනේ මන්ද මගේ ඔළුවත් විකාර වෙලා..බීසනයයි,දුස්ටයයි,කුතුහලයයි,කොල්ලයි" ඉන්පසු ටික වෙලාවක් කල්පනා කළාය.ආච්චිගේ මෙවැනි නිශ්ශබ්දතා ඉතා භයානකය.
"ඒක නෙවේ අපරාදෙනෙ දර්පණා දුවේ උඹ ඔච්චර ගෙවලා ටිකැට් එකක් ගත්තෙ..හවසට ටී.වී එකේ ප්‍රවුර්ති බැලුවනම් ඉවරනෙ"
 නැත කතාව භයානක නැත.මෝඩ කතාවකි.
"ලංකාවම හින්දි චිත්තරපටියක් වගේ තමා බන්...ඔක්කෝම ඉන්නවා.කොල්ලා තමා හොයාගන්න නැත්තේ"

~නිමි~

[1] කුලපතිතුමා -"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනවල මුල තනතුර හෙබවූ පුද්ගලයායි.

[2] උපාධි සහතිකය"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනයක් මඟින් ,යම් විෂ‍යය ක්ෂෙත්‍රයක පරිසාදනයෙහිලා,යම් ශිෂ්‍යයෙකු වෙත පිරිනමනු ලබන ලියවිල්ලකි. 


Share:

Aug 4, 2012

ඇමතිතුමා කිඩ්නැප් කළෙමු !



සත්තයි අපි එය කළෙමු.
හුදෙක් ආත්මාර්ථයට නොනතුව,කිසිකලෙක නොදුටුවන් වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව ස්වකීය අවසන් ප්‍රාණ වායුව වා තලයට ක්ෂණයෙන් මුසු කිරීමට වුව නොපසුබට වූ වීර ධීර පරපුරක ඊළඟ පුරුක වශයෙන්  නොවේය.
අපට මේ දිනවල සල්ලි අඩුපාඩුය.


දෙදෙනෙක් පමණක් එක්වී ,රයිපල් හමුදාව, කාලතුවක්කු රෙජිමේන්තුව, ආදී බල ඇණි පවා පිරිවරාගෙන සිටින බලගතු ඇමතිවරයෙක් වැල මදුලකින් ඇටය ගලවා ගන්නාක් මෙන් පහසුවෙන් "උස්සාගෙන ඒම" අපට පුදුමයක් වුවද ලංකාවේ ඊට වඩා පුදුම වීමට දේවල් තිබෙන බව ඔබ කියනු ඇත.
කිඩ්නැප් කිරීමේ යාන්ත්‍රණය මෙහි කීමෙන් සිදුවන්නේ ආරක්ෂක යාන්ත්‍රණයේ ඇති සිදුරු හෙළිවීමය.එයින් අපේ ශරීරවල සිදුරු හැදීමටද ඉඩ තිබේ.කෙසේ හෝ දැන් අමාරුම හරිය ඉවරය.සල්ලි ඉල්ලීම පමණි ඉතිරිව ඇත්තේ.මුදල් සෙවීමේ පරම චේතනාවෙන් පුද්ගලයෙක්  ඉස්සීමේදී සළකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබේ.අංක එකට මිනිහාට සල්ලි තිබිය යුතුය.දෙවෙනුව මනුස්සයා නැති වීම රටේ දැවෙන ප්‍රශ්නයක් විය යුතුය.ඉක්මනට අපේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබෙන්නේ එවිටය.මේ පිළිබඳව මිතුරාත් සමඟ සාකච්ඡා කිරිමේදී නම් කිහිපයක් යෝජනා විය.අපගේ මේ ව්‍යායාමය හුදෙක් කීයක් හරි හම්බ කර ගැනීම විනා අතේ තියෙන පිච්චියත් වියදම් කිරීම නොවේ.එම නිසා කාන්තාවක් කිඩ්නැප් කිරීම නුසුදුසු බව මම ප්‍රකාශ කළෙමි.එය 3/3 කින් සම්මත විය.සිටියේ අප දෙදෙනෙක් පමණක් නම් 3/3ක් උනේ කොහොමදැයි විචාර බුද්ධියෙන් බලන හාදයන් සිතනු ඇත.තුන්වැනියා අවුරුදු 5ක 'සාර්ථක" පවුල් ජීවිතයක් ගෙවන එහා ගෙදර අංකල්ය.මේ දිනවල ඔවුන් පිඟන් සහ පීරිසි අහසේ පාවීමේදී සුළං හමන දිශාව ඇති කරන බලපෑම ගැන පර්යේශනයක යෙදී සිටිති.


විශ්ව විද්‍යාල සිස්සයන්නම් තේරුමක්ම නැත.උන් නැතිවීම රටට තියා ගෙදරටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත.නළුවන් ඉස්සීමෙන්ද වැඩක් නැත.එය රේටින්ග්ස් නග්ගා ගැනීමට විහින් කරගත් දෙයක් වග අනිත් නළුවන් විසින් ගොසිප් නවයට කියනු ඇත.ගුරුවරු හොයාගැනීම අමාරුය.පිකට් තියෙන්නේ කොහෙද කියා හරියටම සුවර් නැති නිසාය.විවිධ විවිධ හේතු නිසා ලිස්ට් එක කොට වන කල්හී ඇමතිතුමා පමණක් ඉතිරි විය.
කවුරු කෙසේ කීවද ඇමතිතුමෙක් නැති වීම රටට ප්‍රශ්නයකි.ඒ ෆ්‍රෙඩී සිල්වාද මිය ගොස් ඇති නිසාය.
දැවෙන ප්‍රශ්නයකි.ආන්ඩුවේ ඔපිස් එකක් පවා ගිනි තැබිය හැකි අන්දමේ දැවෙන ප්‍රශ්නයකි.සීතල වස්තූන් ගිනි තැබීම අපහසුය.අයිස් නැමැති ද්‍රව්‍යය හීතලය.
තීරණය ගෙන අවසන් වූ මොහොතේ පටන් සැළසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හෙළු දහඩියෙහි ප්‍රතිඵලයක් වශයෙන් මටත් ,මගේ මිතුරාටත් ඇමතිතුමාව කාමරයකට ගෙන යාමට හැකිවිය.



අපි ඇමතිතුමාට ඇමතුවේ ජනේලයක් තුළිනි .ඒ බයටවත් ,පිළිකුළකටවත් නොවේය.කලින් 8 දෙනෙක් නැවතී සිට මේ කාමරයට ඇමතිතුමා පැටවූ පසු එහි වාතයක් යැවීමටවත් ඉඩ ඉතුරු නොවීම නිසාය.
පුදුමයකට මෙන් ඇමතිතුමා කිසිඳු කලබලයක් ඇති නොකළේය.ඔහු කෙතරම් සන්සුන්ව සිටියේද යත් ඉක්මනින්ම අපි මුහුණ වසා තිබුණු රෙදි පඩංගු ගලවා,එතෙක් ගැට ගසා තිබුණු අත් පා පවා ලිහා දැම්මෙමු.සිරස කුමරිය එකට යන ළමිස්සියන් මෙන් මෙසේ දැන දැනම කරදරයේ වැටීමට කැමති අය ලෝකයේ ඉතා අඩුය.
ඔහු බොහෝ කුළුපගව කතා කළේය.
"පුතාලා මාව කිඩ්නැප් කළා නේද?"ඇමතිතුමා මගේ ඔළුව අතගෑවේය.
දෙබසේ ඉතිරි කොටස "පාහර බල්ලො...තොගෙ $%#^&^(^($"     නොවීය
"හොඳ පුතාලා ,අන්න එහෙම තමා ඉන්න ඕනෙ.පුතාලට කීයක් ඕනෙද?"
මෙය කලින් උත්තර සකසා ගෙන නොහිටි ප්‍රශ්නයකි.ම්ම්ම්ම් ණය ටික ගෙවා ගැනීමට රුපියල් පනස්දාහක් ඇතිය.
"අපිට ඕනෙ..ම්ම්ම්ම්ම් ලක්ෂ දහයක්!!"
ඇමතිතුමාගේ මුහුණ ද්‍රවාංකය පැන්නූ ඉටි රූපයක් මෙන් විය.(ඇඹරී ගියේය )
"චි..චී පුතා මම දෙන්නම් කෝටි දෙකා මාරක්"
"දරාස්" ගා ඇසුණේ ළඟ සිටි මිතුරා ක්ලාන්ත වී බිමට වැටෙන හඬය.
"හැබැයි මාව දිගටම තියා ගන්න ඕනෙ පුතාලා..යවන්නෙ එහෙම නෑ ගෙදර"ඇමතිතුමා හුරතල් විය.
"ඒ..ඒ..මොකද සෑර්?"කැඩුණු ස්වරයකින් ඇසුවේ බිම වැටී සිටි මිතුරාය,අවසිහියෙනි.
ඇමතිතුමාගේ ටෝන් එක ශෝකාකූල විය." එළියට ගියාම පුතාලා ,මුන් මට කෑගහන්නේ අස් වෙයල්ලා,අස් වෙයල්ලා කියලනේ.සරමක් ඇඳන් මම කොහොමද පුතා අස්වෙන්නේ?ඊට වඩා හොඳනේ කවුරුහරි මැර කල්ලියක් සොට් එක දුන්නා කියලා නිවුස් එක ගියානම්.මම නිකන්ම පොර වෙනවනෙ."
මට මේ යාන වාහන, මිල මුදල්, වතු පිටි,ඉඩම් කඩම්,හරක බාන"ඇමතිතුමා යුගල පද සෙවුවේය "ඒවා කිසිම දේකින් වැඩක් නෑනේ හිතේ සැනසිල්ල නැත්නම්.නේද පුතා?"
එය ඇසූ මට පුදුම වීමටත් ,මිතුරාට නැවත ක්ලාන්ත වීමටත් වුවමනා වුවද ඊට ඉඩක් නැතිවිය.එක්වරම ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් එක පිට එක වෙඩි හඬවල් හතර වටින්ම ඇසෙන්නට විය.භීරාන්තව ගිය අපට දෙවියන් සිහි වූයේ මෙවිටය.ගිය නුවණ අභියාචනාධිකරණය ලවා වත් හරිගැස්සිය නොහැක.පොලීසිය ඇමතිතුමා ඇති තැන සොයාගෙන විය යුතුය.මෙය අවසානයයි
ඔව් අවසානයයි.
මම බිම වැටී සීටි මිතුරාත් කෙලින් කරගෙන ඔහුත් සමඟම දණ ගසා අති දෙක හිසේ තබා ගත්තෙමි.පොලිසියේ උනත් සිටින්නේ මිනිස්සුය.ඔවුන්ට කරදරයක් වීම නොවටී.නෙතඟින් වැගිරෙන කඳුළු බිඳු ඔහේ කම්මුල් දිගේ පහළට යෑමට සළස්වමින් අපි හිස බිමට හරවාගෙන දැන් ගේට්ටුව තුළින් ඇතුලට එන පොලිසියට මුහුණ දීමට සූදානම් වීමු.වැඩි වේලාවක් යාමට මත්තෙන් අඩි ශබ්දය ඇසෙන්නට විය.කිසිඳු කටහඬක් නැත.ඒ ඔවුන් පුරුදු වී ඇත්තේ "හැන්ඩ්ස් අප්" කීමට වුවත් දැනටමත් අපි "හැන්ඩ්ස් අප් " නිසා කට උත්තර නැතුව විය හැක.
පොලිස් රාළහාමි මගේ පිටට තට්ටුවක් දැමීය.
"මල්ලි ගිනි පෙට්ටියක් තියෙනවද?"
මම වහා හිස හැරවූයෙමි.
"ගි..ගිනි..?"දැන් පොලිසියෙන් බේත් කොටන තුවක්කුද ගේන්නෙ?නැත මේ පොලිස් කාරයෙක් නොවේ.සිවිල් පුරවැසියෙකි.
"බලන්නකො මල්ලි ..අපි මේ රතිඤ්ඤා පත්තු කරනවා හන්දියෙ එක දිගටම.ගිනි පෙට්ටිය ඉවර උනානෙ.."
 "රතිඤ්ඤා? වෙඩි තිබ්බ නෙවේද?"
"වයර්ද මල්ලි.ඇමතිතුමාව කවුදෝ විජාතික බලවේගයක් කිඩ්නැප් කරලලු..හොයාගන්නවත් නෑලු..අපි සන්තෝසෙට රතිඤ්ඤා පත්තු කරනවා"
"නෑ....." මම මවිතය පළ කිරීමට උත්සහ කළෙමි.
"මෙච්චර සීන් එකක් මල්ලි දන්නේ නැද්ද?දැන් අර අනිත් පැත්තෙන් ආව මන්තිරීතුමාට ඒ පට්ටම දෙන්නලු යන්නේ.සැප තමා නේද?යාන වාහනද,සල්ලිද..."
"කවුද යකෝ...පාහර බල්ලෝ...කාළකන්නි හැතිකරේ"ඒ කාමරය තුළ සිටි ඇමතිතුමාය..ඔහු ජනෙල් පොලු වල එල්ලී බෙරිහන් දෙන්නට විය.
"මම නෑ කියල එක එක බල්ලන්ට මයෙ ඇමතිකම දෙන්ඩ? පු* නීතියක්නෙ..ඇරපියව් මේ දොර..මම කන් දෙකේ ඇඟිලි ගහගන්න දෙකක් කියල එන්ඩ"
මෙවර ක්ලාන්ත වූයේ මගේ මිතුරා නොවේය.මමත් නොවේය.




Share:

Jul 29, 2012

අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්


ඉන්නා ඇත්තො මෙහි අම්මට ආදරේ 
ලයික් දමා මෙය ටග් ගා ෂෙයා කෙරේ 
එහෙම නොකර මාරු උනොත් හීන් සැරේ
මයෙ පුතාගෙ පපුවට දැන් පවම පිරේ



බොලිවුඩ් පුරේ ඉන්නා කැතරිනා කයිෆ්
අල්ල කපාගෙන අද දාරයට නයිෆ්
පේජ් එකට ගොස්  අපගේ "අනේ ලයිෆ්"
සුවය පතනු එක්වී දැන් යුව(ර්) සෙල්ෆ් 



යවන අපේ පෝස්ට් හරිම කිරියේටිව්
ලස්ස ගනන් ලයික් ඒක නිසයි බොලව්
මේක දැකල දරාගන්න බැරුව රිලව්
විරිත්තුවට අපේ පේජ් එකයි වාව්

අයියෝ පව් බඩගින්නේ මේ පැට්ටා 
අහක බලාගෙන ඉන්නට බෑ අපටා
සැදැහැ සිතින් ලයික් එකක් දැන්ම කොටා
බේරනොගත්තොත් දරුවට තමයි "හුටා"


අනේ මටත් LIKE එකක්




Share:

Jul 17, 2012

ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්

"ආං...උක්කුං පුතේ..දැන් උඹටත් අපිව වෙනදට වඩා මතක් වෙනවා නේහ්?"
මේකනම් පුදුමාකාර වැඩකි.අමතක උනත් වැරදිය.මතක් උනත් වැරදිය.සනත් ජයසූරිය මහතා ජලක් දික්ලා ජරා එකෙහි නර්තනයේ යෙදෙනු දුටු විට ඇති උනාට වඩා ස්වල්පයක් අඩු විලි ලැජ්ජාවක් හිතට ඇතුල් වුවත් එය වැඩිය හිත ඇතුළට නොගෙන ආච්චිගේ ගෙට ඇතුල් වුනෙමි.


ඒහාත් සමඟම නාස් පූට තුළින් ඇතුළට ආවේ ඔලුව හාරාගෙන යන හඳුන් කූරු, සම්බ්‍රානි,කට්ටකුමන්ජල් සුවඳක් පුළුටු ගඳක් සමඟ 3:2 අනුපාතයට මිශ්‍ර වූ නමක් කියා ගත නොහැකි ගන්ධයකි."කඳුලු ගෑස් වලට ඇති හුරුකම" ඇක්ස්ට්‍රා කරික්‍යුලර් ඇක්ටිවිටි එකක් වීම නිසාම හුස්ම හිර කර නොගෙන ඉදිරියටම දිව ගියත් එක්වරම ඒ ගමනද නැවතුනේ  පොලිසියෙන් වතුර ගැසූ නිසා නොවේය.එක්වරම ඇස් ඉදිරිපිටම දර්ශනය වූ තොරණක් නිසාමය.ඒය අමුතු ආකාරයේ තොරණකි.කෙහෙල් පට්ටා,ඇන්තූරියම් ,බෝගන්විලා,ඇඹරැල්ලා කොළ වලින් සරසා පොල්තෙල් පහන් වලින් ආළෝකමත් කර තිබුණද මීට තිබුනේ අමුතුම හැඩයකි.එය ඉංගිරීසි හෝඩියේ "Z" අකුරට සමාන වග තේරුම් ගැනීමට බ්‍රිටිස් කවුන්සිල් යෑමට වුවමනා නැත.පහන් ටික Z අකුරේ හැඩයටම තබා තිබුණි.
"මොකක්ද ආච්චියේ මේ හදලා තියෙන්නේ"
"හානේ..ඔය්ය අපේ දර්පණා කෙල්ලගෙ වැඩ නොවැ"
දර්පණා ප්‍රතිබිම්බා!!! මගේ එක කුසින් නොව වෙන කුසකින් උපන් නෑනන්ඩිය !
"ෂහ්..දර්පණා නංගි ගෙදර ආවද?මාත් එහෙනම් හොඳ වෙලාව්...."
"ඔව් ඔව්.. මටත් හිතුනා උඹ මේ කවදාවත් නැතුව මෙහාට රිංගනකොට" ආච්චි අවංඥා සම්පන්න බැල්මකින් මට සංග්‍රහ කළේ, තේකකින් සංග්‍රහ කිරීමට සීනි බෝතලය හොයන ගමන්මය.


"දැන් මොකද දන්නෑ නේහ් කරන්නේ"මම ඈ දකිනු රිසියෙන් විපරම් කළෙමි.ඈ කාමරයක විය යුතුය.අනුන්ගේ කාමරවලට එබීම වැනි කැත පුරුදු නැති නිසා,හුළඟක් හමා විත් අහළ පහළ කාමර වල දොර රෙදි එහා මෙහා යන තෙක් බලා සිටියෙමි.
"උසස් පෙළනම් කොළානෙ.ප්‍රතිඵල අපු දවසේනම් අඬ අඬා හිටියේ" ඒ දිනවල ප්‍රතිඵලයන් දුටු විට ගැලූ කඳුලු හමා ගිය සුසුම් දෙවෙනි වන්නේ ලංකාවට සුනාමි ආ කාලයේ අඳෝනා වලට පමණි.
"ඉතිං ආච්චි?"
"ඔය මොකක්දෝ මන්දා අකුරක් වෙනස් වෙනවය කියන්නේ කොච්චරවත්.මං වැඩිය අහන්ඩ ගියෙ නෑ.තරුණ ළමයිනෙ"
"එහෙම දෙයක් නෙවේ ආච්චි .ඒක Z අකුර"


මම "සෝරෝ මහතා" සිය කඩුවෙන්, අවකාශයේ අඳින Z අකුරම ඇඳීමට හොඳි වළඳක තිබූ හැන්දක් භාවිතා කළෙමි.පෙරළුනු වළඳ නැවත පිළිසකර කරන අතරතුරේ ආච්චී සිය මතය ප්‍රකාශ කළාය.
"අනේහ් මන්දා.ඔය වැලහින්න වගේ අඬ අඬා හිටියා.මං හිතුවෙ කළු කුමාර දිස්ටියවත්ද කියලා.ඒකත් නෙවීලු.අපේ අගුණවංස කට්ටඩිය තමා කිවුවෙ විසෙන්ම විස නසන්ඩ ආං වර වගේ පහන් පැළක් ගේ ඇතුළේම හදලා චාරිත්‍ර කොරමුය කියලා.හැබෑටම පුතේ මොකක්ද ඔය අක්ෂරේ?"


'හප්පච්චියේ බොහොම බලගතු අකුරක්...පෙර රජ දවස කැරළි කෝලහාල,ලේ හැලුම්,මිනී මැරුම්,බැණ ගැනුම්,අඩත්තේට්ටම්,විකට රංග අනන්තවත් වෙලා තියෙනවා.හැබැයි කාටවත් හරි තේරුමක්නම් නෑ..අද තියෙන එක නෙවේ හෙට..හෙට එක නෙවේ ලබන සතියෙ.."
එක්වරම එහා පැත්තේ තිබුණ කාමරයක් තුළින් කබරගොයෙක් මෙන් එළියට ඇදී ආවේ දර්පණාය!!


"කොයි වෙලෙත් වෙනස් වෙනවා..හරියට ගෑණු ළමයින්ගෙ හිත වගේ"


දර්පණා ගස්සාගෙන නැවතත් කාමරගත වූවාය.


"ගෑනු ළමයින්ගෙ හිත වගේ වෙනස් වෙනවය කියන්නේ පුතේ,ඒක එක විදියකට ඇත්තෙම නැතුව ඇති"
එයට පිළිතුරක් මෙන් ගෙය පිටිපස්සෙන් ඇසුණු "හොක් හොක් " හිනා හඬ, අතීතාවර්ජනයේ යෙදෙන සීයාගේ විය යුතුය.


"නැත්තන් ආච්චි Z අකුර ලියන විදියම බලන්නකො" මට පරීක්ෂණයක් පවත්වා නිරීක්ෂනයක් ඔස්සේ නිගමනයකට එළඹීමට වුවමනා විය.නමුත් දැන් හැන්ද ගත නොහැක.බිත්තියක ගසා තිබුණ ඇණයක් ගලවා ගත්තෙමි..ඊට වාරු  කර තිබුණු පිඟන් රාක්කයක් "දරාස්" හඬින් බිම ඇද වැටුණි.
"දැන් බලන්න ආච්චි..මේක ලියද්දි මුලින්ම එක පැත්තකට යනවා..ඒක එපා වෙලා ආපහු ආපස්සටම යනවා...ඊට පස්සෙ ආයෙත් එනවා..පේනවනෙ?"




"හ්ම් හ්ම් ඉතින් මොන එහෙකටද අපේ කෙල්ල අර අඬන්නේ?"
"මේකනේ ආච්චි ඕකෙන් තමා සමස්ත සිස්යාගේ අනාගතය තීරණය වෙන්නෙ"
"කේන්දර කොපිය වගේ වෙන්ඩැ?"
"කේන්දරේ එක අතකට හොඳයි ආච්චි.ඉඳල හිටල හරි හොඳ ග්‍රහයෙක් එලියට එනව..."
දර්පණා නැවතත් එළියට ආවාය.අතේ ලොකු පොල්ගෙඩියක් විය.ටිකකින් එය ටයිල් පොළොව මත ගසා කුඩු කරන හඬ ඇසිණි.මම ටිකෙන් ටික එදෙසට ආකර්ශනය වීමි.නෑනන්ඩිය පොල් ගසා තිබුණේ අර අරගොල්ලන්ගේ පෝටෝ ඉස්සරහය.පොටෝ දුටු විට මගෙ හිතේද ඇති වූ කේන්තිය පිට කිරීමට කෑලි කෑලි වී තිබුණ පොල් කෑලි පවා නැවත නැවතත් පොළොවෙ ගැසුවෙමි.අහවල් කැබිනට් එකට ගසනවා කියා සිතා සාලයේ තිබුණ කැබිනට් එකටද පොල් කෑල්ලකින් ගසා වීදුරුවක්ද කුඩු කළෙමි.
ආච්චි සහ සීයා වහාම එතනට පැමිණි නිසා මට ආයුධ බිම හෙළන්නට සිදුවිය.එවිටම ළඟ සිටි දර්පණාට තවදුරටත් දරාගත නොහැකි වූ දුක් අඳෝනා වැස්ස කාලෙට පරාක්‍රම සමුද්‍රය මෙන් පිටාර ගලන්නට විය.
"අනේ අනේ අයියෝඕඕ ඕ..මම මොන වැරැද්දක් කරාද දෙයියනේ..ඕකුන්ට හෙණ හතම ගහපිය.මට කැම්පස් යන්නත් නැති කරා...අනේ...ඔයා කෝ මගෙ රත්තරන් Z කෝ ඔයා....."
තක්බීර් වී බලා සිටි සීයාගෙන් මට ප්‍රශ්නයක් යොමු විය.
"මොකක්ද පුතේ ඒ කැම්පස් යන්න නොදුන්නු කතාව"
"මේකනේ ......ඔය කැම්පස් යන කට්ටිය තෝරන්න ඔය Z කියන අකුර ඕනෑ.ඒක ඕන කරන ගානට වඩා අඩු උනොත් ගෙදර තමා"
"වැඩි උනොත් පුතේ?" ඒ ආච්චීය
"වැඩි උනොත් කැම්පස්"
"ඒ කියන්නේ පුතේ ආයෙත් ගෙදරනෙ?"






ප.ලි
ගරු පාලකවරුනි,
අපිට ටිකක් හරි මොළේ තිබෙන නිසා ඔබතුමන්ලාට මොළේ එච්චර නැති වග තේරේ.
එම නිසා "අඩු උනත් ගෙදර වැඩි උනත් ගෙදර" තත්වය දිගටම ඇදුනොත් ඔබතුමන්ලාත් ළඟදීම ගෙදරය.


මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්
Share:

Jun 23, 2012

බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා


මහතුන් ඔතන ඉන්නා හිටගෙන    එකට
මට පවු නොදී යනවද තව            ඉදිරියට
''මහතුන්'' කියා ඇමතුව හින්දා        අපට
ගියා මිසක් අපි බය නෑ            කොන්දාට


පළමුවන මාර්ග බාධකය

වීල් අටේ ට්‍රක් රතයක් වාගෙ වැටී ළඟින් හිටන් ඔරවන් උන් පොස් ඇන්ටී දිවි පරදුවෙන් රකිමින් ඉඩමම කට්ටී ලොප් වී සිටී විතවුට් එනි ඇක්ටිවිටී

අතරතුරේ ෂී ෆීලින් (ග්) ගිල්ටී
ගැහුවා ඇගේ කරට උඩින් මම බල්ටී
ලෑන්ඩ් කරපු තැන උන් මිනිහා චූටී
බෙරිහන් දෙයි දුරකතනය සමඟ ගැටී


දෙවෙනි මාර්ග බාධකය


බ්‍රේක් පාර ගැහුවොත් නොම වෙන්න රොටී ගැහුවා ඇගේ කරට උඩින් මම බල්ටී ලෑන්ඩ් කරපු තැන් උන් මිනිහා ක්‍රිස්ටී බෙරිහන් දෙයි දුරකතනය සමඟ ගැටී


මෙතන ඉතින් කිවුවොත්   ඇක්ස්කූස් මී
නරක වචන වැස්සක් විත් යාවි තෙමී
හොඳම වැඩේ හැටියට දැන් අටට නැමී
ෂේප් එකේ මම මෙතනින් මාරු වෙමී


තුන්වැනි හා සිවුවැනි මාර්ග බාධක


පිඹුවෙක් විලස මැද පොල්ලේ       වෙළෙමින්
එකෙක් දුටිමි උන් එතැනම බමන      මතින්
පිඹුරට එහා පැත්තෙන් හිටියේ          ටාසන්
පැණි හළ හළා පෙම් කෙළිමින් සමඟ ජේන්




ඉඳගෙන උන්නු පාසල් දැරිවියො           අසලින්
හිටගෙන හිටියෙ බඩදරු අම්මෙකි  සැපයෙන්
සර්කස් පෙන්නමින් මිනිහෙක් තනි කකුලෙන්
ඉන්නේ මොකද කියලා බැලුවෙමි       පුදුමෙන්


වින්දනීය විරාමය


අධි වේගයෙන් වාහන පදිමින්              අමරේ
පැච් නැති උනත් මාරු කරයි එහි         ටයරේ
මෙකී නොකී ආත බූත හැම                 අතරේ
කෙල්ලෙක් මලක් කඩමින් එකතැන  ඇඹරේ


















වන්දනීය විරාමය
බස් රතයේ ඈත පෙනෙන දෙවු  තොරණ
නිවි නිවි දිලෙන ගැටි රිසිසේ      නරඹමින
පතමින් එක සිතින් පිවිතුරු වූ        නිවන
දොහොත් මුදුන් දෙයි ආච්චි බැති  සිතින


ප්‍රේමණීය විරාමය සහ කඳුලු කරාමය


ආයෙ වරක් හොඳම එකෙක් මටත් වඩා හමුවෙන්නටම පතමින් කොල්ලෙකුත් අඬා බෝධිය ළඟදි පුදමින් මල් ගත්තු කඩා අඬා අඬා අඬා අඬා අඬා අඬා

අල්ලා ගතිමි පොල්ලක් පැන ගොස් තෙරපී ඇදගෙන වැටුණි එය ඉස්ටිකයකි සෙල්පී සුවිට් ඒන්ජල් රොසලින් ඇන් චම්පී විත් ඩ්‍රයිවරය වී ෆීලින් හෙනම හැපී





Share: