Dec 31, 2012

"හෙණ ගහන අලුත් අවුරුද්දක් ! " ,ඔබ සැමට



මායාවරුන්ගේ මායාව නිසා කිසිලෙසකවත් එතැයි නොහිතූ වර්ෂ දෙදහස් දහතුන දැන් ගේ දොරකඩය. දොරට තට්ටුව දැමීමට ,
පෙර සීනුව නාද කිරීමට පෙර 
අපි සූදානම් වෙමු

අලුත් ඇඳුම්
බිත්තියට අලුත් කැලැන්ඩරයක්
අලුත් ඩයරියක්

දෙදාස් දහතුන මුණගැසුණු පසු කීමට දුක් ගැනවිලිද බොහොමයකි.ඒ දෙදහස් දොළහ අපට කළ නොපනත්කම්,කරදර,පාඩු ,පාත් කළ හෙණගෙඩි ගැනය.

එවැනි දෑ දෙදහස් දහතුන අපට නොකරාවියයි අපි විශ්වාස කරමු.
අපිව නොහඬවාවියයි,
   හඬන්න සිටින අපේ ඇස්වලට ඇඟිල්ලෙන් නොඅනීවියැයි විශ්වාස කරමු
බලාපොරොත්තු සුන්ව වියළී ගිය හදවත් බිම්වලට අනෝරා වැසි වස්සවාවියයි 

හිනා වියැකී ගිය මූණු කඩදාසිවල හිනාවන් පින්තාරු කරාවියයි අපි විශ්වාස කරමු


හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

හෙණ ගහන්නේ ඔබට නොවේය.
ඔබගේ ගමන වළකන ප්‍රතිරෝධයන්ටය
ඔබේ සිනාව වළකන කඳුලටය..
කරුණාව වළකන වෛරයටය...
සතුට වළකන වේදනාවන්ටය..


~ගැටයා~











                                                                                                          
Share:

Dec 25, 2012

ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !

ඇංජිමෙන් පිටාර ගලන හෝස් පවර් හාරසීයට අමතරව මගේ උද්දාමය හා ආඩම්බරය සමග තවත් හෝස් පවර් බර ගානකින් ජව ගැන්නූ වාහනය ආච්චිගේ නිවස දෙසට වැටී ඇති පාර දිගේ ධාවනය වූයේ  එඩින්බරෝ ආදිපාදයාගේ රෝල්ස් රොයිස් රථයටත් වඩා තේජසිනි,බලවන්තකමිනි.
මේ උද්දාමයට ආඩම්බරයට හේතු ඇති පදම තිබින. කුඩා කළ ආච්චීගේ දෙපා වඳිද්දී ආපිට ලැබෙන අවවාදය අකුරටම පිළිපැදීමට හැකිවීම ඒ හේතූන් අතර මුල් තැනක් ගනී

"උක්කුං පුතේ ලොකු මිනිහෙක් වෙයන් "

විවෘත ආර්ථිකයේ බලපෑමෙන් ලංකාවේ පහළ වූ ලක්දිව ප්‍රමුඛ කර්මාන්තශාලාවකින් ලැබුණු රැකියාවත් සමග   "රැකියා විරහිත උපාධිධාරී" යන ගරු නම්බු නාමය ලොප් වෙද්දී ජීවිතය යස ඉසුරින් පිරී, ගරාජය මේ වාහනයෙන් පිරී ගියේය.මෙය ඒ තරම් සද්දන්ත යන්තරයකි (ටැට්ටරයක් නොවේ ) .
ලොකු මිනිහෙක්ට මුලින්ම ලොකු වාහනයක් හා ලොකු ගරාජයක් අවශ්‍යය වේ.ඉන්පසු ගරාජයටම අල්ලා ලොකු ගෙයක් තැනිය හැක.වාහනය සෑහෙන්න ලොකු වන්නා සේම එහි ෆුට් බෝඩ් එකේ සිට මහ පොළොවට ඇති දුරත් ලොකු බව, මේ ලියන මොහොතේ මතක් වුවද ආච්චිගේ ගේ ඉදිරිපිටදී එය මතක් නොවූ හෙයින් , වාහනයෙන් බහින ගමන්ම, කුතුහලයෙන්  පෙර මග පැමිණි ආච්චිගේ දෙපා වැඳීමට හැකිවිය.ආච්චි රත්නත්‍රයේ සරණයි කීවාය.

"ආච්චි මං  ලොකු ළමයෙක් උනා " මම සීරුවෙන් සිට ගතිමි

ඈ "කැකිරි ළකුණ" සිනහවක් පෑවාය

"මෙච්චර පරක්කු උනේ පුතේ?"

"නෑ ආච්චි මන් කිවුවේ මම දැන් ලොකු මිනිහෙක්..මේ ලොකු වාහනේ,ලබන මාසෙ ලොකු ගෙයක් පටන්ගන්නවා "

ආච්චි කිසිත් නොකීවාය.
මට ඈව මෙහි නංවාගෙන රවුමක් එක්ක යාමට ආසාවක් පහල විය.සියා වාහනයට නැගීමට කැමැත්තක් නොදැක්වූවත් චාරිකාවට අවශ්‍ය සියලුම සහය ලබා දීමට ගිවිසුම් අත්සන් කළ අතර ,එය ක්‍රියාවට නැංවීම පිණිස ගස්ලබු ගහට හේත්තු කර තිබූ උණ බම්බු ඉනිමග ගෙනැවිත් වාහනයේ ෆුට් බෝඩ් එකට හේත්තු කළේය.ආච්චී පරිස්සමෙන් වාහනයට නැංගාය.මම වැඩ දන්නා බැවින් එක්වරම ඩ්‍රයිවින් සීට් එකට පැන උඩ එල්ලා තිබුණු දේව රූප තොරණේ ගණ දෙවි ප්‍රතිමාවේ ඔළුව හප්පාගෙන නැණැස විවර කර ගතිමි.
වාහනය ඉදිරියට යාමත් සමඟම මම මගේ සොඳුරු උත්සාහය ආරම්භ කළෙමි.

"ආච්චි මේ ලොකේ හැමෝටම පේන්නනම් ලොකු වෙන්න ඕනෙ..ලොකු දේවල් කරන්න ඕනෙ.පොඩි දේවල් ගැන මිනිස්සු කතා කරනවා තියා දැක්කත් අහක බලා ගන්නවා.දැන් බලන්ඩකෝ අද මම  චුට්ටං පුට් බයිසිකැල් කට්ටක ගියානම් නිකම්ම නිකම් උක්කුං ..අද මේ ලොකු වාහනේ නිසා මම...කවුද ආච්චි? මම කවුද ආච්චි?"

"උක්කුං"

"නෑ ආච්චි මම ලොකු මහත්තයෙක්..හැමෝම කතාවෙනවා.හැමෝම ගරු කරනවා.ඒ මොකෝ මම කරන්නෙ ලොකු වැඩ " 

මම කාරයේ බොනැට්ටුව හැරියෙමි (නැත.බොනැට්ටුව නොවේ .හරි වචනය නොදනිමි ) ඒ තුළ වූ "ජම්බෝ පීනට්" පැකට් එකක් ගත්තෙමි

"දැන් මේ මොනවද? "

"රටකජු"

"නෑ ආච්චි ජම්බෝ පීනට්..ලොකු රටකජු"

"ඕව කාලා එහෙම බඩ පුරෝගෙන දවල්ට නොකා එහෙම ඉන්නව නෙවී " ආච්චි තරවටු කළාය.

"මේවා තමා ආච්චි දවල් කෑම්..." 
මටත් හොරා කට ඉස්සර විය.ආච්චි පුදුමකාර බැල්මක් හෙළුවාය.සත්‍යය සඟවා පලක් නැත.

"ලීස් එක ගෙවන්නත් එපෑ ආච්චියේ"

"ආ ලීස්..ඒක මිසක්ක...හරි හරි මම හදල දෙන්නම්කො"

කතාවෙන් කතාවෙන් වාහනය ටවුම මැද්දටම ඇදී විත් තිබුණි.හන්දියේ මිනිස්සු රාශියක් රැස් කමින් හුන්හ.ඔවුන් එකා මත එකා පෙරළෙමින් අත්පුඩි ගසති..සිවුරුහන් බාති...නටති..කෑ කොස්සන් ගසති..
වාහනය නැවැත්තුවේ මගේ කකුළ නොව කුතුහලය විසින්ය.පරිස්සමෙන් වාහනයෙන් බැසීමට ගොස් පාරේ සුදු පාට ඉරි වල කිසියම් ගන්ධයක් ඇත්දැයි පරීක්ෂා කොට ආච්චිව බිමට බස්සවා ගැනීමට ක්‍රමයක් සෙවීමේදී වහළයේ ගැට ගසා තිබූ ඉනිමග දුටිමි..සීයා කෙරෙහි උපන් භක්තියාදරය මසිත තුළ තැන්පත් වෙද්දී ආච්චීද පොළොවේ තැන්පත් වූවාය.
පෙරකී මිනිසුන් රොත්තට ඉදිරියෙන් බිත්තියක එල්ලූ බැනරයකි.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත"
නව ලෝක වාර්තාවක්

ඊට පහළින්ද පින්තාරු කර තිබූ වාක්‍යයක් තිබුණද එය කියවීමට නෙත්හී බැඳුණු සියුම් කඳුලු පටලය ඉඩ දුන්නේ නැත.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත? කෙතරම් ආඩම්බරයක්ද? කෙතරම් භාග්‍යයක්ද? අප ජීවතුන් අතර සිටින කාලයේදීම..මේ නම් අනගිබවනීයමැ...ප්‍රශංසනීයමයැ...

සැබැවින්ම දැවැන්ත ලබු කිරිබතකි.එක පේළියට තැබූ මේස ගණනාවක ඇතිරූ ලබු කිරිබත් තුනී කළේ ස්වේච්ඡා සේවකයන් පිරිසකි.ඔවුන් "අයි ලව් ලබු කිරිබත්" කමිස හැඳගෙන ලහි ලහියේ වැඩ කළහ.කිරිබතේ එහා කොනේ සිටි උදවිය මෙහා සිටින පිරිස ඇමතුවේ වෝකි ටෝකි වලිනි.


කිරිබතේ සුගන්ධයෙන් නසරාණීව සමවත් සුවයෙන් සිටින කල්හී ආච්චිගේ කටහඬ පසෙකින් ඇසිණ.

"පුතේ..මේකද ලෝකෙ ලොකුම ලබු කිරිබත?"

"නැතුව ආච්චි මේ ගහල තියෙන්නෙ"

"ඉතිං පුතේ ලෝකෙ ලබු කිරිබත් හදන්නේ ලංකාවෙ විතරක් වෙන්ඩ ඇතිනෙ"

අවාසනාවට ඒ වදන් ඇසුණේ මට පමණක් නොවේ.අයි ලව් ලබු කිරිබත් සේවකයෝ සහ පරිවාර ජනයා ප්‍රේමණීය බැල්මක් අප දෙසට හෙළුහ.හැකි උපරිම ප්‍රසන්න සිනහවක් දක්වා මම වහාම ආච්චි සමග වාහනයට ගොඩවීමි.

ආච්චිට බැනීම නොසුදුසු වුවද තදින් කතා කොට ඈ යහමගට ගත යුතුය.

"මොකෙන් හරි ලොකු දෙයක් කළාම ඒක රටට නම්බුවක් නෙවේද ආච්චි?ඒවාට අපහාස කරලා අවරගනයේ ප්‍රතිගාමී යැංකි දේශපාලනයේ අතකොළුවක් වෙන්න එපා.මම ඒකට ඉඩ දෙන්නෙ නෑ ලක්මවුනගේ සුජාත පුත්‍රයෙක් වශයෙන්"

ආච්චි මෙල්ල විය.මම වාහනය ඉදිරියට පැදවූවෙමි.තවත් ගාලගෝට්ටියක් දුටු හෙයින් ගාලගෝට්ටියන්ට ඇදී යාමේ මනුෂ්‍ය ස්වාභාවයට හිස නවමින් වාහනය ඒ පැත්තට නැමුවෙමි.


"ලෝකයේ ලොකුම සමාධි බුද්ධ ප්‍රතිමාව"
ඔබේ නොමසුරු ආධාර ලබාදෙන්න 

ආශ්චර්යයකි...බුද්ධාලම්බන ප්‍රීතිය මා සියොළඟ වෙලන්නට විය.නහරවැල් තුළට කාවැදී සිරුර පුරා දුවන්නට විය.

"ආච්චි අපේ බුදු හාමුදුරුවො පිරිණිවන් මංචකයේ සිටින ආකාරය ප්‍රතිමාවකින් නෙලන්නයි හදන්නේ..පොඩියට නෙවේ ලෝකෙන්ම ලොකු විදියට"

"නෑ  පුතේ සමාධි ප්‍රතිමාවක තියෙන්නේ පිරිණිවන් මංචකය නෙවේ"

"මොක හරි කමක් නෑ.මට හරි ආඩම්බරයි ආච්චි.මට හිතෙනවා මගෙ හිත සන්සුන් වේගන එනවා..දැහැන්ගත වේගන එනවා කියලා..ආච්චි මට මාර්ග ඵලයක් ලැබෙන්න වගේ"

"අනේ මන්ද ඉතින්..උක්කුං මයෙනම් සර්දාව හිතට එන්නේ පිළිමෙ තියෙන ලොකුවට නෙවේ..."

මම සඟවාගත් කෝපය පිටින්ම වාහනයෙන් බිමට බැස ආධාර එකතු කරන මඩුව වෙතට ගියෙමි..හිතේ ශ්‍රද්ධාව තිබුණද පර්ස් එකේ සල්ලි නැත.

"ඩූ යූ ටේක් ක්‍රෙඩිට් කාඩ්ස්?" මම ක්‍රෙඩිට් කාඩ්පත මඩුව තුළ හුන් උපාසක මහතාට දිගු කළෙමි..

"යස්...යස්..නොට් වයි" මගේ අතින් කාඩ්පත උදුරාගත් ඒ මහතාණෝ එය පිං කැටය තුළට දමා බුලත් කසට බැඳි දසන් දක්වා එක සිතින් මට සෙත් පැතූහ...........

"පින් සිද්ද වෙච්චාවේ "

~හොඳ දේ වෙනුවට ලොකු දේ හොයන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි~

ප.ලි

ආච්චී වෙනුවෙන් දරන සොඳුරු උත්සාහයන් අවසානයකට ළඟා කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙයට වඩා සමාජය ගැන වැඩි යමක් පරම්පරා දෙකක ජීවීන් දෙදෙනෙක් යොදාගෙන ඉදිරිපත් කිරීමට උත්සහ කළෙමි.ඒ සොඳූරු උත්සාහයේ සාර්ථක අසාර්ථකභාවය දන්නේ ඔබ පමණක් බැවින් ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.ඒ අනුව ඉදිරිය තීරණය වනු ඇති....
~මීට හිතෛශී
 ගැටයා




මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



Share:

Dec 24, 2012

ලෝක විනාශයට පෙර කඩේ වැහුණි

මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන් 
උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල 
උඹයි,මායි,පාට බෝට්ටුවයි, ලොකු හැඳි දෙකයි ,ගෝවා පැළයිකියවන්න

එදා සිකුරාදා උදේ පාන්දරම ආච්චි සිල් රෙද්දකුත් පොරෝගෙන පන්සල් යන්ඩ ලැහැස්ති වෙනවා දැක්කේ නැත්තං මං මේ ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් දැන නොගන්ඩ තිබ්බ නංගියේ.උන්දැ ලෝකෙ විනාසෙ වෙද්දි පංසලේ බුදු හිමි සෙවනේ ඉන්ඩ හිතද්දි මං ඉන්ඩ පැතුවෙ කවුරු එක්කලාදැයි කියන්ඩනම් පුලුවන්,ඒත් උඹ පිළිගන්න එකක් නෑ බාගවිට.හිත ඇතුලෙන් උප්පාදනය වෙන සිතුවිලි මොන හැඩේද,පාටද,සුවඳද කියලා පෙන්නන්ඩ විදියක් තිබ්බනම් ඒත්තු ගන්නන්ඩ තිබ්බ.
ගමේ ගොඩේ ඈයො උන හිංදම වෙන්ඩැ ලෝක විනාසෙ ගැන ආරංචිය එන්ඩ මෙච්චර ප්‍රමාද උනත් ,උඹට ඇත්තම කියන්නම් නංගියේ මට අමුතු කලබලයක්වත්,දුකක්වත් ආවෙ නැත්තෙ නැති වෙන්ඩ දෙයක් නැති හින්ද වෙන්ඩැ.නැති වෙන්ඩ බූදලයක් ,නැති වෙන්ඩ පවුලක් ,නැති වෙන්ඩ ජීවිතයක් නැති හින්ද වෙන්ඩැ.ඒත් නැති වෙන්ඩ අකමැති එකම දේ අන්තිම වතාවට හරි බලාගන්ඩ ඕනැ හින්ද වෙන්ඩැ ආච්චි පන්සලට ගියා විතරයි මාත් ලක ලැහැස්ති උනා.
බාගෙටත් වඩා ඉතුරු වෙලා තිබිච්චි සැන් බෝතලේ සම්පූර්නෙන්ම ඇගට හලා ගත්තෙ ආයෙ ඒකෙන් වැඩක් නැති හින්දා මිසක්ක ගඳ ටිකක් හරි අඩුවෙන්ඩ හිතාන නෙවේ වෙන්ඩැ.එකම සරමක් නොහෝද හතර ආකාරයකට අදින්ඩ පුලුවන් උනත් * ඒ ආකාර ඔක්කොම පාවිච්චි කරල ඉවර හින්ද ආපහු පළවෙනි ක්‍රමේටම සරමත් ඇන්දා.රෙදි වැල ටිකක් උඩහට වෙන්ඩ ගැටගැහුව හින්දා  වෙන්ඩැ එහා ගෙදර බල්ලට අහු නොවී කමිසෙ වැලේම තිබ්බ දෙයියන්ගෙ පිහිටෙන්.
පාර දිගටම එකම ගාලගෝට්ටියක් වගේ .සෙනහ පුරෝලා.අජූතවංශ මහත්තේලෑ ගෙදෙට්ට කොන්ටේනර් තුනක් බාලලු ලොකෙ විනාසෙ වෙලාවෙ ඇතුලට වෙලා ඉන්ඩ.වෙරි මරගාතෙ වගේ වැනි වැනි ඇවිද ඇවිද හිටියෙ කසිප්පු ගහපු උන් නෙවේ,අන්තිම මොහොතෙ හරි පින් රැස් කරන්ඩයි කියලා හෝ ගාල දෙන බලු කපුටු දාන වලින් ඇති වෙන්ඩ ගිලලා දිරෝගන්ඩ බැරුව දගලන දඩාවතේ යන බල්ලො.ඒ අස්සෙ 4.11 ට යෙදී තිබෙන ලෝක විනාස නැකතට පත්තු කරන්ඩෙයි කියලා කොල්ලො කුරුට්ටො රතිඤ්ඤා පවා ගෙනියනව.
මේ හැම එකක් මැද්දෙම මට මැවි මැවි පෙනුනෙ උඹේ මූණ..ඔව් උඹේ මූණ.හැමෝම තම තමන්ගේ ජීවිතවල කරගන්ඩ බැරි වෙච්චි දෙවල් අන්තිම මොහොතෙ හරි කරලා නැකතට වැඩ අතාරින්ඩ ලෑස්ති වෙලා ඉන්න වෙලාවක මටත් කරන්ඩ තියෙන ලොකුම වගේම එකම දේ කරන්ඩ ,හිත් පහල උනා.හිතේ තියෙන දේ කියන්ඩ හිත් පහල උනා.ආපිට ලැබෙන දේ අනුව තීරනය වේවි ලෝක විනාසෙ නැකත 4.11මද ඊට කලින්ද කියලා.
කල්පනා ලෝකෙක ඇලී ගැලී ඇවිද්ද හින්ද වෙන්ඩැ කඩේ ළගට එනකල්ම දැනුනෙ නෑ.කවුද හාදයෙක් කියලා තියෙනවලු මිනිහෙක් මැරෙන්ඩ කලින් ළමයෙක් හදන්ඩ ඕනෙලු,පොතක් ලියන්ඩ ඕනෙලු, ගහක් හිටවන්ඩ ඕනෙලු. පළවෙනි දෙක කෙසේ වෙතත් අර හිටවෙන්ඩ ඕනෙ ගහ "මම" උනානම් කොච්චර එකක්ද කියලා හිතුනේ කැසියර් කූඩුවෙ හිටපු උඹේ චායාව ඇස් දෙකේ ගැටිලා එච්චර වෙලා එක්කහු කරන් හිටපු සක්තිය බඩ සුද්ද වෙන්න බේත් දුන්නාම වගේ යන්න ගත්තට පස්සෙයි.අනේ ඒ ගහ මම වෙලා මුල් ඇදලා අඩියක්වත් ඉස්සරහට යන්ඩ බැරි වෙන්ඩ මෙතනම හිට උනානං,උඹට උදේට උදේට ඇවිල්ලා වතුර ටිකක් වක් කරලා යන්ඩ !!

ඒත්  මුල් අදින්න නොදී ඉස්සරහට යන්න පුරුස සක්තිය ඩිංගක් එක්කහු කරගන්න පුලුවං උනා.ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් නැතුව හායි ගාලා කඩේ ඇරන් ඉන්නවා කියලා හිතුනත් ඒක එහෙම්මම නෙවේ කියලා තේරුණේ කඩේ ඉස්සරහ අලෝල තිබ්බ දැන්වීම් දැක්කාමයි.හැම එහෙකම ගනන් අඩු කරල තිවුන ඡන්ද පොරොන්දුවක් ඉස්ට කරල වගේ,කොටින්ම පාන් 3.50යි.
කඩේ එකෙක්වත් හිටියෙ නෑ වාසනාවට.උඹයි මායි විතරයි..
උඹ කැසියර් කූඩුව ඇතුලේ තිබ්බ බංකු කොටේ උඩ ඉඳගෙන
මං උගුර පෑදුව.ප්‍රතිචාරයක් නෑ.
හරස් ලෑල්ලට පුංචි තට්ටුවක් දැම්ම..ඩිංගක් විතර ඉස්සුනා ඔළුව.
"මොනවද? " උඹ ඇහුවා .කටහඩ බිඳිල වගේ
"මුකුත් ගන්ඩ නෙවී නංගි..."..අමාරුවෙන් වචන ගැටගැහුන
උඹේ ඔළුව ඉස්සුනා සම්පූර්නෙන්ම.ඇස්වල බැල්ම කියවගන්න අමාරුයි.
"ම..ම...මං..මේ "පැටලුනා.වචන නෑ.

අඩපනයි
එකම එක දෙයයි උනේ ගැලවිල්ලට මටත් නොදැනිම..කමිස සාක්කුවට අත ගියා.අතට ආව රුපියල් දහයක්.මං ඒකෙ කොකා අතින් වහගෙන මල ඉස්සරහට හිටින්න කැසියර් කූඩුව ඇතුලට තල්ලු කලා
"පාන් එකාමාරක්"
උඹ කොලේ අතට ගත්තා





"පරක්කු වැඩියි"
කියපු උඹ මල වහගෙන කොකා පෙන්නුව මට.



"පරක්කු වැඩියි"
උඹ මිමිනුව ආයෙත්.කලින්ඩ වඩා අඩු සරේකින්.තෙත පටලෙකින් වැහිච්ච ඇස් දෙක නළියනවා."අනේ යන්න" ඒ ඇස් වල ලියවිල තිබ්බද කොහෙද
"පරක්කු වැඩියි "
එතනින් එහා දරන් ඉන්ඩ බැරි වෙච්චි තැන ඉතුරු උනේ ගැලවිලා යන එක විතරයි.කඩෙන් එළියට ඇවිත් හැතැප්ම ගානක් එහා තිබ්බ බන්ට් එක උඩට එවුනෙ කොහොමද කියලා මම දන්නේ නෑ.කොටින්ම එතනින් එහා මුකුත් හිතුනෙම නෑ.හිතන්න ඕන උනෙත් නෑ.වෙලාව ගොඩක් ගත වෙන්ඩ ඇති එතනම.දැහැන බිදිලා ගියේ වේගෙන් වංගුව ගත්ත ත්‍රීවිල් පද්මෙ අයියගෙ ලබ්බෙගිනි කාරෙක ඇතුලෙන් ඇහිච්චි රේඩියෝ එකේ සද්දෙට..
"දැන් වේලාව පස්වරු හතරයි විනාඩි දෙකයි "
මට මොකක් උනාද කියලා හිතාගන්ඩ බැරිඋනා.බන්ට් එක ගාව ඉඳන් ලවක් දෙවක් නැතුව දුවන්ඩ ගත්තෙ ඊට පස්සෙ වෙන්ඩැ.හති වැටිලා වේගෙන් ගැහෙන පපුව එළියට එන්න දගලද්දිත් ,දණිස් පොල්කටු ගැලවිලා වෙන්වෙන තරමට වේදනා දෙද්දිත් ඒ දිවිල්ල නැවතුනේ නෑ.ජීවිතේ අන්තිම දිවිල්ලත් ජීවිතේ වටිනම දෙයක් වෙනුවෙන්.තප්පරෙන් පංගුවකටවත් හිත නොහැලුනා උනත් කකුල් දෙකට වාරු නැති වෙන්ඩ ගත්තේ කඩේ පේන මානයක තියෙද්දියි.බිම ඇදගෙන වැටුනෙ එතකොටයි.ඒ වැටිල්ලෙ වේදනාවත් නොතකා වෙවුලන ඇගිලි තුඩු තාර පොලොවට තද කරගෙන ආපහු නැගිටින්න හදන ගමන්ම මං කඩේ දිහා බැලුව.

උඹ කඩේ වහනවා.ලෑල්ලෙන් ලෑල්ල අහුරනවා.ඔක්කොම ලෑලි පහයි .අන්තිම ලෑල්ලත් වැහෙද්දින් කඩේ ඇතුලෙන් එලියට වැක්කෙරිල තිබ්බ කුප්පි ලාම්පුවෙ එළිය මැකිල ගියා.කඩේ ඇතුළෙ උඹත් ඒ එළිය එක්ක මැකිල ගියා.ඒත් එක්කම දරාගන්ඩ බැරි වේගෙකින් පොළොව හෙල්ලෙන්ඩ ගත්තා.ඉර වැහීගෙන එනවා කළු වලාකුලුවලින්.තාර පොලොවෙ අත තියගෙන උන්නු හරියෙන් පටන් අරන් පොලව දිගේ හීනියට ඉරි තැල්මක් එන්ඩ ගත්ත.මහා ගස් හිටන් අඹරවලා දාන්ඩ තරමට ආපු හුළි හුලගත් එක්ක මුරුගසන් වරුසාවක්.මේ කල්පාන්තික වරුසාව.අර ඉරිතැල්ම වැඩි උනා ඩිංග ඩිංග...පොළොව දෙබෑ වෙනවා.

යාන්තමින් පොලවට අල්ලලා උඩට නග්ගන පොඩි ගෙවල් මහ හුලි හුලගට එරෙහි වෙන්ඩ බැරුව යටත් වෙලා උඩින් ගහගෙන යනවා කැරකි කැරකි..මං අමාරුවෙන් ඔළුව උස්සලා උඹළෑ කඩේ දිහා බැලුවා.ඔක්කොම දේවල් මැද්දෙ පොඩි සතුටක් ..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..
කුණාටුව ,වැස්ස ,කළුවර එන්ඩ එන්ඩම චන්ඩ වෙන්ඩ ගත්තා.මහ රූස්ස ගස් ,ගෙවල් ,අජූතවංශ මහත්තේලෑ කොන්ටේනර් පෙට්ටි පවා උස්සපු හුලග මාව බිම තිබ්බෙ නෑ.කරකවලා ගත්තපාර ආයේ බිම තියන්ඩනම් අදහසක් නැතුව ඒක දිගටම උඩටම ඇදගෙන ගියා.විකල් වෙලා ගිය ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ.මුකුත්ම හිතුනෙ නෑ..කැරකෙන වේගෙටම ආපහු මහ පොළව දිහා බැලෙන්ඩ ඇති..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..



*උඩ,යට ,කනපිට හැරෙව්වායින් පස්සෙ උඩ යට


~නිමි
-සියළු පුද්ගල නාම, සිද්දි ,විස්තර අසත්‍ය වන අතර මනස්ගාත වේ.



Share:

Nov 29, 2012

උඹයි,මායි,පාට බෝට්ටුවයි, ලොකු හැඳි දෙකයි ,ගෝවා පැළයි

මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන් උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල කියවන්න


අද තදට පායනවා කියා රේඩියෝ එකේ කාලගුණ මහත්තයා කිව්වෑයිං පස්සේ කුඩේකුත් අරන් එළියට බැස්ස මට ,මගදි අහු වෙච්චි මහ වැස්සේම අකුණක් වැදුනේ නැත්තේ ඇයි කියා හිතුනේ හන්දියෙදි කකුල් දෙක ළඟට ගහගෙන ආපු උඹගේ මල්ලිලාගෙ කඩදහි බෝට්ටුවක් අහුළගෙන ඒ මේ අත පෙරල පෙරල බලද්දියි.
උඹලෑ මල්ලිලා බෝට්ටු බඳේ TITANIC කියලා ලියලා තිබුන අකුරු ඇරුණාම තවත් අකුරු රාසියක් දැක්ක තැන ඒවා අමාරුවෙන් හරි කියවගත්ත හින්දායි ඒ.

උඹ කඩේ කැසියර් කූඩුවෙ ඉන්නකොට සනීප නැද්දැයි කියලවත් අහයි කියලා ගාමිනී ෆොන්සේකා මහත්තය මගේ දිව ඇදලා අරගෙන කඩේ වතුර රත් කරන  සෝ කේස් එහෙක අඩුක් කරල තියෙන .TITANIC. මයෙ කාමරේ තියෙනවා 
ඒ හැටි පෙනුමක් නැති,ඒ හැටි සල්ලි බාගෙත් නැති අර අවලං මන්තිරිය පස්සෙ යන්න ඕන නෑ එතකොට.
 හිකි හිකියත් එක්ක කිචි බිච්චියත් එක්ක අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට...

වතුරට පෙඟිලා තිබුණත් රටාවට නවාපු කොළේ කියෝගන්න වැඩි වෙලා ගියේ නෑ..
අනුමාන කරන්න ඒ හැටි දස්ස නොඋනත් මේ බෝට්ටුව ඇරුනාම තවත් බෝට්ටු දෙකක අහළ පහළක තියෙන්ඩ ඕනෙය කියා කරපු අනුමානය හරියටම හරිගියේ මම උඹට එවුව ලියුමේ කොළ තුනක් තිබ්බ බව සිහි උන නිසාය 

මගේ අතින් ලියවිලා ,ලහිපිට අතිරේකය ඇතුළේ හැංගිලා උඹේ අතට ගිය මගේ ලියමන හත් අට වාරයක් නැවිලා මේ විදියට සැඩ පාරක ගහගෙන යනවා දකිද්දි මයෙ මෝඩ හිත ඇතුලෙන් පටං අරන් නහර වැල් දිගේ ඇඟ පුරාම ගහගෙන ගිය සැඩ පාරේ වේදනාව උඹ දන්නවානම් !
ටිකක් දුර ඉස්සරහට එද්දි පෙනිච්චි නගාලගෙ කඩේ ඉස්සරහ සෙනග පිරිලා උන්නා.ඒ වැස්සට කුඩයක් නැතිව එළියට බැහැලා දැන් යන එනමක් නැතුව ඉන්න ඈයො මිසක් බඩු ගන්න ආපු උදවිය නෙවේ.උන්ට කඩේ මතක් වෙන්නේ වැස්සක් වෙලාවට විතරක් උනත් මට එහෙම නොවෙන හින්දාද මන්දා කකුල් දෙක මගේ ශරීරයෙන් වෙන් වෙලා ඒ පැත්තටම ඇදිලා ගියා.කකුල් දෙකට ඌට ඕනෑ හැටියකට නටන්න දුන්නත් කටට ඒ අවස්ථාව ලබා නොදෙන්ඩ අධිස්ඨාන කරගත්තේ,කට වැරදීමකින් මී පාසානං නැත්නම් කඹයක්වත් ඉල්ලුවොත් උඹ ඒක දෙන්නත් හපනි කියලා මට හිතිච්චි නිසයි.. 

කඩේ හිටිය උන් මයෙ දිහා බැලුවේ හරියට විපක්ෂ නායකතුමා දිහා බලන්නා වගේ,මට පෙනිච්චි හැටිද මන්දා.ඒ උනාට උන් හිටියේ හරියට නගාගේ මල්ලිලා යවපු බෝට්ටු ගැන සූරියප්පෙරුම මහත්තයා දොරමඩලාවේ කතා කරනවා ටී වී එකෙන්  බලපු ඈයින් ව්දියට
"බලන්ඩ හසන්ත මහත්තයෝ,දැන් කොම්පියුටර් ඇතුළේ හිරවෙච්චි ළමා මොළ ඒ කාලේ ගෙවුනේ මේ වගේ සරල දෙවල් එක්ක.(එක බෝට්ටුවක් කැමරාවට පෙන්නයි ) මේක මට අහුලගන්ඩ ලැබුණේ පාරක් අයිනේ තිබිලා.බලන්ඩ මේකේ උඩ ලියලා තියෙන දෙවල්
 " අර දුඹුරු පාට බලු තඩියා පෙරහැර බලලා ගහෙන් බැහැලා පැටලිලා වැටුන නංගියේ රුවිතෙට..." 
කොච්චර සුන්දර ළමා මනෝභාවයන්ද?බලන්න දුඹුරු පාට බල්ලෙක් එනවා කොහෙ ඉඳන්ද ,ගහෙන් බැහැලා..අපේ බණ පොත්වලත් තියනවා ගස් වලින් බැහැලා ආපු දෙවතාවෝ ගැන ..බලන්න නංගියේ ඌ පැටලිලා වැටුණා"

කැෂියර් කූඩුවේ නෙවෙයි උඹ හිටියේ කඩේ රාක්කයක් ගාව අනිත් පැත්තට හැරිලා.කිසිම හේතුවකුත් නැතුවම වගේ ආපහු මේ පැත්තටම හැරුණ.ඒත් උඹ මාව දැක්කේ නෑ.මම උඹව හොඳට බලාගත්තා.උඹේ ඇස් දෙක එහෙම්මමයි තාමත්,කොච්චර නපුරු පාටක් ගන්න හැදුවත් හංගන්න බැරි ගොඩක් දෙවල් එළියට පනින්න දඟලන.

අර පිටු තුන නැවිලා බෝට්ටු බවට පෙරලෙන්න කලින් උඹේ ඔළුව ඇතුළේ පෙරලියක් කරපු වග මම දන්නවා.ඒ වගේම බෝට්ටු හැදෙන්නත් උඹේ සම්බන්දයක් නැති වගත් මම දන්නවා


ඒත් දවසක අපි දෙන්නම් එකතු වෙලා ලොකු බෝට්ටුවක් හදමු හොඳට ඉඩ කඩ තියෙන ,බඳේ අකුරු වෙනුවට ලස්සන පාටවලින් පින්තාරු වෙච්ච.හබල් නැත්නම් අපි ගමු ලොකු හැඳි දෙකක්.මේ හෙණ ගහන ,ඇඟ කිළිපොලන කටුක වැස්ස ටිකකින් නවතියි..ඊට පස්සේ හොඳ කාලයක්,හොඳ අව්ව..ඩිංගෙන් ඩිංග බහින වතුරේ උඹයි ,මායි ,පාට ඔරුවයි...වතුර ගහගෙන යන පැත්තටම ගියත් ,යන්න ඕන පාරට දාගමු මහන්සියෙන් හරි ..යනින් ගමන් අපි නවත්තනවා ගොවි ජන සේවා මධ්‍යස්ථානය ළඟ..උඹව ඩිංගකට බෝට්ටුවේ තියලා මම ගිහින් ගේනවා ගෝවා පැළ තිහක් හතළිහක්..මළා..කඩේ ලෑලි ටික වැහුවෙ නෑ නේද?මම නගාව ඇරලවලා එන්නම්,හැබැයි මට ආපහු යන්න ඕනෙ බෝට්ටුවෙම
කොහාටද?
පුත්තලමට
ඒ මොකටද?
මේ ගෝවා පැළ ටික හිටවන්න
ගෝවා?පුත්තලමේ?
හ්ම්ම්ම් ..මේවා හොඳට පැළවෙනවා,සරුසාරෙට,උඹේ ගෙටත් වඩා උස ගෝවා ගෙඩි..ඒ මොකෝ දන්නවද?
නෑනේ
උඹ අහලා තියෙනවද කතාවක් "අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය " කියලා?
මං ආපහු කුඩය ඉහලගෙන පාරට බැස්සා..


Share:

Nov 12, 2012

එක්ස්කූස්මී ස(ර්) වී ආර් ලොන්චින්(ග්) අ නිව් ප්‍රඩක්ට් (Excuse me sir ,We are launching a new product )


"ආආඅහ් මල්ලියා හයර් එකක්..ටුක් ගාල ගිහින් එන්නම් අරි"
හන්දියේ ත්‍රීවිල් පද්මෙ අයියා ස්වකීය ලැම්බොගිනී රථය මහ පාරට ගෙන ඇන්ජිමට බර දමා පිටව ගියේ ජනේලයෙන් අතක් එළියට දමා මටද ආචාර වෙඩිමුරයක් පත්තු කිරීමෙන් පසුවය.රථය පිටුපස ලොකුවට නිල් පාටින් ගසා තුබුණු
"අත හිත නැන්දම්මාගෙන් " 
වචන පේළිය මත ඇස් අලවාගෙන සිටි මට පිටුපසින්
"එක්ස්කූස්මී මිස්ට(ර්) "
 යනුවෙන් හඬක් ඇසුනද ,එය කනට හරිහැටි වට්ටා නොගත්තේ කාරය දෙසටම අවධානය යොමුව තිබූ නිසා නොව මා මිස්ට(ර්) නොවන නිසාය.මා ගැටයාය.
නැවතත් එයම ඇසිණ,නමුත් ඉදිරිපසිනි.
"එක්ස්කූස්මී ස(ර්)

අරෝහ පරිණාහ සම්පන්න,මනාසේ වැඩුණු අග පසඟැති කඩවසම් කෙල්ලෙකි.ටිකිරිලියාගේ ළිඳ වටකළ කබරගොයා මෙන් කෙල්ල වට කරගෙන උන් කොල්ලෙකි.
"එක්ස්කූස්මී මිස්ටර් ,වී ආර් ෆ්‍රොම් අපරබාග කන්සුයුමබල් හර්බල් මල්ටි විටමින් මල්ටි බැරල් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්..කැන් වී හැව් අ මිනිට් "
අහස් කුස හරහා ඈතට ජෙට් යානාවක දුම් පාරක් වැටී තිබුණි,ගොලුබෙල්ලෝත් එසේමය.යන පාරේ උන් සාරු දම දම යති.ගොලුබෙල්ලක් වගාවකට හානි කර සත්ව විශේෂයක්  බව බොහෝ පරිසරවේදී.......
"සර් ,කැන් වී..? කැන් වී හෑව්"
ගැස්සී නැවතත් පහළ බැලූ කල්හී මා ඉදිරිපිටම සිටියේ අරෝහ පරිණාහ සම්පන්න,මනාසේ වැඩුණු අග පසඟැති කඩවසම් කෙල්ලෙකි.ටිකිරිලි.....
"සර් ,අපේ කම්පනි එකෙන් නෙක්ස්ට් ඉයර් එකට ප්‍රොඩක්ට් රේන්ජ් හඳුන්වලා දීලා ශ්‍රී ලංකා ඉකොනොමි එක අපේ ග්‍රහණයට අරගෙන නිවාස අඩස්සියේ තියාගන්ඩ අපි බලාපොරොත්තු වෙනවා "
"සූරසේන? " ඈ ඉන්පසුව ළඟින්ම උන් කොල්ලාට තවත් ඉංග්‍රීසි වචන කිහිපයක් උච්ඡාරණද සහිතව හඳුන්වාදීමට අවස්ථාව ලබා දුන්නාය.
"තෑන්ක් යූ  විමලාවතී" ඕනෑවට වඩා ආචාර සම්පන්න වූ සූරසේන කරේ දමාගෙන උන් බෑගය තුළින් ලැප්ටොප් එකක් ගෙන එය ෂට් අප් කළේය. (සාමන්‍යයෙන් පරිගණකයක් පණ ගැන්වීම ඉංග්‍රීසියෙහි ෂට් අප් -shut up-ලෙස හැඳින්වෙන අතර ,පණ නැසීම ෂට් ඩවුන් -shut down- වේ )

තවත් බෑගයක් තුළින් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් එළියට ගත් ඔහු එයද කරකවා ඔන් කර ( ට(ර්)න් ඔන් )පරිගණක තිරය එහා පැත්තේ කඩේ බිත්තියට ප්‍රොජෙක්ට් කර සිය දේශනය ආරම්භ කළේය.
"ඇත්තටම  නව නිශ්පාදනයක් වෙළද පොළට නිකුත් කිරීම නැමැති ප්‍රස්තුතය සළකා බැලීමට ,එම ප්‍රපංචය දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී....."
මම ඔහුට ආදරය කිරීමට පටන් ගත්තෙමි.රට දැය සමය නගනු වස් ලක් මවුනට අවැසි මෙවැනි නහර වැලක් වැලක් පාසා ගලන සෑම රුධිර බිඳුවකම සිහළකම මුසු වුනු සිහළ.....
"ඉන් දැට් කේස් වී කැන් කන්සිඩර් දිස් ඈස් අ සයිකල්..විච් වී කෝල් ද ප්‍රඩක්ට් ඩිවෙලොප්මන්ට් ලයිෆ් සයිකල් ..."ඔහු නැවත කතා කළේය.
සිහළුන් නසනු වස් මේ මොහොතේත් ක්‍රියාත්මක වන විජාතික බලවේග අමතක කිරීම නොමනාය.
(image-http://www.exant.co.in/Product-Development.aspx)

අපිට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඩිවලොප් කරන්න යූෂුවලි රික්වයාමන්ට් එකක් තියෙන්ඩ ඕනෙ..ඒ කියන්නේ සමාජයේ ඒ ප්‍රොඩක්ට් එකට අවශ්‍යතාවයක් තියෙන්න ඕනෙ.Requirement gathering  එකෙන් කරන්නේ ඒ අවශ්‍යතා හොයන එක.
උදාහරණයක් විදියට මිනිස්සුන්ට පයින් යන්න අමාරු නිසා අපි කාර් කියන ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරනවා.ඒ වගේ  ප්‍රොඩක්ට්ස් වලින් එකෙන් මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා උවමනා පිරිමැහෙන්ඩ ඕනෑ.දැන් බලන්ඩ මිනිස්සුන්ට බඩගිනිනම්?
"ලොකුවට පාරවල් හදන්න ඕනෙ" මම වහා පිළිතුරු දුන්නේ ඕලෙවල් සමාජ අධ්‍යයනය ෆේල් වුවත් සමාජය ගැන දන්නා නිසාය.
"හරියට හරි එතකොට පුලුවන් රූරල් ගොවියන්ට තමන්ගෙ බෝග ඉක්මනට ටවුන් ගේන්න"
"එතකොට මිනිස්සුන්ගේ කරදර,ස්ට්‍රෙස් ඔක්කොම නැති වෙන්න ඒ අයට සන්තෝසයක් ,හෝප් එකක් ගෙනල්ල දෙන්න ඕන නිසා හැදුවා "
'ඔව් කියන්න බලන්න ..." ඒ කෙල්ලය
"හරි ලේසියි..."
"අනේ කියන්නකෝ...ඒක බොක්ස් එකක් වගේ එකක්" කෙල්ල තොඳොල් වූවාය.
"ම්ම්ම්ම්ම් චන්ද පෙට්ටිය?"
"ඇහ් වට්? මම කිවුවෙ ටෙලිවිෂන් එක ගැන"
"ඉතින් අපි අපේ ප්‍රොඩක්ට් එකක් රිලීස් කරන්න කලින් මිනිස්සුන්ට ඕනෙ මොනවද කියලා හොයල බලන්ඩ ජුන්ඩි මාකට් ස(ර්)වේ එකක් කරනවා .ඒකට තමා අපිට මිස්ට(ර්) ගේ හෙල්ප් එක ඕනෙ..
දැන් මෙය දුර දිග ගියා වැඩිය..පේන හැටියටනම් බෙල්ල ගහල යන වැඩකි.නැත...මට කාරණය සිහි විය.වහා කොල්ලාගේ කර උඩින් එබී පාරේ අනිත් පැත්ත බැලීමි.රතු පාට ෆෙරාරි රථයක් ඩිකියෙහි සෝ කේස් එකක් තබාගෙන ඉස්පන්චි,කිඹුලා බනිස්,ලැවරියා විකුණමින් සිටි මිනිහා සැකකරු අංක එකය..මම වහා ෆෙරාරිය ළඟට ගොස් ඇතුළට එබී බැලුවෙමි.බනිස් මුදලාලි කිඹුලා බනිස් එකක් පෙන්නමින්  මට අතවර කිරීමට තැත් කළේය..මම අමාරුවෙන් කෝප මුහුණක් ලබා ගත්තෙමි.
"කෝ කැමරාව?"
"මොන කැමරාවද?" මුදලාලි වයර් විය.
"ඇයි දැන් මේක ඇතුළෙ හංගලා තිබ්බ කැමරාව?..මම එච්චර නරක නෑ..ඒත් නරක මිනිහා නොකර කියපිය"  
"මොන කැමරාවක්ද ඩෝව්...කැමරා ගන්න සල්ලි කොහෙන්ද..මොකෝ බදු බැස්සුවයැ?මෙහෙ නිකන් සද්ද බද්ද දැම්මොත් තෝවත්  කෑලි කරලා මාළු බනිස් එක ඇතුලට දාල විකුණනවා අරි?"මට ඔහුත් සමඟ සටන් විරාම ගිවිසුමකට අත්සන් කිරීමට හැකිවූයේ කිඹුලා බනිස් 8ක් ,සීනි බනිස් 4ක් සහ ලැවරියා 11ක් ගැනීමෙන් පසුවය
මම ලැවරියා එකක් කමින්ම පාර පැන ,කිඹුලා බනිස් එකක් අර කෙල්ලට දික් කළෙමි.
"ඔයාලා හිනා ඉනා එකෙන් නෙවේද?"

මතු සම්බන්ධයි !

ප්‍රශ්නය -සූරසේන මහ පාරේ ප්‍රොජෙක්ටරය පණ ගැන්නුවේ කෙසේද?
Share:

Nov 4, 2012

උඹ නටද්දි පපුවෙ කරකැවෙන ගිනිබෝල

පෙරහැරේ බෙරකාරයන් තාලෙට අල්ලන බෙර පද වලට උඩ පැන පැන උඹ නටන හැටි බලන් ඉන්දැද්දි,ගිනිබෝලකාරයන්ගේ ගිනි බෝල කැරකුනේ පෙරහැරේ නෙවේ මගේ පපුව ඇතුළෙයි කියලා උඹනම් දැනන් ඉන්ඩ නැතුව ඇති...ගිනි බෝල උනත් ලස්සන නිකං තියෙද්දි නෙවේ,කැරකෙද්දි හින්දම ඔන්න ඔහේ ඩිංගක් කැරකුනත් මොකෝ කියලා හිතුණත් උඹ ඒ ගින්නටම තවත් ලාම්පුතෙල් වක් කර කර කරකවන්ඩ හදද්දි තමා මට ඉවසුම් නොදෙන්නෙ..


පෙරහැර බලන්ඩ ආපු නොසන්ඩාල කොල්ලො රෑනක් උඹට නොමනා විහිළු කරද්දි ,එවෙලේ නැගලා උන්නු ගහෙන් බැහැලා ඇවිදිල්ලා කන පොඩි වෙන්න දෙකක් දෙන්ඩ හිතුනත් උඹ උන් දිහාට දාපු එක බැල්මෙන්ම උන් හැත්ත බුරුත්තම අළු වෙලා අඟුරු වෙලා ගියා.අපි ඒ අඟුරු ගන්න ඉන්නේ උදේට දත් මදින්න
මමත් උඹේ නැටුම් බලන්ඩ ළඟටම  නෑවිදින් ගහට වෙලා උන්නෙ අඟුරු වෙන්ඩ තියෙන අකමැතිකමකට නෙවී.(ඒත් උඹේ ඇස් දේකේ කාන්තියට ඒක කොහොමත් වෙන බැව් නම් ඒකාන්තයි,ස්තීරයි.ශ්‍රී එෆ්.එම් ඉරිදා නිධානය වගේ).මට ලජ්ජ හින්දයි 

උඹ කඩේ කැසියර් කූඩුවෙ ඉන්නකොට මං සමහරක් දවස්වලට පත්පාඩගම් පැකැට් එකක්,පැනඩෝල් පෙත්තක් ඉල්ලගන්ඩ එන්නේ අඩුම ගානේ උඹ ඇයි අයියට සනීප නැද්දැයි කියලවත් අහයි කියලා හිතලයි.ඒත් උඹ එහෙම නාහන්නෙ මට තියෙන අනාදරේකට නෙවේය කියල මම දන්නවා.උඹ හිතන්නේ ඒවා අපේ ආච්චිට කියල වෙන්ඩැ.ආච්චිත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල.(ඒක කිවුවෙ උඹේ දැන ගැනීම පිණිස.)
තවත් සමහරක් දවස්වල මම වචනයක්වත් උඹ එක්ක දොඩනවා කියලා හිතාන ගාමිනී ෆොන්සේකා මහත්තය වගේ තමා කඩේට ගොඩ වෙන්නේ..ඒත් අන්තිමට පහු බහින්ඩ වෙන්නේ කෝපි කඩේ සුගතං වෙලා.උඹ ඉස්සරහ ඉන්දැද්දි මගෙ දිව ගොළු වෙනවා නංගියේ ...කවුදෝ එකෙක් මගේ දිව ඇදලා අරගෙන කඩේ වතුර රත් කරන බොයිලේරුවට ගැට ගහල වගේ දැනෙන්නෙ ඒ වෙලාවටයි.එතැනින් පස්සෙ ඉතින් කිය උනත් කියවෙන්නේ රාක්කෙක ,සෝ කේස් එහෙක අඩුක් කරල තියෙන බඩුවක නමක් මිසක්ක "කොහොමද නංගියේ?කෑවයි?" වගේ එකක් නෙවේ.උඹත් ඉතින් කිසිම ගානක් නැතුව ඉල්ලපු ජාතියම දෙනවා.සල්ලිත් අරන් ලෝබ නැතුව ඉතුරු සල්ලිත් දෙනවා.කිවුවාම විස්වාස කරහං නංගියේ දැන් මයෙ කාමරේ තියෙනවා උඹලගේ කඩේට වඩා බඩු මුට්ටු.මාත් පස්සෙ දවසක කඩයක් දාන්ඩ තමා හිතන් ඉන්නේ. කැසියර් කූඩුවෙ තියන්ඩ කවුරුත් තමා නැත්තෙ තාම. 
උඹ ඇයි නංගියේ මයෙත් එක්කලාවත් කතා නොකරන්නේ?අඩුම ගානේ එදා කලබල වෙච්චි වෙලාවක  පුළුන්ද කොහෙද පුරෝපු රෝස පාට  පැකැට් එකකට වැරදිලා ඇගිල්ල දික් වෙලා ඒක සල්ලි දීල ගත්ත වෙලාවෙවත් හිකි හිකි ගගා හිනා වෙවී හිටිය මිසක්ක වචනයක්වත් නොකිවුවෙ ඇයි?කොල්ලො තාම මට අනන් මනන් කියනවා.
කොයික කෝම උනත් කමක් නෑ නංගියේ .මන් දන්නවා උඹ ඔය පේන තරං නපුරු නෑ කියලා.මං ඒ හැටි පෙනුමක් නැති,ඒ හැටි සල්ලි බාගෙත් නැති එකෙක් වග හැබෑව.ඒත් උඹව හැමදාම සන්තෝසෙන් තියන්ඩ පුළුවන් වග මම දන්නවා.හම කළු උනාට උඹේ ඔය කිරි සුදු පාට දත් ටික පෙන්නුව ගමන්ම මුළු ගේම එළිය වැටේවි.ගමට ලයිට් ඉල්ලල අර අවලං මන්තිරිය පස්සෙ යන්න ඕන නෑ එතකොට.
උඹේ ඔය හිකි හිකියත් එක්ක කිචි බිච්චියත් එක්කහු උනාම මුළු ගේම ඒ සද්දෙන් පිරිලා ඉතිරිලා යාවි .එතකොට රෙඩියෝ ඕනෙත් නෑ.දැක්කනෙ උඹ ළඟ ඉන්නවා කියන්නේ වියදම් අඩුයි.සල්ලි බාගේ නැති උනත් මන් අනිත් උන් වාගේ දෑවැද්ද ඉල්ලන්නෙත් නෑ උඹේන්..ඕනමනම් අර දුඹුරු පාට බලු තඩියා ගෙනාවට කමක් නෑ.හැබැයි ඌව ගැටගහල තියමු.

මං මේක ලියන්නේ පෙරහැර බලලා ගහෙන් බැහැලා ආ ගමන්මයි
උඹ ඉන්න හරිය පහු උනාට පස්සෙ පෙරහැරේ බෙරකාරයෝ හරියට පදයක් ගැහුවෙම නෑ.තාලයක් නෑ
නැට්ටුවො අඩි වැරැද්දුව.එකෙක් පැටලිලා වැටුන
අලි ටිකත් හෝන්දු මාන්දු වෙලා
නිළමෙතුමා ගියේ රුවිතෙට...
උඹ යන්න ගියොත් මගේ ජීවිතෙත් එහෙම වෙයි නංගියේ
තාලයක් නෑ..වැරදෙනවා..හෝන්දු මාන්දු ..රුවිතෙ...

ප.ලි
අපේ පැට්ටේරියෙ ඉන්නවා හොඳ මහත්තයෙක් ඔය එකකෙක එව්වා ලියන..පත්තර පොත් හෙම නෙවේ.බ්ලොක් ද මොනාද.ආන්න එයා තමා කිවුවේ උඹ ඔහොම පිනා වගේ කට පියාගෙන ඉඳලා හරියන්නේ නෑය කියලා


photo credit http://www.flickr.com/photos/hhsp/6068837606/





තදියමේ ලියන ලිවිල්ලේදී මිස්ටේක් එකක් වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි
"ආච්චිත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල"

පෙන්නා දුන් ජනිත සහෝදරයාට තුති

නිවැරදි
"අම්මත් කොච්චරවත් කියන්නේ උන්දැ මියැදෙන්ඩ කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්ඩ ඕනය කියල"
සමාව ලැබේවා !


Share:

Nov 1, 2012

දර්පණා විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය (ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්! 2)



ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්! හා සම්බන්ධයි




ආච්චිගේ කැමත්ත ටෙලිපති ක්‍රමයෙන් විකාශය විය.
අසීරු අභියෝගයක් වුවද බාරගැනීමට කිසිඳු චකිතයක් ඇති නොවූයේ සිත ඇත්නම් පත කුඩා නැති වග සිහිපත් වීමත් සමගය."පත"යනු "විශාල ,ලොකු" යන වචන වෙනුවට සාමාන්‍ය ව්‍යවහාරයේදී පෘතග්ජනයන් යොදා ගන්නා වචනයයි.එය කිසිසේත්ම කුඩා නැත.

මම "විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය" වෙඩින් කාඩ් වලින් පටන් ගතිමි.දැනටමත් පරිවාර ජනයාට ඒවා යවා ඇති වග සැළවූ කල්හී මම එයින් එක් නියැඳියක් ගෙන විශ්ලේෂනය කර බැලුවෙමි.අහවලාගේ සහ අහවලීගේ දොණියන්දෑ වන..........සිංහල අකුරු දුටු මට නැවත ඔක්කාරය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවිය.පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරය මෙන් වෙඩින් කාඩ් එකත් කලින් පිටවී ඇති වගට රාවයක් යවා නව කාඩ් එකක් මුද්‍රණය කිරීමට අණ කළෙමි.ඉංග්‍රීසි නොදන්න නිසා නොව, දාඩිය මුගුරු හෙළමින් වෙබ් අඩවි වල ලියන සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් නොළද හාදයන් වෙනුවෙන්, කාඩ් එකෙහි මුද්‍රණය කරන පාඨය වෙබ් අඩවියකින් සම්පේෂණය කළද ,ඉංග්‍රීසියෙන් පමණක් ලිවීම අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය නැමැති කෞතුකාගාරයේ කඩු සොරකමක් යයි පවසමින් ආච්චි ඇතිකළ ගාලගෝට්ටිය සමනය කිරීමේ අරමුණින් ඉතා පහසුවෙන් එය සිංහලයටද හැරවීමි.



After some years of savings and sacrifices, we have finally gathered enough money to celebrate our wedding like we always wanted: a big party and many guests. We count on you being with us, along with your gift,of course.
love you all to honor us with your presence and to be witnesses to our union.



අවුරුදු ගණනාවක ඉතිරි කිරීමේ ගිණුම් සහ බිලි පූජා වලින් පසු අපි  කැමති ආකාරයට, හැමදාම විවාහ වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ගොඩ ගැසුවෙමු.ලොකු සාදයක් හා අනුමාන කිරීම් රැසක්.ඔබ  තෑගි සමඟ තනියම සිටීදැයි දැන ගැනීමට අපට පාඨමාලාවක් තිබේ.
අපගේ වර්තමාන වෘත්තීය සමිතියට ගෞරවනීය සාක්කිකරුවන් ලෙස පැමිණෙන ඔබට අපි ආදරෙයි !

ලැජ්ජාව අඩකින් පමණ අඩුවී ඇත.දැන් "හුටට්ටන්ට" බෑන් චූන් කණ්ඩායම පිටුවහල් කොට ඩී.ජේ සංස්කෘතික බීජ මගුල් ගෙදර මත රෝපණය කළ යුතුය.කිරට උයපු කීරමින්,පොළොස් මාලුව,පිපිඤ්ඤා සලාද,බටු මෝජු වෙනුවට නව ආහාර ප්‍රතිපත්තියක් බිම් මට්ටමේ සිට ස්ථාපනය කළ යුතුය.තට්ටු අටේ කේක් එකක් , කැරට් විසි හතරේ පෝරුවක් ,අමුත්තන්ට ගැවසීමට රෙදි හට් 5ක් ,ගෙදර සිට කිලෝමීටර් දෙකක් එක දිගට දැමීමට සිංහ කොඩි ,බෞද්ධ කොඩි,බස්නාහිර පළාත් සබා කොඩි යනාදිය එකතු වූ කල්හී ලිස්ට් එක දික් වන්නට විය.ගෙදර තිබුණු ඇන්ටික් බඩු වෙනුවට අලුත් ගෘහ භාණ්ඩ කුළියට ගෙනාවෙමි.කෙසේ වුවද හනිමුන් සඳහා මග කැඩෙන ,පිට පොත්ත හොඳ කාරයක් අඩු ගානට ගැනීමට සියලු පාර්ශවයන් පොළඹවා ගත්තෙමි.ජෝඩුව යහතින් හනිමූන් යනවා බලාසිටීමට මට බැරිය.

මම දර්පණා සිටින පළාතකවත් නොයන්නට තීරණය කළෙමි.සමහර විට ඈ මා දුටුවහොත් මේ කරගන්නට යන මඟුල ගැන පසුතැවිල්ලක් ඇති වනු ඇත.හැඬූ කඳුලින් පෝරුවට නගිනු ඇත.මනමාල පාර්ශවය වෙන එකක් හිතනු ඇත.මඟුල කෙළවනු ඇති අතර ඒ පව මගේ කර පිටට වැටෙනු ඇත.කෙසේ වුවද ඇය ප්‍රශස්ත මට්ටමින් එදින පෙනී සිටිනු දැකීමට කැමත්තෙන් මම නම ගිය බියුටි කචල් ආයතනයක්ම ගෙන්නුවෙමි.රෑ තිස්සේම රන්දෙනිගල සටනේදී මෙන් ආයුධ ගැටෙන හඬවල් ඇගේ කාමරය තුළින් ඇසෙන්නට විය.දර්පණාගේ නියපොතු උගුල්ලා,රෝම කූප සමතලා කොට මුහුණේ කටාරම් කොටා , රෙදි මදින්න තිබුණ ඉස්තිරික්කයෙන් කොණ්ඩේ රැළි ඉවත් කළ වග විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබිණ.

"අනිද්දා" හිතුවාටත් වඩා කලින් උදාවිය.මඟුල් ගෙදර නේක නේක සිරියාවන්ගෙන් බබලන්නට විය.ආරම්භයේ සිටම ඡායාරූප ශිල්පියාගේ හැකියාවන් කාගෙත් සිත් ගන්නා ලදී.හෙතෙම "හොඳ ඈන්ගල්" සොයනු වස් කලිසම උඩට නවාගෙන පොල් ගහකට නැග්ගේය.තලගොයෙක් මෙන් බිම බඩගෑවේය.ජෝඩුව තුන් පාරක් පෝරුවට නංවා දෙපාරක් මුදු පැළැන්දවූයේ කපු මහතාගේ විධායක බලතල අහෝසි කරවමිනි.ජය මංගල ගාථා කීවේ ජෝඩුව කැන්දන් එනවිට වඩිග පටුන(නැටුමේ නම හරියටම දන්නේ නැත.කුලියට ගෙන්නූවේ මිල්ක්වෝර්ම්ස් නර්ථනාගාරයෙනි )  නැටීමටද සිටි කන්‍යාවියන්ය.ඉන් එකියක් වයර් එකේ ධන  රින මාරු වී ළමා සාරිය පිටින් වඩිග පටුන නැටුවාය,වඩිග පටුන කොස්ටියුම් එකෙන්ම පෝරුව ළඟ හිටගත්තාය.
    ජෝඩුව පෝරුවෙන් බැස්සීමෙන් පසු සමූහ ඡායාරූප වලට පෙනී සිටියහ.සෙකන්ඩ් මනමාලියන් සහ මනමාලයන් ජොඩු 4 සහ මල් කුමාර කුමාරියන් ජෝඩු පහ ඒකරේඛීයව සිටුවීමට සාලයේ ඉඩ මදි වීම නිසා අමුතුම කෝනයකට පිරිස සැකසීමට කැමරා මෑන්ට සිදුවිය.හොඳ ප්‍රොපෙසනල් පොරක් ගැනීම නිසා වැඩේ හොඳට ගිය අතර අන්තිමේ මනාල ජොඩුව , සෙකන්ඩ් මනමාලයෙක් සහ මල් කුමාරියකින් රීප්ලේස් වී තිබිණි
තට්ටු අටේ කේක් ගෙඩිය ලාස් වේගාස් වල වාසනාව උරගා බැලීමේ යන්තරයක් මෙන් විය.ජැක්පොට් එක ඇදුනු සමහරු "කේක්" කෑහ.සමහරු රිජිෆෝම් කෑහ.ඉතුරු  අය කේක් එකට ලයික් එකක් දමා ෂෙයා(ර්) කළහ.
කෑම පෝලිමට වේගයෙන්ම දිව ගියේ ෂෙයා(ර්) කළ උදවියයි.බත් තොග සීමිත වූ බැවින් ඉක්මනින්ම අවසන් විය.ප්‍රමාද වීමේ ආදිනව පෙන්වා දෙනු පිණිස සිලින්ඩරාකාර ජටා පැළඳ සිටි කෝකියන් විසින් අමුතුම ආකාරයේ කෑම ලබා දුන්හ.සීයා ඔහුට ලැබුනු සලාද කොළ ,බීට් අල අඩුක් කළ පිපිඤ්ඤා ගෙඩිය දෙකට පළා ඇට ටික ගෙනගොස් වත්ත පහළ සිටවූයේය.සමහරු අයිස් වලින් සෑදී ලොකු ඩොල්පිං මාළුවා දෙස පෙරේතකමෙන් බලා සිටියහ.

ඉන්පසු සියල්ලෝම ඩී.ජේ සංගීතයෙන් මුසපත්ව,නසරානීව මද පවනේ සැලෙන්නට වූහ.සියල්ලෝම සතූටිනි.මට මහත් ආඩම්බරයක් දැනුනි.වියදම ටිකක් සැරය,නමුත් වැඩේ හොඳය.මම ආච්චි මුණගැසී අයවැය වාර්තාවක් සැපයීමි.ආච්චි ප්‍රශ්නයක් ඇසුවාය.
"මෙහෙමද පුතේ දැං ලංකාවේ මගුල් කන්නේ?"
"ඔව් ආච්චියේ මේක තමා ක්‍රමේ..ත්‍රේන්ඩ්"
___________________________(හිස්තැනක්) 
( ආච්චි කිවුවේ කුමක්ද? )

Share:

Oct 31, 2012

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!


"හලෝ ආච්චි"
"උක්කුං පුතේ,අනිද්දාට මුකුත් වැඩක් නෑ නේද? අපේ දර්පණා කෙල්ලගේ මගුල් ගේ "
"එක පාරකුත් කොටහළු උනා නේද දෙදාස් පහේ?බලන්නකො ආච්චි සිද්ද වෙන දේවල් නේහ්?මම මේ ළඟදි සයිට් එහෙක දැක්කා එන්ග්ලෑන්ඩ් වලද කොහ්..."
"නෑ පුතේ දර්පණා කෙල්ල බඳිනවා"
මට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට වුවමනා විය
"දිගු දෑස් දුටුවාම " වීඩියෝවේ "පවන්" මෙන් බිම දන ගසාගෙන අත් දෙකත් ඉදිරියට යොමුකර කට ඇද කොට "දර්පණාආආආආආ" යනුවෙන් කෑ ගසා, දෑසින් ගලන කඳුලු ගංගාවෙන් කාමරය යට කර දමා එහිම ගිලී ජීවිතාරක්ෂක භටයන් පැමිණෙන තෙක් මේස කකුළක එල්ලී සිටීමට සිත්විය.
නැත,එවිට දුරකතනය බිම වැටේ.සෙකන්ඩ් හෑන්ඩ් වුවත්, ගත්තේ ගිය සුමානේය.
ඉක්මන් තීරණ ගැනීම මූල්‍යමය අර්බුදයකට සහ ප්‍රාග්ධන අගයෙහි අවපාතයකට හේතු වේ.මම එක දිගටම කොණ්ඩය රැවුල වවා ,මූණ නොසෝදා සිටීමට තීරණය කළෙමි.එය ලාබය.
මම මේස ලාච්චුව ඇර ඒ තුළ ලොවට හොරා සුරැකිව ගබඩා කොට තිබූ දර්පණාගේ කපු ලේන්සුව ගෙන ඒ මතින් නික්මෙන්නා වූ ,ලොවක් සනහන,නළවන ,කිසිදින, කිසිවිට නොවියැකෙන උත්තරීතර ප්‍රේමයේ ආනන්දනීය සුසුම් ආඝ්‍රාහනය කිරීමට සූදානම් වුවත් ,හොටු ගඳ ඉස්සර වූ හෙයින් හැබෑ ප්‍රේමයට සුවඳක් නැතැයි සිතා සැනසුනෙමි.
නමුදු ඈ අන්සතු වී හමාරය.ඇගේ මුහුණ,ඒ මත තැවරුණු සිනහව ....ඇගේ ලේන්සුව, ඒ මත තැවරුණු හොටු දැන් මගේ නොවේ.සැබෑ ප්‍රේමවන්තයා යනු පරිත්‍යාගශීලියෙකි. මඟුල් ගෙදරට දිවි හිමියෙන් උපකාර කොට, වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රීවරයෙක් දෙස තුටු කඳුළු හෙළමින් බලා සිටින ඡන්ද දායකයෙක් මෙන්, කොහෙවත් යන හාල්පාරුවෙක්ගේ අතේ එල්ලී යන දර්පණා  දෙස බලා සිටීමට මට සිත්විය.වහා ආච්චිගේ ගෙදරට යා යුතුය.කොහොමටත් තවමත් රස්සාවක් නැති හෙයින් සැබෑ ප්‍රේමවන්තයා කෙසේ වෙතත් බයක් සැකක් නැතුව වේල් හත අටක් කෑ හැකිය.
නවීන පහසුකම්වලින් හෙබි සියළු අංගෝපාංග සහිත පොෂ් වෙඩින් එකකට කෙරෙන්නා වූ සූදානමක් දැක එහි අසිරියෙන් මත්වීමට සූදානමින් ගිය මට වෙරි වූයේ "ජය මංගලානී" යනුවෙන් කොටා තිබුණු ගොක් කොළ තොරණ දුටු විටය.ලංකාවේ මගුල් ගෙවල් සියල්ල හොටෙල් වලම ගත යුතු වගට ආණ්ඩුවෙන් චක්‍රලේඛයක් ගෙනාවත්, එය ඉරා දමා කොළ පොට්ටනියක් සාදා එයින්ම ගෙදර තිබෙන බඩු මුට්ටු පිසදා ,වෙඩින් එක ගෙදරම ගන්නා ජාතියේ උත්තම ගනයේ කාන්තාවක් වුවද, ගේ ඉදිරිපිටම ගොක් කොළ තොරණක් ගැසීමට අනුබල දී ඒ සඳහා පිරිස් සංවිධානයෙන් ආච්චි කළ ඇත්තේ මහත් වූ පාපකර්මයකි.

ටකරං මඩු,ක්‍රේප් කොළ,බැලුං බෝල,බුලත් හෙප්පු,ලී පෝරුව (ඒකෙත් ගොක් කොළ ) ...හැමැතැනම ඇත්තේ පරිහානියේ ලක්ෂණය.මම මහත් චිත්ත සංවේගයට පත්වීමි.මේ මට විරහ ගීත කියවෙන ,නොමල් සිංහල මෙගා නාට්‍යයක එපිසෝඩ් එකක් මෙන් වේදනාකාරී වෙඩින් එකක් බව සැබැවි.නමුදු සාම්ප්‍රදායික රාමුවක සිර වූ ,ගතානුගතිකත්වයේ හණ මිටි කියුබ් ගානට ටිපර් වල පටවා ගෙනයන මෙවැනි මගුලක් මාලක බේබිටවත් අත් දකින්න නොලැබේවායි යන්න මගේ පැතුම විය

නැත.මා තවමත් ප්‍රමාද නැත...වෙඩින් එක අනිද්දාය.ආච්චිව සහ ඇගේ මිණිබිරියව ලෝක අපවාදයෙන් මුදවා ගැනීමේ පරම යුතුකම මගේ හදවතේ නැගි ගිනි දල්ලක් මෙන් නැගී දුම් දමන්නට විය.මම ආච්චි මුණ ගැසීමි.මගේ රූපය ඇගේ ඇස ගැටුණු විට ඇගේ සිතේ ඇතිවන්නට ගිය පුදුමය  නිවා දමමින් මම වහා කතා කළෙමි.
"මොකක්ද ආච්චි මේ රට්ටු හිනස්සන වැඩ කරන්නේ?මේක නිකන් රුක්මණී දේවිගෙ වෙඩින් එක වගේනෙ"
"ඇයි මක් වෙලාද උක්කුං? "
"හරි ආච්චි මට කියන්න කෑම බීම කොහොමද?"
"හහ් මේ අහළ පහළ ඕන තරං ගෑණු උදවිය ඉන්නෙ බං"
"දර්පණාගේ ඇඳුම්"
"හන්දියෙ අජදේව ටේලර්ගෙ ගැනිනෙ හැට්ටෙ මැහුවෙ"
"සිංදු?"
"ආආං ඒකටනම් ඔන්න ඔය කොල්ලො කට්ටියකගේ සංගීතයක් ගෙනත් සෙල්ලම් කරනව කිවුවා..ටිකක් සද්ද නැතුව ඉදින්..මේ පැත්තෙන් හීනියට ඇහෙයි උන් පුරුදු වෙන සද්දෙ"
වෙහෙරහේන හුටන්ටන්ට (ඩ්‍රම්ස්) උඩ මළුවට යන්නම්...කියුයෑං ..කියුයෑං  ( කී බෝඩ් )....පේන පේන...ඩිෂ්ටි ඩිටං
මට ඔක්කාරයක් සමග වමනයක් ගියේය..ආච්චි මගේ පිටට තට්ටු කළාය.
"ආච්චි මෙහෙමනම් හරියන්නේ නෑ..වෙඩින් එකක් කිවුවාම මීට වඩා කික් එකක් තියෙන්න ඕනෙ..ආදරය උතුරා ගලා යන්න ඕනෙ..,ඒවා වීදුරුවල පුරවල වෙල්කම් ඩ්‍රින්ක් දෙන්න ඕනෙ...ඩී.ජේ ම්යුසික් ...ප්‍රණීත ආහාරපාන .කොටින්ම එක පාරක් බැන්ද කෙනෙක්ට ආයෙ ආයෙ බඳින්න හිතෙන්න ඕනෙ"


මතු සම්බන්ධයි !

සෙස්ස  දර්පණා විවාහෝත්සව ප්‍රතිජනන ව්‍යාපෘතිය
Share:

Sep 15, 2012

මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )





කෙස් ගස් පැහෙන විට අතරින් පතර
හර අඩු වෙලා පව් ගිණුමේ වැඩියි බැර
සුවඳ කුරු මල් සමඟින් පහන් තිර
අරගෙන ගියෙමි අස්සෙන් තොරණේ මකර

සැදැහැති මුදලාලි උන් කඩයේ පෙට්ටි
අඹ දඹ කෙසෙල් අන්නාසිත් ලොකු කුට්ටි
අහුරා එකට සකසා පළතුරු වට්ටි
දුටුවෙමි බුදුන් වැඳුමට විකුණනා හැටි

එක කකුළකට කළු පැහැ ඩොට් ඩොට් බාටා
අනිත් කකුළෙ ඇත කැන්වස් නිල් පාටා
මව් ගුණ හොරුගෙ සිහිකර හෙමිහිට ගාටා
ආවේ ළඟට එළවළු විකුණන ඇන්ටා

උඩින් ඇවිත් බ්‍රේක් ගැසූ වාහනයේ
දොරක් ඇරී කොල්ලන් රොත්තකි දැමුයේ
සල්ලි සිඟන හැටි උන් ටික නැරඹූයේ
ලේකම්තුමයි ගරු, යාචක සංගමයේ

පෙනුනත් දුරට ගසකැයි මින් පෙර නුදුටූ
බෝ ගස හැඳින ගත් විට ඇති විය සතුටූ
දූවිලි වැදෙන හින්දා බෝ කොළ  දැවටූ
රෙදි ගොඩ දුටිමි රූපද ඇති නයි ,කපුටු

"ඒ" (A) නම් හිමිගෙ ඉල්ලීමක් ඉටු කරදී
"බී "(B)නම් ඇමති දුන් අවසර පරිදි
"සී"(C) නම් මැතිදු ප්‍රතිපාදන ලබා දී
"ඩී"(D) නම් තුමා විත් මුල්ගල යට කර දී
"ඊ"(E)_______________________
"එෆ්"(F)________________________
:
:
:
"වයි "(Y)  නම් තුමා කළ සැළසුම්  පරිදි
"එඒ" (AA) රජුන් සඟරුවනට  බැතින් පිදී   (ඉසෙඩ් Z  නැත )
පඩි තුන හතර බැස්සා පින් ලබා දිදී

ඉන්පසු ගියේ දාගැබ ඇති පෙදෙස කරා
මල් රොන් උරයි එහි මුල්ලක සිටි බඹරා
කෙල්ලෝ ගොඩක් මලසුන ළඟ මුකුළු කරා
කොල්ලෝ ඉඳිති පැත්තක මානන් කැමරා

සොඳ පුත් රුවන මැතිඳුගෙ කළ කිරිමේල (criminal)
කරඬුව හිසින් ගෙනයයි මවමින් සීල
කැපුවත් ඇඟිලි කලකදි අංගුලිමාල
" මහණ උනා" කිව්වා පොලිසියෙ රාළ

බුදුගේ සමිඳු ළඟ සරාගි රැගුම් නගා
සිටියේ තුනකි ඒ තන්හා රතී රගා
මාර දියණි ලෙස හිටියත් දෙමින් නිගා
මේ මදුසිකයි,චම්පා සමඟින් ගංගා

සෙමින් ඇවිත් ආවාසේ නැවැත්තුව
මූණත් පෙනෙන සේ ඔපවත් පැජරෝව
තුළින් බැස්ස බොඩි ගාඩ්ල වට කෙරුව
ලොකු හිමි දුටිමි සැල් පෝනය කන ගාව


බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක එක )








Share:

Sep 2, 2012

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!


මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



"අනේ ආච්චියේ....ඔක්කොම හරි ආච්චියේ ..අනේ යන්න දෙන්න ආච්චියේ"දර්පණා ප්‍රතිබිම්බා කොළ කැබැල්ලක් ආච්චිට පෙන්වමින් විරූපාකාර නැටුමක් පෑවාය.
දර්පණාගේ අතින් උදුරා ගත් කොළය ඉදිරියෙන් අල්ලාගෙන ඇසේ නාභි දුර සීරුමාරු කිරීමට උත්සහ කර එය අසාර්ථක වී අපේක්ෂා භංගත්වයට පත්වූ ආච්චි,
''හනේද කියන්නෙ ඇහැකට වැදිල තියෙන හෙනේක හැටි..මේ උක්කුං පුතේ මේං මේකෙ ලියලා තියෙන්නේ මොකක්ද කියලා මටත් ඇහෙන්ඩ කියෝපංකො''යි කියමින් මට වැඩේ බාර දුන්නාය

"කුමක් හෝ හේතුවකට ආච්චි බැලීමට යාම" යන ක්‍රියාවේ  ප්‍රතික්‍රියාව "ආච්චි මා ලවා කුමක් හෝ වැඩක් කරවාගැනීමය."
පොල් ගස් යෑම,ලැට් වලවල් කැපීම,බිත්තිවල හුණු ගෑම වැනි ක්‍රියාවන්ගෙන් ප්‍රතිපත්තිමය තීරණයක් නිසාවෙන් වැළකී සිටින නිසාත් (බැරි නිසා නොවේය ) මෙවැනි සුළු වැඩක් හෝ කරදීම යුතුකමක් වන නිසාත්,ආච්චි අතේ තිබුණු කොළ කැබැල්ල මා අතට ගත්තේ  කුලපතිතුමා[1] අතින් උපාධි සහතිකය[2] ගත්තාටත් වඩා ආඩම්බරයෙනි.  
"තුම්සේ ප්යාර් කර්තා සාලේ කුත්තේ ..ඕ ඩී සී විනෝද බද්ද වෙනත් අය කිරීම් හා බදු ඇතුළුව නිකුත් කළ දර්ශනයට පමණක් වළංගුය.රුපියල් දෙසීය පණහයි...1088 අවිචාර සිනමා,මලපැන්න .......අබලන් ප්‍රින්ටර්ස්...." 
මම මුල සිට අගටම අඛණ්ඩව කොළය කියවා ආච්චිගේ මුහුණ දෙස බැලුවෙමි.ඒ මුහුණේ කළකිරීමක් සහ මඳ කෝපයක් පින්තාරු වී තිබිණි.මට ඊට හේතුව වහා පැහැදිලි විය.අවුරුදු 25ක් ගෙවිලත් මට ඉංග්‍රීසි අකුරක් කියවා ගත නොහැකියැයි ඈ සිතමින් සිටී


."ඩිස් ටික්කෙට් ඊස් වලිඩ් ඔන්ලි ෆොර් ද සෝ ඔෆ් ......"ආච්චි මගේ චතුර ඉංග්‍රීසි කථනය වසා දැමුවේ අප අයි.ටී.එන් නිවුස් වහනවාටත් වඩා වේගයෙනි
"බොල මේ බයිස්කෝප් ටිකැට් එකක් නේද ?ඇයි උඹ ඉගෙනගෙන ඉවරද බයිස්කෝප් බලන්ඩ?"
''ඉගෙනගන්නවා කියන්නේ මොකක්ද ආච්චි"දර්පණාගේ මුහුණේ විශ්මයාර්දී ලකුණක් (!) මතුවිය. 
"මොකක් හරි ඔය දහ ජරාව බලන්ඩ යන්නනම් මම දෙන්නෙ නෑ නෑමයි" 
"මම විරුද්ධයි ස්වාමී..නෑ ආච්චි..."මම එකහෙළාම කියා සිටියෙමි.
"හින්දි චිත්‍රපටිය වනාහී හුදෙක් රසිකයා පිනවන මාධ්‍යයක් නොව එය ප්‍රේක්ෂක රසංඥතාවයන්හී  හිනිපෙත්තෙහි වැජඹෙන්නා වූද,ආනන්දයෙන් ප්‍රර්ක්..."සාමාන්‍යයෙන් තිබිය යුතු ස්ථානයෙන් වෙනත් ස්ථානයකට සංක්‍රමනය වූ හක්ක යථා තත්වයට පත් කිරීමට දර්පණා මෙනෙවිය අත දිග හැර ගැසූ කම්මුල් පාරට ඈ වෙනුවෙන් කතා කිරීම නිසා හිතේ ඇතිවූ ප්‍රීතියද කළවම් වී තිබිණි.


ගින්නෙන් නැගිටින පීනික්ස් පක්සියෙක් මෙන් මම නැවත මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ආරම්භ කළේ පුපුරු ගහන කම්මුලද විහින්ම පිරිමැද ගනිමිනි."ආච්චි,හින්දි චිත්‍රපටි කියන්නේ හෙළ සභ්‍යත්වය ,සංස්කෘතියෙන් අපගමනය වන්නා වූ ප්‍රපංචයක් නොව සමාජ සත්වයෙක් වශයෙන් මනුශ්‍ය‍යාට ස්වකීය පාරිශුද්ධීය පැවැත්ම රැකගනු වස් භාවිත කළ හැකි සාරධර්ම වගාවට එරෙහි වන්නා වූ කෘමීන් එක තැන වනසා ලිය හැක්කා වූ...."
"හැක් හැක් ඒවා කොහෙද මාත් එක්ක.. අපේ වගාව වනසන කෘමීන්ට මෙදා පොටේ  ගහන්නේ  "හුටාස් නයින් පොයින්ට් සෙවන්" ත්‍රිකෝණයකාර නාන ඇඳුමක් පැළඳගෙන ,උදැල්ලත් කරේ තබාගෙන එතැනට පැමිණි සීයා අනුග්‍රාහක බවතාගේ කාරිය ඉෂ්ඨ කොට පිටව ගියේය.
"ඉතින් පුතේ ඔය ඔක්කොම ඔවෑන් කරන්නෙ කොහොමද?"
"අන්න ඒකනෙ ආච්චි කියන්නේ..විස්වකර්ම...විස්වකර්ම...නෝමල් හින්දි පිල්ම් එකක ඉන්නවා... හීනියට පොද ගහන වැස්සේ හීතල හුළඟෙන් පෙඟි පෙඟි, ලස්සන ලස්සන නිල් පාට ,රතු පාට සෝස පාට මල් ගහක් යට ......."දර්පණාගේ මුහුණේ මේකප් එක පසාරු කරගෙන ප්‍රේමය ගලන්නට විය.
"මල් ගහක් යට එකට තුරුළු වෙලා "......ෂාආආආ
"එක පොදියට නළියන හැකැරැල්ලො දෙන්නෙක් වගේ....."...චටාස්....ඒ කම්මුල් පාර ආච්චිගෙනි.
"හරි...ඔහොම කපල් එකක් ඉන්නවා..ඒ ඇරුණාම දුස්ටයොත් ඉන්නවා.ඒගොල්ලො කරන්නෙ නරක වැඩ.හොරෙන් කුරුම්බ කඩනවා,සල්ලිවලට බූරුව ගහනවා ඒ වගේ..."
දර්පණා මයික්‍රෆෝනය අතට ගත්තාය."අර ගෑනු ළමයයි පිරිමි ළමයයි ප්‍රේමයෙන් වෙළි වෙළි ඉන්නවා.දුස්ට එක්කෙනා ඒගොල්ලො සන්තෝසෙන් ඉන්නව දකින්න කැමති නෑ.කොච්චරවාත් වලි දානවා..ඩිසුම් ඩිසුම් ..ගාලා වෙඩි තියනවා..දඩස් බඩස් ගාලා ගෙවල් කුඩු කරනවා..චටස් පටස් ගාලා ගුටි බැට දීගන්නවා" දර්පණා ඇගේ කතාවට යතාර්ථය මුසු කරනු පිණිස "චටාස්" හඬින් තුන්වෙනි කම්මුල් පාරත් මට පරිත්‍යාග කළාය.
"ඉතින් පුතේ අර ජෝඩුවට සැනසිල්ලක් නැතුව ඇතිනෙ?"
"ඒක නේන්නං..ජෝඩුවට විතරක්යැ ආච්චි හැමෝටම එකයි.කුඩු විකුණනවා,ගෑණු අනාත කරනවා..ලොක්කොත් හොඳට සපෝට්...හැමතැනම බීසනය""මේ ඔක්කොම සුන්නදූලි කරලා දාන්න කොල්ලා තමයි ඉස්සරහට එන්නේ"
 "ඕන්න එකෙක් නැති වෙන්න සුන් කරල දැම්මා'' එවිටම සීයා ගෙට ඇතුල් වූයේය.
"ඊට පස්සෙ දුස්ටයා කොල්ලා ඉවර කරන්න තමා ට්‍රයි එක...කෙල්ලව උස්සනවා.බ්ලැක්මේල් කරනවා...රී සයිකල් කරනවා..හැම තිස්සෙම කොල්ල නවත්තන්න හදන්නෙ"
"කිරි අප්පුච්චියේ පුතේ ඉතින් ඉතින්?"සීයාට කතාවේ අගක් මුලක් නොතේරුනත් ප්‍රශ්නයක් ඇසීමට සිත් වී ඇත."ඔය අපේ සාගතසිංහගේ කෙල්ල ගැන නේද කියන්නේ?"
"කොච්චර බයානක දේවල් තිබ්බත් අතරමඟ හොඳට ජෝකුත් තියෙනවා..ඒ ජෝක් තියෙන හින්දා තමා බලන ඈයින්ට දුස්ටයගෙ දුස්ටකං අමතක වෙලා යන්නේ" දර්පණා කතාව නැවැත්තුවේ නැත.
ඉන්පසු මම ඩියුටිය බාර ගතිමි.
"දුස්ටයගෙ දුස්ටකං දරා ගන්න බැරි තැන කොල්ලා ගේමට බැස්සනේ..ඊට පස්සෙ ආයෙත් වලි.කොල්ලා ගුටි කන විදියට හිතෙන්නෙ ඌ ඉතුරු වෙන එකක් නෑ කියලා.ඒත් ආයෙ නැගිටල දුස්ටයට නෙළනවා..නෙළලා නෙළලා පැත්තකින් අඩුක් කරල එහෙම කිඩ්නැප් කරපු කෙල්ලවත් ගලවගෙන ඒකි ළඟට හීන් සීරුවෙ ළං වෙනවා.කෙල්ලගෙ ඇස් බාගෙට පියවෙනවා..කොල්ලගෙ කකුල් දෙක වෙවුලන්න ගන්නවා.."මම දර්පණාට ළං වුනෙමි.
"ඒ පාර මොකද උඹල දෙන්නා"
"ආආආන්න එතකොට"මම ජය ඝෝෂාවක් නැගුවෙමි.
"බිම වැටිල හිටපු දුස්ටයා නැගිටිනවා..ඉස්සරහට පනිද්දිම දුස්ටයා  කුඩු වෙන්ඩ වෙඩි තියනවා"
"කොල්ලා?" ඒ ආච්චිය.
"කෙල්ල?" සීයා
"නෑ ..නෑ මුලින් මේ ප්‍රේම සම්බන්ධෙට විරුද්ද වෙච්ච කෙල්ලගේ අයියා.."දර්පණා
"කොහෙනද බොල අයියෙක් ගැවුනේ ඒ පාර?"
"අන්න ඒක තමා ආච්චි හින්දි පිල්ම් වල තියෙන විසේසත්වෙ..ඊළඟට මොකක් වෙන්වද දන්නේ නෑ.කුතුහලය"
ආච්චි කතා කළාය."අනේ මන්ද මගේ ඔළුවත් විකාර වෙලා..බීසනයයි,දුස්ටයයි,කුතුහලයයි,කොල්ලයි" ඉන්පසු ටික වෙලාවක් කල්පනා කළාය.ආච්චිගේ මෙවැනි නිශ්ශබ්දතා ඉතා භයානකය.
"ඒක නෙවේ අපරාදෙනෙ දර්පණා දුවේ උඹ ඔච්චර ගෙවලා ටිකැට් එකක් ගත්තෙ..හවසට ටී.වී එකේ ප්‍රවුර්ති බැලුවනම් ඉවරනෙ"
 නැත කතාව භයානක නැත.මෝඩ කතාවකි.
"ලංකාවම හින්දි චිත්තරපටියක් වගේ තමා බන්...ඔක්කෝම ඉන්නවා.කොල්ලා තමා හොයාගන්න නැත්තේ"

~නිමි~

[1] කුලපතිතුමා -"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනවල මුල තනතුර හෙබවූ පුද්ගලයායි.

[2] උපාධි සහතිකය"විශ්ව විද්‍යාල" නමින් පෙර දවස හැඳින්වූ ආයතනයක් මඟින් ,යම් විෂ‍යය ක්ෂෙත්‍රයක පරිසාදනයෙහිලා,යම් ශිෂ්‍යයෙකු වෙත පිරිනමනු ලබන ලියවිල්ලකි. 


Share: