Jan 31, 2013

ඩිජිටල් ප්‍රින්ටින්(ග්) | Digital Printing

(කලකට ඉහතදී පින්තාරු වූ යන්තර යෙහි පළකරන ලද්දකි)



ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක්‌ දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය.
නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය.

''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?''

''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න''

පිළිතුරක් නැත.
ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය .


''අ''

කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!.
ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය.

"කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?''

මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.

''හිතන තරං ඉක්මනටනම් අමාරුයි මහත්තයෝ ..මොකෝ හීන් සීරුවේ කරන්න එපෑ.වැරදුනොත් මකන්න කියලය ?''

''ඔව් නේන්නම්  ''

හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.


''නි''

තවත් අකුරක් හමාරය.අකුරෙන් අකුර වචනයක් ,වචන ගොඩකින් වාක්‍යයක් !!
මම ඔහු සිටි කුටියෙන් එළියට අඩි කිහිපයක් ඇවිද ගියෙමි.කලින් විසිකළ සිගරැට් කොටය ඇස ගැටිණ.දැන් එය සිදුවී හමාරය .පසුතැවීම නොහොබී.
එක් වරක් පාර දෙසද බැලුවෙමි .බසය දැන්ම එන පාටක්නම් නැත. 
කාන්සියට ඇස් එහෙ මෙහෙ හරවද්දී, ලණු වල ආධාරයෙන් පාර හරහා එල්ලා තිබුණු දැවැන්ත බැනරයක් දුටිමි.


''අනිච්චාවත සංඛාරා''

අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
දන්නා කියන කෙනෙක් නොවේ.

''ගමට ඇවිල්ලත් මාසයයි.කොහොමද හැම මිනිහම දැනගන්නේ ''

මම මටම සිනාසුනෙමි.
ඒහාත් සමගම සිනාසිය හැකි තවත් කාරණයක් සිහියට නැගුණි.


''බැනරය'!!'

''ඩිජිටල් ප්‍රින්ටින්''

මගේ හිතේ අර මිනිසා ගැන අනුකම්පාවක් ඇති විය.අමුතුම කලාවක්,රටාවක් ,තාලයක් ඇති බව සැබෑය.නමුත් මෙතරම් වෙලාවක් නාස්ති කර අඳින පරණ තාලේ බැනරයත් ,මේ ඩිජිටල් බැනරයත් අතර වෙනස!!!
මට නැවතත් ඔහුව බැලීමට වුවමනා විය.

''තාම මිනිස්සු මෙතනින් බැනර් ඇඳගන්න එනවද ලොකු උන්නැහේ?''

උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.

''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''

ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.

''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.

නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.

''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''

''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?

''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''

නිශ්ශබ්දතාවයකි
මා බලාපොරොත්තු වූයේ මීට වඩා දිග පිළිතුරකි.නමුත් ඔහු කතා කරන පාටක් නැත.මිනිහගේ හිත රිදුනද දන්නෙත් නෑ.
මද වේලාවක් ගත විය.මම ඔහුට පිටුපා සිටගත්තෙමි.මෙවර මගේ කාන්සිය දුරු කළේ ජංගම දුරකතනයයි.

තවත් විනාඩි කිහිපයක් ගත විය.
මගේ පිටුපසින් නැවතත් පුරුදු කටහඬ ඇසුණි.

"තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි 
තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද?"

ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.

''අනිච්චාවත සංඛාරා'' 





image from -http://thewritepractice.com/wp-content/uploads/2011/08/Dead-Body-Chalk-Outline.jpg
Share:

Jan 29, 2013

මම පොස් කොල්ලෙක්මි | I am a pos gay











කිරි අප්පට බල්ලො පැනපි
      ගැටය අයියා
         ඉතින් ඉතින්?
    මල්ලක් පුරෝල බඩු
   කඩේ ගියාද?


යො යෝ මචෝ වස්සප් ඩුඩේ           
හව් යූ ඩුයින් මයි බ්‍රෝ ටුඩේ             
හූ ඉස් "ගැටයා" සම්වන් ගොඩේ?     
අයි ගෝ ෆුඩ් සිටි නොට් ටු ද කඩේ   

                     yo yo macho wat's up dude
                     how you doin' my bro today
                     who is "getaya" someone godey?
                     I go food city not to the kadey

ඉතින් ගැටයා අයියා
               කොහොමද මෙහෙ ජීවිතේ
          හෙන සරුයි වගේ ඇහ්


යූ බ්ලඩි ඉඩියට් අයි සෙඩ් වන්ස්             
අයි නොට් ගැටයා අයෑම් ගැට්ස්               
රූලින් දිස් සිටි ලයික් ද බොස්                 
පීපල් සේ දැට් අයැම් අ පොස්                 

                                            you bloody idiot i said once
                                            I not getaya I am gatZ
                                            rulin' this city like the boss
                                            people say that I am a posh




සම්ඩේ අයි ගෝ බුක්ෂොප් සරසවි            
නොට් ගෙට් සිංහල නවලුත් සහ කවි         
බයි ඉන්ග්ලිශ් බුක් වටයක් කරකැවි          
ඩූ නොට් රීඩ් ඉට් ඉන්ග්ලිශ් ටූ හෙවි           

                                            Someday I go book shop Sarasavi
                                            Not get Sinhala navaluth saha kavi
                                            Buy English book watayak karakawi
                                            do not read it English too heavy


සන්ග්ලාසස් ඇත ටොයිලට් එකටත්       
අයෑම් සෝ හොට් කොතනින් බැලුවත්  
ලයික්ස් මෙනි මෙනි  උදවිය බවලත්     
මයි ප්‍රොෆයිල් පික් ප්‍රිටි මච් බලවත්      

                                              Sunglasses etha toilet ekatath
                                              I am so hot kothanin baluwath
                                              Likes many many udhawiya bawalath
                                              My profile pic pretty much balawath



ගැටිස්ස අයියෙ..
     අපේ ගමේ වී ගොයිතැන් කරල හරියන්නෙ නෑ
 අපි මේ බැලුවෙ කොස් ,දෙල් ටිකක් වත් මෙහාට ගෙනල්ල විකුණගන්න


වට් යූ ජස්ට් සෙඩ් ,ඉස් දැට් කොස්?      
කොස් ඉස් ගුඩ් බට් කැලරිස් ලෙස්        
ෆුඩ් ඉස් චයිනිස් පිට්සා විත් මස්         
පොස් පීපල් ආ ඊටින් ගුඩ්නස්               


                                                       What you just said ,is that kos?
                                                                                   kos is good but  calories less
                                                       fooddha chinese pitzza with mas
                                                       posh people are eating goodness


උඹ ආයෙ ගමට එන්නෙ නැද්ද ගැටිස්ස අයියෙ?
ඕං එන සුමානෙ "ස" ප්‍රසංගෙ එනවා ඉස්කෝලෙ හෝල් එකට ,බලන්ඩ යන්? වික්ටර් රත්නායකනෙ..උඹ ඒ දවස්වලත් ආසයිනෙ


ඩස් දැට් වික්ටර් ප්ලේ රොක් මියුසික්?                      
ඉස් දෙය(ර්) හිප් හොප් වට් ඩූ යූ තින්ක්?                 
ෂැල් වී ගෝ විත් ඇලොකොහොලික් ඩ්‍රින්ක්              
වී ගොන සික් ඇන්ඩ් පාටිය ගොන රොක්                    

                                              Does that Victor play rock music? 
                                              Is there hiphop what do you think?
                                              Shall we go with alcoholic drink? 
                                              We gonna sick and paatiya gonna rock



ඉවරයි



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයිබස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගයමකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??
ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්





27 වැනිදා ගම්පහට ආ බ්ලොග්කාරයන්ට
උඹලා එළය
අනිත් එවුනුත් එළ (සෙන්නාගේ හිත හැදීමට කිවුවෙ )


( ඡායාරූපය බුකියෙනි )
Share:

Jan 17, 2013

දයාබර උකුණෝ , උඹලත් ගියාද?


වෙනද               හරියට කසන කොණ්ඩේ
නොමඳ              සුවයෙන් තිබෙනු දැනිලා
මොකද              කියලා ළංව බැලු සඳ
එකද                  උකුණෙක් නොමැත හිස මත

ෂැම්පු ගොඩකට ගෙවන මුදලම
ඉතුරු වේ යැයි මතක් වූවද
මෙලසෙ ඇති වූ විපරියාසෙට
හේතු සොයනට ආපි කුතුහල


ජොබට නේනා බවට දන්වා
බොසුට අමතා ෆෝනයෙන්
(තතික දුංධතඃ තරික තෙයියත් තෙයිත තානම් තානෙනා)
සාලෙ මැද්දේ අසුන් පනවා
එමත හිඳගමි පහසුවෙන්



මෙනෙහි කරමන් දුරාතීතය, ඔහේ දුවනා චිත්ත                      යේ
ජවනිකා පෙළගැසී ඇඳිලා මැකී යන්නේ එසැණ                    යේ
ගුල්ලො ගහලා සිදුරු වී ඇති හීන පිරවූ ගෝනි                        යේ
හීන රොත්තක් සුසුම් හෙළමින් හිටපු ගෝනිය හැරගි              යේ

ගිනි වැදුනු හිස් මුදුන මතුපිට
ඉන්ට විදියක් ඇත්තෙ නැති වග
දැනුනු කල්හී උකුණු පිරිවර
හොයා ගොස් ඇත කූල් ඔළුවක් 

දිවට දිව ගා හිටපු ඈයොත්
පැදුර අකුලන් යන්ට යද්දී
සැපට සැප දී තිබුන දිවියත්
අතැර ගස්සන් වෙන්ව යද්දී
         යසට ලේ බී, ඇවිද ඔලුවෙත්
         උන්නු උකුණෝ යන්ට යෑමත්
         පුදුමයක්යැ?........................වන්..ටූ..ත්‍රී ..ෆෝ....පුදුමයක්යැ?

දයාබර උකුණෝ
උඹලත් ගියාද?



හුදෙක් විනෝදාස්වාදය සඳහාය
සිරා නොගන්න



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!

උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයි
බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය
මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )
මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්
වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??

ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්

Share:

Jan 16, 2013

ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් !


ආච්චිගේ නිවසට සැපත් වූ එඩින්බරෝ ආදිපාදයාගේ නිල රථය සීයාගේ ගස්ලබු පැළ දෙකක් සහ මිරිස් පාත්තියද යට කරමින් නිසල විය.

කොන්පියුස්ඩ්?--

-ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !


සිය ජීවිතයේ භාරදූරම කර්තව්‍ය මෙන්ම ජීවිතයේ පරමාර්ථයද වන "කෑම පිසීමේ " සද්කාර්යය ඉටුකරනු වස් ආච්චී පිටව ගියාය.නැවත වතාවක් වාහනයේ ෆුට් බෝඩ් එකේ සිට බිම් මට්ටමට බොහෝ දුරක් ඇති බව අමතක වීම හේතුවෙන් මිරිස් පාත්තියට පතනය වූ මගේ ශරීරය ඇදුම් කන්නට විය.
වෙඩි වැදුනත් ආයෙ ආයෙත් නැගිටින ටර්මිනේටර් චිත්‍රපටියේ අනෝල්ඩ් ස්වාසලිංගම් නේගර්  මහතා මෙන් මමත් මිරිස් පාත්තිය තුළින් නැගී සිටිත්ම කන ළඟින් "ට්‍රිලිං..ට්‍රිලිං" හඬක්  ඇසෙන්නට විය.
අවේලාවේ එන පත්තරකාරයාය.


"ඩූ යූ හැස් සන්ඩේ ඔබ්සවේටර්  ?" මම ළඟට ගොස් ඇසුවෙමි.

"වට්? වී ඩෝන්ඩ් හෑවු දැට් කයින්ඩ් ඔෆ් නිවුස් පේපර්ස් ඇට් ද මෝමන්ට් සර්.වුඩ් යූ ලයික් ටු බයි අනදර් වන්.ආඩ් බී හැපි ටු හෙල්ප් යූ "

පත්තරකාර කොළුවා පත්තර ගොඩ තුළ සඟවා තිබුනු කඩුවක් එළියට ගෙන එහි මුවහත් ප්‍රදර්ශනය .කර සාම්ප්‍රදායික කඩු හරඹයක් පෑවේය.සීයාත් එතැනට දුවගෙන ආවේ එළුවන්ට කොස් කොළ කපන්නට ගෙනා කැත්තද උස්සාගෙනය.

"ඔන්න ඔහෙ තියෙන එකක් දෙනවා "
මම සීයාගේ අතේ තිබුණු කැත්ත උදුරාගෙන කඩුවට එරෙහි දේශමාමක බලවේග ප්‍රතිස්ථාපනය කළෙමි.


ටිකකින් පත්තරකාරයා පිටව ගියේය
සීයා කොස් කොළ කපන්නට ගියේය.
මම පත්තරකාරයාගෙන් ලැබුණු සිරිකත පත්තරයද ගෙන නිවසට ඇතුළු වීමි.
එහි වූ සාරගර්භ ලිපි තුළ අතරමන් වී නන්නත්තාර වූ මට වෙලාව ගතවනු දැනුනේ නැත.ආච්චී පිටිපස්සෙන් පැමිණ මා කියවන්නේ කුමක්දැයි බලා සිටින වගද දැනුනේම නැත.

"හනේ හනේ උක්කුං උඹ ලොකු වැඩම තමා කරන්නෙ එහෙනම් ?"
ආච්චිගේ වචන වලට ඈ අඹරන ලුණු මිරිසේ ,මිරිස්ද ඇඹරැල්ලා හොද්දේ ,ඇඹුලද කළවම් වී තිබිණ

"ඇ..මො..මොකක්ද ආච්චි "

"බලපිය ඔය කියෝන පත්තරේ තියෙන එක."ගැබිණි මාතාවකගේ පෝසණය සහ පොඩිත්තා ජනප්‍රිය පාසලකට දැමීම "  අනෙහ් මගෙ කට "

"නැ..නැහ් ආච්චි මං "

"උඹට කියන්ඩ බැරි උනා නේද මට ..." ආච්චී මට එරෙහි දෝශාභියෝගය සම්මත කර ගැනීමට වැඩි ඡන්ද සොයනු වස් සීයාගේ ආධාරය පතා දිව ගියාය.

"මේ ඇහුනද..................."

"අනෙ නෑ ආච්චි ඒක නෙවේ..මං මේ ප්‍රෙහෙළිකාවක් පුරෝ පුරෝ හිටියෙ "

"මොකක් ?" ඈ පත්තරයට එබී බලා එහි කොනක තිබුනු පුංචි කොටු කොටු ප්‍රෙහෙළිකාව දැක පශ්චත්තාපයට පත් වූවාය.


"අනේ මන්දා ඔය චුට්ටං අකුරු පේන් නෑ උක්කුං පුතේ...පොඩ්ඩක් කියවහංකො "




"ලේසිම එකේ ඉඳන් යං ආච්චි..5 පහළට

මානසික රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන ස්ථානයයි 

ආච්චිත් මමත් කම්මුලට අත තබාගෙන කල්පනා සාගරයේ පිහිනන්නට වීමු.එහිම ගිලෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය වැළැක්වූයේ නුදුරින්ම ඇසෙන්නට වූ කුකුල් රැලක මළ ඇඬියාවයි.ඒ හාත් සමඟම සාලය මැඳින් අප සිටින තැනට මීටර් සීය දුවගෙන පැමිණි සීයා ,ඉස්සරහ දොර ළඟදී තුන් පිම්ම පැනීමට සූදානම් වත්ම ආච්චී විසිල් එක ගැසුවාය.

"කොහෙදෑ ඔය දුවන්නේ? "

"කුකුල් කොටුවට ගැරඬියෙක් පැනලද කොහෙද"

මට එක්වරම විඥානය පහළ විය.

"හරි ආච්චි හරි උත්තරේ හොයාගත්තා..කොටුව කොටුව"

"කුකුල් කොටුව? ඔව් උනුත් මානසික රෝගියො තමා එක අතකට බිත්තරත් දීලා මසුත් දෙන්නෙ"

"නෑ නෑ ආච්චි පිස්සන් කොටුව..උත්තරේ "

එතෙක් පත්තර පිටුව මත තිබූ ආච්චිගේ චිත්ත ඒකාග්‍රතාවය ඉන් මිදී ,සීයා අත තිබුණු බූමිතෙල් බෝතලයට සංක්‍රමණය විය.

"ඔහේ ඔය බූමිතෙල් ටික අරන් යන්නෙ මොකටෙයි? "

"ගැරඬියා එළවන්නෙ නැතෙයි?"

"ලිපට දාන්න බූමිතෙල් ඕන නැතෙයි? ඔහේට දවල්ට කන්න ඕන නැතෙයි "

 ආච්චී ගිනි කූරක් ගසා බූමිතෙල් බෝතලය දෙසට විසිකොට යුද ගිනි ඇවිලුවාය. මැද පෙරදිග ගාසා තීරයේ මෙන් සටන් ඇවිලෙන්නට වූ තැන මම ප්‍රෙහෙළිකාවේ 4 පහලට පිරෙවුවෙමි

"සටන් යන්නට සමාන වචනයක්"
"වලි"

7 හරහට

දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඒකරාශී වන නීති සම්පාදනය කරන මණ්ඩලයයි/ ස්ථානයයි 

"එහෙම දේවලුත් වෙන තැන් තියෙනවද ආච්චියෙ?"

අකුරු හතකින් සමන්විත වචනය කුමක්දැයි සොයාගැනීමේ පරම චේතනාවෙන් සත්‍ය ගවේශනයේ යෙදුනු ආච්චී දුරකතන ඇමතුමක් ගෙන දර්පණාගෙන් පවා ඒ ගැන විමසුවාය.ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට දර්පණා, සුජාත දියණි පහුගිය එපිසෝඩ් එක ගැන කතා කිරීම ආරම්භ කළ නිසා මම ,ඒ වන විට ආච්චිගේ අත් අඩංගුවට පත්වී තිබුන බූමිතෙල් බෝතලය උදුරාගෙන දුරකතනයට හළා එය ගිනි තැබීමෙන් කරන්නට ගිය  ත්‍රස්තවාදී ක්‍රියාව වැළකුනේ සීයාගේ මැදිහත්වීමෙනි.
ආයුධ බිම තබා යටත් වී සිටි සීයා නැවත කුකුල් කොටුවේ යුධ පෙරමුණට යාමට සුළු මොහොතකට පෙර අප හා අදහස් දක්වමින් පවසා සිටියේ මෙතෙක් ලැබී ඇති දත්ත හා තොරතුරු වලට අනුව දේශාපාලන පක්ෂවල නියෝජිතයන් ඒකරාශී වන තැනක් නම් එය "අපාය" විය හැකි බවය.

නමුත් 7 හරහට අකුරු හතක් ඇති බවත් එවැනි තැනකට "අපාය" වැනි අකුරු තුනක වචනයක් යෙදීම ප්‍රෙහෙළිකා මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවට තර්ක කළ ආච්චී බණ පොත් රාශියක් පෙරලා 'අකුරු හතක සතර අපායක්' පිළිබඳවද තොරතුරු සොයා බැලුවාය.ප්‍රතිඵලය අසතුටුදායක වූ තැන ආච්චී සිය විචක්ෂණ ඤාණය යොදවා ප්‍රෙහෙළිකාව විමසුවාය.

"උක්කුං ,ඔය කියන වචනෙ අහළ පහළ තියෙන අනිත් වචන මොනවද පුතේ "

මම වහා ප්‍රෙහෙළිකාව දෙස බැලුවෙමි

"පිස්සන් කොටුව ,වලි "

"හරි පුතේ උත්තරේ පාර්ලිමේන්තුව "

2 පහළට ත් ඉතා පහසු විය ..ඒය හිස්තැන් පිරවීමකි
ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයෙක් කුඩා දැරියක් _____ කර තිබේ.නඩු නැත.අපරාධකරු නිදැල්ලේ.

මම වචන කිහිපයක් යෝජනා කළෙමි.
කුඩා දැරියක් නස්න කර තිබේ
කුඩා දැරියක් සනීප කර තිබේ
කුඩා දැරියක් විභාග කර තිබේ

අවසානයේ රට යන අත ගැන මනා විග්‍රහයක් කළ ආච්චී වඩාත් සුදුසුම වචන ලෙස "දූෂ්‍ය" තේරුවාය
ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයෙක් කුඩා දැරියක් දූෂ්‍ය කර තිබේ.නඩු නැත.අපරාධකරු නිදැල්ලේ.


3 පහළට
යමක් දේශපාලනයට නතු කර ගැනීමේ ක්‍රියාදාමයයි.

වචනයේ අකුරු නමයෙන් 3ක්ම පිරවී අවසන්ය."දේ" යන්නෙන් පටන් ගන්නා නිසා "දේශපාලන " කෑල්ලක් තිබිය යුතුමය. ඉතිරියත් ඉක්මනින්ම පිරෙවුවෙමි

"දේශපාලනීකරණය"

ආච්චී මගේ ඔළුව අතගා හාද්දක් දුන්නාය.


1 හරහට

ජනතා සුබ සිද්ධිය සළසනු පිණිස , ආණ්ඩුවක මුල් තනතුරක් හොබවන තැනැත්තායි

  සිය අවුරුදු 70ක ජීවිත කාලය තුළ එවැනි කවුරුන් ගැන හෝ අසා නැති වග දළදා හාමුදුරුවන්ගේ නාමයෙන් දිවුරූ ආච්චී අකුරු හත පිරවීම පිණිස  "කවුදබොලඒකා"ලෙසින් සිංහල භාෂාවට නව වචනයක් එකතු කළත් , කලින් මෙන්ම අහළ පහළ වචන වලට නෙත් හෙළීමටද මදක් නැවතුනෙමු. ළඟින්ම තිබුණේ "දූෂ්‍ය " යන වචනයයි.මඳ වේලාවකින් ආච්චී "අමාත්‍යවරයා " යන වචනය යෝජනා කළ අතර මම එම යෝජනාව ස්ථීර කොට සබා සම්මත කළෙමි.

දැන් වැඩේ බොහෝ දුරට අවසානය.ඉතිරිව ඇත්තේ වචන දෙකක් පමණි.

1 පහළට

සාධාරණ හා ධර්මිෂ්ඨ වීමේ ගුණයයි.මෙය පසිඳලනු පිණිස රටක උසාවි පිහිටුවා ඇත.

ඉතා අපහසු වචනයකි.මෙය කල්පනා කිරීම ඉතා අපහසු වන අතර එය ආච්චිගේ බත රොස් වීමට හා මට බඬගින්නේ සිටිමට මුල් වන්නක් විය හැක.කාන්සිය නිවා ගනු පිණිස මම රූපවාහිනිය ක්‍රියාතමක කොට අයි.ටී.එන් හසු නොවීමට හැකි සියළුම පූර්වෝපායන් ගත්තෙමි.එක්වරම යම් නාලිකාවකින් කඩුවක් අතින් ගත් රොඩ්නි වර්ණකූල මතු විය.

"යුක්තිගරුක අතීතයට කැන්දන් යමි මම......"

"ආච්චියේ උත්තරේ හම්බුනෝ " මම කෑගැසුවෙමි "යුක්තිය යුක්තිය "

වහා පෑන අතට ගත් මම එය පිරවීමට උත්සාහ කළෙමි

"පොඩි අවුලක් ආච්චියේ ඒත්"

"මොකෑ පුතේ? "

"මම 'යුක්තිය' පිරෙවුවට වැඩක් නෑ ආච්චියෙ උඩින් ඉන්න අමාත්‍යවරයා ඒක 'අයුක්තිය' කරනවනෙ "

"ඉතින් ඇත්ත නේන්නං පුතේ ,ඕකනෙ වෙන්නෙ ..අපි අනිත් එකත් පුරෝලාම දාමු ඔන්න ඔහේ "

6 හරහට

යම්කිසි රටක මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් පාලනය පිණිස පිහිටුවා තිබෙන රෙගුලාසි පද්ධතියයි.මෙය පිහිටුවීම සහ පවත්වාගැනීම රටක ආණ්ඩුවක වගකීම වන අතර සෑම පුරවැසියෙක්ම මීට යටත්ය.

උත්තරය ඉතා පහසු එකකි
"උත්තරේ 'නීතිය' "යයි කියූ ආච්චි නැවත කුස්සිය දෙසට ගමන් ඇරඹුවාය.
එය සටහන් කිරීමට උත්සහ කිරීමේදි තවත් ප්‍රශ්නයකි
"ඒ පාර මොකක්ද උක්කුං ? "

"'නීතිය' ලියන්න ඉඩ මදි ආච්චි ..




එක පැත්තකින් 'දූෂ්‍ය' වෙලා
උඩින් 'පාර්ලිමේන්තුව'
ළඟ පාතින්ම 'අමාත්‍යවරයා'
ඊටත් වඩා 'දේශපාලණීකරණය' හරස් වෙලා




Share:

Dec 31, 2012

"හෙණ ගහන අලුත් අවුරුද්දක් ! " ,ඔබ සැමට



මායාවරුන්ගේ මායාව නිසා කිසිලෙසකවත් එතැයි නොහිතූ වර්ෂ දෙදහස් දහතුන දැන් ගේ දොරකඩය. දොරට තට්ටුව දැමීමට ,
පෙර සීනුව නාද කිරීමට පෙර 
අපි සූදානම් වෙමු

අලුත් ඇඳුම්
බිත්තියට අලුත් කැලැන්ඩරයක්
අලුත් ඩයරියක්

දෙදාස් දහතුන මුණගැසුණු පසු කීමට දුක් ගැනවිලිද බොහොමයකි.ඒ දෙදහස් දොළහ අපට කළ නොපනත්කම්,කරදර,පාඩු ,පාත් කළ හෙණගෙඩි ගැනය.

එවැනි දෑ දෙදහස් දහතුන අපට නොකරාවියයි අපි විශ්වාස කරමු.
අපිව නොහඬවාවියයි,
   හඬන්න සිටින අපේ ඇස්වලට ඇඟිල්ලෙන් නොඅනීවියැයි විශ්වාස කරමු
බලාපොරොත්තු සුන්ව වියළී ගිය හදවත් බිම්වලට අනෝරා වැසි වස්සවාවියයි 

හිනා වියැකී ගිය මූණු කඩදාසිවල හිනාවන් පින්තාරු කරාවියයි අපි විශ්වාස කරමු


හෙණ ගහන අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

හෙණ ගහන්නේ ඔබට නොවේය.
ඔබගේ ගමන වළකන ප්‍රතිරෝධයන්ටය
ඔබේ සිනාව වළකන කඳුලටය..
කරුණාව වළකන වෛරයටය...
සතුට වළකන වේදනාවන්ටය..


~ගැටයා~











                                                                                                          
Share:

Dec 25, 2012

ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !

ඇංජිමෙන් පිටාර ගලන හෝස් පවර් හාරසීයට අමතරව මගේ උද්දාමය හා ආඩම්බරය සමග තවත් හෝස් පවර් බර ගානකින් ජව ගැන්නූ වාහනය ආච්චිගේ නිවස දෙසට වැටී ඇති පාර දිගේ ධාවනය වූයේ  එඩින්බරෝ ආදිපාදයාගේ රෝල්ස් රොයිස් රථයටත් වඩා තේජසිනි,බලවන්තකමිනි.
මේ උද්දාමයට ආඩම්බරයට හේතු ඇති පදම තිබින. කුඩා කළ ආච්චීගේ දෙපා වඳිද්දී ආපිට ලැබෙන අවවාදය අකුරටම පිළිපැදීමට හැකිවීම ඒ හේතූන් අතර මුල් තැනක් ගනී

"උක්කුං පුතේ ලොකු මිනිහෙක් වෙයන් "

විවෘත ආර්ථිකයේ බලපෑමෙන් ලංකාවේ පහළ වූ ලක්දිව ප්‍රමුඛ කර්මාන්තශාලාවකින් ලැබුණු රැකියාවත් සමග   "රැකියා විරහිත උපාධිධාරී" යන ගරු නම්බු නාමය ලොප් වෙද්දී ජීවිතය යස ඉසුරින් පිරී, ගරාජය මේ වාහනයෙන් පිරී ගියේය.මෙය ඒ තරම් සද්දන්ත යන්තරයකි (ටැට්ටරයක් නොවේ ) .
ලොකු මිනිහෙක්ට මුලින්ම ලොකු වාහනයක් හා ලොකු ගරාජයක් අවශ්‍යය වේ.ඉන්පසු ගරාජයටම අල්ලා ලොකු ගෙයක් තැනිය හැක.වාහනය සෑහෙන්න ලොකු වන්නා සේම එහි ෆුට් බෝඩ් එකේ සිට මහ පොළොවට ඇති දුරත් ලොකු බව, මේ ලියන මොහොතේ මතක් වුවද ආච්චිගේ ගේ ඉදිරිපිටදී එය මතක් නොවූ හෙයින් , වාහනයෙන් බහින ගමන්ම, කුතුහලයෙන්  පෙර මග පැමිණි ආච්චිගේ දෙපා වැඳීමට හැකිවිය.ආච්චි රත්නත්‍රයේ සරණයි කීවාය.

"ආච්චි මං  ලොකු ළමයෙක් උනා " මම සීරුවෙන් සිට ගතිමි

ඈ "කැකිරි ළකුණ" සිනහවක් පෑවාය

"මෙච්චර පරක්කු උනේ පුතේ?"

"නෑ ආච්චි මන් කිවුවේ මම දැන් ලොකු මිනිහෙක්..මේ ලොකු වාහනේ,ලබන මාසෙ ලොකු ගෙයක් පටන්ගන්නවා "

ආච්චි කිසිත් නොකීවාය.
මට ඈව මෙහි නංවාගෙන රවුමක් එක්ක යාමට ආසාවක් පහල විය.සියා වාහනයට නැගීමට කැමැත්තක් නොදැක්වූවත් චාරිකාවට අවශ්‍ය සියලුම සහය ලබා දීමට ගිවිසුම් අත්සන් කළ අතර ,එය ක්‍රියාවට නැංවීම පිණිස ගස්ලබු ගහට හේත්තු කර තිබූ උණ බම්බු ඉනිමග ගෙනැවිත් වාහනයේ ෆුට් බෝඩ් එකට හේත්තු කළේය.ආච්චී පරිස්සමෙන් වාහනයට නැංගාය.මම වැඩ දන්නා බැවින් එක්වරම ඩ්‍රයිවින් සීට් එකට පැන උඩ එල්ලා තිබුණු දේව රූප තොරණේ ගණ දෙවි ප්‍රතිමාවේ ඔළුව හප්පාගෙන නැණැස විවර කර ගතිමි.
වාහනය ඉදිරියට යාමත් සමඟම මම මගේ සොඳුරු උත්සාහය ආරම්භ කළෙමි.

"ආච්චි මේ ලොකේ හැමෝටම පේන්නනම් ලොකු වෙන්න ඕනෙ..ලොකු දේවල් කරන්න ඕනෙ.පොඩි දේවල් ගැන මිනිස්සු කතා කරනවා තියා දැක්කත් අහක බලා ගන්නවා.දැන් බලන්ඩකෝ අද මම  චුට්ටං පුට් බයිසිකැල් කට්ටක ගියානම් නිකම්ම නිකම් උක්කුං ..අද මේ ලොකු වාහනේ නිසා මම...කවුද ආච්චි? මම කවුද ආච්චි?"

"උක්කුං"

"නෑ ආච්චි මම ලොකු මහත්තයෙක්..හැමෝම කතාවෙනවා.හැමෝම ගරු කරනවා.ඒ මොකෝ මම කරන්නෙ ලොකු වැඩ " 

මම කාරයේ බොනැට්ටුව හැරියෙමි (නැත.බොනැට්ටුව නොවේ .හරි වචනය නොදනිමි ) ඒ තුළ වූ "ජම්බෝ පීනට්" පැකට් එකක් ගත්තෙමි

"දැන් මේ මොනවද? "

"රටකජු"

"නෑ ආච්චි ජම්බෝ පීනට්..ලොකු රටකජු"

"ඕව කාලා එහෙම බඩ පුරෝගෙන දවල්ට නොකා එහෙම ඉන්නව නෙවී " ආච්චි තරවටු කළාය.

"මේවා තමා ආච්චි දවල් කෑම්..." 
මටත් හොරා කට ඉස්සර විය.ආච්චි පුදුමකාර බැල්මක් හෙළුවාය.සත්‍යය සඟවා පලක් නැත.

"ලීස් එක ගෙවන්නත් එපෑ ආච්චියේ"

"ආ ලීස්..ඒක මිසක්ක...හරි හරි මම හදල දෙන්නම්කො"

කතාවෙන් කතාවෙන් වාහනය ටවුම මැද්දටම ඇදී විත් තිබුණි.හන්දියේ මිනිස්සු රාශියක් රැස් කමින් හුන්හ.ඔවුන් එකා මත එකා පෙරළෙමින් අත්පුඩි ගසති..සිවුරුහන් බාති...නටති..කෑ කොස්සන් ගසති..
වාහනය නැවැත්තුවේ මගේ කකුළ නොව කුතුහලය විසින්ය.පරිස්සමෙන් වාහනයෙන් බැසීමට ගොස් පාරේ සුදු පාට ඉරි වල කිසියම් ගන්ධයක් ඇත්දැයි පරීක්ෂා කොට ආච්චිව බිමට බස්සවා ගැනීමට ක්‍රමයක් සෙවීමේදී වහළයේ ගැට ගසා තිබූ ඉනිමග දුටිමි..සීයා කෙරෙහි උපන් භක්තියාදරය මසිත තුළ තැන්පත් වෙද්දී ආච්චීද පොළොවේ තැන්පත් වූවාය.
පෙරකී මිනිසුන් රොත්තට ඉදිරියෙන් බිත්තියක එල්ලූ බැනරයකි.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත"
නව ලෝක වාර්තාවක්

ඊට පහළින්ද පින්තාරු කර තිබූ වාක්‍යයක් තිබුණද එය කියවීමට නෙත්හී බැඳුණු සියුම් කඳුලු පටලය ඉඩ දුන්නේ නැත.

"ලෝකයේ ලොකුම ලබු කිරිබත? කෙතරම් ආඩම්බරයක්ද? කෙතරම් භාග්‍යයක්ද? අප ජීවතුන් අතර සිටින කාලයේදීම..මේ නම් අනගිබවනීයමැ...ප්‍රශංසනීයමයැ...

සැබැවින්ම දැවැන්ත ලබු කිරිබතකි.එක පේළියට තැබූ මේස ගණනාවක ඇතිරූ ලබු කිරිබත් තුනී කළේ ස්වේච්ඡා සේවකයන් පිරිසකි.ඔවුන් "අයි ලව් ලබු කිරිබත්" කමිස හැඳගෙන ලහි ලහියේ වැඩ කළහ.කිරිබතේ එහා කොනේ සිටි උදවිය මෙහා සිටින පිරිස ඇමතුවේ වෝකි ටෝකි වලිනි.


කිරිබතේ සුගන්ධයෙන් නසරාණීව සමවත් සුවයෙන් සිටින කල්හී ආච්චිගේ කටහඬ පසෙකින් ඇසිණ.

"පුතේ..මේකද ලෝකෙ ලොකුම ලබු කිරිබත?"

"නැතුව ආච්චි මේ ගහල තියෙන්නෙ"

"ඉතිං පුතේ ලෝකෙ ලබු කිරිබත් හදන්නේ ලංකාවෙ විතරක් වෙන්ඩ ඇතිනෙ"

අවාසනාවට ඒ වදන් ඇසුණේ මට පමණක් නොවේ.අයි ලව් ලබු කිරිබත් සේවකයෝ සහ පරිවාර ජනයා ප්‍රේමණීය බැල්මක් අප දෙසට හෙළුහ.හැකි උපරිම ප්‍රසන්න සිනහවක් දක්වා මම වහාම ආච්චි සමග වාහනයට ගොඩවීමි.

ආච්චිට බැනීම නොසුදුසු වුවද තදින් කතා කොට ඈ යහමගට ගත යුතුය.

"මොකෙන් හරි ලොකු දෙයක් කළාම ඒක රටට නම්බුවක් නෙවේද ආච්චි?ඒවාට අපහාස කරලා අවරගනයේ ප්‍රතිගාමී යැංකි දේශපාලනයේ අතකොළුවක් වෙන්න එපා.මම ඒකට ඉඩ දෙන්නෙ නෑ ලක්මවුනගේ සුජාත පුත්‍රයෙක් වශයෙන්"

ආච්චි මෙල්ල විය.මම වාහනය ඉදිරියට පැදවූවෙමි.තවත් ගාලගෝට්ටියක් දුටු හෙයින් ගාලගෝට්ටියන්ට ඇදී යාමේ මනුෂ්‍ය ස්වාභාවයට හිස නවමින් වාහනය ඒ පැත්තට නැමුවෙමි.


"ලෝකයේ ලොකුම සමාධි බුද්ධ ප්‍රතිමාව"
ඔබේ නොමසුරු ආධාර ලබාදෙන්න 

ආශ්චර්යයකි...බුද්ධාලම්බන ප්‍රීතිය මා සියොළඟ වෙලන්නට විය.නහරවැල් තුළට කාවැදී සිරුර පුරා දුවන්නට විය.

"ආච්චි අපේ බුදු හාමුදුරුවො පිරිණිවන් මංචකයේ සිටින ආකාරය ප්‍රතිමාවකින් නෙලන්නයි හදන්නේ..පොඩියට නෙවේ ලෝකෙන්ම ලොකු විදියට"

"නෑ  පුතේ සමාධි ප්‍රතිමාවක තියෙන්නේ පිරිණිවන් මංචකය නෙවේ"

"මොක හරි කමක් නෑ.මට හරි ආඩම්බරයි ආච්චි.මට හිතෙනවා මගෙ හිත සන්සුන් වේගන එනවා..දැහැන්ගත වේගන එනවා කියලා..ආච්චි මට මාර්ග ඵලයක් ලැබෙන්න වගේ"

"අනේ මන්ද ඉතින්..උක්කුං මයෙනම් සර්දාව හිතට එන්නේ පිළිමෙ තියෙන ලොකුවට නෙවේ..."

මම සඟවාගත් කෝපය පිටින්ම වාහනයෙන් බිමට බැස ආධාර එකතු කරන මඩුව වෙතට ගියෙමි..හිතේ ශ්‍රද්ධාව තිබුණද පර්ස් එකේ සල්ලි නැත.

"ඩූ යූ ටේක් ක්‍රෙඩිට් කාඩ්ස්?" මම ක්‍රෙඩිට් කාඩ්පත මඩුව තුළ හුන් උපාසක මහතාට දිගු කළෙමි..

"යස්...යස්..නොට් වයි" මගේ අතින් කාඩ්පත උදුරාගත් ඒ මහතාණෝ එය පිං කැටය තුළට දමා බුලත් කසට බැඳි දසන් දක්වා එක සිතින් මට සෙත් පැතූහ...........

"පින් සිද්ද වෙච්චාවේ "

~හොඳ දේ වෙනුවට ලොකු දේ හොයන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි~

ප.ලි

ආච්චී වෙනුවෙන් දරන සොඳුරු උත්සාහයන් අවසානයකට ළඟා කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙයට වඩා සමාජය ගැන වැඩි යමක් පරම්පරා දෙකක ජීවීන් දෙදෙනෙක් යොදාගෙන ඉදිරිපත් කිරීමට උත්සහ කළෙමි.ඒ සොඳූරු උත්සාහයේ සාර්ථක අසාර්ථකභාවය දන්නේ ඔබ පමණක් බැවින් ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.ඒ අනුව ඉදිරිය තීරණය වනු ඇති....
~මීට හිතෛශී
 ගැටයා




මීට කලින් දරන ලද සොඳුරු උත්සාහයන්

ආච්චිට වෙඩින්(ග්) ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්!

ආච්චිට හින්දි චිත්‍රපටි ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්!
ආච්චිට " Z අකුර" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක්
ආච්චිට අළුත් අවුරුද්ද ගැන කියාදීමට සොඳුරු උත්සාහයක් !
ආචිචිට කැම්පස් එක ගැන කියාදීමට සොඳුරු උත්සාහයක්



Share:

Dec 24, 2012

ලෝක විනාශයට පෙර කඩේ වැහුණි

මතු කොන්පියුස් වීම වළකනු පිණිස ප්‍රථමයෙන් 
උඹ නටද්දී පපුවේ කරකැවෙන ගිනිබෝල 
උඹයි,මායි,පාට බෝට්ටුවයි, ලොකු හැඳි දෙකයි ,ගෝවා පැළයිකියවන්න

එදා සිකුරාදා උදේ පාන්දරම ආච්චි සිල් රෙද්දකුත් පොරෝගෙන පන්සල් යන්ඩ ලැහැස්ති වෙනවා දැක්කේ නැත්තං මං මේ ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් දැන නොගන්ඩ තිබ්බ නංගියේ.උන්දැ ලෝකෙ විනාසෙ වෙද්දි පංසලේ බුදු හිමි සෙවනේ ඉන්ඩ හිතද්දි මං ඉන්ඩ පැතුවෙ කවුරු එක්කලාදැයි කියන්ඩනම් පුලුවන්,ඒත් උඹ පිළිගන්න එකක් නෑ බාගවිට.හිත ඇතුලෙන් උප්පාදනය වෙන සිතුවිලි මොන හැඩේද,පාටද,සුවඳද කියලා පෙන්නන්ඩ විදියක් තිබ්බනම් ඒත්තු ගන්නන්ඩ තිබ්බ.
ගමේ ගොඩේ ඈයො උන හිංදම වෙන්ඩැ ලෝක විනාසෙ ගැන ආරංචිය එන්ඩ මෙච්චර ප්‍රමාද උනත් ,උඹට ඇත්තම කියන්නම් නංගියේ මට අමුතු කලබලයක්වත්,දුකක්වත් ආවෙ නැත්තෙ නැති වෙන්ඩ දෙයක් නැති හින්ද වෙන්ඩැ.නැති වෙන්ඩ බූදලයක් ,නැති වෙන්ඩ පවුලක් ,නැති වෙන්ඩ ජීවිතයක් නැති හින්ද වෙන්ඩැ.ඒත් නැති වෙන්ඩ අකමැති එකම දේ අන්තිම වතාවට හරි බලාගන්ඩ ඕනැ හින්ද වෙන්ඩැ ආච්චි පන්සලට ගියා විතරයි මාත් ලක ලැහැස්ති උනා.
බාගෙටත් වඩා ඉතුරු වෙලා තිබිච්චි සැන් බෝතලේ සම්පූර්නෙන්ම ඇගට හලා ගත්තෙ ආයෙ ඒකෙන් වැඩක් නැති හින්දා මිසක්ක ගඳ ටිකක් හරි අඩුවෙන්ඩ හිතාන නෙවේ වෙන්ඩැ.එකම සරමක් නොහෝද හතර ආකාරයකට අදින්ඩ පුලුවන් උනත් * ඒ ආකාර ඔක්කොම පාවිච්චි කරල ඉවර හින්ද ආපහු පළවෙනි ක්‍රමේටම සරමත් ඇන්දා.රෙදි වැල ටිකක් උඩහට වෙන්ඩ ගැටගැහුව හින්දා  වෙන්ඩැ එහා ගෙදර බල්ලට අහු නොවී කමිසෙ වැලේම තිබ්බ දෙයියන්ගෙ පිහිටෙන්.
පාර දිගටම එකම ගාලගෝට්ටියක් වගේ .සෙනහ පුරෝලා.අජූතවංශ මහත්තේලෑ ගෙදෙට්ට කොන්ටේනර් තුනක් බාලලු ලොකෙ විනාසෙ වෙලාවෙ ඇතුලට වෙලා ඉන්ඩ.වෙරි මරගාතෙ වගේ වැනි වැනි ඇවිද ඇවිද හිටියෙ කසිප්පු ගහපු උන් නෙවේ,අන්තිම මොහොතෙ හරි පින් රැස් කරන්ඩයි කියලා හෝ ගාල දෙන බලු කපුටු දාන වලින් ඇති වෙන්ඩ ගිලලා දිරෝගන්ඩ බැරුව දගලන දඩාවතේ යන බල්ලො.ඒ අස්සෙ 4.11 ට යෙදී තිබෙන ලෝක විනාස නැකතට පත්තු කරන්ඩෙයි කියලා කොල්ලො කුරුට්ටො රතිඤ්ඤා පවා ගෙනියනව.
මේ හැම එකක් මැද්දෙම මට මැවි මැවි පෙනුනෙ උඹේ මූණ..ඔව් උඹේ මූණ.හැමෝම තම තමන්ගේ ජීවිතවල කරගන්ඩ බැරි වෙච්චි දෙවල් අන්තිම මොහොතෙ හරි කරලා නැකතට වැඩ අතාරින්ඩ ලෑස්ති වෙලා ඉන්න වෙලාවක මටත් කරන්ඩ තියෙන ලොකුම වගේම එකම දේ කරන්ඩ ,හිත් පහල උනා.හිතේ තියෙන දේ කියන්ඩ හිත් පහල උනා.ආපිට ලැබෙන දේ අනුව තීරනය වේවි ලෝක විනාසෙ නැකත 4.11මද ඊට කලින්ද කියලා.
කල්පනා ලෝකෙක ඇලී ගැලී ඇවිද්ද හින්ද වෙන්ඩැ කඩේ ළගට එනකල්ම දැනුනෙ නෑ.කවුද හාදයෙක් කියලා තියෙනවලු මිනිහෙක් මැරෙන්ඩ කලින් ළමයෙක් හදන්ඩ ඕනෙලු,පොතක් ලියන්ඩ ඕනෙලු, ගහක් හිටවන්ඩ ඕනෙලු. පළවෙනි දෙක කෙසේ වෙතත් අර හිටවෙන්ඩ ඕනෙ ගහ "මම" උනානම් කොච්චර එකක්ද කියලා හිතුනේ කැසියර් කූඩුවෙ හිටපු උඹේ චායාව ඇස් දෙකේ ගැටිලා එච්චර වෙලා එක්කහු කරන් හිටපු සක්තිය බඩ සුද්ද වෙන්න බේත් දුන්නාම වගේ යන්න ගත්තට පස්සෙයි.අනේ ඒ ගහ මම වෙලා මුල් ඇදලා අඩියක්වත් ඉස්සරහට යන්ඩ බැරි වෙන්ඩ මෙතනම හිට උනානං,උඹට උදේට උදේට ඇවිල්ලා වතුර ටිකක් වක් කරලා යන්ඩ !!

ඒත්  මුල් අදින්න නොදී ඉස්සරහට යන්න පුරුස සක්තිය ඩිංගක් එක්කහු කරගන්න පුලුවං උනා.ලෝක විනාසයක් ගැන හාංකවිස්සියක්වත් නැතුව හායි ගාලා කඩේ ඇරන් ඉන්නවා කියලා හිතුනත් ඒක එහෙම්මම නෙවේ කියලා තේරුණේ කඩේ ඉස්සරහ අලෝල තිබ්බ දැන්වීම් දැක්කාමයි.හැම එහෙකම ගනන් අඩු කරල තිවුන ඡන්ද පොරොන්දුවක් ඉස්ට කරල වගේ,කොටින්ම පාන් 3.50යි.
කඩේ එකෙක්වත් හිටියෙ නෑ වාසනාවට.උඹයි මායි විතරයි..
උඹ කැසියර් කූඩුව ඇතුලේ තිබ්බ බංකු කොටේ උඩ ඉඳගෙන
මං උගුර පෑදුව.ප්‍රතිචාරයක් නෑ.
හරස් ලෑල්ලට පුංචි තට්ටුවක් දැම්ම..ඩිංගක් විතර ඉස්සුනා ඔළුව.
"මොනවද? " උඹ ඇහුවා .කටහඩ බිඳිල වගේ
"මුකුත් ගන්ඩ නෙවී නංගි..."..අමාරුවෙන් වචන ගැටගැහුන
උඹේ ඔළුව ඉස්සුනා සම්පූර්නෙන්ම.ඇස්වල බැල්ම කියවගන්න අමාරුයි.
"ම..ම...මං..මේ "පැටලුනා.වචන නෑ.

අඩපනයි
එකම එක දෙයයි උනේ ගැලවිල්ලට මටත් නොදැනිම..කමිස සාක්කුවට අත ගියා.අතට ආව රුපියල් දහයක්.මං ඒකෙ කොකා අතින් වහගෙන මල ඉස්සරහට හිටින්න කැසියර් කූඩුව ඇතුලට තල්ලු කලා
"පාන් එකාමාරක්"
උඹ කොලේ අතට ගත්තා





"පරක්කු වැඩියි"
කියපු උඹ මල වහගෙන කොකා පෙන්නුව මට.



"පරක්කු වැඩියි"
උඹ මිමිනුව ආයෙත්.කලින්ඩ වඩා අඩු සරේකින්.තෙත පටලෙකින් වැහිච්ච ඇස් දෙක නළියනවා."අනේ යන්න" ඒ ඇස් වල ලියවිල තිබ්බද කොහෙද
"පරක්කු වැඩියි "
එතනින් එහා දරන් ඉන්ඩ බැරි වෙච්චි තැන ඉතුරු උනේ ගැලවිලා යන එක විතරයි.කඩෙන් එළියට ඇවිත් හැතැප්ම ගානක් එහා තිබ්බ බන්ට් එක උඩට එවුනෙ කොහොමද කියලා මම දන්නේ නෑ.කොටින්ම එතනින් එහා මුකුත් හිතුනෙම නෑ.හිතන්න ඕන උනෙත් නෑ.වෙලාව ගොඩක් ගත වෙන්ඩ ඇති එතනම.දැහැන බිදිලා ගියේ වේගෙන් වංගුව ගත්ත ත්‍රීවිල් පද්මෙ අයියගෙ ලබ්බෙගිනි කාරෙක ඇතුලෙන් ඇහිච්චි රේඩියෝ එකේ සද්දෙට..
"දැන් වේලාව පස්වරු හතරයි විනාඩි දෙකයි "
මට මොකක් උනාද කියලා හිතාගන්ඩ බැරිඋනා.බන්ට් එක ගාව ඉඳන් ලවක් දෙවක් නැතුව දුවන්ඩ ගත්තෙ ඊට පස්සෙ වෙන්ඩැ.හති වැටිලා වේගෙන් ගැහෙන පපුව එළියට එන්න දගලද්දිත් ,දණිස් පොල්කටු ගැලවිලා වෙන්වෙන තරමට වේදනා දෙද්දිත් ඒ දිවිල්ල නැවතුනේ නෑ.ජීවිතේ අන්තිම දිවිල්ලත් ජීවිතේ වටිනම දෙයක් වෙනුවෙන්.තප්පරෙන් පංගුවකටවත් හිත නොහැලුනා උනත් කකුල් දෙකට වාරු නැති වෙන්ඩ ගත්තේ කඩේ පේන මානයක තියෙද්දියි.බිම ඇදගෙන වැටුනෙ එතකොටයි.ඒ වැටිල්ලෙ වේදනාවත් නොතකා වෙවුලන ඇගිලි තුඩු තාර පොලොවට තද කරගෙන ආපහු නැගිටින්න හදන ගමන්ම මං කඩේ දිහා බැලුව.

උඹ කඩේ වහනවා.ලෑල්ලෙන් ලෑල්ල අහුරනවා.ඔක්කොම ලෑලි පහයි .අන්තිම ලෑල්ලත් වැහෙද්දින් කඩේ ඇතුලෙන් එලියට වැක්කෙරිල තිබ්බ කුප්පි ලාම්පුවෙ එළිය මැකිල ගියා.කඩේ ඇතුළෙ උඹත් ඒ එළිය එක්ක මැකිල ගියා.ඒත් එක්කම දරාගන්ඩ බැරි වේගෙකින් පොළොව හෙල්ලෙන්ඩ ගත්තා.ඉර වැහීගෙන එනවා කළු වලාකුලුවලින්.තාර පොලොවෙ අත තියගෙන උන්නු හරියෙන් පටන් අරන් පොලව දිගේ හීනියට ඉරි තැල්මක් එන්ඩ ගත්ත.මහා ගස් හිටන් අඹරවලා දාන්ඩ තරමට ආපු හුළි හුලගත් එක්ක මුරුගසන් වරුසාවක්.මේ කල්පාන්තික වරුසාව.අර ඉරිතැල්ම වැඩි උනා ඩිංග ඩිංග...පොළොව දෙබෑ වෙනවා.

යාන්තමින් පොලවට අල්ලලා උඩට නග්ගන පොඩි ගෙවල් මහ හුලි හුලගට එරෙහි වෙන්ඩ බැරුව යටත් වෙලා උඩින් ගහගෙන යනවා කැරකි කැරකි..මං අමාරුවෙන් ඔළුව උස්සලා උඹළෑ කඩේ දිහා බැලුවා.ඔක්කොම දේවල් මැද්දෙ පොඩි සතුටක් ..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..
කුණාටුව ,වැස්ස ,කළුවර එන්ඩ එන්ඩම චන්ඩ වෙන්ඩ ගත්තා.මහ රූස්ස ගස් ,ගෙවල් ,අජූතවංශ මහත්තේලෑ කොන්ටේනර් පෙට්ටි පවා උස්සපු හුලග මාව බිම තිබ්බෙ නෑ.කරකවලා ගත්තපාර ආයේ බිම තියන්ඩනම් අදහසක් නැතුව ඒක දිගටම උඩටම ඇදගෙන ගියා.විකල් වෙලා ගිය ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ.මුකුත්ම හිතුනෙ නෑ..කැරකෙන වේගෙටම ආපහු මහ පොළව දිහා බැලෙන්ඩ ඇති..
තාම කඩේ එහෙම්මමයි.උඹත් ඒක ඇතුලේ හොඳින්..



*උඩ,යට ,කනපිට හැරෙව්වායින් පස්සෙ උඩ යට


~නිමි
-සියළු පුද්ගල නාම, සිද්දි ,විස්තර අසත්‍ය වන අතර මනස්ගාත වේ.



Share: